නුවරඑළිය trip එකට මේ අත්දැකීම් එකතු කරගන්න අමතක කරන්න එපා. හැමදාම දවස් දෙකක තුනක ට්‍රිප් එකක් යමු කියලා ගෙවල් වල කට්ටිය කතා වෙද්දි පළවෙනියටම එන option එක මොකක්ද ?? අනිවාර්‍යයෙන්ම නුවරඑළිය ??
නුවරඑළිය කියන්නේ වෙනම ලෝකයක්. ඒකේ එක එක දවසට තියෙන්නේ එක එක විදිහේ ලස්සනක්. ඒ හින්දා දෙතුන් පාරක් ගියා කියලා නම් නුවරඑළියේ යන එක එපා වෙන්නේ නෑ. ඉතින් හැමදාම යන තැන් වලට තව අපිට මග ඇරෙන තැන් ටිකක් එකතු කරගෙන මතක හිටින family trip එකක් සෙට් කරගන්න තැන් ටිකක් ගැන තමා අපි මේ පාර කතා කරන්න බැලුවේ.
නුවරඑළිය පීඩෲ බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානය
කඳපොල – සීතාඑලිය රක්ෂිතය නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබෙන වන රක්ෂිතවලින් එකක් තමයි කඳපොල – සීතාඑලිය රක්ෂිතය. මෙය ලංකාවේ තිබෙන පැරණිම වන රක්ෂිත අතරින් එකක් ලෙසද සැලකෙනවා. වන ආඥා පනත යටතේ මෙය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 1892 මැයි 20 දායි. එනම් ඉංග්‍රීසි ආණ්ඩුව පැවති සමයේදී යි. මෙහි ප්‍රමාණය හෙක්ටයාර් 2721ක් වෙනවා.මේ සමගම තවත් රක්ෂිතයක් තිබෙන අතර එය ප්‍රමාණයෙන් හෙක්ටයාර් 110ක් විශාල යි. කඳපොල සීතාඑලිය රක්ෂිතය වඩාත් ජනප්‍රිය වී තිබේ තිබෙන්නේ බෝමුරු ඇල්ල, බෝමුරු ඔය සහ බෝමුරු ඇල්ල ජලාශය නිසායි. මේ තුනම පිහිටා තිබෙන්නේ රක්ෂිතය ඇතුලේ යි. මෙම වනපෙත සම්බන්ධ පුරාවෘත්ත සහ ජනප්‍රවාද බොහොමයි. රාවණා රජතුමා සීතා දේවිය සඟවා තබා ඇත්තේ මේ වනපෙත තුළ බවට ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තිබෙනවා.
සීතාඑලිය රක්ෂිතය සමඟ ඒ හා ඇති යෝජිත රක්ෂිතය සහ හග්ගල දැඩි රක්ෂිතය ද බැඳී පවතිනවා. මේ වනාන්තර පද්ධතියම එකම වනාන්තරයක් ලෙසටයි විහිදී තිබෙන්නේ. කඳුකර වනාන්තරවල දැක ගත හැකි කුරුල්ලන් සහ උරග ආදී වෙනත් සතුන් රාශියක් මෙම වනාන්තර පද්ධතිය තුළ වාසය කරනවා. එයින් අපේ රටට ආවේණික ගුරු කොණ්ඩයා, කඳුකර මල් කුරුල්ලා, දෙමලිච්චා, මයිලගොයා, වලිකුකුළා, අඳුරු නිල්මැසිමාරා වැනි පක්ෂීන්, මධ්‍ය කඳුකරයේ පමණක් ජීවත් වන රයිනෝ අඟ කටුස්සා, ලංකාවට ආවේණික කටකළු කටුස්සා වැනි උරගයන්ද මෙහි බහුලව ම ජීවත් වෙනවා. උඩවැඩියා සහ මීවන වර්ගද මෙහි ඉතාමත් ම සුලබ යි. කඳුකර වනාන්තරවල දක්නට ලැබෙන දඹ, කීන, ගල් වෙරළු වැනි ශාක ද මෙහි බහුලව දකින්න පුළුවන්. ඒ කෙසේ වුණත් මෙම වනාන්තර පද්ධතියෙහි ජෛව විවිධත්වය පිළිබඳව විශාල වශයෙන් තවම අධ්‍යයනයක් සිදුවී නෑ. මෙම වනාන්තරයට තිබෙන විශාලම තර්ජනය වන්නේ තේ සහ එළවළු වගාව වෙනුවෙන් මිනිසුන් විශාල වශයෙන් වනය එළිපෙහෙළි කිරීමයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නුවරඑළිය අඩවි වන කාර්යාලයෙන් අවසරයක් ලබාගෙන ඔබටත් මේ වනාන්තරයට පිවිසිය හැකියි.
Back to Pedro ~ Taking Over of Pedro National Scout Activity Center After Renovation
පීඩෲ බාලදක්ෂ කඳවුරේ පැරණි ගීතයක් වියැකී යන්නට පෙර අලුතින්....
පීඩෲ කඳවුරේ ලීපදක්කම් පාඨමාලා පැවැත්වීම ආරම්භ කළ කාලෙ ඒ කඳවුරු භූමිය තුළ රජ කළ දැවැන්තයො පිරිසක් හිටිය. කඳවුරු නායක (දැන් ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් ) බ්‍රිගේඩියර් සී.පී. ජයවර්ධන, ජේ.ලයනල් සිල්වා , ඒ.වී.බාලසුබ්‍රමනියම්, පී.එස්.ආර්.රාජමනි, මයික් බලපිටිය,ඩබ් .ජේ.ඩයස් ගුණරත්න, නිහාල් ඩි මෙල්, ඒ.ඒ.ආරියපාල ආදී මහා පුරුෂයන්ගෙ ප්‍රාණවායුව වගේම ඩබ්. වී. නිහාල් ඩි මෙල් මැතිතුමාගෙ ජීවන සුවඳ අදත් මේ භූමිය තුළ පවතිනව.
මයික් බලපිටිය මහත්තය ලියපු පීඩෲ ගීතය හැත්තෑවෙ දශකයේ අග භාගයේ කොළඹ 03 බාලදක්ෂ මාවතේ අංක 131 ස්ථානයේ තිබුණු බාලදක්ෂ මූලස්ථානයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදි එතුමාගෙ කටින්ම අහන්න එදා තරුණ වයසෙ හිටි අපි වාසනාවන්තවුණා. එහෙම කිව්වෙ පුහුණු කිරීමේ නායක කර්නල් ආනන්ද අල්විස් මහත්මයා. මෙන්න ඒ ගීතය....
එනවා...// මම නැවත // එනවා.. මාන වලින් වත් පැලක් හදා ගෙන ඉන්නට මම එනවා // පිදුරුතලාගල කඳුවැටි පා මුල සීතඑළිය සෙවණේ කදිම බිමක් ඇත කඳවුරු ලන්නට දොළපාරක් අයිනේ ගතට සිසිල දෙන සිතට සුවය දෙන මේ බිම රමනීයයි මෙතනට සමවන කිසිම තැනක් නැත මිහි පිට සගය මෙයයි එනවා ....// මම නැවත //...... // මල්වල සුවඳයි පෙදෙසේ සිසිලයි පවනට මුසු වෙනවා මිහිර රැගෙන එනවා සියොතුන් නාදය ගලන දොළේ හඬ ගීයක සැඟවෙනවා තණ අග පිණිබිඳු මිණි මුතු වාගේ පෙදෙසම බබළනවා එනවා....// මම නැවත //..... // වනය මැදින් පා ගමනෙ යෙදී රැය පතන බීමෙහි ගෙව්වේ අමුතු දෙයක්මයි අඩියෙන් අඩියට මග දෙපසේ දුටුවේ අවට වනයෙ කොටි ගෝන මුවන් හඬ සෑම දෙසින් ඇසුනේ සතුට විනෝදය එලෙස ලබන්නට කවදද මට ලැබුණේ එනවා....// මම නැවත //.....//
මේ ගීතය ඒ. වී බාලසුබ්‍රමනියම් මහත්තය පසු කාලයකදි දමිල භාෂාවට නඟලා තිබුණා. වරුවේන්...// නාන් මීන්ඩෘ// වරුවේන්... කියල. නමුත් ඒ පදමාලාව සොයා ගැනීමට තවමත් අපිට නොහැකි වීම ගැන තියෙන්නෙ කණගාටුවක්..
ලවර්ස්ලීප් දිය ඇල්ල හා පීඩෲ තේ කම්හල
නුවරඑළිය නගරය මධ්‍යයේ වික්ටෝරියා උද්‍යානයේ මායිමේ ඇති උඩුපුස්සැල්ලාව පාරේ කිලෝමිටර් දෙකක් පමණ යන විට ඔබට හාවාඑළියට ළඟාවෙන්න පුලුවන්.. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වගේම නුවරඑළිය ප්‍රධාන රෝහලත් පිහිටලා තියෙන්නේ හාවාඑළියේ.. හාවාඑළියේදි අපිට දැක ගන්න පුලුවන් විශේෂම දෙයක් තමා එලවළු වගාව.. කැරට්, ලීක්ස් වගේ එලවළු පාත්ති හැමතැනම දකින්න පුලුවන්.. හාවාඑළියට ළඟා වුණාම අපිට ඉහළින් කඳු පන්තියේ මායිමෙන් සුදෝ සුදුවට ගලාහැලෙනා ලවර්ස්ලීප් දිය ඇල්ල දැක ගන්න පුලුවන්. මාර්ගයේ ඉඳන් කෙටි දුරක් අඩිපාර දිගේ පැරණි බීර කම්හලට ජලය ලබාගත් බට මාර්ගය දිගේ බොහොම පහසුවෙන් දිය ඇල්ල පාමුලට ළඟාවීමේ හැකියාව පවතිනවා. ඒ යන අතරමඟදි ඔය වටේ තියෙන කැරට් පාත්තියකට ගොඩ වෙලා ගොවිපොළේ හිමිකරු එක්කත් ටිකක් කතාබහ කරල, කැරට් අලයක් එහෙම ගලවගෙන රස බලන්නත් අමතක කරන්න එපා.
පිදුරුතලාගල කඳු පන්තියේ නැගෙනහිරට වෙන්න ගලාහැලෙන මීටර් 30 ක් පමණ උස මේ සුන්දර දිය ඇල්ලට නම එකතු වෙලා තියෙන්නේ ප්‍රේමයේ නාමයෙන් දිය ඇල්ල මුදුනේ සිට පැන දිවි තොරකරගත් යුවලක් නිසා කියලයි ප්‍රචලිත වෙලා තියෙන්නේ. ලවර්ස්ලීප් දිය ඇල්ලෙන් සමුඅරගෙන එම මාර්ගයේම තව පොඩි දුරක් ගමන් කිරීමෙන් ඔබට පීඩෲ (Pedro) තේ කම්හල අසලට ළඟා වෙන්න පුළුවන්.. තේ නිෂ්පාදනයේ පියවරෙන් පියවර දැනගන්නා හා සියසින් දැක ගන්නා අවසානයේ, එම තේ කම්හලෙන්ම නිපද වූ නැවුම් තේ කෝප්පයක රස විඳින්නත් ඔබට අවස්ථාව හම්බෙනවා.. ඉතාමත් සුන්දර වටපිටාවක පිහිටා ඇති තේ කම්හලට පහළින් ලවර්ස්ලීප් දිය ඇල්ල උපද්දා පැමිණි දිය දහර හරස් කොට තැනූ බෝඹුරුඇල්ල කුඩා ජලාශයද ඔබට දැක ගත හැකියි.. මේ දිය දහර උමා ඔයේ මුල් දියත්ත විදිහටත් සලකනවා..
බෝඹුරු ඇල්ල
නුවරඑළිය නගරයේ සිට බදුල්ල මාර්ගයේ කුඩා දුරක් එනවිට ඔබට හක්ගල උද්භිත උද්‍යානය දැක ගත හැකියි.. එම ස්ථානයේ නොනවත්වා තවත් ටික දුරක් වැලිමඩ සානුව දෙසට පල්ලම් බසින විට ඔබට රේන්දපොල මංසන්දියේදී බෝඹුරු ඇල්ලට යන මාර්ගය වම් පැත්තෙන් දැක ගත හැකියි.. රේන්දපොළ මංසන්දියේ සිට හොඳින් පිළිසකර කර ඇති මාර්ගයේ කිලෝමීටර් හතක පමණ දුරක් ගෙවා ඔබට බෝඹුරු ඇල්ල උපද්දා එසේ ගිරි හෙලින් පැනීමෙන් ඇතිවූ වෙහෙස සංසිදවා ගැනීමට මෙන් ඔහේ නිසලව ගලායන බෝඹුරු දොල එහෙමත් නැත්නම් උමා ඔයේ මුල් දියත්ත අසලට පැමිණීමට හැකියි. මෙම ස්ථානයට වැලිමඩ දෙසින්ද ළගාවිය හැකියි. සුන්දර දිය ඇල්ල මාර්ගයට දර්ශනය නොවන හෙයින් ඇගේ සුන්දරත්වය මනාව විඳ ගැනීමට නම් කුඩා දුරක් ඔබට පා ගමනින් යා යුතු වෙනවා. බෝඹුරු දොලේ පාළම අසලින් මදක් අඩිපාර දිගේ ඉහළට නැඟි විට ඔබට දිය ඇල්ලට පහළින් කුඩා අමුණකින් ජලය හරවා ගොවිබිම් වෙත ජලය ගෙනයන කුඩා ඇලපාරක් ආසන්නයට ළඟා විය හැකියි. ඉන්පසු එම ඇලපාර දිගේ ඉහළට ගමන් කලයුතු වෙනවා.. අඩිපාර දිගේ ගමන් කිරීමෙන් ඔබට දිය ඇල්ල පාමුල වම් අන්තයට ළඟාවිය හැකියි.. එහෙත් මනාව සුන්දරත්වය දැක ගැනීමට නම් අතරමගදි හමුවන අමුනෙන් දොළේ දකුණු පසට මාරු විය යුතු අතර එය ඔබව සුන්දර දර්ශන තලයකට ගෙන යනවා.. උසින් මීටර් 30 ක් පමණ වූ මෙම බෝඹුරු ඇල්ල දිය ඇල්ල ලංකාවේ සුන්දරම දිය ඇල්ලක් ලෙසත් සැලකෙනවා.
නුවරඑළිය නගරය
නුවරඑළිය නගරය අපි පුංචි එංගලන්තය විදිහට සලකන්නේ නුවර එලියේ තියන පාරිසරික ලක්ෂණ විතරක්ම නිසා නෙමේ.. නුවරඑළිය නගරය පුරා විහිදිලා තියෙන යටත් විජිත සමයට අයත් හා පසුව බ්‍රිතාන්‍යය ගොතික් ගෘහ නිර්මාණ ලක්ෂණ ආකාරයට ගොඩනැඟුණු ඉදිකිරීමුත් ඒකට එක හේතුවක්.. දිනයක් වෙනම නගරය පුරා ඇවිදීමට වෙන් කර ගැනීමට තරම් නැරඹීමට ස්ථාන නගරය පුරා විහිදී තියෙනවා.
කුරුළු ඇසකින් නුවරඑළිය නගරය දැක ගැනීමට හැකි ප්‍රධාන ස්ථානයක් නගරයට යාබදව පිහිටා ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. ඔබට නගරයේ සිට ස්වල්ප වේලාවක් පමණක් ගෙවා ලංකාවේ මුහුදු මට්ටමේ සිට ඉහළින්ම පිහිටි ශාන්තිපුර ගම්මානයට ළඟාවෙන්න පුලුවන්. මෙහි ගම්මානයේ පිහිටා ඇති නැරඹුම් ස්ථානයේ සිට නුවරඑළිය නගරයම ඉතා සුන්දර ලෙස දැක ගන්න මෙහිදී හැකියාව පවතිනවා. මෙම ස්ථානයේ සිට ගමන් අරඹා සිංගල් ට්‍රී කන්ද හා කිකිලියමාන කන්ද තරණයටද හැකියාවක් පවතිනවා.
නුවරඑළිය නගරයේ පැරණි තැපැල් කාර්‍යාලය, ට්‍රිනිටි දේවස්ථානය ආදී පැරණි ගොතික් සම්ප්‍රදාය අනූව නිර්මාණය වුනු ගොඩනැගිලි වගේම අපිට අද දකින්නට නොමැති නානුඔය උඩුපුස්සැල්ලාව පටුආමාන දුම්රිය මඟේ නුවරඑළිය දුම්රිය ස්ථානය අද වන විට නුවරඑලිය පොලීසිය ලෙසද දැකගන්නට පුලුවන්. තැපැල් කාර්‍යාලයට යාබදව පිහිටා ඇති නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය අපිට නියම යුරෝපියානු හැගීමක් ලබා දෙන ස්ථානයක්.. ඒ වගේම වික්ටෝරියා උද්‍යානය හා තුරඟ තරග පිටිය අපිට ලංකාවේ වෙනත් කිසිම ස්ථානයක දැක ගත නොහැකි අත්දැකීම් වලට මඟ පාදනවා.
ග්‍රෙගරි වැව නුවරඑලිය නගරයේ ස්වාභාවික හදවතක් ලෙස ක්‍රියාකරන තැනක්. තම ප්‍රියයන් එක්ක ග්‍රෙගරි වැව ආසන්නයේ මංතීරුවේ ඇවිද යන්නට, සැරට හැදුනු ලුණු මිරිසක් එක්ක උණු උණුවේ රොටියක් කමින් බංකුවක හිඳ සුන්දරත්වය විදින්නට හෝ වැවේ බෝට්ටුවකින් සවාරියක් යන්නට මෙම ස්ථානය ඔබට අවස්ථාව සලසනවා. බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටා ඇති පළතුරු වෙළඳපලට ගොස් ලංකාවේ හැදුනු ස්ට්‍රෝබෙරි ගෙඩියක පෙයාර්ස් ගෙඩියක රස බලන්නත් අමතක කරන්න එපා.
සඳතැන්න
හෝර්ටන් තැන්න
හොර්ටන් තැන්න නොහොත් මහඑළිය තැන්න ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ සුන්දරම බිම් කඩක්.. ඉහළ කඳුකර වනෝද්‍යානයක් වන මෙහි සුන්දරත්වය වෙනස්ම ආකාරයට විදීමට නම් අපි ඔබට යෝජනා කරන්නේ මධ්‍යාහ්නයට පසුව ගමන යොදාගන්නා ලෙස.. මෙය ඔබට යම් අමුත්තක් දැනෙන යෝජනාවක් වේවි. එහෙත් එක් නිමේශයක් හාත්පසම වසා ගන්නා මීදුමේ සැඟවෙන්නටත් හිතත් ගතත් කුල්මත් කරනා සීතලේ සිසිලස විඳින්නටත් මෙම කාලය ඔබට අනිවාර්‍යයෙන්ම අවස්ථාව සකසා දෙනවා. නුවරඑළියේ සිට අඹේවෙල හරහා හෝර්ටන් තැන්න බලා යන ඔබට අඹේවෙලදි අනන්තය තෙක් විහිදෙන සරුසාර තණ බිමුත් ඒ පුරා නිදැල්ලේ තණ උලා කන කිරිහරක් රංචුත් ලංකාවේ දේශීයව නිපැදවෙන කිරි නිෂ්පාදන වල රස විඳින්නට ඔබට ආරාධනාවක් වගේ දැනෙන්නට පුලුවන්… එ් නිසා අඹේවෙල ගොවිපලේ වෙළඳ සැලෙන් දේශිය නැවුම් කිරි කෝප්පයක නැත්නම් චීස් කෑල්ලක රස විඳින්නත් ටික වේලාවක් ගතකලාට පාඩු නැහැ. මක්නිසාද යත් ඉන්පසු එලඹෙන තොටුපළ කන්ද තරණය කිරීමට ගතට එය සවියක් වන නිසා. හෝර්ටන් තැන්නේ සාමාන්‍යය මංපෙතින් බැහැරව සුන්දරත්වය විඳීමට ඔබට තොටුපල කන්ද තරණය කිරීමට හෝ කිරිගල්පොත්ත කන්ද තරණයට යොදා ගත හැකිය.. කිරිගල්පොත්ත තරණය කිරීමට නම් හෝර්ටන් තැන්න වන නිවස අසලින් ඇති මංපෙත යොදාගත යුතුයි.
හෝර්ටන් තැන්න තුළ ගමන් කිරීමට ඇත්තේ වෘත්තාකාර මාර්ගයක නිසා කුඩා ලෝකාන්තය පලමුව දැක ගැනීම සුදුසුයි.. එම මඟ තරමක රළු බෑවුම් ආකාරයට ඇති නිසා පහළට යන විට එය පහසු වූවත් ආපසු එන විට ඔබට එය අපහසු විය හැකියි. කුඩා ලෝකාන්තයට පසුව මහා ලෝකාන්තයට ළඟාවිය හැකිය. ඔබ දවසේ වාසනාවන්තයෙක් නම් බෑවුම පහළ බලංගොඩ නන්පේරියල් වතුයාය මෙන්ම ඈත අනන්තයේ ඌවේ දර්ශනය මනාව දැකගන්න පුලුවන්. ඒත් හෝර්ටන් තැන්නේ එකවර ඇතිවන මීදුම ඔබට බාධාවක් වීමට ඇති ඉඩකඩ බෝහෝම වැඩියි..ඉන්පසු වලවේ ගඟේ මුල් දියත්තක් වන් බෙලිහුල් ඔයේ දඟකාර වික්‍රමයක් නිසා ඇතිවන බේකර්ස් දිය ඇල්ල ඔබට දැක ගත හැකියි.. ඒ වගේම ගමන අවසානයට කාලයකට පෙර අර්තාපල් වගාවට මෙම බිම්කඩ යොදා ගැනීමේදි ඉදිකෙරූ චිමිනි තටාකය දැක ගත හැකියි. හෝර්ටන් තැන්නේදී බහුලව ගෝනුන් දැකගැනීමට ඔබට හැකියාවක් ලැබෙන අතර එහි සංචාරයට යන්නේ නම් පොලිතීන් කිසිසේත්ම රැගෙන යාමෙන් වළකින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.
හැමදාම යන නුවරඑළි ගමනට අලුත් කුලුබඩු ටිකක් එකතු කර රසගන්නවා ගන්නට අවැසි නම් මේ ස්ථාන ඔබට ඒ රස අනිවාර්යයෙන්ම එකතු කරන බව අපේ විශ්වාසයයි. මීට අමතරව හක්ගල උද්භිත උද්‍යානය, සීතා අම්මාන් කෝවිල, පිදුරුතලාගල කදු මුදුන, ග්ලේන් ඇල්ල, රම්බොඩ ඇල්ල හා උමග ඔබේ ගමනේ කාලසටහන අනූව එකතු කරගන්න.. එහෙනම් සුභ ගමන්..