කැපවීම, සේවය සහ ස්වේච්ඡා සේවයේ 107 වසර සැමරීමට අපි උද්යෝගිමත් සහ උනන්දු වෙමු!
2024
වර්ෂය ශ්‍රී ලංකා බාලදක්ෂිකාවන්ගේ 107වැනි ස්මරණීය වර්ෂයයි. SLGGA මෙම
ඓතිහාසික පියවරක් ලෙස බාලදක්ෂිකා නිල වෙබ් අඩවිය ද අන්තර්ජාලයට මුදාහරිනු
ලැබිණ.
වසර සියයක ඉතිහාසයෙහි මං සලකුණු ලියා තැබීම උදෙසා නිර්මාණය කෙරුණු වර්ණ පිටු 68කින්යුත් බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන් සදහා ම ලියැවුණු ශ්‍රී ලංකාවේ ඇති ඒක ම බාලදක්ෂ සඟරාව.
කැපවීම, සේවය සහ ස්වේච්ඡා සේවයේ 107 වසර සැමරීමට අපි උද්යෝගිමත් සහ උනන්දු වෙමු!
2024
වර්ෂය ශ්‍රී ලංකා බාලදක්ෂිකාවන්ගේ 107වැනි ස්මරණීය වර්ෂයයි. SLGGA මෙම
ඓතිහාසික පියවරක් ලෙස බාලදක්ෂිකා නිල වෙබ් අඩවිය ද අන්තර්ජාලයට මුදාහරිනු
ලැබිණ.
“මිහිකතට යා වෙමු“ යන්න මෙවර එහි තේමාවයි. ඊට දායකත්වය දැක්වූ අය අතරින් ඔබත් කෙනෙක්ද යන්න අපි ඔබගෙන් විමසන්නමෙු?
බේඩ්න් පවෙල් සාමිවරයා වරක් මෙසේ පැවසුවා. ඔබ ලෝකය හැරයන විට, එය ඔබ මුලින් දුටු ආකාරයට වඩා මඳක් හෝ ඉදිරියෙන් තබා යාමට උත්සාහ කරන්න... යනුවෙනි. ඒ සර්වකාලීන පණිවිඩය පෙරදැරි කරගනිමින්, 167වන බේඩ්න් පවෙල් දින සමර්පණයට එක්වන සුවහසක් බාලදක්ෂ-බාලදක්ෂිකාවන් වෙත SCOUTING සඟරාවේ සුභාසිංශනයද මෙසේ එක්කෙරන වගයි..!
කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව මවගේ වියෝව නිසා තම සීයා සමීපයේ සිට කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ශිල්ප නිමා කළ ඔහු එතැනින් ගියේ ගැල්වනයිස් කිරීමේ කර්මාන්තයක් කරා ය. එතැන ටික කලක් රැකියාව කළ ඔහු කුවේටය බලා ගියේ ය.
කුවේටයේ රැකියාව කරන අතරතුර ලැබෙන විවේකයේදී ඔහු හිරුඑළිය නාභිගත කර පිළිස්සුම් මගින් අපූරු චිත්‍ර නිර්මාණයක් කරන අන්දම රූපවාහිනියෙන් දුටුවේ ය. තර්ස්ටන් විදුහලේ ඉගෙනීම ලබද්දී ඔහුගේ මිතුරෙකු ඔහුට උත්තල කාචයක් ලබාදී තිබුණි. එතැන් සිට ඔහුගේ ආශාව වූයේ හිරුඑළියෙන් චිත්‍ර කැටයම් කිරීම ප්‍රගුණ කිරීමට ය.
මේ ගැන තිබූ ආශාවත් සමඟ පාසලේදී අත්වැඩට පොල්කටුවෙන් කරන නිමැවුම් පිළිබඳව ද මාක් ඇන්ටන්ට සිහි විය. ඒ සඳහා මෙවලම් කිසිවක් ඔහු සතුව නොවී ය. තිබුණු මෙවලමකින් පොල් කටු කපා කොටා ගැනීමට ඔහු පෙළඹුණු අතර අඩු පාඩු මෙවලම් එක, දෙක, ක්‍රම ක්‍රමයෙන් සොයා ගත්තේ ය. ඔහු පොල් කටුවෙන් විවිධ කලාත්මක දේ නිපදවා සංචාරකයින්ට අලෙවි කරමින් හිරුඑළියෙන් චිත්‍රණය කිරීමට ද සුළු සුළු අත්හදා බැලීම් සිදු කළේ ය.
අත් කාචය හිරුඑළියට අල්ලා නාභි ගත වන රශ්මි ධාරාවෙන් පුළුන් කැබලි, කඩදාසි පිළිස්සීමෙන් ඔහු ඉගෙන ගත්තේ ය. එය ලෑල්ලක් මතට ගෙන රුවක් ගොඩනඟා ගන්නට ඔහු ගත් තැන සාර්ථක විය. ප්‍රවීණ සංගීතඥ ගුණදාස කපුගේ ගේ රුව ලෑල්ලක් තුළින් මතු කරගත් ඔහුගේ මුල්ම නිර්මාණය විය.
මේ ඒ පිළිබඳව ඔහුගේ අදහස්.
“මේක අසීරු වැඩක්. චිත්‍රයක් නිම කරන්න දවස් ගණනක් ගිනි අව්වේ කට්ට කන්න වෙනවා. චිත්‍රයක සුළු ඉරක්, සුළු කොටසක් නිර්මාණයට සෑහෙන වේලාවක් ගත වෙනවා. අත පොඩ්ඩක් හරි ඇස පොඩ්ඩක් හරි අහකට ගත්තොත් චිත්‍රය වෙනස් වෙනවා. ලෑල්ලේ පිච්චෙන තැන හරියටම සලකුණු කරගන්න ඕනේ. විශේෂයෙන් පාට අඩු වැඩි තැන් බොහෝම අවධානයෙන් කරගන්න ඕනේ. ඒකට ලොකු ඉවසිල්ලක් තියෙන්න ඕනේ.
මේ සඳහා හොඳට පායන ඉර අව්වත් අත් උත්තල කාචයත් හැරුණු විට ඉක්මනින් පිළිස්සෙන සුදු පැහැයට හුරු කල් පවතින ලෑලි වුවමනා වෙනවා. වැනිස්ටා බෝඩ් මේ කාර්යයට සුදුසුයි. ෆයිනස්, ඇල්බීසියා වැනි ලෑලිත් ගන්න පුළුවනි. ඒ වගේ ම ලෑල්ල පොලිෂ් කිරීමේ හැකියාව තිබුණොත් චිත්‍රය තවදුරටත් දැකුම්කළු කරන්න පුළුවන. කොහොඹ, දොඹත් සුදුසුයි.
ඒත් හිරු එළියෙන් කෙරෙන චිත්‍ර එතරම් ප්‍රචලිත නැහැ. නමුත් මම නිර්මාණය කළ චිත්‍රවලට ඉහළ ප්‍රතිචාර තිබුණා. ඒත් මේවා නිර්මාණය පහසු නැහැ. ඒ නිසා වටිනාකම ඉහළ යනවා. ඒ වියදම් සමහර විට දේශීය රසිකයකුට දරාගන්න බැහැ. දැනට කරලා තියෙන චිත්‍ර දිහා බලලා ඉල්ලුමක් ලැබුණොත් කරල දෙන්න පුළුවන්. චිත්‍ර ඇදීම පිළිබඳ උනන්දුවක් දක්වන්නකුට ගුරු උපදේශයක් දෙන්න කැමැතියි.
කඩදාසියක ඇඳ ගන්නා සිතුවම ලීය මත කටුසටහනක් ලෙස ඇඳ ගත යුතුයි. හැබැයි අපට පාට සීමිතයි. එකම වර්ණය තද හා ළා පාට දක්වා විහිද යා යුතුයි. ඒ නිසා උපයෝගි කර ගන්නා වස්තු බීජය එම වර්ණයට හෝ රටාවට ගැළපෙන පරිදි විය යුතුයි.
පොල්කටු නිර්මාණ ශිල්පය වැඩි දියුණු කරන්න මම අදහස් කරනවා. පොල් ගසින් කිසිවක් අහක යන්නෙ නැහැ. පොල් කටුව ඉවත දමන දෙයක්. දැනට කරන්නෙ අඟුරු පුච්චන එක පමණයි. එයින් මෙවැනි දේ නිර්මාණයට පුහුණුවක් තියෙන අය අද අඩුයි. ඒ නිසා මේ කර්මාන්තය නඟා සිටවන්න මම වැඩපොළක් ආරම්භ කළා මීගමුවේ පිටිපන නැමැති ගමේ. 0113122466 ට කතා කරලා ඕනෑම කෙනෙකුට පුහුණුව ලබා ගන්න පුළුවන්.
බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළේ පිරිමි ළමුන් උදෙසායි. නමුත් බාලදක්‍ෂ ව්‍යාපාරය පිළිබඳව මූලධර්ම ඇතුලත් කොට බේඩින් පවෙල් විසින් රචිත ‘පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ’ (Scouting for Boys) මුල් පොත කියවීම, පිරිමි දරුවන්ට පමණක් ම සීමා වුණේ නැහැ. තම සහෝදරයින් සිදුකරන බාලදක්ෂ පුහුණු කටයුතු පිළිබඳ සහෝදරියන් මහත් උනන්දුවක් දැක්වූවා. එළිමහන් කටයුතු කෙරෙහි ඔවුන් වඩාත් ආකර්ශනය කරගනු ලැබුවා. තමාටත් හැකි පමණින් එම කටයුතු අත්හදා බැලීමටත් එළිමහනේ පිසීම, කඳවුරු ගතකිරීම ආදී බාලදක්ෂයින් විසින් සිදුකරන ක්‍රියාකාරකම් කටයුතු සිදුකරමින් බාලදක්‍ෂ ව්‍යාපාරය කෙරෙහි මහත් උනන්දුවක් දැක්වීමට දැරියන්ද උනන්දු වුණා. ස්කවුටිං ෆො බෝයිස් පොතෙහි සඳහන්
ක්‍රියාදාමයන් පිරිමින් දරුවන්ට පමණක් නොව තමන්ට ද අනුගමනය කළ හැකි බව ප්‍රදර්ශනය කරනු ලැබුවා. මේ හේතුවෙන් එංගලන්තයේ මෙම දැරියන් ටොම් බෝයිස් ලෙස පාසල් ළමුන් හිරිහැර අඩම්තේට්ම් හා උසුළු විසිළු ද කරනු ලැබුවා. එංලන්තය ඇතුලු රටවල් බොහෝමයක කාන්තාවන් දිරියෙන් ඉදිරියට පැමිණෙමින් සිටියේ මේ සමයේදීයි. තමන්ට සමාජයේ තැනක් හිමි
බව කතා කළේ, අයිතිවාසිකම් පිළිබඳව කතා කළේ ඒ යුගයේදීයි. 1910 - 1911 වසරවල
කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් වූයේ ඉන්පසුවය.
එංගලන්තයේ මේ වකවානුවෙහි පැවති බොහෝ උත්සව සඳහා කාන්තා බාලදක්ෂයින් බලහත්කාරයෙන් පැමිණි බව පැවසෙනවා. 1909 වසරේදී ලන්ඩනයේ ක්‍රිස්ටල් මාලිගයේදී පළමු බාලදක්ෂ රැලිය සදහා පිරිමි ළමුන් 10000 පමණක් නොව ගැහැණු ළමුන් ද අනාරාධිතව බලෙන් ම සහභාගී වී තිබුණා. බේඩින් පවෙල් සාමිවරයා ඔවුන් දැකීමෙන් මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය ගැන වැඩිදුරටත් උනන්දුවක් දැක්වියයුතු යැයි කල්පනා කරනු ලැබුවා. බාලදක්ෂ ව්‍යාපාරයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟම ගැහැනු ළමුන්ටද එහි සාමාජිකයන්වීමට අවශ්‍යතාවය මතුවෙමින් පැවතුණා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කාන්තාවන් වෙනුවෙන් ද බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආරම්භ කිරීමයි.
ක්‍රිස්ටල් මාළිගයේ පැවති පලමු බාලදක්ෂ රැලියට සහභාගි වූ ගැහැනු ළමුන්ගේ ආයාචනය මත ඇරඹුණු බාලදක්ෂිකා ව්‍යාපාරයේ පළමු සභාපතිනිය ලෙස බේඩින් පවෙල්ගේ නැගණිය වන ඇග්නස් බේඩ්න් පොයෙල් මෙනෙවිය 1910 දී පත්විය. 1914 දී රෝස්බඩ්ස් යන නමින් ආරමිභව පසුව බ්‍රවුනීස් ලෙස නම වෙනස් විය. බේඩ්න් පවෙල් සාමිතුමාගේ ලෝක සංචාරය අතරතුරදී 1912 දී Arcadian නෞකාව ජැමෙයිකාව බලා යාත්‍රා කරමින් සිටි අතරතුරදී, අහම්බයක් ලෙද BP තුමා සහ ඔලෙව් සෝම්ස් මෙනවියෙගේ හමුවීම සිදුවිය. පසුව එම වසරේදීම ඔවුහු ගිවිස ගත්තෝය. ඔවුන් එම වසරේදී අප්‍රසිද්ධියේ විවාහ වූ අතර B-P ආර්යාව බාලදක්ෂ හා බාලදක්ෂ ව්‍යාපාර සමඟ ඇගේ සැමියාගේ වැඩවලට සම්බන්ධ වූවාය. ඇය 1918 දී එංගලන්තයේ ප්‍රධාන බාලදක්ෂිකාව ලෙස පත් කෙරිණ. 1920 වසරේදී ඇග්නස් බේඩින් පවෙල් විසින් සභාපතිනි ධූරයෙන් ඉල්ලා අස්විය. ඇය විසින් එම තනතුර බේඩින් පවෙල් ආර්යාව වූ ඔලෙව් බේඩින් පවෙල් වෙත ප්‍රදානය කරණු ලැබීය. එ අනුව 1930 දී ලෝක ප්‍රධාන බාලදක්ෂිකාව ලෙසද පත්විය.
fleur-de-lis සහ ත්‍රිපත් ලාංඡනය මගින් නිල ඇදුම විශේෂ වන අතර දක්ෂතා පදක්කම් එයට වැඩි අරුතක් ලබාදුන්නේය. ගැහැනු ළමුන් බාලදක්ෂිකා කටයුතු කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා ලෙස ව්‍යාප්ත කෙරිණ. මෙම බාලදක්ෂිකා ව්‍යාපාරය බේඩ්න් පොයෙල් සාමිවරයාගේ බිරිඳ වූ ඔලෙව් සෙන්ට් ක්ලෙයා සෝම්ස් මහත්මියගේ කැපවීම මත තව දුරටත් දියුණු විය. එකල වයස අවුරුදු 11-18 අතර පිරිමි ළමුන් ඉලක්ක කොට ආරම්භ කෙරුනද කල්යත්ම ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාරයේ වර්ධනය සමඟ එම වයස් මට්ටමෙන් එපිට පිරිමි සහ ගැහැනු ළමුන් සදහා නායකත්ව පුහුනු වැඩසටහන් දියත් කරලීමේ අවශ්‍යතාවය මතුවිය. බාලදක්ෂ ව්‍යාපාරය සඳහා යොදා ගනුයේ අවිධිමත් අධ්‍යාපනය මූලික කරගත්, කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රීඩා, පාගමන් සහ ක්‍රීඩා වැනි එලිමහන් ප්‍රයෝගික ක්‍රියාකාරකම් මේ සඳහා එක්විය.
ආරම්භක වකවානුවේදී සමාජීය සම්මුතීන් නිසා පිරිමි ළමුන් ගැහැණු ළමුන්ගෙන් වෙන් කර තැබුවද විෂය සමගාමී කටයුතු වලදී එකට එකතුව කටයුතු කරන ලදී. 1990 වනවිට බාලදක්ෂ සංගම් 2/3 ක අයිතිය ලෝක බාලදක්ෂ සංගමය සතු වූ අතර එය විෂය සමගාමී වැඩසටහනක් බවට පත්විය.
බාලදක්‍ෂිකා ව්‍යාපාරය අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. බාලදක්‍ෂිකා ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. ශිෂ්‍ය භටබලකාය, බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආදිය නිසා අධ්‍යාපනය දියුණුවට ද රුකුලක් විය. මෙය කාන්තා අනන්‍යතාවය තහවුරු කර ඉදිරියට යන සංවිධානයක් වශයෙන් සැලකිය හැකිය. මේ වනවිට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යාව ලෝකයේ රටවල් 172ක මිලියන 57 ඉක්මවා සිටිති.
මොවුන් සියල්ලටම සෙවණ සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement - (WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts - WAGGGS) පිළිගනු ලැබේ.
ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජම්බෝරිය නියෝජනය කරන්නේ නෑ. සැම දෙනා එක් වුණොත් මතු පරපුරට සුරක්ෂිත රටක් ගොඩනඟා දිය හැකියි. යහපත් පුරවැසියන් රටට තනන බාලදක්ෂ ව්‍යාපාරයට උපරිම අනුග්‍රහය දක්වනවා. බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට අවස්ථාව සලසනවා..
රනිල් වික්රමසිංහජාති, ආගම් පදනමින් කිසිවකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක් වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කරගත හැකි බවද කියා සිටියේය. රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුග්‍රහය දක්වන බව මෙහිදී පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විවෘත කෙරිණි. ‘වෙනසක් සඳහා නායකත්වය’ යන තේමාව යටතේ පෙබරවාරි 20 සිට 26 දා දක්වා පැවැත්වෙන මේ ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාල දක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරන කණ්ඩායමක්ද කඳවුරට එකව සිටින අතර, පෝතක බාලදක්ෂයන් සඳහාද මෙවර අවස්ථාව හිමි කර දී තිබීම විශේෂත්වයකි.
10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර ලේන්සුව සහ පදක්කම පැලඳවීමද සිදු කෙරිණි.
ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු වූ අතර, ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාපද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි. 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක් වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතාබහක නිරත විය.
අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටිති.
ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාලදක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර, ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සන්දර්ශන ද ඊට ඇතුළත් වේ. ඊයේ (21) සිට පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර තැබිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:
“දස වැනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගි වී සිටිනවා. අද ඔබ මීට සහභාගි වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි. අද ඔබ මෙතැනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයකු ලෙසයි. අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ.
මෙතැනට පැමිණි සියලු දෙනාටම පළමුව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලු දෙනාගේ මේ සාමූහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා; ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා. ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වනවා.
“බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මේ වගකීම භාර ගත් අවස්ථාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ දෙක දක්වා ඉහළ නංවාගැනීමට අපට හැකියාවක් තිබෙනවාද කියා. එය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා. එබැවින් සියලු දෙනා එක්ව මේ බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේදී ඒ සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි. මේ සඳහා ගැටලුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ දෙකක ඉලක්කය සම්පූර්ණ කළ විට ඒ වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් දීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමැතියි. එහෙත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.
ඒ වගේම මෙවැනි ව්‍යාපාර මඟින් නව දැනුම හා නව තාක්ෂණය සැලසිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය සැපයිය හැකියි. නව දැනුම ගෙනදෙන මාර්ගයක් ලෙසත් මේ බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට මා බලාපොරොත්තු වනවා.
“කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මේ බාලදක්ෂ ව්‍යාපාරය සමඟ එක් කිරීමට අපේ සහාය දෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වනවා.
“බාලදක්ෂයන් පමණක් නොවෙයි, අනෙක් සියලු දෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට තිබෙනවා. එය අප සියලු දෙනා ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලු දෙනාම දුක් වින්දා: විදුලි බලය තිබුණේ නැහැ; ඉන්ධන තිබුණේ නැහැ; ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ; තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අප පසු කළේ. අපේ රට බංකොළොත් වුණා. එහෙත් දැන් ක්‍රමානුකූලව ඒ බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන දුන් නමුත්, තවත් අසීරුකම් තිබෙනවා. ඒත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි. රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමෙන් පසු අප සියලු දෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැගිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සුදානම්ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.
“අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලු දෙනා එකතු වුව හොත් තවත් වසර 10ක් 15ක් යන විට හොඳ රටක් බිහි කරගත හැකියි. එය මේ රට අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළ යුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි.
ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා.”
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, ජම්බෝරි නායක ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ආසියා ශාන්තිකර කලාපයේ උපසභාපති හා ලෝක බාල දක්ෂ ව්‍යාපාරයේ නියෝජිත සයිමන් බොක්‍රේ, බාලදක්ෂ කඳවුරු සංවිධායක, වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණුවීම් කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ආචාර්ය කුසන්තා හේරත්, නියෝජ්‍ය ජම්බෝරි නායක, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.