කොළඹ බාලදක්ෂ දිසා රැළි එක් දහස් නවසිය හැට ගණන්වල අගභාගයේදී පැවැත් වූයේ විහාරමහාදේවි උද්‍යානයේ නොවේ. කොළඹ ගොල්ෆ් පිටියේය. එවකට මා 15වැනි කොළඹ බාලදක්ෂ සමූහයේ වෘක පෝතකයෙක්. වෘක පෝතකයන් වූ අපට කඳවුරේ රැය ගතකරන්නට අවසර ලැබුණේ නෑ. එහෙත් කොළඹ දිසා කඳවුර පැවැත්වෙන දිනවලින් එකක් වෘක පෝතකයන් සඳහා ද වෙන් වෙලා තිබුණා. වෘක පෝතකයන් සඳහා වෙන් වූ ඒ දිනයට සෑම පාසලකම ඉන්න පෝතකයෝ කඳවුර බලන්න ආකේලා එක්ක එනවා. අපි දෙදෙනා බැගින් අත්වැල් බැඳගෙන කඳවුරු ක්‍රියාකාරකම් කරන්නත් හැමතැනම ඇවිදල බාලදක්ෂ අයියලගෙ පුරෝගාමී වැඩබලන්නත් තිබුණේ ලොකු උනන්දුවක්.
අමතක නොවෙන බාලදක්ෂ කටයුතු එහෙම මොනවාද
වයස අවුරුදු 12 ලැබූ විට වෘක පෝතක බවෙන් මිදී බාලදක්ෂයකු වීමේ වරම අපට ලැබුණා. ඒ එක්දහස් නවසිය හැත්තෑව, හෑත්තෑඑක පමණ කාලයේය. ඒ කාලයේ විහාර මහා දේවි උද්‍යානයේ ඒ පැත්ත පට්ට පාළුය. ඒ වටා උසට වැඩුණු මානා පඳුරු මිස මිනිස් පුළුටක් පෙනෙන්නට නොතිබිණි. කොළඹ මහජන පුස්තකාලය අවට විහාර මහාදේවි උද්‍යානයේ මා රැය පහන් කළේ තනිවම නොවේ. 15 වැනි කොළඹ බාලදක්ෂ සමූහය සමඟය. අවුකූස්ටකෙ අදටක් ගොඩක් කට්ටිය මේ ස්මාරකේට මුවා වෙලා ඉන්නවා හෙවණක් විදිහට. ඉස්සර පෙම්වතුන්ගෙ තිප්පලක් වෙලා තිබ්බට දැන් එතන ලගින්න දෙන්නෙ නැහැ වැඩි වෙලාවක්.
15වැනි කොළඹ බාලදක්ෂයෝ
කාලයක් තිස්සේ බාලදක්ෂයන්ගේ කොළඹ වාර්ෂික කැම්පෝරිය පැවැත්වූයේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදීය. අවුරුදු කිහිපයකදීම අපේ කඳවුරු උදෙසා කූඩාරම් ඉදිකළේ කලා භවනට මුහුණලා පිහිටි පැත්තේය. කණ්ඩායම් අතර ඉවුම් පිහුම් තරගය පැවැත්වූයේ යුද ස්මාරකය සමීපයේ ය. මේ වෙන කොට කොළඹ බාලදක්ෂ කටයුතු වලට අවුරුදු 110ක්. කොළඹ දිසාවේ සියලු බාලදක්ෂ කණ්ඩායම් සමග 15වැනි කොළඹ බාලදක්ෂ සමූහයත් එදා විහාර මහා දේවි උද්‍යානයේ කඳවුරු බැඳල තියෙනවා වසර 50වැඩි ගණක්ම.
බාලදක්ෂ කටයුතු කරපු විදිහ මතක් කලොත්
බාලදක්ෂ කඳවුරු කුඩා අපට අතිශය විනෝදය ගෙන දෙන තැනක් වූයේය. දිවා කාලයේ කැම්පෝරිය පැවැත් වෙන භූමියේ තැනෙක බොක්සිං තරග පැවැත් වේ. තවත් තැනක රෙස්ලිං තරගය, තවත් තැනක සංගීත කණ්ඩායමකි. එදිනෙදා නිවෙසේ ගෙවන ජීවිතයෙන් මිදී අවුත් කුඩා කාලයේදීම අපි කඳවුරේ කෑම පිසගෙන සැවොම එක්ව අනුභව කළෙමු. කෑම පිසීමත් තේ පිළියෙළ කිරීමත් දෙවැනි පන්තියේ පරීක්ෂණවලදී සමත් විය යුතු වූයේය.
අප කුඩා කාලයේදීම සාමූහිකව ගයන්නටත් රඟපාන්නටත් පුරුදු වූයේ කඳවුරේ රාත්‍රී කාලයේ පැවැත්වෙන ගිනිමැල වටා වූ ජවනිකා නිසාය. බාල දක්ෂයින්ටම වෙන්වූ ගිනි මැල ගීත බොහෝය. ඉන් එකක් කඳවුරු ගැන කියන්නකි.
“පුංචි පුංචි පැල් සදාලා හරිම ලස්සනයි
පන්ති පන්ති බාලදක්ෂ කඳවුරේ සිටී
කඳවුරේ උයයි
කඳවුරේ නිදයි
බාලදක්ෂ ෂ: හරිම ලස්සනයි!”
දෙවැනි පන්තියේ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව තනි තනි පදක්කම් උදෙසා පැවැත්වෙන පරීක්ෂණවලට සහභාගීවීමේ වරම බාලදක්ෂයා ලබයි. (දැන් මේවා වෙනස් වී ඇතැයි සිතමි.) ප්‍රථමාධාර දෙන්නා, කඳවුරුකරු, පොත් කියවන්නා, කෑම පිසින්නා ආදී වශයෙන් එක් එක් කුසලතා සඳහා දිනාගත හැකි පදක්කම් රාශියක් තිබිණි. ඒවායින් මගේ සිත වඩාත්ම ඇදී ගියේ වන ශිල්පියා (Back Woods man) පදක්කමටයි. බොම්බයි ලූනු ගෙඩියේ දමා බිත්තර තම්බාගන්නටත්, මැටි ගසා දෙල් තම්බාගන්නටත්, කෝටුවක ඔතා රොටි සාදාගන්නටත් එකල අපි පුරුදු වූයෙමු. අපි කුඩා කාලයේදීම කූඩාරම් ඉදිකරන්නට රුසියෝ වීමු.
අපිට හමු වූ අපූරුම පුද්ගලයා ජෝර්ජ් සමරසිංහ සර්
අපට කුඩා කාලයේම 15වැනි කොළඹ බාලදක්ෂ වෘක පෝතකයන් ලෙස බඳවා ගත් ප්‍රධාන බාලදක්ෂ ආචාර්යවරයා අපූර්ව පුද්ගලයෙකි. දෙහිවල කැම්බල් පෙදෙසේ විසූ ඔහු නමින් ජෝර්ජ් සමරසිංහය. ඔහු කුඩා දරුවන්ට කුසලතා ඉගැන්වීමේ අති දක්ෂයෙක් විය. අප බාලදක්ෂ කටයුතුවල නිරත වූ කාලයේත් මැදි වයස පසුකර සිටි ඔහු අවුරුදු 103ක් ආයු වළඳා මිය ගියේ දෙදහස් ගණන් වලදීය. එකල ගල්කිස්සේ සාන්ත තෝමසුන්ගේ විද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩාංගණය පිහිටි ඉඩම සෙනසුරාදා දිනවල 15වැනි කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ කටයුතුවලට වෙන්කර දී තිබිණි. එය පිහිටා තිබුණේ ද සේරම් පාරට සහ හෝටල් පාර අතර මැද බිම් කොටසකයි.
මීරිගම ලී දසනායක කඳවුරේ පුහුණුව
මීරිගම, කණ්ඩලම ගොවිපළ සමීපයේ පිහිටි අක්කර ගණනාවක වනාන්තර භූමියක් එකල බාලදක්ෂ කටයුතු සඳහා කඳවුරැ බඳින්නට වෙන්කර දී තිබිණි. මා දුටු විශාලම පුස්සැල්ලා වැල තිබුණේ එම වනාන්තරයේය. එකවර ළමුන් හත් අට දෙනකුට එහි ඉහළට නැගගෙන ඔන්චිල්ලා පදින්නට තරම් එම පුස්සැල්ලා වැලේ ඉඩ තිබිණි. එම වනාන්තරයේ ඇති රූස්ස ගස් නගින්නට ප්‍රමාණවත්, ශක්තිමත් කඹ එම කඳවුරේම එකල තිබුණු නිසා ඒවා ආධාරයෙන් ගස් නැගීම මීරිගම කැලයේ ජනප්‍රිය ක්‍රීඩාවක් විය. රූස්ස ගස් අතුවල කඹ දවටා පුටු ගැටය (එය විශේෂ ගැටයකි.) ආධාරයෙන් අප බිමින් ගස් උඩටත්, ගස් උඩ සිට බිමටත් යන්නට පුරුදු වීමු.
1970 අවුරුද්දේ දෙසැම්බරයේ දින හතරක් කුරුණෑගල බාලදක්ෂ මූලස්ථානයේ කඳවුර කරන්නට අපට හැකිවිය. එම ගොඩනැගිල්ල තිබෙන නිසා අපට කූඩාරම් ඉදිකරන්නට අවශ්‍ය වූයේ නැත. දැන් එම ගොඩනැගිල්ල පිහිටි පෙදෙස සෙනඟ ගැවසෙන ජනාකීර්ණ හරියකි. 1970 දෙසැම්බරයේ එහි ගත කළ දින හතර ඇතුළත අපි “ඉබ්බාගල” නැංගෙමු. කුරුණෑගල වටා ඇති ඇතාගල, ඉබ්බාගල, කුරුවෙනියාගල, ඇඳාගල, යක්දෙස්සගල ආදිය ගැන තොරතුරු රැස්කළෙමු. ඒ කාලයේ ඒවා පාළු පාරවල්ය. පසු කාලයේදී 2007දී කුරුණෑගල බාලදක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ලේම නාට්‍ය වැඩමුළුවක කටයුතු කරන්නට මට ආරාධනා ලැබිණා.
මීරිගම ආශිර්වාද ප්‍රකාශනයට "තෙල්මා" නවකතාව පරිවර්තනය කරන්න අවශ්‍ය වුණා. ඒ පරිවර්තනය එළි දක්වන්නටත් පෙරම ඒ ප්‍රකාශනයටම තවත් නවකතා පොත් දෙකක් මම පරිවර්තනය කළා. මගේ නවකතාවලින් වැඩිපුරම අලෙවි වන නවකතාව තමයි "තෙල්මා" කියන්නේ. මගේ පරිවර්තන විෂය වෙන්නේ නාට්‍ය පරිවර්තනය. ආශිර්වාද ප්‍රකාශකයන් තමයි මට නවකතාවක් පරිවර්තනය කරන්න යෝජනාව කළේ.
“කුරිරු අඳුර" වේදිකා නාට්‍ය රුසියානු කතාවක පරිවර්තනයක්. එය ටෝල්ස්ටෝයිගේ "power of darkness” නාට්‍යයේ පරිවර්තනයක්. මීට කලින් කවුරුත් ලංකාවේ මේ පරිවර්තනය කරලා තිබුණේ නැහැ. මම දන්න තරමින් ටෝල්ස්ටෝයිගේ නාට්‍ය පරිවර්තනය කරලා තිබුණේ නැහැ. ඉතින් power of darkness නාට්‍ය තමයි "කුරිරු අඳුර" නමින් වේදිකාගත වෙන්නෙ.
බාලදක්ෂ
කඳවුරු ජීවිතය
වයස අවුරුදු 12-14 කාලයේදී අපි ගෙදරින් නික්ම දින තුන හතර බාලදක්ෂ කඳවුරුවල ගත කළෙමු. අප නිවසින් පිට යවද්දී අපේ මාපියන්ට හිතේ බියක් ලොකුවට දැනුණේ නැත. ඒ ගමන්වලින් අපේ කුසලතා වර්ධනය වන බවද අපේ මාපියෝ දැන සිටියහ. දැන් කාලයේ නම් කඳවුරකට යවන්නට තබා සවස් කාලයේ එළිමහනකට දරුවකු යවන්නට පවා ඩෙංගු ආදී ලෙඩ රෝග නිසා මාපියෝ බියවෙති. පාසලෙන්, උපකාරක පන්තියටත්, උපකාරක පන්තියෙන් ගෙදරටත් එන දරුවාට මොන කඳවුරු ජීවිතයක් ද!
මහජන පුස්තකාලය අසලින් අහසට එසවුණු යුද ස්මාරකය දකින මට සිහියට නැගෙන්නේ ලෝක යුද්ධවලින් මිය ගිය සොල්දාදුවන් නොවේ. අදටත් ආදරයෙන් සිහිකළ හැකි මගේ සුන්දර ළමා කාලයයි. එදා විහාර මහා දේවි උද්‍යානයේ පාළු කෙළවරක මාන පඳුරු මැද තිබු යුද ස්මාරකය අදටත් මට ජීවන සිහිවටනයක්. විහාර මහා දේවි උද්‍යානයේ කඳවුර බැඳ රැය පහන් කළ කැම්පෝරි දවස් ගැන නිහඩවම අදටත් කිසිවකුට නෑසෙන්නට තතු කියනා ආත්මයක් සේ දැනෙනවා.