Translate

Saturday, January 29, 2022

පියසේන වල්පොළ නැමති බාලදක්ෂයා

සෑම වසරකම පෙබරවාරි 22 දින ලෝක බාලදක්ෂ දිනය ලෙස නම් කරන්නේ, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවෙල් මහතාගේ උපන් දිනය පෙබරවාරි මස 22 (1857/02/22) දාට  යෙදී  තිබීම  නිසාය.  එම දිනය  වෙනුවෙන්  මෙලෙස  අතීත  මතක දිගහරිනුයේ (බොරැල්ල) 29  කොළඹ  කණ්ඩායමේ බාලදක්ෂයෙකු ලෙස කටයුතු කළ වර්තමානයේ අසූපස් වියේ පසුවන පියසේන වල්පොළ මහතායි. බාලදක්ෂ ව්‍යාපාරයට සාමාන්‍යයෙන් සාමාජිකයන් ලෙස බැඳෙන්නේ පාසල් වියේ පසුවන ළමයින්ය. නමුත් දහ නව හැවිරිදි වියේදී පියසේන මහතා බාලදක්ෂ ව්‍යාපාරයට බැඳෙන්නේ බන්ධනාගාරගතව සිටියදීය.

 "රටේ දෙමළ කෝලහල පැවැති කාලයේ සිදුවූ සිදුවීමක් නිසා මාත්, මගේ සහෝදරයාත් ඇතුළු කිහිපදෙනෙක්ට සිරගත වෙන්න සිදුවුණ. 1958දී මිනීමැරුමක් පිළිබඳ බොරු චෝදනාවකට, තිස්අට දෙනෙක්ට චෝදනා ගොනු කරලා තිබුණත්, නවදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කළා. අපිට එරෙහිව බොරු සාක්ෂි ලබාදීමක් තිබුණ නිසා අපි හිටියේ තරහෙන්. නිදහසට කාරණා ඇහුවම අපි තරහෙන් නිසා කියන්න දෙයක් නෑ කිව්වා.  

ඒ කාලයේ මම බාල වයස්කාරයෙක් නිසා මාව බාලදක්ෂ ව්‍යාපාරයට බඳවා ගත්තා. ඒ 1960 අවුරුද්දේ. අපිව බාලදක්ෂ ව්‍යාපාරයට බඳවා ගැනීම වෙනුවෙන් බන්ධනාගාරයේ උත්සවයක් පැවැත්තුවා. එයට එවක බාලදක්ෂ කොමසාරිස් ඊ.ඩබ්ලිව්. කන්නංගර මහතාත්, වී.ඒ. සුගතපාල නගරාධිපතිවරයාත් සහභාගි වුණා මතකයි.  එෆ්.ජී. ස්ටීවන් ඒ කියන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ දෙවැනියා ලෙස කටයුතු කරපු මහත්මයාත් ඒ කාලේ වරින් වර ලංකාවට ආවා.” බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වූ ආකාරය පිළිබඳ සිය අතීත මතක ආවර්ජනය කරමින් ඒ මහතා ප්‍රවේශය ගත්තේ එලෙසිනි.

බන්ධනාගාර බාලදක්ෂයෙකු ලෙස ඔහුට රටේ වැදගත් උත්සව රැසකට සහභාගි වන්නට අවස්ථාව ලැබී ඇත. ඒ පිළිබඳව ඔහුට ඇත්තේ ආඩම්බර මතකයකි.

"බන්ධනාගාර බාලදක්ෂයන් විදිහට අපිට රජයේ ආයතනවල විවිධ වැඩසටහන්වලට යන්න සිදුවුණා. බෙඩ්න් පවෙල් සාමිවරයාට පසු බාලදක්ෂ ව්‍යාපාරයේ නායකයා ලෙස කටයුතු කළ චාර්ල්ස් මැකලම් මහතා ලංකාවට පැමිණි වෙලාවේ උත්සවය තිබුණේ බුලර්ස් පටුමගේ. එම උත්සවයට අපි ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන් ලෙසයි සහභාගි වුණේ. 

මැකලම් මහතා අතට අත දෙන ජායාරූපය ගන්නට තිබුණේ වෙනත් කෙනෙක්ගේ. නමුත් එතුමා හරි වේගවත් නිසා ජායාරූපය වැදී තිබුණේ මට අතට අත දෙන විටයි. ඉතින් පත්තරවල පළ වුණේ මගේ ඡායාරූපයක්. හැමෝම කිව්වා මම හරි ලකී කියලා.

බන්ධනාගාර බාලදක්ෂයන් විදිහට අපිව තමයි විවිධ උත්සවවලදී ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවන්නේ. මේ නිසා මට ලංකාවේ වගේම වෙනත් රටවල නායකයන් හා ප්‍රභූන්ගේ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ලංකාවට යූරි ගගාරින් පැමිණි අවස්ථාව හා සිංගප්පූරුවේ එවක අගමැතිවරයාගේ පැමිණීම ඉන් සුවිශේෂයි. ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරක්ෂාවටත් අපිව යෙදෙව්වා. ඒ කාලේ ආත්ම ආරක්ෂක නිලධාරීන් හිටියෙ නැහැ.

රටේ විශ්වාස කරන්න පුළුවන් පිරිසකට හිටියේ බන්ධනාගාර බාලදක්ෂයන්. මොකද කියනවා නම් පිටස්තර සමාජයත් එක්ක අපිට සම්බන්ධතා තිබුණෙ නැහැ. ඒ නිසා ප්‍රභූන් යන එන තැන් පිළිබඳව පිටතට ආරංචි නොවන නිසා අපිව තමයි ආරක්ෂාවට යෙදෙව්වේ.



සිරිමාවෝ මැතිනිය අපිට අම්මා කෙනෙක් විදිහට සැලකුවා. බණ්ඩාරනායක සමාධියේ සමරු තියනකොට අපි තමයි ආරක්ෂකයන් විදිහට සහභාගි වුණේ. ඒ කටයුතු ඉවර වුණාම අපිව වලව්වට එක්ක ගිහින්, අපිත් එක්ක සුහදව කතාබහ කරලා, කෑම බීම පවා ලබාදෙනවා”

හැටේ දශකයේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වූ ඔහු බාලදක්ෂ කඳවුරු 15කට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇත. එම කඳවුරුවලට ලංකාවේ පමණක් නොව, විදෙස් බාලදක්ෂයන් පවා සහභාගි වී ඇත. බන්ධනාගාර බාලදක්ෂයන් යැයි කියා වෙනසක් නොදක්වා, ඔවුන්ට අනෙකුත් බාලදක්ෂයන් මෙන් සමානව සැලකීම් ලැබුණු බවද ඒ මහතා අප සමග පැවසුවේය.

"විවිධ කටයුතු සඳහා සහභාගි කරන බාලදක්ෂයන් 16ක් බන්ධනාගාරයේ හිටියා. මම බාලදක්ෂ ජම්බෝරි 15කට සහභාගි වෙලා තිබෙනවා. අපිව ජම්බෝරිවලට සහභාගි කරන්න බන්ධනාගාර වාහනයකින් ගිහින් දානවා. නැවත ඉවර වෙන දවසට අපිව එක්කන් යන්න එනවා. කොළඹ අවට නම් නිලධාරියෙකු සමග අපිව පයින් යවනවා.


බාලදක්ෂ කඳවුරක් කරන්න ගියාම  මුලින්ම කරන්නේ එතන ශ්‍රමදානයක් කරලා ශුද්ධ පවිත්‍ර කරන එක. ඊට පස්සේ එතන පිවිසුම් තොරණක් සකස් කර ගන්නවා. මේ තොරණ හරි විශේෂයි. මම තමයි තොරන්වල විදුලි බුබුළු සවි කරන්නේ. වරක් මීගමුවේ පැවැත්වූ කඳවුරක හදපු තොරණේ උඩින් නෙළුම් මලක් හැදුවා. නමුත් ඒකෙ පිංගල් එකක් ඕෆ් වෙලා නෙළුම් මල වෙනුවට කුරුසයක් හැඩේටයි ලයිට් පත්තුවෙලා තිබුණේ.

අපි බන්ධනාගාරයේ සිටි අය නිසා බාලදක්ෂ ඉතිහාස තොරතුරු ලබා ගත්තේ අපිට බාලදක්ෂ උගන්වන්න ආපු කොමසාරිස්වරුන්ගේ පාඨමාලාවේදී. අනිත් සියලු විස්තර අපි අපේ අත්දැකීම් වලින් තමයි ලිව්වේ. ආරි කියලා යාළුවෙක් හිටියා. ඔහු හරි දක්ෂයි. ඔහු තමයි අපේ ලොග් සටහන්වල ලස්සනට චිත්‍ර ඇඳලා දෙන්නේ. මම අපේ බාලදක්ෂ කණ්ඩායමේ නායකයා ලෙසත් පත්වුණා.


ඒ වගේම බන්ධනාගාරයේ ඉද්දී මම බර පංති 107 යටතේ බොක්සිං ගැහුවා. ලුවිස් හා මම බොක්සිං තරගෙකට විදෙස්ගත වෙන්න තේරුණා. නමුත් අවසානයේ වෙනත් කෙනෙක් මේ තරගයට යැව්වා. ඔහු තරගයෙන් පරාද වෙලා ආවා. ඉස්සර අපි බොක්සිං ගහනකොට අනුර බණ්ඩාරනායක මහත්තයත් එනවා තරග බලන්න.

අපි වරක් ජ්‍යෙෂ්ඨ බාදලක්ෂයන් සමග නැව්වල චාරිකාවක යෙදුණා. අපි නැවට නැග්ගාම භාජනය බැගින් ලබා දුන්නා. අපිට හැමෝම මූණට මූණ බලාගෙන කතා වුණා මොකටද මේ භාජනයක් කියලා. ටිකක් දුර යද්දි තමයි තේරුණේ නැව්වල යද්දි ඇතිවන කැරකිල්ල නිසා වමනෙ දාන්න තමයි මේ භාජනය දීල තියෙන්නේ කියලා.

අපි හයික් යනකොට බොරැල්ලේ ඉඳන් පිටත් වුණාම අපේ කට්ටියගේ ගෙවල් මගදි හම්බෙනවා නම් ඒවායෙන් තමයි කන්නේ. අපි හයික් යන්න කලින් ලියුම් ලියලා ගෙවල්වලට යවනවා මෙන්න මේ දවසේ අපි ගෙවල් ළඟින් යනවා කියලා. එහෙම යන මග අපේ ගෙවල්වලින් දවල්ට කාල තමයි යන්නේ. රෑ වෙද්දී අපි ඉස්කෝලයක හරි පන්සලක හරි නතර වෙනවා. අපි යන ගමනේ මාර්ග සටහන සලකුණු කරගෙනයි යන්නේ. අපි හැමෝටම පොඩි මාලිමාවක් තිබෙනවා. ඒකෙන් දිශාව බලාගෙන ගමනාන්තයට යනවා.”

බාලදක්ෂයෙකු වුවත්, බන්ධනාගාර බාලදක්ෂයෙක් වීම නිසාම ඔහුගේ අත්දැකීම් අනෙක් බාලදක්ෂයන්ට වඩා වෙනස්ය. විශේෂයෙන් බාලදක්ෂයන් ලෙස ඔවුන්ට බන්ධනාගාරය තුළද යම් යම් රාජකාරි පැවරීම හේතුවෙනි.


 "සිරගෙදර ඉද්දි රටේ ආන්දෝලනාත්මක අපරාධ කරලා සිරගත වුණ අයව දකින්න ලැබුණා. ඉන් එක් අයෙක් තමයි මරදන්කඩවල යකඩයා. ඒ වගේම එල්ලා මරන්න නියම කළ අයට මරණ දණ්ඩනය දෙන විට එල්ලුම් ගහේ හතර පැත්තේ මුර කරන්නත් බන්ධනාගාර බාලදක්ෂයන් තමයි යොදා ගත්තේ. මේ රාජකාරී කටයුතු අතර සුවිශේෂී මතකයක් තිබෙනවා. ඒ තමයි බණ්ඩාරනායක මහතාගේ ඝාතන සිද්ධියට සෝමාරාම කියන කෙනාට මරණද ණ්ඩනය දුන්අවස්ථාව.

බන්ධනාගාර බාලදක්ෂයන් වන අපිවයි සෝමාරාම එල්ලා මරණ අවස්ථාවේ එල්ලුම්ගස අවට ආරක්ෂාවට තිබ්බේ. මේ වගේ මතක බොහෝමයක් බන්ධනාගාර බාලදක්ෂයෙක් විදිහට අපිට තිබෙනවා. පසුව මරණ දණ්ඩන තීන්දුව අහෝසි කරලා අපිව නිදහස් කළා. දැන් මගේ මේ බාලදක්ෂ අතීත මතක සංරක්ෂණය කර ගෙන තියාගෙන ඉන්නේ මගේ පොඩි දුව. බන්ධනාගාරයේ ගත කළත්, බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වීම නිසා ජීවිතේ බොහෝ අත්දැකීම් ලබන්න මට හැකි වුණා.”

පොළොන්නරුව දිය බෙදුමේ පිහිටි සිය නිවසේ සැඳෑ සුවය විඳිමින් සිටින පියසේන මහතාට දීර්ඝායුෂ පතමින් අපි සමුදුන්නේ ඔහු දිගහැරි අතීත මතක පොත මදකට වසා දමමිනි.













 

Tuesday, January 25, 2022

නව ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු සමඟ කළ පිළිසඳරක්

අපි ඕනෑම අභියෝගයක් බාරගන්න සූදානම්
 


ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ජාතික හා අන්තර්ජාතික වශයෙන් මෙතෙක් ලබා ගෙන ඇති ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ. 
 
- ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් ජයග්‍රහණ රැසක් අත්කර ගත්තා
- අපි දරුවන්ට කියන්නේ මේ ව්‍යාපාරයට බැඳෙන්න කියලා
- මේ රට සංවර්ධනය කිරීම අපේ පරම වගකීමක්
- අසූ දාහකට ආසන්න බාලදක්ෂයන් සංඛ්‍යාවක් ඉන්නවා

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය ඔබ දකින්නේ කොහොම ද?

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ ලෝකයේ අනෙක් රටවල් හා සලකා බලන විට ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යන රටක්. හේතුව බාලදක්ෂ ව්‍යාපාරය අපේ රටට ලැබිලා වසර එකසිය දහයක් ගෙවී යමින් තිබිය දී, ඒ කාලය තුළ විශාල ජයග්‍රහණ රැසක් ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් අත්කර ගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ වගේම ලෝකයේ අනෙක් රටවල් සමඟ උරෙන් උර ගැටිලා වැඩ කරන්න පුළුවන් දරුවන් සහ නායකයන් අපේ ව්‍යාපාරයත් සමඟ ඉන්නවා. එම නිසා ගෙවී ගිය කාලය දිහා බලද්දි අපට ආඩම්බර විය හැකි මට්ටමක මෙම ව්‍යාපාරය පවත්වා ගෙන යන්න හැකි වී තිබෙනවා.

අපේ සංගණන අනුව මේ වන විට ව්‍යාපාරයත් සමඟ දරුවන් හැත්තෑ පන්දහසකට අධික පිරිසක් එකතු වෙලා ඉන්නවා. පසුගිය කාලයේ පැමිණි වසංගත තත්ත්වය නොතිබුණා නම් අපට මීට වඩා වැඩි පිරිසක් එකතු කර ගන්න තිබුණා. එහෙත් එය බාධාවක් නොකරගෙන ලබන වසර වන විට බාලදක්ෂ බාලක බාලිකාවන් එක්ලක්ෂ අට දහස් තුන්සිය පනහක් දක්වා වැඩි කරන්න සැලසුම් සකස් කරලයි තිබෙන්නේ.

බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ දරුවන් ඒකරාශීව පවත්වා ගෙන යන ව්‍යාපාරයක්. එවැනි තත්ත්වයකින් පවත්වා ගෙන යන මෙම ව්‍යාපාරයට කොරෝනා වසංගතයෙන් බලපෑමක් එල්ල වුණේ නැද්ද?

කොරෝනා වසංගතය කියන්නේ ගෝලීය වසංගතයක්. කිසිම කෙනෙක් මීට පෙර එවැනි තත්ත්වයකට මුහුණ දීලා නැහැ. එය ශ්‍රී ලංකාවට ඇවිත් ගත වුණ මුල් දවස් කිහිපය තුළ ඊට මුහුණ දෙන්නේ කොහොම ද කියන ප්‍රශ්නය ආවා. එහෙත් බාලදක්ෂයන් ලෙස අපි ඕනෑම අභියෝගයක් බාරගන්න සූදානම්. ඒ නිසා අපි නායකයන් ලෙස මේ ගැන මුලින් සාකච්ඡා කළා. ඔබ කිව්ව වගේම බාලදක්ෂයෝ කියන්නේ සාමූහිකව, කණ්ඩායම් ලෙස ඒකරාශී වෙලා වැඩ කළ කොටසක්.

එහෙත් අපි කිසිම වෙලාවක ඔවුන්ට පසුබෑමකට ලක් වෙන්න ඉඩ තැබුවේ නැහැ. මාර්ගගත ක්‍රමයට සහ තවත් විකල්ප ක්‍රම භාවිතා කරමින් දරුවන්ට වගේම නායකයන්ට පුහුණු කිරීම් කටයුතු සිදු කළා. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය මාර්ගගත ක්‍රමයට කඳවුරක් පවා පවත්වා ගෙන ගියා. ගෙදර ඉඳන් කඳවුරු බැඳගෙන ගියත් එය සාර්ථකව සිදු කළා. දවසින් දවස එම වැඩපිළිවෙළ සාර්ථක වෙන්න ගත්තා. මුල් දින කිහිපය හැරුණු විට මේ දක්වා අපි ඉතා සාර්ථක ලෙස අපේ පුහුණු වීම පමණක් නෙවෙයි කඳවුරු, වැඩසටහන්, තරග පවා පවත්වන්න කටයුතු කරලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනෑ අපිට එය සාර්ථක කර ගන්න පුළුවන් වුණේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් වගේම මව්පියන් ලබාදුන්න සහයෝගය නිසයි. ඔවුන්ට බාලදක්ෂ සංගමය විදියට අපි අපේ කෘතඥතාවය පළකර සිටිනවා.

මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන්න නායකයන් අවශ්‍යයි. ඔබ සඳහන් කළා නායකයන්ගේ අඩුවක් තිබෙනවා කියලා. ඇයි එවැනි අඩුවක් ඇතිව තිබෙන්නේ?

අපේ ව්‍යාපාරයේ සියයට අනූපහක් පවත්වා ගෙන යන්නේ පාසල් කේන්ද්‍ර කර ගනිමින්. පාසලේ නායකත්වය ගන්නේ ගුරුවරුන්. ගුරුවරු ගොඩාක් පීඩන තත්ත්වයෙන් ඉන්නේ. ඔවුන්ගේ නිවෙස්වල රාජකාරී නිසා මේ සඳහා අමතර කාලයක් යොදා ගන්න ඇතැම් අයට නොහැකි වී තිබෙනවා. එම නිසා මම දිසා කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියා විවෘත බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරන්න කියලා. මේ වන විට හැම දිස්ත්‍රික්කයම එවැනි කණ්ඩායම් ආරම්භ කරලා ඉතා සාර්ථකව පවත්වා ගෙන යනවා. මේ වන විට එම විවෘත කණ්ඩායම් වලත් දරුවන් දෙතුන් දාහක් බැඳිලා කටයුතු කරමින් යනවා. ඒ වගේම පාසල් චක්‍ර ලේඛනවලින් එම කණ්ඩායම් බැඳිලා ඉන්නේ නැහැ. පාසල් වහන්න කිව්වත්, ඒවා කරන්න එපා කිව්වත් විවෘත සමූහවලට එය බලපෑමක් වෙන්නේ නැහැ. එය පවත්වාගෙන යන්නේ එක්කෝ දිසා කොමසාරිස්වරයා යටතේ හෝ නැත්නම් ඊට ආවේණික ස්ථානත් එක්කයි. එහිදී මව්පියන්ගේ කැමැත්ත තිබෙනවා නම් කිසිම ගැටලුවක් නැතුව පවත්වා ගෙන යන්න පුළුවන්. 


 
ඔබ ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ සහ ඒ පිළිබඳව අද්දැකීම් ඇති නායකයෙක්. ඔබට අනුව බලද්දි ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කරද්දි ශ්‍රී ලංකාව කුමන තැනක ද ඉන්නේ?

අද වන විට ලෝකයේ ඇතැම් රටවල සාමාජිකත්වය සියයට තිහකින් හතළිහකින් පමණ අඩු වෙලා තිබෙනවා. ඒ වගේම සියයට තිහකින් හතළිහකින් වැඩි වුණ රටවලුත් ඒ අතර තිබෙනවා. වසංගත කාලයත් එක්ක දරුවන්ට කරන්න දේවල් තිබුණේ නැහැ. එහිදී බාලදක්ෂ ව්‍යාපාරය දරුවන්ට අවස්ථා නිර්මාණය කරලා දුන්නා දිගටම වැඩ කරගෙන යන්න. ඒ කාලය තුළ දරුවන්ට ලබාදුන්න පුහුණුව, නායකත්වය නිසා පාසල් සහ මව්පියන් අවබෝධ කරගෙන තිබෙනවා මෙම ව්‍යාපාරය තමයි දරුවන්ට ඒකාකාරිත්වයෙන් මිදිලා තමන්ගේ නිර්මාණශීලිත්වය ගොඩනඟා ගන්න පුළුවන් හොඳම ව්‍යාපාරය කියලා.

2021 අපි පැවැත්වුවා ප්‍රථම ගෝලීය සංස්කෘතික ජම්බෝරිය. මෙය මාර්ගගත ක්‍රමයටයි පැවැත්වුවේ. මීට රටවල් සියයක පමණ බාලදක්ෂයන් සහ නායකයන් විසි හතර දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වුණා. සමහර අවස්ථාවල දී විනාඩියට මිලියන දෙකහමාරකට අධික පිරිසක් එකතු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව ගැන නොදන්න සහ නොදැන සිටි පිටරටවල දරුවන් අපේ රට ගැන සංස්කෘතිය ගැන, කෑම බීම් ගැන දැනගත්තා. ඒ වගේම අපේ දරුවන්ටත් අවස්ථාව ලැබුණා ඔවුන් නොදන්නා සංස්කෘතීන්, ක්‍රියාකාරකම්. කෑම් බීම් සම්බන්ධයෙන් පමණක් නොවෙයි හැසිරීම් පවා දැන ගන්න. කඳවුරු ගත වෙලා නොහිටියට ඒ දවස් කිහිපය තුළ අත්වින්ද අද්දැකීම් නිසා අපිට එය අවසන් වෙන කොට හිතට ලොකු දුකක් දැනුණා තව දවස් කිහිපයක් පවත්වන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියලා. එම නිසා තමයි මම මුලදිත් කිව්වේ අපේ රට ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කරද්දි ඉහළ මට්ටමක ඉන්නවා කියලා.

බාලදක්ෂයන් කියන්නේ දින සති ගණන් කඳවුරු බැඳ ගනිමින් ක්‍රියාකාරකම්වල යෙදුණු පිරිසක්. එහෙම පිරිසකට මාර්ගගත ක්‍රමයට ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනව ද?

මේ වසංගතය නිසා අපට සාමූහිකව, කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න, කඳවුරු බඳින්න ලැබුණේ නැහැ. මොකද නීතිය විසින්ම එය වළක්වා තිබුණා. අප බාලදක්ෂයන් විදියට කිසිම වෙලාවක නීතිය කඩන්නේ නැහැ. ප්‍රායෝගිකව මුහුණට මුහුණ මුණ ගැසෙන්න බැරි වුණත් මෙම මාර්ගගත ක්‍රමය යටතේ ඔවුන්ගේ ක්‍රියාකාරකම්, ක්‍රීඩා, තරග සහ අනෙකුත් වැඩසටහන් පවත්වා ගෙන යන්න පුළුවන් වුණා. ඒ මඟින් දරුවෝ අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වා ගෙන යන්න හැකියාව ලැබුණා. කඳවුරක ඉන්න අවශ්‍ය පරිසරය සහ වටපිටාව සකස් කර ගන්න පුළුවන්කම ලැබුණා. එලෙස කිසිම අවස්ථාවක් නැතුව හිටිය දරුවන්ට එවැනි ආකාරයට සම්බන්ධ වීමෙන් ජයග්‍රහණ රැසක් අත්කර ගන්න පුළුවන් වුණා. එම නිසා මම විශ්වාස කරනවා අපේ දරුවෝ කඳවුරු නොබැන්දත් ඒ සියලු අත්දැකීම් මාර්ගගත ක්‍රමයට අත්වින්දා කියලා.

ඇතැම් මව්පියන් දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කිරීමක් දකින්නේ නැහැ. ඉන් බාලදක්ෂ ව්‍යාපාරයටත් බලපෑමක් එල්ල වෙනවා නේ ද?

මම එය පිළිගන්නේ නැහැ.මොකද අනෙක් ක්‍රියාකාරකම් ගැන කෙසේ වෙතත් බාලදක්ෂ ව්‍යාපාරයට නම් දරුවන් යොමු කරන්න මව්පියන්ගේ විශාල කැමැත්තක් තිබෙනවා. ඔවුන් දන්නවා අපි සෞඛ්‍ය ක්‍රමවේදයන් වලට අනුකූලවයි මේ සියල්ල කරන්නේ කියලා. ඒ වගේම නායකත්වය, විනය, කණ්ඩායම් හැඟීම, අනෙකාට ගරු කිරී ඇතුළු ගුණාංග රැසක් මින් ගන්න පුළුවන් කියලා මව්පියෝ තේරුම් ගෙන තිබෙනවා. ඒ නිසා මව්පියන්ට ලොකු විශ්වාසයක් තිබුණා මේ ව්‍යාපාරයට යොමු කරන දරුවට කිසි දවසක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඇත්තටම වසංගත තත්ත්වය නොතිබුණා නම් මම කිව්ව ඉලක්කයට යන්නේ 2023 නෙවෙයි ඊට කලින් එය අභිභවා යන්න තිබුණා.

නායකයන්ගේ හිඟය පිරිමසා ගන්න ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සතු වැඩපිළිවෙළ කුමක් ද?

ඒ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. මොකද පාසල් මට්ටමින් වැඩි පුර ක්‍රියාත්මක වෙන නිසා පාසල් ගුරුවරයකු අත්‍යවශ්‍ය වෙනවා සමූහයක් පවත්වා ගෙන යන්න. අපේ නගරබද පාසල්වල ලොකු ගැටලුවක් නැහැ. එහෙත් ගම්බද පාසල්වල තමයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. පොලොන්නරුවේ සේවය කරන ගුරුවරයකුගේ නිවෙස තිබෙන්නේ නුවර වෙන්න පුළුවන්. ඒ ගුරුවරයා බලන්නේ සිකුරාදා හවස ගෙදර ගිහින් සඳුදා උදේ පාසලට එන්න. අන්න ඒ නිසයි අපට ගම්බද ප්‍රදේශවලින් ගුරුවරයෙක් හොයා ගන්න අපහසු වෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රශ්නත් තිබෙනවා. ඒ අය කැමැති උපකාරක පංතියක් කරලා යම් මුදලක් හොයා ගන්න. මොකද මේ ව්‍යාපාරය ස්වේච්ඡා ව්‍යාපාරයක්. ඒ නිසා මේකෙන් ආර්ථික වාසි ලැබෙන්නේ නැහැ. මේ වගේ ගැටලු කිහිපයක් තිබෙන නිසයි නායකයන්ගේ හිඟයක් පවතින්නේ.

ඒ කියන්නේ බාලදක්ෂ ව්‍යාපාරය ස්වෙච්ඡා ව්‍යාපාරයක් නිසා ද ගුරුවරුන් සම්බන්ධ වෙන්න අකැමැති?

අපේ අධ්‍යයනයන්ට අනුව පෙන්වපු දෙයක් තමයි මෙය ස්වෙච්ඡා ව්‍යාපාරයක් නිසා සම්බන්ධ වීමේ යම් අඩුවක් තිබෙනවා කියන එක. ඒ වගේම මෙහි වගකීම් වැඩියි. මොකඳ කඳවුරු ගත කරන කොට ඒ ගුරුවරයා අනිවාර්යයෙන් ඉන්න ඕනෑ. එහෙම ඉන්නවා කියන්නේ ඔහුගේ හෝ ඇයගේ ගෙවල්වල වැඩ තිබුණත් යම් කැප කිරීමක් කරන්න වෙනවා. මේ ව්‍යාපාරය හෘදයවස්තුවත් එක්ක බැඳුනු කෙනකුට එය ගැටලුවක් නැහැ. එහෙත් අලුතෙන් එක්වෙන ගුරුවරයකුට ඒ උනන්දුවේ ප්‍රශ්නයක් තිබෙනවා එහෙම කැප කිරීමක් කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශය අපිට කියලා තිබෙනවා ඉදිරියේ දී ගුරුවරුන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නම් කියලා.

මොකද දැන් ඉන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයත් බාලදක්ෂයෙක්. එතුමන් සහ එතුමන්ගේ කාර්ය මණ්ඩලයත් විශාල ශක්තියක් ලබා දෙනවා අපේ මේ ව්‍යාපාරය දියුණු කරන්න. ඒවගේම හිටපු අධ්‍යාපන ඇමැතිවරුන්, නිලධාරීන් විශාල සහයෝගයක් ලබා දී තිබෙනවා බාලදක්ෂ ව්‍යාපාරය දියුණු කරන්න. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජයෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මෙම ව්‍යාපාරය දියුණු කරන්න.

මේ වන විට ඔබේ ව්‍යාපාරය සතුව බාලදක්ෂයන් කොපමණ සිටිනවද, එය වර්ධනය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබෙනව ද? 

අපේ සංගණනය අනුව 68,000 ක් ඉන්නවා. එහෙත් අපි දන්නවා අසූ දාහකට ආසන්න බාලදක්ෂයන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා. ලියාපදිංචි කිරීමේ ප්‍රශ්න නිසයි නිවැරැදි ගණන් ලැබී නැත්තේ. මම පෙර සඳහන් කළ පරිදි 2023 වන විට අපේ ඉලක්කය එක්ලක්ෂ අටදහස් තුන්සිය පනහක් දක්වා මෙය වර්ධනය කර ගැනීම. මේ අවුරුද්දේම පෝතක අංශය සියයට 35 කින් වර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. පසුගිය වසර සහ මේ වසර සංසන්දනය කරද්දි මේ වන විට සියයට 15 ක වර්ධනයක් තිබෙනවා. කොරෝනා වසංගතයෙන් පස්සේ පාසල් ආරම්භ කිරීමත් සමඟ ඇතැම් පාසල්වල සියය, දෙසිය ගණන් ළමයි බැඳෙමින් ඉන්නවා. අපෙන් ඉල්ලන සාමාජික පදක්කම් සංඛ්‍යාත් එක්ක එය හොඳින්ම තහවුරු වෙලා තිබෙනවා. 2021 වසරේ දී අපි තරුණ වැඩසටහන යාවත්කාලීන කරලා අලුත් තරුණ වැඩසටහනක් ආරම්භ කරලා තිබෙනවා. තිබුණ වැඩසටහන හොඳයි. එහෙත් එය තව තව සංශෝධනයන් කරලා සකස් කරන්න කටයුතු කළා. එය සකස් කරද්දි මූලස්ථාන කොමසාරිස්වරු විතරක් නෙවෙයි දිසා කොමසාරිස්වරු සහ මේ ව්‍යාපාරයට සම්බන්ධ සියලුදෙනා එකතු කරගෙනයි සකස් කළේ. ඒ අනුව 2022 ජනවාරි ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ ඒ වැඩසටහනයි. බාලදක්ෂ දරුවකුට ගන්න පුළුවන් ඉහළම පදක්කම තමයි ජනාධිපති ප්‍රදානය. එහෙත් කාලයක් කැප කරලා එය ලබා ගන්න බැරි වෙන දරුවන්ට නිකම්ම ගෙදර යන්න නොදී ජාතික මට්ටමේ ප්‍රදානයක් හඳුන්වා දෙන්න අප කටයුතු කළා. එය තමයි අගමැති ප්‍රදානය. අගමැතිවරයා අත්සන් කරන ලද සහතික පතක් එක්ක එය ප්‍රදානය කරනවා.

ඔබට හිතෙන්නේ නැද්ද මේ වන විට අනෙක් ව්‍යාපාරවල වගේම බාලදක්ෂ ව්‍යාපාරයෙත් ගුණාත්මකභාවය අඩු වෙලා කියලා?

එය මට හොඳට දැනෙනවා. මොකද මම මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහත්මයගේ නායකත්වය යටතේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස ඉන්න කොටත් ඒ අවශ්‍ය සියලු වෙනස්කම් කරන්න අඩිතාලම දැම්මා. හැම තැනම ඔය කතාව නේ කියන්නේ. මගේ නීති ක්ෂේත්‍රය තුළත් කියන්නේ ඔය දේමයි. අපි එකතු වුණාමත් කියනවා ඒ දවස්වල ඔහොම නැහැ, දැන් එහි ස්ටෑන්ඩර්ඩ් එක බැහැලා කියලා. ඕකට වගකියන්න ඕනෑ ජ්‍යෙෂ්ඨ අපි වගේම අලුත් අය. අපි කනිෂ්ඨයන්ට අවශ්‍ය මඟපෙන්වීම කරලා නැහැ. නායකයාට සියයට සියයක් තමන්ගේ දැනුම වර්ධනය කර ගන්න අකමැති නම් ඔහුගේ භාගෙට තිබෙන දැනුම තමයි යට ඉන්න පිරිසට ලැබෙන්නේ. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම නායකයන්ගේ දැනුම යාවත්කාලීන කරන්න ඕනෑ. එහෙම වුණොත් අපිට පුළුවන් ගුණාත්මක වර්ධනය ඇති කරන්න.

ඉදිරියේ දී මෙම ව්‍යාපාරයට එක්වෙන්න බලන් ඉන්න දරුවන්ට සහ නායකයන්ට ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස දෙන පණිවුඩය කුමක් ද?

මේ රට සංවර්ධනය කිරීම අපේ පරම වගකීමක්. මේ ශ්‍රී ලංකාව අපේ රට. මේ රටේ පුරවැසියෝ විනයානුකූලව ගොඩනැඟීම අපේ යුතුකම. ඒ නිසා අපි දරුවන්ට කියන්නේ මේ ව්‍යාපාරයට බැඳෙන්න. බැඳලා මේ ව්‍යාපාරය ගැන ඔබේ සමීපතමයන් සමඟ සාකච්ඡා කරන්න. ලද හොඳ දේ ඔවුන් එක්ක බෙදා ගන්න. ඒ පිරිස් ව්‍යාපාරයේ නැති වුණත් ඔබ ලබා දෙන හොද දේ ඒ අයට යනවා. ඒ තුළින් විනයානුකූල පුරවැසියන් බිහි කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබට රටට, දරුවන්ට සේවයක් කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. එය පරම යුතුකමක්. ඔබ දැනටමත් බාලදක්ෂ නායකයෙක් වෙලා නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා, පුහුණුව ලබාගෙන බාලදක්ෂ නායකයෙක් වෙන්න. ඒ මඟින් ගුණවත්, බලවත්, නැණවත් දරුවන් පිරිසක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනවා. එය තමයි ඔබේ පරම යුතුකම සහ වගකීම විය යුත්තේ කියලා මා විශ්වාස කරනවා.
 

විශේෂ ස්තූතිය - නුවන් කොඩිකාර
ඡායාරූප සමන්ත වීරසිරි 
dinamina.lk/2022/01/26

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

මෙරට බාලදක්ෂයන්ගේ සංඛ්‍යාව වසර 2023 වන විට එක්ලක්ෂ අට දහසක් දක්වා වර්ධනය කිරීම සිය ඉලක්කය බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

2022 වසරේ බාලදක්ෂ සංගණන පදක්කම සහාය ප්‍රධාන කොමසාරිස් (පරිපාලන) වෛද්‍ය මංජුල සහබන්දු මහතා ප්‍රධාන කොමසාරිස්වරයාට බාලදක්ෂ මුලස්ථානයේදී නිල වශයෙන් පැලඳවීමෙන් අනතරුව පැවැති උත්සවය අමතමින් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා එසේ කියා සිටියේය.

ලෝක බාලදක්ෂ සංගමයේ ඉලක්ක අනුව බාලදක්ෂ සංගණනයන් සිදු කිරීම සියලූ රටවල්වල ජාතික බාලදක්ෂ සංගම් සිදු කරන අතර ඉදිරි වසරේදී බාලදක්ෂ ප්‍රතිශතය ගුණාත්මක හා ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අපේක්ෂා කරයි.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

“ලෝක බාලදක්ෂ සංගමයේ ඉලක්ක අනුව 2023 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ බාලදක්ෂයන් සංඛ්‍යාව 108,000ක ඉලක්කයක් කරා වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. මේ වන විට මෙරට තුළ 65,000ක් පමණ වන බාලදක්ෂ පිරසක් සාමාජිකත්වය දරනවා. කොරෝනා වසංගතය හේතුවෙන් මේ ප්‍රමාණය වර්ධනයට බාධා එල්ල වුණා. එහෙත් කොරෝනා අභියෝගය තරණය කරමින් 2022 වර්ෂයේ වාර්ෂික වැඩ සැලැස්ම නිර්මාණය කර තිබෙනවා. මෙම කාර්යයභාරයේදී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ කොමසාරිස්වරුන් ප‍්‍රමුඛ සියලූ ජාතික හා දිස්ත්‍රික් කොමසාරිස්වරුන් එක පවුලක් ලෙස බාලදක්ෂ ව්‍යාපාරය හරහා අනාගත දරුවන් යහපත් මාර්ගයට ගැනීම උදෙසා පෙළගැසී සිටිනවා.”

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස්, බාලදක්ෂ විධායක කමිටු සභාපති නිතීඥ කපිල කල්‍යාණ පෙරේරා මහත්වරු ඇතුළු බාලදක්ෂ කොමසාරිස්වරු සහ සංගමයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

Monday, January 17, 2022

ෆැන්කි බ්‍රවුන් නම් මැෆ්කින් ශිෂ්‍යභටයා - Mafeking cadets 'The first Boy Scouts'

 
 
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩ්න් පවෙල් සාමිවරයා මැෆ්කින් වීරයා ලෙසින් විරුදාවලිය ලද්දේ දින 217 ක් 6000 කට අධික බෝයර් සතුරු සේනාවක් වටලා සිටි මැෆ්කින් නගරය සීමිත පිරිසක් හා සීමිත ආහාර ඇතුළු සම්පත් සහිතව සිටිමින් නගරය ආරක්ෂා කර ගනිමින් හා මැෆ්කින් නගරය මුදා ගැනීම හේතුවෙනි.

1899 මාර්තු ඇරඹි දෙවන බෝයර් සටනේදී බෝයර් වරුන් 6000 කට අධික පිරිසක් විසින් 1899 ඔක්තෝබර් 13 දින මැෆ්කින් නගරය වටලන ලද අතර 1900 මැයි 17 වන දින බ්‍රිතාන්‍ය හමුදාව විසින් මැෆ්කිනය මුදාගනු ලැබීය .
බෝයර් වරුන් වටලා සිටි මැෆ්කින් නගරයේ දෛනික පැවැත්ම සඳහා බේඩ්න් පවෙල් සාමිවරයා විසින් නගරයේ ළමා පිරිසකගේ සහාය ලබා ගත් අතර ඔවුන් මැෆ්කින් ශිෂ්‍යභටයන් ලෙස නම් කරන ලදී.රෝගීන්ට සාත්තු සප්පායම් කිරීම,පණිවිඩ ගෙනයාම මෙන්ම නගරයේ තැපැල් සේවාව පවත්වාගෙන යෑම එම ශිෂ්‍යභටයන්ගේ ප්‍රධාන කාර්‍ය විය. අනපේක්ෂිත වූ එක් කුතුහලය දනවන කරුණක් වූයේ තැපැල් මුද්දර හා එදිනෙදා භාවිතයට අවශ්‍ය මුදල් නෝට්ටු හිඟයක් පැවතීමයි. නගරය තුල භාවිතා සඳහා දකුණු අප්‍රිකාවේ ස්ටෑන්ඩර්ඩ් බැංකුවේ අනුග්‍රහය ඇතිව දේශීයව මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු නිකුත් කරන ලදී .

තැපැල් මුද්දර සඳහා වික්ටෝරියා රැජිනගේ රුව වෙනුවට අනදෙන නිලධාරී බේඩ්න් පවෙල්ගේ රුව සහිත මුද්දයක් හා මැෆ්කින් ශිෂ්‍යභටයන්ගේ සැරයන් වරයා වූ වෝනර් ගුඩ්ඉයර් බයිසිකලයක් සහිතව සිටින රුව ඇතුලත් මුද්දරයක් නිකුත් කරන ලදී. බ්‍රිතාන්‍ය තැපැල් මුද්දරයක් සඳහා රාජකීය නොවන අයකුගේ රුවක් භාවිතයට ගත් ප්‍රථම අවස්ථාව මෙය විය. ලාබාලම ශිෂ්‍යභටයා වූයේ ෆැන්කි බ්‍රවුන්.





1891 උපත ලැබූ ෆැන්කි බ්‍රවුන් මැෆ්කින් වටලෑමට පෙර ජොහැන්ස්බර්ග් අසල කෆ්‍රාරියා හි ජීවත් වූ අතර 1899 දී ආරක්ෂාව පිණිස මැෆ්කින් නගරය වෙත තම දෙමාපියන් සමඟ පැමිණි අතර ඔහු මැෆ්කින් ශිෂ්‍යභට කණ්ඩායමට එකතු වී තිබුනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 8 කි. 1900 ජනවාරි 1 වනදා පුපුරා ගිය ෂෙල් වෙඩිල්ලක් ෆෑන්කිගේ කොඳුඇට පෙලට මාරාන්තික ලෙස තුවාල කළේය. සතියක කාලයක් දුක්විඳි ඔහුගේ කකුල්වල යම් සෙලවීමක් ලැබූවද ඔහුගේ තත්වය බරපතල එකක් විය. 1900 ජනවාරි 17 දින ඔහු මිය ගියේය.

 
බේඩ්න් පවෙල්ගේ දිනපොතේ "" බෝයි බ්‍රවුන් අද උදෑසන මැරුණා "" ලෙස සටහනක් තැබූ අතර මේ සිදුවීම ඉතා කණගාටුදායක සිදුවීම් වලින් එකක් ලෙස බේඩ්න් පවෙල් විසින් සඳහන් කරන ලදී.බීපී ෆැන්කි හැඳුන්වූයේ බෝයි බ්‍රවුන් ලෙසිනි. මෙහිදී කණගාටුව දනවන කරුණක් වන්නේ ෆැන්කි බ්‍රවුන් ශිෂ්‍යභටයකු ලෙස නිලධාරීන්ගේ නම් ලැයිස්තුවේ නාමිකව පමණක් සිටියෙකු බවය. ඔහුගේ නම ලේඛන ගත නොකර ඇත්තේ ඔහු වයස 11 ට වඩා අඩු වයසින් සිටීම හේතුවෙනි. 

කෙසේ නමුත් ඉංග්‍රීසි සම්භාව්‍යයක් සහිත ෆැන්කි හට ශිෂ්‍යභට ක්‍රියාකාරකම් කිරීමට අවසරය ලබා දී තිබු අතර ඔහු මැෆ්කින් ශිෂ්‍යභට බලකායේ පණිවිඩ ඛණ්ඩයට අනුයුක්තව සිටියේය. ෆැන්කි බ්‍රවුන් වෙනුවෙන් ස්මාරකයක් මැෆ්කින් නගරය මුදාගැනීමෙන් පසු ඉඳිකළ අතර එය වර්ථමාන මැහිකේන් නගරයේ ඇත. මේ ලාබාලම ශිෂ්‍යභටයා මැෆ්කින් නිල් මුද්දරය නිසා ප්‍රසිද්ධියට පත් සැරයන් (පසුව සැරයන් මේජර්) වෝනර් ගුඩ්ඉයර්ගේ ප්‍රසිද්ධියටත් වඩා ඉක්ම ගියේය.

විශේෂ ස්තූතිය
#KD