උත්සවයට පැමිණි බණ්ඩාරනායක අගමැතිතුමා විදුහල්පති ඩී. ඇස්. ජයමාන්න මහතා විසින් බුලත් හුරුල්ලක් දී පිළිගත් අවස්ථාව. |
අද මගේ ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින මට ආපසු හැරී බලන විට මගේ ජීවිතය තුළ පිරවිය නොහැකි හිඩැස් කීපයක් ඇති බව කැපී පෙනෙයි. එයින් මුලින් ම එන්නේ මා සමඟ මගේ ජීවිතයේ හොඳම කාලයේ එක්ව විසූ, එක්ව හුස්ම ගත්, සහෘදයන් දෙදෙනකු මගෙන් වියෝවීම නිසා ඇති වූ හැඩැස් දෙකයි. එයින් එක් හිඩැසක් ඇති වූයේ විජය පුවත් ආයතනයේ ආරම්භක ප්‍රධාන කර්තෘ ඇස්. සුබසිංහ මහතාගේ අභාවයෙනි. අනෙක් හිඩැස ඇති වූයේ එහි ආරම්භක කර්තෘ මණ්ඩලයේ සේවය කළ අතුල මංචනායක මහතාගේ වියෝවීමෙනි.
අගමැතිවරයකු බලහත්කාරයෙන් උත්සවයකට කැඳවාගෙන ගිය හැටි!
මා, සුබසිංහ මහතා හඳුනා ගත්තේ ලේක්හවුසියේ ‘ජනතා’ පත්‍රයේ සේවය කරද්දීය. කලින් ද ‘මල්කැකුළු’ ඔස්සේ කියා ඇති ඒ කතාව මෙසේය: ලේක්වුසියේ සේවයට ආ මුල් කාලයේ දී උදෑසනින්ම වැඩට යන අප වැඩ අරඹන්නේ පුස්තකාලයෙනි. සිරිත් පරිදි එදාත් පුස්තකාලයට ගිය මම 'ලංකාදීප' පත්‍රයේ කාටුන් සොය සොයා ඒවා කියවමින් සිටියෙමි. අපේ පුවත්පත් මෙන් නොව ලංකාදීපය කාටූන් කීපයක් පිටු අතර පළ කළ නිසා ඒවා සොයා යාම අපේ පුරුද්ද විය. හෙන්රි තෙන්නකෝන්ගේ 'විහිළු තහළු', කරුණාදාසගේ 'කවටකම්', (මහගම) සේකරගේ 'ජරමර', කියවූ මම නැවතී සිටියේ අමිත අබේසේකරගේ 'විකට විට' ළඟය. එහි මොට්ටපාල රාළහාමි හමු වීමට ඇවිත් ආධාර ලැයිස්තුවක් දික්කරයි.
"රාළහාමි අර අල්ලපු ගෙදර සංගීතකාරයා භාත්ඛණ්ඩේ යවන්න සල්ලි එකතු කරනවා. රාළහාමිත් රුපියල් දෙකක් දෙන්න" මොට්ටපාල කියයි.
රාළහාමි දෙන්නේ මෙහෙම උත්තරයක්. "මං දෙන්නං රුපියල් පහක්ම බැරිද ඒ හාදයාව ඊටත් එහා තැනකට යවන්න." ඒක කියවූ ගමන් ම මට සිනා ගියත්, ඒ පුස්තකාලය නිසාත්, මා දකුණු පසින් ජ්‍යෙෂ්ඨ කතුවරයකු සිටි නිසාත් මම සිනාව ශබ්ද නොනඟා කරන්නට මහන්සි ගතිමි. ඒත් මම කිසිවකට සිනා වූ බව වම්පස පුවත්පත බලමින් සිටි තරුණ සහෝදර පත්‍රකලාවේදියාට දැනුණේය. ඔහු මගේ පුවත්පතට එබෙමින්, "ඇයි මචං හිනාවුණේ ?" කියා ඇසුවේ ය. මම කතා නොකර ඔහුට ඇඟිල්ලෙන් කාටූනය පෙන්වීමි.
ඔහු මගේ පත්තරයට එබී එය කියවීය. කියවා බැරෑරුම් මුහුණක් මවාගෙන මගෙන් මෙසේ ඇසුවේ ය: "ඉන්දියාවෙ ඊට එහා තියෙන සංගීත විද්‍යාලය මොකක්ද මචං?"
ඒ කතාව අසා මගේ දකුණුපස පුවත්පත කියවමින් සිටි ජ්‍යෙෂ්ඨ කතුවරයා සිහින් හඬින් සිනාවක් නඟනු මට ඇසුණි. මා නවකයකු වූ නිසා ඔහු දෙස බලන්නට බිය වීමි. ඉන්පසු නිහඬව පුවත්පත කියවමින් සිටි මට ඔහු පිටත්ව යනු ඇස් කොණින් දැක ගත හැකි විය.
පසුව මමත් මගේ සගයාත් පුස්තකාලයෙන් නික්ම එද්දී ජ්‍යෙෂ්ඨ කතුවරයා ජනතා කර්තෘ මණ්ඩලයේ මැද තවත් අයකු සමග කතා කරමින් සිට එක්වරම මා දෙස බලා අතින් ඔහු දෙසට එන ලෙසට සන් කළේය. මිතුරාගෙන් සමුගෙන මම ඔහු වෙතට ගියෙමි.
"ඔයාගේ යාළුවට ඒ විහිළුව තේරුණේ නෑ නේද? ඒ වුණාට මිනිහා අමිතගෙ විහිළුවට වැඩි විහිළුවක් ඒකෙන් මතු කළානෙ." ඔහු මා ළඟට එත්ම කීවේය. එහි යටි පෙළෙන් මතු වූ හාස්‍යය ඔහු තේරුම් ගැනීම මගේ සතුටට හේතු විය.
මට පළමුවරට සුබසිංහ මහතා හඳුනා ගැනීමට ලැබුණේ ඒ අවස්ථාවේ දී ය. මීට වසර දශක හයකට පෙර ඒ හමුවීම විහිළුවක් සමඟ සිදුවීම දෛවයේ සරදමක් දෝයි මට සිතේ. ජීවිතයේ හැම දෙයක් දෙසම සිනාමුසුව බලන්නටත්, ඇතැම් තැනක යටි පෙළෙහි ඇති සියුම් හාස්‍යය දකින්නත්, ඔහු තුළ වූ හැකියාව මා තුළ ඔහු කෙරෙහි විශේෂ ළැදියාවක් ඇති වීමට හේතු විය. ඒ මිතුදම ඔහු අභාවයට පත් වන තෙක් ම පමණක් නොව, මේ දක්වාම පවතින මිහිරියාවෙන් පිරි එකක් බව කිවයුතුය. විජය පුවත්පත් ආයතනය බිහි වූයේ ද ඒ මිතුදමේ ප්‍රතිඵලයක් ලෙසය.
දිනක් විජය පුවත්පත් ආයතනයේ සේවයට පැමිණි මොහොතේ අපට දැන ගන්නට ලැබුණේ අපේ සභාපති රංජිත් විජයවර්ධන මහතා පැමිණි වහාම ඔහු හමුවීමට එන ලෙස කියා ඇති බවය. ‘ඊයේ රෑ උපාලි මැලේසියාවෙ ඉඳල ආව එයාගේ ප්‍රයිවෙට් ජෙට් එක අතුරුදන් වෙලා!’ ඔහු අප දුටු ගමන්ම කීවේ සෝබර හඬකිනි. 'විදෙස් පුවත් ගැන සෝදිසියෙන් ඉන්න. තොරතුරක් ලැබුණොත් මට දැනුම් දෙන්න’ ඔහු අනතුරුව කීය.
‘දිවයින’ පුවත් ආයතනයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ හදිසි අතුරුදන් වීම සිදු වූ අවස්ථාවේ රටේ ජනාධිපතිවරයාගේ පටන් සෑම පුරවැසියකුම ඔහු ගැන සොයන්නට උත්සුක වූ බව මට මතකය. ඔහු ගැන අවසාන වරට ලැබුණු ආරංචිය වූයේ ඔහු ශ්‍රී ලංකාවට එන්නට ඔහුගේ පුද්ගලික ගුවන්යානයෙන් පිටත් වූ බවයි. එදා උදේ අතුල කාර්යාලයට ආ ගමන් ම අපි ඔහුට උපාලි විජයවර්ධන මහතාගේ අබිරහස් අතුරුදන්වීම ගැන කීවෙමු. ටික වේලාවක් කල්පනාවේ ගිලෙමින් සිට අතුල එක්වරම කටහඬ අවදි කළේය.
“සුබසිංහ මහත්තයො, මගේ යාළුවෙක් ඉන්නවා මීරිගම. එයා මියගිය අයගෙ ‘ස්පිරිට්ස්’ලා එක්ක කතා කරන. අපි වැඩ කරලා ටිකක් කලින් යමු එයා හම්බ වෙන්න. අපට මොකක් හරි දැන ගන්න ලැබෙයි” අතුල කීය.
එදා කලින් වැඩ අවසන් කළ අපි අතුලගේ මිතුරා හමුවීමට මීරිගමට ගියෙමු. ඒ මිතුරා භූත ආත්ම සමග කථා කළේ ප්‍රවාහිකාවක් මගිනි. ඔහු යම් ආකාරයක අවේශයකට පත් කොට ප්‍රවාහිකාව ඒ කටයුත්තට සූදානම් කළේ ය. ඉන්පසු කිසියම් භූතාත්මයක් ඇය වෙත ආ බවක් පළ විය. ඔහු ඇගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. ඇය පිරිමි හඬකින් උත්තර දුන්නාය. අපට දැන ගන්නට ලැබුණේ උපාලි ගමන් ගත් යානය මුහුද මැදදී නියමු මැදිරියේ ලොකු පිපිරීමකින් මුහුද කඩා වැටුණු බවය. යානයේ ගිය පස් දෙනෙක් මුහුද යට ඉන්නා බවත්, ඔවුන් ෂොක් එකකින් ඉන්නා නිසා ඒ භූතාත්ම ගෙන්වා ගත නොහැකි බවත් ඇගෙන් අපට දැන ගන්නට ලැබුණි. අතුලගේ මිතුරා කීවේ දින දෙක තුනකට පසු යළිත් විමසා බලමු කියාය. ‘එතකොට ෂොක් එක අඩුවෙලා තියේවි’ අප එතැනින් පිටත්ව එද්දී මිතුරා කීය.
දින කීපයකින් අපි යළිත් මීරිගමට ගියෙමු. ඒ වන විට උපාලි ගැන ආරංචි කීපයක් අප අතට පත් වී තිබුණි. මලක්කා වෙරළට ගොඩ ගසා ගෙන ආ අහස්යානයක සුන්බුන් ධීවර පිරිසකට හමු වූ බව රොයිටර් වාර්තා කර තිබුණේය. ඒත් පසුව ඒ වාර්තා රොයිටර් පුවත් සේවයෙන් ම ඉවත් කර ගෙන තිබුණේය. එය තවදුරටත් අබිරහසක්ව පැවතුනේය.
අප මිතුරාගේ නිවසට යන විට එහි කැපී පෙනෙන වෙනස්කම් කීපයක් දක්නට ලැබුණි. මිදුලේ කොටසක තැනූ තාවකාලික මඩුව මහන මැෂිං කීපයක් තබා ගෙන යුවතියන් කීපදෙනෙක් ඇඳුම් මසමින් සිටියෝය. මිදුලේ අනික් කොනේ පිරමීඩයක් ඉදිකර තිබුණි. අපව සිනහමුසු මුහුණින් පිළිගත් මිතුරා පිරමීඩය ගැන පැහැදිලි කළේය. තමාගේ කටයුත්තට පිරමීඩය ලොකු සහයක් දෙන බව කීවේය. ඒත් සුබසිංහ මහතාගේ සිත ඇදී ගියේ අනික් පැත්තටයි.
‘ඔබතුමා ඇඳුම් මැහීමක් පටන් අරන් වගේ’ සුබසිංහ මහතා ඇසීය.
‘මං ආදායම වැඩි කර ගන්න කියලා පටන් ගත්තෙ. අහල පහළ ළමයින්ට රස්සාව දෙන්නත් එක්ක. අනික මම මේ භූත ලෝකයෙ පර්යේෂණ කටයුතුවලට මුදල් අය කරන්නත් නෑනෙ. ගැනුම්කරුවෝ වැඩි වුණොත් හොඳයි.’ මිතුරා කීය.
‘ඒක හොඳයි. පාඩු වෙන්නේ නෑ. ඔයාට ගැනුම්කාරයෝ ඕනැතරම් ලැබෙයි. බය වෙන්න එපා! ටික දවසක් යන කොට ඔය ළමයි ටික මදි වේවි’ සුබසිංහ මහතා කීවේ ඔහුගේ ව්‍යාපාරයට සුබ පතමිනි.
අප ගිය කටයුත්ත ඉටු වුණේ නැත. උපාලිවත් ඔහුගේ සගයන්වත් අපට සම්බන්ධ කර ගැනිමට හැකි වූයේ නැත. ‘ආයිත් මේ වෙනුවෙන් ඔයාල එන්න එපා! මං කතා කරලා බලලා ආරංචියක් දෙන්නම් එතකොට එන්න!’ අප පිටත්වෙන විට මිතුරා කීය.
සුබසිංහ මහතා පිටත්ව යාමට හදිසි බවක් පළ කළේය. අපි ඉක්මනටම ඔහු හා එක්වීමු. වාහනයට ටික දුරක් යනතෙක් හිනාව තද කරගෙන උන් සුබසිංහ මහතා එක්වරම සිනාව මුදා හළේය.
‘මං එතැන හිනා නොවී හිටියෙ හරිම අමාරුවෙන්. අතුල ඔයාගේ යාළුවා අපූරු බිස්නස් එකකට අත ගහලා තියෙන්නෙ. එයා ගැනුම්කාරයෝ ගැන කියන කොට මං කිව්වේ “බයවෙන්න එපා ඕනැතරම් ලැබෙයි.” එයාගෙ භූත ලෝකයෙ සම්බන්ධකම් එක්ක ඔය වැඩේ ලේසියෙන් ගොඩදාගන්න පුලුවන්. දෙවිවරුම 33 කෝටියක් ඉන්නව නෙ. භූතයෝ ඊටත් වැඩි ඇති මයෙ හිතේ’ සුබසිංහ මහතා කීයේ සිනාසෙමිනි. මිතුරාගේ ව්‍යාපාරය හා බැඳුණු හාස්‍යය මට අවබෝධ වූයේ ඉන්පසුවය. අතුල සුබසිංහ මහතා බැලූ කෝනයෙන් ඒ දෙස බැලුවේ නැත. ඒ නිසා ඔහුට ඒ හාස්‍යය හසු වුණේ නැත. ‘ඔයාල ඔහොම විහිළුවට ගන්නව නං මං ආයිත් ඔයාලව මෙහෙ එක්ක එන්නෙ නෑ’ කියා අමනාපය පළ කළේය.
වරක් අතුල අපට බල්ලන් එලවන මන්තරයක් කියා දුන්නේය. මේ වචන ටික මතක තියා ගෙන පුංචි ගල් කැටයකට මතුරලා බල්ලාට ගහන්න. ඒක කතාව අහගෙන සිටි සුබසිංහ මහතා කීවේ, “ටිකක් ලොකු ගලක් ගත්තාම ඔය මන්තරේ නැතත් බල්ලා එලවා ගන්න බැරි නෑ නේද? අසා සිනාසුණේය.
අද මට ඔයාකාරයේ හාස්‍ය රස විඳින්නට හැකි වෙනත් මිත්‍රයෙක් නැත. සුබසිංහ මහතාට ඕනෑම තැනක හාස්‍යය මතු කර ගත හැකිය. ජීවිතය තුළ හදිසියේ මතුවන සියුම් උපහාසයක් අත්විඳින හැම මොහොතකම මට එහි රසය බෙදා ගන්නට සුබසිංහ මහතා හිටියා නම් කියා සිතුණු වාර අනන්තය. අද මට ඒ අඩුව නිරතුරුව දැනෙයි.
මගේ ජීවිතයේ ඊළඟ හිඩැස ඇති වූයේ මීට වසර 47කට පෙරය. ඒ මගේ පියාගේ අභාවයත් සමඟය. එකල ලිපි ලියද්දී මට කරුණු සොයන්නට මට සහය වූ එකම ‘සෙවුම් යන්ත්‍රය’ මගේ පියා ය. ඔහුගේ මතකය විස්මයජනකය. පැරණි පොතපත ගැන හෝ ලෝක ඉතිහාසය ගැන තොරතුරු ඔහු අතැඹුලක් සේ දැන සිටියේය. පැරණි කවියක්, ගාථාවක්, ශ්ලෝකයක්, උපමාවක්, උපහැරණයක්, ජන ප්‍රවාදයක්, වදනක නිරුක්තියක්, ඉතිහාස ගත කරුණක් කියා දෙන්නට ඔහු හැම විට ම සැදී පැහැදි සිටියේය. එකල ගුරුවරු බොහෝ දෙනකු එක් විෂයකට දෙකට පමණක් සීමා නොවූහ. මගේ පියා ඒ අතින් විශිෂ්ට ගුරුවරයෙකි. හැම දෙයක් ගැනම ඉගෙන ගන්නට මා යොමු කළේ ඔහු ය.
ඔහු පිළිබඳ මගේ මතකයේ රැඳී ඇති එක් විශේෂ සිද්ධියක් තිබේ. ඒ දිවංගත ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා සම්බන්ධ සිද්ධියකි. වන්නියේ දුෂ්කර පළාතක වසර ගණනාවක් සේවය කළ මගේ පියාට 56 දේශපාලන පෙරළියත් සමඟ මහනුවර නගරයේ ගුරු නිවාසයක් ඇති පාසලකට මාරුවක් ලැබිණ. ඒ නිසා මට ධර්මරාජ විද්‍යාලයටත්, මගේ නංගිලාට පුෂ්පදාන බාලිකාවටත් යාමට අවස්ථාව සැලසුණේය.
ඒ ගුරු නිවාසය තිබුණු පාසල එදා දෙයියන්නේවෙල විද්‍යාලය නමින් හඳුන්වනු ලැබීය. අද එය රාජසිංහ මහා විද්‍යාලය වී තිබේ. මහනුවර නගරයේ මහ රෝහල ආසන්නයේ පිහිටි එය අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලකට සමාන තත්වයේ එකකි. එහි ඉගෙන ගන්නට ආවේ ද නගරයේ දිළිඳු පවුල්වල දරුවන්ය. ඒ ළමයින්ගේ තත්වය නංවාලන්න මගේ පියා බොහෝ දේ කළේය. එයින් එකක් ලෙස පාසලේ බාල දක්ෂ කණ්ඩායමක් ආරම්භ කිරීම මගේ මතකයට නැඟෙයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව බාලදක්ෂ මූලස්ථානයේ අනුග්‍රහය ඇතිව ආරම්භ කළ ඊට ළමයින් දැක්වුවේ විශාල උනන්දුවකි. ඔවුන්ට ඇඳුම් සපයා දීමට පියා මිතුරන්ගේ සහය ලබා ගත්තේය.
මහනුවර දෙයියන්නේවෙල විදුහලේ බාල දක්ෂ උළෙලට සහභාගි වූ අගමැති බණ්ඩාරනායක මහතා ජාතික ධජය එස වූ අයුරු. |
ළමයින්ගේ පුහුණුවට යන අතරතුර අගමැති බණ්ඩරනායක මහතා මහනුවර නගරයේ අලුතින් ඉදිකළ කච්චේරිය විවෘත කිරීම ඇතුළු වැඩ සටහන් කිහිපයකට පැමිණෙන බව ආරංචි විය. පියාගේ මිතුරන් කිහිප දෙනකු ම යෝජනා කළේ ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන අගමැතිතුමා ලවා පාසලේ බාලදක්ෂ ව්‍යාපාරය විවෘත කරවීමෙන් ළමයින්ට ලොකු දිරියක් ලබා දිය හැකි බවය. ඒ අනුව පළාතේ ප්‍රකට සමාජ සේවකයකු වූ සී. එම් ප්‍රනාන්දු මහතා අග්‍රාමාත්‍යවරයාට ආරාධනය කිරීම බාර ගත්තේය. ඒ කාලේ දෙයියන්නේවෙල පදිංචිව සිටි බණ්ඩාරනායක රජයේ මන්ත්‍රීවරයකු වූ ටී. බී. තෙන්නකෝන් මහතා ද එය අනුමත කළේය.
නියමිත දින උදේ 8.30ට අගමැතිතුමා ඒ උත්සවයට සහභාගි වන බව දන්වා පිිළිතුරු ලිපියක්ද අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබුණේ ය. ඒ අනුව සියලු දෙනාම උත්සවයට සුදානම් වූහ. උත්සවයට කලින් දා උදේ ප්‍රනාන්දු මහතා කච්චේරියට ගොස් අගමැතිතුමාගේ වැඩ සටහන ගැන විපරම් කළේය. කච්චේරියට එවා තිබූ වැඩ සටහනෙහි දෙයියන්නේවෙල විදුහලේ උත්සවය ඇතුළත් වී තිබුණේ නැත. ඔහු වහාම අපේ පියා සොයා ගෙන විදුහලට ආවේය. සිදුවී ඇති දෙය දැන්නුවේය.
‘කවුරු හරි වැඩ සටහන වෙනස් කරලා. මහත්තයා අධෛර්ය වෙන්න එපා! මම කොහොම හරි ලොක්කව වෙලාවට එක්ක ගෙන එනවා. බය වෙන්න එපා! මට අර පී.එම්ගේ ඔෆීස් එකෙන් එවපු ලියුම දෙන්න. මේ වෙලා තියෙන දේ ගැන කාටවත් කියන්න එපා! හිත කෙළින් තියාගෙන මහත්තයා වැඩේට ලෑස්ති වෙන්න’ ප්‍රනාන්දු මහතා ස්ථිර හඬින් කීවේය.
බණ්ඩාරනායක අගමැතිතුමා, (දකුණේ) පාර්ලිමේන්තු මන්ත්‍රීන් වූ පියසේන තෙන්නකෝන්, ටී. බී. තෙන්නකෝන්, ඩී. ඇස්. ජයමාන්න යන මහත්වරු (වමේ) සී. ඇම් ප්‍රනාන්දු මහතා. |
ඒ අතර ප්‍රනාන්දු මහතා පියාගෙන් රැගෙන ගිය ලිපියත් අතින් ගෙන කටුකැලේ නුවර පාරේ දයියන්නේවෙලට හැරෙන පාරට මඳක් ඉදිරියට වෙන්නට පාර අයිනේ රැඳී සිටියේය. ඔහු අගමැති තුමාගේ නිල රථය එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියේ ය. ඒ කාලේ දැන් මෙන් විශාල ආරක්ෂාවක් හා පරිවාරි රථ පෙළක් තිබුණේ නැත. අගමැති තුමා රැගත් රථයට අමතරව එක් ආරක්ෂා රථයක් පමණි. රථය එනු දුටු ප්‍රනාන්දු මහතා දෑත් විදහා ගෙන පාර හරස් කර ගෙන අගමැති තුමාගේ රථය ඉදිරියට ගියේය. වේගයෙන් ආ රථය එක්වර පාර මැද නැවැත්විණ. පසුපසින් ආ රියද තිරිංග තද කළ මුත් අගමැති රථයේ යම් වැදිණ. ප්‍රනාන්දු මහතා ලිපියත් අතින් ගෙන ඉදිරියට ගොස් අගමැති තුමා අමතා ව්‍යක්ත ඉංග්‍රීසියෙන් කතා කළේය.
‘අඩු වරප්‍රසාද සහිත පුංචි ඉස්කෝලෙක ළමයින්ට එන බවට පොරොන්දු වෙලා ඇයි ඒ පොරොන්දුව කඩ කරලා මෙහෙම යන්නේ. ඔබතුමා වගේ උගතකුට ඒක තරම් වූ දෙයක් නොවෙයි. කරුණාකරලා මිනිත්තු දහයකට නැවතිලා ඒ ළමයින්ගෙ සිත් සනසලා යන්න’ ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේ ය. ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ බණ්ඩාරනායක මහතා එසැණින් තත්වය තේරුම් ගත්තේය. ප්‍රනාන්දු මහතාත් ඔහුගේ රියට නංවාගෙන දෙයියන්නේවෙල විදුහලේ ක්‍රීඩා පිටියේ උත්සවය පැවති භූමිය වෙත පැමිණියේය.
මා දන්නා තරමින් අගමැති වරයෙකු බලහත්කාරයෙන් උත්සවයකට කැඳවා ගෙන ලොව එකම අවස්ථාව එය විය හැකිය. අගමැතිතුමා සිනාමුසු මුහුණින් ඒ අවස්ථාවට සහභාගි විය. රැස්ව සිටි පිරිස ද ඔල්වරසන් දෙමින් එතුමා පිළිගත්හ. විදුහල්පතිවරයා වශයෙන් මගේ පියා බුලත් හුරුල්ලක් දී එතුමා පිළිගත් අතර එතුමා පැමිණි විගසම ජාතික කොඩිය ඔසවා ගෞරව දැක්වීය. වචන කීපයකින් දරුවන් ඇමතූ එතුමා තමා කෙටි වේලාවක් හෝ මේ දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් හා මන්ත්‍රීවරුන් සමග ගත කරන්නට ලැබීම සතුටක් බව කීවේය. ප්‍රනාන්දු මහතා පොරොන්දු වූ ආකාරයට උත්සවය විනාඩි කීපයකට සීමා කෙරිණ. අගමැති තුමා ප්‍රනාන්දු මහතාට අතට අත දී ස්තුති කරමින් නිල රථයට නැග්ගේය.
අගමැති වරයා පිටත්ව ගිය පසු සැලසුම් කළ පරිදි උත්සවය පැවැත්විණ. ප්‍රනාන්දු මහතා තමා අගමැතිතුමා කැඳවා ගෙන ආ හැටි ඒ උත්සව සභාව අමතා කීවේය. රැස්ව සිටි පිරිස අත්පොළසන් දී සතුට පළ කළහ.
විශේෂ ස්තූතිය
පර්සි ජයමාන්න
උපුටා ගැනීම - මල්කැකුළු වෙබ් අඩවියෙන්