එළිමහන් බාලදක්ෂ කඳවුරකට අත්‍යවශ්‍යම කාලීන උපකරණයක් ලෙස කඳවුරැ දොරටුව හැඳින්විය හැකි ය. කඳවුරැ දොරටුව බාලදක්ෂ කණ්ඩායමේ අභිමානය හා පුරෝගාමී කුසලතා විදහා පෙන්විය හැකි අවස්ථාවක් වන බැවින් එය ඉදි කිරීමට බාලදක්ෂයින් වඩා නිර්මාණශිලීව දායක විය යුතුය.
කඳවුරු දොරටු ඉදිකිරීම
සමාජයේ විවිධ අවස්ථාවන් පිළිඹිබු කිරීම සඳහා ඈත අතීතයේ සිටම සිංහල සංස්කෘතියේ පවතින වැදගත් අංගයක් ලෙසට තොරණ සැලකිය හැකිය. මංගල, අවමංගල්‍ය වැනි සමාජයේ වැදගත් අවස්ථාවන් වලදී මේවා ඉදිකරනු ලබයි අප රටේ මෙවැනි තොරන් වර්ග රාශියක් තිබු බව දකින්නට ලැබේ ඒවා පහත පරිදි දැක්විය හැක. ලංකාවේ සැරසිලි පිලිබඳ ඉතිහාසයේ වැදගත් අංගයක් ‘තොරණ’. මකර තොරණ, අයිල් තොරණ, මල් තොරණ, සප්ත නාරි තොරණ, රන් තොරණ, පිළි තොරණ, බුලත් තොරණ, ලිය තොරණ, සිංහ තොරණ, කීල තොරණ, ගොප් තොරණ, පහන් තොරණ, පෙරහර තොරණ, වෙසක් තොරණ ආදී තොරණ වර්ග රාශියක් පිලිබඳ සාක්ෂි පෞරාණික ලේඛණ සහ ජනප්‍රවාද තුල හමුවෙනවා. නමුත් ඒවා පිලිබඳ රූපමය සාක්ෂි දුර්ලභයි.
තොරණේ විස්තරේ
තොරණ අපේ සංස්කෘතිකාංගයකි. මරණයටත්, මඟුලටත්, පිළිගැනීමටත්, ප්‍රදර්ශනයටත් ආගම දහම වෙනුවෙන් පමණක් නොව වෙළහෙළඳාමටත් පුරාණයේ සිට තොරණ ඉදි වී තිබේ. සිද්ධස්ථාන සීමාව සැරසීමට සීමා වූ තොරණ වැඩිකල් නොයාදීම රජ මාලිගය කරාද පැමිණ ක්‍රමයෙන් එය ගෘහ නිර්මාණ කලාවේද අංගයක් වී තිබේ. මහා භාරතයේ සාංචිහි තොරණ ඒ අතින් ඉතා වැදගත් කොට සැලකිය හැකිය. එය ඉතා පැරණි ස්ථාවර විචිත්‍ර ගල් තොරණකි.
ලංකාවේ පැරණිම මකර තොරණක් අනුරාධපුර විජයාරාම නටබුන් |
වෙහෙර විහාරස්ථානවල ඉදිරිපස දොරටුවේ, විහාර මන්දිර අබියස, බෝධී වෘක්ෂ අසල ප්‍රවේශ දොරටුව සරසා ඇති මකර තොරණ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසින් එහාට දිව යන බව පැවසෙනවා. බෞදුධ සිද්ධස්ථාන ජනප්‍රියම තොරණ වන මකර තොරනෙහි මකරා රුවට ඇත් සොඬක් වැනි සොඬක් ඇත. පාද - සිංහයා වැනිය. දෙකන් - සූකරයකුගේ වැනිය. ශරීරය - දියෙහි වසන මාළුවකුගේ මෙනි. දෙඇස් - හනුමාගේ ඇස් වැනිය. ඉදිරියට නෙරූ දත්ය. ලෝකයේ උත්පාදනය මකරා මගින් මූර්තිමත් වන බව ඈත පෙරදිග රටවල විශ්වාසය වී තිබේ. මකරා දේව වරප්‍රසාදයේ සලකුණක් මෙන්ද ඔවුහු පිළිගනිති. දෙවිඳුන්ගේ වාහනය මෙන්ද කාම දේවයාගේ කොඩියෙහි සටහන ලෙස ද මකරා සැලකෙයි. දෙවි දේවතාවන් කෙරෙහි ගෞරව දැක්වීමට ජනතාවගේ ඇති ආශාවට ඉඩ ලබා ගැනීම සඳහා කලාකරුවා මකර තොරණ උපයෝගී කරගෙන තිබේ. සබරගමුව, මහ සමන් දේවාලයේ දේව පූජා පෙරහර අවසානයේ ගඟ මැදට ගොස් දිය කැපීම සඳහා දේව අඟුලක් පිළියෙළ කරනු ලැබේ. මේ අඟුලෙහි සැරසිලිවල මුල්තැන ලැබෙන්නේ මකර තොරණටය.
ගඩලාදෙණිය බුදු පිළිමයේ මකර තොරණ |
මහනුවර යුගයේදී මකර තොරණ මැටි බදාමවලින් පමණක් නොව ලී හා කළුගල්වලින් ද නිර්මාණය කෙරුණා. ප්‍රධාන විහාරස්ථානවල ශෛලමය උළුවහුවල හරස් කඳේ මකර තොරණ කැටයම් යොදා ගැනීම දැක ගත හැකි යි. එවැනි උළුවස්සක් මහනුවර දළදා මාලිගයේ තිබෙ. මහනුවර යුගය වන විට මකර තොරණ කුඩා විහාර මන්දිරවලට පවා ඇතුළත් කිරීමට නිර්මාණ ශිල්පීන් උනන්දු වී තිබෙනවා. ඉතා සියුම් කැටයම් සහිත කුඩා මකර තොරණ සූරියගොඩ විහාරය, දියකෙලිනාවල, දනකිරිගල, මැදවල විහාරය වැනි තැන්වල දැකගත හැකි යි. නූතන යුගයේ සොයිලියස් මැන්දිස් සිත්තරා කළ කලාත්මක මකර තොරණ දෙකක් මල්වාන ලෙනගම්පොල විහාරයේ දී දැකගත හැකි යි.
තොරණේ ආරම්භය පිළිබඳ වැදගත් පතපොතකින් ඉදිරිපත් කළ හැකි කරුණු නොමැති අතර “තොරණ බැඳීම” නමින් කුඩා පුස්කොළ පොතක් තිබී ඇත. එහි පද්‍ය පනහක් ඇති බව පැවසෙන අතර මුද්‍රණය වූ බවක් දැනගන්නට නැත. තොරණ බැඳීම නමැති කුඩා පුස්කොළ පොතට අනුව අනුව කේරළයේ රජ කළ සේරමත් රජුට වැලඳුණු හිසරුදාවක් සුව කිරීමට තොරණ ඉදිකළ බව කවියෙන් කියා ඇත්තේ මෙසේයි
‘‘පොරණ ගී ඇදුරු රුති ලෙස නොව වේග
උරණ නොවී අස සත පෙර පැවති රඟ
පෙරත් පුවත මෙහි දන්නෝ ඇද්ද වග
තොරණ දැක්කුවෝ බමුණෝ කාල යුග“
තොරණ අතීතයේ සිට ම මංගල සංකේතයක් ලෙස සැලකුණු බව බුදුන්ගේ ශ්‍රී පතුලෙහි මංගල ලකුණු අතර තොරණ දෙකක් තිබීමෙන් පේනවා. තොරණ වර්ග අතර මකර තොරණ, ගොප් තොරණ, රඹ තොරණ, පහන් තොරණ, කීල තොරණ, බුලත් තොරණ, අයිල් තොරණ, පෙරහර තොරණ, පිලි තොරණ ආදී වශයෙන් තොරණ රාශියක් අතීතය විමසන විට හමුවේ.
අයිල් තොරණ
දෙවොල් දෙවියන් හා පත්තිනි මෑණියන් මුල් කරගෙන පවත්වනු ලබන දෙවොල් මඩු, පුනා මඩු, පහාන් මඩු වැනි සෙත් ශාන්තිකර්ම අවසානයේදී ගරා වෙස් පෑම සිදු කරනු ලබයි. කතරගම දෙවියන්ගේ සහ වල්ලි මාතාවගේ විවාහ මංගල්‍යයේදී වල්ලි මාතාව හදා වඩාගත් ඥාතීන් වන වැදි පිරිස මඟුල් මඩුව මෙන්ම තොරණද සරසා තිබුණේ විවිධ සතුන්ගේ මස්මාංසවලිනි. විවාහ මංගල්‍යයට ආරාධනා ලැබූ දෙවිවරුන්ට කිලි කුණුවලින් අපවිත්‍ර වී තුබූ භූමියපිරිසිදු කර දුන්නේ ගරා විසිනි. ගරා යකු පැමිණ මඟුල් මඩුවේ මෙන්ම මඟුල් තොරණේද තිබූ සියලුම මස් මාංස අනුභව කර එම විවාහ උත්සව භූමිය පිරිසුදු කර කිලි හරණය කරදුන් බව ඉතිහාසයේ සඳහන් වේ.
තොරං පරපුරේ මුල්ම විකාශනය වශයෙන් අයිල් තොරණ සැලකිය හැකිය. අයිල යන්නෙන් අදහස් කරන්නේ යක්ෂාදීන්ට පුදන ලද ආහාර තැබීමට යොදනු ලබන තටුවයි. මේ තොරණින් අදහස් කරන්නේ භූතයන් සතුටු කිරීමයි. ඒ අනුව ගරා මඩු සෙත් ශාන්තිකර්මයේදී ගොරකා ගසේ ශක්තිමත් අතු දෙකක් ගෙන එම අතුදෙක පොළොවේ සිටුවා ගරා යකුට වාඩිවී සිටින්නට ඉහළින් මැස්සක් සකස් කරනු ලබයි. මෙය පුවක් අතු, ගොක් අතු, කොස් අතු, මෙන්ම බුරුල්ල අතු ගෙන සරසනු ලබයි. ඒ සඳහා පොල් මල්, පුවක් මල්ද භාවිත කරයි. ඇතැම් අවස්ථාවලදී ගරා නැටුමේදී මෙම වෙස් අස්නය “අයිලය” නමින්ද හඳුන්වනු ලැබේ. මේ තොරණ ගොරොක් අතු දෙකකින් සැදුණු අයිලයක් මත ගොක්කොළවලින් සරසා තිබේ. ගරායකුමක ඇති මල් යහන, යක් බෙර, අයිලය, දුම්මල කට්ටකුමන්ජල් ආදී සියලු අංගයන් සමන්විත වේ. අයිලයට නැග එහි රැඟුම් පාන අතර අවසානයේදී ගොරකා අතු දෙක අල්ලාගෙන ඔන්චිලි පදිමින් එහාට මෙහාට රවුමට පැද්දෙමින් ශක්තිමත් ගොරකා අතු දෙක කඩාගෙනම ඉවත්ව යයි. මෙමඟින් අදහස් වන්නේ සියලුම වස් දොස් දුරුවන බව පැවසේ.
ගොක් තොරණ
මුල් යුගයේ ගොක්කොළ තොරණ බොහෝ විට සැදුනේ තනිමාලයටය. නොයෙක් අතට ගොක්කොළ වියා, විවිධ හැඩතලවලින් හැඩ සංවිධානය කෙරෙන ගොක්කොළ තොරණ වැඩිම වුණොත් පවතින්නේ තෙදිනකි. ඒවා දිලිසෙන්නට පොල්තෙල් ආලේප කළත් ඊට වඩා දින ගණනාවක් තබාගත හැකි නොවේ. ගොක්කොළ මැළවෙයි. ගොක්කොළවලින් විතරක් නෙමෙයි. පොල්කොළවලිනුත්, පොල්පිතිවලිනුත් තොරණ අලංකාර කිරීම් සිදු කෙරේ.
රාජ්‍ය උත්සව සැරසීමටත් ගොක් තොරණ යොදාගෙන තිබේ. මඟුල් අවමඟුල්, පන්සලේ පිංකම්වල දී මෙන් ම වෙසක් උත්සවවලදිත් ගොක් තොරණ සකසති. එමෙන්ම සරල වෙසක් තොරණ ගොක්කොළ භාවිතයෙන් තැනීම සිදුවේ. සශ‍්‍රීකත්වය සංකේතවත් කරන පුන්කලස, පිරිත් මණ්ඩප සදහා යොදා ගන්නා සැරසිලි, ගොක් ගෙඩි, තොවිල් පවිල් ආදියට යොදාගන්නා පහන් පැළ, තවත් තොවිල් භාණ්ඩයක් වූ කිරුළු තොප්පිය, සාම්ප‍්‍රදායික පොල්තෙල් පහනක හැඩරුව ගත් ගොක් පහන, වෙසක් පහන, මඟුල් පෝරුව, මුතු කුඩය, අනුරාධපුර, පොළොන්නරු පෙදෙස්වල බෙහෙවින් ප‍්‍රචලිත තනිමාලේ තොරණ, තොවිල්වලට යොදාගන්නා පිදවිලි සැරසිලි, ගම්මඩු - දෙවොල් මඩුවලදී දැකිය හැකි බිසෝකප, වෙසමුණි රජුගේ ආයුධයක් සේ සලකන ඊ-ගහ, ශාන්තිකර්ම සඳහා යොදාගන්නා කුමාර කළය මේ නිර්මාණ අතරට අයත්ය. මේ හැරුණු විට කුඩා දරු දැරියන් විනෝදය සදහා සකස් කරන නිර්මාණ ද විශාල ප්‍රමාණයක් ඇත. හුලංපෙත්ත, ගොක් කොළ ඔරලෝසුව, නෙළුම් මල, නයා, පත්තෑයා, ඉස්සා, ගිරවා වැනි නිර්මාණ රැසක් ගොක් කොළ ආශ්‍රිතව සිදු කරයි. අපේ රටේ අනන්‍යතාව ලොවට විදහාපාන ක්‍රමයක් ලෙස ගොක් කලාව සැලකිය හැකි යි. ගැමි ජනයා තොවිල් පවිල්වලට ද, පිරිත් මණ්ඩපයට ද, තොරණට ද ගොක් සැරසිලි යොදා ගත්තේ එයින් මැවෙන අලංකාර රූ රටා ගැන අවබෝධයෙන් පොල් ගසේ ළපටි කොළ වන කහ පාටින් යුත් ගොක් කොළ යොදා තනන සැරසිලි අතීතයේ පටන් ම අපේ සංස්කෘතියේ අංගයක් බවට පත්ව තිබේ.
මල් තොරණ
අතීතයේ උත්සව අවස්ථාවල දී වීදි අලංකාර කොට ඇත්තේ මල් තොරණ වලිනි. ථූපවංශයේ ද පූජාවලියේ ද ඒ බව සඳහන් වේ. එය ද ගොක්කොළ ආශ්‍රයෙනි. පහන් තොරණ මැටි පහන්වලින් අලංකාර වෙයි. දෙපස සිටින්නේ දැල්වුණු මැටි පහන් දෙකක් සහිතව සිටගත් කාන්තාවෝ දෙදෙනෙකි. පෙරහර තොරණ නම් තවත් තොරණකි. දෙදෙනෙකු (රූප) දෙපසින් විශාල ධජ පතාක දෙකක් ඔසවා ගෙන සිටින අයුරිනි. ගොක්කොළ හා කොඩි රෙදි වර්ගයක් උපයෝගී කරගෙන චිත්‍ර ද ඇතුළත් කර ඇත. වාද්දුව පොතුපිටියේ වාළුකාරාම විහාර තොරණේ සහ මාතර වැවුරුකන්නල පරණ විහාරයේ තොරණේ තිබුණු කවියක මේසේ දැක්වේ.
“පොරණ මුනි මැඳුර දිරුමට ගිය බැවිනි
සරණ ගත මෙගම් වැසි හැම විය දමිනි
තොරණ සමග යළි පියේවී කර වමිනි
තීරණ කළේ සුමන තෙර නමැති ම විසිනි”
පන්තිස් කෝල්මුරයට අයත් මේ තොරණ දැක්වීම පත්තිනිය පිළිබඳ ශාන්තිකර්මයන් හිදී බෙරයෙන් නැගෙන, මෘදු කෝමල රිද්මයට අනුව ගී ගයන කපුවන් විසින් මිහිරි ලෙස ගැයෙන්නකි. වීථි තොරණ ගැන ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසෙහි කෘතීන් දෙකක් වන ශිලප්පදිකාරාමා සහ මණිමේඛලායි යන ද්‍රවිඩ මහා කාව්‍යයන්හිද කමනියව සඳහන් වෙයි. සිංහලයේ ඉපැරණි පද්‍ය සාහිත්‍යයේ ද ඇතැම් ජාතක කතාවල ද තොරණ සඳහන්ය. තොරණ ආගම හා සම්බන්ධ වන බව සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් හි පිහිටා ඇති මඟුල් ලකුණු අතර මඟුල් තොරණ දෙකක් ද තිබෙන බව සඳහන් වීමෙනි. චෛත්‍යය, බෝධිය, පිළිමගෙය, දේවාලය ආදී පූජනීය ස්ථානවලට ඇතුළු වන දොරටුව තොරණකින් සැරසීම ආගමික චාරිත්‍රයක් බවට දියුණු වී ඇත්තේය. කලාකරුවන්ගේ විශේෂ අවධානයට එය ලක් වී ඇත්තේ තොරණ විශේෂ අංගයක් බවට පත් වීම නිසාය.
ගෙඩි තොරණ
පැරණි ගෙඩි තොරණක් |
පන්සලේ පමණක් නොව පල්ලියේ ද මෙම පොල්, තැඹිලි තොරං ඉදි කිරීම සිදු වේ. රාගම, හපුගොඩ ආදී කතෝලික පළාත්වල ගැමියන් ගොක් කොළය පාවිච්චි කළේ පල්ලිය මංගල්‍යයට වීදි දෙපස සැරසීම සඳහා කුරුල්ලන් කැපීමට පමණි. මෑතක සිට පොල් තොරණ කතෝලික පල්ලිවල මංගල්‍ය අවස්ථාවල ඉදිකිරීමත් දැක ගත හැකි යි. විවිධ සැරසිලි යොදා අලංකාර ආකාරයෙන් තැනූ ගෙඩි තොරණ පල්ලිවල දැකගත හැකි යි. රාත්‍රියේ දී වඩාත් අලංකාර වීමට මේ තොරණ විදුලි බුබුළු යොදා සැරසීමත් සිදුවෙනවා. පල්ලිවල ඉදිකරන පොල් තොරණවලින් පල්ලියට එන බැතිමතුන් පිළිගැනීම, ශාන්තුවරයාට ගරු කිරීම, ඉදිකරන්නන්ගේ සංස්කෘතික හා නිර්මාණ හැකියාව පෙන්වීම, බැතිමතුන් අතර සමගිය සහෝදරත්වය ඇති කිරීම යන කාරණා පසුබිමේ තිබෙනවා. මීගමුව හා වැලිවේරිය කතෝලික බැතිමතුන්ගේ බැතියට ළං වූ පොල් තොරං, තැඹිලි තොරං සහ ජපමාලේ තොරං ගැන මෙන්ම මුහුදු කරේ කරවල තොරං ද සෑදී ඇති බව කියැවේ.
කඩවත පල්ලියේ පොල්කටු තොරණ |
පල්ලියක මංගල්‍යයට තැනූ පොල් තොරණ |
ගොඩැල්ල ශා. සෙබස්තියන් දෙව් මැදුර තැඹිලි තොරණ |
පල්ලියේ මහ තොරණ ඉදි කරද්දී අතීතයේ තිබුණේ
පොල් තොරණය. පොල් වලු දහස් ගණනක් එක් කොට බැලුම් බෝල පොකුරු එල්ලුවා සේ
දැවැන්ත පොල් තොරණ ඉදි කිරීමට පොල් ත්‍රිකෝණයේ කතෝලිකයෝ සැදී පැහැදී
සිටියහ. පල්ලියේ මංගල්ලෙට ඉදිවෙන පොල් තොරණක් ඉදිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ තොරණින් පස්සෙ ඒවා පල්ලියෙන්ම විකුණා ආදායමක් ගැනීමයි. පුවක් කඳන්වලින් තැනූ තොරණ සැරසීම සඳහා තැඹිලි වලුපිටින්ම එල්ලී ම තමයි
සිදුකරන්නේ. මංගල්‍යය දින අවසන් වූ පසු මෙහි තිබෙන තැඹිලි වලු ගලවා පල්ලියේ
බැතිමතුන් අතර බෙදාදීම සිදුවෙනවා. ඒ එකතුවන මුදල් අපේ අරමුදලට එක් වේ. පල්ලියට එන අපේ බැතිමතුන් පිළිගැනීම, ශාන්තුවරයාට ගරු කිරීම, ශාන්තුවරයාගේ
මැදිහත්කම පතා බැතිමතුන් යාඥාවට පෙලැඹවීම, ඉදිකරන්නන්ගේ සංස්කෘතික හා
නිර්මාණ හැකියාව පෙන්වීම, ඉදි කරන්නන් අතර සමගිය සහෝදරත්වය ඇති කිරීම යන
කාරණා පොල් තොරණ පසුබිමේ තිබේ. ගොක් තොරණ පල්ලියට
පැමිණ තිබුණේ එහි සම්ප්‍රදාය වෙනස් කරමින් ඉටි කොළ, අල කොළ, සහ ක්‍රෝටන්
කොළද ඇතුළත් වූ තරමක් සංකර පිළිවෙතකට අනුවය.
ගෙඩිගේ තොරණ
පත්තිනි තොරණ
දෙවොල් මඩුවේ සුවිශේෂී සැරසිල්ල මකර තොරණ හෙවත් පත්තිනි තොරණ යි. මෙය පත්තිනි දේවියගේ ආභරණ තැම්පත් කිරීම වස් සකස් කරයි. උතුරට මුහුණලා සකස් කරන අතර සම්මත මිමි ප්‍රමාණ මත සකසා ගනී. මුදුන කොත් 5කි. තොරණ් යාගයේ කවිවලදී පත්තිනි තොරණේ මිමි ප්‍රමාණ ගැන සඳහන් ය. කෙසෙල් පතුරු, ගොක් කොළ, ක්‍රෝටන් කොළ ගැට ගසමින් අලංකාර කර ගන්නා අතර තොරණ ජ්‍යාමිතික හැඩයන්ගෙන් යුක්ත ය. කිඳුරු රූප, පක්ෂි රූප, ඉර හඳ තොරණ අලංකරණය සදහා යොදා ගනී. ස්වභාවික හැඩයන්ට අමුද්‍රව්‍යයන්ට අමතරව වර්ණවත් කඩදාසි, සව් කොළ යොදා ගැනේ.
ඓතිහාසික ගණේගොඩ දේවාලය මඩු තොරණ |
සේරමාන් රජුගේ නැව මුදුනේ පැවති කුඹ ගස සිහිපත් කරමින් කාලපන්දම් ගස සිටුවයි. රියන්11ක් උස පුවක් ගසක් තෝරා සුද්ධ කර එහි මුදුනෙහි විශාල පන්දමක් ගසනු ලැබේ. මෙම කාලපන්දම් ගස ගොක්කොළ, කණවැල් ආධාරයෙන් සිටුවන අතර දේවතෝඩු බැඳ සකසා ගනී. එදා සේරමාන් රජුගේ බිසව විසින් සිටුවන ලද කප් ගස සිහිපත් කරමින් බිසෝ කප සිටුවයි. සවියත් සහඟුලක් දිගින් යුතු පවිත්‍ර කරන ලද කෙසෙල් බඩයක කැටයම් කරන ලද ගොක්කොළ ගසා සකසා ගනී. දෙවියන් වෙනුවෙන් විචිත්‍රවත් ලෙස සකසා ගන්නා මල් යහන විශේෂ සැරසිල්ලකි. මෙය තනමත්තක් උසට සිටින සේ සකසා ගනී. ගොක්කොළ, කෙසෙල් පතුරු, හබරල කොළ කැටයමින් අලංකාර කරයි. ආරුක්කු, ගරාදි, පේකඩ, දොරටු, කව්ලු දක්නට ලැබේ. තනිපට ලණුව, දෙපට ලණුව දක්නට ලැබේ.
කෝවිල් තොරණ
වෙසක් තොරණ
මුල් කාලයේදී මෙරට වෙසක් තොරණ උපත ලබා ඇත්තේ චාම් ගොක් රැලිවලින් සහ පුහුල් පහන්වලිනි. ඒවා මුදුනේ 'බුදු සසුන බැබලේවා' යන පාඨය සදහන් විය. ගොක් කොළවලින් වියන ලද තොරණ මුදුනේ වෙහෙරක සංකේතයක් යොදා තිබූ බවද ඒ දෙපැත්තේ වෙහෙරට වදින දෙවිවරුන් දෙදෙනකු නිරූපණය කර තිබුණේ යයිද කියැවේ. එදා වෙසක් තොරණට නම ගිය නගරය වූයේ අම්බලන්ගොඩය. 1956 පැවති වෙසක් ජයන්ති උත්සවය වෙනුවෙන් කොළඹ වරාය අසල මොටාගෙදර වනිගරත්න චිත්‍ර ශිල්පියා ඇදි තොරණත්, ඩීන්ස් පාරේ ලිප්ටන් වට රවුම අසල පාර හරහා ජී. එස්. ප්‍රනාන්දු චිත්‍ර ශිල්පියා ඇදි ආරුක්කුවක් වැනි තොරණත්, දෙහිවල ෆ්‍රොම්ට්‍රේඩ්ස් සමාගම සකස් කළ ජී.ඇල්. ගෞතමදාස චිත්‍ර ශිල්පීයා ඇදි නේරංජනා තරණය දක්වන තොරණත්, කොටුවේ වීරකෝන් සමාගම ඉදි කළ හෙන්රි ධර්මසේන චිත්‍ර ශිල්පියා ඇදි බුදු රුවත් එදා වෙසක් උළෙලේ දක්නට ලැබුණු සුවිශේෂම තොරණ විය.
වෙසක් පොසොන් සහ ඇසළ මාසවල දර්ශනීය තොරණ ඉදිකර ප්රදර්ශනය කිරීමේ සම්ප්රදාය අඛණ්ඩව පැවතගෙන එයි. වෙසක් තොරණ ගැන අප දන්නවා වුවත් ආදි කාලේ වෙසක් තොරණ ඉදිවුණේ දුප්පත් ලෙසය. ගොක්කොළ පසුබිමේ බුද්ධ රූප කිහිපයක් තබා එදා ජාතක කතාවක් සිත්තම්කොට නොවේ ලියපත්, කඟවේන්නු, ලීස්තර, ගරාදි, නාරිලතා ඒ තොරණ කොයිකේත් සැරසිලි වී තිබිණ. පුවක් ගස් කපලා. පුවක් ගස් කපාන ඇවිත් ඒ කඳන් බරගාණක් හිටෝලා සැකිල්ල හදලා ජාතක කතා චිත්‍ර එල්ලානු ලැබේ. වෙසක් බලන්න එන අය තොරං බැලුවෙ ඒ ජාතක කතාවලට හිතේ පහන් හැඟීමක් ඇති කරගෙන. පස්සෙ කාලෙ බුදුරැස් මාලාවෙ ඉඳලා නොයෙක් වෛවාරන වොට් 5-20 පොඩි පොඩි බල්බ් රටා දැල්වෙන්න පටන් ගන්නවා. හුඟක් අය ගියේ රැස් විහිදෙන ලයිට් කන්දරාව බලන්න. පුවක් කඳන්වලින් ද මිදී යකඩ බටවලට මාරු වූ තොරණ සැකිල් මත අතින් ඇඳි චිත්‍ර පමණක් නොව ඩිජිටල් මුද්‍රිත රූප පද්ධති ද පැමිණ තිබේ.
ගම්උදා තොරණ
රණසිංහ ප්‍රේමදාස මහත්තයා කාලෙ සෑම අවුරුද්දකම ජූනි මාසෙ පැවැත්වුණා රටේ කොහේ හරි ගම් උදාවක්. ඒක මහා ප්‍රදර්ශනයක්. ගෙවල් සහිත අලුත් ගම්මානයක්. මේ ප්‍රදර්ශන භූමියෙ ඉදි වුණා විසාල තොරණක්. පසුබිම තැඹිලි පාටයි. උදාගම් ප්‍රදර්ශන භූමියෙ ප්‍රවේශයේ ඉදි වුණ ඒ තොරණ ගැහුවේ තුනී ලෑලි සහ රිජුෆෝම්වලින්. ඒ තොරණේ පුරෝගාමියා ජයසිරි සේමගේ කියන කලාකාරයා. ඔහු ඒ පළාතේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හැදියාව ඒ දැවැන්ත තොරණේ නිරූපණය කළේ සිත්තම්වලින් හා අර්ධ මූර්තිවලින්. මාස කිහිපයක් තිස්සේ ඒ තොරණ ඉදි වුණා. දැන් පිටරට ගිහිං ආපු ඇත්තෝ නවීකරණය කළ තොරණ ඉදි කෙරුණා.
වර්තමානයේ ද මඟුල් තුලා, අවමඟුල්, සල්පිල්, පිංකම්, උත්සව ආදී නොයෙක් අවස්ථාවන්හි තොරණ ඉදිකිරීම කෙරෙයි. මළ ගෙදරකදී දේහය පිට්ටනියට ගෙන යන වීදි දෙපස පොල් කොළයෙන් සැරසූ අතර මංගල්ලවලදී ඒ චරිතය ගොක් කොළයට හිමි වී තිබුණි. නොයෙක් ද්රව්ය යොදා ගනිමින් නිර්මාණය කරන තොරණ අද ඩිජිටල් තාක්ෂණය දක්වා පරිණාමය වී ඇත. අතින් අකුරු ඇඳ නිර්මාණය කළ තොරණ අද ඩිජිටල් මුද්රණයෙන් නිම වෙයි. කොප් කොළ වැනි යොදා ස්වාභාවික ද්රව්ය යොදාගෙන නිම කළ තොරණ රිජිෆෝම්, ඉටි රෙදි වැනි කෘතිම ද්රව්ය යොදා ගැනීම දක්වා වෙනස් වී ඇත. ගොක්කොළවලින් ලෑලි, පොලිතින්වලින් තොරණ වෙනස් වී අනතුරුව රිජුෆෝම්වලින් ද තොරණ සැදුණු අයුරු අපි දනිමු. බැලුම් තොරං මෙන්ම ඩිජිටල් තොරන්ද අධික මිල ගනන් යටතේ අලෙවි වීම සිදුවේ.
තොරතුරු මූලාශ්‍ර
"අතැඹුල" ශාස්ත්‍රීය සංග්‍රහය
No comments:
Post a Comment