Pages

Wednesday, November 30, 2016

විනීෂියා ගමගේ නැමති බාලදක්ෂිකාව

අහසේ මාලිගා හදන්න එපා! පොළොවේ පය ගසා ජීවත් වෙන්න!

බාලදක්ෂිකා සංගමයේ හිටපු ප්‍රධාන කොමසාරිස් - විනීෂියා ගමගේ

ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියක හා සමාජ සේවිකාවකද වන විනීෂියා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ හිටපු ප්‍රධාන කොමසාරිස්වරියක හා සභාපතිනියක වන්නීය. පසුගියදා පැවැත්වුණු දේවි බාලිකා විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ‘අභිමානවත් ආදී දේවි දියණිය’ ලෙස උපහාර ලැබුවා ය.

වියපත් වුණත් ඇගේ වත කමල තවමත් සොඳුරුයි. මුව පුරා විසිරුණු පිවිතුරු සිනා රැල්ල යහපත් සිතිවිලිවලින් පිරුණු ඇගේ දයාබර හදවතේ මහිමය කියාපාන කැටපතක් හා සමානයි. ලෙංගතු සිනාවකින් යුතුව දෑත් එක්කොට “ආයුබෝවන්” කියමින් ඈ අප පිළිගත්තේ කාලෙකින් පස්සේ හමුවෙන සමීප නෑදෑයෙකු පිළිගන්නා තරම් සෙනෙහසින්. 

පසුගියදා කොළඹ බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයීය 2016 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදි “අභිමානවත් ආදි දේවි දියණිය” ට හිමි උත්තමාචාරයෙන් පිදුම් ලත් ඈ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනියක හා ප්‍රධාන කොමසාරිස්වරියකව සිටි විනීෂියා ගමගේ මහත්මිය. දේවි බාලිකා විද්‍යාලයේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකාවක වූ ගමගේ මහත්මිය විසින් රට දැය සමය උදෙසා ඉටු කරන ලද අනූපම මෙහෙවර සලකමින් මෙම සම්මානයෙන් ඇය පුදනු ලැබුවා. 

“අද කාලෙ කාන්තාවන් මුහුණ පාන ගැටලු බොහොමයකට මුල ඈ තුළ ඉවසිලිමත් බවක් නැති කමයි. ක්ෂණික කෝපය හා ආශාවන් පසුපස අධික ලෙස හඹා යෑම වර්තමාන සමාජ පිරිහීමට මූලික හේතුවක්” යැයි පවසමින් ඈ අප හා පිළිසඳර ඇරැඹුවා. 

කාන්තාවන් අහසේ මාලිගා තනන්නට යෑම සුදුසු නෑ. පොළවේ පය ගසා ජීවත් වන්නට පුංචි කාලේ පටන්ම දූවරුන්ට පුරුදු පුහුණු කළ යුතුයි. අධ්‍යාපනයෙන් කොපමණ ඉහළ ගියත් ගැහැනු දරුවන් හොඳින් උයන්නට - පිහන්නට හා ගේ දොර වැඩපළ කරගන්නට පුරුදු පුහුණු විය යුතුයි. රූමත් බවත්, උගත්කමත් පමණක් තිබුණාට කාන්තාවකගේ ජීවිතය පරිපූර්ණත්වයට පත්වන්නේ නෑ. විවාහ වුණත් නැතත් කාන්තාවක් අතින් තම දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට සහ සමාජයට ඉටු විය යුතු මෙහෙවර නොඅඩුව ඉටු කළ යුතුයි.” ඇය කියනවා. දැනට ජීවන ගමගේ අසූ එක් වැනි සලකුණ පසු කරමින් සිටින ඇය තවමත් එදා මෙන්ම උද්‍යෝගයෙන් හා ක්‍රියාශීලීව කටයුතු ක‍රනවා.

1956 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ආචාර්ය ආනන්ද ගුරු‍ෙග්, එන් කිව් ඩයස් හා බෝගොඩ ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ඇරැඹි බෞද්ධ ශිෂ්‍ය සංවිධානයේ ආරම්භක සාමාජිකාවක් වන ඇය සෞඛ්‍යදාන ව්‍යාපාරය හා සර්වෝදය ව්‍යාපාරයේ ද ආරම්භක සාමාජිකාවක්. 

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ එකොළොස්වැනි බාලදක්ෂිකා සංගමය වූ විසාකා විද්‍යාලයීය බාලදක්ෂිකා සංගමයේ බාලිකාවක් ලෙස සංගමයට එක් වූ ඇය එහි විවිධ තනතුරු දරමින් පැමිණි මග නතර වූ‍ෙය් 1983 මාර්තු මාසයේදී සංගමයේ ප්‍රධාන කොමසාරිස් තනතුරට පත්වෙමින්. 1990 දක්වා ඇය එම තනතුරෙහි කටයුතු කළා. පසු කලෙක බාලදක්ෂිකා සංගමයේ සභාපතිනියක ලෙස ද කටයුතු කළ ඇය විසින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් අතරින් 1984 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණ “තාරුණ්‍යයේ හඬ” සම්මන්ත්‍රණය, කැන්දලියැද්ද පාළුවේ ඇරැඹුණු දිළිඳු පවුල් 10කට නිවාස දහයක් ඉදිකර දීමේ ව්‍යාපෘතිය, ජනාධිපති බාලදක්ෂිකා සම්මානය හඳුන්වා දීම, වැඩිහිටි සරණ ව්‍යාපෘතිය, මතට ඇබ්බැහිවූළුන් මුදවා ගැනීමේ ව්‍යාපෘතිය, ජල හා සනීපාරක්සක පහසුකම් සැපැයීමේ ව්‍යාපෘතිය, ග්‍රාමීය කාන්තාවන්ට ස්වයං රැකියා පුහුණුව හා සෞඛ්‍ය හා පෝෂණ දැනුම ලබා දීමේ වැඩසටහන් විශේෂයෙන් කැපී පෙනෙනවා.

මින් අමතරව බන්ධනාගාර රැඳවියන් ගේ පවුල් සඳහා සුභසාධන සංගමයක් ඇරැඹීම, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කාන්තාවන්ගේ සම්මේලනය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාරයෙන් දියත් කළ වැඩිහිටි සරණ ව්‍යාපෘතිය, ජාතික තරුණ සම්මාන අධිකාරිය හා වැල්ලවත්ත ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා සංගමය ඇගේ මූලිකත්වයෙන් බිහිවුණු තවත් සංවිධාන කිහිපයක්. 

එක්දහස් නවසිය තිස් පහේ ඔක්තෝබර් මාසෙ දාසය වැනිදා වැල්ලවත්තේ හැම්ඩන් පටුමගෙහි දයා පාරෙහි හැම්ඩන් වීලා නිවසෙහි මෙළොව එළිය දුටු ඈ විනීෂියා එතල් ප්‍රනාන්දු. ඇගේ පියා රාජ්‍ය සේවයේ නිලධාරියකු ලෙස ආහාර හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුවෙහි සේවය කළා. ඇගේ මව එතල් වෙරෝනිකා රොද්‍රිගු සිව් දෙනකුගෙන් යුතු දරු පවුල රැකබලාගෙන ගෘහනියක ලෙස කටයුතු කළා. නිනෙත් ඇගේ වැඩිමල් සහෝදරිය. ඩඩ්ලි සහ තිලක් සොහොයුරන්.

විනීෂියා මූලික අධ්‍යාපනය ලැබුයේ වැල්ලවත්තේ ඇරතියුසා විද්‍යාලයෙන්. තුන්වැනි ශ්‍රේණියේදි බම්බලපිටියේ විසාකා විද්‍යාලයට ඇතුලත් වුණු ඈ අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තිය දක්වා ම එහි ඉගෙනුම ලැබුවා. උසස් පෙළ විද්‍යා විෂය ධාරාව තෝරා ගත් විනීෂියාට දිනක් ඇගේ යෙහෙළියක වූ රන්ජනී දිසානායක එක්තරා පුවත්පත් දැන්වීමක් පෙන්වූවා. ඒ 1954 වසර. කොළඹ බොරැල්ලේ කාසල් වීදියේ අලුතින් කාන්තා විද්‍යාලයක් ආරම්භ කරන්නට යන බවත් විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්නට කැමති ශිෂ්‍යාවන් සීමිත සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බවත් ඒ දැන්වීමෙහි සඳහන් වී තිබුණා. 


“විහිළුවට වගේ අපිත් මේ පාසලට ඉල්ලුම් පත්‍රයක් යවලා බලමුද?”යි විනීෂියා ගේ මිතුරිය ඇසුවා. ඒ අනුව අලුත් පාසලට ඔවුන් අයැදුම් පත් දෙකක් තැපැල් කළා. එවකට විසාකාවෙ හිටපු විදුහල්පතිනිය වූ පුලිමුඩ් මහත්මියට මේ බව ආරංචි වුණා. ඇය විනීෂියාට විද්‍යා විෂය උගන්වාපු ගුරුතුමිය. විනීෂියා සහ රංජනී කැඳවූ විදුහල්පතිනිය එලෙස ඉල්ලුම් කිරීමට හේතු විමසුවා. නොයන ලෙසට අවවාද කළා. ඒත් යොවුන් ජීවයෙන් පිරුණු යුවතියන් දෙදෙනාටම අලුත් පාසල් අත්දැකීම ලැබීමේ කුතුහලයෙන් මිදෙන්නට බැරි වුණා. ඔවුන් කාසල් වීදියේ කාන්තා විද්‍යාලයේ (වර්තමාන දේවි බාලිකා විද්‍යාලය) පළමුවන ශිෂ්‍යාවන් සිය දෙනා අතරට එක් වුණා.

අලුත් පාසලේ විදුහල්පතිනිය ආචාර්ය විමලාද සිල්වා මහත්මිය. ඇය විද්‍යාලයේ විදුහල්පති ධූරයත් දැරුවා. පන්ති භාර ගුරුතුමිය කල්‍යානි අබේසිරිවර්ධන මෙනෙවිය. විමලා ද සිල්වා මහත්මියගෙන් පසුව දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පත් වුණේ ඇයයි. මුල්ම ගුරු මණ්ඩලය හය දෙනයි. ඒ ආචාර්ය විමලා ද සිල්වා, කල්‍යාණි අබේසිරිවර්ධන, කාමිනී මීදෙනිය, අයිරාංගනී ගොපල්ලව, ඒඩා අමරසිංහ, මේවීස් ප්‍රනාන්දු යන මෙනෙවියන්. උසස් පෙළ විද්‍යා පන්තියේ විනීෂියා සහ රන්ජනී ඇතුළුව සිසුවියන් හත් දෙනයි. 

අලුත් පාසල හැම අතින්ම අලුත්. අලුත් ශිෂ්‍යාවන්, අල්ත් ගුරුතුමියන්, අලුත් පරිසරයක්. විසාකා විද්‍යාලයත් සමඟ සසඳන විට අලුත් පාසල පුංචි ටකරන් ශාලාවක පැවැත්වුණු පන්තිකාමර කිහිපයක් පමණයි. විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තත් විද්‍යාගාරයක් නොතිබුණු නිසා ඔවුන් භෞතික විද්‍යා හා රසායන විද්‍යා පර්යේෂණ කරන්නට ගියේ මරදානේ කාර්මික විද්‍යාලයේ විද්‍යාගාරයටයි. එවකට කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ආචාර්ය විමලා ද සිල්වා මහත්මියගේ සැමියා වූ ආචාර්ය එස්.එල්. ද සිල්වා මහතා. උසස් පෙළ රසායන විද්‍යා ගුරුවරයා වූයේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරයකු වූ ජිනපාල මහත්මයා. 

උසස් පෙළ විභාගයෙන් හොඳින් සමත් වුණත් විශ්ව විද්‍යාලයට යන්නට ලකුණු කිහිපයක් මදි වූ හෙයින් 1958දි විනීෂියා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුල් වුණා. විද්‍යා පුහුණු ගුරුවරියක ලෙස 1959 දි එයින් පිට වුණා. ගුරුවිදුහලට පිවිසෙන්නට පෙර ටික කලක් ඈ බුද්ගමුව ප්‍රාථමික විදුහලේ ගුරුවරියක ලෙස කටයුතු කළා. ගුරු විද්‍යාලයෙන් පිට වූ ඇයට දේවි බාලිකා විද්‍යාලයේ ම විද්‍යා ගුරුවරියක ලෙස සේවයට එක් වන්නට අවස්ථාව ලැබුණා. ඒ 1960 වසරේදි. 

දේවි බාලිකා විද්‍යාලයේ බාල දක්ෂිකා සංගමය අරඹා එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නට ඇයට අවස්ථාව උදා වුණේ එහි ඉගැන්වූ කාලෙදි. සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවන්ට විද්‍යා විෂය ඉගැන්වූ විනීෂියා තමා විසින් ම සකස් කළ ප්‍රශ්න පත්‍ර සිසුවියන්ට බෙදා දුන්නා. ඉගැන්වූ පාඩමක් පන්තියේ හැම සිසුවියකටම හොඳින් අවබෝධවන තුරු ඇය අලුත් පාඩමක් ඇරැඹූයේ නෑ. සතයක්වත් අය නොකර දුර්වල සිසුවිය්නට අමතර පාඩම් කියා දුන්නේ පාසලින් පසු නතරවෙලා. ඇගෙන් උගත් සෑම ශිෂ්‍යාවක්ම විද්‍යා විෂය ඉහළින් ම සමත් වුණු අතර ඇගේ දස්කම් හා කැපවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පැසැසුමට ලක් වුණා. පාසල් අවධියේ පටන්ම විවාද කණ්ඩායමේ සාමාජිකාවක වූ ඇය දේවි දියණියන්ට ද ඒ දැනුම ලබා දුන්නා. බාලදක්ෂ සංගමය, බෞද්ධ සංගමය, විද්‍යා සංගමය වැනි සංගම් භාරව කටයුතු කළ ඇය දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිර්මාතෘවරියයි. විද්‍යාලයට නේවාසිකාගාරයක් තැනීමට මුල් වී කටයුතු කළේ ද ඇයයි. 

1974 ගාල්ලට ස්ථාන මාරුවක් ලබා ගිය ගමගේ මහත්මිය යළි කොළඹට ඇවිත් කැමැත්තෙන් ම තෝරා ගත්තේ වැඩි දෙනෙකු යන්නට අකමැති වූ පාසලක්. ඒ දෙමටගොඩ ශාන්ත ජෝන් පිරිමි විදුහල. නාගරික දිළිඳු පිරිමි ළමුන්ගේ පාසලක් වූ එහි ඉගෙනුම ලැබු‍යේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් පිරිසක්. ඔවුන්ගේ දිළිඳු බව හා පවුල් පරිසරය වටහාගෙන දැඩි ඉවසීමෙන් හා කැපවීමෙන් පුරා වසර හයක් ඇය ඒ පාසලේ සේවය කළා. ඒ කාලය තුළ නොමඟ යමින් සිටි දරුවන් පිරිසක් විශ්මය ජනක ලෙස යහමඟට හරවා විභාගය සමත් කරන්නට ඇයට හැකිවීම ගුරු දිවියේ ඇය ලැබූ විශාලතම සතුට බව ඇය කියනවා. 

දේවි බාලිකා විද්‍යාලයීය වර්ෂික ත්‍යාග ප්‍රද‍ානෝත්සවයෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ‍ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ආදි ශිෂ්‍ය ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සහභාගි වූ අතර, එහිදී එම මහත්මිය සමඟ විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මිය හා හිටපු විදුහල්පතිනී කල්‍යාණිද සොයිසා මහත්මිය විසින් හිටපු බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් සමාජ සේවිකා ආදි ශිෂ්‍ය විනීෂියා එතෙල් ගමගේ මහත්මියට “අභිමානවත් ආදි දේවි දියණිය” උපහාරය පිළිගන්වන ලද අවස්ථාව.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ කටයුතුවලට වැඩියෙන් යොමු වීමට සිදු වූ හෙයින් ඇය 1982 දී විශ්‍රාම ලබා ගත්තා. එතැන් පටන් අද දක්වා ම බාලදක්ෂ ව්‍යාපාරයෙහි කටයුතුවලට යොමුවූ ඇය අදත් ඔවුන්ගේ ප්‍රධාන පරීක්ෂකවරියක ලෙස කටයුතු කරනවා. 

හිටපු පොලිස් අධිකාරීවරයකු හා පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිලි අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ නිහාල් ගමගේ සමඟ විවාපත් වූ ඇයගේ පුතා දමින්ද ගමගේ. ඔහු අද කැනඩාවේ මැරියට් ‍ොහ්ටල් සමූහ සමාගමේ තොරතුරු තාක්ෂණය පිළිබඳ කලාප කළමනාකරු ලෙස කටයුතු කරනවා. ඔහුගේ දියණියන් දෙදෙනා සහ පුතු ඇයට ආත්තම්මා පදවිය උරුම කර දීලා. එක පුතකු වැදුවත් දහසකුත් එකක් දැයේ දියණිවරුනට හා පුතුන් රැසකට ආදරණීය මවක වූ විනීෂියා ගමගේ මහත්මිය ඔවුන්ට සෙවනත්, උපකාරත් රැකවරණත් නිර්ලෝභීව පරිත්‍යාග කළ අවස්ථා අපමණයි. දහසක් දෙනා දුකින් මුදවාගෙන ඔවුන් ගේ නැණැස පාදනනට සමත් වූ පිනෙන් ඇය දීර්ඝායු ලබන බව ඇය විශ්වාස කරනවා.

අවුරුදු 53ක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙළෙන ඇය වසර 49ක් පුරා ඉන්සියුලින් එන්නත ලබා ගන්නවා. වියපත් බව හෝ රෝගී බව මොහොතකටවත් ඇගේ ක්‍රියාශීලි දිවියත් අධිෂ්ඨානශීලී සමාජ මෙහෙවරත් නවතාලන්නට සමත් වී නෑ. “ගැහැනියක ලෙස ඉපදීම ම එක්තරා අභියෝගයක්. තමා හමුවට එන අභියෝග සියල්ලට ම දිරියෙන් හා ඉවසීමෙන් මුහුණ දීමෙන් තමා තුළ ඇති ශක්තිය ලොවට විදහා පෑම කාන්තාව අත්පත් කර ගන්නා විශාලතම ජයග්‍රහණයයි” ඇය කියන්නේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවයි.

විශේෂ ස්තූතිය

Monday, November 28, 2016

නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු බාලදක්ෂ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ධූරයට


https://www.facebook.com/photo.php?fbid=1135255979925989&set=a.116950161756581.17668.100003247947404&type=3&theater
නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථාන පරිශ්‍රයෙහි පැවති විශේෂ උත්සවයකදී පසුගිය දා (26-11-2016) නිල වශයෙන් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ධූරයෙහි වැඩ භාරගනු ලැබීය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් සම්මානීය මහාචාර්ය නිමල් ද සිල්වා, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා, වාරිමාර්ග/රාජ්‍ය හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය අජිත් පී. වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, ශ්‍රී ලංකා බාලදක්ෂ කමිටු සභාපති ශ්‍රීනාත් ගුණරත්න ඇතුලු ජාතික බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් කොමසාරිස්වරුන් හා සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙම විශේෂ අවස්ථාවට සහභාගී වූහ.


ඔහු කොළඹ 03 ශාන්ත තෝමස් තෝමස් කුමර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර පසුව ගල්කිස්ස ශාන්ත තෝමස්  විද්‍යාලයට ඇතුලත් වූයේ ය. පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් ව නීති උපාධිය දිනා ගැනීමෙන් අනතුරුව 1992 ජුනි මස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබිණ.

1979 වසරේ දී 39 වන කොළඹ ශාන්ත තෝමස් තෝමස් විද්‍යාලයීය බාලදක්ෂයෙකු ලෙස ලෝක බාලදක්ෂ සහෝදරත්වයට සම්බන්ධවන ඒ මහතා මොරිස් වේරගොඩ, ක්ලෝඩ් හල්පේ මහත්වරුන්ගෙන් පසුව සහ වර්තමාන කොළඹ ශාඛාව බාලදක්ෂ සංගමයේ දිස්ත්‍රික් කොමසාරිස් සුරේන් වික්‍රමතිලක මහතාගේ නායකත්වය යටතේ බාලදක්ෂ නායකයා බවට පත් විය. තරුණ ජවය හා නායකත්වයෙන් පිරි බාලදක්ෂ නායකයෙකු ලෙස කොළඹ බාලදක්ෂයන් අතර අතිශය ජනප්‍රියක්වයට පත්ව සිටි අතර 1983 වසරේදී අනුරාධපුරයේ පැවති පළමුවැනි බාලදක්ෂ තරුණ සමුළුවෙහි සභාපති ලෙස තේරී පත්විය. ඔහු සතුව පැවති නායකත්වය හැකියාවන් සහ දක්ෂතාවයන් පරිණත බවට පත් කිරීමට මෙම තරුණ සමුළුව හැරවුම් ලක්ෂයක් වූ බව නිසැකය. බාලදක්ෂයෙකු ලෙස දිනාගතහැකි උසස් සම්මානය වන ජනාධිපති සම්මානය  1984දී දිනාගනු ලැබූ  අතර වයස අවුරුදු 22 දී තරුණ නායකයෙකු ලෙස 1989 වසරේ දී ලී පදක්කම ද දිනාගත්තේ ය. වෘත්තීය ජීවිතය හා බාලදක්ෂ ජීවිතය තුළ නිරන්තර ව මුහුණේ රැදි ප්‍රීතිමත් සිනහවත් පරමාදර්ශී නායකත්ව ලක්ෂණත් ඔහුගේ අනාගත ගමන ස්ථීර කළේය. 

ඒ මහතා සතු සුවිශේෂී නායකත්වය ගුණය හා වෘත්තිය නෛපූන්‍යත්වය යොදාගනිමින් දීර්ඝ කාලීන මූල්‍ය හා උපාය මාර්ග සැලසුම් හේතුවෙන් බංග්ලාදේශය අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් ඩකා හි පැවති 24වැනි ආසියානු පැසිෆික් කලාපීය බාලදක්ෂ සමුළුවේ දී ඔහු කලාපීය බාලදක්ෂ කමිටුවට (APRSC)තේරී පත් විය. බංග්ලාදේශය අග්‍රාමාත්‍ය ෂික් හසීනා එම සමුළුවෙහි සභාපතිත්ව දරනූ ලැබීය. මෙවැනි කීර්තිමත් තනතුරකට (RSC/APR) ශ්‍රී ලාංකිකයෙකු තේරී පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර ඉන් පෙර 2007-2012 කාල සීමාව සඳහා ඔහු කලාපීය කළමනාකරණ උප කමිටුවේ සභාපති ලෙස සේවය කළේය. බාලදක්ෂ ව්‍යාපාරය නියෝජනය කරමින් ඔහු රටවල් ගණනායක බොහෝ සම්මන්ත්‍රණ හා වැඩමුළු සම්පත් දායකයකු ලෙස කටයුතු කර ඇති අතර දැනට ලෝක බාලදක්ෂ සංගමයේ ගෝලීය සහායක කමිටුවේ සමූහයේ සභාපති ලෙස ද මෑතක සිට ඔහු අභ්‍යන්තර තත්ත්ව විගණන ලෙස ද පත්කරනු ලැබීය. ආසියානු පැසිපික් කලාපය නියෝජනය කරමින් ලෝක බාලදක්ෂ සංගමයේ මෙම සුදුසුකම් ලබා ගත් පළමු ආසියාතිකයා ද වේ.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන සම්මාන ගණනාවක්ම පිරිණමා ඇති අතර ඒ අතරින් පිලිපීන ජනරජය විසින් ලෝකඩ TAMARAW සම්මානය සුවිශේෂී වේ. තායිවානය ජනරජය විසින් පිරිණමනු ලැබූ හරිත ජේඩ් සිංහයා සම්මානය ද ඔහුගේ නායකත්වය සඳහා ලෝව නන්දෙසින් ලැබූ කිත් පැසසුම් අතර ඉහලින්ම ඇති සම්මානයකි. 

වයස අවුරුදු 49ක සේවා කාලයේදී බාලදක්ෂ ව්‍යාපාරයෙහි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ලෝක බාලදක්ෂ ප්‍රජාව වෙත සිදුකළ මෙහෙවර අනභිබවනීය වේ. වසර ගණනාවක් පුරා නීතිඥ වෘත්තියෙහි නියැලෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනා අධිකරණය,මහාධිකරණය,දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, කම්කරු විනිශ්චය සභාවෙහි හා සමාගම් ලේකම්වරයෙකු ලෙස ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංවිධාන නීති උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර ඒ මහතා ජාතික බාලදක්ෂ මූලස්ථානයෙහි ජාත්‍යන්තර කොමසාරිස්වරයා ලෙස ලෙස ප්‍රශංසනීය සේවයක් ද ඉටු කළේය. මෑත ඉතිහාසයෙහි වැඩිම ජාත්‍යන්තර බාලදක්ෂ කඳවුරු සංඛ්‍යාවකට වැඩිම බාලදක්ෂයන් පිරිසක් සහභාගී වූ යුගය ලෙසින් ද මෙම වකවානුව ඉතිහාසයට එක් ව තිබේ. ඒ අතර ලෝක බාලදක්ෂ සංගමයෙහි හා ජාත්‍යන්තරයෙහි වැඩිම අවධානයක් දිනාගනිමින් 24වැනි කලාපීය බාලදක්ෂ ජම්බෝරිය හා 6වැනි ලෝකබාලදක්ෂ සමුළුව ද මෙරටෙහි පැවැත්වීමට අවස්ථාව ලැබුණේද ඔහු සතුව පැවති කැපවීම හා දක්ෂතා හේතුවෙනි. 

ඉදිරි කාලය තුළ සමස්ත බාලදක්ෂ ප්‍රජාව වෙනුවෙන් වඩාත් උපරිම සේවයක් ලබා දෙන්නට නව නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ලෙස පත් වූ නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත SCOUTING සඟරාවේ සුභ පැතුම් එක් කරමු.












more scouting news update on https://www.facebook.com/baladaksha.srilanka









Sunday, November 20, 2016

හර්ෂණ කරුණාතිලක නැමති බාලදක්ෂයා

මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය ආදී සිසුවෙකු වන හර්ෂණ කරුණාතිලක මහතා ඉන්දුනීසියාවේ , ජකාර්තා නුවර පැවති IMA Film Festival සම්මාන උළලේදී, 'හොඳම කැමරා අධ්‍යක්ෂණය' වෙනුවෙන්, රටවල් 155 ක් අභිබවමින් රන් සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත. ඔහු කැමරා අධ්‍යක්ෂණය කරන ලද 'සදී' චිත්‍රපටය වෙනුවෙන් මේ සම්මානය හිමි වී ඇති අතර, මෙය ඔහුගේ ප්‍රථම ප්‍රධාන කැමරා අධ්‍යක්ෂණයයි. මව් සෙනෙහස නොලත් වැදී දරුවෙකුගේ අනුවේදනීය කතාවක් ඇසුරින් නිර්මාණය වූ 'සදී' චිත්‍රපටයේ රංගන දායකත්වය ජීවන් කුමාරතුංග, රොෂාන් පිලපිටිය ඇතුළු පිරිසයි. මීට අමතරව ආදී වාසීන් පිරිසක් ද මෙහි රංගනයට දායක වීම විශේෂ සිදුවීමකි.

පරිගණක ආයතනයක සේවය කළත් මගේ හිත තිබුණේ කලාවට. එදා තමයි මං මුලින්ම සිනේ කැමරාවක් දැක්කේ. බුද්ධික මංගල තමයි මාමලගේ ගෙදර රූ ගත කරපු නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂවරයා. මං ඔහු ළඟට කිට්ටුවෙලා කැමරාව දිහා ඇස් නොපියා බලන් හිටියා. එදා කැමරාව දෙස නෙත් නොපියා බලා සිටි හර්ෂණ කරුණාතිලක අද සහාය කැමරා අධ්‍යක්ෂවරයෙක්. නූතන තාක්ෂණික කැමරා මෙවලන් පිළිබඳ හසල දැණුමක් ඇති ඔහු මේවන විට ෆයින් විෂන් ආයතනයේ සේවය කරයි. චිත්‍රපට දෙකක කැමරා අධ්‍යක්ෂ ලෙසත් චිත්‍රපට 14 ක සහ එක් ටෙලි නාට්‍යක සහාය කැමරා අධ්‍යක්ෂ ලෙසත් ටෙලි නාට්‍ය පහකට නිර්මාණ ශීලී දායකත්වයත් සපයා තිබෙනවා.

* අපි මේ කතාව ඔබේ පාසල් කාලයෙන්ම අරඹමු?
මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. බාලදක්ෂ ව්‍යාපාරය ඔස්සේ කලා කටයුතු සඳහාත් සහභාගි වුණා. පාසැල් විෂය බාහිර කටයුතු වලදී ඉමහත් උද්යෝගයෙන් කටයුතු කල ඔහු ජනාධිපති බාලදක්ෂයෙක්. පාසල් කාලයේ සිට ම කලාවට මෙන්ම පරිගණක පැත්තටත් ලැදියාවක් තිබුණු නිසා ඒ ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය ලබා, තොරතුරු තාක්ෂණ ආයතනයක වැඩ කළා. අහම්බෙන් මට අවස්ථාවක් ලැබුණා දර්ශන තලයකට යන්න, මේ දර්ශන තලය තිබුණෙ තිස්ස විජේසිංහ මගෙ මාමගෙ ගෙදර. මෙහිදී මට මුණ ගැහුණු බුද්ධික මංගල අයියා තමයි මාව කලාවට ගේන්නේ. එයා මාව සී පික්සල් ආයතනයට හඳුන්වා දුන්නා. මේ ආයතනයේ සංස්කරණ සහාය ශිල්පියෙක් ලෙස කටයුතු කරද්දි මගේ නම පළමුවෙන් පළවුණේ ටිකිරි හපන්නු කියන ටෙලි නාට්‍යයෙ. ආලෝක කරන සහායක ශිල්පි, අහංකාර නගරය. ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම, දිය යට ගිනි, ලොක්කයියා. කැමරා සහායක, සුන්දරයි ජීවිතේ යන ටෙලිවල මගේ නම් පළවුණා. මේ අවස්ථා මට ලබා දුන්නේ නිෂ්පාදන කණ්ඩායම බාරව සිටි පාලිත ගොඩගේ මහත්තයයි.

* සිනමාකරණයට දොර විවර වෙන්නෙ කොහොමද?
ටෙලි නාට්‍ය කරගෙන යන අතරෙ මට මුණ ගැහෙන රොහාන් වැලිවිට මහත්තයා තමයි මාව සිනමාව පැත්තට යොමු කළේ. කැමරා අධ්‍යක්ෂ එම්. ඒ. ගපූර් මහතාගේ සහායක ලෙස වස්සානේ සෙනෙහස චිත්‍රපටයේ තමයි පළමුවෙන් වැඩ කළේ. දැනට චිත්‍රපට 14 ක කැමරා සහායක ලෙස වැඩ කර තිබෙනවා. සදී, සූම් යන චිත්‍රපට දෙකේ කැමරා අධ්‍යක්ෂක ලෙස වැඩ කළා.

* මෙතෙක් වැඩ කරපු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් වඩා කැමති කා සමඟ වැඩකරන්නද? ඒ ඇයි?
වැඩ කරපු හැමෝටම කැමතියි. ඒ අතරින් වී. සිවදාසන්, සුදේශ් වසන්ත පීරිස්, චන්ද්‍රරත්න මාපිටිගම, සනත් ගුණතිලක යන මහත්වරුන් සමඟ වැඩ කරන්න වඩාත් කැමතියි. එයට හේතුව තමයි, ඔවුන් හරිම සැහැල්ලුවෙන් වැඩකරන්නේ. අනික ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි.

* ගමේ අය හැරුණුකොට වැඩ කරන්න කැමැති අධ්‍යක්ෂකවරු කවුරුන්ද?
තව බොහෝ අත්දැකීම් ලබාගැනීම සඳහා තිසුල දීප තඹවිට, ජයන්ත චන්ද්‍රසිරි, ධර්මසේන පතිරාජ මහත්වරුන් සමඟ වැඩකරන්න ලැබුනොත් කැමතියි.

* රැකියාව පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
ඇත්තටම ඔව්. සිහිනය දිගේ එන්න, දෝණි ,පරපුර, රන්ජා, ශ්‍රීමත් අනගාරික ධර්මපාල, ඇතුළු චිත්‍රපට රැසකට සහය කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා. මම හරිම විනෝදෙන් මේ වැඩේ කරන්නේ. මං ගැන වඩාත් දැන ගන්නේ ගිටාර් එකෙන්. කොටින්ම කිව්වොත් ගිටාර් එක මට මේ ක්ෂේත්‍රයේ සැරිසරන්න බොහෝ උපකාරි වුණා.

* අමතක නොවන සිදුවීමක් ගැන කිව්වොත්?
එදා හරිම සුන්දර දවසක්, මං මාමලගෙ ගෙදර ආවෙ හරිම ආශාවෙන්. පුංචි කාලෙ ඉඳලා කලාවට ආදරය කළ මට නළු නිළි පිරිසක් මුණ ගැහෙන ආරංචිය හිත සතුටින් පිරෙව්වා. ක්ලීටස් මෙන්ඩිස් , ජී. ආර්. පෙරේරා, මුතු තරංඟා වගේ අය එදා එතැන හිටියා. මම වැඩ කළ පළමු ටෙලියෙ (අහංකාර නගරය) ආලෝක කරන සහාය ශිල්පියෙක් ලෙස වැඩ කරමින් හිටියෙ, කැමරා අධ්‍යක්ෂ ජනක චමින්ද අයියා කිව්වා ලයිට් එක ඕෆ් තියන්න කියලා. මම පැනපු ගමන් ලයිට් එක ඕෆ් කළා. ළඟ හිටිය කිහිප දෙනෙකුට හිනාත් ගියා, මට ගානක් වුනේ නැහැ. ජනක අයියා කිව්වා ලයිට් එක දාලා මා දිහා බලන්න කියල, එයාට අවශ්‍ය විදිහට එළිය හදාගත්තා. ඊට පස්සෙ කෑම කන වෙලාවෙදි මට ඒ දේ පැහැදිලි කරලා කියලා දුන්නා. කට්ටිය හිනා වුනේ ඇයි කියලා තේරුනේ එතකොටයි.

* හර්ෂණ ඔබට පැවරුණු රාජ කාරිය පිළිබඳ පැහැදිලි කළොත්?
යම් දර්ශනයක් පටිගත කරන්න අවශ්‍ය ආකාරයට කැමරාවට ලෙන්ස් යොදා සුදානම් කර තිබීම, ආලෝක තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම, අනවශ්‍ය දේ රූප රාමුවට එකතු වෙනවද බැලීම, රංගන ශිල්පීන් සමඟ සුහදව කටයුතු කිරීම වගේ දේවල් මගෙන් සිදුවිය යුතුයි.

* කැමරාකරණය ඔබ විග්‍රහ කරන්නෙ මොන ආකාරයටද?
ඉතා සරලව කිව්වොත්, තේමාවට ඔබින රූප රාමු ඔස්සේ ප්‍රේක්ෂකයාව ග්‍රහණය කර තබා ගැනීම.

* පවුලෙ විස්තර කියමු?
මම විවාහකයි. මගේ බිරිඳ බවිත්‍රී මධුපාණි.

* අනාගත බලාපොරොත්තුව?
අත්දැකීම් තුළින් ලද දැනුම සහ මගේ නිර්මාණ ශීලී හැකියාවෙන් කැමරා ශිල්පියකු ලෙස සිනමා නිර්මාණයකට දායකත්වය දෙන්න.

* හර්ෂණ මේ ආ ගමනට සහාය වූවන්ට ස්තූති කරමු?
ආදරණීය මවුපියන්, තිස්ස විජේසිංහ, බුද්ධික මංගල, අනුෂ ජයවර්ධන, සුචිත රණසිංහ, රොහාන් වැලිවිට යන මහත්වරුන්, මට මේ ගමන් මගේ එන්නට ගුරුහරුකම් දුන් සැමට ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

විශේෂ ස්තූතිය

නෝමන් පලිහවඩන නැමති බාලදක්ෂයා

'දිවයින' ආරම්භයේ සිට ම 'දිවයින'ට එක්‌ වී මාණ්‌ඩලික මාධ්‍යවේදියකු ලෙස සේවය කරන නෝමන් පලිහවඩන, මාධ්‍ය කලාවේ වසර 40 කට වැඩි කාලයක්‌ නිරත වී පුවත්පත් රාශියක සේවය කර අත්දැකීම් සමූහයක්‌ ලබාගත් මාධ්‍යවේදියෙකි. අපූරු අත්දැකීම් සමූහයක්‌ ලබාගෙන ඇති අතර ඔහු මාධ්‍ය කලාවට පිවිසි ඔහුගේ බාලදක්ෂ ජීවිතය ගැන බොහෝ දෙනා අසා නැතිවාට සැක නැත.

එදා අපේ 34 වැනි බාලදක්‌ෂ කණ්‌ඩායම ආරම්භ කළේ සිංගාරවේළු මහතාය. බාලදක්‌ෂ කණ්‌ඩායමේ නායකයා වූයේ වේවැල්දූවේ එවකට පදිංචි වී සිටි මාකස්‌ මහතාය. පසු කලක ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවේ සේවය කළ අතර ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ වෘත්තීය සමිතියක පුරෝගාමීව සේවය කරන අයෙකි.

ඕනෑම අයකුගේ සබකෝලය නැති වීමටත් සමාජීය දැනුම ලබා ගැනීමටත් කුඩා කාලයේ සිට බාලදක්‌ෂයකු වීම වැදගත් යෑයි මට සිතේ.

මා බාලදක්‌ෂයකු වීම අපේ ගෙදර අයටත්, මගේ ඥතීන්ටත් ගණනක්‌ නැත. ඔවුන් ඒ ගැන අසන්නේවත් නැත. එහෙත් බාලදක්‌ෂයකු වීම ගැන මටත්, දිප්පිටිගොඩ ගමේ මගේ මිත්‍රයකු වූ පෝල් ජයවර්ධනටත් ඇත්තේ මහත් ආඩම්බරයකි. ඔහුද මා සමඟ මෙම බාලදක්‌ෂ කණ්‌ඩායමට බැඳුණු අයෙකි. (ඔහු අද හැඳල පදිංචි වී සිටියි) එදා මෙන් අදත් බාලදක්‌ෂ ව්‍යාපාරය ගැන ලොකු ලොකු උදවියට මතක්‌ වන්නේ බාලදක්‌ෂ දිනයට පමණකි.

මගේ පියා මත්පැන් පානය කිරීමෙන් එදා හුඟාක්‌ ඈත් කිරීමට මට හැකියාව ඇති වූයේ මගේ උත්සාහය, උනන්දුව නිසා බව එදා මෙන් අදත් මගේ දිප්පිටිගොඩ ගමේ ඥතීහු ඉඳහිට මතක්‌ කරති.

බාලදක්‌ෂයකු වීම වැදගත්

බාලදක්‌ෂයකු වීමට අවශ්‍ය ඇඳුම්, පැළඳුම් අවශ්‍ය උපකරණවලට මුදල් සොයාගත්තේ පාසලේ නිවාඩු දවස්‌වල දිප්පිටිගොඩ ඒ. ඇන්ටන්ගේ අයියා වූ බේබි අයියා (බෙන්ජමීන් පෙරේරා) තැනූ මැටි බළලුන් කොළඹ කඩවලට විකිණීමට ක්‍රියා කිරීමෙනි. එකට දෙගුණයක්‌ තියා මෙම මැටි බළලුන් මම කඩවලට වික්‌කෙමි. ඇතැම් දවස්‌වල බේබි අයියාටත් වඩා මම වැඩි ආදායමක්‌ ලැබුවෙමි.

බිස්‌නස්‌ එකක්‌

දිනක්‌ දිප්පිටිගොඩ කැනීෂියස්‌ පලිහවඩනගේ මස්‌සිනාවූ කිංස්‌ලි අයියා මට කාකිරෙදි තොගයක්‌ භාරදී එවා කාට හෝ විකුණා දෙන ලෙස ඉල්ලා සිටියේය. යාරයක්‌ රුපියල් 15 ගාණේ විකුණලා......ඔහුට රුපියල් 14 ගාණේ මුදල් ගෙවන ලෙස ඉල්ලීමක්‌ කළේය.

එදා සෙනසුරාදා දිනයකි. කාකි රෙදි යාර 20 (විස්‌ස) සෑමදිනම කාර් එකෙන් කොළඹ යන හෙන්ද්‍රික්‌ අයියා (හාමිනේ අක්‌කාගේ මහත්මයා) ගේ කාර් එකේ දමාගෙන ඔහු සමඟ කොළඹ මරදානට ගියෙමි. එහි තිබූ ප්‍රසිද්ධ ලී බඩු වෙළෙඳසලක අයිතිකරුට මෙම කාකිරෙදි මිලට ගන්නවාදැයි' මම ඇසුවෙමි.

"පුතා........යාරයක්‌ කීයද ඔහු පැවැසුවේය.

රුපියල් 30 ක්‌ යෑයි මම කීවෙමි."

"අපොයි එපා.......යෑයි ඔහු කීවේය"

ඔහුගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කර මම කාකිරෙදි යාර විස්‌ස යළිත් දැතට ගැනීමට උත්සාහ දැරුවෙමි.

"හා කමක්‌ නැහැ....ඕක දීලා යන්නැයි" ඔහු කියා සිටියේය.

කාකිරෙදි යාර විස්‌සෙන් උපයාගත් මුදල රු. 600 (හයසීය) එදා මගේ අතට ගත් විශාලම මුදල විය.

මරදානේ දුම්රියපළට නුදුරින් එදා "සෝමා" ආපනශාලාවෙන් කජු කරි සමඟ බත් කෑ මම මුදල් ප්‍රවේශම් කරගෙන දුම්රියෙන්ම ගෙදර පැමිණියෙමි.

කිංස්‌ලි අයියාගේ මුදල බේරා මගේ ආදායමෙන් මගේ මවටද රුපියල් දෙකක්‌ දී මගේ වියදමට ප්‍රවේසම් කර තබා ගත්තෙමි.

රාහුල සිල්වාගේ ආරක්‌ෂාව

එදා වත්තල පොලිසියේ රාහුල සිල්වා මහතාගේ ආරක්‍ෂක වැඩපිළිවෙළ නිසා දිප්පිටිගොඩ ගම ඉතාමත් නිහඬ බවක්‌ ඉසිලුවේය.

පඩි දවසට වෙනදා මත්පැන් පානය කර එන පියාට දැන් ඒ ගැන උනන්දුවක්‌ද නැත.

ගමේ බොන මිනිහෙක්‌ පියාට යළි මුණගැසුණොත් යළිත් ඔහු මත්පැන් බීමට පුරුදුවිය හැකියෑයි මගේ යටිහිත කීවේය.

එය වැළැක්‌වීමටද උපක්‍රමයක්‌ යෙදිය යුතුය. ඔහුගේ පඩි දවසට දළුගම "ක්‍රිස්‌ටෝ" හෝල් එකේ චිත්‍රපටයක්‌ බැලීමට යැම අපූරු යෑයි මට සිතුණි.

ගුලේ බකාවලී

දළුගම "ක්‍රිස්‌ටො" සිනමාහල එදා පිහිටියේ දාස ගොඩනැඟිල්ල ඉදිරිපිට පිහිටි ලුම්බිණි පාරේ කන්ද උඩය. එම සිනමාහල ඉතා විශාලය. ඇම්. ජී. ආර්. රාමචන්ද්‍රන් රඟපෑ "ගුලේ බකාවලී", "මදුරෙයි වීරන්" ඇතුළු චිත්‍රපට නැරඹීමට අපි පුරුදු වුණෙමු.

"ක්‍රිස්‌ටෝ" සිනමාහලෙන් චිත්‍රපට බැලීම සඳහා මගේ ඥතියකු වූ වර්නන් පෙරේරා, ඇන්ටනී ග්‍රෙගරි (බබී), ඇතුළු කිහිපදෙනකුම කැටුව යැමට පියා පුරුදු විය.

"ක්‍රිස්‌ටෝ" සිනමාහලේ ටිකට්‌ කඩන දොරටුවේ සේවය කළේ පියාගේ මිතුරෙකි. චිත්‍රපට බැලීමට ටිකට්‌ මිලට නොගන්නා ලෙස ඔහු පියාට කී නිසා පඩි දවස පමණක්‌ නොව සතියකට දවස බැගින්ද අපි චිත්‍රපට බැලුවෙමු. සිනමාහලේ ටිකට්‌ කැඩූ මගේ පියාගේ මිත්‍රයාට ඉඳහිට "පීකොක්‌" සිගරට්‌ එකක්‌, බුලත් විටක්‌ දීමටද පියා අමතක කළේ නැත.

දිප්පිටිගොඩ වර්නන්, ජෙරොම් (ජෙරිලා)ගේ නිවස මිදුලේ නිවාඩු දවස්‌වල සවස්‌වරුවේ "කව්බෝයි" චිත්‍රපටියක කකුල කැඩුණු අශ්වයාගේ පිටේ "කව්බෝයි" ඇපල් ගෙඩිය කමින් වෙඩි තියන ආකාරය ප්‍රසිද්ධියේම මම රඟ දැක්‌කුවෙමි. චිත්‍රපටයත් රූගත කරන ආකාරයට එඩ්වඩ් සෙල්ලයියාගේ සොහොයුරු වූ ගේ්‍රෂන් සෙල්ලයියා එය කැමරාගත කරන ආකාරයද ඔහු නිරූපණය කළේය. ඔය සෙල්ලම නවත්වල තේ එකක්‌ බීලා හිටපන් කොල්ලෝ කියමින් වර්නන්ගේ මව සෙලින් ඇන්ටි දුන් තේ කෝප්පය පානය කර අපි යළිත් රංගනයක යෙදුණෙමු. ගේ‍රෂන් අද ජීවතුන් අතර නැතත් ජෙරොම් (වත්තල පදිංචි වී සිටියි) වර්නන්ලාට මේ අතීතය තවමත් මතකයි. දිප්පිටිගොඩ පාරේ ගමන් කරන බොහෝ දෙනකු මගේ මෙම රංගනය දැකබලා ගැනීමට කාලය කැප කළ අවස්‌ථා තිබුණි. ඇතැම් විට කැමිලස්‌ කිසන්ටස්‌ගේ අයියා වූ ඇන්ටන් ග්‍රෙගරි සහ චාල්ස්‌ මාත් සමඟ මෙම රංගනයට එක්‌විය.

අත්පොළසන්

සනි රෙමිජයස්‌ මගේ පියාගේ වැඩිමහල් සොහොයුරාගේ පුතාය. එවකට ඔහු සේවය කළේ දළුගම ජයසිරි, රාජා, සමරතුංගලාගේ පියාගේ ගොඩනැඟිලි කොන්ත්‍රාත් සමාගමේය. එම කාර්යාලය පිහිටියේ කොළඹ කොටුවේය. ඔහු එහි ලිපිකරුවෙකි.

මගේ රංගනය දැක එය අවසන් වෙන තෙක්‌ බලා සිටි සනි අයියා අත්පොලසන් නාදයන් දුන්නේය.

"මම උඹට අනාවැකියක්‌ කියන්නම්. උඹ කවදාහරි දිප්පිටිගොඩ ගමේ ඔක්‌කෝටම වඩා අලුත් දෙයක්‌ කරන මිනිහෙක්‌ වෙනවා යෑයි" කීවේය.
නිතර මදුවිත පානය කළ සනි අයියා අපුරු චරිතයකි. ඉන්පසු සනි අයියා මට හමු වූයේ බංගදෙනිය සිට කොළඹ බලා යන අඟුරුකෝaච්චිය තුළය. "සනි අයියා කෝච්චිය තුළදී අලුත් අදහසක්‌ ඉදිරිපත් කළේය.

වෙරිපිට

"බැරිද ඔය රංගනය වර්නන්ලාගේ මිදුලේ හැම නිවාඩු දවසකම හැන්දැවට ඉදිරිපත් කරන්න. ඔය වැඩේ බලාගෙන හිටියාම "වෙරි හිදුනාට පස්‌සේ" ගෙදර යන්න පුළුවන් යෑයි සනි අයියා කීවේ සිනාසෙමිනි.

ප්‍රශ්නවලින් මා නිදහස්‌ වී ඇත. කොළඹ කොටුවේ ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් 700 ක මුදලක්‌ මගේ ගිණුමේ තැන්පත් වී ඇත. ක්‍රිස්‌ටි අයියාගේ කැමරා වැඩවලට උදව් වීම නිසා ලැබෙන රුපියල් 50 පාසල් ගාස්‌තු, ගමන් ගාස්‌තු මගේ තේ ගාස්‌තු සඳහා හොඳටම සෑහේ.

අලුත් අදහසක්‌

සනි අයියාගේ අදහස අනුව නිවාඩු දවස්‌වල ඉඩ ලැබෙන ආකාරයට මගේ ඒක පුද්ගල ප්‍රසංගය මම ආරම්භ කළෙමි. "ගුලේබකාවලි" චිත්‍රපටියේ ඇම්. ජී. රාමචන්ද්‍රන් ලයිට්‌වල එල්ලී "කඩු පයිට්‌ කරන ආකාරය දැක බලා ගැනීමට වර්නන්- ජෙරීලාගේ මිදුලට මගේ අනිත් මිත්‍රයෝ වූ මෙරිල් තලේ රත්න, ඩෙස්‌මන් සිල්වා (ගායක) පාරේ ගමන් කරන බොහෝ දෙනෙක්‌ද පැමිණි බව මගේ මතකයයි.

සනි අයියාද මෙම ප්‍රසංගය නැරඹීම සඳහා පැය කීපයක්‌ පාරේ නැවතී සිටියි.

කඩේ යාමට

සමහර දිනවල මගෙ පියා හෝ මව මා අමතනු හඬ ඇසෙයි. අපේ ලැටිස්‌ නිවස පිහිටියේ වර්නන්ලාගේ නිවස අද්දරය.

තේ පානය කිරීම සඳහා රූගත කෙරෙන දර්ශන තාවකාලික නතර කරන බව ගේ්‍රෂන් චෙල්ලයියා මහ හඬින් නිවේදනය කරද්දී දහදිය පෙරාගෙන මම ගෙදර ගියෙමි.

මුහුණ ඇඟපත සෝදාගෙන කඩේ පලයන් යෑයි මව කියන අවස්‌ථා එමට ඇත.

* භුමිතෙල් කාලයි (ශත 5 ක)
* සීනි කාලයි (ශත 16 කි.)
* කරපිංචා (ශත දෙකක)
* සැමන් ටින් එකක්‌ (රුපියල් 1.10 කි.)
* පාන් ගෙඩි දෙකක්‌ (ශත 50 කි.)

බඩු ලැයිස්‌තුවත් රැගෙන මා ඒ ඇන්ටනිලාගේ (ලිලි අක්‌කාගේ) කඩේට ගියේ ඒවා මිලට ගැනීමටය. මට මේ බඩු ලැයිස්‌තුව තවමත් මතකය. සමහර දිනවලට සැමන් සහ පාන් වෙනුවට හාල් ගෙන එන අවස්‌ථාද ඇත.

හාල්වල වී

බොහෝ දිනවල රෑට පාන් කන අතර තවත් දිනවල රෑට බත් කෑමටද අපි පුරුදු වුණෙමි. හාල්වල වී අහුලන්න බැහැ කියමින් මවගේ පහසුවට අපි රාත්‍රි කාලයට එසේ පාන් කෑවෙමි. ගෙදරට විදුලි ආලෝකය තිබුණත් භුමිතෙල් ගෙනෙනු ලබන්නේ ලිප ඇවිළීම සඳහා බව මගේ මතකයයි. මේ අතරතුරේදී දිනක්‌ අපේ බාලදක්‌ෂ කණ්‌ඩායමේ නායක මාකස්‌ පෙරේරාගෙන් මට පණිවුඩයක්‌ ලැබුණි. වත්තල සිසිලියන්ස්‌ ක්‍රීඩා සමාජයේ පාපැදි තරගය බැලීමට එන පිරිස හැසිර වීම සඳහා අපේ බාලදක්‌ෂ කණ්‌ඩායම සෙනසුරාදා දවසක උදැසනම වත්තල- මීගමු පාරේ හපුආරච්චි මහතාගේ නිවසට රැස්‌වෙන ලෙස මාකස්‌ පෙරේරා අපට දැනුම් දී තිබුණි. මම බාලදක්‌ෂ ඇඳුමෙන් සැරසී වත්තලට ගියෙමි. මා මිත්‍ර පෝල් ජයවර්ධනත් වත්තලට එදා පැමිණ තිබුණි.

රාහුල සිල්වා

උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ වත්තල පොලිසියේ ලොක්‌කා වූ රාහුල සිල්වා මහතාය. මා දුටු විගස ඔහු, ආ බාලදක්‌ෂයා කියමින් බාලදක්‌ෂ නීතිය අනුව වම් අතින් අතට අත දුන්නේය. අනාගතයට මුහුණ දීම සඳහා මම විවිධ ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දුන්නෙමි. කාලය නිකරුණේ කා දැමුවේ නැත. වැඩ රාජකාරිය කොතෙක්‌ පැවරුණත් මගේ පත්තර කලාව අත්හැරියේ නැත.
සංස්‌කෘතික දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ විශිෂ්ට කලාකරුවන් වෙනුවෙන් පිදෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැති අතර උපාලි පුවත්පත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, මාධ්‍ය උපදේශක නෝමන් පලිහවඩන මහතා වෙතද සංස්‌කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා විසින් කලාභූෂණ සම්මානයක් පිරිනමන ලැබිණ. මාධ්‍ය කලාවේ වසර 40 කට වැඩි කාලයක්‌ නිරත වි සිටින නෝමන් පලිහවඩන පුවත්පත් රාශියක සේවය කර අත්දැකීම් සමූහයක්‌ ලබාගත් මාධ්‍යවේදියෙකි. ඔහු 'දිවයින' ආරම්භයේ සිටම 'දිවයින'ට එක්‌වී මාණ්‌ඩලික මාධ්‍යවේදියකු ලෙස සේවය කරමින් අපූරු අත්දැකීම් සමූහයක්‌ ලබාගෙන ඇති අතර ඔහු මාධ්‍ය කලාවට පිවිසි ආකාරය ද මෙම ලිපියෙන් කියවෙනු ඇත.


විශේෂ ස්තූතිය
http://www.divaina.com 

Friday, November 11, 2016

මිලින්ද අයියා සහ සමන් අයියා ; අපගේ බාලදක්‍ෂ නායකයෝ

1979 දී මම 32 කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ බාලදක්‍ෂ සංගමයට බැඳෙන විට මිලින්ද පීරිස් අපගේ බාලදක්‍ෂ කණ්ඩායමේ නායකයා විය​. පෝතක බාලදක්‍ෂයෙකු ලෙස කටයුතු කල සිටි මා හට බාලදක්‍ෂ කණ්ඩායම හුරු පුරුදු ස්ථානයක් වූයේය​.

මිලින්ද පීරිස් ජනාධිපති බාලදක්‍ෂයෙකු වූ අතර හොඳ නායකයෙක් ද විය​. ඉතා අඩු පහසුකම් මධ්‍යයේ වූවද 32 කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ බාලදක්‍ෂ සංගමය ඉතා ඉහල ස්ථානයකට ගෙන ඒමට ඔහු සමත් විය​. ඔහුගේ නායකත්වය යටතේ අප කොලඹ විහාර මහ දේවි පිට්ටනියේ පවත්නා වාර්ශික කඳවුරුවලටද , අතුරුගිරිය කඳවුරටද සහභාගී වූයෙමු.

මේ කාලයේ බාලදක්‍ෂ සංගමයේ ලාල් රූපතුංග​, අනිල් ද සිල්වා , ජගත් ලීලාරත්න , උදිත පලිහේන , සත්‍යවාන් ද සිල්වා, කේ.පී ශාන්ත , මාතරආරච්චි , තිස්ස ප්‍රනාන්දු වැන්නවුන් සිටි නිසා විනෝදයෙන් වැඩ කලෙමු. සතියේ බ්‍රහස්පතින්දා දින වල අපගේ බාලදක්‍ෂ දිනය විය​. ඒ කාලයේ වර්තමානයේ භාෂා විද්‍යාගාරය පැවති ස්ථානයේ රබර් වත්තක් තිබූ අතර අප රැස් වූයේ මේ ස්ථානයේය​. මෙම භූමියේ කොඩි ගසක් ද විය.

කඳවුරු පවතින දින වලදී මමත් , කේපී ශාන්තත් ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂයන් වූ ලලිත් එදිරිසිංහත් , අනින්ද සමරසේනත් අවුස්සවා මිලින්ද අයියාගෙන් බැනුම් අසන්නෙමු. අනින්ද සමරසේන ගේ මල්ලී අරෝෂත් අප සමග සිටි අතර ඔහු හොඳ නළුවෙකු විය​.

බාලදක්‍ෂයන් රැස් වන දිනයේ සවස තේ උණු කොට හකුරු කෑල්ලක් සමග කහට එකක් ලැබේ. හකුරු බෝතලය තිබ්බේ ජගත් ලීලාරත්න භාරයේ ය මමත් උදිත පලිසේනත් සමහර දිනවල හකුරු බෝතලයෙන් හකුරු ගල් කලෙමු. පසු පසුව හකුරු බෝතලයෙන් හකුරු අඩු වන විට ජගත් ලීලාරත්න උදිත සහ මගේ පසුපස පැන්නුවේය​.

අපගේ බාලදක්‍ෂ ආචාර්‍යවරයා සෙනෙවිරත්න මහතා විය​. අපගේ බාලදක්‍ෂ කාමරයේ යතුර තිබුනේ සෙනෙවිරත්න මහතා අතේය​. වරක් සවසක සෙනෙවිරත්න මහතා බාලදක්‍ෂ කාමරයේ ඉබ්බා ඇර අපට කාමරය භාර දී යතුර සමග ගෙදර ගියේය​. එසේ යාමට පෙර බාලදක්‍ෂ කාමරයේ දොර වසා ඉබ්බා තද කරන ලෙස නියෝග කලේය​. සෙනෙවිරත්න මහතා පිටත් වීමෙන් පසු මම ජගත් ලීලාරත්න සමග කතා කරන ගමන් අමතක වීමෙන් මගේ අතින් ඉබ්බා තද විය​. මෙය දුටු ජගත් ලීලාරත්න හිස අත් ගසා ගත්තේය​. ඉන් පසු මමත් සත්‍යවාන් ප්‍රේමදාසත් සෙනෙවිරත්න සර් ගිය ඉසව්ව බලා දිව ගියෙමු. අපට සෙනෙවිරත්න මයා හමු වූයේ කැම්බල් පිටිය ආසන්නයේදීය​. හති දාගෙන පැමිනි අප ඉබ්බා සර් අතට දී ඔහු ලඟ තිබූ යතුරෙන් එය ඇර ගත්තෙමු. අප සර්ට කිව්වේ ජගත් ලීලාරත්න ඉබ්බා තද කලා කියාය​.

මිලින්ද අයියා අපට කඳවුරු දිවිය , කොම්පාසු භාවිතයෙන් වනයේ ඇවිදින අන්දම , භාජන රහිතව ආහාර ඉවීම​, ගිනිමැලයක් ගසා ගැනීම , උණ බම්බු මගින් ඇඳ පුටු සාදා ගැනීම , ටෙන්ට් එකක් නිවැරදිව හදා ගන්නා අයුරු වැනි දෑ කියා දුන්නේය​. අපගේ බාලදක්‍ෂ කණ්ඩායම සතුව තද කොල පැහැති ලොකු ටෙන්ට් දෙකක් විය​. මේ ටෙන්ට් නිවැරදිව සවි කිරීමට ගුරු හරුකම් අප ලද්දේ මිලින්ද අයියා විසිනි. මේ දැණුම් අපගේ ජීවිත වලට බද්ධ විය​.

යූක්‍රයීනයේ ජීවත් වූ කාලයේ වරක් අප ග්‍රීෂ්ම කාලයක වනයට ගියෙමු. මා හිටපු බාලදක්‍ෂයෙකු කියා දැනගත් මගේ මිතුරන් මා හැඳින්වූයේ ස්කබුට් කියාය​. එක් මිතුරෙක් " ස්කබුට් උඹ ගිනිමැලයක් ගහලා පෙන්නපන් " කීවේය​. මම මිලින්ද අයියා කියා දුන් අන්දමට පිරමීඩාකාරව දර තබා ගිනිකූරු දෙකක් භාවිතයෙන් ගින්නක් ගැසුවෙමි. ඉන්පසු අප ශශ්ලීකී කෑවේ මේ ගිනිමැලයේ ආධාරයෙනි. පසුගිය වසරේ ඔටවා නගරය ආසන්නයේ කඳවුරු පාක් එකකට මා ගිය අතර එහිදී මේ ශිල්ප මට මතක් වූයේය​.

මිලින්ද අයියා ක්‍රිකට් ලෝලියෙකි. සෙනසුරාදා දින වල සමහරක් විට අප පාසලට පැමින මිලින්ද අයියා සමග ක්‍රිකට් ගසන්නෙමු. ඔහුව දවා ගැනීමට අසීරුය​. එම නිසා අප මුලින් ම බැට් කර ඔහු පන්දුවට පහර දීමට යත්ම බඩ හෝ කකුල රිදෙනවා කියා පළා ගියෙමු. එහෙත් බ්‍රහස්පතින්දා බාලදක්‍ෂ දිනයේදී ඔහු අපව අල්ලා ගනී.

මිලින්ද අයියා ගේ මූලිකත්වයෙන් අප ජිම්නාස්ටික් සංදර්ශනයක් පැවැත්වූයෙමු. මෙම සංදර්ශනයේදී අප ගිනි වලල්කින්ද පැන්නෙමු. මේ සංදර්ශනයේදී හොඳම ජිම්නාස්ටික් කරුවන් දහ දෙනා අතරට මාද තේරුනු අතර මට සහතික පතක් ද ලැබුණි. මේ සහතික පත මා ලබා ගත්තේ බාලදක්‍ෂ කොමසාරිස්වරයා අතිනි.

මේ කාලයේදී බාලදක්‍ෂ කණ්ඩායම නාලන්දාවේ කැපී පෙනුනු අතර සමහර ගුරුවරුද බාලදක්‍ෂ ආචාර්‍යවරුන් ලෙස ආහ​. මේ ආචාර්‍යවරුන් අතර අපට පන්ති වලදී ගුටි දුන් විජේවර්ධන සර් හෙවත් ෂශ්‍ය භෝගද උපතිස්ස සර් හෙවත් මාජරීන් ද වූහ​. මේ ගුරුවරු බාලදක්‍ෂ ආචාර්‍යවරුන් වීමෙන් පසු අප ගුටි වලින් බේරී ගියෙමු.

විජේවර්ධන සර් උස්වැටකෙයියාව කඳවුරට සහභාගී වූ අතර අප විජේවර්ධන සර්ව සහ දන්ත ආරියරත්නව හිමීට ඇවිස්සුවෙමු. එම වසරේදී විහාර මහ දේවි උද්‍යානයේ පැවති කඳවුරට උපතිස්ස සර් ආ අතර ඔහු අපට කතන්දර කීවේය​. මේ කතා දෙවන ලෝක යුද්දය හෝ ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන විය​. මීට ඉහතදී මාජරීන් කියා කෑ ගැසීම නිසා පාසලේදී මා උපතිස්ස සර් ගෙන් ගුටි කා තිබූ අතර කඳවුරේදී මම සර් සමග ශේප් වූයෙමි.

මිලින්ද අයියා හමුදාවට බැඳුනේය​. එම නිසා නව බාලදක්‍ෂ නායකයා ලෙස සමන් කුරේ හෙවත් සමන් අයියා ආවේය​. සමන් කුරේ පැමිනියේ ජර්මනියේ සිටය​. එම නිසා අප සමන් අයියා ගෙන් ජර්මනියේ තොරතුරු ඇසුවෙමු. සමන් අයියා පැමිනි දින බාලදක්‍ෂයන් සමූහ ගීත ගායනා කල අතර "සිරිපාදේ සමනොල කන්ද පෙනේ ආලෝකය සමන් කුරේ " ලෙස සිංදුව වෙනස් කොට අප ගායනා කලෙමු.

සමන් අයියා ගේ බාලදක්‍ෂ ලොග් පොත තරම් ඉතා මනරම් ලොග් පොත මා දැක නැත​. අප බාලදක්‍ෂ ලොග් පොත් සෑදීමේදී සමන් අයියා ගේ බාලදක්‍ෂ ලොග් පොත ආදර්ශයට ගත්තෙමු.

මේ කාලයේදී ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ බාලදක්‍ෂයන් නාට්‍ය කල අතර පසුව එම නාට්‍ය වල භාවිතා කල නම් අප ඔවුන්ට රෙජිස්තර කලෙමු. උදාහරණයක් ලෙස ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂ කාවන්තිස්ස රඟපෑ නාට්‍යයේ ඔහුගේ නම ජිල් පප්පා විය අප පාසලේදී කාවන්තිස්ස දකින විට ජිල් පප්පා කියා කෑ ගැසුවෙමු. අනින්ද සමරසේන තිබ්බොටු මහත්තයා විය​. එසේම බුද්ධික නානයක්කාර ඔහු රඟපෑ නාට්‍ය අනුව ඩිස්ප්‍රීන් අයියා විය​. මෙසේ නාට්‍ය චරිත අනුසාරයෙන් නළුවන්ට නම් පටබැඳ පාසලේදී කෑ ගැසීම නිසා ඔවුන් මටත් , සත්‍යජිත්ටත් , උදිතටත් විරුද්ධව සමන් අයියාට පැමිණිළි කළහ​. අපට සමන් අයියා ගෙන් අවවාද කිරීම් ලැබුනේය​.

සමන් අයියා සමගද අප කඳවුරු ගියෙමු. ඔහු ඉතා දක්‍ෂ චායාරූප ශිල්පියෙකු විය​. කැමරා දකින්නවත් නොලැබුනු යුගයක ඔහු අත අගනා කැමරා තිබුනේය.​. අපේ සෙට් එක කරන විකාර වැඩ නිසා අප සමන් අයියාගෙන් නිබඳවම බැනුම් ඇසුවෙමු. මේවා අතර වරක් මමත් උදිතත් අනෙකුත් කොල්ලන් සමග එකතුවී බොරු වලක් කපා ඉන්ස්පෙක්‍ෂන් වලට ආ සමන් අයියාව බොරු වලේ වැට්ටුවෙමු. මේ නිසා අපගේ කාණ්ඩයේ ලකුණු කැපී ගියේය​. එහෙත් පිලියන්දල කඳවුරේදී සමන් අයියා සමග අප යළිත් යාළු විය​. පිලියන්දල කඳවුරෙන් පසුව අපට පිලියන්දල මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඔහුගේ නිවසේ දිවා ආහාරයට අාරාධනා කලේය​. ඔහුගේ පුතාද අපගේ බාලදක්‍ෂ කණ්ඩායමේ සිටියේය​.

අප බාලදක්‍ෂයෙකු වූ රාජකරුණාවද ඇවිස්සුවෙමු. වරක් මෙලෙස කඳවුරකදී රාජකරුණාව අවුස්සා ඔහු මොර දුන්නේය​. මේ නිසා උරණ වූ ඉඳුනිල් ඉවීම සඳහා යොදා ගන්නා වතුර බාල්දිය රාජකරුණාගේ හිසේ හැලුවේය​. එය අපට තවත් ආතල් වූයේය​. එහෙත් ආතල් කැඩුනේ මධ්‍යම රාත්‍රියේදී මටත් රාජකරුණාටත් වතුර බාල්දියක් ගේන ලෙස ඉඳුනිල් කීම නිසාය​.

අපගේ කඳවුර තිබ්බේ ගාල්ල රජස්කන්දේ පොල් වත්තකය​. පාළු පොල් වත්ත මැදින් ටෝච් එකක් ගසාගෙන බාල්දියද ගෙන මමත් රාජකරුණාත් ඈතින් තිබූ ලිඳ වෙත ගියෙමු. බියට පත් වූ රාජකරුණා ඉතිපීසෝ ගාථාව ශබ්ද නගා කීවේය​. ටික දුරක් යන විට මමද රාජකරුණාට එක් වෙමින් ඉතිපීසෝ ගාථාව කීවෙමි.

1982 අනුරාධපුර පැවති ලෝක ජම්බෝරියේදී සමන් අයියාට පාසල් කීපයක නායකයා වශයෙන් යාමට සිදු විය​. මේ නිසා මා ඇතුළු දඟයන් මෙම ජම්බෝරියේදී කුමන විගඩමක් නටත් දැයි විස්සෝප වූ සමන් අයියා අනුරාධපුර යාමට දවස් දෙකකට උඩදී මා කැටුව පාසල අසල සාන්ත සිරි හෝටලයට ගොස් මට රෝල්ස් , පැටිස් , මාළු පාන් අරගෙන දී අනුරාධපුරයේදී නාලන්ද , ආනන්ද යනාදී පාසල් ගනනාවක බාලදක්‍ෂයන් ඔහු යටතේ ජම්බෝරියට යන බවත් එම නිසා විජ්ජා පෙන්වන්නේ නැතිව හොඳට හැසිරිය යුතු බව කීවේය​. ජම්බෝරියේදී හොඳට හැසිරෙන බව සමන් අයියාට පොරොන්දු වෙමින් මම තව පැටිස් එකක් ද කෑවෙමි.

නියමිත දිනයේදී අප මරදාන දුම්රිය පළට ගියේ අනුරාධපුරයට යන රාත්‍රී දුම්රිය අල්ලා ගැනීමටය​. දුම්රියේදී අපට ආනන්ද සහ රාජකීය විද්‍යාල වල බාලදක්‍ෂයන් පිරිසක් ද හමු විය​. අප ගීත ගයමින් ගමන් කලෙමු. ආනන්ද විද්‍යාලයේ අපටම ගැලපෙන පිරිසක් සිටි හෙයින් අප දුම්රිය දෙවනත් කෙරුවෙමු. අපගේ පිරිස දුම්රියේ දොරක් ඇරගෙන සිට අතර ගාඩ්වරයා පැමිණ අපට බැන වැදී දොර වසා දැමුයේය​. අප ගාඩ්වරයා මඩ් ගාඩ් ලෙස නම් කලෙමු.

අනුරාධපුරයට ආ අප හරිස්චන්ද්‍ර පිටියට විත් කඳවුරු බැන්දෙමු. අනුරාධපුර පැවති ලෝක ජම්බෝරියේදී අප ඉතා ආකර්ශනීය කඳවුරු සංකීර්ණයක් නිර්මානය කලෙමු. මෙම කඳවුරු සංකීර්ණය නැරඹීමට බොහෝ පිරිස ආහ​. ජම්බෝරියේදී මම සමන් අයියාට පොරොන් දු වූ පරිදි විජ්ජා නොපෙන්වූ නමුත් අප ලුවී ඔකස් යන බාලදක්‍ෂ නායකයාව බයිට් කලෙමු. ලුවී ඔකස් අවසන් දිනයේදී අපගේ සෙට් එකත් සමග මිතුරු විය​.

මේ ජම්බෝරියට කිලිනොච්චියෙන් පැමිණි ද්‍රවිඩ බාලදක්‍ෂයන් පිරිසක් හමුවූ අතර ඔවුන් දැන සිටියේ දෙමල පමණි. එම නිසා අප ඔවුන්ට වනක්කම් කීවෙමු. අප දැන සිටි දෙමල එපමනකි. මේ 1982 වසර් විය . තව වසරක් තුලදී කළු ජූලියක් එන බවත් , ඉන්පසු රට තුල තිස් වසරක් ලේ හලා ගැනීම් සිදු වන බවත් අප දැනගෙන සිටියේ නැත​. මේ ජම්බෝරියට කිලිනොච්චියෙන් පැමිණි ද්‍රවිඩ බාලදක්‍ෂයන් අතරින් කොපමණ දෙනෙකු එල් ටී ටී ඊ යට බැඳුනේද , කී දෙනෙක් යුද්දයේදී මිය ගියේද කියා දන්නේ උඩ සිටින දෙවියන් පමණි.

ජම්බෝරියෙන් පසු මම බාලදක්‍ෂ ව්‍යාපාරයෙන් සමුගත්තෙමි. ඉන්පසු සියල්ල අතීත සිහිවටනයන් විය​.

මිලින්ද අයියා වර්තමානයේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. 1983 පසු මට සමන් අයියා හමු නොවීය​. ඔහුව යලි හමු වන්නේ 2016 මුහුණු පොතෙනි. ඔහු වර්තමානයේ අයර්ලන්තයේ ජීවත් වෙයි.

මිලින්ද අයියා සහ සමන් අයියා අපගේ බාලදක්‍ෂ නායකයන් වූ අතර ඔවුන් අපට ආදර්ශමත් නායකත්වයක් පෙන්වූහ​. අප විසින් කල විකාර වැඩ ඉවසමින් අපට පීළි පනින්නට ඉඩ නොදී අපට මාර්ගය පෙන්වූ මේ දෙපළ අපට කිසිදා අමතක නොවේ.

සටහන
වෛද්‍ය රුවන් එම් ජයතුංග
https://transyl2014.blogspot.com/

Monday, November 7, 2016

බාලදක්‍ෂයන් ගේ වැඩ කිඩ



32 කොලඹ නාලන්දා විද්‍යාලීය බාලදක්ෂයන් ලෙස අප ඉතා විනෝදජනකව ක්‍රියා කලෙමු. අනිල් ද සිල්වා, උදිත පලිහේන, සත්‍යඉජිත්, සත්‍ය වාන්, ජගත් ලීලාරත්න, අනින්ද සමරසේන, තිස්ස ප්‍රනාන්දු, උදය ඉඳුනිල්, එදිරිසිංහ, සජිත්, දන්ත ආරියරත, ලාල් රූපතුංග, හිරන්‍යස හේමනාත, සුනිල් රංජිත්, වජිර, කාවන්තිස්ස, ලසිත ප්‍රනාන්දු, කෙවින් කුරේ, සේරම්, බුද්ධික නානායක්කාර, බෙල්සන් පද්මසිරි, සජිත් යනාදී බාලදක්ෂතයන් ගේ සමාගම අතිශයින් ප්‍රියජනක වූයේය. 

අප වාර්ශික කඳවුරු මෙන්ම විශේෂ කඳවුරු වලටද ගියෙමු. එසේම විවිධ සමාජ මෙහෙවර, ශ්‍රමදාන, Guard of Honor හෙවත් ආරාධිත අමුත්තන්ට දෙන උත්තමාචාර (මෙයට කොල්ලන් කීවේ ගාඩෆෝනර් කියාය​).  වලටද සහභාගී වූයෙමු. අපගේ බාලදක්‍ෂ නායකයා වූයේ මිලින් ද පීරිස් ය​. ඔහු ජනාධිපති බාලදක්‍ෂයෙකි. එසේම හොඳ නායකයෙකු වූයේය​. 

අපගේ මුල්ම කඳවුර වූ අතුරුගිරිය කඳවුරේදී නවකයන්ට සුළු නවක වදයක් ලෙස රාත්‍රියේ මුහුණු වල ටූත්පේස්ට් ගානලදි. මෙය කරන ලද්දේ ලාල් සහ ජගත් විසිනි. උදේ නැගිටින විට අපගේ මුහුණු වල ටූත්පේස්ට් සහ සපත්තු පොලිෂ් තිබූ අතර මාතෘ වන්දනාවකින් අණතුරුව  දිනය ආරම්භ කරන ලදි.  

අතුරුගිරිය  කඳවුරේදී අපට භාජන නොමැතිව ඉවීමට කියා දෙන ලදි. තවද  අප කැලෑවල ඇවිදීම , රාත්‍රී ගමන් යාම ගැන පුහුණුවක් ලැබුනි. එසේම ගිනිමැළ සංදර්ශනය විනෝදජනක විය​. එහිදී මමත් චින්තකත් බෝනිඑම්ලා ගේ රස්පුටින් ගීතය ගැයුවෙමු. එම ගීතය බාලදක්‍ෂ නායක මිලින් ද පීරිස් ගේ ප්‍රියතම ගීතයක් වූයෙන් ඉන් පසුව නොයෙකුත් අවස්ථා වල එම ගීතය ගයන ලෙසට අපට ඉල්ලීම් ආවේය​.

වරක් පාසලේ තිබූ කඳවුරකදී අනිල් , දන්ත සහ අනින්ද මැල්ලුම් වලට තණකොලද මිශ්‍ර කොට ඉව්වෝය​. එදා බත් , පරිප්පු සහ තණකොල මැල්ලුම් අපි කෑවෙමු. මේ කඳවුරේදී විශාල ගස් දෙකක් අතර අඩි විස්සක පමණ උසින් කඹයක් බැඳ කඹයේ යාම උගන්වන ලදි. එසේම එදිරිසිංග විශාල මාර ගසක් උඩ ලී ගෙයක් තැනුවේය​. අප කඹ යොදා සෑදූ ඉනිමගකින් ගස උඩ තැනූ නිවෙසට ගියෙමු. 
 

උදය ඉඳුනිල් , වජිර​, කාවන්තිස්ස, එදිරි යන බාලදක්‍ෂයන් කොලඹ දඹුල්ල ගාල්ල යන නගර ආවරණය කරමින්  දීර්ඝ බයිසිකල් චාරිකාවක යෙදුනෝය​. දින ගනනාවක් ගිය මෙම චාරිකාව පිලිබඳව ලිපියක් වජිර පසුව බාලදක්‍ෂ සමරුවකට  ලියා තිබුනේය​.

වරක් විහාරමහදේවි උද්‍යානයේ පැවති වාර්ශික කඳවුරකට අවශ්‍ය පොල් අතු ගෙන එන ලද්දේ කෙවින් සහ එදිරි විසිනි. අත් කරත්තයක දමා තල්ලු කරගෙන ගෙන එන ලද මෙම පොල් අතු කඳවුර භූමියට ලඟා වූයේ මධ්‍යම රාත්‍රියේය​. පොල් අතු ගෙනැවිත් ඒවා යළි බාන ලද කෙවින් සහ එදිරි මහත් සේ වෙහෙසට පත්ව සිටියහ​.   එම නිසා ඔවුන් මධ්‍යම රාත්‍රියේ වලං වල ඉතිරිව තිබූ බත් සහ ව්‍යාංජන  බෙදාගෙන කා පොල් අතු උඩ නිදාගත්හ​.

උදේ එළි වන විට දෙදෙනාම රබර් බෝනික්කන් දෙදෙනෙකු සේ උඩ පනින්නට වූහ​. බලන විට පොල් අතු වල සිටි දහස් ගනන් කූඹීන් මොවුන් දෙදෙනාගේ ශරීර වලට ගොඩවී තිබුණි. පසුව දෙදෙනාම භූමිතෙල් යොදා ශරීර පිරිසිදු කර ගත්හ​. 


එදින රාත්‍රියේ මමත් තවත් බාලදක්‍ෂයෙකු වූ කේ.පී ශාන්තත්  අමුතු හඞකින් "එදිරී මට බඩගිනියි " කියා කෑගසා එදිරිසිංහව ඇවිස්සුවෙමු. මෙසේ කීපවරක් අප කෑගැසූ අතර අවසානයේදී එදිරිසිංහ කෑගසන ලද එක් අයෙකු (කේ.පී ශාන්තව) අල්ලාගෙන වතුර බාල්දියකින් මහ රෑ මැද ඔහුව නෑවීය​. ඉන් පසු රාත්‍රිය ශාන්තව ගෙවී ගියේය​. 


මෙම කඳවුරේදී මට මහළු බාලදක්‍ෂ නායකයෙකු මුණ ගැසුනු අතර ඔහු බාලදක්‍ෂ වියාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයා සියැසින් දැක තිබුනේය​. මේ මහතාගේ නම සමරසිංහ කියා මම සිතමි. ඔහු අද ජීවතුන් අතර නැත​.

මිලින්ද පීරිස් යුද හමුදාවට ගිය විට බාලදක්‍ෂ නායකයා ලෙස කෙවින් කුරේ ගේ වැඩිමහල් සොහොයුරු සමන් කුරේ ආවේය​. ඔහු ජර්මනියේ වසරක් ගත කොට තිබුනි. සමන් කුරේ විනෝදකාමී අයෙකු වූ අතර අපද සමන් සමග විහිළු කලෙමු.

අපගේ බාලදක්‍ෂ කණ්ඩායම් ගෝන​, මුව , සිංහ යනාදී වශයෙන් උප කාණ්ඩ වලට බෙදා තිබුනේය​. මේ උප කාණ්ඩ වලට නියමිත භූමි තිබූ අතර ඒවා පිරිසුදු කොට තබා ගත යුතුය​. මේවා පරීක්‍ෂා කිරීමට බාලදක්‍ෂ නායක සමන් කුරේ එයි. ඒ ඇවිත් ලකුණු දෙයි.

මම සිටියේ ගෝන කාණ්ඩයේය​. එදින කණ්ඩායම් නායකයා නොපැමිනි නිසා මම කාණ්ඩ නායක ලෙස අපගේ භූමිය ශුද්ද පවිත්‍ර කරන ලෙසට සෙසු බාලදක්‍ෂයන්ට උපදෙස් දුන්නෙමි. අපගේ කාණ්ඩයේ සිටි උදිත පලිසේන අපි සමන් අයියාට බොරු වලක් කපමුද කියා ඇසුවේය​. අප එක සිතින් එකඟතාව පළ කොට භූමිය ශුද්ද කිරීම පසෙක ලා ගෝන කන්ඩායම්  භූමියේ දොරකඩ අඩි හතරක පමණ වලක් කපා ඊට උඩින්  ඉරටු රොඩු බොඩු දමා බොරු වළ සකස් කලෙමු. ඉන් පසු කාණ්ඩ පරික්‍ෂාවට සූදානම් වී සමන් කුරේ එන තෙක් සීරුවෙන් සිටියෙමු.

කාණ්ඩ පරික්‍ෂාවට ආ සමන් කුරේ සීරුවෙන් මාච් කරමින් ආවේය​. මම කණ්ඩායම සීරුවේන් සිටින් කියා විධාන දුන්නෙමි. මෙසේ ඉදිරියට ආ සමන් කුරේ අපගේ බොරු වලේ වැටුනේය​. අප බඩවල් අල්ලාගෙන සිනාසුනෙමු. උදය ඉඳුනිල් සමන්ට අතදී ඔහුව බොරු වලින් ගොඩ ගත් අතර පරීක්‍ෂණයේදී බාලදක්‍ෂ නායකයා බොරු වලක වැට්ටවීම නිසා අපගේ ලකුණු කපා දමන ලදි.

ඉන්පසු එළැඹුන සතියේදී  මම කවටකමක් ලෙස​ට තිස්ස ප්‍රනාන්දුගේ බෑගයට දෙල් ගෙඩියක් දැමුවෙමි. තිස්ස ගෙදර ගොස් බෑගය අරින විට පත දෙල් ගෙඩියකි. මේ සම්බන්ධයෙන්  පැමිණිලි කරන ලද නිසා මට විරුද්ධව බාලදක්‍ෂ ගෞරව සභාවේදී නඩු අසන ලදි. බොරු වළ කේස් එකද තිබූ නිසා මගේ තත්වය තවත් නරක් විය​.

බාලදක්‍ෂ ගෞරව සභාවේදී මට  තිබූ චෝදනා  විමසන ලද බව එම සභාවට සාමාජිකයෙකු ලෙස සහභාගි වූ සත්‍යවාන් මට උපහාසාත්මක ලෙසින් කීවේය​. මම ඒ ගැන උප නායක උදය ඉඳුනිල් ගෙන් ඇසුවෙමි. එයට ඉඳුනිල් උරණ විය​.  ඉඳුනිල් උරණ වූයේ මා සමග නොව රහස්‍ය බාලදක්‍ෂ ගෞරව සභාවේ තොරතුරු චූදිතට  හෙළි කල සත්‍යවාන් සමගය​. මේ නිසා චෝදනා වෙන දිශාවකට යොමුව මට විරුද්ධව තිබූ පැමිනිල්ල හමස් පෙට්ටියට ගියේය​. එසේම එම වසරේදී අන්තර් බාලදක්‍ෂ පිහිනුම් තරඟාවලියේදී   සහතිකයක් දිනන ලද එකම නාලන්ද විද්‍යාලීය බාලදක්‍ෂයා මා වූ හෙයින් මට අනියම් සමාවක් ලැබුනේය​. එසේම ගාල්ල කඳවුරේදී උප නායකයා ලෙස ක්‍රියා කරමින් මම උදය ඉඳුනිල් ගේ ඇගයුමටද ලක් වූයෙමි.

1983 අනුරාධපුරයේ ලෝක ජම්බෝරිය රස ගුලාවක් වූයේ මට තකට තක ලෙස ගැලපුනු ආනන්ද විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් හමු වීමෙනි. අප දෙදෙනා එකතුව බොහෝ විනෝද වැඩ කලෙමු. එසේම කවට නාට්‍ය අප ගිනිමැළ සංදර්ශන වලදී ඉදිරිපත් කොට පිරිස කුල්මත් කලෙමු. වෙනත් දිස්ත්‍රික්වල බාලදක්‍ෂයන් ද  අපගේ නාට්‍ය බැලීමට ආවෝය​. කුසල් වර්තමානයේ බැංකු නිලධාරියෙකි. ඔහු මෑතකදී සම්පත් බැංකුවේ  නාට්‍යකද රඟපාන ලදි.

උසස් පෙළට ගිය විට  මම බාලදක්‍ෂ ජීවිතයෙන් සමු ගත්තෙමි. එහෙත් බාලදක්‍ෂ අනුස්මරණයන් එමටය​. එදා අප සමග සිටි බාලදක්‍ෂයන් විසිරී ගොසිනි.

උදය  ඉඳුනිල්  සහ කෙවින්  කුරේ කණගාටුදායක ලෙස අකාලයේ   මිය යන ලදි.හමුදා නිලධාරියෙකු වූ මිලින්ද පීරිස් මෑතක්දී විශ්‍රාම ගියේය​.  සමන් කුරේ අයර්ලන්තයේ සිටින අතර ඔහු දැන් රෝගාතුරය​. සුනිල් රංජිත් වෛද්‍යවරයෙකි. අනින්ද සමරසේන එක්සත් ජනපදයේ ජීවත් වෙයි. තිස්ස ප්‍රනාන්දු ජීවත් වන්නේ කුරුවිටය​. අප මුහුණු පොතෙන් සංවාදයේ යෙදෙන්නෙමු. දෙල් ගෙඩියේ කේස් එකට ඔහු මට සමාව දී තිබේ.

අප පරමාදර්ශී  බාලදක්‍ෂයන් නොවූ බව සැබෑය​. කොළුකමට කරන විකාර බොහෝ සෙයින්  තිබුන මුත් අප ළමා ගති ඉක්මවා යන දේවල් නොකලෙමු. මෙය කියන්නේ වර්තමාන බාලදක්‍ෂයන්ට ධනාත්මක පණිවිඩයක් දීම සඳහාය.



අප බාලදක්‍ෂ ලෝකයෙන් බොහෝ  සාරාර්ථ ජීවිත වලට ලබා ගත්තෙමු.
උපුටාගැනීම

http://transyl2014.blogspot.com/2016/08/blog-post_25.html