Pages

Tuesday, October 9, 2018

මහාචාර්ය ගිහාන් ඩයස් නැමති බාලදක්ෂයා

කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ගිහාන් ඩයස් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉන්ජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. කැලිෆෝනියා (ඩේවිස්) විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ මහාචාර්යවරයෙක් වේ. .LK වසම් (.LK Domain Registry) අධිකාරියේ සමාරම්භක හා ප්‍රධාන විධායක නිලධාරියා වන ඔහු 1990 පමණ සිට ඉහළ මට්ටමේ වසම් (TLD) කළමනාකරණ කටයුතුවල නියැලී සිටි. ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) පිහිටුවීමේත්, ක්‍රියාත්මක කිරීමේත් පුරෝගාමියෙක් වන මහාචාර්ය ගිහාන් ඩයස්, ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්, ගුරුවරුන් හා වෘත්තිකයන්ගේ ලාභ නො ලබන ස්වේච්ඡා සංවිධානයක් වූ ලංකා අධ්‍යයන ජාලයේ (LAcNet) සමාරම්භක හා පළමුවැනි සභාපතිවරයා ද වේ. අන්තර්ජාල සේවා සපයන්නන් ගණනාවකට ඔවුන්ගේ ජාල පිහිටුවා ගැනීමට ද මහාචාර්ය ඩයස් සහාය වී තිබේ.


රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීමේ වගකීම පැවරී ඇති රජයේ ඉහළම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA), මහාචාර්ය ඩයස් ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් විය. ඒ 2003 හා 2004 වර්ෂ වලයි. මේ කාලයේ ඔහු දේශීය භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගැනීමේ වැඩසටහනට නායකත්වය දුන් අතර යුනිකෝඩ් අනුකූල ෆොන්ට සංවර්ධනය පිළිබඳව ද කටයුතු කළේය. ඔහු සකස් කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සිංහල ප්‍රමිතිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ලදුව ශ්‍රීලංප්‍ර 1134 : 2004 ලෙස පළ කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආංශික කමිටුවේ සභාපතිත්වය දරන්නේ ද මහාචාර්ය ගිහාන් ඩයස්ය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කටයුතු කරද්දී මහාචාර්ය ඩයස් ෆොන්ට සංවර්ධකයන් හා අනිකුත් පාර්ශවකරුවන් සඳහා යුනිකෝඩ් ප්‍රමිතිය පිළිබඳ දැනුවත් කිරීමේ හා ධාරිතා ගොඩනැගීමේ පුළුල් වැඩසටහන් ගණනාවක් ම සංවිධානය කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජාත්‍යන්තර වසම් නාම (IDN) කාර්ය සාධන බලකායට නායකත්වය දුන් මහාචාර්ය ඩයස් සාකච්ඡාමය ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවට (සිංහල හා දෙමළ සඳහා) ඉහළ මට්ටමේ වසම් නාම දෙකක් ලබා ගැනීමට සමත් විය. මේවා LKNIC මගින් ක්‍රියාත්මක කරන ලදී. ඔහු අන්තර්ජාල සමාජයේ ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු සභාපතිවරයෙක් ද වෙයි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය දියුණු කිරීමේ පුරෝගාමි කටයුතු වෙනුවෙන් 2013 වර්ෂයේ දී මහාචාර්ය ඩයස් අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරන ලදී.

වර්තමානයේ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ කටයුතු කරන මහාචාර්ය ගිහාන් ඩයස් කුඩා කළ සිට ම පරිගණක පිළිබඳව උනන්දු විය. ඔහුගේ පියාට ලැබුණු ඉන්ජිනේරු සඟරා පිරික්සා බැලීමට පුරුදු වී සිටි ගිහාන් ඩයස්, ඉන්ජිනේරුවෙක් වීමට කුඩා කාලයේම තීරණය කර තිබුණි. ඔහුට පරිගණක සමග කටයුතු කිරීමට ලැබුණේ 1979 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුවයි. බේසික් (BASIC) ක්‍රමලේඛනය පිළිබඳ පොතක් ඔහුට ලැබුණු නමුත් පරිගණකයක් නො තිබුණි. මේ අතර බාට්ලීට් ඉලෙක්ට්‍රොනිකස් සමාගම සංවිධානය කරන ක්‍රමලේඛනය පිළිබඳ පරිගණක පාඨමාලාවක් ගැන සඳහන් වූ පුවත්පත් දැන්වීමක් ඔහු දුටුවේය. මෙයට ඇයදුම් කල ගිහාන් ඩයස් ශිෂ්‍යයා පාඨමාලාවට තෝරා ගනු ලැබූ අතර එහි දී ක්ෂුද්‍ර පරිගණකයක් භාවිතා කරමින් ඔහු ක්‍රමලේඛනය ඉගෙන ගත්තේය. ඉන් පසු ඔහුගේ තීරණය වූයේ දිගටම පරිගණක සමග කටයුතු කළ යුතු බවයි.

මොරටුව විශ්ව විද්‍යලයේ ඉන්ජිනේරු පාඨමාලාවට තෝරා ගනු ලැබූ ගිහාන් ඩයස් 1986 දී උපාධිය ලබා ගත්තේය. පරිගණක විද්‍යා අංශයක් ආරම්භ කිරීමට විශ්ව විද්‍යාලය තීරණය කළේ මේ කාලයේමයි. අලුත් අංශයට ගිහාන් ඩයස් බඳවා ගැනීමට එම අංශය භාරව සිටි මහාචාර්ය අභය ඉඳුරුව එකඟ වූ බැවින් එම අංශයට බැදුණු පළමු පුද්ගලයා වූයේ ගිහාන් ඩයස්ය. 1986 අග භාගයේදි ගිහාන් ඩයස් මහතා ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට ගියේය.

ඔහු අන්තර්ජාලය දුටුවේ කැලිෆෝනියාවේදිය. මේ කාලයේ විශ්ව විද්‍යාලවලට අන්තර්ජාල පහසුකම් තිබූ නමුත් අන් අයට ලබා ගත හැකි නොවීය. ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ විශ්ව විද්‍යාලවල සිටි ශ්‍රී ලාංකිකයන් ඉලෙක්ට්‍රොනික තැපෑල භාවිතා කරමින් තොරතුරු හුවමාරු කර ගත්හ. මෙම කණ්ඩායම ක්‍රමයෙන් වැඩිවූ අතර එය ශ්‍රී ලංකා ජාලය (SLNET) ලෙස නම් කරන ලදී. ඔවුන් අවබෝධ කර නො ගත් කරුණ වූයේ මෙය මුල් සමාජ මාධ්‍ය ජාලවලින් එකක් බවයි. අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවට සම්බන්ධ වීමට පසුව තීරණය කරන ලදී.

මේ සඳහා එවකට තිබූ එකම තාක්ෂණය වූයේ දුරකථන මාර්ගයක් යොදා ගනිමින් මෝඩමයක් හරහා සම්බන්ධ වීමයි. නමුත් එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට දුරකථන ඇමතුමක වියදම ඉතා අධික විය. මෙම ජාලයේ තිරසරබව සහතික කිරීමට ගිහාන් ඩයස් මහතා ලංකා අධ්‍යයන ජාලය (LAcNET) නම් ලාභ නො ලබන ස්වේච්ඡා සංවිධානයක් ආරම්භ කළේය.

මහාචාර්ය ඩයස්ගේ වෘත්තිය ජීවිතයේ ඉතාම වැදගත් සිදුවීම වන්නේ ඉහළ මට්ටමේ වසම් සඳහා දේශික කේත ලබා ගැනීමයි. මේ වන විට බොහෝ රටවල් අක්ෂර දෙකේ කේත භාවිතයට ගෙන තිබුණි. (ජපානය .jp හා එක්සත් රාජධානිය .uk යනාදී වශයෙනි) ශ්‍රි ලංකවට .lk යන දේශික තේකය ලබා දෙන ලෙස ගිහාන් ඩයස් ඉල්ලීමක් කළේය. මේ අනුව ජෝන් පොස්ටෙල් මහතා විසින් .lk ගිහාන් ඩයස් මහතාට ලබා දුනි. මහාචාර්ය ඩයස් .LK වසම් අධිකාරියේ (LKNIC) ලේඛනාධිකාරි ලෙස කටයුතු කළ අතර පසුව එහි ප්‍රධාන විධායක නිලධාරියා විය.

ගිහාන් ඩයස් මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ 1992 වර්ෂයේ දීය. මොරටුව, කොළඹ හා විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ කර පසුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් අන්තර්ජාල සබඳතාවක් ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යයන ජාලය වූ ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (LEARN) ආරම්භය මෙයයි. එය පිහිටුවීමට දායක වූ මහාචාර්ය ඩයස් අවුරුදු 10ක් එයට නායකත්වය දුන්නේය. 2002 වර්ෂය වන විට විශ්ව විද්‍යාල 12 ක පමණ ශිෂ්‍යයන් හා ආචාර්ය මණ්ඩල එයට සම්බන්ධ වී තිබුණි.ශ්‍රී ලංකා රැජන හා ස්නාධිපති බාලදක්ෂ සංසදයේ

2003 දි මහාචාර්ය ඩයස් සප්තවාර්ෂික නිවාඩුව ලබා ගත්තේය. කලින් පැවති රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඉහළම ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) අන්තර්ජාල කමිටුවේ ඔහු සාමාජිකයෙක් විය. ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ප්‍රවර්ධනය කිරීමේ ගැටලු ගැන අවධානය යොමු කළ මෙම කමිටුව අන්තර්ජාලය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ස්ථාපිත කිරීමට තීරණය කළේය. මෙහි සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තොරතුරු ඇතුළත් කිරීම අවශ්‍ය වුවත් ඒ සඳහා සුදුසු (ප්‍රමිතීන්ට අනුගත) සිංහල ෆොන්ට නැති බව කමිටුවට පෙනී ගියේය. එකිනෙකට නො ගැලපෙන එකිනෙකට උරුම (legacy) ෆොන්ට ඒ වන විට භාවිතයේ තිබුණි. මේවායින් ඉ-තැපැල් පණිවුඩයක් යවන විට ෆොන්ටය ද යැවීම අවශ්‍ය විය. ෆොන්ටය නොමැති විට එය දිස් වූයේ තේරුම් ගත නො හැකි සංකේත මාලාවක් ලෙසයි. මාර්ග ගත සිංහල පුවත්පත් කියවීම සඳහා විවිධ ෆොන්ට බාගත කිරීම අවශ්‍ය විය.

මේ නිසා දීර්ඝ සාකච්ඡාවකින් පසුව කමිටුව තීරණය කළේ සිංහල ෆොන්ට, යුනිකෝඩ් අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූල විය යුතු බවයි. මෙම යුනිකෝඩ් කේතයට සියලුම භාෂාවලින් කටයුතු කළ හැකි වූ අතර ෆොන්ට ඇමුණුම් ලෙස යැවීමෙන් හෝ බාගත කිරීමෙන් තොරව තොරතුරු හුවමාරු කර ගැනීමටත් වෙබ් අඩවි බැලීමටත් හැකි විය. මේ නිසා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි බොහෝ පාර්ශවකරුවන්ගෙන් සමන්විත ෆොන්ට කමිටුවක් මහාචාර්ය ගිහාන් ඩයස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාවේ (CINTEC) පිහිටුවන ලදී.

ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව වසා දමා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ආරම්භ කිරීමෙන් පසු මෙම කමිටුව ද අලුත් නියෝජිතායතනයට ගෙන යන ලද අතර එය දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම ලෙස නම් කරන ලදී. වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට බැදුණු මහාචාර්ය ඩයස්, දේශීය භාෂා කණ්ඩායමේ කටයුතුවලට නායකත්වය දුන්නේය. මහාචාර්ය ගිහාන් ඩයස් අවධාරණය කළේ දැන් යුනිකෝඩ් අනුකූල සිංහල ෆොන්ට භාවිතා කරමින් පරිගණකයෙන් ඕනෑම දෙයක් ලිවීමේ හැකියාව ඇති බවයි. මෙම ප්‍රයත්නය ඉතා සාර්ථක වූ අතර සිංහලෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීම අද සාර්වත්‍රික දෙයක් බවට පත් වී තිබේ.

අන්තර්ජාල සමාජයේ ශ්‍රී ලංකා ශාඛාව පිහිටුවීමට මහාචාර්ය ගිහාන් ඩයස් සම්බන්ධ වූ අතර ඔහු එහි හිටපු සභාපතිවරයෙක් ද වේ. සුරක්ෂිත ලෙස අන්තර්ජාලය භාවිතා කිරීමට පහසුකම් සපයමින් ජනතාව දැනුවත් කිරීමට මෙම සමාජයේ සාමාජිකයෝ කටයුතු කරති. ශ්‍රී ලංකාව, අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි රටවල් අතරින් එකක් යයි මහාචාර්ය ඩයස් වැඩිදුරටත් කියා සිටී. ඕනෑම ස්ථානයක සිටින ඕනෑම කෙනෙකුට නිවසේ, කාර්යාලයේ හෝ වෙනත් ඕනෑම තැනකින් අන්තර්ජාලය භාවිතා කළ හැකි වේ.

ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ සභාපතිවරයෙකු ද වූ ආදි ජනාධිපති බාලදක්ෂ මචාර්යගිහාන් ඩයස් මහතා දැනට මහචාර්ය පදවි උසුලන ශ්‍රී ලංකවේ සිටින අසහාය බාලදක්ෂයෙකු ද වේ. දශක ගණනාවක සිට නිහඩ බාලදක්ෂ සේවයක නියැලෙන එතුමා වාර්ජාෂිකව පැවැත්වෙන් ජාත්‍යන්තර JOTA JOTI ජම්බෝරි වෙනුවෙන් අතිමහත් සහයෝගයක් ලබා දෙන්නා වූ සම්පත් දායකයෙකු ද වේ.


1995 සිටම අන්තර්ජාල සමාජයේ කටයුතු කළ මහාචාර්ය ගිහාන් ඩයස් 2013 වර්ෂයේ දී අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය ගිහාන් ඩයස්ගේ පුරෝගාමී මෙහෙවර අගය කිරීමකි. නමුත් මහාචාර්ය ඩයස් කියා සිටියේ මෙය ශ්‍රී ලංකාවේ කෙරුණු කටයුතුවලට ලැබුණු පිළිගැනීමක් බවයි. එය ඔහු පමණක් නොව ඔහු සමග කටයුතු කළ සියලු දෙනාට ම ලැබිය යුතු ගෞරවයකි. මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට අපේක්ෂා කරන අයට මහාචාර්ය ඩයස්ගේ උපදෙස වන්නේ ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාලය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් කර ගැනීම ආරම්භ කළා පමණක්ය, නමුත් ඊළඟ අවුරුදු 10 තුළ එය සියල්ලම ඇතුළත් දෙයක් වන බැවින් අන්තර්ජාලය වඩාත් වේගවත් හා වඩාත් විශ්වාසී ලෙස ගොඩනැගීමත් හා ඒ සඳහා ප්‍රයෝජනවත් යෙදුම් සංවර්ධනය කිරීමත් අවශ්‍ය බවයි.

අවසාන වශයෙන් මහාචාර්ය ගිහාන් ඩයස් කියා සිටියේ වර්තමානයේ ඔහු කටයුතු කරන්නේ ඉ-ඉගනුම සම්බන්ධව බවයි. විශේෂයෙන්ම සිංහලෙන් හා දෙමළෙන් ඉගෙන ගන්නා අයට ඉ-ඉගනුම් පහසුකම් ලබා දෙන්නේ කෙසේ ද යන්න ගැනයි. මහාචාර්යවරයාගේ අවධානය යොමුව අනිත් කරුණ වන්නේ භාෂාවයි. ඔහු කියා සිටියේ අපේ උරුමය ගැන අප ආඩම්බර විය යුතු බවත් සිංහලෙන් හා දෙමළෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගැනීම පහසු කිරීමට තවත් බොහෝ දේ කළ යුතුව ඇති බවත් ය.

No comments:

Post a Comment