Pages

Friday, June 5, 2015

ගස් වර්ග 15 - 05. නා ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

05. නා ශාකය

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය මෙය වේ. ශ්‍රී ලංකාවට ආවේණික වුව ද ඇසෑම්, දකුණු නේපාලය, ඉන්දු චීනය සහ මැලේ අර්ධද්වීපය වැනි ප්‍රදේශවල ද වගා කරනු ලැබේ. නා ගස ලෙස හඳුන්වන වෘක්‌ෂය ආසියාතික රටවල සෑහෙන ව්‍යාප්ත වී ඇති අතර මැලේ අර්ධද්වීපය, සුමාත්‍රාව, මියන්මාරය, තායිලන්තය, සහ ආශ්‍රිත ඉන්දු චීන රටවල මේ ගස ස්‌වාභාවිකව දක්‌නට ලැබේ. මීට අමතරව බොහෝ නිවර්තන රටවල මේ ගස අලංකාරය සඳහා වවනු ලබන්නකි. මෙම ශාඛයේ දැව ඉතා දැඩි ස්වභාවයක් ගන්නා බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් "අයන් වුඩ්" ලෙස හඳුන්වනු ලැබේ. සෙවණ සදන විසල් අතු පතරින් සහ සුවඳවත් මලින් ද යුක්ත මෙම ශාකය නිවර්තන දේශගුණ කලාපවල සරුවට වැඩේ. නා ගසේ ඵල ප්‍රයෝජන බොහොමයක්‌ ඇති අතර දැවය (සිල්පර කඳන් සඳහා ඉන්දියාවේ භාවිත වේ), මල් (සුවඳ විලවුන් හා බෙහෙත් සඳහා, මල්වලින් සිඳ ගන්නා තෙල් සබන් සඳහා), ඇට (ආහාරය සඳහාත් ඇටවලින් සිඳ ගන්නා තෙල් බෙහෙත් සඳහාත්), මුල් (බෙහෙත් සඳහා) හා පත්‍ර (බෙහෙත් සඳහා) යොදා ගත හැකි ය.

අඩි 100 ක් පමණ උසට වැඩෙන නා ගසේ කඳේ පාදම බොහෝ විට රුකුල්වලින් යුක්ත වන අතර කඳේ විශ්කම්භය මීටර් 2 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක උසක් දක්වා වූ තෙත් කලාපයේ බහුලව පවතී. 7 - 10 cm පමණ දිගින් යුතු සරළ, පටු සහ දිගටි ශාක පත්‍ර තද කොල පැහැති වන අතර පත්‍රයේ යටි පැත්ත සුදු පැහැතිය. අලුතන් මතු වන දළු, රතු පැහැති හෝ කහ පැහැයට හුරු රෝස පැහැති වන අතර එල්ලා වැටෙන ස්වභාවයක් දරයි. මලක විශ්කම්භය සෙන්ටිමිටර් 4 - 7.5 පමණ වන අතර පෙති 4 කින් යුතු සුදු පැහැති මල මැද කහ පැහැති රේණු විශාල ප්‍රමාණයක් වෙයි.

නා ගස අයත් වන ශාක ගණයට ද්විපද නාමකරණයේ පියා ලෙස හැඳින්වෙන ලිනේයස්‌ විසින් Mesua (මෙසුආ) යන නම ලබා දෙන ලදී Mesua (මෙසුආ) ගණය විශේෂ 50කින් පමණ සමන්විත වේ. මේ ගණයේ දර්ශීය විශේෂය ලෙස නම් කර ඇත්තේ ද ලිනේයස්‌ විසින් වර්ෂ 1753 දී Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) ලෙස නම් කරනු ලැබූ නා ගසයි. මේ නම ලබා දීමට ලිනේයස්‌ පාදක කර ගත්තේ පෝල් හර්මන් නමැති ඕලන්ද ජාතික වෛද්‍යවරයා විසින් එක්‌ දහස්‌ හය සිය ගණන්වල ලංකාවෙන් එකතු කරණු ලැබූ ශාක නිදර්ශකයන් ය.

බොහෝ කාලයක්‌ පුරා නා ගස හඳුන්වනු ලැබුවේ Mesua ferrea (මෙයුආ ෆෙරෙයා) යන නමින් වුවත් මේ ශාකය අයත් වන Clusiaceae කුලය දිගු කලක්‌ තිස්‌සේ අධ්‍යයනය කළ උද්භිද විද්‍යාඥයකු වූ ආචාර්ය ඒ. ඡේ. ජී. එච්. කොස්‌ටර්මාන් විසින් අලුත් මතයක්‌ ඉදිරිපත් කරන ලදී. ඔහු දක්‌වා සිටියේ ලිනේයස්‌ විසින් Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) යන විද්‍යාත්මක නාමය ලබා දී ඇත්තේ නා ගසට නො ව අප රටේ දක්‌නට ලැබෙන පැම් ගණයට ම අයත් තවත් විශේෂයක්‌ වන Mesua thwaitesii (මෙසුආ ත්වේට්‌සි) ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන දිය නා ශාකයට බවයි. ඒ අනුව ඔහු විසින් අපේ දිය නා ශාකයේ නම Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) ලෙස සංශෝධනය කරන ලදී.

Mesua (මෙසුආ) ගණය ගැන වැඩිදුරටත් පර්යේෂණ කළ ආචාර්ය කොස්‌ටර්මාන්ට පෙනී ගියේ නා ගස, උද්භිද විද්‍යාඥ නිකොලස්‌ බර්මන් විසින් 1768 දී උද්භිද විද්‍යාත්මකව නම් කරනු ලැබ ඇති බවයි. එහෙත් බර්මාන් මේ ශාකය ඇතුළත් කර තිබුණේ දොඹ ශාකය අයත් වන Calophyllum (කැලෝෆිලම්) ගණයට ය. ඒ අනුව ඔහු මේ ශාකයට දී තිබුණේ Calophyllum nagassarium (කැලෝෆිලම් නාගසාරියම්) යන නමයි. (නාගසාරි යනු ජාවා රටේ නා ගස හඳුන්වන ව්‍යවහාරික නම ය)

බර්මාන් මේ නම දීමට පාදක කරගත් මුල් නිදර්ශකය සසඳා බැලු කොස්‌ටර්මාන් විසින් එය Calophyllum (කැලෝෆලම්) ගණයට නො ව Mesua (මෙසුආ) ගණයට අයත් විය යුතු බවත් එබැවින් එහි නම Calophyllum nagassarium (කැලෝෆිලම් නාගසාරියම්) නො ව Mesua nagassarium (මෙසුආ නාගසාරියම්) ලෙස වෙනස්‌ විය යුතු බවත් යෝජනා කරන ලදී.

මේ අදහස්‌ ආචාර්ය කොස්‌ටර්මාන් විසින් 1976 වර්ෂයේ දී Ceylon Journal of Science නමැති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක්‌ මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ශාක සංග්‍රහය පුනරීක්‌ෂණය කිරීමේ ව්‍යාපෘතියේ දී Clusiaceae කුලය පුනරීක්‌ෂණය කිරීම භාර ව සිටියේ ද ආචාර්ය කොස්‌ටර්මාන් මහතා ය. ඔහු නා ගස සඳහා Mesua nagassarium (මෙසුආ නාගසාරියම්) යන නමත් දිය නා සඳහා Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) යන නමත් ලබා දී තිබිණි. මේ සංශෝධනය ඇතුළත් මහාචාර්ය එම්. ඩී. දසනායක හා ආචාර්ය රේමන්ඩ් පොෆස්‌බර්ග් මහතුන් විසින් සංස්‌කරණය කරන ලද ශ්‍රී ලංකාවේ ශාක සංග්‍රහයේ පුනරීක්‌ෂිත වෙළුම 1980 දී පළ විය.

මේ නව වෙනස්‌ වීම නිසා තරමක අසීරුතාවක්‌ ඇති වුව ද සාමාන්‍යයෙන් උද්භිද විද්‍යාත්මක නම් විවිධ නව සොයා ගැනීම් නිසා මෙලෙස විටින් විට වෙනස්‌කම්වලට භාජන වීම සාමාන්‍ය දෙයක්‌ බැවින් මෙරට උද්භිද විද්‍යාඥයන් විසින් ද කොස්‌ටර්මාන් මහතා ගේ සංශෝධිත නම් භාවිත කිරීමට පටන් ගන්නා ලදී.

රජය නා ගස ජාතික වෘක්‌ෂය බවට ප්‍රකාශයට පත් කිරීමත් සමග එහි විද්‍යාත්මක නාමය Mesua nagassarium (මෙසුආ නාගසාරියම්) බව සමහර ලිපි ලේඛනවල සටහන් විය. කෙසේ වෙතත් මේ වෙනස්‌ වීම ගැන දැනුවත් නො වූ අය හා ආචාර්ය කොස්‌ටර්මාන් මහතා ගේ සමහර උද්භිද විද්‍යාත්මක මත සමග එකඟ නො වන උද්භිද විද්‍යාඥයන් දිගට ම පාවිච්චි කළේ නා ගසට Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) හා දිය නා ගසට Mesua thwaitesii (මෙසුආ ත්වේට්‌සි) යන නම් බව ද සඳහන් කළ යුතු ය.

කෙසේ වෙතත් 1986 දී සුප්‍රකට Taxon වාර සඟරාවේ මේ පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක්‌ පළ කළ ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ උද්භිද විද්‍යාඥයකු වන පී. එෆ්. ස්‌ටීවන්ස්‌ මහතා පළ කළේ හාත්පසින් ම වෙනත් මතයකි. ඔහු කොස්‌ටර්මාන් පළ කර තිබූ මත විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරමින් බිඳ හෙළා ඇති අතර නා ගස Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) හා දිය නා ගස Mesua thwaitesii (මෙසුආ ත්වේට්‌සි) ලෙස හැඳින්වීම නිවැරැදි බව පෙන්වා දී ඇත.

ඉහත කරුණු සොයා බලන විට අපේ ජාතික වෘක්‌ෂයේ විද්‍යාත්මක නාමය වන්නේ Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) බව සඳහන් කළ යුතු ය. කලින් සඳහන් කළ අයුරු මෙය අප රටට ආවේණික නො වූවත් දේශීය ශාකයකි.

ආචාර්ය ස්‌ටීවන් ඇතුළු විවිධ උද්භිද විද්‍යාඥයන්ට අනුව Mesua ගණයට අයත් ශාක විශේෂ හතරක්‌ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත. ඉන් සුවඳ ශාකය (Mesua stylosa) (මෙසුආ සටයිලෝසා) ලංකාවට ආවේණික වේ. Mesua
ferrea (මෙසුආ ෆෙරෙයා)වලට අමතරව මේ ගණයට අයත් අනෙකුත් ශාක වන්නේ දිය නා (Mesua thwaitesii) හා Mesua pulchella (මෙසුආ පුල්කෙල්ලා) යන නමින් හඳුන්වන නා ගසට බොහෝ සේ සමාන ශාකයයි.

Mesua pulchella (මෙසුආ පුල්කෙල්ලා) හා දිය නා (Mesua thwaitesii) ඉන්දියාවේ ද ඇති බව සමහර වාර්තාවල සඳහන් වන බැවින් ඒවායේ ආවේණිකතාව ගැන නිශ්චිත කිව නොහැකි ය.


No comments:

Post a Comment