අහසේ මාලිගා හදන්න එපා! පොළොවේ පය ගසා ජීවත් වෙන්න!
බාලදක්ෂිකා සංගමයේ හිටපු ප්‍රධාන කොමසාරිස් - විනීෂියා ගමගේ
ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියක හා සමාජ සේවිකාවකද වන
විනීෂියා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ හිටපු ප්‍රධාන කොමසාරිස්වරියක හා
සභාපතිනියක වන්නීය. පසුගියදා පැවැත්වුණු දේවි බාලිකා
විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ‘අභිමානවත් ආදී දේවි දියණිය’
ලෙස උපහාර ලැබුවා ය.
වියපත් වුණත් ඇගේ වත කමල තවමත් සොඳුරුයි. මුව පුරා විසිරුණු පිවිතුරු සිනා
රැල්ල යහපත් සිතිවිලිවලින් පිරුණු ඇගේ දයාබර හදවතේ මහිමය කියාපාන
කැටපතක් හා සමානයි. ලෙංගතු සිනාවකින් යුතුව දෑත් එක්කොට “ආයුබෝවන්” කියමින්
ඈ අප පිළිගත්තේ කාලෙකින් පස්සේ හමුවෙන සමීප නෑදෑයෙකු පිළිගන්නා තරම්
සෙනෙහසින්.
පසුගියදා කොළඹ බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලයීය 2016 වාර්ෂික ත්‍යාග
ප්‍රදානෝත්සවයේදි “අභිමානවත් ආදි දේවි දියණිය” ට හිමි උත්තමාචාරයෙන්
පිදුම් ලත් ඈ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනියක හා ප්‍රධාන
කොමසාරිස්වරියකව සිටි විනීෂියා ගමගේ මහත්මිය. දේවි බාලිකා විද්‍යාලයේ මුල්ම
ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකාවක වූ ගමගේ මහත්මිය විසින් රට දැය සමය උදෙසා ඉටු කරන
ලද අනූපම මෙහෙවර සලකමින් මෙම සම්මානයෙන් ඇය පුදනු ලැබුවා.
“අද කාලෙ කාන්තාවන් මුහුණ පාන ගැටලු බොහොමයකට මුල ඈ තුළ ඉවසිලිමත් බවක් නැති
කමයි. ක්ෂණික කෝපය හා ආශාවන් පසුපස අධික ලෙස හඹා යෑම වර්තමාන සමාජ පිරිහීමට
මූලික හේතුවක්” යැයි පවසමින් ඈ අප හා පිළිසඳර ඇරැඹුවා.
කාන්තාවන් අහසේ මාලිගා තනන්නට යෑම සුදුසු නෑ. පොළවේ පය ගසා ජීවත් වන්නට පුංචි
කාලේ පටන්ම දූවරුන්ට පුරුදු පුහුණු කළ යුතුයි. අධ්‍යාපනයෙන් කොපමණ ඉහළ ගියත්
ගැහැනු දරුවන් හොඳින් උයන්නට - පිහන්නට හා ගේ දොර වැඩපළ කරගන්නට පුරුදු
පුහුණු විය යුතුයි. රූමත් බවත්, උගත්කමත් පමණක් තිබුණාට කාන්තාවකගේ ජීවිතය
පරිපූර්ණත්වයට පත්වන්නේ නෑ. විවාහ වුණත් නැතත් කාන්තාවක් අතින් තම
දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට සහ සමාජයට ඉටු විය යුතු මෙහෙවර නොඅඩුව ඉටු
කළ යුතුයි.” ඇය කියනවා. දැනට ජීවන ගමගේ අසූ එක් වැනි සලකුණ පසු කරමින් සිටින ඇය තවමත් එදා මෙන්ම
උද්‍යෝගයෙන් හා ක්‍රියාශීලීව කටයුතු කරනවා.
1956 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ආචාර්ය ආනන්ද ගුරුෙග්, එන් කිව් ඩයස් හා බෝගොඩ
ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ඇරැඹි බෞද්ධ ශිෂ්‍ය සංවිධානයේ
ආරම්භක සාමාජිකාවක් වන ඇය සෞඛ්‍යදාන ව්‍යාපාරය හා සර්වෝදය ව්‍යාපාරයේ ද
ආරම්භක සාමාජිකාවක්.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ එකොළොස්වැනි බාලදක්ෂිකා සංගමය වූ විසාකා
විද්‍යාලයීය බාලදක්ෂිකා සංගමයේ බාලිකාවක් ලෙස සංගමයට එක් වූ ඇය එහි විවිධ
තනතුරු දරමින් පැමිණි මග නතර වූෙය් 1983 මාර්තු මාසයේදී සංගමයේ ප්‍රධාන
කොමසාරිස් තනතුරට පත්වෙමින්. 1990 දක්වා ඇය එම තනතුරෙහි කටයුතු කළා. පසු
කලෙක බාලදක්ෂිකා සංගමයේ සභාපතිනියක ලෙස ද කටයුතු කළ ඇය විසින් ක්‍රියාවට
නංවන ලද වැඩසටහන් අතරින් 1984 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී
පැවැත්වුණ “තාරුණ්‍යයේ හඬ” සම්මන්ත්‍රණය, කැන්දලියැද්ද පාළුවේ ඇරැඹුණු
දිළිඳු පවුල් 10කට නිවාස දහයක් ඉදිකර දීමේ ව්‍යාපෘතිය, ජනාධිපති බාලදක්ෂිකා
සම්මානය හඳුන්වා දීම, වැඩිහිටි සරණ ව්‍යාපෘතිය, මතට ඇබ්බැහිවූළුන් මුදවා
ගැනීමේ ව්‍යාපෘතිය, ජල හා සනීපාරක්සක පහසුකම් සැපැයීමේ ව්‍යාපෘතිය,
ග්‍රාමීය කාන්තාවන්ට ස්වයං රැකියා පුහුණුව හා සෞඛ්‍ය හා පෝෂණ දැනුම ලබා දීමේ
වැඩසටහන් විශේෂයෙන් කැපී පෙනෙනවා.
මින් අමතරව බන්ධනාගාර රැඳවියන් ගේ පවුල් සඳහා සුභසාධන සංගමයක් ඇරැඹීම,
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කාන්තාවන්ගේ සම්මේලනය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
ආධාරයෙන් දියත් කළ වැඩිහිටි සරණ ව්‍යාපෘතිය, ජාතික තරුණ සම්මාන අධිකාරිය හා
වැල්ලවත්ත ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා සංගමය ඇගේ මූලිකත්වයෙන් බිහිවුණු තවත්
සංවිධාන කිහිපයක්.
එක්දහස් නවසිය තිස් පහේ ඔක්තෝබර් මාසෙ දාසය වැනිදා වැල්ලවත්තේ හැම්ඩන්
පටුමගෙහි දයා පාරෙහි හැම්ඩන් වීලා නිවසෙහි මෙළොව එළිය දුටු ඈ විනීෂියා එතල්
ප්‍රනාන්දු. ඇගේ පියා රාජ්‍ය සේවයේ නිලධාරියකු ලෙස ආහාර හා කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ පොලිස්
දෙපාර්තමේන්තුවෙහි සේවය කළා. ඇගේ මව එතල් වෙරෝනිකා රොද්‍රිගු සිව් දෙනකුගෙන්
යුතු දරු පවුල රැකබලාගෙන ගෘහනියක ලෙස කටයුතු කළා. නිනෙත් ඇගේ වැඩිමල්
සහෝදරිය. ඩඩ්ලි සහ තිලක් සොහොයුරන්.
විනීෂියා මූලික අධ්‍යාපනය ලැබුයේ වැල්ලවත්තේ ඇරතියුසා විද්‍යාලයෙන්.
තුන්වැනි ශ්‍රේණියේදි බම්බලපිටියේ විසාකා විද්‍යාලයට ඇතුලත් වුණු ඈ අ.පො.ස.
සාමාන්‍ය පෙළ පන්තිය දක්වා ම එහි ඉගෙනුම ලැබුවා. උසස් පෙළ විද්‍යා විෂය ධාරාව තෝරා
ගත් විනීෂියාට දිනක් ඇගේ යෙහෙළියක වූ රන්ජනී දිසානායක එක්තරා පුවත්පත්
දැන්වීමක් පෙන්වූවා. ඒ 1954 වසර. කොළඹ බොරැල්ලේ කාසල් වීදියේ අලුතින් කාන්තා
විද්‍යාලයක් ආරම්භ කරන්නට යන බවත් විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්නට
කැමති ශිෂ්‍යාවන් සීමිත සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බවත් ඒ දැන්වීමෙහි සඳහන්
වී තිබුණා.
“විහිළුවට වගේ අපිත් මේ පාසලට ඉල්ලුම් පත්‍රයක් යවලා බලමුද?”යි විනීෂියා ගේ
මිතුරිය ඇසුවා. ඒ අනුව අලුත් පාසලට ඔවුන් අයැදුම් පත් දෙකක් තැපැල් කළා. එවකට
විසාකාවෙ හිටපු විදුහල්පතිනිය වූ පුලිමුඩ් මහත්මියට මේ බව ආරංචි වුණා. ඇය
විනීෂියාට විද්‍යා විෂය උගන්වාපු ගුරුතුමිය. විනීෂියා සහ රංජනී කැඳවූ
විදුහල්පතිනිය එලෙස ඉල්ලුම් කිරීමට හේතු විමසුවා. නොයන ලෙසට අවවාද කළා. ඒත්
යොවුන් ජීවයෙන් පිරුණු යුවතියන් දෙදෙනාටම අලුත් පාසල් අත්දැකීම ලැබීමේ
කුතුහලයෙන් මිදෙන්නට බැරි වුණා. ඔවුන් කාසල් වීදියේ කාන්තා විද්‍යාලයේ
(වර්තමාන දේවි බාලිකා විද්‍යාලය) පළමුවන ශිෂ්‍යාවන් සිය දෙනා අතරට එක් වුණා.
අලුත් පාසලේ විදුහල්පතිනිය ආචාර්ය විමලාද සිල්වා මහත්මිය. ඇය විද්‍යාලයේ
විදුහල්පති ධූරයත් දැරුවා. පන්ති භාර ගුරුතුමිය කල්‍යානි අබේසිරිවර්ධන
මෙනෙවිය. විමලා ද සිල්වා මහත්මියගෙන් පසුව දේවි බාලිකා විද්‍යාලයේ
විදුහල්පතිනිය ලෙස පත් වුණේ ඇයයි. මුල්ම ගුරු මණ්ඩලය හය දෙනයි. ඒ ආචාර්ය විමලා
ද සිල්වා, කල්‍යාණි අබේසිරිවර්ධන, කාමිනී මීදෙනිය, අයිරාංගනී ගොපල්ලව, ඒඩා
අමරසිංහ, මේවීස් ප්‍රනාන්දු යන මෙනෙවියන්. උසස් පෙළ විද්‍යා පන්තියේ විනීෂියා
සහ රන්ජනී ඇතුළුව සිසුවියන් හත් දෙනයි.
අලුත් පාසල හැම අතින්ම අලුත්. අලුත් ශිෂ්‍යාවන්, අල්ත් ගුරුතුමියන්, අලුත්
පරිසරයක්. විසාකා විද්‍යාලයත් සමඟ සසඳන විට අලුත් පාසල පුංචි ටකරන් ශාලාවක
පැවැත්වුණු පන්තිකාමර කිහිපයක් පමණයි. විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තත්
විද්‍යාගාරයක් නොතිබුණු නිසා ඔවුන් භෞතික විද්‍යා හා රසායන විද්‍යා පර්යේෂණ
කරන්නට ගියේ මරදානේ කාර්මික විද්‍යාලයේ විද්‍යාගාරයටයි. එවකට කාර්මික
විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ආචාර්ය විමලා ද සිල්වා මහත්මියගේ
සැමියා වූ ආචාර්ය එස්.එල්. ද සිල්වා මහතා. උසස් පෙළ රසායන විද්‍යා ගුරුවරයා වූයේ
ප්‍රවීණ විද්‍යා ආචාර්යවරයකු වූ ජිනපාල මහත්මයා.
උසස් පෙළ විභාගයෙන් හොඳින් සමත් වුණත් විශ්ව විද්‍යාලයට යන්නට ලකුණු කිහිපයක්
මදි වූ හෙයින් 1958දි විනීෂියා මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුල් වුණා.
විද්‍යා පුහුණු ගුරුවරියක ලෙස 1959 දි එයින් පිට වුණා. ගුරුවිදුහලට
පිවිසෙන්නට පෙර ටික කලක් ඈ බුද්ගමුව ප්‍රාථමික විදුහලේ ගුරුවරියක ලෙස
කටයුතු කළා. ගුරු විද්‍යාලයෙන් පිට වූ ඇයට දේවි බාලිකා විද්‍යාලයේ ම විද්‍යා
ගුරුවරියක ලෙස සේවයට එක් වන්නට අවස්ථාව ලැබුණා. ඒ 1960 වසරේදි.
දේවි බාලිකා විද්‍යාලයේ බාල දක්ෂිකා සංගමය අරඹා එහි මූලිකත්වය ගෙන කටයුතු
කරන්නට ඇයට අවස්ථාව උදා වුණේ එහි ඉගැන්වූ කාලෙදි. සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවන්ට
විද්‍යා විෂය ඉගැන්වූ විනීෂියා තමා විසින් ම සකස් කළ ප්‍රශ්න පත්‍ර සිසුවියන්ට
බෙදා දුන්නා. ඉගැන්වූ පාඩමක් පන්තියේ හැම සිසුවියකටම හොඳින් අවබෝධවන තුරු
ඇය අලුත් පාඩමක් ඇරැඹූයේ නෑ. සතයක්වත් අය නොකර දුර්වල සිසුවිය්නට අමතර පාඩම්
කියා දුන්නේ පාසලින් පසු නතරවෙලා. ඇගෙන් උගත් සෑම ශිෂ්‍යාවක්ම විද්‍යා විෂය
ඉහළින් ම සමත් වුණු අතර ඇගේ දස්කම් හා කැපවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ
පැසැසුමට ලක් වුණා. පාසල් අවධියේ පටන්ම විවාද කණ්ඩායමේ සාමාජිකාවක වූ ඇය දේවි දියණියන්ට ද ඒ
දැනුම ලබා දුන්නා. බාලදක්ෂ සංගමය, බෞද්ධ සංගමය, විද්‍යා සංගමය වැනි සංගම් භාරව
කටයුතු කළ ඇය දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිර්මාතෘවරියයි.
විද්‍යාලයට නේවාසිකාගාරයක් තැනීමට මුල් වී කටයුතු කළේ ද ඇයයි.
1974 ගාල්ලට ස්ථාන මාරුවක් ලබා ගිය ගමගේ මහත්මිය යළි කොළඹට ඇවිත් කැමැත්තෙන් ම
තෝරා ගත්තේ වැඩි දෙනෙකු යන්නට අකමැති වූ පාසලක්. ඒ දෙමටගොඩ ශාන්ත ජෝන් පිරිමි
විදුහල. නාගරික දිළිඳු පිරිමි ළමුන්ගේ පාසලක් වූ එහි ඉගෙනුම ලැබුයේ අඩු
ආදායම් ලාභී පවුල්වල දරුවන් පිරිසක්. ඔවුන්ගේ දිළිඳු බව හා පවුල් පරිසරය
වටහාගෙන දැඩි ඉවසීමෙන් හා කැපවීමෙන් පුරා වසර හයක් ඇය ඒ පාසලේ සේවය කළා. ඒ
කාලය තුළ නොමඟ යමින් සිටි දරුවන් පිරිසක් විශ්මය ජනක ලෙස යහමඟට හරවා විභාගය
සමත් කරන්නට ඇයට හැකිවීම ගුරු දිවියේ ඇය ලැබූ විශාලතම සතුට බව ඇය කියනවා.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ කටයුතුවලට වැඩියෙන් යොමු වීමට සිදු වූ
හෙයින් ඇය 1982 දී විශ්‍රාම ලබා ගත්තා. එතැන් පටන් අද දක්වා ම බාලදක්ෂ
ව්‍යාපාරයෙහි කටයුතුවලට යොමුවූ ඇය අදත් ඔවුන්ගේ ප්‍රධාන පරීක්ෂකවරියක
ලෙස කටයුතු කරනවා.
හිටපු පොලිස් අධිකාරීවරයකු හා පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිලි අංශයේ
අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ නිහාල් ගමගේ සමඟ විවාපත් වූ ඇයගේ පුතා දමින්ද
ගමගේ. ඔහු අද කැනඩාවේ මැරියට් ොහ්ටල් සමූහ සමාගමේ තොරතුරු තාක්ෂණය පිළිබඳ
කලාප කළමනාකරු ලෙස කටයුතු කරනවා. ඔහුගේ දියණියන් දෙදෙනා සහ පුතු ඇයට
ආත්තම්මා පදවිය උරුම කර දීලා. එක පුතකු වැදුවත් දහසකුත් එකක් දැයේ දියණිවරුනට හා පුතුන් රැසකට ආදරණීය
මවක වූ විනීෂියා ගමගේ මහත්මිය ඔවුන්ට සෙවනත්, උපකාරත් රැකවරණත් නිර්ලෝභීව
පරිත්‍යාග කළ අවස්ථා අපමණයි. දහසක් දෙනා දුකින් මුදවාගෙන ඔවුන් ගේ නැණැස
පාදනනට සමත් වූ පිනෙන් ඇය දීර්ඝායු ලබන බව ඇය විශ්වාස කරනවා.
අවුරුදු 53ක් තිස්සේ දියවැඩියා රෝගයෙන් පෙළෙන ඇය වසර 49ක් පුරා ඉන්සියුලින්
එන්නත ලබා ගන්නවා. වියපත් බව හෝ රෝගී බව මොහොතකටවත් ඇගේ ක්‍රියාශීලි දිවියත්
අධිෂ්ඨානශීලී සමාජ මෙහෙවරත් නවතාලන්නට සමත් වී නෑ. “ගැහැනියක ලෙස ඉපදීම
ම එක්තරා අභියෝගයක්. තමා හමුවට එන අභියෝග සියල්ලට ම දිරියෙන් හා ඉවසීමෙන්
මුහුණ දීමෙන් තමා තුළ ඇති ශක්තිය ලොවට විදහා පෑම කාන්තාව අත්පත් කර ගන්නා විශාලතම
ජයග්‍රහණයයි” ඇය කියන්නේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවයි.
විශේෂ ස්තූතිය