Pages

Tuesday, September 15, 2015

මීරිගම විත්ති - 01

බෝතලේ වලව්ව - පළමු කොටස

මේ නොබෝදා මා කළ සංචාරයකදී මට අඹේපුස්‌ස තලගමදී එක්‌ වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්‌ මුණගැසුනි. නමින් අබේරත්න බණ්‌ඩා නම්වූ ඔහු සමඟ කතාබහට වැටුනේ බස්‌රථයේ ප්‍රමාදය නිසාය. මීරිගම දක්‌වා දිවෙන බස්‌රථය බෝතලේ වලව්ව අසලින් යන නිසා බෝතලේ වලව්ව පිළිබඳ අප දෙදෙනා කළ කතාබහේදී සිදුවූ ඉතිහාසය ස්‌මරණය කිරීම තුළින් අදහසක්‌ මතුවිය. එය නම් ඩී. එස්‌, සේනානායක මැතිතුමා අමාත්‍ය මණ්‌ඩලයෙන් ඉල්ලා අසවූ බවයි. මම යළිත් ඔහුගෙන් කීවේ කුමක්‌දැයි ඇසීමී. 1940 වර්ෂයේ පෙබරවාරි 27 වැනිදා ඩී. එස්‌. සේනානායක මහතා අමාත්‍ය මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වූ බව ඔහු යළිත් කීය. පසුව එහි සත්‍ය අසත්‍යතාව පැරණි තොරතුරු හා ඉතිහාසගත කරුණු හැදැරීමේදී මට දැනගන්නට හැකිවිය. අප බොහෝදෙනා මේ පිළිබඳ වැඩි යමක්‌ කතා නොකිරීම නිසා මෙවැනි තොරතුරු අපේ කතාවලින් දුරස්‌ථ වී ඇත.

1936 පැවැති මන්ත්‍රී තරගයෙන් මිනුවන්ගොඩ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී වශයෙන් තේරී පත්වූ ඩී. එස්‌. සේනානායක මහතා එම රාජ්‍යමන්ත්‍රණ සභාවේ සභානායක වරයා ලෙසින් ද තේරී පත්විය. එම අමාත්‍ය මණ්‌ඩලයේ උප සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කරද්දී. රටේ නොයෙකුත් ප්‍රශ්න පිළිබඳ එතුමා කතාකළ අතර බොහෝ ප්‍රශ්නවලට නිසියාකාර විසඳුම් නොලැබින, ඊට විරෝධය පෑමක්‌ ලෙසින් ඩී. එස්‌. සේනානායක මහතා ඉල්ලා අස්‌වූ බව කියෑවේ. මෙහිදී එවක ආණ්‌ඩුකරුට එතුමාගේ විරෝධතා ඉදිරිපත්කළ බවද සඳහන්ය. පසුව සාමකාමී සාකච්ඡාවකින් පසුව ආණ්‌ඩුකරු සමඟ හිතවත්වී වැඩිදෙනාගේ ඉල්ලීම පරිදි නැවතත් අමාත්‍යමණ්‌ඩලයට ඇතුළත්ව කටයුතු කර ඇත. එම එකතුවීම සිදුව ඇත්තේ 1940 මාර්තු 13 වනදාය. ඉල්ලා අස්‌වීමක්‌ පිළිබඳ අපට වාර්තා වන මුල් සිද්ධිය මෙය බව සිහිපත් කළ හැකිය.

මෙසේ ඉල්ලා අස්‌වීම් පිළිබඳ මුල පිරූ ඩී. එස්‌. සේනානායක මහතා 1943 වර්ෂයේදී ලංකා ජාතික සංගමයේ මතුවූ අර්බුද කීපයක්‌ නිසා එයින්ද ඉල්ලා අස්‌විය. එම යුගයේ ලංකා ජාතික සංගමය අපේ රටේ දේශපාලන පක්‍ෂයක්‌ මෙන් ප්‍රබලවූ සංවිධානයකි. එම සංගමයේම සාමාජිකත්වය දැරූ ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ඡේ. ආර්. ජයවර්ධන හා ඩඩ්ලි සේනානායක යන මහත්වරු පසු කලෙක මේ රටේ අගමැතිකම් දැරූ අතර ඡේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපතිවරයා ලෙසින්ද මේ රටේ සේවය කළේය.

1940 අමාත්‍ය මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌වී නැවත ඇතුළත්ව එහි සේවය කරද්දීම 1941 වර්ෂයේ මිනිපේ ඇළ සංවර්ධනය ඇරඹීය. මෙය ඉතා පැරණි රාජකීය නිර්මාණයකි. එය ගරා වැටුන පසුව යළිත් පණ ලැබුවේ මේ අප කතාකරන ඩී. එස්‌. සේනානායක යුගයේ දීය. ඩී. එස්‌. සේනානායක මහතා නියම ගැමියෙකි. එතුමා දේශපාලනය කළේ ගැමිජනතාවගේ අදහස්‌ සම්පූර්ණ කරමින්ය. රටේ ප්‍රධාන නිෂ්පාදකයා ගොවියා ලෙසින් සැලකූ එතුමා හැමවිටම ගොවියාට යහපතක්‌ වන පරිදි කටයුතු සිදු කළේය. හිඟුරක්‌ගොඩ, ඇළහැර, බකමූණ වැනි අතිශය දුෂ්කර ප්‍රදේශ සංවර්ධනය කරද්දී එතුමා හකුරු කෑල්ලක්‌ සමඟ පිළිගැන්වූ බෙලිමල් කෝප්පය ගොවිජනතාවගේ අතින් ලබාගෙන බීවේ ඉතා ආදරයෙනි. විඩාවට එතුමා ගිමන්හැරි මහ රුක්‌ අදත් හිඟුරක්‌ගොඩ දී දැකිය හැක. එතුමා මැදිරිගිරිය ආදී ප්‍රදේශවල සංචාරය කරන විට මදක්‌ විවේක ගත් තැනක්‌ වූ කවුඩුලු ඔයේ කලගෙඩි පාලම අසල ගල්තලාව අදත් ඒ පැරණි සිද්ධි අපගේ සිහියට නංවයි.

දැවැන්ත බුල්ඩෝසර් පැරණි කුඹුරු යායන් නැවත අස්‌වද්දන විට එහි ගොස්‌ ඒවා සියසින්ම දැකගත් එදා කෘෂිකර්ම ඇමැතිවරයා වූ ඩී. එස්‌. සේනානායක මහතාට "කැලෑජෝන්" යන නම ගැමියන් පටබැන්දේ එතුමාගේ කැලෑ සංචාර නිසාය. නිලධාරීන්ට ඉතා හොඳින් සැලකූ ඩී. එස්‌. සේනානායක මහතා නිලධාරීන්ගේ වැරදි දුටු තැන සමාව දුන්නේ නැත. එතුමා නිතර කීවේ රටේ වෙනත් පළාතකින් ගෙනත් පදිංචි කළ මේ අසරණ ගොවි පවුල් අප දැස මෙන් රැකබලාගත යුතු බවයි.

ඩී. එස්‌. සේනානායක මහතාගේ ක්‍ෂේත්‍ර සංචාරවලදී අවශ්‍ය සියලු නිලධාරීන් එහි සිටිය යුතුමය. නැතිනම් දෙපාර්තමේන්තු ප්‍රධානියා ඊට වගකිවයුතුය. හතළියේ දශකයේ හා පණහේ දශකයේ මුල්භාගයේ මෙරට ගොවිජනපද ව්‍යාපාර සියයට සියයක්‌ සාර්ථක වූයේ ඉහතින් සඳහන් කරන ලද එම විනය නීති අකුරට ක්‍රියාත්මක වූ බැවිනි.

එතුමාගේ වචනයෙන් ප්‍රකාශ වන පරිදි ඒ මෙසේය. "අපගේ පළමු කටයුත්ත මේ රටේ නිදහස ස්‌ථිර කරගැනීමයි. පෙබරවාරි මස හතර වැනිදා අප රටේ සියලු දෙනාම අවුරුදු 450 කින් පසු නිදහස්‌ විය. දැන් අපේ කටයුතු අපේ කැමැත්තේ හැටියට අපටම කරගන්නට පුළුවන්" මේ එතුමාගේ අව්‍යාජ ප්‍රකාශනයකි.

ඩී. එස්‌. සේනානායක චරිතය එඩිතර ගතිය ඉස්‌මතු කරන්නකි. එතුමා තනතුරුවලින් ඉල්ලා අස්‌වූවා සේම තම ජීවිතයේදීද නිර්භීත ක්‍රියාවන්ට පෙළඹුන අයෙකි. ශාන්ත තෝමස්‌ විදුහලේ ඉගෙන ගන්නා කාලයේ එහි ගියේ ආවේ වැඩිපුර දුම්රියෙන්ය. ගෙදර එන ගමනේදී දුම්රියෙන් විත් දුම්රිය නැවතුමට යන්නට පෙර ලයින් මාරු කරන ස්‌ථානයේදී දුම්රිය වේගය අඩු වූ විට එයින් වහා පැනගන්නා ඩී. එස්‌. ගෙදර බලායයි. එදා තිබූ වාෂ්ප දුම්රිය ඇන්ජින් ධාවනය හිමින් සිදුවූ නිසා මෙසේ දුම්රියෙන් පැන ගිය අතර ඒ පිළිබඳ අවවාද ද ලබා ඇත. මියෑදෙන තුරුම තමන් සතුව පැවති එඩිතර ගති අත් නොහළ ඩී. එස්‌. සේනානායක මහතා රටට ආර්ශයක්‌ ගෙනදුන් ජන නායකයෙක්‌ විය.

විශේෂ ස්තූතිය
ධර්මරත්න තෙන්නකෝන්

-----------------------------------------------------
 ඉතිරි කොටස වෙනත් අැසකින්


No comments:

Post a Comment