32 කොලඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂයන් ලෙස අප ඉතා විනෝදජනකව ක්‍රියා කලෙමු. අනිල් ද සිල්වා, උදිත පලිහේන, සත්යඉජිත්, සත්‍ය වාන්, ජගත් ලීලාරත්න, අනින්ද සමරසේන, තිස්ස ප්‍රනාන්දු, උදය ඉඳුනිල්, එදිරිසිංහ, සජිත්, දන්ත ආරියරත, ලාල් රූපතුංග, හිරන්යස හේමනාත, සුනිල් රංජිත්, වජිර, කාවන්තිස්ස, ලසිත ප්‍රනාන්දු, කෙවින් කුරේ, සේරම්, බුද්ධික නානායක්කාර, බෙල්සන් පද්මසිරි, සජිත් යනාදී බාලදක්ෂතයන් ගේ සමාගම අතිශයින් ප්‍රියජනක වූයේය.
අප වාර්ශික කඳවුරු මෙන්ම විශේෂ කඳවුරු වලටද ගියෙමු. එසේම විවිධ සමාජ මෙහෙවර, ශ්‍රමදාන, Guard of Honor හෙවත් ආරාධිත අමුත්තන්ට දෙන උත්තමාචාර (මෙයට කොල්ලන් කීවේ ගාඩෆෝනර් කියාය). වලටද සහභාගී වූයෙමු. අපගේ බාලදක්ෂ නායකයා වූයේ මිලින් ද පීරිස් ය. ඔහු ජනාධිපති බාලදක්ෂයෙකි. එසේම හොඳ නායකයෙකු වූයේය.
අපගේ මුල්ම කඳවුර වූ අතුරුගිරිය කඳවුරේදී නවකයන්ට සුළු නවක වදයක් ලෙස රාත්‍රියේ මුහුණු වල ටූත්පේස්ට් ගානලදි. මෙය කරන ලද්දේ ලාල් සහ ජගත් විසිනි. උදේ නැගිටින විට අපගේ මුහුණු වල ටූත්පේස්ට් සහ සපත්තු පොලිෂ් තිබූ අතර මාතෘ වන්දනාවකින් අණතුරුව දිනය ආරම්භ කරන ලදි.
අතුරුගිරිය කඳවුරේදී අපට භාජන නොමැතිව ඉවීමට කියා දෙන ලදි. තවද අප කැලෑවල ඇවිදීම , රාත්‍රී ගමන් යාම ගැන පුහුණුවක් ලැබුනි. එසේම ගිනිමැළ සංදර්ශනය විනෝදජනක විය. එහිදී මමත් චින්තකත් බෝනිඑම්ලා ගේ රස්පුටින් ගීතය ගැයුවෙමු. එම ගීතය බාලදක්ෂ නායක මිලින් ද පීරිස් ගේ ප්‍රියතම ගීතයක් වූයෙන් ඉන් පසුව නොයෙකුත් අවස්ථා වල එම ගීතය ගයන ලෙසට අපට ඉල්ලීම් ආවේය.
වරක් පාසලේ තිබූ කඳවුරකදී අනිල් , දන්ත සහ අනින්ද මැල්ලුම් වලට තණකොලද මිශ්‍ර කොට ඉව්වෝය. එදා බත් , පරිප්පු සහ තණකොල මැල්ලුම් අපි කෑවෙමු. මේ කඳවුරේදී විශාල ගස් දෙකක් අතර අඩි විස්සක පමණ උසින් කඹයක් බැඳ කඹයේ යාම උගන්වන ලදි. එසේම එදිරිසිංග විශාල මාර ගසක් උඩ ලී ගෙයක් තැනුවේය. අප කඹ යොදා සෑදූ ඉනිමගකින් ගස උඩ තැනූ නිවෙසට ගියෙමු.
උදය ඉඳුනිල් , වජිර, කාවන්තිස්ස, එදිරි යන බාලදක්ෂයන් කොලඹ දඹුල්ල ගාල්ල යන නගර ආවරණය කරමින් දීර්ඝ බයිසිකල් චාරිකාවක යෙදුනෝය. දින ගනනාවක් ගිය මෙම චාරිකාව පිලිබඳව ලිපියක් වජිර පසුව බාලදක්ෂ සමරුවකට ලියා තිබුනේය.
වරක් විහාරමහදේවි උද්‍යානයේ පැවති වාර්ශික කඳවුරකට අවශ්‍ය පොල් අතු ගෙන එන ලද්දේ කෙවින් සහ එදිරි විසිනි. අත් කරත්තයක දමා තල්ලු කරගෙන ගෙන එන ලද මෙම පොල් අතු කඳවුර භූමියට ලඟා වූයේ මධ්‍යම රාත්‍රියේය. පොල් අතු ගෙනැවිත් ඒවා යළි බාන ලද කෙවින් සහ එදිරි මහත් සේ වෙහෙසට පත්ව සිටියහ. එම නිසා ඔවුන් මධ්‍යම රාත්‍රියේ වලං වල ඉතිරිව තිබූ බත් සහ ව්‍යාංජන බෙදාගෙන කා පොල් අතු උඩ නිදාගත්හ.
උදේ එළි වන විට දෙදෙනාම රබර් බෝනික්කන් දෙදෙනෙකු සේ උඩ පනින්නට වූහ. බලන විට පොල් අතු වල සිටි දහස් ගනන් කූඹීන් මොවුන් දෙදෙනාගේ ශරීර වලට ගොඩවී තිබුණි. පසුව දෙදෙනාම භූමිතෙල් යොදා ශරීර පිරිසිදු කර ගත්හ.
එදින රාත්‍රියේ මමත් තවත් බාලදක්ෂයෙකු වූ කේ.පී ශාන්තත් අමුතු හඞකින් "එදිරී මට බඩගිනියි " කියා කෑගසා එදිරිසිංහව ඇවිස්සුවෙමු. මෙසේ කීපවරක් අප කෑගැසූ අතර අවසානයේදී එදිරිසිංහ කෑගසන ලද එක් අයෙකු (කේ.පී ශාන්තව) අල්ලාගෙන වතුර බාල්දියකින් මහ රෑ මැද ඔහුව නෑවීය. ඉන් පසු රාත්‍රිය ශාන්තව ගෙවී ගියේය.
මෙම කඳවුරේදී මට මහළු බාලදක්ෂ නායකයෙකු මුණ ගැසුනු අතර ඔහු බාලදක්ෂ වියාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයා සියැසින් දැක තිබුනේය. මේ මහතාගේ නම සමරසිංහ කියා මම සිතමි. ඔහු අද ජීවතුන් අතර නැත.
මිලින්ද පීරිස් යුද හමුදාවට ගිය විට බාලදක්ෂ නායකයා ලෙස කෙවින් කුරේ ගේ වැඩිමහල් සොහොයුරු සමන් කුරේ ආවේය. ඔහු ජර්මනියේ වසරක් ගත කොට තිබුනි. සමන් කුරේ විනෝදකාමී අයෙකු වූ අතර අපද සමන් සමග විහිළු කලෙමු.
අපගේ බාලදක්ෂ කණ්ඩායම් ගෝන, මුව , සිංහ යනාදී වශයෙන් උප කාණ්ඩ වලට බෙදා තිබුනේය. මේ උප කාණ්ඩ වලට නියමිත භූමි තිබූ අතර ඒවා පිරිසුදු කොට තබා ගත යුතුය. මේවා පරීක්ෂා කිරීමට බාලදක්ෂ නායක සමන් කුරේ එයි. ඒ ඇවිත් ලකුණු දෙයි.
කාණ්ඩ පරික්ෂාවට ආ සමන් කුරේ සීරුවෙන් මාච් කරමින් ආවේය. මම කණ්ඩායම සීරුවේන් සිටින් කියා විධාන දුන්නෙමි. මෙසේ ඉදිරියට ආ සමන් කුරේ අපගේ බොරු වලේ වැටුනේය. අප බඩවල් අල්ලාගෙන සිනාසුනෙමු. උදය ඉඳුනිල් සමන්ට අතදී ඔහුව බොරු වලින් ගොඩ ගත් අතර පරීක්ෂණයේදී බාලදක්ෂ නායකයා බොරු වලක වැට්ටවීම නිසා අපගේ ලකුණු කපා දමන ලදි.
ඉන්පසු එළැඹුන සතියේදී මම කවටකමක් ලෙසට තිස්ස ප්‍රනාන්දුගේ බෑගයට දෙල් ගෙඩියක් දැමුවෙමි. තිස්ස ගෙදර ගොස් බෑගය අරින විට පත දෙල් ගෙඩියකි. මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලද නිසා මට විරුද්ධව බාලදක්ෂ ගෞරව සභාවේදී නඩු අසන ලදි. බොරු වළ කේස් එකද තිබූ නිසා මගේ තත්වය තවත් නරක් විය.
බාලදක්ෂ ගෞරව සභාවේදී මට තිබූ චෝදනා විමසන ලද බව එම සභාවට සාමාජිකයෙකු ලෙස සහභාගි වූ සත්‍යවාන් මට උපහාසාත්මක ලෙසින් කීවේය. මම ඒ ගැන උප නායක උදය ඉඳුනිල් ගෙන් ඇසුවෙමි. එයට ඉඳුනිල් උරණ විය. ඉඳුනිල් උරණ වූයේ මා සමග නොව රහස්‍ය බාලදක්ෂ ගෞරව සභාවේ තොරතුරු චූදිතට හෙළි කල සත්‍යවාන් සමගය. මේ නිසා චෝදනා වෙන දිශාවකට යොමුව මට විරුද්ධව තිබූ පැමිනිල්ල හමස් පෙට්ටියට ගියේය. එසේම එම වසරේදී අන්තර් බාලදක්ෂ පිහිනුම් තරඟාවලියේදී සහතිකයක් දිනන ලද එකම නාලන්ද විද්‍යාලීය බාලදක්ෂයා මා වූ හෙයින් මට අනියම් සමාවක් ලැබුනේය. එසේම ගාල්ල කඳවුරේදී උප නායකයා ලෙස ක්‍රියා කරමින් මම උදය ඉඳුනිල් ගේ ඇගයුමටද ලක් වූයෙමි.
1983 අනුරාධපුරයේ ලෝක ජම්බෝරිය රස ගුලාවක් වූයේ මට තකට තක ලෙස ගැලපුනු ආනන්ද විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් හමු වීමෙනි. අප දෙදෙනා එකතුව බොහෝ විනෝද වැඩ කලෙමු. එසේම කවට නාට්‍ය අප ගිනිමැළ සංදර්ශන වලදී ඉදිරිපත් කොට පිරිස කුල්මත් කලෙමු. වෙනත් දිස්ත්‍රික්වල බාලදක්ෂයන් ද අපගේ නාට්‍ය බැලීමට ආවෝය. කුසල් වර්තමානයේ බැංකු නිලධාරියෙකි. ඔහු මෑතකදී සම්පත් බැංකුවේ නාට්‍යකද රඟපාන ලදි.
උසස් පෙළට ගිය විට මම බාලදක්ෂ ජීවිතයෙන් සමු ගත්තෙමි. එහෙත් බාලදක්ෂ අනුස්මරණයන් එමටය. එදා අප සමග සිටි බාලදක්ෂයන් විසිරී ගොසිනි.
උදය ඉඳුනිල් සහ කෙවින් කුරේ කණගාටුදායක ලෙස අකාලයේ මිය යන ලදි.හමුදා නිලධාරියෙකු වූ මිලින්ද පීරිස් මෑතක්දී විශ්‍රාම ගියේය. සමන් කුරේ අයර්ලන්තයේ සිටින අතර ඔහු දැන් රෝගාතුරය. සුනිල් රංජිත් වෛද්‍යවරයෙකි. අනින්ද සමරසේන එක්සත් ජනපදයේ ජීවත් වෙයි. තිස්ස ප්‍රනාන්දු ජීවත් වන්නේ කුරුවිටය. අප මුහුණු පොතෙන් සංවාදයේ යෙදෙන්නෙමු. දෙල් ගෙඩියේ කේස් එකට ඔහු මට සමාව දී තිබේ.
අප පරමාදර්ශී බාලදක්ෂයන් නොවූ බව සැබෑය. කොළුකමට කරන විකාර බොහෝ සෙයින් තිබුන මුත් අප ළමා ගති ඉක්මවා යන දේවල් නොකලෙමු. මෙය කියන්නේ වර්තමාන බාලදක්ෂයන්ට ධනාත්මක පණිවිඩයක් දීම සඳහාය.
අප බාලදක්ෂ ලෝකයෙන් බොහෝ සාරාර්ථ ජීවිත වලට ලබා ගත්තෙමු.
උපුටාගැනීම
උදය ඉඳුනිල් සහ කෙවින් කුරේ කණගාටුදායක ලෙස අකාලයේ මිය යන ලදි.හමුදා නිලධාරියෙකු වූ මිලින්ද පීරිස් මෑතක්දී විශ්‍රාම ගියේය. සමන් කුරේ අයර්ලන්තයේ සිටින අතර ඔහු දැන් රෝගාතුරය. සුනිල් රංජිත් වෛද්‍යවරයෙකි. අනින්ද සමරසේන එක්සත් ජනපදයේ ජීවත් වෙයි. තිස්ස ප්‍රනාන්දු ජීවත් වන්නේ කුරුවිටය. අප මුහුණු පොතෙන් සංවාදයේ යෙදෙන්නෙමු. දෙල් ගෙඩියේ කේස් එකට ඔහු මට සමාව දී තිබේ.
අප පරමාදර්ශී බාලදක්ෂයන් නොවූ බව සැබෑය. කොළුකමට කරන විකාර බොහෝ සෙයින් තිබුන මුත් අප ළමා ගති ඉක්මවා යන දේවල් නොකලෙමු. මෙය කියන්නේ වර්තමාන බාලදක්ෂයන්ට ධනාත්මක පණිවිඩයක් දීම සඳහාය.
අප බාලදක්ෂ ලෝකයෙන් බොහෝ සාරාර්ථ ජීවිත වලට ලබා ගත්තෙමු.
උපුටාගැනීම
http://transyl2014.blogspot.com/2016/08/blog-post_25.html
No comments:
Post a Comment