Translate

Monday, June 15, 2015

ගස් වර්ග 15 - 12. ක‍ඩොල් ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

12. ක‍ඩොල් ශාකය

ජෛව විවිධත්වයෙන් අනූන දුපතක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ තීරය ආශ්‍රීතව ද කඩොලාන පරිසර පද්ධතියක් දැක ගත හැකිය. අන්තර් උදම් කලාපය මුල් කොට ගෙන කලපු, මෝය සහ කලපුවල කුඩා දුපත් ආශ්‍රීතව කඩොලාන පරිසර පද්ධති හමුවේ. කරදිය සහ මිරිදිය යන දෙවර්ගයම මිශ්‍රව ඇති ප්‍රදේශවල තිබෙන මෙම කඩොලාන ශාක දක්නට ලැබෙන අතර, සාමාන්‍ය ශාක වලට ජීවත් වීමට අපහසු ලවණතාවයෙන් යුතු ජලය, බුරුල් ආමිලික පස, අධික සුළං සහ හිරු එළිය සහිත වීම යන කරුණු එම ශාක වර්ධනයට අවශ්‍ය  පරිසර සාධක වේ. සෑම ජීවීයකුට මෙන්ම කඩොලාන සඳහා ද ඔක්සිජන් , මිරිදිය,පෝෂණ ද්‍රව්‍ය ආදිය අවශ්‍යයි. අවට පරිසරයේ තිබෙන අවම ඔක්සිජන් , මිරිදිය,පෝෂණ ද්‍රව්‍ය ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට කඩොලාන අනුවර්තනය වී තිබේ.

කඩොලාන ශාක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත ය. ඒ කඩොලාන හෙවත් සත්‍ය කඩොලාන සහ ආශ්‍රීත කඩොලාන යන ශාකයි. කඩොලාන පරිසර පද්ධතියේ පමණක් දක්නට ලැබෙන කඩොලාන වර්ග සත්‍ය කඩොලාන ලෙස ද, කඩොලාන පරිසර පද්ධතියේ මෙන්ම පිටස්තරව ද හමුවන කඩොලාන ආශ්‍රීත කඩොලාන ලෙස ද හදුන්වනු ලබනවා. මල් කඩොල්, හීන් කඩොල්, මට්ටි කඩොල් වැනි කඩොලාන විශේෂ ගණනාවකි. 

කඩොලාන ශාක හටගන්නේ මඩ සහිත පරිසරයක නිසා එම පොළවේ ශක්තිමත්ව වැඩීමට  පොළව දෙසට ගසෙන් මුල් වීශාල ප්‍රමාණහක් ඇදෙනවා. කඩොලානවල මුල් ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය. ඒ කයිරු මුල් (stilt roots) සහ කරුමුල්(prop roots)  වශයෙන්. කයිරු මුල් හටගන්නේ කඳෙන් වන අතර කරු මුල් හටගන්නේ අතු වලින්. මල් කඩොල්වල කයිරු මුල් පමණක් දැකිය හැකි වන අතර කඩොලාන අතර සුවීශේෂ ශාකයක් වන මහ කඩොල් වල මෙම මුල් වර්ග දෙකම දැකගත හැකිය.පසෙහි තිබෙන බුරුල් ස්වභාවයට මෙන්ම තද සුළඟට ද ඔරෝත්තු දී කඩොලාන බිමට පෙරළීමෙන් වළක්වා ගන්නේ මෙම මුල් මඟින්. මෙම ශාකවල මුඳුන් මුලෙන් හටන්නා මුල් වීශේෂයක් ජලය හරහා ජලයෙන් ඉහළට පැන නඟිනවා.ජලය මත සිටුවා තිබෙන උල් ලෙස මෙම මුල් දැකිය හැකිය. මෙම මුල් හදුන්වන්නේ “ශ්වසන මුල් “ හෙවත් වායුධර මුල් නමිනි. ජලයෙන් ඉහළට එන එම මුල් සමහර විට දණහිසක ආකාරයෙන් නැවී නැවත ජලය තුළට ගමන් කරනු දැකගත හැකිය. ඒවා හදුන්වන්නේ “ දණ හිස් මුල්“ නමින්. මෙම මුල් මත ශ්වසනය සඳහා අවශ්‍ය සිදුරු ද පිහිටයි. 


ශාඛ ප්‍රචාරණය
කඩොලාන පරිසරයේ ඇති අධික ලවණතාවය නිසා එයි බීජ පැළවිය නොහැකිය. ජලාබුජතාවය ඊට හොඳ පිළියමකි. “ජලාබුජතාවය“ කඩොලාන ශාක සතු වීශේෂ ලක්ෂණයක්. ජලාබුජතාවය ලෙස හැදින්වෙන්නේ බීජය මව් ශාකය මතදීම පැළකර කුඩා පැළයක් ලෙස පරිසරයට මුදා හැරීම සිදු වේ. මහ කඩොල්, හින් කඩොල්, සහ පුංකණ්ඩ වැනි කඩොලාන මෙලෙස ජලාබුජතාවය නිසා බිහිවන ශාක වේ. ජලාබුජ තාවය මෙම කඩොලාන ශාකයන්හි දැකිය හැකි විශේෂ අනුවර්ථනයක් වේ. කළලය විකසනය සඳහා අවශය පරිසර තත්ත්වය උචිත නොවන හෙයින් බීජය විකසනයේ පහසු අවධිය දක්වාම මවු ශාකයේ රැදි පැවතීම ජලාබුජතාවය වේ. මුල් හා පත්‍ර කිහිපයක් බිහිවීමෙන් අනතුරුව වැඩුන බීජ පැලය වමු ශාකයෙන් වෙන් වී මඩට වැටී මඩ තුල මුල් කා වදින නිසාවෙන් කිසිදු ආපදාවකින් තොරව ම ශාකය තම දිවි ගමන අරඹයි. ජලාධාරක ඔස්සේ පාවී යෑමේ පහසුව සඳහා විශේෂිත ව්‍යුහහමය අනුවර්ථනය ලක්කෂණ වලින්ද සමන්විත වේ. සමහර කඩොලාක ශකයන් හි ලවන ස්රාවී ග්‍රන්ථී පිහිටා ඇත. මෙමගින් ශාකයේ ඇති ලවණ ඉවත් කිරීම සිදුවේ. කඩොලාන ශාක අධික සූර්යතාපයට හා වියලි සුළගට නිරන්තරයෙන් භාජණය වන නිසා පත්ර මගින් පිටවන ජල ප්‍රමාණය අධිකවේ. මෙම හානිය වලකා ගැනීම සඳහා මෙම ශාක පත්රවල ඝණ උච්චර්මයක් හා අපිචර්මයක් ද ජල සංචිත පටල අධිකව පිහිටා ඇත. පත්‍ර දිස්නයෙන් යුක්ත බැවින් හිරු එළිය පරාවර්ථනය කරයි. අනිකුත් සොමාන්ය ශාක වලට හිතකර නොවන වාසසස්ථානයන්හි ඇති සුවිශේෂ පරිසර ලක්ෂණ වලට කඩොලාන ශාක මනාව අනුවර්ථනය වී ඇත.
කඩොලාන සතු සුවීශේෂත්වය වනුයේ පරිසරයේ අැති අධික සුළඟට හා දැඩි හිරු එළියට නිරාවරණය ඔරොත්තු දීමේ අැති හැකියාව ය. එම නිසා උත්ස්වේදනය මගින් අධික ලෙස ශාක පතුවලින් ශාකයේ තිබෙන ජලය පිටවිය හැකියි. මෙයට කඩොලාන ශාක දක්වන්නේ ඉතා හොඳ අනුවර්තනයකි. පත්‍ර මතු මතුපිට ඉටි වැනි ස්වභාවයකින් යුක්තව තිබීම, පතු දිළිසෙන සුළු බවක් පෙන්වීම , පත්‍ර ඝනකමින් වැඩීවීම (මාංසල වීම) එම අනුවර්තනයන්. පත්‍ර මතු පිට  ඇති ඉටි වැනි ස්වභාවය නිස පත්‍රයෙන් ජලය වාෂ්ප වීම අඩු වන අතර, දිළිසෙන සුළු ස්වභාවය නිසා පත්‍රවලට වැටෙන ආලෝක කිරණ පරාවර්තනය වේ.

අතීතයේ දී එතරම් ප්‍රයෝජනයක් නොමැති වගුරු බිම් ප්‍රදේශයක් ලෙස කඩොලාන ශාක සහිත පරිසර පද්ධති සැලකුවත්, වර්තමානය වන විට මෙමගින් ලැබෙන සේවය අතිමහත් බව පරිසර විද්‍යාඥයින් විසින් අධ්‍යයනය කර අැත. මෙම ශාක මගින් සිදුවන ප්‍රධාන සේවය “මුහුදු කෑම“ වැළැක්වීමයි. මෙම ශාක සතු කයිරු මුල් ඉතා හොඳින් පස සමඟ බැඳී තිබෙන නිසා පස ආවරණය වෙනවා. එයින් මුහුදු රළ පස සමඟ ගැටීම වැළකී “ මුහුදු කෑමෙන්“ මුහුදු වෙරළ ආරක්ෂා වෙනවා. 2004 වසරේ අප රටට  තදින්ම බලපෑ  සුනාමි තත්වයෙන් අඩුම හානි සිදුවුයේ වෙරළ කලාපයේ කඩොලාන ශාක වලින් ආවරණය වූ ප්‍රදේශ වලටය. මෙයින් කඩොලාන ශාක වල වැදගත්කම මොනවට පැහැදිලි වේ. බොහෝ විට මුහුදු වෙරළ ළඟින්ම පිහිටන්නේ කඩොලාන ශාක පද්ධතියයි.මුහුදේ සිට එන වේගවත් සුළඟ පළමුවෙන්ම වඳින්නේ කඩොලාන ශාක මතයි. මේවා සතු සුළඟට ඔරොත්තු දීමේ හැකියාව රට තුළට පැමිණෙන සුළගේ වේගය අඩු කිරීමට උපකාරි වෙනවා. එබැවින් ස්වභාවික ආපදා (උදා. සුළි සුළං) කළමනාකරණයට මෙම ශාක ප්‍රජාව වැදගත් වේ. මෙම ශාක තුළ සිදුවන ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය නිසා නිපදවෙන ද්‍රව්‍ය එම ශාක පත්‍ර තුළ සහ කඳන්වල තැනපත් වෙනවා. ක්ෂුද්‍ර ජීවීන් ඒවා වියෝජනය කර ප්‍රෝටීන් බහුල කුඩා අංශු බවට පත් කරනවා. ඒවා කුඩා ජලජ ජීවීන්ට හොඳ ආහාරයක්. එම කුඩා සතුන් වීශාල සතුන්ගේ ආහාර බවට පත් වෙනවා. එම නිසා කඩොලාන ශාක පරිසරය, විශාල ආහාරදාමයක ආරම්භක පුරුකක් ක්‍රියාකරයි. එසේම බොහෝ මුහුදු ජීවීන්ට ආහාර සපයන ආහාර ගබඩාවක් ලෙස කඩොලාන ශාක පරිසරය හැඳින්විම නිවැරැදියි. මෙම පරිසර පද්ධතිය ආශ්‍රීතව ජීවත් වන මත්ස්‍යයින් අතර ඉස්සන්, කකුළුවන්,පොකිරිස්සන් වැනි මත්ස්‍යයින්ට හිමි වන්නේ ප්‍රධාන තැනක්.කඩොලාන මගින් ධීවර කර්මාන්තයට සිදුවන මෙහෙය මෙයින් පැහැදිලිය.ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂින්ට රටට ඇතුළු විමේදී පළමුවෙන්ම හසුවන්නේ මෙම කඩොලාන ශාක පරිසරයයි. එම කුරුල්ලන්ගේ ආරම්භක සංචාරක නිකේතනය වන්නේ කඩොලාන පරිසරයයි. මෙම ශාක ආශ්‍රිතව තවත් සතුන් රැසක්ම ජීවත් වෙනවා. වල් බළලා, හඳුන් දිවියා, දිය බල්ලා, මීයා, වවුලා, මුහුදු ඌරා වැනි සතුන් ද විවිධ උරග විශේෂ ද ඒ අතරින් ප්‍රධානයි. ඒ අනුව මෙම ශාක පද්ධතිය ජෛව විවිධත්වය අතින් අනූන වේ.

 
සේවය
කඩොලාන ශාක මඟින්, ඒ ආශ්‍රිතව ජීවත් වන විවිධ සතුන්ට මෙන් මිනිසුන්ට ද කරන්නේ විශාල මෙහෙයක්. කැරැන්කොකු නමින් හැඳින්වෙන මීවන වර්ගයට අයත් කඩොලාන ශාකයේ දළු ඉතා ජනප්‍රිය මැල්ලුමක්, ගැමියන් විසින් ගිංපොල් ශාකයේ අතු වලින් පැදුරු, වට්ටි ආදිය සකසා ගන්නවා.බොහෝ විට වෙස් මුහුණු කැපීමට භාවීතා කරන්නේ ගොන් කඳුරු ශාකයේ කඳ කොටසයි. එමෙන්ම මහ කඩොල්, මල් කඩොල්, මණ්ඩ වැනි ශාක ශක්තිමත් නිසා තාවකාලික නිවාස සෑදීමට දැව ලෙස යොදා ගන්නවා. වියන ලද “ගිංපොල්"  පත්‍ර නිවාස වහල සෙවිලි කිරිමට යොදා ගන්නවා. එමෙන්ම මසුන් ඇල්ලීමේදී උගුල් ඇටවීමට ද බොහෝ විට කඩොලාන ශාක භාවිතා කරනවා. මීලමු කලපුවේ “මස් අතු" සඳහා යොදා ගන්නේ මණ්ඩ අතුයි. ශක්තිමත් කඩොලාන කඳන් ඔරු සෑදීමට ද හොදා ගන්නවා. මී මැසි පාලනයට කඩොලාන පරිසරය ඉතාම යෝග්‍යයි. ලෝකයේ තිබෙන විශාලතම කඩොලාන පරිසර පද්ධති වලින් එකක් වන බංගලාදේශයේ “සුන්ඔබාන්ස්" ප්‍රදේශයේ පිහිටි කඩොලාන පද්ධතියෙන් වසරකට මී පැණි ටොන් 20ක් පමණ ලබා ගන්නවා. එබැවින් ලංකාව වටා පවතින මුහුදු වෙරළ ඵලදායි ලෙස ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා යොදාගත හැක. කඩොලාන ආශ්‍රීතව ජීවත් වන බෙල්ලන්, හුනු කර්මාන්තයට යොදා ගැනීම සුලබයි. මෙම සුවීශේෂී පරිසර පද්ධතිය ඉතා අලංකාරවත් පරිසර පද්ධතියක් නිසා සංචාරක කර්මාන්තයට ද ඉතා වැදගත්. මාදු ගඟේ සංචාරයක් කර ඇත්නම් ඔබ ඒ සුන්දරත්වය විඳ ඇත. ශ්‍රී ලංකාවේ කඩොලන වර්ග 22 ක් පමණ වේ.
ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන විශේෂ කීපයක්

1. Rhizophora mucronata          - කඩොල්
2. Rhizophora apiculate              - කඩොල්
3. Bruguiera gymnorhiza             - මල් කඩොල්, සිරිකණ්ඩ
4. Bruguiera sexangyula              - මල් කඩොල්, සිරිකණ්ඩ
5. Bruguiera cylindrical               - මල් කඩොල්, සිරිකණ්ඩ
6. Ceriop tagal                                - පුංකණ්ඩ, රතු ගස්
7. Ceriop decandra                        - පුංකණ්ඩ
8. Sonneratia caseolaris               - කිරල
9. Sonneratia griffithi                   - කිරල
10. Sonneratia alba                       - කිරල
11. Sonneratia ovate                     - කිරල
12. Avicennia marina                   - මණ්ඩ, මඩගස්
13. Avicennia alba                         - මණ්ඩ
14. Avicennia offininalis             - මණ්ඩ, මඩගස්
15. Aegiceras corniculatum        - මණ්ඩ, මඩගස්
16. Acantuus illcifolius                - මණ්ඩ, මඩගස්
17. Acantuus volubills                 - මණ්ඩ, මඩගස්
18. Excoecaria agallocha             - මණ්ඩ, මඩගස්        
19. Xylocarpus granatum           - මණ්ඩ, මඩගස්                     
20. Xylocarpus rumphii               - මණ්ඩ, මඩගස්
21. Xylocarpus mekongensis      - මණ්ඩ, මඩගස්
22. Xylocarpus oluccensis           - මණ්ඩ, මඩගස්
23. Nypa fruticans                         - මණ්ඩ, මඩගස්         
24. Acrostichum aureum              - මණ්ඩ, මඩගස්
25. Acrostichum speciosum       - මණ්ඩ, මඩගස්
26. Heritiera littoralis                   - මණ්ඩ, මඩගස්
27. Lumnitzera racemsa              - මණ්ඩ, මඩගස්
28. Lumnitzera littorea                - මණ්ඩ, මඩගස්
29. Pemphis acidula                      - මණ්ඩ, මඩගස් 
30. Scyphiphora hydrophyllacea -
 
එසේම මාදු ගඟ භූගෝලීය පිහිටීම ගත්විට එම පරිසර පද්ධතිය 2001 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම වශයෙන් හදුන්වා දී ඇත. මෙම පරිසර පද්ධතිය කඩොලාන ශාක බහුලව දැකිය හැකි ය.
2004 පැමිණි සුනාමිය වැනි ස්වාභාවික ව්‍යසනයන් හි දී කඩොලාන ස්වාභාවික සුනාමි ආරක්ෂිත ආවරණ සෙල ද ක්‍රියාකලේය. සුළි සුළං හා අනිකුත් තද සුළං වලින් වන හානිය මෙම කඩොලාන ශාක නිසා අවමවේ. තවද මෙම පරිසර පද්ධතිය මගින් වෙරළ ඛාදනය වලක්වා වෙරළ ආරක්ෂා කෙරේ. මුහුදු හා කලපු ආශ්‍රිතව ජීවත් වන ඉස්සන් දැල්ලන් ඛෙල්ලන් කකුළුවන් හා මත්ස්‍යයන්ගේ ලාබාල අවිදීන් සඳහා නිබදවම ආරක්ෂව හා ආහාර සැපයීම ද ඔවුන්ගේ ප්‍රජනන බිම් ලෙසද මෙම පරිසර පද්ධතිය ක්‍රියා කරයි. සංචාරක හා දේශීය පකෂීන්ට කෂීරපායින්ට උරගයන්ට වසස්ථාන ආරක්ෂාව හා ආහාර සැපයීම මින් සිදුවේ. කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සම්බන්ධව මිනිසුන් දැනුවත් කිරීම කළ යුතුයි. නැවත වගා කිරිම සම්බන්ධයෙන් කටයුතු කළ හැකිය. මෙම පද්ධතිය රැක ගැනීමට අලුතින් නීති රීති ඇතුලත් කළ යුතුයි. එමෙන්ම පාසල් අධ්‍යාපනය තුළින් කඩොලාන පරිසර පද්ධතිය සුරැකීමේ වටිනාකම පැහැදිලි කළ යුතුයි. මෙම සුන්දර පරිසර පද්ධතිය රැක ගැනීම කාගෙත් යුතුකමක්. ඉතිරිවී ඇති කඩොලාන පරිසර පද්ධතින් ආරක්ෂා කිරීම, පරිසරයට හානියක් නොවන අයුරින් කඩොලාන ශාකවලින් ප්‍රයෝජන ලබාගැනීම, කඩොලාන නැවත වගා කිරීම වැනි ක්‍රම මඟින් අනාගතය වෙනුවෙන් කඩොලාන ආරක්ෂා කරගත හැකියි.

              

ගස් වර්ග 15 - 11. දූරියන් ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

11. දූරියන් ශාකය


විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ශ්‍රේණිගත-නොකළ: Angiosperms
ශ්‍රේණිගත-නොකළ: Eudicots
ශ්‍රේණිගත-නොකළ: Rosids
ගෝත්‍රය: Malvales
කුලය: Malvaceae
උපකුලය: Helicteroideae
වර්ගය: Durioneae
ගණය: Durio
L.
Species
දැනට හදුනා ගනු ලැබූ විශේෂ 30ක් පමණ පවති.
Synonyms
Lahia Hassk.


ආසියාවේ ජනප්‍රිය පළතුරක් ලෙස සැලකෙන දූරියන් එයටම විශේෂිත සුවඳක් ද අධික පෝෂණ ගුණයක් හා මනා මාංසල බවද නිසා නිවර්තන පළතුරු අතර රජු ලෙස බොහෝ රටවල හඳුන්වයි. ලංකාවේ තවමත් බහුලව වාණිජ ලෙස වගා නොකල ද තායිලන්තය, මලයාසියාව වැනි රටවල ඉතා ලාභදායී වාණිජ වගාවක් වශයෙන් වගා කරන පළතුරක් වේ. අග්නිදිග ආසියාවට ආවේණික පළතුරක් වන දූරියන් වසර 600කට පමණ පෙර බටහිරට ද හදුන්වා දෙනු ලැබුණි. ගිණිකොනදිග ආසියාවේ මැලේසියාණු අර්ධද්වීපයේ සම්භවය ලැබූ දුරියන් ලොව ප්‍රචලිත ජනප්‍රිය පළතුරකි. දූරියෝ සිබතිකස් (Durio Zibethinus) උද්භිත විද්‍යාත්මකව හැඳින්වෙන දූරියන් බොම්බකාසියේ (Bombacaceae) ශාක කුලයට අයත් කොස් ගෙඩියකට සමාන ඝනකම් ආවරණයකින් යුත් රළු පෙනුමකින් යුත් පළතුරකි. මේ ‍බෝගය ස්වභාවිකව මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව, බෝර්නියෝ දූපත් හා නිව්ගිනි දූපත් හා පැතිරී ඇති වගාවක් වන අතර මෙය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය, වියට්නාමය, ඕස්ට්‍රේලියාව යන රටවලට පසුව හඳුන්වා දී ඇත. දූරියන් නාමය මැලේ භාෂාවෙන් කටුව හදුන්වන දූරි යන පදයට අන් (මැලේ භාෂාවේදි නාම පදයක් සෑදිමේදි යොද ගන්නා පදයකි ) යන පසු ඇඳිය එකතු විමෙන් සෑදි ඇත. දූරියො විශේෂ අතරින් ඩි. සිබෙතිනස් යන විශේෂය පමණක් වාණිජ වශයෙන් වගා කරන අතර ආවේණික ප්‍රදේශයන්ගෙන් බැහැරව බහුල ලෙස දක්නට ලැබේ. මෙය විවෘත පරාගණයට ලක් වු ප්‍රභේදයක් නිසා එහි ඵලයේ වර්ණය, ගන්ධය, ප්‍රමාණය, මදුළු හා බීජයේ ප්‍රමාණය හා ශාකයේ ජීව සෘතුවේ විශාල වෙනස්කම් දක්නට ලැබේ. විශේෂ නාමකරණයෙදි සිබෙතිනස් යන්න ඉන්දියානු උරුලෑවා හැදින්විම සදහා විවෙරා සිබෙතා ලෙස යොද ගනී.

16 වැනි සිය වසේදි පෘතුගීසි ජාතික ඩී. සිබෙතිනස් විසින් ලංකාවට හදුන්වා දෙන ලදී. එය ඇමෙරිකාවට ද හදුන්වා දුන් නමුත් ඒවා උද්භිත උද්‍යාන වලට පමණක් සීමා වුණි. 1884දි රාජකීය උද්භිත උද්‍යානයේ හට ගත් පළමු බීජ පැළ ඩොමිනිකානු රාජ්‍යයේ ඔගස්ටී සෙන්ට් ඇරොමන් වෙත යවන ලදි.

පහතරට හා මැදරට තෙත් කලාපයේ හොදින් වැඩෙන දූරියන් සඳහා වර්ෂය පුරා වැඩි ආර්ද්‍රතාවයක් අවශ්‍ය වේ. තෙත් කලාපයේ දිස්ත්‍රික් අතරින් ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, රත්නපුර, මාතර සමහර ප්‍රදේශත් නුවර, මාතලේ, කෑගල්ල ආශ්‍රත ප්‍රදේශ දූරියන් වගාව සඳහා වඩාත් යෝග්‍ය වේ. සාර්ථක දූරියන් වගාවක් සඳහා උෂ්ණත්ව පරාසය වනුයේ 27oC - 30oC වේ. එමෙන්ම 75% - 80% ආර්ද්‍රතාවයක් මනා වර්ධනයක් සඳහා අවශ්‍ය වේ. දූරියන් වගාව සඳහා යෝග්‍ය උච්ඡත්වය වන්නේ මීටර් 50 - 600 දක්වා වන අතර ඉහළ උච්ඡත්ව වලදී ගෙඩියේ ගුණාත්මයට හානි විය හැකිය. දූරිය වගාව සඳහා යෝග්‍ය වර්ෂාපතනය වන්නේ මිලි මීටර් 2000 - 5000 ය. වසරකට මාස 9 සිට මාස 11 දක්වා තෙත කාළගුණයක් පැවතිය යුතුය. හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය හොඳින් අඩංගු ගැඹුරු වැලි ලොම් පසක් ඉතා සුදුසු වේ. පොළොව මතුපිට සිට අවම වශයෙන් මීටර් 2 ක් වත් ගැඹුරින් භූගත ජල මට්ටම පිහිටීම සාර්ථක වගාවක් සඳහා වැදගත් වේ.

දූරියන් ශාක විශාල වන අතර එහි වර්ගය අනුව මීටර 25ත් 50ත් (අඩි 80ත් 164ත් ) අතර වර්ධනයක් දක්නට ලැබේ. සෙන්ටිමීටර 8ත් 10ත් අතර සදාහරිත පත්‍ර ඉලිප්සාකාරයේ සිට දිගටි ආකාරය තෙක් දක්නට ලැබේ. විශාල දූරියන් අතු වල හා එහි කඳෙහි දූරියන් පුෂ්ප 3ත් 30ත් අතර පොකුරු හට ගන්නා අතර සෑම පුෂ්පයක්ම පුෂ්ප කෝශයකින් (මනි පත්‍ර) හා පත්‍ර 5කින් සමන්විත වේ. දූරියන් ශාකයකට වසරකට මල් වාර 1ක් හෝ 2ක් පවතින අතර, ශාකයේ කුලය, ප්‍රභේදය හා ප්‍රදේශය අනුව එහි කාලය වෙනස් වේ. සාමන්‍යයෙන් දූරියන් ශාකයකට වසර 4කට 5කට පසු ඵල දැරිමෙ හැකියාව පවති. දූරියන් ශාකයේ අතු වල හට ගන්නා ඵල සාමන්‍යයෙන් පරාගණයෙන් මාස 3කට පමණ පසු පරිණත බවට පත් වේ. මෙම ඵලයට දිගින් සෙන්ටිමිටර 30ක් (අඟල් 12) ද, වට ප්‍රමාණයෙන් සෙන්ටිමිටර15ක් (අඟල් 6) ද බරින් කිලෝග්‍රැම් 1-3(රත්තල් 2-7) පමණ වන තෙක් වර්ධනය විමේ හැකියාව පවති. ශාකයේ ප්‍රභේදය අනුව දූරියන් ඵලය දිගටි හො රවුම් ආකාරයක් ගන්නා අතර ලෙල්ල කොළ සිට දුඹුරු පැහැය දක්වාද, මදුළු ලා කහ සිට රතු පැහැය දක්වාද වෙනස් වේ. වසර පුරාම දැකිය හැකි ඝර්ම කලාපීය පළතුරක් නොවන අතර වසරේ විශේෂ කාලයකදි පමණක් දැකිය හැක. ජුනි සිට අගෝස්තු දක්වා කාලය දූරියන් වාරය වන අතර එම කාලය මැංගුස්ටීන් වාරය ද වේ. දූරියන් වාරයෙදි ජපානයේ ප්‍රධාන පෙලේ වෙළඳසැල් වලද බටහිර රට වල ආසියානු වෙළඳසැල් වලද දූරියන් විකුණනු ලැබේ.

පළතුරක් ලෙස

සාමාන්‍යයෙන් දූරියන් ගෙඩියක් බර ග්‍රෑම් 800 ක සිට කිලෝ ග්‍රෑම් 2.1 දක්වා වෙනස් වන අතර ඉන් 60% - 80% අතර බර ප්‍රමාණය ලෙලි බර වේ. සාමාන්‍ය ප‍්‍රමාණයේ දූරියන් ගෙඩියකින් ලබාගත හැක්කේ මඳුළු 7 – 8 ක් වැනි ප‍්‍රමාණයකි. බීජ බර ප්‍රමාණය 7% - 8% ක් අතර වේ. කෑමට ගනු ලබන බීජ රහිත මදුලු වල බර 9% - 25% අතර වෙනස් වේ. තායිලන්තය, මැලේසියාව වැනි රටවල දියුණුකර ඇති දූරියන් වර්ගවල මදුලු බර ප්‍රතිශතය 20% - 35% අතර දක්වා වේ. මදුලු ග්‍රෑම් 100 ශක්තිජනක අගය කිලෝ ජුල් 820 වේ. එබැවින් දූරියන් ඉතාම පෝෂ්‍යදායී ශක්තිජනක පළතුරකි. පිෂ්ඨය අඩංගු අධික පැණි රසයෙන් යුක්ත දූරියන් මඳුළු 4 – 5 කට වඩා ආහාරයට ගැනීමට අපහසුබව බොහෝදෙනෙක් පවසති. මාන්සලමය මදයේ සුවිශේෂි වු ගන්ධය එහි ලෙල්ල නොකඩා තිබියදී පවා පැතිරී යාමට තරම් ප්‍රබල වේ. දූරියන් වලට ම විශේෂිත වූ ගන්ධය හේතුව වනුයේ එහි ඇති සල්ෆියිඩ,  එස්ටර් , තයෝල් හා නයෝල් වැනි රසායනික ද්‍රව්‍ය නිසාවෙනි. ජලය , පෙ‍්‍රටීන් , කබෝහයිඩ්ඩෙ‍්‍රට් , මේදය, කෙඳි , කැල්සියම්, පොස්පරස් වැනිදේ වලට අමතරව දූරියන් වල විටමින් සී සහ බීටා කැරොටින් ද අඩංගුය. සාමාන්‍යයෙන් අප ආහාරයට ගත යුත්තේ හොඳින් පැසි ඉදුණු දූරියන් වන අතර නොපැසුණු ගෙඩි රසයෙන්ද පෝෂණ ගුණයෙන්ද අඩුය.

අාහාරයක් ලෙස

දූරියන් පළතුර පුළුල් පරාසයක විහිදුනු ආහාර රස ගැන්විමට යොද ගනි. මෙම ආහාර අතර සාම්ප්‍රදායික මැලේ රසකැවිලි, අයිස් කකන්ග්, දොදොල්, ලෙම්පක්, රෝස් බිස්කට් මෙන්ම නවින ආහාර වන අයිස් ක්‍රීම්, මිල්ක් ශේක්, මෝන් කේක්, යුලෙ ලොග් (කොටයක හැඩය ගත් නත්තල් කේක් වර්ගයක් ) සහ කැපුචිනො (පෙණ සහිත කිරි කෝපි වර්ගයක්) ද වේ. දූරියන් අයිස් ක්‍රීම් ඉන්දුනීසියාවේ ජනප්‍රිය අතුරුපසක් වන අතර එහි නගරවල, විශේෂයෙන් ජාවා හි මග දෙපස ඇති කඩ වල විකිණිමට තබා තිබේ. පොල් කිරි වලින් පිසින ලද ඇලෙන සුළු බතක් වන පුලුට් දූරියන් හෝ කෙටන් දූරියන් ඉදුණු දූරියන් සමග පිළිගන්වයි. සභා හි ළූණු සහ මිරිස් සමග බදින ලද රතු දූරියන් අමතර ආහාරයක් ලෙස පිළිගන්වයි. සයර් නැමති නැවුම් මාළු වතුරෙන් සාදන සුප් වර්ගය සදහා සම්ප්‍රදායිකව රතු මදුළු සහිත දූරියන් එකතු කරයි. ඉකන් බ්‍රෙන්ග්කෙස් යනු දූරියන් සෝස් හි පිසින සම්ප්‍රදායික සුමත්‍රානු මාළු වර්ගයකි. සාම්ප්‍රදායිකව බොල්ලෙන් පේස්ට්‍රි වල පිරවුම සඳහා කෙසෙල් සහ චීස් යොදා ගත්තද වර්ථමානයේ දූරියන් පුරවන ලද බොල්ලෙන් දූරියන් ද දක්නට ලැබේ. වියළු දූරියන් මදුළු දූරියන් චිප්ස් සෑදීමට යොදා ගනි. අඩු ප්‍රමිතියකින් යුතු, සෘජු පරිභෝජනයට නුසුදුසු දූරියන් මුහුම් කිරිමෙන් ටෙම්පොයක් සාදා ගනි. එය පිස හෝ අමුවෙන් ආහාරයට ගත හැකි අතර සාමාන්‍යයෙන් බත් සමග අහාරයට ගනි. ටෙම්පොයක් ව්‍යාංජන සෑදිම සඳහාද යොදා ගනි. සුමත්‍රානු ආහාරයක් වන ටෙම්පොයක් සම්බෝල මුහුම් කල දූරියන්, පොල් කිරි හා කුළු බඩු වර්ග යොදා සදා ගනි.

ප්‍රභේද


දූරියන් ප්‍රභේද 30ක් අතරින් 9ක් ආහාරයට ගත හැකි ඵල හට ගන්නා ප්‍රභේද ලෙස හදුනාගෙන තිබේ. ඩි. සිබෙතිනස්, ඩි. දුල්සිස් '(D. dulcis)', ඩි. ග්‍රැන්ඩිෆ්ලොරුස්' (D. grandiflorus)', ඩි. ග්‍රවොලෙන්ස්, ඩි. කුටෙජෙන්සිස් (D. kutejensis), ඩි. ලොවිනස්, ඩි. මක්‍රන්ත, ඩි. ඔක්ස්ලෙයනුස්, සහ ඩි. ටෙස්ටුඩිනරම් (D. testudinarum) ය. සමහර ප්‍රභේදයන්ගේ ඵල කෙදිනකවත් නියමාකාරයෙන් පිරික්සිමකට ලක් කර නොමැති නිසා ඒවා අතරද ආහාරයට සුදුසු ඵල හට ගන්නා ශාක තිබිමේ හැකියාවක් පවති. දූරියන් පෙනුමෙන් කොස් ගෙඩියකට සමාන වුවත් ඒවායේ ප්‍රභේද අතර සම්බන්ධතාවයක් දක්නට නොලැබේ.



වසර සිය ගණනක් තිස්සෙ අග්නිදිග ආසියාවේ හටගත් ශාකමය ක්ලෝන මගින් අතිවිශාල දූරියන් උප විශේෂ ප්‍රමාණයක් හටගෙන තිබේ. ඒවායේ උසස් තත්වයෙන් යුතු ඵල හට ගන්නා ලදි. නමුත් වර්තමානයේදි අතු බැඳීම හෝ වඩාත් බහුල ලෙස බද්ධයන් මඟින් ශාක ප්‍රචාරණය සිදු කරනු ලැබේ. අංකුර, පතුරු, කූඤ්ඤ , U බද්ධය වැනි බද්ධ ක්‍රම වලදි අහඹු ලෙස තෝරා ගන්නා ලද අනුජයකට ඒවා බද්ධ කිරීම සිදු කෙරේ. විවිධ උප විශේෂයන් ඒවායේ ඵල වල හැඩයේ, කටු වල හැඩයේ වෙනස්කම් අනුව තරමක් දුරට වෙනස් වේ. පරිභෝගිකයන් විශේෂිත උප විශේෂයන් සඳහා දක්වන කැමත්ත වෙළඳපොලේදි ඒවාට ඉහළ මිලක් ලබා දිමට සමත්වේ. වාණිජ වශයෙන් බොහෝ දෙනෙකු ප්‍රිය කරන්නේ මොන් තොන්ග් වලටය. එහි මෘදු මිහිරි මදුළු, සාපේක්ෂව සුළු වශයෙන් වහනය වන සුවඳ සහ කුඩා බීජ මෙයට හේතු වේ. කෘමි උවදුරු වලට ප්‍රතිරෝධයන් දැක්වි‍මේ හැකියාව අතින් ගත් කල චානේ ඉහළ ස්ථානයක වැජඹේ. තායිලන්තය පුරා ඇති උප විශේෂ අතරින් චානේ, මොන් තොන්ග්, කන් යෝ, රන්ග් හා ක්‍රඩම් යන වර්ග පහ වාණිජමය වශයෙන් බහුල ලෙස වගා කරයි. කැට් මවුන්ටන් කින්ග් ඉතා මෑතකදි ප්‍රචලිත වු ප්‍රභේදයකි.

මහනුවර , මාතලේ , කෑගල්ල , රත්නපුර , ගම්පහ , කළුතර , ගාල්ල වැනි ප‍්‍රදේශවල හොඳින් වැඩෙන දූරියන් හොඳ ආර්ථික ආදායමක් ලබාදෙන පලතුරකි. නමුදු තවමත් මෙය වාණිජ මට්ටමේ වගාවක් ලෙසින් නොව ගෙවතු ආශි‍්‍රත වගාවක් ලෙසින් දක්නට ලැබේ. කෙතෙරම් ඉහළ මිලක් ලැබුණද තවමත් අපනයනයට ප‍්‍රමාණවත් දූරියන් වගාවක් මෙරට සතු නොවන බව පැවසේ. දූරියන් සම්පුර්ණයෙන්ම වාගේ පරපරාගනය වන භෝගයක් වන අතර මෑතක් වනතුරුම පැළ නිපදවනු ලැබූවේ බීජ මඟිනි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසින් එම දූරියන් ගස් විවිධාකාර ගුණයෙන් යුක්ත විය. වාණිජ වශයෙන් වගාව සදහා දූරියන් ප්‍රභේද 2 ක් නිර්දේශ කර ඇත. එය “කසුන් “ සහ “අඹතැන්න “ යනුවෙන් නම් කර තිබේ. මෑතකදී සොයාගත් තොරතුරු අනුව දූරියන් මල් කෘතී‍්‍රමව ( අතින් ) පරාගනය කළහැකි අතර එමඟින් හොඳ අස්වැන්නක්ද ලබාගතහැකිව තිබේ.වැඩිදෙනකු ආහාරයට නොගත්තද ඉතා පෝෂ්‍යදායි දූරියන් පලතුරු අතර සුවිශේෂී තැනක් හිමිකරගෙන සිටියි. අප රටේ දක්නට ලැබෙන දූරියන් වලට අමතරව රතු පැහැති සහ තැඹිලි පැහැති මාංශල සහිත දූරියන්ද වෙනත් රටවල දක්නට ඇත. 1960 පිලිපීනයේ කැලෑ වල තිබී කටු රහිත දූරියන් විශේෂයක් සොයාගන්නා ලදී. මෙය තට්ට දූරියන් (බොටක් දූරියන්) ලෙස හදුන්වයි.

ගුණ

උෂ්ණාධික පලතුරක් ලෙසින් බොහෝදෙනකු වරදවා වටහාගෙන තිබුණද ඇත්තටම මෙය සිසිල් ගුණයෙන් යුක්ත පලතුරකි. එබැවින් රාතී‍්‍ර කාලයේදී ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවන අතර කුඩා දරුවන්ට දිරවීමට අපහසු වන බැවින් හා ආහාරයට ගත්පසු අජීර්ණය , වමනය වැනි රෝගාබාධ මතුවීමට ඉඩඇති බැවින් ආහාරයට දීම සුදුසු නොවේ.හමේ පැහැය වර්ධනය සඳහාත් , මාංශ වර්ධනය සඳහාත් පිටිවහලක් වන දූරියන් දරු සම්පත් ප‍්‍රමාද කාන්තාවන් සඳහාද යෝග්‍යය. පුරුෂ ශුක‍්‍ර ධාතු වර්ධනයටද බෙහෙවින් ඉවහල් වන දූරියන් ඇට පෙඟෙන්නට තබා එම ජලය පානය කිරීමෙන් ශරීරයට වැඩි ශක්තියක් ලැබෙන බවටද විශ්වාසයක් පවතියි.

ශාඛ ප්‍රචාරණය



දූරියන් පැළ ප්‍රචාරණයට බීජ මඟින් හා බද්ධ කිරීම මඟින් ලබාගත හැකිය. බීජ පැළ වර්ධනය අධික බැවින්ද අස්වනු ලබාදීමට ගතවන කාලය වැඩි බැවින් හා ලැබෙන ඵල වල ගුණාතමය වෙනස් වන බැවින්ද වාණිජ වගාවක් ලෙස භාවිතා කිරීමට නුසුදුසුය. අවුරුදු 4 - 5 ක් වැනි කෙටි කාලයක් තුලදී ඵල ලබා ගත හැකි බැවින්ද අනුජය ලබාගන්නා ගසේ ඵල වල ගුණාත්මයට සමාන ගුණාත්මයෙන් යුත් ඵල ලැබෙන බැවින් පහළ සිට තිරස් අතට පැතිරෙන අතුවල ඵල හටගන්නා බැවින්ද වාණිජ වගාවන් සඳහා බද්ධ දූරියන් පැළ යොදාගනු ලැබේ.

මධ්‍යස්ථ ප්‍රමාණයේ බීජ ඇති නීරෝගී ගසක ගෙඩි වලින් ලබා ගන්නා බීජ වහාම වැලි තවානක ප්‍රරෝහණය කළ යුතුය. බීජ ප්‍රරෝහණය වූ පසු එය මතුපිට පස්, වැලි සහ කොම්පෝස්ට් 1 : 1 : 1 මිශ්‍රණය පිරවූ අඟල් 8 x 11 පොලිතීන් මළු වලට මාරුකර සෙවනේ තබනු ලැබේ. සති 2 - 4 පමණ වර්ධනය වූ පසු එම ග්‍රාහක පැළ කූඤ්ඤ බද්ධය මඟින් බද්ධ කළ හැකිය. බද්ධය සඳහා අවශ්‍ය අනුජ ගුණාත්මයකින් යුත් ගසකින් ලබා ගත යුතුය. බද්ධය වෙළුම් පටියකින් වෙලා පාරදෘෂ්‍ය පොලිතීන් කවරයකින් වසා සෙවනක් සහිත ස්ථානයක තැබිය යුතුයි. සති 2 - 3 පසු බද්ධය වර්ධනය වී ඇති විට පොලිතීන් කවරය ඉවත් කර සෙවන ස්ථානයක තබන්න. කේෂ්ත්‍රය සාර්ථකව ස්ථාපනය කිරීම සඳහා අඩි 1 - 2 පමණ උසට වැඩුණු පැළ භාවිතා කිරීම සුදුසුය.

රෝග හා පළිබෝධ හානි




කඳ විදින පණුවන් (Stem borer) කඳ විද එය තුලින් ඉහළට ගමන් කරයි. එතැන් සිට අත්ත වියළී මැරී යයි. මෙහිදී අතු කපා පුළුස්සා දැමිය යුතුය. වියළි කාල වලදී කොරපොතු කෘමීන් (Scale insects) පත්‍රයේ යටි පැත්තේ බහුලව දැකිය හැකිය. යුෂ උරා බීම නිසා පත්‍ර මත කහ පැහැති ලප ඇති වේ. හානිය උග්‍රවූ විට පත්‍ර වියලුණු ස්වභාවයක් ගන්නා අතර පසුව පත්‍ර හැලී යා හැක.

Saturday, June 13, 2015

ගස් වර්ග 15 - 10. ගම්මාලු ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

 10. ගම්මාලු ශාකය


විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ශ්‍රේණිගත-නොකළ: Angiosperms
ශ්‍රේණිගත-නොකළ: Eudicots
ශ්‍රේණිගත-නොකළ: Rosids
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
උපකුලය: Faboideae
වර්ගය: Dalbergieae
ගණය: Pterocarpus
Species: P. marsupium
Binomial name
Pterocarpus marsupium
Roxburgh

ශී‍්‍ර ලංකාවේ පහතරට ප‍්‍රදේශයේ විශේෂයෙන් ම වියළි හා අතරමැදි කලාපයේ අඩි 3000 දක්වා උසින් හමුවන ගම්මාලු Pterocarpus ඵarsupium, තෙත් කලාපයේ ද හොඳීන් වගා කළ හැකි ශාකය කි. සාරවත් පසෙහි මෙන් ම ජලය එක් රැස් නොවන බෑවුම් සහිත පතන භූමිවල ඇති වියළි නිසරු පසෙහි ද ‘ගම්මාලු’ හොඳින් වැවේ. ඖෂධීය ගුණයෙන් අනූන ගම්මාලු බොහෝ රෝග සඳහා ගුණදෙන ඔසුවකි. දියවැඩියාව, මුත‍්‍ර රෝග, සමේ රෝග, අතීසාරය වැනි රෝග සමනය කිරීමෙහිලා සමත් ඖෂධීය ගුණයන් ගම්මාලු ශාකය සතුව ඇත. එසේම කෙසේ වැඩීමටත් අකලට හිසකෙස් පැසීමටත් ගම්මාලු කදිම ඔසුවකි. 

ගම්මාලු ශාකයෙහි පොත්ත කැපූ විට වෑස්සෙන රතු පැහැ කිරි දියවැඩියා රෝගයටත්, අධික රුධිර පීඩනයටත් කදිම ඔසුවකි. දැවමය වටිනාකමින් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද යුත් ගම්මාලු ඉතා ප‍්‍රයෝජනවත් ශාකයකි. ගන කහ අළු පොත්තකින් යුත් විශාල ගසක් ලෙස වැඩෙන ගම්මාලු ශාකයේ අතු බෙහෙවින් විහිදී ඇත. විශාල පත‍්‍ර, පති‍්‍රකා කොටස් පහකට, හතකට පමණ බෙදේ. පති‍්‍රකාවල අග‍්‍රය මද වශයෙන් හෝ හොඳින් පෙනෙනා අයුරින් හෝ දෙකට බෙදී තිබෙනු දැක ගත හැකිය. දිලිසෙන මතුපිටක් සහිත ගම්මාලු පත‍්‍රයන්හි පැහැදිලිව හා සමාන්තරව පිහිටි නාරටි රාශියක් ද වේ. ජූලි සිට සැප්තැම්බර් මාසය දක්වා ගම්මාලු ශාකයෙහි මල් හටගන්නා අතර ඒවා කුඩා කහ පැහැති මල් වේ. මේ කහ පැහැති කුඩා මල්, පොකුරු වශයෙන් අතු බෙදුණු මල් පොකුරක පිහිටයි.

ගම්මාලු සෙමෙන් වැඩෙන ශාකයක් බැවින් ගම්මාලු ශාකයේ ඵලහට ගැනීමට අවුරුදු 15 ක් පමණ ගතවේ. ගම්මාලු වගා කිරීමේදී වෘක්ෂයේ මුල්වලින් හට ගන්නා පැළ වලින් මෙන්ම බීජවලින් ද ගම්මාලු වගා කරගත හැකිය. ගම්මාලු පැළවලින් වගා කර ගැනීමේදී ගම්මාලු වෘක්ෂයේ මුල්වලින් හටගන්නා පැළ පරෙස්සමෙන් ඉවත් කොට බඳුන් ගත කිරීමෙන් පසුව බෝ කරගත හැකිය. ගම්මාලු බීජ මගින් වගා කර ගැනීමේදී අවුරුදු 20 කට වඩා වයසින් මේරූ වෙනත් ගම්මාලු ගස් කීපයකට මැදිව මනාව වැඩුණු ගසකින් ගම්මාලු ඵලය ලබා ගැනීමෙන් අනතුරුව එවැනි ඵල රෙදි හෝ ගෝනි මල්ලක දමා ගලා යන ජල පහරක පැය 48 ක් පොඟවා තවන් කර ගත යුතුය. නැතිනම් එසේ පැය 48 ක් පෙඟවූ ඵලය වටා ඇති පියාපත වැනි කොටස කපා, ඵලාවරණය සිදුරුකොට පැය 24 ක් ජලයේ පොඟවා වැලි තවානේ තවන් කරගත හැකිය.
තවානේ අඟල් 3 ක් පමණ උසට වැඩුණු පැළ බඳුන් ගත කොට මාස 9- 12 අතර කාලයක් රැක බලා ගැනීමෙන් පසු අඩි25ය25පරතරය ඇතිව ක්ෂේත‍්‍රයේ සිටුවිය හැකිය.


ගම්මාලු ගසේ ගුණ

ගම්මාලු අරටුව දෙහි යුෂින් ගල ගා ආලේප කිරීම තැලීම් හා උළුක්කුවලදී බෙහෙවින් සිදුවනවා සේ ම තැලීම් හා උළුක්කුවලදී එය කදිම සහනයක් ගෙන දෙන අත් බෙහෙත් ක‍්‍රමයකි. දත් කැක්කුම්වලදී ගම්මාලු ලාටු කැක්කුම දෙන දත මත තබා සැපූ විට වේදනාව සමනය වේ.
 
අතීසාරය සඳහා ගුණ දෙන ඔසු ගුණයක් ඇති ගම්මාලු ශාකයේ ලාටු සහ පොතු යොදාගත් කෂාය අතීසාරයේ දී පානය කිරීමට දීම හෙළ වෙදකමේ බහුලව සිදුවේ. කෙස් වැඩීමේ ශාක ඖෂධීය ගුණයක් ගම්මාලු සතුව ඇති අතර අකලට හිස කෙස් පැසීම ද පාලනය කිරීමට ගම්මාලු යොදා ගැනේ.

ගම්මාලු යොදා සාදා ගත් තෙල් හිස ගැල්වීම අකලට හිස කෙස් පැසීම පාලනය කරයි. එසේම අධික ලෙස මුත‍්‍ර පිටවීම පාලනය කිරීමෙහි හැකියාවක් ද ගම්මාලු සතුව ඇත. ගම්මාලු අරටුවෙන් සාදා ගත් කෂාය අධික ලෙස මුත‍්‍ර පිටවන රෝගීන්ට පානය කිරීම සඳහා දීම ද හෙළ වෙදකමේ දී බහුලව සිදුවේ.

'ගම්මාලු' අරටුවෙන් සාදා ගත් කෝප්පයක සිසිල් දිය දමා රැයක් තබා එය උදෑසනින් හිස්බඩ පානය කිරීම දියවැඩියාව පාලනය කිරීමට යෝග්‍ය වේ. සමේ රෝගවලදී ද ගම්මාලු බෙහෙවින් භාවිත කරන ශාකයක් වන අතර කුෂ්ඨ රෝගවලදී ගම්මාලු කොළ අඹරා ආලේප කිරීමෙන් සහනයක් ලැබේ.

සිහිවටනයක් ලෙස

1962 වර්ෂයේ ඔක්තෝබර් 14 වැනිදින යෙදුනු සුබ මොහොතින් බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයට මූලික අඩිතාලම දැමු අතර ඒය විවෘත කිරීමට පැමිණි ඉන්දියානු අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු තුමන් විසින් උද්‍යානයෙහි ගම්මාලු පැලයක්ද රෝපණය කලේය. එම ගම්මාලු ශාකය අද ද පර්යේෂණායතනයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ඉදිරියේ දැක ගත හැකිය.

නිර්මාණ කරණයේ දී

ගම්පළ රාඡධානි සමයේදී 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රඡු (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇති අතර මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම්
සම්බන්ධයෙනි. වික්‍රමබාහු රඡුගේ මෙහෙසිය වශයෙන් සිටි සෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය මෙමදේවාලයට අධිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඇම්බැක්කේ දේවාලය හා සම්බන්ධ විවිධ පුරාවෘත ඉතිහාසයේ සඳහන් වේ. 
මෙම දේවාලය ඉදිකිරීම සම්බන්ධයෙන්  "ඇම්බැක්කේ වර්ණනාව" නම් කාව්‍ය කෘතියෙහි දක්වා අැති අාකරයට ඇම්බැක්කේ දේවාලයේ සියලුම නිර්මාණ සදහා ගම්මාලු, බුරැත, නා, හල්මිල්ල යන ලී වර්ග යොදා ගෙන ඇත. මෙහි කැටයම් කණු 32ක් වෙයි.   




ගස් වර්ග 15 - 09. අරළු ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

09. අරළු ශාකය


අරළු  අරළු ගස ටර්මිනේලියා චෙබුලා (Terminalia Chebula‌) යන උද්භිද නාමයෙන් හඳුන්වන කෙම්බ්‍රිටාසේ (Combretaceac) කුලයට අයත් ය. සිංහලෙන් අරළු නමින් ස අරාබි, කබාලි ඉංගී්‍රසි - මෙබ්‍රමින්- මයිරො- බලන්ගෝල් නම් දෙමළ කටුක්‌කායි යනුවෙන් ද අරළු හැදින් වේ.

අනුරාධපුර, කුරුණෑගල, උෟව, බින්තැන්න ආදී පළාත්වලද ඉන්දියාවේ මධ්‍යම පළාතේ සහ බංගලිදේශයේද, මදුරාසියේද, බොම්බායේ දකුණු පළාතේ විශාල වනාන්තරවලද වැවෙන ශාකයකි. අරළු කොළ අඟල් පහේ සිට හය දක්වා දිගටද අඟල් දෙකක් තුනක් දක්වා පළලටද වේ. මල් කහ පාටට හුරු සුදු පාටය. 

"භවතේ ජාතා හරිතක්‍ය ස්‌වභාමනඃ හරිති සර්වරෝතෝද්‍ර තේනප්‍රොන්නාහරීතකී" 

විෂ්ණුගේ උයනේ උපන් නිසාද විෂ්ණු හා සමාන සුවභාවයක් ඇති නිසාද සියලු රෝග නසන නිසාද අරළුවලට හරිතකී යන විෂ්ණුගේ නාමයම ව්‍යවහාර වේ. සුර අසුර යුද්ධයේදී කිරි මුහුද කළඹා සොයාගත් අමෘතය සක්‌දෙවිඳුන් පානය කරමින් සිටින අවස්‌ථාවේ ඉන් බින්දු හතක්‌ කිරි මුහුදට නොවැටී මිහිකත මත පතිත වූයේ සුළු වැරැද්දකිනි. මෙයින් මහත් කම්පාවට පත් ශක්‍රදේවේන්ද්‍රයා ප්‍රාර්ථනාවක්‌ කළේය. මාගේ පානයට පමණක්‌ ඇති මේ අමෘතය පොළොවට වැටී විනාශ විය. නමුත් එය මිනිසාගේ ප්‍රයෝජනය සඳහාම පවතීවායි පැවසූ නිසා එම බිංදු හතෙන් පහළ වූ අරළු වර්ග හත මෙසේ නමින් හතකින් භාවිත වේඅරළු වර්ග හතක් (7) ආයුර්වේදයේ සඳහන් වේ.
01. රෝහරී - ගෝලාකාරය
02. ප්‍රකනා - ප්‍රමාණයෙන් ලොකුය. රෝහරී වර්ගයට වඩා විශාල වුවත් මාංශ කොටස අඩුය. ඇටය ලොකුය.  

03. අමෘත - මාංශ කොටස වැඩිය. ඇටය කුඩාය.
04. අභයා - අන් වර්ගවලින් වෙනස්‌a වන්නේ එයට සීමා වූ රේඛා පහක්‌ ඇති වූ බැවිනි.
05. මෙනිකා - රේඛා තුනකින් යුක්‌තය.

06. විජය - ඉහටිය සිහින් ව පහටිය මහත්ව, ලබුගෙඩියක ස්‌වරූපයෙන් යුක්‌තය.
07. ජීවන්තා - රන්වන් පාටය


මෙහි දැක්‌වූ වර්ග හතෙන් අගනා වර්ගය විජයාය වන බව ආයුර්වේද සංහිතාවෙහි දැක්වේ. එසේම මේ වර්ග හතෙහි ම ගුණයන් එකිනෙකට වෙනස්‌ බවද එහිම සඳහන් වේ. ආයුර්වේදයේ තිපල් යනුවෙන් හඳුන්වන ඉතා උසස්‌ ඝනයේ ලා සලකන අරළු යෙදා ගෙන ඖෂධ රාශියක්‌ නිපදවයි. අරළු 1, බුළු 02 යි. නෙල්ලි 03 යි යන අනුපාතයට තිවර්ගයේ කුඩු, ගිතෙල් හා මීපැණි දමා අඹරා ලෝහ තැටියක පවනේ වියලා වෙරළු ඇටයක ප්‍රමාණයේ ගුලි කර එක ගුලිය බැගින් උදය, සවස පාවිච්චි කළහොත් සියලු රෝගවලින් වැලකී සිටීමට හැකි බැව්, අති පූජ්‍ය ගෞරව බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්‌වාමින් වහන්සේ පිටපත් කර ඇති හස්‌ථසාර පොතෙහි සඳහන්ව තිබේ. අරළු කැබැල්ලක්‌ මුඛය තුළ තබාගෙන සිටීමෙන් මුඛරෝග කට ගඳ ගැසීම, විදුරුමස්‌ යවීම, කිසි නක සිදු නොවීs කටහඬ ද මිහිsරි වන බැව් ආයුර්වේද පොත්වල සඳහන් වේ.


පුෂ්ප මංජයහි - 50 -100 අතර සංඛ්‍යාවක බීජ ඇතත් ගෙඩිහට ගන්නේ එහි කිහිපයක ය. වසරකට වරක්‌ පමණ හට ගන්නා පුෂ්පය කහ පාටය මිලිමීටර් (3 -4) තුනක්‌ හතරක්‌ පමණ ගැති පෙති පහකි. ඉතා ප්‍රියජනක සුවඳ විහිදුවන මලක්‌ වුවත් සෑම මලකම ගෙඩි හට නොගනී. ගෙඩිය මිලි මීටර් තුනක්‌ හතරක්‌ (03-04) පමණ වූවකි. ඝන වූ මාංශය තුළ වූ ඇටය ද ඉතා තදය. එය තුළ වී ඇටයක පමණ ප්‍රමාණයේ මදයක්‌ තිබේ. මෙම ගෙඩි ඌරා මුවාගේ ඉතාමත් ප්‍රණීත ආහාරයකි. එම නිසාම පැළ හට ගැනීම ඉතා සීමිත ය.

අරළු ගුණ

අරළු රළුය, බඩගිනි වඩයි. අවබෝධ වීමේ ශක්තිය වඩයි. යහපත් සේ පැසවීම කරයි. රසායනයි. ඇසට හිතයි. සැහැල්ලුයි. ආයු වඩයි. වීරිය වඩයි. අර්ශස්, කුෂ්ඨ, ඉදිමුම්, උදර, පණුවන්, ග්‍රහනිය, මල බද්ධය, විසම උණ, ගුල්ම, බඩ පිපුම, පිපාසය ඇඟ කැසීම, හෘදය රෝග සෙංගමාලය, බඩරුජා, පිලාව සහ අක්මාව ලොක් වීම, මුත්‍රා ගල් යන මේ රෝග නැති කරයි.

ආහාර සමඟ අරළු අනුභව කිරීම

අරළු ඥාන ශක්තිය, ශරීර බලය සහ පංචේන්ද්‍රයන් වර්ධනය කරයි. සිත්, සෙම්, වාතා දී ‍ෙදාස් සම්පූර්ණයෙන්ම නැති කරයි. මල මුත්‍රාදිය හොඳින් පහ කිරීමට උදවු කරයි. දවසකට වරක් අරළු ගෙඩියක් සපා ගිලීමෙන් ආයුෂ වැඩි වේ.
අරළු - ඇට මදයේ ගුණය ඇසට හිතයි. වා, පිත්, සෙම් නසයි.
අරළු පාවිච්චි නොකළ යුතු අය සමේ ඇට මිදුලු බිඳුණු අයද, ශක්තිය හීන වූ අයද, ගැබ්ගත් අයද,  අරළු අනුභව නොකළ යුතුය.

අරළු සංයෝග ගුණ

අරළු කුඩු සහිඳ ලුණු සමඟ මිශ්‍රකර දීමෙන් සෙම නසයි. අරළු කුඩු සූකිරි සමඟ දීමෙන් - පිත නසයි. ගිතෙල් සමඟ අරළු කුඩු මිශ්‍රකර දීමෙන් වාතය නසයි. උක් හකුරු සමඟ මිශ්‍රකර අරළු කුඩු ගැනීමෙන් සියලුම ‍ෙදාස් නසයි.

අරළු සංයෝගයක්

අරළු සහ කරපිංචා නැටි එක වර්ගයෙන් කළං 6 බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳ පෙරා පත 1/2 බැගින් උදේ සවස බීමෙන් අජීරණ දෝස නැති කරයි.

අරළු සංයෝගය කසායක්

අරළු, බුළු, නෙල්ලි, බිං කොහොඹ, කහ, කොහොඹ, රසකිඳ යන මේවා කලං 1යි මදටිය දහහතර (14) බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා කසායට උක් හකුරු සමඟ වරකට පත භාගය බැගින් උදේ සවස බීමෙන් හිසේ පැත්තක හට ගන්නා වේදනා, ඉරුවාරදය, දත් පතුරුගැසී යෑම හා දත් කැක්කුම, නේත්‍රපටලය, ඇසේ සුද සහ ඇසේ සියලුම රෝග නසයි.

හිසේ තුවාලවලට

•    බුහුටියා කොළ, දුම්මල සමඟ අඹරා ගානු. උණුදිය මාත්තුයි.
•    වැල් කැප්පෙටියා කොළ, කපු කොළ, පෙනෙල කොළ කොටා ඉස්ම වත්කරනු පෑහේ.

තුවාලවලට කුඩක්

පිඹුරු ඇට, වරකා පොතු යන දෙවර්ගය කුඩුකර කහ කුඩු සමඟ මිශ්‍රකර කැපුණු කෙටුණු තුවාලවලට බඳිනු.
කැපුණු තුවාලයේ ලේ නතරවීමට
පොල් කටුවේ පිට කුරුටුව, මුව හම්, අළු, මී පැණියෙන් අනා බඳිනු. ලේ වැගිරීම නවතී.

කුෂ්ඨයට

තිත්ත වැල්, අරුළු, දුම්මැල්ල, රතුලූනු, කටුකරෝචන මේවා සමව ගෙන කෂාය කර බොනු. සියලු කුෂ්ඨවලට ලේ ශුද්ධ වීමට යහපති.
දද හා කුෂ්ඨ සුවයට
රත්මල් කැකුළු, කොහොඹ දලු, ඇත්තෝර දලු, කරවිල කොළ යන මේවා දෙහි ඇඹුලෙන් අනා ගානු.

කබරවලට

යකුවනස්ස කොළ, අහු කොළ හා එම ගෙඩි අත් කහ අල හා එම කොළ මේ සියල්ල එක පමණ ගෙන කොටා එළ මුත්‍රයෙන් අඹරා සත්දිනක් බඳිනු.

කබරවලට තෙලක්

නික කොළ, කොහොඹ කොළ එක තරමට ගෙන කොටා ගත් යුෂ නැළියයි, තලතෙල් පතයි, කල්කයට අත්කහ කළං තුනක් අඹරා දමා පදමට තෙල සිඳ ගානු. කබර දුරුවේ.

කබර සුද දුරුවීමට අඳුනක්

මුව අඟ කපා පුලුස්සා ගත් අඟුරු කීකිරිඳිය කොළ, මී පැණි, උක් පැණි, කස පැන් ලෙලි (කුරුම්බා) යුෂෙන් අඳුන් අඹරා ගානු. කබර දුරු වේ.


Thursday, June 11, 2015

ශ්‍රී ලංකා ජාතික ගීය

ජාතික ගීය සෑම රටක ම රටේ ජනතාවගේ ප්‍රෞඪත්වය හා අනන්‍යතාවය තහවුරු කරන සංකේතයක් බවට නිතැතින්ම පත්වී ඇත. ශ්‍රී ලංකාවට ජාතික ගීයක අවශ්‍යතාවය මතුවූයේ 1815 දී සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය පාලනයට නතු වීමෙන් පසුවය. බ්‍රිතාන්‍යයන්ගේ ආභාෂයට අනුව එකල ශ්‍රී ලංකාවේ ජාතික ගීය වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගීයයි. නමුත් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදුණු පසු ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සුරකින ශ්‍රී ලංකාවට ම ආවේණික වූ ජාතික ගීයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය දැඩිව පැන නැඟුණි. මෙය මතුවූයේ විසිවන සියවසේ හතරවන දශකයේ දී ය.  

1815 කුප්‍රකට ඉංගිරිසි-සිංහල ගිවිසුම අත්සන් කිරීමට පෙර අපට ජාතික ගීයක් තිබුණු බවට සඳහනක් නැත. අපට පමණක් නොව ලොව බොහෝ ජාතීන්ට එකල ජාතික ගීයක් තිබුණේ නැත. එහෙත් රාජභවනේ වන්දිභට්ටයන් විසින් රජු උදෙසා ගැයූ ස්ත්‍රෝත්‍ර එකලත් තිබිණි. රජා සහ රදළවරුන් යටතේ අදටත් ජිවත් වන එංගලන්තය වැනි වැඩවසම් රටවල ජාතික ගීය ලෙස රජුට ගැයූ ප්‍රසස්ති තවමත් භාවිත විය. 1745 දී නිර්මාණය කරන ලද මහා බ්‍රිතාන්‍යයේ ජාතික ගීතය ද ලොව පැරණිතම භාවිත ජාතික ගී වලින් ඒකකි. "God save the queen" යන එම ජාතික ගීයේ ඇති සුවිශේෂත්වය වන්නේ ලෝකයේ රටවල් බොහෝ ප්‍රමාණයක මෙම ගීතය ජාතික ගීතය වශයෙන් භාවිතා කිරීම යි. ඊට හේතුව වන්නේ මහා බ්‍රිතාන්‍යය ලෝකයේ රටවල් බොහොමයක්‌ ම යටත් විජිත වශයෙන් ඈඳාගෙන තිබීම යි. එබැවින් යටත් විජිතවල ද ජාතික ගීය එංගලන්ත ජාතික ගීය ම වූයේ ය. 1948 පෙබරවාරි 4 දා ශ්‍රී ලංකාව ඩොමීනියන් නිදහස ලබන තුරුම ජාතික ගීතය වශයෙන් භාවිතා කළේ ද "God save the queen" යන මහා බ්‍රිතාන්‍යයේ ජාතික ගීතය යි. නමුත් 1948 න් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනම ම ජාතික ගීයක අවශ්‍යතාව උද්ගත විය.


1948 ජනවාරි 31 වැනි දින ජාතික ගීයක් තෝරා ගැනීමේ තරඟයක් පවත්වන ලදී. ඒ සඳහා එකල අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ඇම්. ජේ. පෙරේරා යන මහත්වරුද ගීත ඉදිරිපත් කළහ. ආනන්ද සමරකෝන් මහතා වෙනුවෙන් එම මහතාගේ මැතිණිය කැරලයින් ද සිල්වා මහත්මිය ද, " නමෝ නමෝ මාතා " ගීතය ඉදිරිපත් කළාය. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඉදිරිපත් කර තිබුණේ " සිරිලක මාතා නමදිමු සැමදා " ගීතයයි. අවසානයේදී එම විනිසුරු මඬුල්ලේම සිටි පී. බී. ඉංගසින්හ නොතාරිස් රාළහාමි රචනා කළ එහිම විනිසුරුවරයෙකුව ක්‍රියා කළ ලයනල් එදිරිසිංහ මහතා සංගීතවත් කළ " ශ්‍රී ලංකා මාතා පාලා රස මහිමා ජය ජය " ගීතය තරඟයෙන් ප්‍රමුඛස්ථානය ගත්තේ විවේචන රැසකට භාජනය වෙමිනි. එහි "න" අක්ෂරය අපාය අක්ෂරයක් වීමත් ආරම්භක ගණය අනිටු ගණයක් වීමත් භක්ති රසය ජනනය වීමත් ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය. 1962 වන විට එය වර්ධනය වෙමින් හුවා දැක්වූයේ ඩී. එස්. සේනානායක වියෝව, ඩඩ්ලි සේනානායක රජයේ බිඳ වැටුම හා එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනය වැනි දේ සිදු වූයේ මෙම ගීයේ මුල් අකුර නිසා බවය. මෙය හමුවේ 1962 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් ජාතික ගීයේ මුල් පද පෙළ වෙනස් කලේ එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් ශූරීන් නොවිමසමනි. තමන් රචනා කල ගීයට විරුද්ධ බලවේග වලට එරෙහි වෙමින් සමරකෝන් ශූරීන් විවිධ පරිශ්‍රම දැරූ අතර ගීය වෙනස් කලහොත් සිය දිවි නසාගන්නා බවට බලධාරින් වෙත දන්වා තිබිණි. මහත් සිත් තැවුලට පත් හෙතෙම එම අයුරින් ම 1962 අප්‍රේල් 5 දින සිය දිවි හානි කර ගත් බව පැවසේ. ලංකාවට පැමිණෙන සෑම ව්‍යසනයක්ම මේ ගීයේ ගණ දෝෂ හේතුවන් වන බවට එකල සමහරු ප්‍රචාරයක් ගෙන ගියහ. ජාතික ගීයක් තෝරා ගත් පසුව ද තවත් අවුරුදු විස්සක් පුරාවට ම අප එංගලන්ත රාජිණියගේ යටත් වැසියන් වීමු. එහෙත් මෙම ගීයට පැවති විවේචන සැමදා තිබිණි.


ආනන්ද සමරකෝන් මහතා 

ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘආනන්ද සමරකෝන් මහතා
1911 ජනවාරි 13 වැනි දින උපත ලද මොහු මුල් කාලයේ හැඳින්වූයේ ජෝර්ජ් සමරකෝන් ලෙසය. සංගීතයට උපන් හපනෙක් විය. අධ්‍යාපනය නිමවා කෝට්ටේ ක්‍රිස්තියානි විදුහලේ චිත්‍ර කලා ගුරුවරයා ලෙස 23 විය තෙක් සේවය කොට 1936 දී ඉන්දියාව බලා ගියේ චිත්‍ර කර්‍මය හා සංගීතය ඉගැනීමටය. වසර 05 ක දැනුම මාස 06 කින් නිමවා එන විට ඔහු ආනන්ද සමරකෝන් ලෙස නම වෙනස් කළේය. 1939 දී ගීත ගායනයට යොමු වූ මෙම ශූරීන් වැඩිමනක් ගැයූ ගීතවල පදමාලාව , තනුව, ස්වතන්ත්‍ර නිර්මාණ විය. එකල උපදේශාත්මක ගීත, ආගමික ගීත ආකෘතීන්ගෙන් මිදී ප්‍රේම ගීත ගායන‍ය‍ට මොහු පුරෝගාමීත්වය සැපයීය. ආනන්ද සමරකෝන් මහතාගේ නාට්‍ය ගී දෙස්‌ විදෙස්‌ සම්භාවනාවට පාත්‍ර වූ ඔහුගේ ළමා කව් ගී සංගීත භාවිතය ද මෙහි සංගෘහිතය. භාරත ගීත කෝකිළා ලතා මංගේෂ්කාර් ගැයූ සිංහල ගීත කිහිපය (සැඩ සුළං චිත්‍රපටය සඳහා) ලිවීමේ භාග්‍යයද උදාකර ගත්තේ ආනන්ද සමරකෝන් විසිනි. ලතා මංගේෂ්කාර් ගැයූ ශ්‍රී ලංකා - මාතා.... මා ප්‍රියාදරී ජයභූමි ජයභූමී...... ජයභූමී ශ්‍රී ලංකා ඉදිරියටා යමු සැවොමා නිදහස ලබනට බැමි සිඳදා (ලතා මංගේෂ්කාර් මොහිදීන් බෙග්) පෙම් කැකුළ පිපී එන විට මහදේ (යමුනා රාණී සහ ඒ. ඇම් රාජා) ගමන දුර නිසයි. සී පද කියන්නේ.... (ආනන්ද සමරකෝන්) මෙන්ම මන රංජන දර්ශනීය ලංකා (සුජාතා) පොඩි මල් එතනෝ... ඇසේ මධුර ජීවනයේ ගීතා..... නාමුqකෝ කිමිදී සීතල ගඟුලේ..... පුංචි සුදු සුදු කවියා ඇති සියලුම චිත්‍රපට හා සෙසු ගී රචනා තනු රචනා (ස්‌වර ප්‍රස්‌තාරද සමඟ) ද කළේය.

ආනන්ද සමරකෝන් මහතා තම අත් අකුරින් ලියූ ලංකා ජාතික ගීය
 
මේ උද්ගෝෂණ අවසාන කරමින් 1948 පෙබරවාරි 4 වැනි දින පැවති පළමු නිදහස් උත්සවයේ දී ගායනා කරනු ලැබුයේ මෙම ගීතයයි. නමුත් දෙවන නිදහස් දිනයේදී ගායනා කරනු ලැබුයේ " නමෝ නමෝ මාතා" යන ආනන්ද සමරකෝන් ශූරීන්ගේ ගීතයයි. 1950 අප්‍රේල් මස මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ඇමති මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් 1951 නොවැම්බර් 22 වැනි දින නිළ ජාතික ගීය ලෙස "නමෝ නමෝ මාතා" යනුවෙන් ඇරඹුණු ජාතික ගීයේ මුල් පද පෙළ වෙනස් කරමින් "ශ්‍රී ලංකා මාතා" ලෙස යෙදීමට එවකට පැවති රජය විසින් තීරණය කෙරිණි. ඒ අනුව මෙම 1948 දී පැවති තරඟයේදී ඉදිරිපත් කළ " නමෝ‍ නමෝ මාතා " ගීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ දී ප්‍රථමයෙන් ගායනා කොට එච්. එම්. වී. තැටියකට තැටිගත කරන ලදී. ඒ සඳහා සීදුව අන්ධ විදුහලේ සිසුන් ගායනයෙන් දායක වී ඇත. ඒ අනුව ජාතික ගීයේ සම්පුර්ණ වාදන කාලය ලෙස මිනිත්තු 2යි තප්පර 19ක්‌ ලෙස සඳහන් වේ. 1955 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ දී දෙමළ භාෂා මාධ්‍යයෙන් තැටි ගත කරන ලදී. එය ගායනා කළේ මීනා හා සංගරී යන දෙදෙනා විසින් බව සඳහන් වේ.එය එදින ගුවන් විදුලිය මගින් විකාශනය කළ බව ද සඳහන් වේ. එම වකවානුවේ ඇති වූ යම් යම් තත්ත්වයන් අනුව ජාතික ගීයේ දෙමළ මාධ්‍ය විකාශනයට කිසියම් විරෝධයක්‌ එල්ල වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 7 වන වගන්තිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙහි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 7 වන වගන්තියෙහි දැක්වෙන්නේ, "ශ්‍රී ලංකා ජනරජයෙහි ජාතික ගීය "ශ්‍රී ලංකා මාතා" වන අතර, එහි පද හා සංගීතය තුන්වන උප‍ලේඛනයෙහි දක්වා ඇති පරිදි වෙයි" යනුවෙනි. එම තුන්වන උපලේඛනයෙහි සංගීත විස්තාරයට අනුබද්ධව ඉංග්‍රීසි අකුරෙන් ජාතික ගීයෙහි සිංහල පද ලියා දක්වා ඇති අතර ජාතික ගීයේ කුමන කොටස් තුමන අවස්ථා වලදී භාවිතා කල යුතුද යන බව හා එය වාදනය කල යුත්තේ ‍කුමන ආකාරයටද යන්න දක්වා ඇත.

ජාතික ගීයෙහි සංශෝධන

ජාතික ගීයේ "ගණ" පිළිබඳ ගැටලුවක්‌ පවතින බවත් නමෝ නමෝ මාතා යන්න අපායාක්‌ෂරවලින් ආරම්භ වන බවත් එමගින් රටට හා ජනතාවට මෙන්ම ආණ්‌ඩුවට ද අපලදායක තත්ත්වයක්‌ උද්ගත වන බවත් එවක සිටි දෛවඥයෝ පෙන්වා දුන්හ. එය සැලකිල්ලට භාජනය කරමින් 1962 දී "නමෝ නමෝ මාතා" වෙනස්‌ කොට "ශ්‍රී ලංකා මාතා" යනුවෙන් සංශෝධනය කෙරිණි. ඒ බව එවක සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 1962 පෙබරවාරි 03 වෙනි දා නිවේදනය කරන ලදී. මේ සමගම තමා විසින් රචිත ජාතික ගීයට සුවිශාල අසාධාරණයක්‌ කළේ යෑයි සිත් වේදනාවට හා කලකිරීමට පත් ආනන්ද සමරකෝන් මහතා නිදිපෙති පානය කොට සියදිවි නසාගත් බව ද සඳහන් කළ යුතුය. 
 
ජී. ජී. පොන්නම්බලම් මහතාගේ යෝජනාවකට අනුව ජාතික ගීයේ දහවන පේළිය වශයෙන් සඳහන් වන "නැවත අප අවදි කරන් මාතා" වෙනුවට "නීතින අප පුබුදු කරන් මාතා" යන්න ඇතුළත් කොට සංශෝධනය කරන ලදී. "එක මවකගේ දරු කැළ බැවිනා" යන්න "එක මවකගේ දරු කැළ ලෙසිනා" යන්නෙන් සංශෝධන අපේක්‌ෂා කළත් මුල් රචනය වන "එක මවකගේ දරුකැළ බැවිනා" යන්නම පැවතිය යුතු බවට 1952 ජනවාරි 4 වෙනි දා දින පැවති කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කොට තිබේ.

වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත ජාතික ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබී ය.

තේමාව

මෙම දේශානුරාගී ගීතයේ තේමාව වන්නේ “ස්වභාව ධර්මයේ දායාදයන්ගෙන් පරිපූර්ණ මගේ මව් රට අපේ ජීවනාලෝකයයි; ශක්‍තිය හා ප්‍රාණයයි; අපේ ජීවනය ඔබ සතුයි; ලක් දරුවන් වන අප වාදභේද දුරලා සමගියෙන් දියුණුව කරා පිය නගමු“ යන්නයි.

ගරු කිරීම

  • නිදහස් උළෙලේදී ගායනා කරයි.
  • ජාතික උත්සවවලදී ගායනා කරයි.
  • ගායනා කරන හෝ වාදනය කරන විට අසුන් වලින් නැගී සිටිය යුතුය.
  • ගායනා කරන හෝ වාදනය කරන විට සීරුවෙන් සිට ගරු කළ යුතුය.
  • ගායනයෙන් හෝ වාදනයෙන් පසු සියළු දෙනාම හිස නමා ආචාර කළ යුතුය.
ජාතික ගීය ගායනා කරන විට නිශ්ශබ්ද ච සංවර ව සීරුවෙන් සිටිමින් ජාතික ගීයට ගරු කළ යුතු ය.

ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්‍තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්‍ති
අප හද තුළ භක්‍තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්‍තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජයභූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා

අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ජාතික ගීයේ දෙමළ පද

ஸ்ரீ லங்கா தாயே - நம் ஸ்ரீ லங்கா 
நமோ நமோ நமோ நமோ தாயே
நல்லெழில் பொலி சீரணி 
நலங்கள் யாவும் நிறை வான்மணி லங்கா 
ஞாலம் புகழ் வள வயல் நதி மலை மலர் 
நறுஞ்சோலை கொள் லங்கா 
நமதுறு புகலிடம் என ஒளிர்வாய் 
நமதுதி ஏல் தாயே 
நமதலை நினதடி மேல் வைத்தோமே 
நமதுயிரே தாயே - நம் ஸ்ரீ லங்கா 
நமோ நமோ நமோ நமோ தாயே
நமதாரருள் ஆனாய் 
நவை தவிர் உணர்வானாய் 
நமதோர் வலியானாய் 
நவில் சுதந்திரம் ஆனாய் 
நமதிளமையை நாட்டே 
நகு மடி தனையோட்டே 
அமைவுறும் அறிவுடனே 
அடல்செறி துணிவருளே - நம் ஸ்ரீ லங்கா 
நமோ நமோ நமோ நமோ தாயே
நமதோர் ஒளி வளமே 
நறிய மலர் என நிலவும் தாயே 
யாமெல்லாம் ஒரு கருணை அனைபயந்த 
எழில்கொள் சேய்கள் எனவே 
இயலுறு பிளவுகள் தமை அறவே 
இழிவென நீக்கிடுவோம் 
ஈழ சிரோமணி வாழ்வுறு பூமணி 
நமோ நமோ தாயே - நம் ஸ்ரீ லங்கா 
நமோ நமோ நமோ நமோ தாயே


ජාතික ගීයේ අයිතිය, උරුමය එක්‌ ජාතියකට පමණක්‌ සීමා නොවේ. එය සමස්‌ත ජාතියේම ගීය විය යුතුය. ජාතික ගීයේ අයිතිය දේශයට ම විය යුතුය. එබැවින් ජාතික ගීය සමස්‌ත ජාතියේම, සමස්‌ත දේශයේම අභිමානයේ ගීතය විය යුතුය. ශ්‍රී ලංකාව යනු, පසුගිය දශක හතරකට ආසන්න කාලයක්‌ යුධමය අභියෝග වලින් ගහනව පවතී රටකි. සමස්‌ත ලාංකීය ජනතාවගේ විවිධ කැපකිරීම් මත එම මහා ව්‍යසනය නිමා කිරීමට හැකි විය. ලබා ගත්තා වූ සමස්‌ත ජාතියේම ජයග්‍රහණය තව දුරටත් තහවුරු කොට ආරක්‌ෂා කිරීමට හැකිවන්නේ, සියලු ජනවර්ග වල එකමුතු භාවය තවදුරටත් සුරැකිව තහවුරු කරගතහොත් පමණි. ඒ සඳහා අෙන්‍යාaන්‍ය ගෞරවය, සුහදතාව, මිත්‍රශීලී භාවය හා විශ්වාසය සියලු ජාතීන් අතර වඩා තීව්‍ර ලෙස ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. අප රටේ මූලික නීතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ අර්ථ කථනය කොට ඇත. රටේ සෑම පුරවැසියෙකුම එම මූලික නීතිය ආරක්‌ෂා කිරීමට නිතැතින්ම බැඳී සිටි යි. ජාතික ගීය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන වලට යටත්ව කටයුතු කිරීමට අනිවාර්යයෙන්ම සිදු වේ. ලංකාවේ ජාතික ගීය ද්වී භාෂාවෙන් ගායනා කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් නියමාකාරයට බලය පවරා ඇත. එය එසේ තිබිය දී ජාතික ගීය සම්බන්ධයෙන් නිවැරදි නොවන ක්‍රමයක්‌ අනුගමනය කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ ලෙස අර්ථ නිරූපණය කළ හැක. එක ජාතිකත්වයක අයිතිවාසිකම් ආරක්‌ෂා කළ යුත්තේ, තවත් ජාතිකත්වයක අයිතිවාසිකම් අහෝසි නොවන අයුරින් ය. එබැවින් කරුණු තවදුරටත් අධ්‍යයනය කොට, සියලු ජාතිකත්වයන්ටම සර්ව සාධාරණය ඉටුවන අයුරින් ජාතික ගීය ගායනය සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන්, මාතෘභූමියට තවතවත් ජයග්‍රහණ අත්පත් කරගත හැක.

Tuesday, June 9, 2015

උතුරු කටුව

පා ගමනක් අරඹන ස්ථානය නිශ්චය කරගැනීම නම් අපහසු දෙයක් නොවෙයි. ඒහෙත් වනගත ගවේෂණයක දී ගමන්ගන්නා දිශාව බාලදක්ෂයින් විසින් නිෂ්චය කරගත්තේ කෙසේද? 

මාලිමාවෙහි ඉතිහාසය

වසර 4000 ක්‌ පමණ වූ වාර්තාගත ඉතිහාසයක්‌ ඇති ලෝකයේ පැරණිම සංස්‌කෘතීන්ගෙන් එකක්‌ අයත්වන්නේ චීන ජාතිකයන්ටය. සුළු ජන කොටස්‌ විශාල සංඛ්‍යාවකින් සමන්විත වුවද චීනයේ ප්‍රධාන වශයෙන් ජාතිය ලෙස සැළකෙන්නේ හැන් ජාතිකයන්ය. ඒ මුළු ජනගහනයෙන් 9/10 ක්‌ම හැන් ජාතිකයන් වන නිසාය. නිපැයුම් ගණනාවක්‌ම පළමු වරට ලොවට හඳුන්වා දෙන ලද්දේද චීනයයි. ඒ අතර මාලිමාව (Compass) ද වෙයි.
මාලිමාවේ නිපැයුම ගැන සඳහන් කිරීමේදී චුම්බක බලය (කාන්දම් බලය Magnetic Power) ගැන නොකියා නොහැකිය. ක්‍රි. පූ. තෙවන සියවස තරම් ඈතදී ලු පියු- වෙයි තම ලිතෙහි Almanac වාර්තාකර තිබුණේ කාන්දම් ගලට (අයස්‌කාන්තයට - Loadstone) යකඩ ඇදගැනීමේ හැකියාවක්‌ තිබෙන බවය. ක්‍රි. පු පළමුවන සියවසේ මුල් භාගයේදී ද්‍රව්‍යවාදී දර්ශනවාදියකු වූ (Matevialist Philosopher) වෑන් චන්, දකුණු දිශාවට හැරෙන්නක්‌ ලෙස කාන්දම් ගල නිරීක්‍ෂණය කර තිබිණි. ඒ අනුව එහි චුම්බක ධ්‍රැවීයතාවය (Magnetic Polarity) ඒ වනවිට හඳුනාගෙන තිබූ බව පෙනේ.

චීනය පළමුවැනි නියම මාලිමාවක්‌ තනන ලද්දේ චින් රාජවංශික (ක්‍රි. පූ 221 -207) සමයේදීය. කෙණෙස්‌සක (ladle) හැඩයට කපා ගන්නා ලද කාන්දම් ගල් කැබැල්ලක්‌ කවාකාර ලෝකඩ තැටියක්‌ මත සංතුලනය කිරීමෙන් මාලිමාව තනා ඇත. කෙණෙස්‌ස යනු හැන්දක හැඩයට තැනූ භාජනයකි. මෙම තැටිය හතරැස්‌ තැටියක්‌ තුළ සවිකෙරිණි. කවාකාර තැටිය අහස නිරූපණය කළ අතර හතරැස්‌ තැටිය පොළොව නියෝජනය කළේය. එහි දිශාවන් ලකුණු කළ කොටස්‌ 24 ක්‌ කැටයම් කර තිබුණේය. කරකැවූ විට කෙණෙස්‌ස නතරවූයේ දකුණු දිශාවට හැරෙමිනි. මෙම උපකරණය මුලදී ගොඩබිම් දිශාවන් හැඳිනීම සඳහා භාවිත කළේය. පස්‌වන සියවසේ මුල් කාලය වන විට චීන යාත්‍රාවන්හිද එය භාවිත කෙරිණි. ඉපැරණි (මුල්ම) දක්‍ෂිණ දිශාව හඳුන්වන මාලිමාව අලුතෙන් නිර්මාණය කරනු ලැබීය. ඒ ඉතිහාසඥ චාං ජෙන්සේ පීකිං යකඩ හා වානේ පර්යේෂණ ආයතනයේ ඉංජිනේරුවන් දෙදෙනකු හා සහයෝගයෙනි. තැටියේ පැරණි චීන ජ්‍යෙතිෂයේ දැක්‌වෙන තාරකා මණ්‌ඩල 28 ක්‌ද එහි කොටා ඇත.

සමුදුරු ගවේෂණය

අවුරුදු 3,000කට පෙර, වෙළඳාම් කිරීම සඳහා ෆිනීෂියාවේ නැවියන් මධ්‍යධරණී මුහුදේ නැඟෙනහිර වෙරළබඩ තීරයේ පිහිටි තමන්ගේ මව්බිමේ නැව් තොටුවලින් පිටත් වී වෙළඳ කටයුතු සඳහා යුරෝපයට හා උතුරු අප්‍රිකාවට ගමන් කළා. ක්‍රිස්තු පූර්ව 4වන සියවසේදී, පිතීයස් නම් වූ ග්‍රීක ගවේෂකයෙක් බ්‍රිතාන්‍යය වටා යාත්‍රා කළ අතර ඔහු අයිස්ලන්තයට පැමිණ් බව විශ්වාස කරනවා. ඒ විතරක් නොවෙයි, යුරෝපයේ නැවියන් ඉන්දියන් සාගරයේ සැරිසැරීමට බොහෝ කලකට පෙර, පෙරදිගෙහි විසූ අරාබි සහ චීන නැවියන් එය තරණය කර තිබුණා. ඇත්තෙන්ම, ඉන්දියාවට සේන්දු වූ මුල්ම යුරෝපීය ජාතිකයා වන වස්කෝ ද ගාමා, කරදරයක් නොමැතිව ඉන්දියාවට ගොඩ බැස්සේ අරාබි නැවියෙක් වූ ඉබන් මජිඩ්ගේ උදව් උපකාර ඇතුවයි. දින 23ක් පුරා ඉන්දියන් සාගරය හරහා යාත්‍රා කරමින් නිම කළ එම ගමනේදී, ද ගාමාගේ නැව්වලට මඟ පෙන්වූයේ ඔහුයි.

ඉපැරණි නැවියන් ගමනාන්තය නියම කිරීම සඳහා රඳා පැවතුණේ ස්වාභාවික සංසිද්ධීන් මත පදනම් වූ විශේෂ උපක්‍රමයක් (dead reckoning) මතයි. වර්ෂ 1492දී ක්‍රිස්ටෆර් කොලම්බස් තමා ගමන්ගත් දිශාව නියම කරගත්තේ මාලිමා යන්ත්‍රයක් යොදාගෙනයි. නමුත් යුරෝපයේ මාලිමා යන්ත්‍ර ලබාගත හැකි වූයේ ක්‍රි.ව. 12වන සියවසේ සිට පමණයි. ඊට කලින් සිටම මාලිමා යන්ත්‍රවල උපකාරය නොමැතිව නැවියන් මහ මුහුද තරණය කර තිබුණා. ඔවුන් එසේ කළේ හිරු සහ තරු ආධාර කරගනිමිනුයි. අහස වලාකුළුවලින් වැසී ගිය අවස්ථාවලදී, අඛණ්ඩව හැමූ සුළං ප්‍රවාහ හේතුවෙන් විටින් විට ඇති වන දැවැන්ත රැළි දෙස බලමින් නැවියන් තම ගමන් මඟ සකසාගත්තා. ඔවුන් මෙසේ කළේ, හිරු සහ තරු පායන විටත් බැස යන විටත් මෙම රැළි පිහිටා තිබුණේ කොහොමද කියා කලින් අවබෝධ කරගැනීමෙනුයි. ඉන්පසු, ඔහු මුහුදු සිතියමක් ආධාරයෙන් ඔහු ගිය ගමන ගමනාන්තය දක්වා රේඛාවකින් ලකුණු කළා.

සාගර ප්‍රවාහයන් නිසාත් හරහට සුළං හමන නිසාත් නැව ගමන් මඟෙන් ඉවතට ගහගෙන යෑමට ඉඩ තිබුණ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා, නැව නිසි දිශාවේ රඳවාගැනීමට සුක්කානම සකස් කිරීමට සිදු වූ අතර නැවියා එම සකස් කිරීම් විටින් විට ගණනය කර සටහන් කරගත්තා. ඔහු කලින් දවසේදී නතර කළ තැන සිට ආපසු මැනීමට, ගණනය කිරීමට හා කොතෙක් දුරට ගමන් කර ඇද්ද කියා සටහන් කිරීමට පටන්ගත්තා. මෙය දවසක් නෑර සිදු කළ දෙයක්. නැව අන්තිමේදී නැංගුරම් ලෑ විට දිනපතාම සිතියම මත සටහන් කරගත් මෙම දත්ත මගින් එම ගමනාන්තයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව ස්ථිර වාර්තාවක් සැපයුවා. ස්වාභාවික සංසිද්ධීන් පදනම් කරගෙන ගමනාන්තය නියම කරගත් මෙම උපක්‍රමය යොදාගනිමින් තමයි කොලම්බස් අවුරුදු 500කට කලින් ස්පාඤ්ඤයේ සිට උතුරු අමෙරිකාව දක්වාත් ආපසු ස්පාඤ්ඤය දක්වාත් යාත්‍රා කිරීමට සමත් වුණේ. ඔහු ඉතාමත් සුපරීක්ෂාකාරීව සටහන් කරගත් සිතියම්වල දත්ත යොදාගනිමින් නවීන දින නැවියන්ටත් පුළුවන් එම විශිෂ්ට මුහුදු ගමන අත්හදා බලනු ලැබුවා.

හිරු සහ තරු ආධාරයෙන් දිසා සෙවීම

හිරු නැග්ම හා බැස්ම මගින් නැඟෙනහිර හා බස්නාහිර නිශ්චය කරගත හැකි වුණා. අලුයමේදී, නාවිකයන්ට පුළුවන් වුණා හිරුගේ පිහිටීම කොතෙක් දුරට වෙනස් වී තිබුණාද කියා නිශ්චය කරගැනීමට. ඔවුන් එසේ කළේ නිවී යන තාරකාවන් සමඟ හිරුගේ පිහිටීම සංසන්දනය කිරීමෙනුයි. රාත්‍රියේදී පෝලාරිස් නම් වූ ධ්‍රැව තරුව දෙස බලා ඔවුන් සිටින්නේ කොතැනද කියා නිශ්චය කරගැනීමට ඔවුන්ට හැකි වුණා. එසේ කිරීමට හැකි වූයේ අඳුර වැටීගෙන එද්දී, එම තාරකාව හරියටම උත්තර ධ්‍රැවයට ඉහළින් පෙනෙන්න තිබෙන නිසයි. දකුණට වෙන්න දකුණු කුරුසිය නම් වූ දීප්තිමත් තාරකා මණ්ඩලයක් ආධාරයෙන් ඔවුන් දක්ෂිණ ධ්‍රැවයේ පිහිටීම හඳුනාගත්තා. ඉතිං පැහැදිලි රාත්‍රියකදී, ඕනෑම තැනක යාත්‍රා කරමින් සිටි නාවිකයෙකුට පුළුවන් වුණා අඩුම තරමින් එක් ආකාශ වස්තුවක්වත් ආධාර කොටගෙන ඔහු ගමන් කරන දිශාව නිගමනය කිරීමට. නමුත් අහස්තලයේ මාර්ගෝපදේශ ලෙස ක්‍රියා කළේ එම වස්තූන් කිහිපය පමණක් නොවෙයි. පැසිෆික් සාගරයේ සැරිසැරූ පොලිනීසියානුවන් හා වෙනත් අය මාර්ග සිතියමක් කියවන්නා හා සමානව අහසේ වස්තූන් පරීක්ෂා කර බැලුවා. ඔවුන් භාවිත කළ එක් උපක්‍රමයක් වූයේ ගමන් කිරීමට බලාපොරොත්තු වූ දිශාවේ ක්ෂිතිජයේ පායන හෝ බැස යන තාරකාවක පිහිටීම දෙසට තම ගමන් මඟ නියම කිරීමයි. එම නැවියන් තමන් නිවැරදි දිශාවේ ගමන් කරනවාද නැද්ද යන්න නිශ්චය කරගැනීමට රාත්‍රිය පුරාම අනිත් තාරකාවල සාපේක්ෂ පිහිටීමද සෝදිසි කර බැලුවා. ඔවුන් වැරදි දිශාවේ ගමන් කළ විට තාරකාවල පිහිටීම මගින් එය හෙළි වුණා.

ඔවුන් යොදාගත් මෙම උපක්‍රමය කොයිතරම් නිවැරදි එකක් වූවාද? පෘථිවියේ කෙළවරට ගොස් වැටේවි යන බිය නිසා යුරෝපයේ නාවිකයන්ට මහ මුහුදේ සැරිසරන්න තරම් නිර්භීතකමක් නොතිබූ කාලෙක පැසිෆික් රටවල විසූ නැවියන් ඉතා කුඩා දිවයින් අතරින් යාත්‍රා කරමින් මහ මුහුදේ දීර්ඝ ගමන්වල යෙදුණු බව පෙනී යනවා. උදාහරණයක් කිව්වොත්, අවුරුදු 1,500කට පෙර පොලිනීසියානුවන් මාර්කීස් දූපත්වල සිට නැඟෙනහිර දෙසට දැවැන්ත පැසිෆික් සාගරය හරහා යාත්‍රා කළා. හවායි දූපත්වලට සේන්දු වූ විට ඔවුන් කිලෝමීටර් 3,700ක් දුර ගමන් කර තිබුණා! පොලිනීසියානුවන් හවායි සිට ටහීටි දක්වාත් ආපසු හවායි දක්වාත් මුහුදු ගමන්වල යෙදුණු බව දූපත් වැසියන්ගේ ජනප්‍රවාදවල කියැවෙනවා. එම වාර්තා නිකම්ම ප්‍රබන්ධයන් බව සමහර ඉතිහාසඥයන් පවසනවා. එහෙත් නවීන උපකරණ යොදාගන්නේ නැතුව මුහුදු රැල්ල, තාරකා හා වෙනත් ස්වාභාවික සංසිද්ධීන් යොදාගනිමින් නවීන දින නාවිකයන් එම මුහුදු ගමන්වලම යෙදී තිබෙනවා.

සුළං ආධාරයෙන් දිසා සෙවීම

රුවල් නැව් මුළුමනින්ම රඳා පැවතුණේ සුළඟ මතයි. සුළං පිටුපසින් හැමූ විට නැව ඉතා පහසුවෙන්ම ඉදිරියට ඇදී ගියා. එහෙත් ඉදිරියෙන් සුළං හැමූ විට ගමන අඩාළ වුණා. සුළඟ හැමුවේ නැත්නම් ගමන ඇණ හිටියා. සමකය ආශ්‍රිතව හමු වන ඩොල්ඩ්‍රම් නැත්නම් නිර්වාත තීරයට අවතීර්ණ වූ නැවියන් මෙය බොහෝවිට අද්දැක්කා. කල්යත්ම, නැවියන්ට පුළුවන් වුණා නිතරම හමන සාගර සුළං හඳුනාගැනීමට. නැවියන් මෙම සුළං ඔවුන්ගේ වාසියට හරවාගත් අතර ගැඹුරු මුහුදේ රුවල් නැව්වලට යාත්‍රා කිරීම සඳහා ප්‍රධාන මාර්ග පිහිටුවීමට මෙමගින් හැකි වුණා.

අහිතකර සුළං නිසා දුෂ්කරතා පමණක් නොවෙයි, මරණය පවා අද්දුටු බව නොකිවමනායි. මෙයට උදාහරණයක් වන්නේ, 1497දී ද ගාමා පෘතුගාලයේ සිට ඉන්දියාවේ සුප්‍රසිද්ධ මලබාර් වෙරළ දක්වා ගිය ගමනයි. නිතරම හමන සුළං ඔහුව දකුණු අත්ලන්තික් සාගරයට ගෙන ගිය අතර ඉන්පසු ආපස්සට, එනම් ගිනිකොන දෙසටද අප්‍රිකාවේ ශුභ ප්‍රාර්ථනා තුඩුව වටාද ඔහුව ගෙන ගියා. ඉන්දියන් සාගරයට ඇතුල් වූ විට ඔහුට මෝසම් සුළංවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙම සුළං ඍතුවෙන් ඍතුවට ප්‍රතිවිරුද්ධ දිශාවලට හමනවා. වසරේ මුලදී ගිම්හාන මෝසම් සුළං ප්‍රවර්ධනය වන්නේ ඉන්දියන් සාගරයේ නිරිතදිග දිශාවෙනුයි. එහි ප්‍රතිඵලයක් හැටියට මාස ගණනාවක් තිස්සේ පාවෙන සියල්ල ආසියාව දෙසට ගහගෙන එනවා. ශරත් ඍතුව අවසන් වෙත්ම සිසිර මෝසම ඇරඹෙනවා. ඊශාන දෙසින් දරුණු ලෙස හමන එම සුළං ආපසු අප්‍රිකාව දෙසටම හමා යනවා. ද ගාමා අගෝස්තුවලදී ඉන්දියාවෙන් පිටත් වූ අතර වැඩි කල් යෑමට පෙර, අහිතකර සුළංවලට මුහුණ දුන්නා. නැඟෙනහිර දෙසට වූ ඔහුගේ ගමන පියවීමට දින 23ක් නොවෙයි මාස තුනක් පමණ ගත වුණා. මෙම ප්‍රමාදය හේතුවෙන් නැවුම් ආහාර ඉවර වූ අතර මේ නිසා ඔහුගේ සෙසු නැවියන් බොහෝදෙනෙකුට ශීතාද රෝගය වැලඳී ඔවුන් මිය ගියා.

ඉන්දියන් සාගරයේ සැරිසැරූ දක්ෂ නැවියන් දිනදර්ශනය මෙන්ම මාලිමා යන්ත්‍රය භාවිත කිරීමට පුරුදු වුණා. ශුභ ප්‍රාර්ථනා තුඩුව හරහා නැඟෙනහිර දෙසට ගමන් කළ නැවියන් ගිම්හානය ආරම්භයේදීම ඉන්දියාවට තම ගමන ඇරඹිය යුතුව තිබුණා. ප්‍රමාද වූ විට හිතකර සුළං හමන තෙක් මාස ගණනාවක්ම බලා සිටීමට ඔවුන්ට සිදු වුණා. අනික් අතට, ගිම්හාන මෝසමෙන් පහර ලැබීමෙන් වැළකීම සඳහා නැව් කපිතාන්වරු ශරත් ඍතුවේ අගභාගය වන විට ඉන්දියාවේ සිට යුරෝපය දක්වා ගමන් කිරීමට පටන්ගත්තා. ඉතිං, ඉන්දියන් සාගරයේ ගමන්ගත් නැවියන් එක් ඍතුවකදී එක් දිශාවකටද අනික් ඍතුවේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටද යාත්‍රා කළ බව දක්නට ලැබුණා. මේ අනුව, යුරෝපයේ හා ඉන්දියාවේ මලබාර් වෙරළ අතර මෙවැනි යාත්‍රා ක්‍රමයක් අනුගමනය කළා.

විභ්‍රම මාලිමා යන්ත්‍රය

කාලය ගෙවී යෑමත් සමඟම නාවික ක්ෂේත්‍රයේ දස්කම් වෙනත් ආකාරයකින් දියුණු වීමට පටන්ගත්තා. යන්ත්‍රෝපකරණ නිපදවීමත් සමඟම පියවි ඇස් හා අනුමාන කිරීම් මත පමණක් රඳා පැවතීම ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. හිරු හෝ වෙනත් තාරකා ක්ෂිතිජයේ සිට කොයිතරම් ඉහළින් පිහිටා ඇද්ද කියා මැනීම සඳහා තරික්සුව (astrolabe) හා ඉන්පසුව වඩාත් නිවැරදි උපකරණයක් වූ ෂෂ්ඨකය (sextant) භාවිත කිරීමට පටන්ගත්තා. එම උපකරණ මගින් නාවිකයන්ට හැකි වුණා සමකයේ සිට උතුරු දෙසට හෝ දකුණු දෙසට තමන් අක්ෂාංශ කීයක් දුරින් සිටිනවාද කියා නියම කිරීමට. නිවැරදි මෙන්ම මුහුදු ගමන්වලට හොඳින් ඔරොත්තු දෙන මුහුදු කාලමානය මගින් දේශාංශ හෙවත් නැඟෙනහිර හෝ බටහිර පිහිටීම නියම කරගැනීමට පුළුවන් වුණා. ස්වාභාවික සංසිද්ධීන් උපයෝගි කරගෙන ලබාගත් තොරතුරුවලට වඩා නිවැරදි තොරතුරු මෙම උපකරණ මගින් ලබාගත හැකි වුණා. අදවන විට විභ්‍රමමාලිමා යන්ත්‍ර (gyrocompasses) චුම්බක කටුවක් නොමැතිව උතුරු දිශාව දක්වනවා. බොත්තම් දෙක තුනක් තද කළ සැණින්ම නාවිකයන්ට පුළුවන් ජාත්‍යන්තර නාවික ගුවන්විදුලි පද්ධතියකට (Global Positioning System) සම්බන්ධ වී තමන්ගේ පිහිටීම අකුරටම දැනගන්න. කඩදාසි සිතියම් හා සටහන් වෙනුවට ඉලෙක්ට්‍රොනික තිර මත ප්‍රදර්ශනය වන සිතියම් තිබෙනවා. ඇත්තෙන්ම අද මුහුදු ගමන් අකුරටම නිශ්චය කළ හැකි විද්‍යාත්මක ක්ෂේත්‍රයක් බවට පත් වෙලා. නාවික ක්ෂේත්‍රයේ අද්දැක තිබෙන මෙම දියුණුව ගැන සිතා බලද්දී ඉපැරණි නැවියන් විදහා පෙන්වූ නිර්භීතකම හා දස්කම් නිසා ඔවුන් කෙරෙහි අපට ඇති ගෞරවය දෙගුණ තෙගුණ වෙනවා. ඔවුන් නිම් හිම් නැති ගැඹුරු මුහුදේ යාත්‍රා කළේ හිරු, තරු, රැල්ල හා සුළං පිළිබඳ ඔවුන් සතු දැනුම උපයෝගි කොටගෙන පමණයි.

නූතන මාලිමා යන්ත්‍රය

දිශාවන් සොයා ගැනීමේදී මාලිමා යන්ත්‍රය වටිනා උපකරණයක් බවට පත්වනුෙය් මේ හේතුවෙන්. පෘථිවියෙහි විද්යුත් චුම්භක ශක්තියට අනුව සෑම විටම මාලිමා යන්ත්‍රයේ දර්ශකය උතුරු දිශාවට යොමු ව පවතියි. අංශක 90 කින් නැගෙනහිර ද 180 කින් දකුණ ද 270 කින් බස්නාහිර ද පෙන්වයි. නුතන නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ පියා වන ගැලීලියෝ විසින් ද ව්‍යවහාරික විද්‍යාව හා තාක්ෂණය පිළිබද කටයුතු ය‍ටතේ ගැලීලියෝ විසින් මාලිමා යන්ත්‍ර සැලැස්ම ද වැඩි දියුණු කරනු ලැබුවා. එංගලන්තයේ නිෂ්පාදිත ‘ප්‍රිස්ම මාලිමාව’ හෙවත් ‘ප්‍රිස්මැටික් කොම්පස්’ මේ තත්වයට දියුණු කර තිබෙන්නේ 1940 දී පමණ. අතීතයේ දී මෙය ඉතා කාර්යක්ෂම හා නිවැරදි මාලිමාවක්. පාවිච්චි කිරීමේ අපහසුතා (බර, විශාලත්වය, නඩත්තු වියදම) නිසා අත්හරිනු ලැබුවා. ඊළඟට තමයි ලෙන්සටික් කොම්පස් හදුන්වාදෙනු ලැබුවේ. ඉතා සූක්ෂ්මයි. නිවැරදියි. ක්‍රියාකාරිත්වය ඉගෙන ගැනීමට තරමක් අමාරුයි. මෙය ඇමෙරිකා එකසත් ජනපදයේ නිපැයුමක්. 1935 දී පමණ තමයි මුලින් ම හදලා තිබෙන්නේ. වර්තමානයේදී බාලදක්ෂයන් මෙන් ම යුද හමුදාව විසින් ද පාවිච්චි කරන මාලිමාව වන්නේ ‘සිල්වා මාලිමාව’ කියලයි. මේ මාලිමාවත් 1930 දශකකයේදී පමණ වැඩි දියුණු කල එකක්. මෙය සාදා තිබෙන්නේ ස්වීඩනයේ. ස්වීඩන් භාෂාවෙන් සිල්වා කියන්නේ කැලයටයි. මෙය ඉතා සරල, ඉගෙනීමට පහසු, හැසිරවීමටද පහසු, ඉතා කාර්යක්ෂම මාලිමාවක්.
 

ඉලෙක්ට්‍රොනික් මාලිමා යන්ත්‍ර (Elctronic/Digital Compass)

ජංගම දුරකථන වලට එකතුවෙලා තියෙන සංවේදක (sensor) මගින් අවට පරිසරයේ ඇති චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව හා දිශාව සොයාගන්න පුලුවන්. iPhone 3G s, Nokia N97 වැනි ජංගම දුරකථන වල මේවා භාවිතා කිරීමෙන් ඉලෙක්ට්‍රොනික් මාලිමා යන්ත්‍ර (elctronic/digital compass) දිශාව සොයාගැනීමට යොදාගෙන තියෙනෙවා. තව GPS භාවිතවෙන් මග සොයා ගැනීමේ වැඩ වලටත් මෙවා යොදා ගන්නෙවා. ජංගම දුරකථන වලට වැඩියෙන්ම එකතු වෙල තියෙන්නෙ ත්වරන සංවේදක (accelerometer sensor), ස්පර්ශ සංවේදක (touch sensor) සහ ආලෝක සංවේදකයි (light sensor). දැන් දැන් ජංගම දුරකථන වලට සමීපත් ව සංවේදක(proximity sensor) සහ චුම්භකත්ව සංවේදකත් (magnetometer sensor)එකතුවෙලා තියෙනවා. මේ අතරට විභ්‍රමණේක්ෂ සංවේදකත් (gyroscope sensor) ලගදීම එකතුවෙයි කියලා හිතනවා.


විශේෂ ස්තූතිය පිබිදෙව් හා දිවයින පුවත්පතට අන්තර්ජාලයේ විසිරී අැති තොරතුරු වලට