Pages

Sunday, November 20, 2016

නෝමන් පලිහවඩන නැමති බාලදක්ෂයා

'දිවයින' ආරම්භයේ සිට ම 'දිවයින'ට එක්‌ වී මාණ්‌ඩලික මාධ්‍යවේදියකු ලෙස සේවය කරන නෝමන් පලිහවඩන, මාධ්‍ය කලාවේ වසර 40 කට වැඩි කාලයක්‌ නිරත වී පුවත්පත් රාශියක සේවය කර අත්දැකීම් සමූහයක්‌ ලබාගත් මාධ්‍යවේදියෙකි. අපූරු අත්දැකීම් සමූහයක්‌ ලබාගෙන ඇති අතර ඔහු මාධ්‍ය කලාවට පිවිසි ඔහුගේ බාලදක්ෂ ජීවිතය ගැන බොහෝ දෙනා අසා නැතිවාට සැක නැත.

එදා අපේ 34 වැනි බාලදක්‌ෂ කණ්‌ඩායම ආරම්භ කළේ සිංගාරවේළු මහතාය. බාලදක්‌ෂ කණ්‌ඩායමේ නායකයා වූයේ වේවැල්දූවේ එවකට පදිංචි වී සිටි මාකස්‌ මහතාය. පසු කලක ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවේ සේවය කළ අතර ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ වෘත්තීය සමිතියක පුරෝගාමීව සේවය කරන අයෙකි.

ඕනෑම අයකුගේ සබකෝලය නැති වීමටත් සමාජීය දැනුම ලබා ගැනීමටත් කුඩා කාලයේ සිට බාලදක්‌ෂයකු වීම වැදගත් යෑයි මට සිතේ.

මා බාලදක්‌ෂයකු වීම අපේ ගෙදර අයටත්, මගේ ඥතීන්ටත් ගණනක්‌ නැත. ඔවුන් ඒ ගැන අසන්නේවත් නැත. එහෙත් බාලදක්‌ෂයකු වීම ගැන මටත්, දිප්පිටිගොඩ ගමේ මගේ මිත්‍රයකු වූ පෝල් ජයවර්ධනටත් ඇත්තේ මහත් ආඩම්බරයකි. ඔහුද මා සමඟ මෙම බාලදක්‌ෂ කණ්‌ඩායමට බැඳුණු අයෙකි. (ඔහු අද හැඳල පදිංචි වී සිටියි) එදා මෙන් අදත් බාලදක්‌ෂ ව්‍යාපාරය ගැන ලොකු ලොකු උදවියට මතක්‌ වන්නේ බාලදක්‌ෂ දිනයට පමණකි.

මගේ පියා මත්පැන් පානය කිරීමෙන් එදා හුඟාක්‌ ඈත් කිරීමට මට හැකියාව ඇති වූයේ මගේ උත්සාහය, උනන්දුව නිසා බව එදා මෙන් අදත් මගේ දිප්පිටිගොඩ ගමේ ඥතීහු ඉඳහිට මතක්‌ කරති.

බාලදක්‌ෂයකු වීම වැදගත්

බාලදක්‌ෂයකු වීමට අවශ්‍ය ඇඳුම්, පැළඳුම් අවශ්‍ය උපකරණවලට මුදල් සොයාගත්තේ පාසලේ නිවාඩු දවස්‌වල දිප්පිටිගොඩ ඒ. ඇන්ටන්ගේ අයියා වූ බේබි අයියා (බෙන්ජමීන් පෙරේරා) තැනූ මැටි බළලුන් කොළඹ කඩවලට විකිණීමට ක්‍රියා කිරීමෙනි. එකට දෙගුණයක්‌ තියා මෙම මැටි බළලුන් මම කඩවලට වික්‌කෙමි. ඇතැම් දවස්‌වල බේබි අයියාටත් වඩා මම වැඩි ආදායමක්‌ ලැබුවෙමි.

බිස්‌නස්‌ එකක්‌

දිනක්‌ දිප්පිටිගොඩ කැනීෂියස්‌ පලිහවඩනගේ මස්‌සිනාවූ කිංස්‌ලි අයියා මට කාකිරෙදි තොගයක්‌ භාරදී එවා කාට හෝ විකුණා දෙන ලෙස ඉල්ලා සිටියේය. යාරයක්‌ රුපියල් 15 ගාණේ විකුණලා......ඔහුට රුපියල් 14 ගාණේ මුදල් ගෙවන ලෙස ඉල්ලීමක්‌ කළේය.

එදා සෙනසුරාදා දිනයකි. කාකි රෙදි යාර 20 (විස්‌ස) සෑමදිනම කාර් එකෙන් කොළඹ යන හෙන්ද්‍රික්‌ අයියා (හාමිනේ අක්‌කාගේ මහත්මයා) ගේ කාර් එකේ දමාගෙන ඔහු සමඟ කොළඹ මරදානට ගියෙමි. එහි තිබූ ප්‍රසිද්ධ ලී බඩු වෙළෙඳසලක අයිතිකරුට මෙම කාකිරෙදි මිලට ගන්නවාදැයි' මම ඇසුවෙමි.

"පුතා........යාරයක්‌ කීයද ඔහු පැවැසුවේය.

රුපියල් 30 ක්‌ යෑයි මම කීවෙමි."

"අපොයි එපා.......යෑයි ඔහු කීවේය"

ඔහුගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කර මම කාකිරෙදි යාර විස්‌ස යළිත් දැතට ගැනීමට උත්සාහ දැරුවෙමි.

"හා කමක්‌ නැහැ....ඕක දීලා යන්නැයි" ඔහු කියා සිටියේය.

කාකිරෙදි යාර විස්‌සෙන් උපයාගත් මුදල රු. 600 (හයසීය) එදා මගේ අතට ගත් විශාලම මුදල විය.

මරදානේ දුම්රියපළට නුදුරින් එදා "සෝමා" ආපනශාලාවෙන් කජු කරි සමඟ බත් කෑ මම මුදල් ප්‍රවේශම් කරගෙන දුම්රියෙන්ම ගෙදර පැමිණියෙමි.

කිංස්‌ලි අයියාගේ මුදල බේරා මගේ ආදායමෙන් මගේ මවටද රුපියල් දෙකක්‌ දී මගේ වියදමට ප්‍රවේසම් කර තබා ගත්තෙමි.

රාහුල සිල්වාගේ ආරක්‌ෂාව

එදා වත්තල පොලිසියේ රාහුල සිල්වා මහතාගේ ආරක්‍ෂක වැඩපිළිවෙළ නිසා දිප්පිටිගොඩ ගම ඉතාමත් නිහඬ බවක්‌ ඉසිලුවේය.

පඩි දවසට වෙනදා මත්පැන් පානය කර එන පියාට දැන් ඒ ගැන උනන්දුවක්‌ද නැත.

ගමේ බොන මිනිහෙක්‌ පියාට යළි මුණගැසුණොත් යළිත් ඔහු මත්පැන් බීමට පුරුදුවිය හැකියෑයි මගේ යටිහිත කීවේය.

එය වැළැක්‌වීමටද උපක්‍රමයක්‌ යෙදිය යුතුය. ඔහුගේ පඩි දවසට දළුගම "ක්‍රිස්‌ටෝ" හෝල් එකේ චිත්‍රපටයක්‌ බැලීමට යැම අපූරු යෑයි මට සිතුණි.

ගුලේ බකාවලී

දළුගම "ක්‍රිස්‌ටො" සිනමාහල එදා පිහිටියේ දාස ගොඩනැඟිල්ල ඉදිරිපිට පිහිටි ලුම්බිණි පාරේ කන්ද උඩය. එම සිනමාහල ඉතා විශාලය. ඇම්. ජී. ආර්. රාමචන්ද්‍රන් රඟපෑ "ගුලේ බකාවලී", "මදුරෙයි වීරන්" ඇතුළු චිත්‍රපට නැරඹීමට අපි පුරුදු වුණෙමු.

"ක්‍රිස්‌ටෝ" සිනමාහලෙන් චිත්‍රපට බැලීම සඳහා මගේ ඥතියකු වූ වර්නන් පෙරේරා, ඇන්ටනී ග්‍රෙගරි (බබී), ඇතුළු කිහිපදෙනකුම කැටුව යැමට පියා පුරුදු විය.

"ක්‍රිස්‌ටෝ" සිනමාහලේ ටිකට්‌ කඩන දොරටුවේ සේවය කළේ පියාගේ මිතුරෙකි. චිත්‍රපට බැලීමට ටිකට්‌ මිලට නොගන්නා ලෙස ඔහු පියාට කී නිසා පඩි දවස පමණක්‌ නොව සතියකට දවස බැගින්ද අපි චිත්‍රපට බැලුවෙමු. සිනමාහලේ ටිකට්‌ කැඩූ මගේ පියාගේ මිත්‍රයාට ඉඳහිට "පීකොක්‌" සිගරට්‌ එකක්‌, බුලත් විටක්‌ දීමටද පියා අමතක කළේ නැත.

දිප්පිටිගොඩ වර්නන්, ජෙරොම් (ජෙරිලා)ගේ නිවස මිදුලේ නිවාඩු දවස්‌වල සවස්‌වරුවේ "කව්බෝයි" චිත්‍රපටියක කකුල කැඩුණු අශ්වයාගේ පිටේ "කව්බෝයි" ඇපල් ගෙඩිය කමින් වෙඩි තියන ආකාරය ප්‍රසිද්ධියේම මම රඟ දැක්‌කුවෙමි. චිත්‍රපටයත් රූගත කරන ආකාරයට එඩ්වඩ් සෙල්ලයියාගේ සොහොයුරු වූ ගේ්‍රෂන් සෙල්ලයියා එය කැමරාගත කරන ආකාරයද ඔහු නිරූපණය කළේය. ඔය සෙල්ලම නවත්වල තේ එකක්‌ බීලා හිටපන් කොල්ලෝ කියමින් වර්නන්ගේ මව සෙලින් ඇන්ටි දුන් තේ කෝප්පය පානය කර අපි යළිත් රංගනයක යෙදුණෙමු. ගේ‍රෂන් අද ජීවතුන් අතර නැතත් ජෙරොම් (වත්තල පදිංචි වී සිටියි) වර්නන්ලාට මේ අතීතය තවමත් මතකයි. දිප්පිටිගොඩ පාරේ ගමන් කරන බොහෝ දෙනකු මගේ මෙම රංගනය දැකබලා ගැනීමට කාලය කැප කළ අවස්‌ථා තිබුණි. ඇතැම් විට කැමිලස්‌ කිසන්ටස්‌ගේ අයියා වූ ඇන්ටන් ග්‍රෙගරි සහ චාල්ස්‌ මාත් සමඟ මෙම රංගනයට එක්‌විය.

අත්පොළසන්

සනි රෙමිජයස්‌ මගේ පියාගේ වැඩිමහල් සොහොයුරාගේ පුතාය. එවකට ඔහු සේවය කළේ දළුගම ජයසිරි, රාජා, සමරතුංගලාගේ පියාගේ ගොඩනැඟිලි කොන්ත්‍රාත් සමාගමේය. එම කාර්යාලය පිහිටියේ කොළඹ කොටුවේය. ඔහු එහි ලිපිකරුවෙකි.

මගේ රංගනය දැක එය අවසන් වෙන තෙක්‌ බලා සිටි සනි අයියා අත්පොලසන් නාදයන් දුන්නේය.

"මම උඹට අනාවැකියක්‌ කියන්නම්. උඹ කවදාහරි දිප්පිටිගොඩ ගමේ ඔක්‌කෝටම වඩා අලුත් දෙයක්‌ කරන මිනිහෙක්‌ වෙනවා යෑයි" කීවේය.
නිතර මදුවිත පානය කළ සනි අයියා අපුරු චරිතයකි. ඉන්පසු සනි අයියා මට හමු වූයේ බංගදෙනිය සිට කොළඹ බලා යන අඟුරුකෝaච්චිය තුළය. "සනි අයියා කෝච්චිය තුළදී අලුත් අදහසක්‌ ඉදිරිපත් කළේය.

වෙරිපිට

"බැරිද ඔය රංගනය වර්නන්ලාගේ මිදුලේ හැම නිවාඩු දවසකම හැන්දැවට ඉදිරිපත් කරන්න. ඔය වැඩේ බලාගෙන හිටියාම "වෙරි හිදුනාට පස්‌සේ" ගෙදර යන්න පුළුවන් යෑයි සනි අයියා කීවේ සිනාසෙමිනි.

ප්‍රශ්නවලින් මා නිදහස්‌ වී ඇත. කොළඹ කොටුවේ ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් 700 ක මුදලක්‌ මගේ ගිණුමේ තැන්පත් වී ඇත. ක්‍රිස්‌ටි අයියාගේ කැමරා වැඩවලට උදව් වීම නිසා ලැබෙන රුපියල් 50 පාසල් ගාස්‌තු, ගමන් ගාස්‌තු මගේ තේ ගාස්‌තු සඳහා හොඳටම සෑහේ.

අලුත් අදහසක්‌

සනි අයියාගේ අදහස අනුව නිවාඩු දවස්‌වල ඉඩ ලැබෙන ආකාරයට මගේ ඒක පුද්ගල ප්‍රසංගය මම ආරම්භ කළෙමි. "ගුලේබකාවලි" චිත්‍රපටියේ ඇම්. ජී. රාමචන්ද්‍රන් ලයිට්‌වල එල්ලී "කඩු පයිට්‌ කරන ආකාරය දැක බලා ගැනීමට වර්නන්- ජෙරීලාගේ මිදුලට මගේ අනිත් මිත්‍රයෝ වූ මෙරිල් තලේ රත්න, ඩෙස්‌මන් සිල්වා (ගායක) පාරේ ගමන් කරන බොහෝ දෙනෙක්‌ද පැමිණි බව මගේ මතකයයි.

සනි අයියාද මෙම ප්‍රසංගය නැරඹීම සඳහා පැය කීපයක්‌ පාරේ නැවතී සිටියි.

කඩේ යාමට

සමහර දිනවල මගෙ පියා හෝ මව මා අමතනු හඬ ඇසෙයි. අපේ ලැටිස්‌ නිවස පිහිටියේ වර්නන්ලාගේ නිවස අද්දරය.

තේ පානය කිරීම සඳහා රූගත කෙරෙන දර්ශන තාවකාලික නතර කරන බව ගේ්‍රෂන් චෙල්ලයියා මහ හඬින් නිවේදනය කරද්දී දහදිය පෙරාගෙන මම ගෙදර ගියෙමි.

මුහුණ ඇඟපත සෝදාගෙන කඩේ පලයන් යෑයි මව කියන අවස්‌ථා එමට ඇත.

* භුමිතෙල් කාලයි (ශත 5 ක)
* සීනි කාලයි (ශත 16 කි.)
* කරපිංචා (ශත දෙකක)
* සැමන් ටින් එකක්‌ (රුපියල් 1.10 කි.)
* පාන් ගෙඩි දෙකක්‌ (ශත 50 කි.)

බඩු ලැයිස්‌තුවත් රැගෙන මා ඒ ඇන්ටනිලාගේ (ලිලි අක්‌කාගේ) කඩේට ගියේ ඒවා මිලට ගැනීමටය. මට මේ බඩු ලැයිස්‌තුව තවමත් මතකය. සමහර දිනවලට සැමන් සහ පාන් වෙනුවට හාල් ගෙන එන අවස්‌ථාද ඇත.

හාල්වල වී

බොහෝ දිනවල රෑට පාන් කන අතර තවත් දිනවල රෑට බත් කෑමටද අපි පුරුදු වුණෙමි. හාල්වල වී අහුලන්න බැහැ කියමින් මවගේ පහසුවට අපි රාත්‍රි කාලයට එසේ පාන් කෑවෙමි. ගෙදරට විදුලි ආලෝකය තිබුණත් භුමිතෙල් ගෙනෙනු ලබන්නේ ලිප ඇවිළීම සඳහා බව මගේ මතකයයි. මේ අතරතුරේදී දිනක්‌ අපේ බාලදක්‌ෂ කණ්‌ඩායමේ නායක මාකස්‌ පෙරේරාගෙන් මට පණිවුඩයක්‌ ලැබුණි. වත්තල සිසිලියන්ස්‌ ක්‍රීඩා සමාජයේ පාපැදි තරගය බැලීමට එන පිරිස හැසිර වීම සඳහා අපේ බාලදක්‌ෂ කණ්‌ඩායම සෙනසුරාදා දවසක උදැසනම වත්තල- මීගමු පාරේ හපුආරච්චි මහතාගේ නිවසට රැස්‌වෙන ලෙස මාකස්‌ පෙරේරා අපට දැනුම් දී තිබුණි. මම බාලදක්‌ෂ ඇඳුමෙන් සැරසී වත්තලට ගියෙමි. මා මිත්‍ර පෝල් ජයවර්ධනත් වත්තලට එදා පැමිණ තිබුණි.

රාහුල සිල්වා

උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ වත්තල පොලිසියේ ලොක්‌කා වූ රාහුල සිල්වා මහතාය. මා දුටු විගස ඔහු, ආ බාලදක්‌ෂයා කියමින් බාලදක්‌ෂ නීතිය අනුව වම් අතින් අතට අත දුන්නේය. අනාගතයට මුහුණ දීම සඳහා මම විවිධ ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දුන්නෙමි. කාලය නිකරුණේ කා දැමුවේ නැත. වැඩ රාජකාරිය කොතෙක්‌ පැවරුණත් මගේ පත්තර කලාව අත්හැරියේ නැත.
සංස්‌කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ විශිෂ්ට කලාකරුවන් වෙනුවෙන් පිදෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැති අතර උපාලි පුවත්පත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, මාධ්‍ය උපදේශක නෝමන් පලිහවඩන මහතා වෙතද සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා විසින් කලාභූෂණ සම්මානයක් පිරිනමන ලැබිණ. මාධ්‍ය කලාවේ වසර 40 කට වැඩි කාලයක්‌ නිරත වි සිටින නෝමන් පලිහවඩන පුවත්පත් රාශියක සේවය කර අත්දැකීම් සමූහයක්‌ ලබාගත් මාධ්‍යවේදියෙකි. ඔහු 'දිවයින' ආරම්භයේ සිටම 'දිවයින'ට එක්‌වී මාණ්‌ඩලික මාධ්‍යවේදියකු ලෙස සේවය කරමින් අපූරු අත්දැකීම් සමූහයක්‌ ලබාගෙන ඇති අතර ඔහු මාධ්‍ය කලාවට පිවිසි ආකාරය ද මෙම ලිපියෙන් කියවෙනු ඇත.


විශේෂ ස්තූතිය
http://www.divaina.com 

No comments:

Post a Comment