Pages

Friday, April 28, 2017

කේ.සී.ජේ. රත්නායකගේ බාලදක්ෂ කෙටිකතාව

වීදුරු ජනේල

විශ්‍රාමික ගුරුවරියක වූ කාමෙල් ඩී අපොන්සු, බ්‍රවුනින් හිල් වීදීයේ මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයේ බ්ලොක් A 2/ 1 දරන නි‍ෙවසේ හුදෙකලාව ජීවත් වූවාය. එම නිවෙස දෙවැනි මහලේ දකුණුපස කෙළවර ම පිහිටි හෙයින් එහි තුන් පැත්තකින් විශාල වීදුරු ජනේල සවිකර තිබුණු මුත් කිසිවිටෙක ඒවා හිරු එළිය හෝ වාතාශ්‍රය සඳහා විවෘත නොවුණා පමණක් නොව නිතරම ඒවා අඳුරු පැහැති ගණ තිරවලින් ආවරණය කැර තිබිණ. සෑම දිනෙකම පෙරවරු 07.00 පමණ වනවිට තරප්පු පෙළ බැස බිම් මහලේ වූ කිරිහලට යන ඇය කල්කිරි බෝතලයක් ද පාන් ගෙඩියක් ද රැගෙන පෙරළා පැමිණෙයි. තම විශ්‍රාම වැටුපට අමතරව මියගිය සැමියාගේ විශ්‍රාම වැටුපෙන් හරි අඩකට ද නීත්‍යානුකූල හිමිකම් කී ඇය එකී විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පමණක් මසකට වරක් නිවාස සංකීර්ණයෙන් බැහැරට ගමන් කළාය. ඒ හැරෙන්නට කාමෙල් ඩී අපොන්සු බාහිර සමාජය සමඟ කිසිදු ගනු දෙනුවක් නොකළ අතර ඇය හමුවන්නට අමුත්තන් පැමිණියේද නැත. අනෙක් අතට ඇය විසින් අමුත්තන් පිළිගනු ලැබුවේද නැත. 
එදින බදාදාවකි. එළකිරිවල පොඟවා ගත් පාන් පෙති කිහිපයක් දිවා ආහාරය සඳහා ගත් කාමෙල් සවස 02.00 පමණ වන විට තම සුපුරුදු සුව නින්දේ කිමිදෙමින් සිටියා ය. මහ හඬින් දොරට තඩිබාන ශබ්දයක් ඇසී අඩ නින්දෙන් මෙන් පිබිදී දෙසවන් යොමු කළ විට කිසිවකු විසින් නොනවත්වා තම ගෙයි දොරට තට්ටු කරමින් සිටින බැව් ඇයට අවබෝධ විය. නොරිස්සුම සහ නිදි විකාරය මුසු ලීලාවකින් දොර අඩක් විවෘත කොට පිටත බැලූ විට එහි කිසිවකු දක්නට නොවූයෙන් ඇගේ කෝපය උත්සන්න විය. ඒ වේගයෙන්ම දොර මුළුමනින්ම පාහේ විවෘත කළ ඇය හිස කරකවා දිගු කොරිඩෝරය දෙසට දෙනෙත් විහිදුවාය. එවිට සිය උකුළ දක්වා වත් නො උස් වූ ලපටි බාලදක්ෂ පෝතකයන් දෙදෙනකු තමාට අඩි දෙක තුනක් නුදුරින් මඳහස පුරවා ලූ මුහුණින් යුතුව සිටිනු දුටු ඕ විමතියට පත් වූවාය.
'මොකෝ තමුන්ලා මේ දොර කඩන්න හදන්නේ ... ' යි ඈ රවා ගත් මුහුණින් සහ ඔවුන් පලවා හරින්නාක් බඳු ස්වරයෙන් ප්‍රශ්න කළාය.
වහා සීරුවෙන් සිටගත් බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා එකවර කතා කරන්නට ගත්හ. තමන් දෙදෙනා කනිෂ්ඨ බාලදක්ෂයන් බවත් මෙසේ පැමිණ සිටින්නේ ප්‍රජා සේවයේ යෙදීමට බවත් පවසා කුමන හෝ වැඩක් පවරා ඊට සුළු මුදලක් දී තම සේවය පිළිබඳව කෙටි සටහනක් යොදන්නැයි ඔවුහු ඇගෙන් ඉල්ලා සිටියෝ ය. ඔවුන්ගේ කීම නෑසුණා සේ වුන් කාමෙල්, ස්වකීය නොරිස්සුම තව දුරටත් ප්‍රකට කරමින් ඔවුන් ඉක්මනින් පන්නා ගැනීමට මෙන් ප්‍රශ්න කළාය.
'තමුන්ලා මොකෝ මෙච්චර ගෙවල් තියෙද්දී මේ ගෙදෙට්ටම ඇවිත් තට්ටු කරන්නේ ඈ ...?'
මේ ප්‍රශ්නයේදීත් බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා ඉතා පැහැදිලිව එකවර කතා කරමින් මෙසේ කීහ.
'අපි කණ්ඩායමක් ගෙවල් බෙදා ගෙන ආවේ .. ඉතිං අපි දෙන්නට ලැබුණේ මේ ගෙයි නොම්මරේ තමා'
මේ ළපටි හාදයන් කෙසේවත් පසු නොබසින ලීලාවකින් ඉතා පැහැදිලිව දෙදෙනාම එකවර කතා කරමින් පිළිතුරු දුන් ආකාරය කාමෙල්ගේ නොරිස්සුම තවත් තීව්‍ර කිරීමට හේතු විය.
' තමුන්ලා දෙන්නා කලින්ම උත්තර හදාගෙන ඇවිත් අහන අහන එකට දෙන්නම එකම කතාව කියනවා... තමුන්ලා බාලදක්ෂයො නෙවෙයි බාල හොරු ඔත්තු බලාගෙන යන්න නේද මේ ස්කවුට් යුනිපෝම් දාගෙන ආවේ ... ? ආයේ මේ පැත්ත පළාතේ ආවොත් බලාගෙනයි ... දැන්ම නොගියොත් මං බල්ලව ලිහනවා .. දුවපිය දෙන්නම ... ආපු දිහාවකට !'
කාමෙල්ගේ තර්ජනයෙන් අඩියක් වත් පසුපසට නොගිය බාලදක්ෂයෝ දෙදෙනා එකවර කතා කරන්නට ගත්තෝය.
'මේ ගෙදර බල්ලෙක් නැති බව අපි දන්නවා. මොකෝ එහෙම ඉන්නව නං ඌ දැනටමත් බුරන්න ඕනේ '
මේ සන්සුන් පැහැදිලි පිළිතුර ඇසීමෙන් කාමෙල් කෝපයෙන් වෙවුලන්නට ගත්තේ පුංචි එවුන් දෙදෙනකු ඉදිරියේ තමාගේම එළිපත්ත මත මෙතරම් ලැජ්ජාවකට පත්වීමට සිදුවේ යැයි නොසිතූ නිසාම නොව තම පෞද්ගලික ආරක්ෂාව සඳහා තමා විසින්ම මෙතෙක් සමාජයට පෙන්නුම් කරනු ලැබූ සැඩ පරුෂ අහංකාර ප්‍රතිරූපය කෙතරම් දුර්වල එකක්ද යන්න ඇස් පනාපිට ඔප්පුවීම නිසාය. ඒ කෙතරම් දියාරු බෙලසුන් රඟපෑමක්ද යත් පුංචිම පුංචි කොලු පැටව් දෙදෙනකුවත් තමාව ගණන් නොගන්නේ යැයි ඇයට වහා පසක් විය. එහෙත් ඒ බැව් නොපෙන්වූ ඇය පෙර මවාගත් රෞද්‍ර ඉරියව්වෙන්ම මෙසේ තර්ජනය කළාය.
'හොඳයි එහෙනම් ඉඳපියකො මං කතා කරනවා පොලීසියට ... ! '
'ඔව් මහත්මිය ඔබ පොලීසියට කතා කරන්න හැබැයි ඒකෙන් ඔබ සඟවා ගෙන සිටින රහස් මිසක් අපි ගැන අමුතු දෙයක් හෙළිදරව් වෙන්නෑ .. ' යි බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා එකවර ම කීවෝය.
'මොනවා මං .ගැන.. මං මොනවද බොල හංගගෙන ඉන්නේ .. ? ' ඉහවහා ගිය කෝපය වෙනුවට දැන් ඇගේ ස්වරයෙහි ඇත්තේ තැති ගත් විලාසයකි.
බාලදක්ෂයෝ දෙදෙනා තවමත් සීරූවෙන් සිටගත්වනම ය. පෙර ලෙස ම පැහැදිලි සන්සුන් ලීලාවෙන් ඔවුන් දෙදෙනාම ළපටි ළමා හඬින් කතා කරන්නට විය.
'මේ ගෙදරට තුන් පැත්තකින් හොඳ වීදුරූ ජනේල තුනක් තියෙනවා. ඒත් ඒවා සෑහෙන කාලයකින් විවෘත කරලා නෑ විතරක් නෙවෙයි ගෙයි ඇතුළ පිටට නොපෙනෙන්න කළු තිරවලින් වහලා. ඔබ එහෙම කරන්නේ ලොකු දෙයක් මේ ගේ ඇතුළේ හංගා ගෙන ඉන්න නිසයි...'
කාමෙල් සීරුවෙන් උළුවස්සට වාරු වී පෙණහලුවල සිර වූ හුස්ම පිට කරන්නට ආයාස දරමින් සිටියදී ඒ නොදුටුවාක් මෙන් බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා එකවර කතා කරන්නට වූහ.
'මේ ගෙදර ජීවත්වෙන්නේ ඔබ පමණයි. ඒ වගේම ඔබේ නි‍ෙවසට අමුත්තන් යන්නේ එන්නේ නෑ .. මොකද එළිපත්තේ පාපිස්ස බොහොම පරණ එකක් ඒ වගේම ඒකේ යටට නෙරා ගිහින් තියෙන්නේ එකම බර සහිත එකම හැඩයේ අඩි සලකුණු විතරයි... අනිත් කාරණේ ඔබ මේ සතියෙම ආහාරයට අරගෙන තියෙන්නේ පාන් සහ කිරි විතරමයි .. ඔබේ කසළ කූඩය දිහා බැලුවම ඒක ඔප්පු වෙනවා. .. '
තමා ඉතා බියකරු ගුප්ත සිහිනයක් දකිමින් සිටින්නේ යැයි කාමෙල්ට සිතිණ. එහෙත් මෙතැන් සිට වචනයකුදු පිට නොකරමි යැයි ඇය තමාටම කොඳුරා ගත්තාය. ඉවෙන් මෙන් ඒ බව දැන ගත්තාක් මෙන් බාලදක්ෂ පෝතකයෝ දෙදෙනා එකවර කතා කරමින් මෙසේ කීවෝය.
'.. ඔබ කෙතරම් අනාරක්ෂිත අඥාන නෝනා කෙනෙක්ද කියා පහදා දෙන්න අපි කැමතියි. ඔබ සිතින් සහ කයින් යන දෙකෙන්ම බොහොම දුර්වලයි. ඔබ අසල්වැසියන් එක්ක වුවමනාවෙන්ම මුසු නොවෙන්න පරිස්සම් වෙන්නේ ඔබේ දුබලකම් අනිත් අය දැන ගනිවී කියන බය නිසාමයි. අසල්වැසියන් ඔබේ සමීපයට ඒම වළක්වන්න ඔබ අහංකාර තේජසක් මවා ගන්නවා. හැබැයි ඒක සමාජයට පේන්නේ උමතු රෝග තත්ත්වයක් හැටියටයි. ඔබ මිලට ගන්නේ කිරි සහ පාන් විතරයි. ඒකෙන් ඔබ පෙන්වන්න හදන්නේ ඔබ සතුව එතරම් මුදල් හදල් නැහැයි කියන එක නේද ... නමුත් ඔබ මුදල් නෝට්ටු මිටි ගණන් ගෝනිවල පුරවලා මේ ගේ ඇතුළේ හංග ගෙන ඉන්නවා. ඒ ඔබ හංගා ගෙන එකතු කරන සල්ලි මිටි බාගයක් විතර දැනටත් තෙත් බැහැලා පුස්කාලා වැඩකට ගන්න බැරි විදිහට විනාශ වෙලා. මොකද මේ ගේ ඇතුළට හිරු එළියවත් වාතාශ්‍රයවත් නොඑන නිසා ... නොකා නොබී ඔය එකතු කරන සල්ලි මිටි පිටිපස්සේ ඔබේ මාරයා හැංගිලා ඉන්නවා. වැඩිකල් යන්න කලින් අන්න ඌ ඔයාගේ බෙල්ල මෙන්න මෙහෙම මිරිකනවා .... ' යැයි කී බාලදක්ෂ පෝතකයෝ දෙදෙන එක්වරම ඇගේ ගෙල ගලග්‍රහණයට ගත්තෝ ය. යටිගිරියෙන් විලාප නගමින් දහදියෙන් නෑවුණු සිරුරින් යුතුව නැගී සිටි කාමෙල් වහා දොර විවෘත කොට හිස කරකවා පාළු කොරිඩෝව සිසාරා ඒ අත මේ අත විපරම් කෙළේය. එහෙත් සුපුරුදු ලෙසම එහි කිසිවකුත් සිටියේ නැත.
කෙසේ නමුත් පසුදින පාන්දරින් ම අවදි වූ ඇය සියලු ජනෙල් තිර ගැලවූවා පමණක් නොව ගෙයි තුන් පැත්තේම වීදුරු ජනේල එකවර විවෘත කර දැමුවාය.
--------------------
විශේෂ ස්තූතිය
විවර / http://www.silumina.lk/ වෙත

No comments:

Post a Comment