අපි ඔහු මුණගැසීමට ගියේ පානදුර ඔහුගේ නිවසටය. පිළිවෙල හා අසීමිත නිහැඩියාවකින් යුතු නිවෙසක ඔහු බොහොම සාමකාමී විශ්‍රාම දිවියක් ගෙවන බැව් බැලූ බැල්මට පෙනුණි. වයස අවුරුදු 89ක් වුවද ප්‍රසන්න සිනහවකින් හා නිරෝගී දිවි පැවැත්මකින් හෙබි මොහු මීට ප්‍රථම අපට හමු වූ කිහිප අවස්ථාවකම සිටියේ බාලදක්ෂ ඇඳුම පැළඳ තමා සතු පදක්කම් කරලාගෙනය. මෙම අවස්ථාව එබැවින් යම් තරමකට වෙනස් අත්දැකීමක් විය. එම්. එම්. පී. සේනාරත්න මහතාගේ උපන්ගම නුවරඑළිය වූ අතර නුවරඑළිය ශාන්ත සේවියස් විද්‍යාලයෙහි ඔහු ඉගෙනුම ලබා තිබේ. 1929 වර්ෂයේ උපත ලබා ඇති ඔහු වර්ෂ 1939 දී ප්‍රථමයෙන් බාලදක්ෂ ව්‍යාපාරය හා සම්බන්ධ වී ඇත. හයවැනි ජෝර්ජ් රජතුමාගේ රාජකීය පදක්කම ලත් දැනට ක්‍රියාකාරී එකම බාලදක්ෂයා ඔහුය.
ඔබ අවුරුදු දහයෙදිත් බාලදක්ෂයෙක් නේද?
ඔව්. මම බාලදක්ෂ ව්‍යාපාරය එක්ක සම්බන්ධවෙන්නේ බාලාංශ පන්තිවල. ඒ කාලෙ පාසලේ අනිවාර්යෙන්ම එවැනි අමතර ව්‍යාපාරයක් සමග සම්බන්ධ වී සිටිය යුතුමයි.
බාලදක්ෂ ව්‍යාපාරය ඒ කාලේ මොන වගේද?
ලංකාවේ සුද්දගේ කාලෙ තමයි බාලදක්ෂ ව්‍යාපාරය නියමෙටම කෙරුණේ. දැන් ඒ මොකුත් නැහැ. අපි බ්‍රිතාන්‍ය රජය යටතේ හිටියේ. 1946 දී මම ගවනර් (ආණ්ඩුකාරවරයා) අතින් පදක්කම ගනිද්දිත් ලංකාව පාලනය කළේ බ්‍රිතාන්‍යයන්.
ඒ කාලේ ලංකාවේ තත්ත්වය කෙහොමද?
අපි ඉස්කෝලෙ යන කාලෙ තමයි දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තේ. ඒ කියන්නේ 1939 සැප්තැම්බර් මාසයේ. හිට්ලර් පෝලන්තය අල්ලගන්න එකෙන් තමයි යුද්ධය පටන් ගත්තේ. ඒ කාලේ ලංකාවේ හමුදාවක් තිබුණේ නැහැ. ස්වේච්ඡා පදනමකින් ගත්තු හමුදාවක් තමයි ඒ කාලෙ හිටියේ. ස්ථිර පදනමකින් ගත්තු හමුදාවක් හිටියෙ නැහැ.
බාලදක්ෂ ව්‍යාපාරයට හිත යන්න තරම් ඇතිවුණු බලපෑම වුණේ මොකක්ද?
බලපෑම මගේ තාත්තා. ඔහු රෙජිමේන්තු සාජන් මේජර් සේනාරත්න. මගේ තාත්තත් බාලදක්ෂයෙක්. එයා බාලදක්ෂයන්ට ඉස්කෝලේ ඉගැන්නුවා. අපේ පුහුණුකරු. ඒ නිසාම මම බොහොම ආසාවෙන් මේ හැමදේටම සහභාගි වුණා.
මට මතකයි ඉස්සර අපි කෑම්ප්වලට ගියාම අපිට ලැබුණේ ජීවිත පුහුණුව. ඒ වගේම අපි ඒ කාලේ කෑම්ප් ගැහුවේ කැලේ. කැලේ කොළ, දඬු අරගෙන අපි මේස හැදුවා. පුටු හැදුවා. පාලම් හැදුවා. ගස් කපලා අපි ඒ දේවල් බොහොම සුහුරුවට කළා.
බාලදක්ෂයෙක් මොනවද මූලිකවම දැනගන්න ඕන?
තනියම කෑම්ප් එකක් හදනහැටි මුලින්ම දැනගන්න ඕන. ඒවට කියන්නේ පැට්‍රෝල් කියලා. ඒ කියන්නේ එක කාණ්ඩයක් කියන එක. එක කාණ්ඩයක සාමාජිකන් හය දෙනෙක් පමණ හිටියා. මම හිටියේ කින්ග් ෆිෂර් පැට්‍රෝල් කියන කණ්ඩායමේ.
මොනවද බාලදක්ෂයෙකුට ලැබෙන පදක්කම්?
අපේ ෆ්ස්ට් බැජ් එක ටෙන්ඩර් ෆුට් බැජ් එක. ඒක ගහන්නේ සාක්කුවේ. ඊළඟට සෙකන්ඩ් ක්ලාස් බැජ් එක. ඊටත් පස්සේ ෆ්ස්ට් ක්ලාස් බැජ් එක. ඒක තමයි අමාරුම බැජ් එක.
ෆ්ස්ට් ක්ලාස් බැජ් එක ගන්න මොනවද කරන්න අවශ්‍ය වුණු ක්‍රියාකාරකම්?
අපිට මුලින්ම මැප් එකක් දෙනවා. ඒ මැප් එකේ අදාළ ස්ථාන හොයාගෙන අපි යන්න ඕන. අපි තනියම යන්න ඕන. අපේ ටෙන්ට් එක කරේ බැඳගෙන යන්න ඕන. මම ගියේ බදුල්ලට. මම මුලින්ම බදුල්ලට යද්දි බැරියර් එකක හැප්පුණා. යුද්ධ කාලේ හාල් ගෙනියන්න දෙන්නේ සීමා සහිත ප්‍රමාණයක්. ආමි එකෙන් බැරියර් දාලා තිබුණේ. හයික් එකක් යන්න තිබුණේ. හග්ගල මීදුම හොඳටම වැටිලා තිබුණා. මම වැටුණා. මම දන්නේ නැහැ මොකක්ද වුණේ කියලා. මට ඒ වෙද්දි අවුරුදු 16ක් වගේ. මම සුමාන දෙකක් වගේ ඉස්පිරිතාලේ හිටියා.'කින්ග් ස්කවුට්' වෙන්න බෑ ෆ්ස්ට් ක්ලාස් නොගෙන. ඒක තමයි ඒ කාලෙ හීනේ. හැමෝම ඒකට තමයි ට්‍රයි කළේ.
ඔබ කියනවා හයවැනි ජෝර්ජ් රජතුමාගේ පදක්කම කියලා. ඒ ගැන පැහැදිලි කරමුද?
ඒ කාලේ අපි හිටියේ බ්‍රිතාන්‍ය කිරීටය යටතේ. ඉතින් බ්‍රිතාන්‍යයේ පාලනය ගෙනයන පුද්ගලයාට අනුව පදක්කම නම් කෙරෙනවා. හයවැනි ජෝර්ජ් රජුගේ යුගයේ බාලදක්ෂයන්ට ලබා දුන්නේ කිස්ග්ස් ස්කවුට් පදක්කම. ඔහුගේ ඇවෑමෙන් එළිසබත් රැජිනගේ යුගයේ බාලදක්ෂයන්ට ලබා දුන්නේ ක්වීන්ස් ස්කවුට් පදක්කම.
ඔබට ලැබුණේ කින්ග්ස් ස්කවුට් පදක්කම නේද?
ඔව්. කින්ස්කවුට් හෙවත් රාජකීය පදක්කම්ලාභියෙක් වෙන එක හරිම අමාරුයි. නුවර එළිය දිස්ත්‍රික්කයටම පළමුවැනි රාජකීය බාලදක්ෂ පදක්කම්ලාභියා වෙන්නේ මම. ඒ 1946 අවුරුද්ද. ඒ කාලේ හිටියේ හෙන්රි මොන්ක් මේසන් මුවර් කියන ආණ්ඩුකාරවරයා. එයා අතින් තමයි මම පදක්කම ගත්තේ. පාසල් කාලය ඇතුළතදිම රාජකීය පදක්කම්ලාභියෙක් වෙන එක කළ යුතු දෙයක්.
ඔබ ඇරුණම මේ වෙද්දි කින්ස්කවුට් පදක්කම ගත්තු කී දෙනෙක් ඉන්නවද?
මම ඇරුණම තව දෙදෙනෙක් ජීවතුන් අතර ඉන්නවා. ඒත් මම විතරයි දැනට ක්‍රියාකාරිකයෙක් විදියට ඉන්නේ. මොකද මම අද වනතුරුම හැම බාලදක්ෂ කඳවුරකටම ආරාධිතයෙකු ලෙස සහභාගි වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් විවිධ බාලදක්ෂ සංගම්වලින් මට විවිධ පදක්කම් ලැබෙනවා.
බාලදක්ෂයෙක්ට මොනවගේ තැනක්ද තිබුණේ?
ඒ කාලේ බාලදක්ෂයෙක් කිව්වම රස්සාවට ගියාම ආයෙ වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒක ඉහළම සුදුසුකමක් වෙනවා. රස්සාවට ගියාට පස්සේ මට බාලදක්ෂ වැඩ මගහැරුණා. ඒත් ඒ ලබපු පන්නරයෙන් මම ස්වේච්ඡා හමුදා සේවයට බැඳුණා. ඒ අවශ්‍යතාව හා ඒ ඇම්ම මට ආවේ බාලදක්ෂ වැඩ නිසා. ඒකට ගන්නේ ආණ්ඩුවේ සේවය කරන අය. යුද්ධය ආවොත් යන්න වෙනවා. 1910දි අප්‍රිකාවේ බෝව යුද්ධයට පිරිසක් යැව්වා.
බාලදක්ෂයෙකු විදියට අමතක නොවන අත්දැකීම් ඇති නේද බොහොමයක්?
ඔව්. ඒ අතරේ යුද්ධයට මිනිස්සු පුහුණු කිරීම තමයි මට තවමත් අමතක නොවනම මතකය. සුනාමි සයිරන් නළාව වගේ එකක් තිබුණා. ඒ සද්දේ තාමත් ඇහෙනවා වගේ. අපි ඉස්කෝලවල ළමයින්ට ඉගැන්නුවා ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන විදිය. අපි ඒ කාලේ ඉස්කෝලේ ගියෙත් බාලදක්ෂ ඇඳුම ඇඳගෙන. හදිසි පිපිරීමක් ආවොත් කළ යුතු දේවල් පිළිබඳ පෙර පුහුණුවීම් කළා. කන් දෙක වහගෙන, හදිසියක් වුණොත් ඩෙස්ක් යටට රිංගන්න කියන දේ අපි හුරු කළා. ඒ වගේම බැංකුවල, රාජ්‍ය ආයතනවල භූගත උමං මාර්ග හදලා තිබුණා. ඒවට යන්න හුරුකළා. ලංකාවේ තිබුණු පළමුවෙනි ජැම්බොරියටත් මම සහභාගි වුණා. ඒ 1939දි.
යුද්ද කාලේ බාලදක්ෂයෙක්ට තිබුණ වගකීම කුමක්ද?
බාලදක්ෂයෙක් විදියට යුද්දෙ කාලෙ අපිට හරියට වැඩ තිබුණා.ජපන්නු බෝම්බ දානකොට ලංකාව සන්නද්ධ කළා. ඒ කාලේ ප්‍රධාන මහජන ආරක්ෂක කොමසාරිස්වරයා වුණේ සර් ඔලිවර් ගුණතිලක. බෝම්බ දාද්දි ළමයි පුහුණු කරන එකත් අපේ වගකීම්වලින් කොටසක්. හැම ඉස්කෝලෙකම යටින් අගල් කපලා තිබුණා. ඒ කාලේ බෝම්වලින් බොහෝ වෙලාවට සිද්දවුණේ කම්පනයන් ඇති වෙන එක. කන් පුපුරනවා. නුවරඑළියේ බාලදක්ෂයන් තමයි මුලින්ම මේකට පුහුණු කළේ. ඊට පස්සේ බාලදක්ෂයෝ අනිත් ළමයින්ව පුහුණු කළා. අපි ඉස්කෝලෙ ගියෙත් බාලදක්ෂ යුන්ෆෝම් එක ඇඳගෙන. පොලිසියෙන් මහ සයිරන් එක ගැහුවම අපිට දීලා තියෙන සයිරන් එක ගහනවා. පැන්සල්, පොත් එහෙම මේසේ උඩින් තියලා, දත් පූට්ටු වෙන නිසා පැන්සලක් කටේ ගහගෙන දුවනවා.
ප්‍රථමාධාර පිළිබඳ විශේෂ පුහුණුවක් ඔබ ලබලා තියෙනවා නේද?
බාලදක්ෂයෙක්ට හැමදේම පුළුවන් වෙන්න ඕන ට්‍රේනින් වුණ අය අනිත් අයට පුහුණු කළා. හදිසි තුවාලවලට බෙහෙත් දාන හැටි, රෝගියෙක් ප්‍රථමාධාරවලට අරගෙන යන හැටි, වගේ දේවල්. ඒ වගේම තෙරතුරු හුවමාරුවත් අපි කළා. ඒ කාලේ දැන් වගේ දුරකතන නැහැ. තිබුණත් ඒක තැපැල් කාර්යාලයක හෝ පොලිසියක පමණයි. අපි තමයි ඒ පණිවිඩ අරන් ගියේ. ඊට අමතරව මට ආහාර නිෂ්පාදනය පිළිබඳවත් විශේෂ පුහුණුවක් ලැබිලා තියනවා.
නුවරඑළිය ඒ කාලේ මොනවගේද?
නොවැම්බර්, දෙසැම්බර් කාලවල නුවරඑළියට ශීත කාලය. දැන් වගේ නෙවෙයි ඉස්සර, එහේ අයිස් මිදෙනවා. අපි පොල්කටුවලට වතුර දාලා පාටකරලා එළියෙන් තියනවා. උදේට හකුරු බෑයක් වගේ ගන්නවා. දැන් ඒ සුන්දරත්වය නුවරඑළියෙ නැහැ.
රැකියාවට අඩිතාලම වැටුණේ කොහොමද?
මම කොළඹට ආවේ 1948 දී. ඒ කාලේ මට අවුරුදු 20යි. මම සීනියර් පාස් වුණා. ඒ නිසා වැඩකරපු තැනින් රුපියල් 50කින් පඩි වැඩි කළා. මගේ පඩිය එකසිය විසි පහක් වුණා. ඒක ලොකු මුදලක්. ජෝන් වයිට් සපත්තු, ඇඩෝනිස් හෝ ඇරෝ ෂර්ට්, සැන්ෆොරයිස් රෙඩිමේඩ් කලිසම් වැනි ඉස්තරම් ඇඳුම් කට්ටලයක් ගන්නත් රුපියල් 25යි ගියේ. මම 1949 දි මුලින්ම වාරිමාර්ග දෙපාරතමේන්තුවේ පත්වීම ගත්තේ. දැන් උගත් මිනිහට තැනක් නැහැ. සුද්දා රට කරන කාලේ නූගතෙක් කවදාවත් තීරණ ගන්න තැනක ලොක්කෙක් වුණේ නැහැ
පොඩි කාලේ ජීවිතේ ගැන මොනවගේ මතකයක්ද තියෙන්නේ?
නුවරඑළියෙ තමයි පිදුරුතලාගල (උසම කන්ද) කන්ද තියෙන්නේ. මේක නිම්නයක්. ඒ කාලේ පිදුරුතලාගල කන්ද ළඟ අපි හිටියේ. ගෙදර ඉන්න බැහැ. සත්තුන්ගේ හඩවල්, වතුර පාරෙ සද්දේ. අපි කෑම්පින් කරනවා කන්දේ. අපි ඉර සේවය බලන්න උදේ 4ට යනවා. ලන්තෑරුමක් අරගෙන යන්නේ. අපි යද්දි දිවියෝ පාර හරහා යනවා. ඒ සත්තු එද්දි නිසොල්මනේ ඉන්න ඕන. දිව්වොත් තමයි අපිව හපන්නේ. මේ 1943 විතර. ඒ කාලේ ආමරි තිබුණා.
ආමරි කියලා කියන්නේ ආයුධ තියෙන පොලිස් නවාතැන්පළවල්. උදේට ඒවා ඇතුළේ ඉන්න බල්ලන්ව බැඳලා දාලා තියෙන්නේ. රෑට ලිහනවා. නැත්නම් දිවියො ඇවිත් බල්ලන්ව මරලා දාලා යනවා. ඒත් දවසක් හැමෝම ට්‍රිප් එකක් ගිහින්. බල්ලන්ව ලිහලා දාලා යන්න අමතකවෙලා.ඇවිත් බලද්දි දම්වැල් 7ක් තියෙනවා. බල්ලෝ නැහැ.
පවුලේ විස්තර ගැනත් කියමු?
මගේ අම්මයි තාත්තයි ගහයි පොත්තයි වගේ. එකටමයි හිටියේ. තාත්තා නැතිවෙද්දි අවුරුදු 100ට මාස දෙකයි අඩු. අම්මත් තාත්තා නැතිවෙලා මාස 6කින් නැතිවුණා. මගේ බිරිඳ කලුතර බාලිකා. මම සීනියර් විභාගෙ කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා. එහෙම තමයි අපි දැන අඳුනගත්තේ. මට දූවරු පස් දෙනෙකුයි එක පුතෙකුයි ඉන්නවා.
විශේෂ ස්තූතිය
සටහන - නදී මාණික්කගේ / ඡායාරූප - සුදම් ගුණසිංහ
http://www.resa.lk
http://www.resa.lk