Translate

Saturday, April 22, 2023

සිව්වැනි බන්ධනාගාර මානවක බාලදක්ෂ කඳවුර - 2023

බන්ධනාගාරගත රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන 04 වන නේවාසික මානවක බාලදක්ෂ කඳවුර 2023.04.01 වන දින සිට 2023.04.03 වන දින දක්වා රැඳවියන් 500 ගේ සහභාගීත්වයෙන් පල්ලේකැලේ එලිමහන් සිර කඳවුරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා සහභාගී වීමට නියමිතය.





එම කඳවුර සඳහා නිකුත්කරන ලද පදක්කම සහ කර ලේන්සුව නිළ වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙත පිළිගැනීමේ අවස්ථාව 2023.03.29 වන දින බන්ධනාගාර මූලස්ථානයේ සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර මූලස්ථාන අධිකාරී ගාමිණී බී දිනාසායක මහතා, සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතා, බන්ධනාගාර බාලදක්ෂ කටයුතු භාර නිලධාරී විශේෂ කොමසාරිස් ඊ.කේ.දිලුම් දුමින්ද මහතා ඇතුළු බන්ධනාගාර මානවක බාලදක්ෂ ආචාර්යවරු පිරිසක් මේ සදහා සහභාගී විය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව හතරවන නේවාසික බාලදක්ෂ කඳවුරු සමාප්තිය සාර්ථකව සනිටුහන් කරයි….

බන්ධනාගාරගතවන රැඳවියන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලියට මහත් රුකුලක් වන බන්ධනාගාර බාලදක්ෂ කටයුතු සදහා වසර සියයක් සපිරෙන මොහොතේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදෙස් මත අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතාගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර දෙපාර්මේන්තුවේ පුනරුත්ථාපන අංශය විසින් සංවිධානය කරනු ලැබූ හතරවන නේවාසික මානවක බාලදක්ෂ කඳවුර 2023.04.01 සිට 2023.04.03 වන දින දක්වා පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරු භූමියේදී පවත්වන ලදී. 




මෙම කඳවුර බන්ධනාගාරගත නේවාසිකයින් 400 ක් හා බාලදක්ෂ ආචාර්යවරු 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. කඳවුරු සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා හා ගරු අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අධි නීතීඥ අනුරාධ ජයරත්න මහතා ද සහභාගී විය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යංශයේ ‍ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා බුද්ධි) ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් හා සේවා,කර්මාන්ත) කේ.ඒ.එස්. කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස් මූහීඩ් මහතා සහ මහනුවර දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් කපිල ප්‍රියන්ත මහතා ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

පුරා දින තුනක් පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ මනරම් භූමි භාගයක පැවති මෙම කදවුරේ දී මානවක බාලදක්ෂයින් හට සංස්කෘතික සංදර්ශන, ගිණිමැල සංදර්ශන, බාලදක්ෂ ක්‍රියාකාරකම්, අධ්‍යන චාරිකා, ප්‍රජා සේවා ව්‍යාපෘති වැනි ක්‍රියාකාරකම් රැසකට සහභාගී වීමට අවස්ථාව උදා විය.

මෙම කදවුර සදහා ශ්‍රී ලංකාවේ සියළුම බන්ධනාගාරයන් නියෝජනය කරමින් බාලදක්ෂ මානවකයින් සම්බන්ධ වීම සුවිශේෂී කරුණක් විය. කඳවුරේ දී පැවති පරික්ෂණයන්ට සාරථකව මුහුන දී දක්ෂතම බාලදක්ෂ සමූහය ලෙස තල්දෙන තරුණ වරදකරුවන්නේ විශෝධන මධ්‍යස්ථාන කණ්ඩායම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ශූරතාවය දිනා ගන්නා ලදි. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අනුශූරතාවය බූස්ස බන්ධනාගාර රැදවියන් විසින් දිනා ගන්නා ලදි. මෙම කදවුරේ දී බන්ධනාගාර රැදවියන් තම කලා හැකියාව උපරිම ලෙස යොදාගනිමින් ඉදිරිපත් කල අංගයන් සෑම දෙනෙකුගේම ඇගයීමට ලක්විය.

මෙහි සමාප්තිය අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතාගේ සහභාගීත්වයෙන් පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේදී 2023.04.03 වන දින සාර්ථකව පැවැත්විය.