Pages

Sunday, February 7, 2016

අපේ ජාතික ගීය

ජාතික ගීය

ජාතික ගීය හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙහි භාවිතවන පාරිභාෂික පදය නැෂනල් ඇන්තම් (national anthem) යන්නයි. ඇන්තම් යන පදය ග්‍රීක භාෂාවෙහි  'කටහඬට එරෙහිව' යන අරුත ගෙන දෙන ඇන්ටිෆෝනා යන්නෙන් බිහිවූවක් බව සඳහන්.  මෙහිදී ඇන්ටිෆන් යන්න භාවිත කර ඇත්තේ දෙපාර්ශවයක් විසින් ගායනා කරනු ලබන්නා වූ ද එක් පාර්ශවයකට පිළිතුරු ලෙස අනෙක් පාර්ශවය විසින් ගායනා කරනු ලබන ආකාරයට සකස් කරන ලද්දාවූ ද ගීතිකා විශේෂයක් හැඳින්වීම සඳහායි. 'ඇන්තම්' යන පදය ප්‍රොතෙස්තන්ත පල්ලියෙහි ගැයුණු ඉතා සන්සුන් ගායන වෘන්දයක් හැඳින්වීම සඳහා ද යොදාගෙන තිබේ.  ඒ වූ කලි  ඕගනය උපයෝගී කරගනිමින් ඒකල ගායනා කොටස් ඇතිව හෝ නැතිව, පල්ලියේ ගීතිකා කණ්ඩායම විසින් ගායනා කරන ලද ගීත විශේෂයකි. නැෂනල් ඇන්තම් යන පදය සඳහා වන නිර්වචනය ඉහත දැක්වූ නිර්වචනයන්ට වඩා වෙනස් ස්වරූපයක් ගනී. කිසියම් රටක් නොඑසේනම් රාජ්‍යයක් නිල වශයෙන් පිළිගන්නා ලද දේශාභිමානී ගීතිකාවක් හෝ ගීතයක් හෝ වචන රහිත සංගීත සංරචනයක් නැෂනල් ඇන්තම් හෙවත් ජාතික ගීය යන්නෙන් හැඳින්වෙයි. මෙවැනි වූ ජාතික ගීතයකින් රටවැසියා තුළ ස්වකීය දේශය උදෙසා ඇති භක්තිය, ඇල්ම, ප්‍රේමය, පක්ෂපාතිත්වය වැනි හැඟීම් ජනිත කෙරෙතියි අපේක්ෂා  කෙරේ. අපේ ජාතික ගීය නිර්මාණය කළේ ආනන්ද සමරකෝන් මහතායි.

බ්‍රිතාන්‍ය පාලන සමයේදී අපේ රටේ ජාතික ගීය වශයෙන් භාවිතවී තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි.  'God save the King/Queen' ලෙස දැක්වුණු බ්‍රිතාන්‍ය ජාතික ගීය ක්‍රිස්තු වර්ෂ 1745 දී හඳුන්වා දෙන ලද වඩාත් පැරැණි ජාතික ගීය ලෙස ද දැක්වෙයි. 




නිදහස් සටන් ව්‍යාපාරය ශක්තිමත්වීමත් සමඟ ඉංග්‍රීසි රජුන්ට ආවැඩීමේ කව් ගී දුලබ විය. ක්‍රමක්‍රමයෙන් දේශාභිමානී කව් ගී බහුල වන්නට විය.  මෙම කව් ගි අතර ජාතික ගීය නමින් හැඳින්වූ රචනාවන් දක්නට ලැබුණි. ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් රචනා කරන ලද එවැනි ප්‍රබන්ධයක් එකල ඉතා ජනප්‍රිය විය.

දිනේ දිනේ සිරිලක ජාතික ආලේ ජාතික ආලේ... 
ජාතික රුධිරය යුධබිමෙහි ලූ අප නරවිරු ..... මේ ආකාරයට එම ජාතික ගීය රචනාවිය. 

1937 වනවිට සංගීතඥ එම්. ජී. පෙරේරා මහතා නිර්මාණය කරන ලද ගීතයක් ද ජාතික ගීය ලෙස භාවිතවී තිබේ.  ශ්‍රී ලංකා ගාන්ධර්ව සභාවේ ශාඛාවක් මහනුවරදී පිහිටුවන ලද අවස්ථාවේදී එම උළෙල අවසන් කර ඇත්තේ එම්.ජී. පෙරේරා මහතා විසින් නිර්මාණය කර තිබූ එම ජාතික ගීයෙනි. 

බ්‍රිතාන්‍ය ජාතික ගීයේ තනුවට අනුව පුවක්පිටියේ ජේ. පී. වැලිවිට මහතා ද ජාතික ගීතයක් රචනා කර ඇත. ඉතිහාසයේ දක්වන ආකාරයට නිල මට්ටමෙන් ජාතික ගීයක් තෝරාගන්නට සිදුවූ අවස්ථාවේ ජේ. පී. වැලිවිට මහතාගේ එම ගීතයත් අදාල තරගය සඳහා ඉදිරිපත් කර තිබුණි.  

1938 දී ලංකා ගුවන්විදුලිය මඟින් ජාතික ගීය ලෙස බ්‍රිතාන්‍ය ජාතික ගීය ප්‍රචාරය කරන්නට විය.  දිනපතා ගුවන්විදුලි විකාශන කටයුතු අවසන් කළේ බ්‍රිතාන්‍ය ජාතික ගීය වාදනය කිරීමෙනි. 1943 දී ලංකා ජාතික සංගමය තම රැස්වීම් වලට ගායනා කරන ලද්දේ තමන්ගේම ගීතයකි. එය ඩී.එස්. මුණසිංහ මහතා නිර්මාණය කර තිබූ අතර සංගීතය සපයා ගීතය ගායනා කළේ   ඩී.සූරියසේන මහතා විසින්. 1946 දී ආනන්ද සමරකෝන් මහතා HMV   මුද්‍රාව යටතේ  'නමෝ නමෝ මාතා' නමින් ග්‍රැමෆෝන් තැටියක් එළිදක්වන ලදී.  ජාතික ගීයක් හැටියට එයත් භාවිත විය. 1947 දී එවකට අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ද ලංකා ජාතික ගීය නමින් නිර්මාණයක් කර තිබේ.  1947 වසරේ මාර්තු මාසයේ ආසියානු සම්මේලනයකට ඉන්දියාවට ගිය අමාත්‍යවරයා ඉන්දියානු තාලයේ වචනවලින් යුතු ජාතික ගීය හෙළාදැකිය යුතු බවට ප්‍රකාශයකුත් කර ඇත. 

මේ ආදී වශයෙන් ජාතික හැඟීම් උද්දීපනය වන ආකාරයේ ජාතික ගීය වශයෙන් හැඳින්වුණු ගීත ගණනාවක්ම 1948 ට පෙර   නිර්මාණය වී ඇති බවට ඉතිහාසය පෙන්වා දෙයි. ලංකාවට නිදහස ලැබීමේ පුවත සැලවීමත් සමඟ ජාතික ගීය පිළිබඳව උණුසුම් තත්වයක්  ඇතිවිය.  ඒ අනුව ගී තරගයක් පැවැත්වීම සඳහා වූ කටයුතු ලංකා ගාන්ධර්ව සභාවට පැවරුණි.  තරගය සඳහා ඉදිරිපත් කෙරෙන ගීතවල භාෂාව සහ අදහස් සලකාබැලීම සඳහා සිංහල ද්‍රවිඩ විනිෂ්චය මණ්ඩලයක් පත්කෙරුණි. සිංහල විනිෂ්චය මණ්ඩලය නියෝජනය කළේ එස්.එල්. බී. කපුකොටුව / එල්.එල්.කේ. ගුණතුංග / ලයනල් එදිරිසිංහ / ආචාර්ය ඩී.එච්.ඩී.ඒ. විජේසේකර / පී.බී. ඉලංගසිංහ සහ ඊ. ඒ. අබේසේකර යන මහත්වරුන්ය.  

ආනන්ද සමරකෝන් මහතා නිර්මාණය කළ නමෝ නමෝ මාතා ගීතයත් මෙම තරගයට ඉදිරිපත් කර තිබේ.  ගීතය තරගයට ඉදිරිපත් කර තිබුණේ සමරකෝන් මහතාගේ  බිරිඳ වූ කරලයින් ද සිල්වා මහත්මිය විසිනි. ඒ වනවිට සමරකෝන් මහතා ඉන්දියාවේ චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා පිටත්ව ගොස් තිබුණි.  අදාල තරගය පවත්වා තිබෙන්නේ 1948 වසරේ ජනවාරි මස 31 වනදායි. නමුත් නමෝ නමෝ මාතා ගීතයේ සහාය ගායිකාව වූ ස්වර්ණා ද සිල්වා මහත්මිය පසු  කලෙක පවසා ඇත්තේ අදාල ගීතය තරගයට ඉදිරිපත් කලේ තමා බවයි.  කොළඹ මරදානේ රජයේ පාසලක තරගය පැවැත්වූ අවස්ථාවේ පැටි‍්‍රක් දෙණිපිටිය / සරත් සේන / ටෙනිසන් රුද්‍රිගෝ සහ ජයන්ත ද සිල්වා යන අයගේ සංගීත සම්පාදනය සහිතව තමා පුහුණුකළ කණ්ඩායම විසින් එම ගීතය ගායනා කළ බවත් ඇය පවසා තිබේ. කෙසේ වෙතත් ජාතික ගී තරගයෙන් ජයග්‍රහනය කළේ එම ගීතය නොවේ.     

පී.බී.ඉලංගසිංහ නොතාරිස් රාලහාමි රචනා කළ  'ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා” නම් වූ ගීතයට ජය හිමිවිය. සංගීතය නිර්මාණය කළේ ලයනල් එදිරිසිංහ මහතායි.  ජයග්‍රහනය සඳහා වූ රුපියල් දහසේ ත්‍යාගය ප්‍රදානය කර ඇත්තේ   වී.ඩී පී. ප්‍රනාන්දු මහතා විසිනි.

1948 වසරේ පෙබරවාරි 4 වනදා මංගල නිදහස් දිනයේදී ලංකා ගුවන්විදුලියෙන් ජාතික ගීය ලෙස ප්‍රචාරය කරන්නට නියමිතව තිබුණේ ජයග්‍රහනය කළ එම ගීතයයි. මෙහිදී ප්‍රශ්නයක් පැන නැඟුණි.

ගීතය තරග විනිෂ්චය මන්ඩලයේ සාමාජිකයින් දෙපලකගේ නිර්මාණයක්වීම හේතුකොට ගෙන ප්‍රථම ස්ථානය දිනාගත් ගීතය ඉවත් කෙරුණි. ඒ වෙනුවට දෙවන ස්ථානය දිනාගත් ආනන්ද සමරකෝන් මහතාගේ නමෝ නමෝ මාතා ගීතය ප්‍රථම ස්ථානයට ගෙන එන ලදී.

මෙම ජාතික ගීය කොළඹ මියුසියස් විද්‍යාලයීය ගායක කණ්ඩායමක් විසින් මුල්වරට 1949 වසරේ පෙබරවාරි 4 වනදා, එනම් ශ්‍රී ලංකාවේ දෙවන නිදහස් සමරු උළෙලේදී ගායනා කරන ලදී. ජාතික ගීය මියුසියස් විද්‍යාලයීය කණ්ඩායම සඳහා පුහුණුකර ඇත්තේ මර්සලීන් ජයකොඩි පියතුමා විසිනි.

නමෝ නමෝ මාතා ගීතය ජාතික ගීය විය යුතු බවට 1951 වසරේ නොවැම්බර් මස  22 වනදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේය.  1952 වසරේ මාර්තු මස 12 වනදා ඒ පිළිබඳ පුවත්පත් නිවේදනය රජය විසින් ප්‍රකාශයට පත්කරන ලදී. 

විශේෂ ස්තූතිය
බන්දුල බණ්ඩාර මාඋස්සාගෙදර





       







No comments:

Post a Comment