Pages

Saturday, February 28, 2015

ශ්‍රී ලංකා බාලදක්ෂයින් තැබූ ගිනස් වාර්තාවක්


මහනුවර බාලදක්ෂයින්ගේ අංක 01




ගිනස් වාර්තාවක් කියන්නේ සුවිශේෂී දෙයක්. ගිනස් පොත කියන්නේ ඒ වගේ වාර්තා සටහන් කරලා තියෙන ලේඛණයට. ගිනස් වාර්තා ‍පොතට මූලික වූ පුද්ගලයා වන්නේ ශ්‍රීමත් හියු බිවර්ගිනස් වාර්තාව බිහිවූයේ යුරෝපයේ වේගවත්ම කුරුල්ලා වන රන වටුවාට දඩයක්කරුවෙක් එල්ල කළ පහරක් ගිලිහී යනු දුටු ශ්‍රීමත් හියු බිවර් පැයට සැතපුම් 100ක් පමණ වේගයෙන් ඉගිල ගිය රන වටුවාගේ වේගය ගැන දැන ගැනීමට අවශ්‍ය වූව ද ඒ පිළිබඳව සටහන්වූ කිසිදු ලියැවිල්ලක් සොයා ගැනීමට ශ්‍රීමත් බිවර්ට නොහැකි විය. ගිනස් වාර්තාව බිහිවූයේ එවැනි විස්තර සටහන් කර තැබිමටය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාල දක්ෂ සමූහයේ ශත සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ රිස්ගෝ 2013 ජත්‍යන්තර බාල දක්ෂ එකමුතුවේ ක්‍රියාකාරකම් අතරතුර දින 06ක් තුළ බාල දක්ෂයන් 20කගේ සහභාගීත්වයෙන් මේ මන්ත ලේන්සුව හා වෝගලය නිරිමාණය කර තිබේ.  ශ්‍රී ලංකාවේ පාසලක් මගින් පිහිට වූ පළමුවැනි ගිනස් වාර්තාව මෙන් ම ධර්මරාජ විද්‍යාලය විසින් පිහිට වූ පළමු ගිනස් වාර්තාව බව ඉතිහාසයට ඒක්විය.

 

ගිනස් කමිටුවේ තරග වාර්තාව

මන්ත ලේන්සුව හා වෝගලය බාලදක්ෂ නිල ඇඳුමේ එක් අංගයක් වන අතර ධර්මරාජ බාල දක්ෂයන් නිර්මාණය කළ මන්ත ලෙන්සුව දිගින් මීටර 53.1ක්ද පළලින් මීටර 37.1ක් ද වෙයි.ඒ සඳහා වැය කර තිබෙන රෙදි ප්‍රමාණය මීටර 960 කි.වේවැල් උපයෝගී කර ගනිමින් නිර්මිත වෝගලය මීටරයක් උසය.

















ලෝකයේ විශාලතම බාලදක්ෂ මන්ත ලේන්සුව හා වොගලය නිර්මාණය කරමින් මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් පිහිටුවන ලද ගිනස් වාර්තාව නිරීක්ෂනය කිරීම හා ඊට සුභ පැතීම සඳහා ලෝක බාලදක්ෂ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ ජේ. ආර් පැන්ගිලිනන් මහතා ඇතුළු ලෝක බාලදක්ෂ සංගමයේ නියෝජිත පිරිසක් ද ධර්මරාජ විද්‍යාලයට පැමිණියහ.



මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ලේක් විව් පාර්ක් ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානය පැමිණි ලෝක බාලදක්ෂ සංගමයේ නියෝජිත පිරිස විද්‍යාලාධිපති එස් එම් කීර්තිරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ බාලදක්ෂයන් විසින් මහත් හරසරින් යුක්තව පිළිගනු ලැබූ අතර එහිදී ගිනස් වාර්තාවට පාදක වූ ලොව විශාලතම මන්ත ලේන්සුව හා වොගලය ප්‍රදර්ශණය කිරීම ද සිදුවිය. ලෝක බාලදක්ෂ නියෝජිතයින්ගේ නිරීක්ෂණයට ලක් වූ අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කොමසාරිස් ජනිජිත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහකාර ප්‍රධාන කොමසාරිස් සරත් මාතර ආරච්චි මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
ගිනස් සහතිනය ධර්මරාජ විදුහල්පතිවරයා විසින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව

Thursday, February 26, 2015

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
නුඹයි මගේ පුතා උතුම්

- ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි


මානව හිමිකම් සංවිධානයක සේවය කළ පමණින් මානව හිතවාදියකු වන්නේ නැහැ

රිස්ගෝ ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියේ සමාප්ති උළෙලේදී ජනපති පැවසීය

වෘත්තීය අවශ්‍යතාවට මානව හිමිකම් සංවිධානයන්හි සේවය කළ පමණින් මානව හිතවාදියකු නොවන බවත් ඇතැම් විට ඔවුන් මානව හිතවාදීන් නොව ජාතිද්‍රෝහීන් වන අවස්ථාද තිබෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී පැවැසීය. මානව හිතවාදියකුට ජාතියක්, ආගමක්, පන්ති භේදයක් නොමැති බවත්, ඔවුන්ට බලවතාද දුබලයාද කියා භේදයක්ද නොමැති බවත් ජනාධිපතිතුමා පැවැසීය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරයට වසර සියයක් පිරීම නිමිත්තෙන් පැවැති 'රිස්ගෝ 2013' ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියේ සමාප්ත උළෙලේදී ජනාධිපතිතුමන් මේ බැව් පැවසීය. මහනුවර බෝගම්බර පිටියේ පසුගියදා (22) පැවැති මෙම ජම්බෝරියේ සමාප්ත උළෙල සංස්කෘතික අංග, බාල දක්ෂයන්ගේ ආචාර පෙළපාළි, තූර්ය වාදක සංදර්ශන රැසකින් සමන්විතවී තිබිණි. මේ සඳහා රටවල් 31 ක සහභාගීත්වය පැවැති අතර එම රටවල්හි නියෝජිතයන්ට ජනාධිපතිතුමන් අතින් සමරු පදක්කම් ලබාදීම සිදු විය. මානව හිමිකම් සංවිධානය කියා සමහරු සංවිධාන රැසක් පිහිටුවාගෙන ඇති බවද එම සංවිධාන දෙස බැලීමේදී ඔවුන් ඉටු කරන කාර්යයන් පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කීය. බාලදක්ෂ ව්‍යාපාරය තුළ දරුවන්ට ලබාදිය යුතු ගුණාංග රැසක් පවතින බවත් මෙම ගුණාංග සමාජය තුළ පැතිරවීමට ඉඩ ලබා දිය යුතු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් කතා කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. මහනුවර ධර්මරාජ විද්‍යාලීය බාලදක්ෂ සමූහයට වසර සියයක් සම්පූර්ණ වන විට අපේ රටේ බාලදක්ෂ ව්‍යාපාරයට වසර 101යි. මේක ධර්මරාජ විද්‍යාලයට විශාල අභිමානයක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් රටවල එවකට විශිෂ්ටම බාලදක්ෂ සම්මානය වන රජුගේ ධජය වසර කිහිපයක් (1917, 18, 19 වසරවල) වසර තුනේම දිනා ඇත්තේ ධර්මරාජ විදුහලයි. මෙය තෙවරක් පිට පිටම එකම රටක් දිනා ගැනීම ලෝක වාර්තාවක් විය හැකියි. ආසියා ශාන්තිකර කලාපයේ විශිෂ්ටම බාලදක්ෂයා හැටියට 2009 ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ ධර්මරාජ බාලදක්ෂයෙකි. බේඩ්න්පවල් සාමි තුමා දෙවරක් මේ විදුහලට පැමිණ තිබෙනවා. එනිසා බාලදක්ෂ ව්‍යාපාරය හා ධර්මරාජ විදුහල ඓතිහාසික එකමුතුවකි.

ලෝකයේ බාලදක්ෂයන් ප්‍රමාණය කෝටි තුනකටත් වැඩියි. ඒ වගේම ශ්‍රි ලංකාවේ 45,000ක් පමණ බාලදක්ෂයන් ප්‍රමාණයක් ඉන්නවා. ලංකාවේ පාසල් දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන ස්වේච්ඡා සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරයයි.

රිස්ගෝ 2013 ජාත්‍යන්තර බාලදක්ෂ එකමුතුවෙහි සමාප්ති උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී 22 දා පැවැත්විණ. ජනාධිපතිවරයා උත්සව භූමියට කැඳවාගෙන ආ අවස්ථාව. 
ඡායාරූපය - සුදත් සිල්වා
බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ලංකාවේ බාල පරපුර අතරට ගෙනයාම ඉතාම ‍පහසු වගේම වටිනා කාර්යකි. රටක බාලදක්ෂ ව්‍යාපාරය ගොඩනඟන්න නම් මානව දයාව කරුණාව අගයන පිරිසක් බවට එම බාලදක්ෂ දරුවන් පත් විය යුතුයි. වසර දහස් ගණනක් මානව දයාව කරුණාව පදනම් කරගෙන ගොඩනැඟුණු ශිෂ්ටාචාරයක් තමයි ලංකාවට තිබෙන්නේ. ලංකාවේ රජය බැඳී සිටින්නේ මේ ශිෂ්ටාචාරය ආරක්ෂා කර ගැනීමටයි. බාලදක්ෂයකු ජනතාවට සේවය කිරීමට ප්‍රථම මානව හිතවාදියකු විය යුතුයි. කුඩා කාලයේ සිටම බාලදක්ෂ ව්‍යාපාර ඒ සඳහා උදව් කර ගත යුතුයි. සාමූහික තීරණ ගැනීමට අන් අයගේ අදහස් වලට ගරු කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ කඳවුරු ජීවිතය තුළින් අත්දැකීම් ලැබෙනවා.
පෞද්ගලික සමත්කම් දුබලකම් හඳුනාගැනීමට එකතුවෙලා වැඩ කළ යුතුයි. එවිටයි සමත්කම් දුබලකම් පෙනෙන්නේ. සාමූහික බව හුරු වුණු අයයි රටට සමාජයට වැඩ කරන්නේ. දරුවන්ව හුදකලා කැර අධ්‍යාපනය ලබා දෙනවාට වඩා මේ කඳවුරු ජීවිතයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. බාල කාලයේ මේ දරුවන් ගමේ රටේ ඇවිද නොයෙක් දේවල් කරනවා. සමාජයට පොඩි පොඩි උදව් කරනවා. සමාජයෙන් යහපත් දේවල් ගන්නවා. මේ නිසා එකතු වෙලා සමගියෙන් වැඩ කළ යුතුයි. එවිට තමයි දියුණු විය හැක්කේ.

කිසිම ‍භේදයක් නැතිව අපි කවුරුත් සාමයෙන් එකට ජීවත්විය යුතුයි. විවිධ රටවලින් පැමිණි බාලදක්ෂයින් මෙහි ඉන්නවා. ලෝකයේ විවිධ සංස්කෘතීන් මේ තුළ තිබෙනවා. ලෝකයේ කොතන සැරිසැරැවත් ‍තමන් උපන් රටේ සංස්කෘතිය සදාචාරාත්මක ගුණාංග රැකගත යුතුයි. එහිදී තමන්ට තමන්ගේ රටට නොගැළපෙන දේ කරන්න යන්න එපා. ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වන්නේ 1912 දී මාතලේ ප්‍රදේශයේදී. එය කන්ද උඩරටට ආඩම්බරයකි. බාලදක්ෂ ව්‍යාපාරය හරහා ශාරීරික හා මානසික සුවයක් ලබනවා. බාලදක්ෂ ව්‍යාපාරය තුළ අපේ රටේ දරුවන් කිසිම භේදයක් නැතිව එම ව්‍යාපාරය තුළ සහයෝගයෙන් කටයුතු කරනවා. බාලදක්ෂයන් තමන්ගේ ර‍ටේ ජනතාව ඉස්සරහා ලබාදෙන පොරොන්දුවක් තිබෙනවා. ඒ පොරොන්දුවේ තිබෙන්නේ 'මගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට බාලදක්ෂ නීතියට කීකරු වීමටද මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ උත්සාහය යෙදීමට පොරොන්දු වෙමි' කියා. දරුවනේ අපේ ජීවිතයේ කොටසක් තමයි රට හා ආගමට අපි සේවය කිරීමේදී පෙරළා යම් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. රටින් ලැබිය යුතු යුතුකමට වඩා රටට අපෙන් විය යුතු යුතුකම මොනවාද කියා හිතන එක ඉතා වැදගත් කියා අපේ මුතුන් මිත්තන් කියා තිබෙනවා. අපේ මුතුන් මිත්තන් සේවය කළේ එහෙම හිතලා තමයි. ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ කියා තිබෙනවා 'සිදු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන්නම් නුඹයි මගේ පුතා උතුම්' බාලදක්ෂයන් එහෙම හිතන්න ඕනෑ. ඒ වගේම මා ඔබේ තේමා ගීතය නැවත මතක් කරන්න කැමැතියි.

'ජයගෙන මිස නෑ පස්සට කවදත් යන්නේ එක මවුකුස දරුවෝ වගේ යමු එක රෑනේ. නැණ ගුණ තෙද වපුරා ශක්තියෙන් අපේ රන් හිරු අපි වෙමු ජය මේ නව යුගයේ' මහනුවර ධර්මරාජ විද්‍යාලයීය විදුහල්පති ඩබ්. එම්. කීර්තිරත්න මහතා කතා කරමින් වසර තිහක කුරිරු යුද්ධය නිසා අපට රටක් ලෙස අහිමි වුණු බොහෝ දේ තිබෙනවා. අද ඒ සියලු කාර්යයන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ඉටු කරනවා. මේ රටේ දරුවන්ට සැබෑ නිදහස උරුම කර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිසා දැයේ දරුවන්ගේ ඇට මස් ලේ නහර තුළ මහින්ද රාජපක්ෂ චරිතය ඇතුළත්ව තිබෙනවා. බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාද මෙහිදී කථා ක‍ළ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහාන් ලාල් ග්‍රේරු, එරික් ප්‍රසන්න වීරවර්ධන, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම යන මහත්වරුද මධ්‍යම පළාත් සෞඛ්‍ය පරිවාස හා ළමා රක්ෂක අමාත්‍ය අධිනීතිඥ සුනිල් කිත්සිරි අමරතුංග යන මහතා ද මෙයට එක්ව සිටියහ.





 විශේෂ ස්තුතිය රිවිර පත්තරේ එල්.අයි.කාරියවසම්ට හා දිනමිණ පත්තරේ ඉන්දික පොල්කොටුවට

මහනුවර  බාලදක්ෂ සංගමයේ අටවන කැන්-කැඩ්සා ශත සංවත්සරය

අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ කතාව අැසුරින්

ජාති, ආගම්, භාෂා කුල ආදී භේදයකින් තොරව සමස්ත ජනයා ශ්‍රේෂ්ඨ ලෙස සලකන  බාලදක්ෂ ව්‍යාපාරය අප සියල්ලෝම ආදර්ශයට ගත යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පැවසීය. සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙත ශ්‍රේෂ්ඨත්වයෙන් සලකන බාලදක්ෂ ව්‍යාපාරය, ලෝකය එක පවුලක් බවට පත් කරන බලවේගයක් බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය. මිනිසා උසස් මිනිසකු වශයෙන් ද, ඔහුගේ උසස් බව මිනිසාගේ යහපතට පරිවර්තනය කරන බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ගුණගරුක යහපත් සමාජයක් බිහි කිරීමේ හැකියාව පවතින බවද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

කැන්-කැඩ්සා ශත සංවත්සරයට අග්‍රාමාත්‍යතුමාගේ පැමිණීම

 



''ජාති, ආගම්, භාෂා කුල ආදී භේදයෙන් තොර 
බාලදක්ෂ ව්‍යාපාරය අප සැමට ආදර්ශයක්''






මහනුවර බාලදක්ෂ සංගමයේ ශත සංවත්සරය වෙනුවෙන් පවත්වන බාලදක්ෂ අටවන කැන්බෝරිය සහ කැඩ්සා ශත සංවත්සර (KADSA – 100)  ජම්බෝරිය විවෘත කිරීම නිමිත්තෙන් 28 දින පස්වරුවේ මහනුවර, පල්ලේකැලේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.

 දිව‍යිනේ පාසල් රැසක පෝතක බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ සහභාගිත්වයෙන් මැයි 31 දින දක්වා පැවැත්වෙන මෙම ජම්බෝරිය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අග්‍රාමාත්‍යතුමා එහිදී මෙසේද පැවසීය.

“මිනිසා උසස් මනුෂ්‍යයකු බවට පත් කර ගත හැකි වන්නේ මානසික දියුණුව ඇතිකර ගැනීම මගිනි. සිත පාලනය කිරීම සහ සිත මගින් ශරීරය පාලනය කර ගැනීම මගින් පුද්ගලයා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු බවට පත්කර ගත හැකියි. නැත්නම් ඔහු උසස් මිනිසකු බවට පත්වන්නේ නැහැ.

නමුත් වර්තමාන සමාජයේ සිදුවන මිනී මැරුම්, සොරකම් කිරීම් ආදී විවිධ බාල ක්‍රියා සිදු වන්නේ මිනිසා තත්ත්වයෙන් පහළ අයුරින් හැසිරෙන නිසයි. එවැනි පහළ පන්තියේ ක්‍රියාවන් තුළින් පුද්ගල සමාජය විනාශය කරා යනවා. එසේ වුවද, පහළ පන්තියට ආදර්ශයක් ලබාදීමට උසස් ආදර්ශමත් ව්‍යාපාරයක් වන බාලදක්ෂ ව්‍යාපාරයට හැකියාව ලැබෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට මෙන්ම, එය තවදුරටත් පාසල් අතර ප්‍රචලිත කිරීම සඳහා උරදී ක්‍රියා කරනවා.  බාලදක්ෂයකුට ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට හැකියාව ලැබෙන්නේ ඉතාමත් විරල වශයෙනි.  

අද මහනුවර දිස්ත්‍රික්කයේ දරුවන් රැසක් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඉතිහාසයේ ප්‍රථම වතාවට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් දෙදෙනෙකු ජනපති සම්මානයෙන් පිදුම් ලැබීම අපට මහත් අභිමානයක් ගෙන දෙන්නක් වශයෙන් හැඳින්විය හැකියි. මේ නිසාම බාලදක්ෂ ව්‍යාපාරය ගුණධර්ම අතින් උසස් විෂයයක් බවට පත්ව තිබෙනවා.

 දැනට වසර සියයකට පමණ ඉහත දී මේ ව්‍යාපාරය ආරම්භ කරන විට විද්‍යාව සහ තාක්ෂණය වර්තමානය තරම් දියුණු වී තිබුණේ නැහැ. නමුත් අද දියුණු තාක්ෂණය නිසා මිනිසා නිවැරදි නොවන මාර්ගයක ගමන් කරන බව පේනවා. අපට සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා තාක්ෂණය අදාළ කරගත යුතු වුවත්, එය විනාශය කරා ගමන් කිරීම උදෙසා උපයෝගී කර ගත යුතු නැහැ. උසස් මානව චින්තනයෙන් තොරව විද්‍යාව සහ තාක්ෂණය භාවිත කිරීම නිසා අද මුළු මහත් ලෝකයම විනාශය කරා යන බවක් දක්නට ලැබෙනවා. විද්‍යාව හා තාක්ෂණයෙන් අප ඉවත් විය යුතු යැයි මා කිසිසේත්ම පවසන්නේ නැහැ. තාක්ෂණයෙන් තොරව අපට පැවැත්මක් නැහැ. නමුත් තාක්ෂණයේ යහපත් අංග මනුෂ්‍යත්වයට උපයෝගී කරගත යුතු අතර, ඊට සමගාමීව ධාර්මික සමාජයක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතුයි.  අයහපත් අංග වලින් යුතු සමාජයක් නිසා සමස්ත  සමාජය විනාශ වන අතර, අප කළ යුත්තේ උසස් ගුණ ධර්ම වලින් හෙබි ධාර්මික සමාජයක් නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා තාක්ෂණය මෙන්ම, බාලදක්ෂ ව්‍යාපාරය ද උපයෝගී කර ගත හැකි යැයි තරයේ විශ්වාස කරන බව” අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සභාපති, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය, සරත් ඒකනායක, බාලදක්ෂ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, එම්.ඊ.එස්. ජයසිංහ, මහනුවර දිසා කොමසාරිස්, සරත් බණ්ඩාර යන මහත්වරු ඇතුළු බාලදක්ෂ ව්‍යාපාරයේ නියෝජිතයින් ද, පෝතක බාලදක්ෂ හා බාලදක්ෂිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. 
 
 
Scout Media Partner: SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර, විජායි දමිල මාධ්‍ය බාලදක්ෂ කදවුර
 
වැඩි තොරතුරැ https://www.facebook.com/baladaksha.srilanka වෙතින්

Saturday, February 21, 2015

158 වන ලෝක බාලදක්ෂ දින සැමරුම - 2015

158 වන ලෝක බාලදක්ෂ දින සැමරුම

සමාජයට වැඩදායී, සමාජයට පිළිලයක් නොවන, සමාජය ගරු කරන ඉතා යහපත් පුද්ගලයකු බිහිකිරීමට බාලදක්ෂ ව්‍යාපාරය  හොඳම මාර්ගය බව ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා පැවසීය. විභාග මූලික අධ්‍යාපන ක්‍රමයක් පවතින පාසල තුළ විභාගවලින් පිටස්තරව දරුවන්ට ලැබිය යුතු දැනුමල ප්‍රායෝගික දැනුම හා සතුට මේ සියල්ල ලබාගත හැකි  ඵකම ක්‍රමය බාලදක්ෂ ව්‍යාපාරය බව ද ඔහු පැවසීය. එතුමා මෙම අදහස් පළකළේ සෑම වසරකම පෙබරවාරි 22 දිනට යෙදෙන 158 වන ලෝක බාලදක්ෂ දින සැමරුම් උත්සවයේදී අදහස් දක්වමිනි.
 

 
ලෝක බාලදක්ෂ ව්‍යාපාරය

ලන්ඩනයේ 1857 පෙබරවාරි මස 22 දා උපන් බේඩන් පවල් සාමිතුමා, ස්ටැන්හොප් වීදියේ අංක 6 නිවසේ තමපවුලේ සමාජිකයන් සමග ජීවත්විය. එතුමාගේ පියා මහාචාර්ය බේඩන් පවල් විද්‍යාඥයෙකි.හෙතෙම සොබාදහම්වාදියකු මෙන්ම දේවගැතිවරයෙක්ද විය. ටම්බ්‍රිජ්වෙල්හි රෝස්හිල් පාසැලට වයස අවුරුදු 11 දී ඇතුළු වු ඔහුට වනජීවිතය ගැන කුඩා කලම අධ්‍යයනය කිරීමට ලැබුණි. 1869 දී ශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩනයේ චාටර් හවුස් විදුහලට ඇතුළු වු බී.පී. පාසල් භූමියෙන් පිටත පිහිටි වනරොදට රහසින් ගොස් නිසොල්මනේ කැලෑවට රිංගා සතුන් අධ්‍යයනය කිරීමට පුරුදු විය. සිය දෑතින්ම චිත්‍ර ඇදීමට, ලිවීමට හා කටු සටහන් ඇදීමට දක්ෂයෙකු වු රොබට් සංගීතයට මෙන්ම ගායනයටද උපන් හපනෙක් විය. විවේකයක් ලැබුණු විට පාගමන් යාමද ඔහුගේ සිරිත විය. තමාගේ ආහාර පිළියෙළ කිරීම, සිතියම් භාවිතා කිරීම, කතාසිතියම් ඇදීම, කාර්මික ආයතන නැරබීම ආදියෙන් නොයෙක් අත්දැකීම් ලැබීය. වයස අවුරුදු 19 දී ඔහු යුද හමුදාවට බැදුනේ අහම්බෙනි.

යුද හමුදාවට බඳවා ගන්නා සම්මුඛ පර්යේෂණයෙන් 718 දෙනෙකු අතරින් පාබල අංශයෙන් පස්වන ස්ථානයත්, අශ්වාරෝහක අංශයෙන් දෙවන ස්ථානයත් ලබා ඉතා උසස් අන්දමින් සමත් විය. සති කීපයක් ආර්.එස්.එස්. බේඩන් පවල් උප ලුතිනන්වරයාට ඉන්දියාවට යාමට සිදුවිය. දස වසක් ඉන්දියාවේ ගත කළහ. සොල්දාදුවෙකු වශයෙන් අත්දැකීම් රාශියක් ලබාගත් මෙතුමා ප්‍රායෝගික බාලදක්ෂ ක්‍රම මුලින්ම ඉගෙනගත්තේ ඉන්දියාවේදීය. දකුණු අප්‍රිකාවේ කලබල තත්වයක් ඇතිවීම හේතුවෙන් එතුමාට ඉන්දියාවේ සිට 1884 දී දකුණු අප්‍රිකාවේ නතාල් වරායට යාමට සිදුවිය. එතුමාට නියම වුයේ ඩ්‍රැකන්ස්බර්ග් කන්ද හරහා රෙජිමේන්තුවට ගමන් කිරීමට යෝග්‍යතම මාර්ගය සෙවීමයි. බී.පී. තුමා අවශ්‍ය තොරතුරු සපයා ගැනීමට පුවත්පත් කලාවේදියෙකු මෙන් වෙස්ලාගෙන සැතපුම් 600 ක් අසුපිට‍ ගමන් කර ඇත.ගෝත්‍රික ජනයාගේ අව්‍යාජභාවය සහ එඩිතරකම බී.පී.තුමාගේ සිත් ගත්තේය. බාලදක්ෂ ව්‍යාපාරයේ අධ්‍යයන ක්‍රමයට මේ හමුදා දිවියේ ලත් අත්දැකීම් පාදක විය.

මැෆකින් යුද්ධය ආරම්භ විය1899 ඔක්තේම්බර් 13 සිට දින 217 මෙතුමා අසීමිත සතුරු සංඛ්‍යාවක් සිටි මැෆකින් නගරය වටලා සිටියේය. මැෆකින් බේරාගැනුනි. මේ ආරංචිය කණ වැටුණු බ්‍රිතාන්‍යයන් උද්දාමයට පත්විය. මෙතුමා මැෆකින් වීරයා යන අන්වර්ත නාමයෙන් හැදින්වන්නට පටන් ගැණුනි.. මැෆිකිං නගරය බේරාගැනීමේදී ඔහු හා එක්ව සිටියේ ළාබාල සොල්දාදුවන්ය.

ධෛර්යවන්තකම හා නායකත්වය නිසා ප්‍රසංසාවට ලක්වූ මෙතුමාට ආධුනිකයින් පුහුණු කිරීමේ කාර්යයභාරය පැවරිණි. නවමං ඔස්සේ ළාබාල සොල්දාදුවන් පුහුණු කිරීමේදී මෙතුමා සතු ඉතා ඉහළ සංවිධාන ශක්තිය කැපී පෙනිණි. B.P.තුමන් 1901 දී මෙතුමා නැවතත් එංගලන්තයට පැමිණියේය. මෙහිදී ඔහු විසින් යුධබටයන් සදහා රචනා කර තිබූ කෘතියක් පාසැල් ළමුන් අතර ජනප්‍රිය වී තිබුණු බව දැකගන්නට ලැබුණි. එසේනම් ළමයින් සදහාම ලියූ කෘතියක් වීනම් කෙතරම් ළමයින් උදෙසා ප්‍රයෝජනවත් වේ දැයි සිතා තමන් ඉන්දියාවේදී , අප්‍රිකාවේදී ලැබූ අත්දැකීම් ඒකරාශී කරගනිමින් ළමයින් හට ශක්තිමත්ව වැඩෙන්නට උපදෙස් දීම සදහා පොතක් රචනා කිරීමට පෙළඹුණි.

මේ ආකාරයෙන් ළමයින් අතර බාලදක්ෂ ව්‍යාපාරයෙහි අදහස දියුණු වෙමින් ගියේයග ඒ අනුවඑම අදහස පොතකට හෝ සිතිවිල්ලකට සීමා නොකොට ක්‍රියාත්මක කිරීමට වගබලාගත්තේය. බාලදක්ෂ ව්‍යාපාර කෙමෙන් ආරම්භ වන්නට පටන්ගැණුනි. එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී 1907 දී පළමු බාලදක්ෂ කදවුර ළමයින් 20 දෙනෙක් පමණ සහභාගී කරවාගනිමින් පැවැත්වීය. බාලදක්ෂ විද්‍යාව 1908 ජනවාරි 15 වන බදාදා සිට නිකුත්වන්නට පටන් ගැණිනි. ඒ දෙසතියකට වරක් පළවන සගරාවක් ලෙසිනි.

බාලදක්ෂ ව්‍යාපාරය 1910 වන විට කොතරම් සාර්තකත්වයට පත්වී තිබුණේද යත් බී.පී තුමන්ගේ ජීවිතයම ඒ සහදා වැයවන බව ඔහ්ට දැණුනි. ඒ වන විට ඔහු ලුතිනන් ජෙනරල් තනතුර දක්වා උසස්වීම් ලැබ සිටියත් ඔහු බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කාලය වැය කිරීම සදහා හමුදා සේවයෙන් ඉල්ලා අස්විය. එමෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත දරුවන්ගේ ආදරය ගෞරවය දිනාගනිමින් එහි ඵල නෙළාගත්තේය. මෙතුමා 1912 දී ලොවවටා බාලදක්ෂයින් හමුවිම සදහා ලොකය වට චාරිකා කිරීම ආරම්භකළේය.1920 දී ලොකයේ සියළුම බාලදක්ෂයින් එංගලන්යේදී හමුවී පළමු ලෝක බාලදක්ෂ ජැම්බරිය පැවැත්වීය. එහිදී බී.පි තුමන් ලෝක බාලදක්ෂ නායකයා ලෙස පත්විය. මේ අවස්ථාවේදී පස්වන ජෝර්ජ් රජතුමා විසින් බී.පී. තුමන් ගිල්වෙල්හීබේඩ්න් පවෙල් සාමි යන වංශාධිපති තනතුරකින් පිදුම් ලබනු ලැබීය. වයස අවුරුදු 80 පමණ වන විට බී.පී තුමන් ක්‍රමයෙන් ශරීර ශක්තියෙන් පිරිහෙන්නට පටන් ගැණුනිග ඔහු අප්‍රිකාවට ගියේය. ඒ ඔහුගේ බාර්යාව වු බේඩ්න් පවෙල් මැතිණියද සමගය. ඔවුහු කෙන්යාවේ චමත්කාරජනක පරිසරයක් වාසයට තෝරා ගෙන එහි ජීවත් විය. 1941 ජනවාරි 08 වන දින බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘතුමන් පරලෝ සැපත්වන්නට විය.

බාලදක්ෂ ව්‍යාපාරය ළමුන් මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කරන අතර ම නිර්මාණාත්මක පුද්ගලයකු ලොවට දායාද කිරීම අරමුණු කරගත් ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි. 1907 එංගලන්තයේ බ‍්‍රවුන්සී දුපතේ දී ආරම්භ වුණු බාලදක්ෂ ව්‍යාපාරයට මේ වන විට වසර 108ත් ගත වී ඇති අතර මෙහි නිර්මාතෘවරයා වන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිතන් ජෙනරාල්වරයෙකු වූ රෝබට් ස්ටීවන් ස්මිත් බේඩන් පවල් සාමිවරයායි. මෙහි ආරම්භයේ සිට වසර පහක් ගතවූ තැන එනම් 1912 දී මෙම ව්‍යාපාරය එවකට මෙහි සේවය කළ ඉංග‍්‍රීසි ජාතික ඉංජිනේරුවරයෙකු වූ  ස්ටීවන්  මහතා විසින් ලංකාවට හඳුන්වාදෙන ලදී.
  
රෝබට් ස්ටීවන් ස්මිත් බේඩන් පවල් නොහොත් ලොව පුරා බාලදක්ෂයන් ආදරයෙන් අමතන බී.පී තුමා 1857 පෙබරවාරි මස 22 දෙවන දින උපත ලබා ඇති අතර එතුමා සිහිකිරීම උදෙසා සෑම වසරකම පෙබරවාරි 22 දින ලෝක බාලදක්ෂ දිනය ලෙස නම් කර ඇත. සෑම රටකම සිටින බාලදක්ෂයන් එදිනට එතුමා සිහිකර විවිධ වැඩසටහන් පවත්වයි. 
 
මෙවර ලෝක බාලදක්ෂ දින සැමරුම් ජාතික උත්සවය හංවැල්ල රාජසිංහ විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයෙදී පැවැත්විණි. මේ අවස්ථාවට නියෝජ්‍ය ප‍්‍රධාන කොමසාරිස් සිරාස් සාලි, සහය ප‍්‍රධාන කොමසාරිස්වරුන් වන ඩේමියන් සිල්වා හා කපිල කල්‍යාන පෙරේරා, අවිස්සාවේල්ල දිසා බාලදක්ෂ සංගමයේ සභාපති මීගමුව මහ අධිකරණ විණිසුරු කරුණාතිලක යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් හා බාලදක්ෂයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Friday, February 20, 2015

නීතිය විනිවිද දුටු දැස්‌ අහිමි බාලදක්ෂයා

නීති පීඨ ඉතිහා‍සයේ පළමු පන්තියේ ගෞරව සාමර්ථ්‍යයක් දිනූ අන්ධ බාලදක්ෂයා

කඳු නැඟ, කඹවල එල්ලී පාගමන් ගිහින් බාලදක්ෂ ජනපති සම්මානයත් දිනලා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ වසර හැට අටකට ආසන්න ඉතිහාස කාලයේ නීති උපාධියේ පළමු පන්තියේ ගෞරව සාමර්ථ්‍යය ලැබූවන් හත් අට ‍දෙනෙකුට වඩා නැත. මහාචාර්ය ජී.එල්.පීරිස්, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර එම හත්අට දෙනා අතරින් ප්‍රකට චරිත දෙකකි.


පසුගිය ජූනි එකොළොස්වන බදාදා සවස් කාලයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයක් පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ඔස්වල්ඩ් ගෝමස් හිටපු අගරදගුරු තුමා ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. උපාධි සහතික ලැබූ දෙසිය පනහක් පමණ වන විද්‍යාර්ථීන් අතර පළමු පන්තියේ ගෞරව සහතික ලැබූවෝ දෙදෙනෙක් වූහ. එසේ පළමු පන්තියේ ගෞරව සහතික ලැබූ දෙදෙනා අතරින් එක් අයකු එම පළමු පන්තියේ ගෞරව සහතිකය ලැබූයේ ලංකා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉතිහාසය පුරාවට සුවිශේෂ සටහනක් ද එක්කරමිනි.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පළමු පන්තියේ ගෞරව සහතිකයක් ලැබූ ප්‍රථම දෘශ්‍යාබාධිත පුද්ගලයා ඔහුය. එපමණක් නොව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහකාර කථිකාචාර්ය ධූරයක් දැරූ දෑසම අන්ධ ප්‍රථම පුද්ගලයා ඔහුය. මෙයට පෙර නීති පීඨයේ අන්ධ අයෙකු කිසිම විටක ඉගැන්වීමේ කටයුතුවල යෙදී නැත. ඔහු මහනුවර අලවතුගොඩ සුපුන් ජයවර්ධනය. දෙදහස් නවය වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වූ සුපුන් පළමු වසර හැර දෙවන තුන්වන, හතරවන වසරවල නීති උපාධි අ‍ෙප්ක්ෂකයින් අතරින් වැඩිම ලකුණු ලැබූ කණ්ඩායම් ප්‍රමුඛයා විය.
සුපුන්ගේ සුවිශේෂත්වය එපමණක් නොවේ. 2005 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු විෂයයන් දහයකට ‘ඒ’ සාමර්ථ ලැබීය. එය දෘශ්‍යාබාධිත සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගයේදී එවැනි සාමර්ථ්‍යයක් ලැබූ ප්‍රථම අවස්ථාව විය. උසස් පෙළ සඳහා දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ සිංහල විෂයන් හැදෑර ඔහු උසස් පෙළ විභාගයේ දී ‘ඒ’ සාමාර්ථතුනක් ලැබීය. එම විභාගයේ දී ඔහු මධ්‍යම පළාතේ හත්වැනියා විය. මුළු ශ්‍රී ලංකාවෙන්ම අනූඑක්වැනියා විය.

ඕනෑම රටක බාලදක්ෂ ව්‍යාපාරයේ නිරතව සිටින්නෙකුට ලබාගත හැකි ඉහළම පදක්කම සහ සම්මානය, ජනාධිපති බාලදක්ෂ පදක්කම සහ සම්මානය වෙයි. 2007 වසරේදී සුපුන් ජයවර්ධන බාලදක්ෂ ජනාධිපති සම්මානය දිනාගත්තේය. ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට බාලදක්ෂ ජනාධිපති සම්මාන පදක්කම හිමිකරගත් දෑසම අන්ධ පුද්ගලයා ඔහුය. ශ්‍රී ලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ ද එවැනි ඉහළ තත්ත්වයේ බාලදක්ෂ පදක්කමක් හිමිකරගත් ප්‍රථම අන්ධ පුද්ගලයා ඔහුය.

සුපුන් ජයවර්ධන උපත ලැබීමට පෙර ඔහුගේ පියාත් මවත් වාසය කළේ ඕමාන් රාජ්‍යයේය. වික්‍රමසිංහ ජයවර්ධන හෙවත් සුපුන්ගේ පියා එහි වාස්තු විද්‍යාඥයෙකි. චන්දි යසෝදරා නඩුවත්ත වන ඔහුගෙ මව ද පියා හා සමඟ ඕමානයෙහි වාසය කළාය. දරුවා ප්‍රසූත කිරීමේ දින ළං වූ විට චන්දි යසෝදරා, මහනුවර අලවතුගොඩ සිය නිවසට ආවේ තම කුළුඳුල් දරුවා, තමන් උපන් රටේම උපත ලබනු දැකීමට කැමැති වූ නිසාය. දරුවා උපත ලබා මාස තුනකින් ඇය නැවතත් ඕමානයෙහි තම සැමියා වෙත ගියාය.
තුන් මසැති බිලිඳා දීර්ඝ ගුවන් ගමනක යෙදුණ නිසා මවුපියෝ බිලිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනගැනීමට වෛද්‍යවරයකු වෙත රැගෙන ගියහ. ඇසේ සුද නිසා දරුවා උපතින්ම අන්ධයකු බව ඔවුන් දැනගත්තේ එහිදී සිදුකෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදීය.


ජයවර්ධන යුවළ දරුවා මැදිකරගෙන දින ගණනක් නොකා නොබී වැලපුණහ. අවසානයේ ඔවුහු සිත් දැඩිකර ගත්හ. තම අන්ධ පුතා ජීවිතය ජයගන්නා දිරිය මිනිසෙකු බවට පත්කිරීමට ඔවුහු අධිෂ්ඨාන කරගත්හ.
සුපුන් ජයවර්ධන මාස හතරේදී ශ්‍රී ලංකාවට රැගෙන විත් මහනුවර රෝහලේ දී අක්ෂි ශල්‍යකර්මයක් සිදුකළත් එය ද සාර්ථක නොවීය. “පුතා ටිකින් ටික ලොකු වෙද්දී, ඇස් පේන සාමාන්‍ය දරුවෙක් වාගේ සෙල්ලම් කරන්න අපි ඉඩ දුන්නා. එයා කරන්න යන කිසිම දෙයකට අපි එපාය කියන වචනය කිව්වෙ නැහැ. එයාට ඕන දෙයක් කරන්න ඉඩ දීලා අපි හොඳට පරීක්ෂාවෙන් බලාගෙන හිටියා.” චන්දි යසෝදරා පවසන්නේ, සුපුන් කුඩා කාලයේ පටන් ආත්මශක්තිය පිරුණු දරුවෙකු වශයෙන් වර්ධනය වීමට ඉඩහසර සලසා දුන් ආකාරය පිළිබඳවය. “අපි පුතාට ගොඩාක් කතාන්දර කියලා දුන්නා. අපූරු සින්දු පුතා වෙනුවෙන් ගායනා කළා” තම එකම අන්ධ පුතු වෙනුවෙන් මවුපියන් දෙදෙනා පාරමිතා පිරුවේ එසේය.

මේ අතර වික්‍රමසිංහ ජයවර්ධනත්, චන්දි යසෝදරාත් තමන්ගේ එකම පුතා වෙනුවෙන් බ්රේල් ක්‍රමය හදාරන්නට වූහ. “මගේ එක සහෝදරියක් අන්තර්ජාලයට ගිහිල්ලා ජීවිතය සාර්ථක කරගත් අන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු එකතුකළා. ඇමෙරිකාවෙ ජීවත්වුණ අන්ධ තාරකා විද්‍යාඥයකු පිළිබඳ තොරතුරු හොයාගෙන ඇය කිව්වා, අපේ සුපුන් පුතාවත් ඒ වගේ ඉහළටම යවන්න ඕනය කියලා” සුපුන්ගේ ළමා කාලයේ කෙළිලොල්කම නැතිකර දැමීමට අන්ධ බවට නොහැකි විය. ඔහු මිදුල පුරා බයිසිකල් පැද්දේය. බිම වැටී තුවාල වූ විට බෙහෙත් දමාගෙන නැවතත් බයිසිකලය පැද්දේය. සුපුන් තමන්ගේ නිවසට පහතින් පිහිටි වෙල් ඉපැනැල්ලේ දී ගමේ යහළු යෙහෙළියන් සමඟ හොඳ හැටි සෙල්ලම් කළේය.
ආබාධිත පුද්ගලයන්ට ලැබෙන විශේෂ අධ්‍යාපන පහසුකම් යටතේ, සුපුන් අවුරුදු හතරයි මාස නවයේ දී මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඇතුළුවීමට හැකිවිය.

“අපමණ ධෛර්යවන්ත මගෙ අම්ම තාත්තා ‍මගෙ ඥාතීන් එක්ක කිංස්වුඩ් විද්‍යාලයත් මගෙ ජීවිතය ජයගන්න අපමණ ධෛර්යයක් සහ ආලෝකයක් දුන්නා” සුපුන් පවසයි. “පළමුවන වසරේදී ලලිත් දිසානායක කියන ගුරුවරයාගෙන් බ්රේල් ක්‍රමය පිළිබඳව විශේෂ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව පුතාට ලැබුණා.” සුපුන්ගේ පියා පවසන්නේ මුල් කාලයේ සුපුන් අධ්‍යාපනයට යොමු වූ හුරුවූ අන්දම පිළිබඳවය. “සයවැනි වසරේ ඉඳලා මම අනෙක් ළමයි එක්ක සාමාන්‍ය පන්තියක ඉගෙනගත්තා. 6 පවසරේදී පාසලේ බාලදක්‍ෂ කණ්‌ඩායමට බැඳුනා. බාලදක්‍ෂ ක්‍රියාකාරකම්වලදී එයාට තරගකාරී බව තනිව කටයුතු කිරීම වැනි වැදගත් දේවල් ඉගෙන ගන්න අවස්‌ථාව ලැබුණා. මම පාඩම් සටහන් බ්රේල් ක්‍රමයෙන් ලියාගත්තා. විභාගවලදී අනෙක් ළමයින්ට ප්‍රශ්න පත්‍ර බෙදුවට පසුව ගුරුවරු මට ප්‍රශ්න පත්‍රය කියෙව්වා. මම බ්රේල් ක්‍රමයට ලිව්වා” තම ප්‍රාථමික අධ්‍යාපනය එලෙසින් සුපුන් මතකයට නඟයි. 1999 දී ඔහු පස්වැනි වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේය. ඒ වන විට සුපුන් සාමාන්‍ය දැනීම අතින් ඉහළම තැනක සිටියේය. මේ අතර ඔහුගේ මව විවිධ ශිෂ්‍යත්ව විභාගවල උපකාර පොත් ගෙනැවිත් ඒවා ඔහුට කියවා විභාගය සඳහා ඔහු දැනුමෙන් සන්නද්ධ කළාය. පස්වැනි වසර ශිෂ්‍යත්ව විභාගයේ දී ඔහු ලකුණු එකසිය හැත්තෑහතරක් ගත්තේය. එවර පස්වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි හොඳින් දෑස් පෙනෙන කිංස්වුඩ් සිසුන් පරදවා මේ අන්ධ දරුවා විභාගයෙන් තුන්වැනි ස්ථානය ගත්තේය.

සුපුන් ජයවර්ධන පදිංචිව සිටි අලවතුගොඩ නිවසේ සිට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට සැතපුම් දහයක් දුර විය. මුල් වසර දෙකේදී ඔහුගේ මව, ඔහු පාසලට ගෙන ගියාය. “පසුව මම වෑන් එකක පාසල් යන්න පුරුදු වුණා. ඒ හැම දවසකම මගෙ යාළුවො, මගෙ පන්තියේ මගේ ඩෙස්ක් එක ළඟටම මාව ගිහිල්ල ඇරලුවා”, සුපුන් කෘතඥපූර්වකව පවසයි. “දෙදහස් එක අවුරුද්දෙ, ඒ කියන්නෙ සුපුන් හත්වෙනි වසරෙ ඉගෙනුම ලබද්දී කිංස්වුඩ් විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. 2002 වසරේ බළපිටියෙ පවත්වපු හයවන ජාතික බාලදක්ෂ ජම්බෝරියට ද පුතා ගියා” සුපුන්ගේ මව පවසයි. වසරක් පාසා පැවැත්වෙන ජේ‍.ජේ.පී.දෙහිගම අනුස්මරණ කඳු ගවේෂණ තරගාවලිය සඳහා 2004 වසරේදී ඔහු කණ්ඩායමක් සමඟ හන්තාන කන්ද තරණය කළේය. එවර වසරේ හොඳම කඳු ගවේෂණ කණ්ඩායම වූයේ සුපුන් ජයවර්ධන සහභාගී වූ කණ්ඩායමය.

කිංස්‌වුඩ් එකේ ලලිත් දිසානායක සර් තමයි මේ පදක්‌කම් සම්මාන තෑගී උපාධි අතරට යන්න මට මුල් අඩිතාලම දමලා දුන්නේ. කපිල ප්‍රියන්ත සර් බාලදක්‌ෂ පුහුණු කදවුරු වලදී මට තනිව දෙපයින් නැගිටින්න පුහුණු කළා. බාලදක්‍ෂ කණ්‌ඩායම එක්‌ක එකතු වෙලා ඉද්දි "සුමුදුට බෑ" කියලා මොන අවස්‌ථාවකදීවත් කිව්වේ නෑ. සුමුදු තනිව සපත්තුවල ලේස්‌ දාන්න, සුමුදු තනිවම සපත්තු දාන්න, වෙලාව, වේගය බොහෝම වැදගත්. තනිවම හොයාගන්න, කියලා කපිල සර් කියපු දේ මට මේ දැනුත් ඇහෙනවා. ආසියාවේ ප්‍රථම ජනාධිපති පදක්‌කම් ලාභී දෘෂ්‍යාබාධිත බාලදක්‍ෂයා ලෙස පිදුම් ලබන්නට මට ශක්‌තිය පන්නරය දුන්නේ, කපිල සර් ඇතුළු කිංස්‌වුඩ් මාතාව. මම අදටත් නුවර යද්දි මගේ ඉස්‌කොලෙට වැදලා යන්නේ. මගේ මුළු ජීවිතයම ගොඩ ගත්තේ මා තුළ මහා ආත්ම විශ්වාසයක්‌ ගොඩනැගුවේ කිංස්‌වුඩ් විද්‍යාලය නිසයි."  ඒ් සුපුන්ගෙ අදහස්.

ජනාධිපති බාලදක්ෂ සම්මාන පදක්කම දිනාගැනීම සඳහා කඹවල එල්ලී ගමන් කළ යුතු විය. ජල ක්‍රීඩාවල නිරත විය යුතුය. ප්‍රථමාධාර දැනුම අවශ්‍ය විය. සුපුන් ජයවර්ධන අන්ධ සිසුවෙකු වූවත් ඒ සියල්ලක්ම අඩුවක් නැතිව සපිරුවේය. ඒ සඳහා විශේෂ පාගමන් ද කළ යුතු විය. ඔහු තවත් දෙදෙනෙකු සමඟ ඇඳුම්, ආහාර පාන හට්ටි මුට්ටි ද ඔසවාගෙන මහනුවර සිට තැන්නකුඹුර හරහා පල්ලකැලේ බාලදක්ෂ මූලස්ථානයට ගමන් කළේය. එදින රාත්‍රියේ, එහිදී ආහාරපාන පිළියෙල කර, අනුභව කර, එහි ගතකර කටුගස්තොට හරහා මහනුවර බාලදක්ෂ මූලස්ථානය වෙත පැමිණියේය. “පස්සෙ මම තවත් යාළුවෙකුත් එක්ක කිලෝ මීටර් තිස් දෙකක් වන “ධීරයා” පාගමනත් නිමා කළා”, සුපුන් ජයවර්ධනට ජනාධිපති බාලදක්ෂ සම්මාන පදක්කමට හිමිකම් කීමට ලැබුණේ එවැනි වීර්ය වික්‍රමාන්විත සපිරීමෙන් පසුවය. 2004 වසරේ පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු 08 වැනි දින දක්වා ජපානයේ පැවැති බාලදක්ෂ උත්සවයකට ද සුපුන් සහභාගී විය.

“කිංස්වුඩ් එ‍ෙක්දි මම වූෂූ ස‍ටන් කලාව ද ඉගෙනගත්තා. මේක හුඟාක් වෙලාවට ඇස් බැඳගෙන කරන සටන් කලාවක් නිසා මට ඒක ඉගෙනගන්න ගොඩාක් පහසු වුණා. ඇස් පේන්නෙ නැතිවුණාට සුළං පහරේ ශබ්දය අනුව අනෙක් කෙනා ගහන පහර වළක්වා ගන්න පුළුවන් වුණා” සුපුන් පවසයි. “කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබද්දි සෑම පන්තියකම ඉස්සරහම ඩෙස්ක් එක මට ලැබුණා. හැම ගුරුවරයකුම උගන්වද්දි එක පාඩමකින් තවත් පාඩමකට ගියේ ඒ පාඩම හොඳින් මම අවබෝධ කරගත්ත ද කියලා දැනගත් පසුවයි. ඇඩ්වාන්ස් ලෙවල් කරද්දි ආර්.මිත්‍රපාල, ජයලතා කුලසිංහ, උපාලි දිසානායක ගුරුවරුන් වගේම, විදුහල්පති රංජිත් චන්ද්‍රසේකර ගුරු පියාණන් ද මට උදව් කළා” සුපුන් ස්තුතිපූර්වකව පවසයි. ඒ සියල්ල අතරම සුපුන් සෞන්දර්ය විෂයන් කෙරෙහි ද දක්ෂතාවක් දක්වයි. වයලීනය සහ ගිටාරය වාදනය කිරීමට ඔහුට මැනවින් පුළුවන. චිත්‍රශිල්පය කෙරෙහි ද ඔහු ළැදියාවක් දක්වයි. “පුතා වයස අවුරුදු හත කාලයේ දී මුහුදු වෙරළ වගේ ස්වභාවික දර්ශන අපූරුවට සිතුවම් කළා. රැලි නඟින මුහුද, දිගු වෙරළ, වැටකෙයියා ගස් ඒ චිත්‍රවල තිබුණා. ඒ ඔක්කොම අපි කියපු කතාවලින් ඔහු හිතේ මවාගත්ත දේවල්” සුපුන්ගේ මව පවසයි. කුඩා වියේ පටන් සුපුන්ගේ ආශාව වූයේ නීතිය ඉගෙනීමටය. කලා විෂයයන් තෝරාගන්නේ ඉගෙනීමට එතරම් දක්ෂතාවක් නැති අය කියා මතයක් ඇති නිසා සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු ඉහළින්ම සමත්වීමට උත්සහ කළේය. එම උත්සහයේ ප්‍රතිඵල වශයෙන් ඔහුට විෂයන් දහයටම ‘ඒ’ සාමර්ථ්‍යය ලැබිණි. උසස් පෙළට ඔහු තෝරාගත්තේ නීතිය හැදෑරීමට අවශ්‍ය විෂයයන්ය. ‘ඒ’ සාමාර්ථ තුනක් ලැබූ ඔහු 2009 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් විය.

සුපුන් නීති පීඨයට ඇතුළු වූ පසු නිවසේ අය අලවතුගොඩ පදිංචිය තාවකාලිකව අත්හැර කිරිබත්ගොඩ පදිංචියට පැමිණියහ. “මුල්ම දවස්වල අම්ම කිරිබත්ගොඩ ඉඳල කොළඹ විශ්වවිද්‍යාලයට රැගෙන ආවා. පසුව ගෙනගියා. කඩුගන්නාවෙ ඉඳල අපේ පැකල්ටියට ආපු මලිත් කියල යාළුවෙක් අපේ ගෙදර නතරවෙන්න ආවා. ඒක නිසා අම්මගේ ගමන නතර වුණා” සුපුන් පවසන්නේ නිවසේ සිට විශ්වවිද්‍යාලයට ආගිය අන්දම පිළිබඳවය. යහළුවන් සමඟ ගමන් කිරීම ආරම්භ කළ පසු සුදු සැරයටිය අත්හැර දැමූ බව සුපුන් “යාළුවො මගෙ උදව්වට හිටියා. ඒක නිසා අමුතු ආධාරකයක් ඕනෑවුණේ නැහැ. ඒත් මම දැන් සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් නීති පීඨයේම වැඩකරන නිසා ආයෙත් සුදු සැරයටිය අතට ගත්තා”.
දෑසම නොපෙනෙන සුපුන් නීති උපාධිය හැදෑරීමට පටන්ගත්තත් එහි පුස්තකාලයේ බ්රේල් ක්‍රමයෙන්. නීතිය ගැන ලියැවුණ පොත් තිබුණේ නැත. එනිසා එවැනි නීති පොත් බොහෝමයක් ඔහුට ඇසෙන ලෙස කියෙව්වෙ ඔහුගේ අම්මාය. සුපුන් නීති පීඨයේ තුන්වැනි වසරේ ‍ඉගෙනුම ලබද්දී ඕමානයේ සේවය කළ සුපුන්ගේ පියා ද ලංකාවට පැමිණියේ සුපුන්ගේ ඉගෙනීමේ කටයුතුවලට සහාය දීමටය.

“අන්ධ අය කතාකරන පිළිවෙළින් ඇවිදින පිළිවෙළින් ඔහු අන්ධයෙක් බව කියන්න පුළුවන්. හැම අන්ධ කෙනෙකුටම ඒවා ‍පොදුයි. නමුත් ඒවා වෙනස් කරන්න පුළුවන්. මගේ අම්ම තාත්තා මගෙ ළඟ තිබුණ එම “අන්ධ පුරුදු” එක් එක් අභ්‍යාසවලින්ම ඉවත් කළා. දැන් කාටවත් මාව අන්ධ පුද්ගලයෙක් කියල එකපාර අඳුනගන්න අමාරුයි.” තම දෙමවුපියන් තමන් වෙනුවෙන් සිදු කළ කැපකිරීම් ගැන සුපුන් කතාකරන්නේ අප්‍රමාණ භක්තියකිනි.

“උපතින්ම දෑසම අන්ධ මට මෙතැනට එන්න මගෙ නෑදෑයො, අලවතුගොඩ සුපුන්, චන්දන වගේ යාළුවො විතරක් නොවෙයි මාර්ග අංක 154 කිරිබත්ගොඩ - අඟුලාන බස්වල රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තුරු මට ගොඩාක් උදව් කළා” සුපුන් කියන්නේ ඒ සැමදෙනාම තමාගේ ජයග්‍රහණයට සාංගික වූ බවය.
සුපුන් 2010 වසරේ හොඳම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සම්මානය ලබාගත් අතර 2011 වසරේ ඒ.බී.කුරේ අනුස්මරණ තිළිණය සහ පී.එච්.ඩී.කරුණාතිලක අනුස්මරණ තිළිණය ලැබීය. පසුගිය බදාදා සවස පැවැති නීති පීඨයේ උපාධි ප්‍රදාන උත්සවයේ දී සුපුන් පළමු පන්තියේ ගෞරව උපාධිය සමඟ, ව්‍යවස්ථා නීතිය පිළිබඳව ප්‍රධාන විනිසුරු එච්.එන්.ජී.ප්‍රනාන්දු අනුස්මරණ තිළිණය, ජාත්‍යන්තර නීතිය පිළිබඳව විනිසුරු සී.ජී.වීරමන්ත්‍රී අනුස්මරණ තිළිණය, පරිපාලන නීතිය පිළිබඳ විනිසුරු මාර්ක් ප්‍රනාන්දු අනුස්මරණ තිළිණය, විශ්වලිංගම් සහ රාජකෝනම් බුවනසුන්දරම් අනුස්මරණ රන් තිළිණය, නීතිය සඳහා ප්‍රදානය කරන කේ.සිංබා අනුස්මරණ තිළිණය, පොන්නම්බලම් අරුණාචලම් අනුස්මරණ තිළිණය, හොඳම ශිෂ්‍යයා වෙනුවෙන් නීති පීඨාධිපති තිළිණය ද හිමිකර ගත්තේය.

සුමුදුගේ වචන ස්‌ථිරය. දැඩිය. ඔහු මේ වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහය කථිකාචාර්ය වරයෙකුව කටයුතු කරයි. අන්තර්ජාතික නීතිය සහ තානාපතිවේදය පිළිබදව ඩිප්ලෝමාවක්‌ ද හදාරයි. ඔහුට සිහිනයක්‌ නැතත් ජීවිතය අර්ථවත් කර ගැනීමේ අරමුණක්‌ තිබේ. වසර හතරක්‌ නීති පීඨයේ ඉගෙනුම ලැබු සිසුන් අතරින් සුවිශේෂී දක්‍ෂතා දැක්‌වු සිසුන්ගේ නම් පෙළ කියවද්දී සුමුදු ජයවර්ධනගේ නම තුන් වරක්‌ එක පෙළටත්, තවත් ක්‍ෂණයකින් සිවු වරක්‌ එක පෙළටත් කියවිණි. මෙම වසරේ නීති පීඨයේ සුවිශේෂී දක්‌ෂතා වෙනුවෙන් පිරිනමන පදක්‌කම් සහ ත්‍යාග එකොළාහෙන් දහයකම හිමිකරුවා ඔහු ය. එහිදි ලද ඔහු ලද පදක්‌කම් හා ත්‍යාග නම්, මෙසේයි.

* අණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නීතිය 11 වැඩිම ලකුණු සදහා පිරිනමන අග විනිසුරු එච්.එන්.පී. ප්‍රනාන්දු අනුස්‌මරණ ත්‍යාගය

* පොදු අන්තර් ජාතික නීතිය වැඩිම ලකුණු සදහා පිරිනමන විනිසුරු සී.ජී. වීරමන්ත්‍රි ත්‍යාගය

* පරිපාලන නීතිය වැඩිම ලකුණු සදහා පිරිනමන විනිසුරු මාක්‌ ප්‍රනාන්දු ත්‍යාගය

* විශිෂ්ටතම ප්‍රථිඵල සදහා පිරිනමන ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් අනුස්‌මරණ ත්‍යාගය හා රන් පදක්‌කම.

* විශිෂ්ටතම ප්‍රථිඵල සදහා පිරිනමන කේ. සින්යා ත්‍යාගය සහ රන් පදක්‌කම

* ප්‍රථම වසරේ විශිෂ්ට ප්‍රථිඵල සදහා පිරිනමන ඒ.බී. කුරේ අනුස්‌මරණ ත්‍යාගය

* තුන්වන වසරේ විශිෂ්ටතම ප්‍රථිඵල සදහා පිරිනමන පී.ඩී.එච්. කරුණාතිලක අනුස්‌මරණ ත්‍යාගය

* හතර වන වසර විශිෂ්ටතම ප්‍රථිඵල සදහා පිරිනමන විශ්වලිංගම් සහ රාජකුණාම් බුවනේ සුන්දරම් අනුස්‌මරණ රන් පදක්‌කම

* පීඨයේ විශිෂ්ටතම ශිෂ්‍යා සදහා පිරිනමන නීති පීඨ පීඨාධිපති සම්මානය සහ රන් පදක්‌කම

* වසර හතරේ හොදම ලකුණු ලැබු ශිෂ්‍යයාට හිමි රන් පදක්‌කම සහ නීතිවේදී ප්‍රථම පෙළ උපාධිය

එපමණක්‌ ද නොව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ 1947 - 2014 දක්‌වා කාලය තුළ ප්‍රමුඛ පෙළ උපාධිය ලබා ඇති අට දෙනා අතරට එක්‌ වීමට ද සුමුදුට භාග්‍ය හිමි විණි.
සුපුන් ජයවර්ධන මේ වනවිට කොලඹ විශ්ව විද්‍යලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කරනු ලැබේ. මේ සා දැනුම් සම්භාරයකට උරුමකම් කියන්නට සුමුදුට හැකි වුයේ ඔහුගේ ඇති අධිෂ්ඨානයත්, උත්සාහයත් සාමුහිකත්වයේ බැදීමත් නිසාවෙනි. අවශ්‍ය උත්සාහය පමණි. දිරිමත් බාලදක්ෂයෙකු කිසිකලෙකවත් ආබාධිතයෙක්‌ නොවේ. ඔහු සැබෑම බාලදක්ෂයෙක් වන්නේ ඒ් නිසාවෙනි. සුපුන් බාලදක්ෂයාගේ ජීවිතාදර්ශය, සෙසු සියලු දෙනා අාදර්ශයට ගතයුත්තේ මේ නිසා බව අපි තරයේ විශ්වාස කරමු. 



 

සඳ තරණය කළ බාලදක්ෂයාගේ කතාව

සඳ තරණය කළ පළමු බාලදක්ෂයා

ප්‍රථම සඳ තරණය

දිනය - 1969 . 07. 21 ~ වෙලාව - ප. ව. 7 .02 ~ යානය - ඇපොලෝ 11

අභ්‍යවකාශගාමින්

නීල් ආම්ස්ටෝන් ~ මයිකල් කෝලින්ස් ~ එඩ්වින් ඕල්ඩ්‍රිරින්


"මෙය මිනිසාට කුඩා පියවරක් වුවත් මිනිස් සංහතියට මෙය යෝධ පිම්මක් වනු ඇත".

පොලොවෙන් කිලෝමීටර් 384,400 ක් දුරින් පිහිටි සඳ මත සිට මේ අභිමානවත් ප්‍රකාශය කළ ඒ අසිරිමත් මිනිසා 2012 අගෝස්තු 25 වැනිදා මෙලොවින් සමුගත්තේය. ඔහු අන් කිසිවකු නොව සඳ මත මුළින්ම සිය පා සළකුණ සටහන් කළ ඇමෙරිකාන් ජාතික නීල් ආම්ස්ට්‍රෝන්ය.ඔහුගේ නමට ඉදිරියෙන් ඇති තනතුරු හා නම්බු නාම බොහෝය. ඒවා අතුරින් ගගනගාමී අත්හදාබැලීමේ ගුවන් නියමු ගගන ඉංජිනේරු සරසවි මහාචාර්ය සහ එක්සත් ජනපද නාවික ගුවන් නියමු ආදී ඒවා ප්‍රමුඛ වේ. ඔහු ඇමෙරිකා එකසත් ජනපදයේ පර්ඩියු හා දකුණු කැලිෆෝර්නියානු සරසවිවල උපාධිධරයකු ද වන්නේය.


සියල්ලටම වඩා අප ඔහු හඳුන්නනේ සඳ මත පා තැබූ 
මුල් ම මිනිසා ලෙසිනි.

වර්ෂ 1930 අගෝස්තු 5 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ වැප්කොනෙටා හිදී උපත ලැබුවේය. ඔහුට ඇත්තේ ස්කොට් - ජර්මානු සම්භවයකි. ඔහුට ජූන් නමින් සොයුරියක් ද ඩීන් නමින් සොයුරෙක් ද සිටියේය. නීල් ආම්ස්ට්‍රෝන්ගේ උපතින් පසුව ගෙවුණු වසර 15 මුළුල්ලේම ආම්ස්ට්‍රෝන් පවුල ඔහියෝ ජනපදයේ විවිධ ස්ථානවලට සංක්‍රමණය වෙමින් එකිනෙකට වෙනස් නගර 20 කටත් වඩා ජීවත් වූහ. අහසේ පියඹා යන්නට ආම්ස්ට්‍රෝන් හට කැමැත්තක් ඇති වූයේ මේ කාලයේදීය. ආම්ස්ට්‍රෝන්ගේ පියා ඔහුව ක්ලීව්ලන්තයේ ගුවන් තොටුපළලකට කැටිව ගියේය. ඒ වන විට ආම්ස්ට්‍රෝන් දෙහැවිරිදි වියෙහි පසු විය. 


1936 ජූලි 30 වැනිදා ඔහු සිය මුල්ම අහස් ගමන් අත්දුටුවේය. ඒ වන විට ඔහු සයවැනි වියෙහි පසුවූයේය 1944 දී බ්ලූම් උසස් විද්‍යාලයට ඇතුළු වූ ආම්ස්ට්‍රෝන් එම පළාතේ පිහිටි ගුවන් තොටුපළකින් ගුවන් ගමන් පිළිබඳ හදාරන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස 15 හැවිරිදි වියට පා තබනවාත් සමගම ඔහුට ගුවන් යානා පැදවීම පිළිබඳ සහතිකයක් දිනා ගැනීමට හැකිවිය. ඒ වන විට බාලදක්ෂ කණ්ඩායමකට අනුයුක්තව සිටි ඔහු එහි දක්ෂතා පෙන්වීමෙන් අනතුරුව ඊගල් ස්කවුට් යන නිලය හිමි කරගත්තේය.

1947 දී ආම්ස්ට්‍රෝන් පර්ඩියු සරසවියෙන් ගගන තාක්ෂණය පිළිබඳ හැදෑරීම ආරම්භ කළේය.එහි ප්‍රතිඵලයක් ලෙස 1955 දී ඔහු පර්ඩියු සරසවියෙන් ගගන තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධියක් ද හිමි කර ගත්තේය. ආම්ස්ට්‍රෝන්ගේ ඉගෙනීමේ වැඩකටයුතු එක දිගට කරගෙන යන්නට ඔහුට ඉඩකඩ නොලැබුණු තරම්ය. එයට හේතුව වූයේ කොරියානු යුද්ධයයි. වර්ෂ 1949 දී ඔහුට කොරියානු යුද්ධය සඳහා කැඳවීමක් ලැබිණි. 
එහිදී නාවික ගුවන් භටයකු ලෙස ඔහු සටන් සහිත ගුවන් ගමන් 78 කට දායක වූයේය. යුද සේවයෙන් 1952 දී සමුගත් ඔහු යළි අධ්‍යාපන වැඩකටයුතු කෙරෙහි සිත යොමු කරන්නට පටන් ගත්තේය. ඉන් වසර කිහිපයකට පසු ඔහු ජාතික ගගන විද්‍යා උපදේශන කමිටුව සඳහා තෝරා ගැනුණි. පසු කාලයේදී ජාතික ගගන විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් නාසා ආයතනය  NASA බවට පත්වූයේ මෙයයි. ඔහු මෙම රාජ්‍ය ආයතනයේ විවිධ තනතුරු රැසක්ම දරුවේය. ඒ අතරින් අත්හදාබැලීමේ ගුවන් නියමු තනතුර සුවිශේෂීය.


මෙහිදි සිදුවන්නේ අලුතින් නිෂ්පාදනය කරන්නාවූ ගුවන් යානා අත්හදා බැලීම් සඳහා සහභාගිවීමය. මේ අතුරින් අධිවේගී ගුවන් යානා සඳහා විශේෂ ස්ථානයක් හිමිවේ.ඔහුගේ අත්හදා බැලීමේ ගුවන් යානා අතර පැයට සැතපුම් 4,000 ක වේගය ඉක්මවා යන ඩී 15 වර්ගයේ ගුවන් යානා ද තිබිණි. ඔහුගේ ගගනගාමී ජීවිතය ආරම්භවන්නේ ජීවිතය ස්ථාවර වන්නට පටන් ගැනීමත් සමගය. ඔහු1956 ජනවාරි 28 වැනිදා ජැනට් ෂැරොන් හා විවාහ දිවියට එළැඹියේය. වැඩි කාලයක් නොගොසින් ඔවුනගේ පවුලේ සාමාජික සංඛ්‍යාව වැඩිවන්නට පටන් ගැනුණි. ඒ 1957 දී ඔවුනගේ පුතු වූ එරික් සහ 1959 දී කැරන් දියණිය ඔවුන්ගේ ජීවිත හා එක්වීමත් සමගිනි. නමුත් කැරන් වැඩි කාලයක් මේ පවුලේ සාමාජිකාවක ලෙසින් සිටින්නට වාසනාව නොලැබුවාය. ඇය 1962 දී මොළයේ පිළිකාවක් වැළඳීමෙන් සදහටම ආම්ස්ට්‍රෝන් පවුලෙන් නික්ම ගියාය. ඊට පසු වසරේදී මාර්ක් ඔවුනගේ පවුලට පැමිණියේය. ඒ ඔවුන්ගේ ඊළඟ පුතු ය. නීල් ආම්ස්ට්‍රෝන් සිය අභ්‍යවකාශ ජීවිතය ආරම්භ කළේද මේ වසරේදීමය. ඔහු සිය පවුලේ පිරිසත් සමග ටෙක්සාස් ජනපදයේ හූස්ටන් කරා පදිංචියට ගියේය. සිය කුළුඳුල් අභ්‍යවකාශ චාරිකාව සඳහා යොදා ගැනුණු ජෙමිනි 7 යානයේ අණදෙන නියමුවා වූයේ ඔහුය.

සඳෙන් ගෙන බව පැවසෙන පාෂාණ
ඔහුත් ඔහුගේ සහකාර නියමු ඩේවිඩ් ස්කොට් 1966 මාර්තු 16 වැනිදා ජෙමිනි 7 යානයෙන් පෘථිවි කක්ෂයට ඇතුළු වූහ. මෙම චාරිකාවේදී යම් යම් ගැටළු මතුවූ බැවින් ගමන සිතුවාට වඩා ඉක්මණින් නිම කරන්නට සිදුවිය. ඔවුන් පෘථිවියට පැමිණි යානය උදේ 11ට පමණ පැසිෆික් සාගරයට පතිත විය. ආම්ස්ට්‍රෝන් අතට ඊළඟ භාරදූර වගකීම පැටවුණේ 1969 දීය. ඒ මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් සමග සඳ ගමනට සහභාගී වීමය. එය මිනිසුන් සහිත යානයක් සඳ මතට ගොඩබස්සන්නට ඇමෙරිකාව ගත් උත්සාහයන්ගේ එක් අවස්ථාවක් විය.

මෙම ගගනගාමීන් තිදෙනා 1969 ජූලි 16 වැනිදා ඇපලෝ 11 යානායෙන් සඳ කරා ගමන් ආර්ම්භ කළේය. ඇපලෝ 11 යානය,සැටර්න් 5 නම් රොකටය මගින් ගුවන් ගත වුහ.ගුවන් ගත වි විනාඩි 11 තත්පර 42 කට පසුව සැටර්න් රොකටයේ ක්‍රියාකාරිත්වය නවතා පෘථිවිය වටා කක්ෂ ගත වුහ.පසුව නියමුවන් රැගත් ඇපලෝ යානය කිසිවකුගේ මෙහෙයවීමකින් තොරව සඳ වටා කිහිපවරක් ගමන් කර ඇත.මෙහිදි හුස්ටන් මධ්‍යස්ථානය සමග නිරතුරැ ව පණිවිඩ හුවමාරැ කර ගත්හ. සඳ හෙවත් ලූනා මොඩියුලයේ නියමුවා වූයේ නීල් ආම්ස්ට්‍රෝන් වූ අතර අණදෙන මොඩියුලයේ නියමුවා වූයේ මයිකල් කොලින්ස් ය. සඳ මොඩියුලය 1969 ජූලි 29 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් සමඟ සඳ මතට ගොඩ බැස්සේ ලොවක් මවිත කරවමිනි. රාත්‍රි 10.56 ට සඳ මොඩියුලයෙන් පිටතට පැපැමිණි නීල් ආම්ස්ට්‍රෝන් මෙය මිනිසකුට කුඩා පියවරක් පමණක් වුවත් මිනිස් සංහතියට මෙය යෝධ පිම්මක් වනු ඇත යනුවෙන් විශ්වය හමුවේ අභිමානවත් ප්‍රකාශයක් කළේය. අනතුරුව සඳමත ප්‍රථම පා සටහන තැබූ ඔහු සිය සඟයා වූ එඩ්වින් ඔල්ඩ්‍රින් සමඟ එක්ව සඳ මත පැය දෙකහමාරක පමණ කාලයක් ගත කළේය. සඳ මත වූ සිය පා සළකුණ ඇතුළු තවත් බොහෝ දෑ ඔවුහු ඡායාරූප ගත කළහ. සඳෙන් නික්මුණු ඔවුන් රැගත් යානය 1969 ජූලි 24 වැනිදා හවායි සිට බටහිරින් පිහිටි පැසිෆික් සයුර මතට පතිත විය. ඉන් පසුව ඔවුන්ව සති තුනක් නිරෝධායන ක්‍රියාවලියකට බඳුන් කෙරිණි. පළමු සඳ ගමනේ රූපවාහිනී රුපරාමුවල කිසිම ගුණාත්මක බවත් නොතිබිනි. එහි දිස් වුයේ බොදව පෙනුණු සුදු භූතයන් දෙදෙනෙක් භයානක මතු පිටක ඇවිදින පෙනුමකි. මෙම රුපරාමු අපැහැදිලි වීමට හේතුව වුයේ NASA ආයතනය මේ සඳහා රුපවාහිනී ආයතන වලට
සෘජු විකාශන අවස්ථාවක් නොදීම බව පැවසේ. මිනිසාගේ මෙම විශිෂ්ටතම වික්‍රමය ඒදා ප්‍රචාරය කලේ housten වල තිබුණු
රුපවාහිනී ආයතන විසිනි.




සඳ ජයගත් නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිසට ලොව සතර අතින් සුබ පැතුම් ගළා එන්නට විය. ඇමෙරිකානු පුරවැසියකුට ලැබිය හැකි උසස්ම සම්මානයන් වූ ස්වෛරී පදක්කම හා ගෞරවනීය කොන්ග්‍රස් අභ්‍යවකාශ පදක්කම ඇතුළු තවත් සම්මාන රැසක්ම ආම්ස්ට්‍රෝන් හට හිමි විය. නීල් ආම්ස්ට්‍රෝන් නාසා ආයතනයත් සමඟ දිගටම රැඳී සිටියේය.1971 වන තුරු ඔහු ගගන විද්‍යාව පිළිබඳ නියෝජ්‍ය සහකාර පරිපාලක ලෙස සේවය කළේය.  පසුව නාසා ආයතනයෙන් ඉවත්වූ ඔහු සින්සිනාති සරසවියේ ගගන විද්‍යා ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයක් ලෙස සේවයට බැඳුනේය.

ඔහු එහි වසර 8 ක් සේවය කළේය. ඔහු 1982 - 1992 කාලයේ ගුවන් ගමන් පිළිබඳ පරිගණන තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. නීල් ආම්ස්ට්‍රෝන් යනු මිනිස් ඉතිහාසයේ සිටි සුප්‍රකටතම අභ්‍යවකාශගාමියා වුවද ඔහු නිතර උත්සාහ කළේ මහජනතාවගෙන් හා මාධ්‍යයෙන් සැඟව සිටින්නටය.

පුවත් හා රූපවාහිනි වැඩසටහසන්වලින් හැකිතාක් දුරස්ව සිටි ඔහු 2006 වසරේදී කවුරුත් නොසිතූ පරිදි සික්ස්ටි මිනිට්ස් 60 Minutes නම් සුප්‍රකට රූපවාහිනි වැඩසටහන සඳහා සහභාගීවන්නට කැමැත්ත පළ කළේය. ඔහු එහිදී තමන් සඳ මත වූ චමත්කාරය ඉතා ආන්නදජනක ලෙස සිහිපත් කළේය. එයට පෙර වසරේ, එනම් 2005 දී ඔහු First Man: The Life of Neil A. Armstrong නමින් සිය ජීවිත කතාව එළිදැක්වූයේය.

සිය ජීවිතයේ අවසාන සමය ද ඔහු කැපකළේ අභ්‍යවකාශ කටයුතු සඳහාමය. එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහන වෙනස්කම්වලට බඳුන් කිරීම කෙරෙහි සිය කනස්සල්ල පළකරමින් කළ ප්‍රකාශය සමඟ මාධ්‍යයෙන් සැඟව සිටීමට නිරන්තරව උත්සාහ ගත් මේ අසිරිමත් අභ්‍යවතාශගාමියා යළිත් ඉස්මතුවන්නට පටන් ගත්තේය.
ජනපති බැරක් ඔබාමා අභ්‍යවකාශ වැඩසටහන කෙරෙහි කළ වෙනස්කම් කෙරෙහි ආම්ස්ට්‍රෝන් සිය විරෝධය එළිපිටම පළ කළේය. 2012 අගෝස්තු මාසයේ මුල් භාගයේදී ආම්ස්ට්‍රෝන් හට හෘද බයිපාස් සැත්කමකට බඳුන්වන්නට සිදුවිය.සතියක් ගතවිය. සඳ ජයගත් මේ අසිරිමත් මිනිසාට මරණය ජයගන්නට හැකිවූයේ නැත 2012 අගෝස්තු 25වැනිදා ඔහු සියල්ල හැරදමා මෙලොවින් නික්ම ගියේය.  ඒ වනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. ඔහු ඒ වන විට සිටියේ සිය දෙවැනි බිරිඳ වූ කැරොල් හා මුල් විවාහයේ පුතුන් දෙදෙනා සමගින් ඉන්ඩියානා හිල් නගරයේය. ඔහු 1994 දී සිය ප්‍රථම බිරිඳගෙන් වෙන්වූයේ ය. ආම්ස්ට්‍රෝන්ගේ මරණයෙන් මොහොතකට පසු ඔහුගේ පුවලේ පිරිස විශේෂ නිවේදනයක් නිකුත් කළේය.


අප නීල් ආම්ස්ට්‍රෝන් හට ගෞරව කරනු වස් කුමක් කළයුතුදැයි අසන හිතවතුන් වෙනුවෙන් අපි මෙසේ ප්‍රකාශ කරමු. අප ඔබගෙන් ඉල්ලන ගෞරවය වන්නේ ඉතා සරල දෙයකි. පැහැදිලි අහසක් ඇති රාත්‍රියක ඔබ එළිමහනේ සක්මන් කරන්නේ නම් ඔබ දෙස සිනාසෙමින් බලාසිටින සඳ දෙස බලන්න. මේ අසිරිමත් මිනිසා පිළිබඳ ලෙංගතු හැඟීමෙන් සඳ දෙස බලා සිනාසෙන්න ඒ ඉල්ලීම ඉටුකරන්නට ඔබට ද මට ද වෙහෙසවිය යුතු නැත. මිනිස් සංහතිය වෙනුවෙන් මහා මෙහෙයක් කළ මේ අපූරු මිනිසා වෙනුවෙන් අප ඒ ගෞරවය කළ යුතුමය. සඳ දකින විට අප ඔහු සිහිපත් කළ යුතුමය.


 ශ්‍රි ලංකාවේ වේලා‍වෙන්

ජූලි 21
පෙරවරැ 8.08ට නීල් ආම්ස්ටෝන් චන්ද්‍රයානයේ දොරටුව විවෘත කර සඳ මතට පා තැබීම.
පා තැබිමෙන් පසු කළ ප්‍රකාශය

"මෙය මිනිසෙකුගේ එක් පියවරක් පමණයි.එහෙත් මෙය මිනිස් සංහතිය ම ඉදිරියට තැබු වේග‍වත්ම පිම්මක් වනු ඇත." (නීල් ආම්ස්ට්‍රෝංග්)

දෙවනුව ඕල්ඩ්‍රින් සඳ මතට පා තැබීය. 

රිදියෙන් නිමකළ සමරැවක් සඳ මත සවිකීරිම. එහි මෙ‍සේ සදහන් විය.
"වර්ෂ එක්දහස් නවසිය හැටනවයක් වු ජුලි 21 දින පෘථිවි ග්‍රහයා වෙතින් පැමිණි මුල්ම මිනිස්සු සඳ මතට පා තැබුහ.සාමය පතා අපි මෙහි පැමිණියෙමු."

සූර්ය සුළං රඳනකය නමැති උපකරණය සවි කිරීම.

ඇමරිකානු ජාතික ධජය තැන්පත් කිරීම.

නීල්ආම්ස්ට්‍රෝංග් විශේෂ ආයුධයක් යොදා ගෙන චන්ද්‍ර පාෂාණ සහ පස් කිලෝග්රැම් 380 ක් විශ්ලේෂණය සඳහා එක්රැස් කර ගැනීම.

ජුලි 24
නියමුවන් තිදෙනා රැගත් ඇපලෝ යානය ජුලි 24 වනදා රාත්‍රියේ පැයකට සැතපුම් 24,641 වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු විය."හෝර්නට් " නැමති නෞකාව ඇපලෝ යානය ‍ගොඩ බැස්සවීමේ දි සිදුවන අනතුරැ වළක්වාලීමට සුදානමින් සිටියේය.පැරෂුට් කුඩ තුනකින් යානයේ වේගය අඩු කරනු ලැබිණි.

 

සඳ තරණය වීඩියෝව

https://www.youtube.com/watch?feature=player_embedded&v=GS32pRTURdI