Translate

Wednesday, December 18, 2019

නුවන් ප‍්‍රසාද් තලගල සුබ ගමන්!

scout

‘‘අයියගේ අත වීදුරුවට කැපිලා වේදනාවෙන් ඉන්න වෙලාවේ එතනට අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා එයාගේ වාහනයෙන් රෝහලට යමු කියලා. එතකොට අයියා කියලා තියෙනවා ඔයාගේ වාහනේ ලේ ගෑවිලා අපිරිසිදුවෙයි ඇම්බියුලන්ස් එකෙන්ම රෝහලට යනවා කියලා. එහෙම කියපු මගේ රත්තරං අයියා අද මට නැතිවෙලා... යැයි දිල්කි තාරකා තලගල මෙනෙවිය දැඩි කම්පනයෙන් යුතුව පැවසුවාය.

සීට් එකේ ලේ ගෑවෙයි කියා අයියා වාහනේට යන්න කියලා ඇම්බියුලන්ස් එක එන විට විනාඩි 30 ක් පරක්කු වෙලා - එකම සොහොයුරිය හඬා වැළපෙමින් කිය.

වීදුරුවකට අතකැපී සිදුවූ අනතුරින් මියගිය බාලදක්‍ෂ ආචාර්යවරයාගේ ශෝකාන්තය

සිය ව්‍යාපාරික ස්ථානයේදී සවිකිරීමට ගිය වීදුරුවක කොටසක් දෙකට කැඞී වම් උරහිස හා වැලමිට අතර ප‍්‍රදේශයට වැදී කැපී බරපතළ තුවාල ලබා අවාසනාවන්ත අන්දමින් බාලදක්‍ෂ ආචාර්යවරයකු මියයෑම සම්බන්ධයෙන් තොරතුරු සොයා අගෝස්තු 03 වැනිදා දහවල් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඇය එසේ කියා සිටියාය.

මෙලෙස මියගොස් ඇත්තේ 50 වැනි කොළඹ බාලදක්‍ෂ සමූහයේ ආචාර්යවරයකු මෙන්ම නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකුද වූ නුවන් ප‍්‍රසාද් තලගල මහතාය. ඒ මහතා මියයන විට 34 වැනි වියේ පසුවිය. ඔහුගේ මෙම අවාසනාවන්ත වියෝවෙන් පියාවන සරත් තලගල මහතාත්, මවුවන රෝහිණී පෙරේරා මහත්මියත්, එකම නැගණිය වන දිල්කි තාරකා තලගලත් දැඩි කම්පාවට පත්ව සිටින ආකාරය දැකගත හැකිවිය. එසේම තලගල මහතාගේ අකල් වියෝව දැනගත් නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ විදුහල්පති බුද්ධික අත්තනායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, ආදි සිසුන්, දෙමාපියන් මෙන්ම එගොඩවත්ත ප‍්‍රදේශයේ විශාල පිරිසක් නිවසට පැමිණ සිටින ආකාරය දැකගත හැකිවිය.

මෙහිදී තවදුරටත් කතාකළ තලගල මහතාගේ එකම නැගණිය මෙසේද කියා සිටියාය.

‘‘මේ සිද්ධිය වුණේ 2019.07.30 වැනිදා හවස 5.30 ට විතර. සිද්ධිය වෙන්න පැය 2 කට කලින් අයියා රෝල්ස් වගයක් අරන් ගෙදර ආවා. ඒ ඇවිත් අයියයි, මායි තාත්තාට විහිළුවක් කළා. ඊට පස්සේ අයියා රෝල්ස් කාලා තේ බීලා පිළියන්දල ලී බඩු ෂොප් එකට යනවා කියලා ගියා. අනේ දෙයියනේ ඊට පස්සේ තමයි ආරංචි වුණේ අයියට ෂොප් එකේදී අනතුරක් වෙලා කියලා.

‘‘අයියගේ ලී බඩු වෙළෙඳ සලට අමතරව ? කෑම කඩයක් කෙනකුට කරන්න දෙන්නයි හිටියේ. අන්න ඒකේ ෂෝකේස් එකට වීදුරුවක් සවිකරන්න අයියා වීදුරුවක් උස්සලා තියෙනවා. එතන අයියගේ සේවකයකුත් ඉඳලා තිබෙනවා. අයියා ඒ වීදුරුව උස්සලා තියන්න හදනවාත් එක්කම වීදුරුව දෙකට කැඩිලා තියෙනවා. එහිදී ඒ වීදුරු කොටසක් අයියගේ උරහිසයි වැලමිටයි අතර ප‍්‍රදේශයේ වැදිලා කැපිලා තියෙනවා.

‘‘එහිදී අයියා රෙදි කැබැල්ලකින් ලේ ගලන තැන තදකරගෙන ඉඳලා තියෙනවා. මේ වෙලාවේ එතනට ආපු අක්කා කෙනෙක් ඇවිත් කියලා තියෙනවා යමු මං රෝහලට ගිහින් දාන්නම් කියලා. නමුත් අයියා ඒකට කැමති වෙලා නැහැ. එයා කියලා තියෙනවා වාහනයේ ලේ ගෑවෙයි ඇම්බියුලන්ස් එක ආවාම යනවා කියලා. කොහොම හරි ඇම්බියුලන්ස් එක එනකොට විනාඩි 35 ක් විතර ගිහින්. පස්සේ එතන හිටපු අය අයියව ඇම්බියුලන්ස් එකට දාලා තියෙනවා. කොහොම හරි පිළියන්දල රෝහලට අයියාව ගෙනියනකොටත් අයියා මියගිහින්. අයියට මේ අනතුර වෙච්ච වෙලාවෙම අයියව රෝහලට ගෙනිච්චනම් අයියාගේ ජීවිතය බේරාගන්න තිබුණා. දැන් මට මගේ අයියා නැහැ දෙයියනේ.... අයියා නැතුව මම දැන් ගෙදර ඉන්නේ කොහොමද දෙයියනේ...

‘‘අයියා බාලදක්‍ෂ සමූහය වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළේ. අයියා මෑතක් වෙනකම් රැකියාවක් කළේ නැහැ. අයියා කළේ නවක බාලදක්‍ෂයන්ට මගපෙන්වන එකයි. අයියා පිළියන්දල ටිම්බර් වර්ක්ස් ආයතනය පටන් ගත්තේ ළඟදී. මම අවුරුදු තුනක්ම හිටියේ ජපානයේ. ඒ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන්. අයියා මට කෝල් කරලා කිව්වා මාව බලන්න ඕනේ ලංකාවට එන්නේ නැද්ද කියලා. අයියගේ ඒ ඉල්ලීම නිසා මම පසුගිය ජුනි 14 වැනිදා ලංකාවට ආවේ.

මෙහිදී හැඬූ කඳුළින් කතාකළ තලගල මහතාගේ මෑණියන් වන රෝහිණී පෙරේරා මහත්මිය මෙසේ කියා සිටියාය.

අවුරුදු 25 ක්ම එයා බාලදක්‍ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපකළා. මගේ පුතාට මෙහෙම විපතක් වෙයි කියලා මම කවදාවත් හීනෙකින්වත් හිතුවේ නැහැ.

බාලදක්‍ෂ දරුවන් සිය ආචාර්යවරයාගේ නිසල දේහය අසල නිසොල්මන්ව රැඳී සිටිමින් ගෞරව බුහුමන් දක්වන අයුරු දැකගත හැකිවිය. එපමණක් නොව ඔහුගේ සමකාලීන මිතුරෝ නිසල දේහයට අවසන් ගෞරවය දැක්වූහ.

1994 වර්ෂයේදී පෝතක බාලදක්‍ෂයකු ලෙසින් එක්වුණු තලගල මහතා 1996 දී පෝතක බාලදක්‍ෂයකු ලබන ඉහළම තරුව වන රන් තරුව හිමිකර ගත්තේය. පසුව ඔහු බාලදක්‍ෂයකු ලෙස දිවුරුම් දුන්නේය. එහිදී කනිෂ්ඨ බාලදක්‍ෂයකු ලෙස ඔහු කොළ රැහැනද දිනා ගත්තේය.

2000 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂ අංශයට යොමුවෙන ඔහු 2003 වර්ෂයේදී බාලදක්‍ෂයකුට ලබාගත හැකි උසස්ම පදක්කම වන ජනාධිපති ප‍්‍රදානය ලබා ගත්තේය.

ඉන් අනතුරුව මානවක බාලදක්‍ෂයකු ලෙස දිවුරුම්දී බාලදක්‍ෂ නායකයකු වශයෙන් අදියර 5 ක පාඨමාලාව හිමිකර ගත්තේය. පසුව බාලදක්‍ෂ නායකයකු වශයෙන් ලබාගත හැකි ලී පදක්කම 2016 වසරේදී ඔහු හිමිකර ගත්තේය.

අනතුරුව 2017 වසරේදී ඔහු කොළඹ දිසාවේ බාලදක්‍ෂ පුහුණු කිරීමේ මණ්ඩලයට පත්වේ.

බාලදක්‍ෂ නායකයකු වශයෙන් බාලදක්‍ෂ පුහුණුව සඳහා යොමුවන නවකයින්ට දැනුම ලබාදී ඔවුන්ට ජනාධිපති පදක්කම දක්වා මෙහෙයවීමේ භාරදුර කටයුත්ත මෙහෙයවීමේලා ද ඔහු ප‍්‍රමුඛව කි‍්‍රයා කළේය.

තලගල මහතා සිය 34 වැනි උපන් දිනය පසුගිය 20 වැනිදා සිය මිතුරන් සමඟ නිවසේදී සැමරීය.

තලගල මහතා පෙරේදා (03 වැනිදා) මලහිරු බැසයන යාමයේ උඩහමුල්ල පොදු සුසානභූමියේ විශාල පිරිසකගේ ශෝකාලාපයන් මැද සමුගෙන ගියේය.

No comments:

Post a Comment