Pages

Tuesday, February 21, 2023

166 වන බී.පී දින සැමරුම හා බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය - 2023

රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයා යනු බාලදක්ෂ ව්‍යාපාරය මෙන්ම බාලදක්ෂිකා ව්‍යාපාරයේ ද නිර්මාතෘවරයායි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත වන්නන් එතුමාව හඳුන්වන්නේ ” බී.පී ” යන සෙනෙහෙබර කෙටි අන්වර්ථ නාමයෙනි. එමනිසා සෑම වසරකම පෙබරවාරි 22 වන දාට යෙදෙන බේඩ්න් පවෙල් සාමිවරයාගේ ජන්මදිනය නොඑසේ නම් “ආදිකර්තෘ දිනය”, ‘බී.පී දිනය” ලෙසින්ද බාලදක්ෂයින් විසින් හඳුන්වනු ලැබේ. එහි 166 වන අභිමානවත් සැමරුම සනිටුහන් වන්නේ 2023 වසරේ පෙබරවාරි මස 22 වන දාට යි. බාලදක්ෂිකා ව්‍යාපාරයට නම් මෙම දිනය තවත් ආකාරයකින් සුවිශේෂී වේ. ඒ 1926 වසරේ සිට “Thinking Day “හෙවත් “බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය” ද ආදිකර්තෘ දිනයේදීම සැමරීම හේතුවෙනි. මේ ලිපිය පළකෙරෙන්නේ ඒ ආදිකර්තෘ දිනය සහ බාලදක්ෂිකාවන් සිහිකිරීමේ දිනය නිමිත්තෙනි.
 

බේඩ්න් පවෙල් සාමිවරයා උපත ලබා ඇත්තේ 1857 පෙබරවාරි මස 22 දිනදී එංගලන්තයේ ලන්ඩන්හි පෙඩින්ටන් නම් ප්‍රදේශයේදීයි. ඔහුගේ මව්පියන් වීමේ භාග්‍යය උදාකරගනු ලැබුවේ බේඩ්න් පවෙල් දේවගැතිතුමා සහ හෙන්‍ේරියේටා ග්‍රේස් ස්මිත් මැතිනිය විසිනි. ඔහුගේ පියා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරයකු ද විය. එහෙත් ඔහුට වයස අවුරුදු තුනේදී පමණ පියාගේ හදිසි අභාවයත් සමඟින් පිය සෙනෙහස අහිමි වී ගිය අතර, එතැන් සිට හැදී වැඩුණේ තම මවගේ සෙවණෙහි ය. බී.පී තුමාට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුද සිටි බව කියැවේ. ඒ අතරින් එක් නැඟණියක් වූ ඇග්නස් ස්මිත් මැතිනිය පසු කාලීනව බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භය සඳහා සුවිශේෂී දායකත්වයක්ද ලබා දී තිබේ.ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන් අනතුරුව බී.පී තුමා ” Charerhouse “නම් වූ එකල බ්‍රිතාන්‍යයේ පැවති කීර්තිමත් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමට වරම් ලද්දේය. ඔහු අධ්‍යාපනයට එතරම් දක්ෂයෙකු නොවූ බව සඳහන් වූවත්, විනෝදකාමී සහ ත්‍රාසජනක ක්‍රියාවන් සඳහා දැඩි ඇල්මක් සහ වුවමනාවක් දැක්වූ අයෙකු බව පැවසේ. එපමණක්ම නොව සිය මවගේද නොමඳ දායකත්වය හමුවේ ඔහු සෞන්දර්ය හා කලාත්මක කටයුතු කෙරෙහිද කුඩා කල සිටම දැඩි නැඹුරුවක් දැක්වූයේය. චිත්‍ර ඇඳීම, පියානෝ සහ වයලීන් වාදන නිපුණතාවය ඒ අතරින් කැපී පෙනෙන ඒවා වේ. පසු කාලීනව හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාණය කිරීම සඳහාද මෙම කුසලතාවයන් ඔහුට අත්වැලක් විය.

වර්ෂ 1876 සැප්තැම්බර් 11 වන දිනදී බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදාවේ සේවය සඳහා බේඩ්න් පවෙල් තරුණයා ඇතුළත් විය. ඒ ඉන්දියාවේ 13 වන “හුසාර්ස්” රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද නිලධාරියකු වශයෙනි. ඉන්දියාවෙන් පසු බෝල්කන්, මෝල්ටාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල් ගණනාවකම සේවයෙහි යෙදුණු ඔහු දක්ෂ හමුදා නිලධාරියෙකු වශයෙන් විවිධ තනතුරු සහ නිලතල ගණනාවක් හොබවා ඇත.1899 දී පමණ හමුදා සේවයේ නිරත වන අතරතුරදී “Aids to Scouting “නම් ග්‍රන්ථයක් ඔහු විසින් රචනා වී තිබිණ. එම ග්‍රන්ථය එකල සමාජයේ යොවුන් ප්‍රජාව අතර වේගයෙන් ජනප්‍රිය වී ඇති බවත්, එහි සඳහන්ව තිබෙන දැව ශිල්පය වැනි කරුණු ඔවුන් ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නා බවත් බී.පී තුමාට දැන ගැනීමට ලැබිණ.මෙම නව ප්‍රවණතාවය නිසි නියාමනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම හඳුනාගත් බේඩ්න් පවෙල් මහතා 1907 ජුනි මස 31 වන දින නියමු ව්‍යාපෘතියක් වශයෙන් බාලදක්ෂ කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. සමාජයේ විවිධ තරාතිරම් වල දරුවන් එංගලන්තයේ Brownsea දූපත් ප්‍රදේශයට කැඳවා සිදු කරන ලද මෙම පර්යේෂණාත්මක ව්‍යායාමය එතුමා අපේක්ෂා කළ මට්ටමටත් වඩා සාර්ථක විය. එමනිසා මෙය ලොව ප්‍රථම බාලදක්ෂ කඳවුර ලෙස ඉතිහාසගත වේ.වර්ෂ 1908 මැයි මාසයේදී බාලදක්ෂයින්ගේ පරිහරණය සඳහාම ඔහු ග්‍රන්ථයක් එළි දැක්වූයේය. “Scouting for boys” නම් එම ග්‍රන්ථය, අද දක්වාම බාලදක්ෂයින්ගේ අත්පොත ලෙස පරිහරණය කෙරේ.එසේම, මේ වනවිට එහි පිටපත් මිලියන 100ක් පමණ අලෙවි වී ඇති බවද වාර්තා වේ. “Scouting for boys” කෘතියෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, එහි අඩංගු වන සියලු රූප සටහන් , චිත්‍ර සහ කාටූන් බී.පී තුමාගේ අතින්ම හැඩ ගැන්වුණු ඒවා වීමයි.බාලදක්ෂ ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වීමත් සමඟ 1909 වසරේදී බී.පී තුමාගේ ප්‍රධානත්වයෙන් පළමු ජාතික බාලදක්ෂ රැළිය එංගලන්තයේදී පැවැත්විණ. ඔහු හමුදා සේවයෙන් ඉවත් වී විශ්‍රාම ලබාගත්තේ වර්ෂ 1910 දී ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53 ක්ද ඉක්මවා ගොස් තිබිණ.

බේඩ්න් පවෙල් සාමිවරයා හමුදා නිලධාරියකු වශයෙන් මෙන්ම සිවිල් පුරවැසියකු වශයෙනුත් සමාජය පිළිබඳ වඩාත් පුළුල් ඇසින් දකින්නෙකු විය.එමනිසා, පිරිමි ළමුන්ගේ බාලදක්ෂ ව්‍යාපාරයට සමගාමීව ගැහැනු දරුවන් සඳහාද සංවිධානයක් පිහිටවීමේ වැදගත්කම ඔහු හඳුනාගෙන සිටියේය.1910 වසරේදී ගැහැනු ළමුන් සඳහා බාලිකා නියමුවරියන්ගේ ව්‍යාපාරය ආරම්භ වන්නේ ඒ අනුවයි. එහි ප්‍රධානත්වය බේඩ්න් පවෙල් සාමිවරයාගේ නැඟණිය වූ ඇග්නස් ස්මිත් මැතිනියට පැවරිණ. අනතුරුව 1915 දී එම ව්‍යාපාරයේ ප්‍රධානත්වය ඔහු විසින්ද හොබවා තිබේ.1918 වසරේ සිට සිය බිරිඳ වූ සෝමර්ස් මැතිනිය වෙත එය පවරා දීමට බේඩ්න් පවෙල් සාමිවරයා කටයුතු කළේය. වර්තමානය වන විට බාලදක්ෂිකා ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම සංවිධානයයි.සිය තරුණ කාලය රාජකාරි කටයුතු සඳහාත් සමාජ සේවා කටයුතු සඳහාත් කැපව සිටි බී.පී තුමා විවාහ දිවියට එළඹියේ වසර 1912 දී එනම්, වයස අවුරුදු 55 දී පමණය. ඒ ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝ්මර්ස් මැතිනිය සමඟයි. ඇයද බේඩ්න් පවෙල් මහතා මෙන්ම ඉතා උත්සාහවන්ත අයකු වූ අතර සිය සැමියාගේ කටයුතු සඳහා අනුපමේය දායකත්වයක් දැක්වූවාය. ඉහත දැක්වූ පරිදි, බාලදක්ෂිකා ව්‍යාපාරය ලෝකයට තිළිණ කිරීමේදී එම මහත්මිය ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහිදී සිහිපත් කළ යුතුමය. තවත් දෛවෝපගත සිදුවීමක් වන්නේ සෝමර්ස් මැතිනියගේ ජන්ම දිනය ද පෙබරවාරි 22 වන දාට යෙදී තිබීමයි. ඇය උපත ලබා ඇත්තේ 1889 වසරේදීය. එබැවින් “ආදි කර්තෘ දිනය” පෙබරවාරි 22 වන දා සැමරීම බාලදක්ෂ-බාලදක්ෂිකා දෙපිරිසටම එකසේ වැදගත් වන බව ගම්‍ය වේ.

පළමු ලෝක යුධ සමයේදී යම්තාක් දුරට බාලදක්ෂ ව්‍යාපාරය අකර්මණ්‍ය වී තිබිණ. ක්‍රමයෙන් ප්‍රතිජීවනය ලබමින් යළිත් 1920 පමණ වන විට බාලදක්ෂ ව්‍යාපාරය ලොව පුරා රටවල් 34 ක පමණ ප්‍රචලිත සංවිධානයක් බවට පත්විය. සාමාජික සංඛ්‍යාවද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පැවති මෙම වාතාවරණය බාලදක්ෂ ජම්බෝරියක් පැවැත්වීමට ඉතා සුදුසුම කාල සීමාවක් විය. ඒ අනුව බේඩ්න් පවෙල් සාමිවරයා ලොවපුරා විසිර සිටි 8000 ක පමණ බාලදක්ෂයන් පිරිසක් ලන්ඩන් නුවරට ගෙන්වා ලොව ප්‍රථම බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වූයේය. එහිදී බාලදක්ෂ ව්‍යාපාරයෙහි නිර්මාතෘ සහ ප්‍රධානියා වශයෙන් බේඩ්න් පවෙල් සාමිවරයා බාලදක්ෂ සාමාජිකයින් විසින් ඇගයීමටද පාත්‍ර විය.ලන්ඩන්හි පැවති එම ප්‍රධාන ජම්බෝරියට සමගාමීව තවත් සමුළු 21 ක් ලොව පුරා රටවල් ගණනාවක සංවිධානය කෙරුණු බවද වාර්තා වේ.1921 දී ප්‍රථම ලෝක බාලදක්ෂ කමිටුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ නිලවරණයද පවත්වන්නට කටයුතු සම්පාදනය කෙරුණු අතර, ඒ වන විට ලොව පුරා බාලදක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව මිලියනයකටත් වඩා අධික වූ බව පැවසේ.

සිය යොවුන් කාලය ත්‍රාසජනක කටයුතු සමඟ විනෝදකාමීව ගතකළ, තරුණ කාලය මව්බිම වෙනුවෙන් කැප කළ මෙම සොඳුරු මිනිසා තම ජීවිතයේ ඉතුරු අර්ධය බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැප කර සිටියේය. වර්ෂ 1937 පමණ වන විට බී.පී තුමා කෙමෙන් සිය ජීවීතයේ සැඳෑ සමයට පා තබා තිබිණ. එමනිසා බාලදක්ෂ ව්‍යාපාරයෙන් විශ්‍රාම ගත් ඔහු ජීවිතයේ අවසන් භාගය විවේකීව ගත කිරීම සඳහා 1938 දී කෙන්යා දේශය බලා පිටත් වූයේය. වයස අවුරුදු 83 ක් සම්පූර්ණ කර සිටි බේඩ්න් පවෙල් සාමිවරයා 1941 ජනවාරි මස 8 වන දා සිය අවසන් හුස්ම වාතලයට නිදහස් කළේය. එතුමාගේ දේහය කෙන්යාවේ Nyeri හි තැන්පත් කරන ලද අතර එහි පිහිටුවා ඇති ස්මාරකය වර්තමානය දක්වාම ලොව පුරා බාලදක්ෂ-බාලදක්ෂිකාවන්ගේ ගරුබුහුමන් ලබන ස්ථානයක් ලෙසද ප්‍රචලිත ය. බේඩ්න් පවෙල් සාමිවරයා අනුගමනය කරමින් ඔහුගේ බිරිඳ වූ සෝමර්ස් මැතිනියද සිය ජීවිතයේ අවසන් භාගය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරයේ සුබසිද්ධිය පිණිස කටයුතු කළාය.

බේඩ්න් පවෙල් සාමිවරයා සිය සමීපතමයින් සමඟ නිර්මාණය කරන ලද බාලදක්ෂ – බාලදක්ෂිකා ව්‍යාපාරයන් ද්විත්වය , ලෝක යුද්ධ සමයේදී සමාජ සේවා කටයුතු සඳහා මෙන්ම සාමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහාද මහඟු සේවාවක් ඉටු කිරීමට සමත් විය. ලෝක යුධ සමයේදී නාසිවාදය හමුවේ ඇතැම් රටවල බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කෙරුණු නමුත්, සාමය උදාවීමෙන් පසුව එය නැවත ජීවය ලැබුවේ පෙර පැවතියාටත් වඩා සවි ශක්තියකිනි.එතැන් සිට වර්තමානය දක්වාම බාලදක්ෂ-බාලදක්ෂිකා ව්‍යාපාරය සමාජ සුබසාධනය සඳහා ළමා සහ යොවුන් ජවය ඒකරාශී කරන ලොව ප්‍රමුඛතම සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.මත්ද්‍රව්‍ය නිවාරණය, පරිසර සංරක්ෂණය , සාමය මෙන්ම ප්‍රජාව තුළ අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය ඊට නිදසුන් කිහිපයකි. ඉතා සුළු පිරිසක් සම්බන්ධ කරගත් කඳවුරකින් ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය , සියවසක්ද ඉක්මවා ගොස් ඇති තැන ලබා ඇති ප්‍රගතියත්, ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ඉටුකරන අඛණ්ඩ සේවාවත් ඉතා ප්‍රශංසනීය බවද මෙහිදී සඳහන් කළ යුතුම වේ.

ආදිකර්තෘ දිනය සමරමින් ලොව පුරා වෙසෙන බාලදක්ෂ-බාලදක්ෂිකාවෝ විවිධ සමාජ සත්කාරක සහ සේවා වැඩසටහන් සංවිධානය කරති. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ-බාලදක්ෂිකා දරුවන් 166 වන බී.පී දින සැමරුම මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ වැඩසටහන සංවිධානය කරඇත.බේඩ්න් පවෙල් සාමිවරයා වරක් මෙසේ පවසා තිබිණ. ඒ ඔබ ලෝකය හැරයන විට, එය ඔබ මුලින් දුටු ආකාරයට වඩා මඳක් හෝ ඉදිරියෙන් තබා යාමට උත්සාහ කරන්න” යනුවෙනි. ඒ සර්වකාලීන පණිවිඩය පෙරදැරි කරගනිමින්, 166 වන බේඩ්න් පවෙල් දින සමර්පණයට එක්වන සුවහසක් බාලදක්ෂ-බාලදක්ෂිකාවන් වෙත සුභාසිංශනයද මෙසේ එක්කෙරන වගයි..!

ධම්මික දිසානායක

No comments:

Post a Comment