Translate

Sunday, August 25, 2019

W.P.P.N රේණුකා සිල්වා නැමති බාලදක්ෂ ආකේලා

මෙරට පෝතක බාලදක්ෂ කටයුතුවල පුරාවෘත්තයක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි රේණුකා මහත්මිය මෙරට සිඟිති කටයුතු වලද පුරෝගාමිනියකි. 2014 වසරේදී මෙරට සිඟිති බාලදක්ෂ අංශය ස්ථාපිත කරන අතර එම අංශයට සම්බන්ධ වැඩසටහන නිර්මාණය කිරීමෙහිලා මහඟු සේවයක් සිදුකලේ එවකට ප්‍රධාන කොමසාරිස් සම්මානිත මහචාර්ය නිමල් ද සිල්වා මැතිතුමාට සහ එම සංකල්පයට ප්‍රබල ශක්තියක් වෙමිනි. එවකට කළමනාකරණ අංශය භාර සහාය ප්‍රධාන කොමසාරිස්තුමන් වූ නිතීඥ කපිල කල්යාන පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් එදා එම සිඟිති අංශය හඳුන්වාදීමේ සහ එම වැඩසටහන් නිර්මාණය කිරීමේ කමිටුව ක්‍රියාත්මක විය.
 
අව්‍යාජ සිනහවකින් නිරතුරුවම මුව සරසාගෙන, චාම් සරල ගති පැවතුම් වලින් යුත් අහිංසක යැයි කටපුරා කිවහැකි රේණුකා මහත්මිය යනු අප කවුරුත් දන්නා ළමා මිතුරු චරිතයකි.

ඇය කොළඹ විශාකාවෙන් සහ කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් දීප්තිමත් ශිෂ්‍යාවක ලෙස අකුරු කර, පසුව උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ද සාර්ථකව නිමා කොට ගුරු වෘත්තියට පිවිසුනාය. කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, පයාගල බණ්ඩාරනායක විද්‍යාලය, වේලාපුර විද්‍යාලය, කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලය වැනි විද්‍යාල රාශියක ගුරුවරියක, නියෝජ්‍ය විදුහල්පතිනියක, වැඩබලන විදුහල්පතිනියක වශයෙන් සේවය කළ ඇය අද විශ්‍රාම සුවයෙන් පසු වෙන්නිය.

ලාංකීය බාලදක්ෂ ව්‍යාපාරයට අනුපමේය සේවයක් කල 1960 වකවානුවේදී කළුතර දිසා කොමසරිස්තුමන් ලෙස කටයුතු කල නැසීගිය හිලරි ද සිල්වා මහතා එතුමියගේ දායබර පියා විය. හිලරි ද සිල්වාකලුතර ක්‍රිස්ටෝපියන්ස් බාලදක්ෂ සමුහයේ ආදී කතෘවරයා විය. පියාගේ අභාශයත්, නිවසේ පසුබිමත් බාලදක්ෂ ව්‍යාපාරයට පෙම්බඳින්නට රේණුකා මහත්මිය ව පොළඹවන්නට ඇත. තම දයාබර පියාණන් මෙලොවින් සමුගෙන ගිය ද තම පියාගේ අඩි පාරේ යමින් දිරිය දියණියක ලෙස අද වන විට ඇය, බාලදක්ෂ ලෝකය විශිෂ්ඨ ජයගෙන තිබේ.
 ඇය අද අපට සිටින ජ්‍යේෂ්ඨතම පුහුණු කිරීමේ නායිකාවන් අතර අයෙකි. බොහෝ පෝතක උසස් පාඨමාලාවල නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක ලෙස සහ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවක ලෙස ඇය සුවිශේෂී කාර්යභාරයක් සිදුකල අතර මෙරට පෝතක කබෝරි ඉතිහාසය වර්ණවත් කරන ඓතිහාසික චරිතයක් ද වේ. 1993 පැවති 4 වන ජාතික කබෝරියේ සිට මේ වසරේදී පැවති 12 වන ජාතික කබෝරිය දක්වා එතුමිය කැපව කටයුතු කල ආකාරය ප්‍රශංසනීයයි. බොහෝ කබෝරිවල එතුමිය කබෝරි ලේකම් විය.

කළුතර දිස්ත්‍රික්කයේ පෝතක බාලදක්ෂ කටයුතු වල නිරත වු එතුමිය, සහාය අකේලාවරියක, අකේලාවරියක, දිස්ත්‍රික් පෝතක නායිකාවක ලෙස කටයුතු කර පසුව පෝතක අංශය භාර සහාය දිසා කොමසාරීස්වරිය ලෙස තම දිස්ත්‍රික්කයේ පෝතක කටයුතු වර්ධනයට ලබාදුන් නායකත්වය පිළිබඳව අවධානයෙන් සිටි එවකට කළුතර දිසා කොමසාරිස් සජීව අබේවර්ධන මහතා රේණුකා මහත්මියව එවකට ගරු ප්‍රධාන කොමසාරිස් සම්මානිත මාචාර්ය නිමල් ද සිල්වා මැතිතුමන්ට හඳුන්වා දෙන්නේ ජාතික බාලදක්ෂ සේවයට මං පහදමිනි. දක්ෂයින්ට සහ හැකියාවෙන් පෝෂිත පුද්ගලයන්ට නිරතුරුව අවස්ථාව ලබාදුන් ගරු මහාචාර්යතුමා 2013 අප්‍රේල් 23 වන දින රේණුකා මහත්මියව ජාතික මුලස්ථාන කොමසරිස්වාරියක ලෙස පත්කරන්නට කටයුතු කලේ ඇය කෙරෙහි වූ ප්‍රබල විස්වාසකිනි. අද ඇය එම විශ්වාසයට කර ඇති සාධාරණය සැමට ආදර්ශයකි. එමෙන්ම එතුමිය කලක් කළුතර දිසාවේ වැඩබලන දිසා කොමසාරිස්වරිය වුවාය. 

 

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මුලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා මහත්මිය සිගිති බාලදක්ෂ අංශය භාර මූලස්ථාන කොමසාරිස් ලෙස, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් වරලත් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා විසින් පත්කරන ලදී. එතුමිය මෙරට සිඟිති අංශය සඳහා පත්වන තෙවන අංශ භාර කොමසාරිස්වරිය යි. මෙරට සිඟිති අංශය භාර ප්‍රථම ජාතික කොමසාරිස්වරයා වුයේ එවකට කළමනාකරණ අංශය භාර සහාය ප්‍රධාන කොමසාරිස්තුමන් වූ නිතීඥ කපිල කල්යාන පෙරේරා මහතායි. එතුමන්ට පසුව හිටපු නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයෙකු සහ විශේෂ කොමසාරිස්වරයෙකු වූ නැසීගිය ශිරාස් සාලි මහතා එම තනතුරේ කටයුතු කළේය. ශිරාස් මහතාගේ අභාවයත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා, ගරු ප්‍රධාන කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මැතිතුමන් විසින් රේණුකා සිල්වා මහත්මියව ඊයේ අගෝස්තු 24දින ජාතික මුලස්ථානයේදී පත්කරන ලදී.
 
 

No comments:

Post a Comment