Translate

Tuesday, March 26, 2024

බාලදක්ෂිකා සංගමයේ 107 වන සැමරුම වෙනුවෙන් වෙබ් අඩවියක් විවෘත කරයි (1917-2024)

කැපවීම, සේවය සහ ස්වේච්ඡා සේවයේ 107 වසර සැමරීමට අපි උද්යෝගිමත් සහ උනන්දු වෙමු!



තරුණ කාන්තාවන් සවිබල ගැන්වීමේ 107 වසර සමරමින්, ශ්‍රී ලංකා බාලිකා බාලදක්ෂිකා සංගමය එහි ඔරොත්තු දීමේ, නායකත්වය සහ සේවා ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වසර 107 කට පෙර එහි ආරම්භයේ සිටම, SLGGA ශ්‍රී ලංකාව පුරා සිටින අසංඛ්‍යාත ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ජීවිත හැඩගස්වාලීම, ධෛර්යය, දයානුකම්පාව සහ ප්‍රජා ආත්මය යන වටිනාකම් ඇති කිරීමෙහිලා ඉදිරියෙන්ම සිටී. මෙම වැදගත් අවස්ථාව සමරන අතරතුර, අතීතයේ කැපී පෙනෙන ජයග්‍රහණ ගැන මෙනෙහි කරමින් SLGGA හි මෙහෙවර ඉදිරියට ගෙන යාමට අපගේ කැපවීම අලුත් කර ගනිමු. එක්ව, සෑම ගැහැණු ළමයෙකුටම දියුණු වීමට, නායකත්වය දීමට සහ වෙනසක් කිරීමට අවස්ථාව ඇති අනාගතයක් අපි සිතමු. මෙන්න තවත් වසර ගණනාවක ආශ්වාදය, බලගැන්වීම සහ සහෝදරත්වය වෙනුවෙන් සුභ 107 වැනි සංවත්සරයක්, ශ්‍රී ලංකා බාලදක්ෂිකා! 
 




107වැනි සංවත්සරය සමරණ මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට SCOUTING සගරාවේ සුබ පැතුම් මෙලෙස එක් කරන්නෙමු. මේ ඒ වෙනුවෙන් අප විසින් සකස් කරනු ලැබූ පද පෙළකි.  


බාලදක්ෂිකා......ආලෝකයයි... (ශ්‍රී ලංකා....)
ශ්‍රී ලංකා........ආ....( ශ්‍රී ලංකා....)
ලෝකයයි... ආ....ලෝකයයි...
ශ්‍රී ලංකා බාලදක්ෂිකාලෝකයයි...

එක් වෙමු - රොක් වෙමු
රොද බැද - ජයගමු
එක්සිය හත්වසරක අභිමානයයි... මේ...
ශ්‍රී... ලංකා....ආ....(ශ්‍රී ලංකා....)
බාලදක්ෂිකාලෝකයයි...

තරු දිලෙනා ආකාසේ
එක්වෙමු අපි මීමැසුන් සේ  
ලෝකයයි... ආ....ලෝකයයි...
බාලදක්ෂිකාලෝකයයි...
ශ්‍රී ලංකා........

ශ්‍රී ලංකා......ආ....ආ....
ශ්‍රී ලංකා බාලදක්ෂිකා...
ශ්‍රී ලංකා......

2024 වර්ෂය ශ්‍රී ලංකා බාලදක්ෂිකාවන්ගේ 107වැනි ස්මරණීය වර්ෂයයි. SLGGA මෙම ඓතිහාසික පියවරක් ලෙස බාලදක්ෂිකා නිල වෙබ් අඩවිය ද අන්තර්ජාලයට මුදාහරිනු ලැබිණ.

 

Saturday, March 23, 2024

බාලදක්ෂයෝ 2024 වසරේ මිහිකත හෝරාව - පැයක කාලයක් පෘථිවියට හුස්ම ගැනීමට අවස්ථාව

 


“මිහිකතට යා වෙමු“ යන්න මෙවර එහි තේමාවයි. ඊට දායකත්වය දැක්වූ අය අතරින් ඔබත් කෙනෙක්ද යන්න අපි ඔබගෙන් විමසන්නමෙු?
 
ලෝක වනසත්ව අරමුදල විසින් 2007 වසරේදී මෙම මිහිකත හෝරාව හඳුන්වා දෙනු ලැබීය. ජනතාවගේ පරිසර සංවේදීත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම සංකල්පය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරුණ අතර, 2007 මාර්තු 31 දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මිලියන 2.2ක් පමණ වූ ජනතාව පැයක් විදුලි ආලෝකය නිවා දමමින් මෙම හෝරාව සැමරීමට එක් වූහ. අද වන විට මෙම අවස්ථාව සැමරීම වෙනුවෙන් ලොව පුරා රටවල් 152කට අධික සංඛ්‍යාවක් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එය හැඳින්වෙන්නේ පරිසරය සුරැකීම සඳහා බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන ලොව විශාලතම වැඩපිළිවෙළ යනුවෙනි. 
 
පෘථිවිය උණුසුම්වීමට බලපා ඇති කාබන් වායූ අඩු කිරීම සඳහා ලෝකයේ අවධානය යොමු කිරීම වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල් මෙම මිහිකත හෝරාව සමරනු ලබති. මෙය සෑම වසරකම මාර්තු මස අවසන් සෙනසුරාදාට යෙදේ. මෙවරත් 2024.03.23 රාත්‍රී 8.30 සිට 9.30 දක්වා අනවශ්‍ය විදුලි පහන් නිවා දමමනේ මිහිකතහෝරාව හා එක්වන්නට සමස්ත බාලදක්ෂ සහෝදරත්වයටම ජාතික බාලදක්ෂ මූලස්ථානය විසින් දන්වනු ලැබිණ. මෙහි අරමුණ පැයක කාලයක් පෘථිවියට හුස්ම ගැනීමට අවස්ථාව යනුවෙන් හැඳින්වේ. 
 



මිහිකත හෝරාව යනු ලෝක වනජීවි අරමුදල (WWF World Wildlife Found ) විසින් සංවිධානය කරනු ලැබූ ලෝක ව්යාප්ත වැඩසටහනකි. ලෝක වනජීවී අරමුදල විසින් සංවිධානය කරන මෙම වැඩපිලිවෙලට සහය දෙමින් ලෝකයේ බොහෝ ස්ථානවල පැයක කාලයක් විදුලි පහන් නිවා දමා තිබුණා. ඉන්දියාවේ නවදිල්ලි නගරය, හොංකොං, සිඩ්නි ඔපෙරා රඟහල, සිංගප්පූරුව, තායිලන්තය, බැංකොක් ආදී බොහෝ නගරවල ද මෙය ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් ඇතැම් රටවල් මේ කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වා තිබුණේ නැහැ.
 
2004 දී ලෝක වනජීවී අරමුදල දේශගුණික විපර්යාස ගැටළුව සම්බන්ධයෙන් ඔස්ට්රේලියානුවන් සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් අදහස් සාකච්ඡා කිරීම සඳහා වෙළඳ ප්රචාරණ ආයතනයක් වන සිඩ්නි නුවර ලියෝ බර්නෙට් ආයතනය හමුවිය. එහිදී මහාපරිමාන විදුලි බලාගාර ක්රියා විරහිත කිරීමේ අදහස මුලින් මතුවිය. එම සංකල්පය 2006 දී නිර්මාණය කර වර්ධනය කර සිඩ්නි හි නගරාධිපති Clover Moore වෙත ඉඳිරිපත් කරන ලදී. ඒ අනුව මුල්ම මිහිකත හෝරාව 2007 මාර්තු 31 දින ඔස්ට්රේලියාවේ සිඩ්නිහිදී දේශීය වේලාවෙන් රාත්රී 7.30 සිට පවත්වනු ලැබීය.
 
මිහිකත හෝරාව 2008 වසරේ පලමු සංවත්සරය සමරමින් මාර්තු මස 29 දින දේශීය වේලාවෙන් රාත්‍රී 8 සිට 9 දක්වා ජාත්‍යන්තරව පවත්වන ලදී. ඊට ලොව පුරා රටවල් 35 ක ප්‍රමුඛ නගර 400 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වූ අතර එහිදී අත්‍යාවශ්‍ය නොවන ආලෝක පහන් නිවා දමන ලදී. සමහර වෙබ් අඩවි මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගූගල් සමාගමේ (Google) මුල් පිටුව අඳුරු බවින් දිස්විය.
 
මෙහිදී ඇමරිකාවේ මිලියන 36 ක් හා වැඩිහිටි ප්රජාවගෙන් 16% ක් ඊට සහභාගී වූ අතර දේශගුණික පාරිසරික ප්රශ්න කෙරෙහි උනන්දුව දක්වන පිරිස 4% කින් ඉහල අගයකින් ඉහල ගියේය. මේ අනුව බැංකොක් හි එම කාලය තුල විදුලි පරිභෝජනය මෙගාවොට් 73.34 කින් අඩුවූ අතර ඉන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 41.6 කින් පහත වැටුණි .ඒ අනුව බොහෝ රටවලින් පැයක් තුල විදුලි පරිභෝජනය අඩුවිය. එමෙන්ම එකී කාලය තුලදී පරිසරයට මුදා හරිනු ලැබූ කාබන් ඩයොක්සයිඩ් ප්රමාණය ටොන් ගනනකින් බොහෝ අඩුවිය. ඉන් හොඳම ප්රථිපලය දැක්වූයේ නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච් නගරයෙනි. ඒ නගරයේ විදුලි පරිභෝජනය 13% කින් පහත වැටීමක් වාර්තා කරමිනි. එමෙන්ම ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර 10% කින් අඩු විය. මිහිකත හෝරාවේ නරකම ප්රථිපලය වූයේ කැනඩාවේ කැල්ගරි නගරයෙනි.එම පැය තුල නගරයේ විදුලි ඉල්ලුම 3.6% කින් ඉහල ගියේය. ඒ සෙනසුරාදාට පෙර දින වාර්තා වූ උෂ්ණත්වයට වඩා පසුදින එනම් සෙනසුරාදා උෂ්ණත්වය අඩුවූ අතර එය 12°c හේතුවෙන් ශීත කාලගුණයක් නගර වැසියන්ට අත්විඳීමට වූ බැවිනි. කෙසේවෙතත් 2010 හා ඊට පසුව එහි විදුලි පරිභෝජනය 1% කින් අඩුවිය. සැබැවින්ම මිහිකත හෝරාව බලශක්ති අඩු කිරීම හා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වීම අවම කිරීම අභ්යාසයක් ලෙස අදහස් නොකරන අතර එය සංකේතාත්මක ක්රියාවකි.එය එම පැය තුල විදුලි පරිභෝජනය හා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩුවීමේ මට්ටම මැනීම නිරත නොවන අතර ලොව පුරා සිටින පුද්ගලයන්, ව්යාපාර හා රජයන් ඔවුන්ගේ පාරිසරික අභියෝග වලට සැබෑ විසඳුම් සපයන සංවාදයේ යෙදීමට දිරි ගැන්වීමේ මුල පිරීමකි.
 
#KD

Wednesday, March 20, 2024

167 වන දින බී.පී දින සැමරුම වෙනුවෙන් නිර්මාණය කළ හිරු සිතුවම - 2024

බේඩ්න් පවෙල් සාමිවරයා වරක් මෙසේ පැවසුවා.  ඔබ ලෝකය හැරයන විට, එය ඔබ මුලින් දුටු ආකාරයට වඩා මඳක් හෝ ඉදිරියෙන් තබා යාමට උත්සාහ කරන්න... යනුවෙනි. ඒ සර්වකාලීන පණිවිඩය පෙරදැරි කරගනිමින්, 167වන බේඩ්න් පවෙල් දින සමර්පණයට එක්වන සුවහසක් බාලදක්ෂ-බාලදක්ෂිකාවන් වෙත SCOUTING සඟරාවේ සුභාසිංශනයද මෙසේ එක්කෙරන වගයි..!

 
ආදිකර්තෘ දිනය සමරමින් ලොව පුරා වෙසෙන බාලදක්ෂ-බාලදක්ෂිකාවෝ විවිධ සමාජ සත්කාරක සහ සේවා වැඩසටහන් සංවිධානය කරති. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ-බාලදක්ෂිකා දරුවන් 167 වන දින බී.පී දින සැමරුම මෙවර 10වැනි ජාතික ජම්බෝරිය්දී සමරණු ලැබූහ. ඒ වෙනුවෙන් SCOUTING සගරාවේ අපි සුපුරුදු පරිදි අලුත්ම නව නිර්මාණයක් බාලදක්ෂ ලෝකයට මෙවර දායාද කරන්නෙමු. අත් කාචයක් හරහා හිරු එළියේ කිරණ එක තැනකට නාභිගත කර දැව පුවරු මත පිළිස්සීමෙන් මෙවර ඒ අතිශය දුෂ්කර කලා කටයුත්ත සිදුකරනු ලැබුවේ මීගමුව බාලදක්ෂ දිසාවේ මාර්කස් ඇන්ටනී ප්‍රනාන්දු මහතා විසිනි.
 
හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවා scouting යූ ටියුබ් නාලිකාවේ අපට හදුන්වා දෙනු ලැබුවේ අපගේ බාලදක්ෂ මිතුරකු වූ මීගමුව බාලදක්ෂ දිසාවේ ජෝර්ජ් මහතා විසිනි. ඒ ඇසුරින් සිදුකල සම්පූර්ණ වීඩියෝව පහතින් බලා ගත හැකිය.
 

 
ලොව ප්‍රථමවරට නිර්මාණය කල බී.පී. ආලේඛය සහිත හිරු සිතුවම
 
හිරු එළිය අපට නොමිලයේම ලැබෙන ප්‍රධානම ශක්ති ප්‍රභවයයි. විද්‍යාඥයෝ හිරුඑළියෙන් බලය නිපදවා ගැනීමට විවිධ පර්යේෂණ කරගෙන යද්දී කලාකරුවකු එම හිරු එළිය යොදවා තම කලා නිර්මාණ කිරීමට සමත්ව සිටී.‍ ඔහු කටුනායක මාක් ඇන්ටනී පෙරේරා ය. හිරු එළිය උපකාරයෙන් චිත්‍ර ඇදීමටත් පොල් කටුවෙන් විසිතුරු ද‍ෑ කැටයම් කැපීමටත් ඔහු ‍උපන් හපනෙකි.

කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව මවගේ වියෝව නිසා තම සීයා සමීපයේ සිට කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ශිල්ප නිමා කළ ඔහු එතැනින් ගියේ ගැල්වනයිස් කිරීමේ කර්මාන්තයක් කරා ය. එතැන ටික කලක් රැකියාව කළ ඔහු කුවේටය බලා ගියේ ය.

කුවේටයේ රැකියාව කරන අතරතුර ලැබෙන විවේකයේදී ඔහු හිරුඑළිය නාභිගත කර පිළිස්සුම් මගින් අපූරු චිත්‍ර නිර්මාණයක් කරන අන්දම රූපවාහිනියෙන් දුටුවේ ය. තර්ස්ටන් විදුහලේ ඉගෙනීම ලබද්දී ඔහුගේ මිතුරෙකු ඔහුට උත්තල කාචයක් ලබාදී තිබුණි. එතැන් සිට ඔහුගේ ආශාව වූයේ හිරුඑළියෙන් චිත්‍ර කැටයම් කිරීම ප්‍රගුණ කිරීමට ය.

මේ ගැන තිබ‍ූ ආශාවත් සමඟ පාසලේදී අත්වැඩට පොල්කටුවෙන් කරන නිමැවුම් පිළිබඳව ද මාක් ඇන්ටන්ට සිහි විය. ඒ සඳහා මෙවලම් කිසිවක් ඔහු සතුව නොවී ය. තිබුණු මෙවලමකින් පොල් කටු කපා කොටා ගැනීමට ඔහු පෙළඹුණු අතර අඩු පාඩු මෙවලම් එක, දෙක, ක්‍රම ක්‍රමයෙන් සොයා ගත්තේ ය. ඔහු පොල් කටුවෙන් විවිධ කලාත්මක දේ නිපදවා සංචාරකයින්ට අලෙවි කරමින් හිරුඑළියෙන් චිත්‍රණය කිරීමට ද සුළු සුළු අත්හදා බැලීම් සිදු කළේ ය.

හිරු සිතුවම් කලාවෙන් නිර්මිත ලොව ඇති එකම බී.පී.තුමාගේ උඩුකය රූපය නිර්මාණය කිරීම

අත් කාචය හිරුඑළියට අල්ලා නාභි ගත වන රශ්මි ධාරාවෙන් පුළුන් කැබලි, කඩදාසි පිළිස්සීමෙන් ඔහු ඉගෙන ගත්තේ ය. එය ලෑල්ලක් මතට ගෙන රුවක් ගොඩනඟා ගන්නට ඔහු ගත් තැන සාර්ථක විය. ප්‍රවීණ සංගීතඥ ගුණදාස කපුගේ ගේ රුව ලෑල්ලක් තුළින් මතු කරගත් ඔහුගේ මුල්ම නිර්මාණය විය.

මේ ඒ පිළිබඳව ඔහුගේ අදහස්.

“මේක අසීරු වැඩක්. චිත්‍රයක් නිම කරන්න දවස් ගණනක් ගිනි අව්වේ කට්ට කන්න වෙනවා. චිත්‍රයක සුළු ඉරක්, සුළු කොටසක් නිර්මාණයට සෑහෙන වේලාවක් ගත වෙනවා. අත පොඩ්ඩක් හරි ඇස පොඩ්ඩක් හරි අහකට ගත්තොත් චිත්‍රය වෙනස් වෙනවා. ලෑල්ලේ පිච්චෙන තැන හරියටම සලකුණු කරගන්න ඕනේ. විශේෂයෙන් පාට අඩු වැඩි තැන් බොහෝම අවධානයෙන් කරගන්න ඕනේ. ඒකට ලොකු ඉවසිල්ලක් තියෙන්න ඕනේ.

මේ සඳහා හොඳට පායන ඉර අව්වත් අත් උත්තල කාචයත් හැරුණු විට ඉක්මනින් පිළිස්සෙන සුදු පැහැයට හුරු කල් පවතින ලෑලි වුවමනා වෙනවා. වැනිස්ටා බෝඩ් මේ කාර්යයට සුදුසුයි. ෆයිනස්, ඇල්බීසියා වැනි ලෑලිත් ගන්න පුළුවනි. ඒ වගේ ම ලෑල්ල පොලිෂ් කිරීමේ හැකියාව තිබුණොත් චිත්‍රය තවදුරටත් දැකුම්කළු කරන්න පුළුවන. කොහොඹ, දොඹත් සුදුසුයි.

ඒත් හිරු එළියෙන් කෙරෙන චිත්‍ර එතරම් ප්‍රචලිත නැහැ. නමුත් මම නිර්මාණය කළ චිත්‍රවලට ඉහළ ප්‍රතිචාර තිබුණා. ඒත් මේවා නිර්මාණය පහසු නැහැ. ඒ නිසා වටිනාකම ඉහළ යනවා. ඒ වියදම් සමහර විට දේශීය රසිකයකුට දරාගන්න බැහැ. දැනට කරලා තියෙන චිත්‍ර දිහා බලලා ඉල්ලුමක් ලැබුණොත් කරල දෙන්න පුළුවන්. චිත්‍ර ඇදීම පිළිබඳ උනන්දුවක් දක්වන්නකුට ගුරු උපදේශයක් දෙන්න කැමැතියි.

කඩදාසියක ඇඳ ගන්නා සිතුවම ලීය මත කටුසටහනක් ලෙස ඇඳ ගත යුතුයි. හැබැයි අපට පාට සීමිතයි. එකම වර්ණය තද හා ළා පාට දක්වා විහිද යා යුතුයි. ඒ නිසා උපයෝගි කර ගන්නා වස්තු බීජය එම වර්ණයට හෝ රටාවට ගැළපෙන පරිදි විය යුතුයි.

පොල්කටු නිර්මාණ ශිල්පය වැඩි දියුණු කරන්න මම අදහස් කරනවා. පොල් ගසින් කිසිවක් අහක යන්නෙ නැහැ. පොල් කටුව ඉවත දමන දෙයක්. දැනට කරන්නෙ අඟුරු පුච්චන එක පමණයි. එයින් මෙවැනි දේ නිර්මාණයට පුහුණුවක් තියෙන අය අද අඩුයි. ඒ නිසා මේ කර්මාන්තය නඟා සිටවන්න මම වැඩපොළක් ආරම්භ කළා මීගමුවේ පිටිපන නැමැති ගමේ. 0113122466 ට කතා කරලා ඕනෑම කෙනෙකුට පුහුණුව ලබා ගන්න පුළුවන්. 


මාක් ඇන්ටනී නොමිලේ ලැබෙන හිරු එළියෙන් හා පොල්කටුවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට ප්‍රයත්න දරන්නෙකි. මේ ස්වභාවික වස්තුන්, කලාව පෝෂණයට උපයෝගි කර ගැනීම ඇත්තෙන්ම වාසනාවකි. මෙවර ලෝක බාලදක්ෂ නිර්මාතෘ බී.පී දින සැමරුම වෙනුවෙන් බාලදක්ෂ ලෝකයට දායාද කල මෙම අපූරු නිර්මාණය වෙනුවෙන් සමස්ත බාලදක්ෂ ව්‍යාපරය වෙනුවෙන් අප ස්තූතිවන්ත වෙමු.

ශ්‍රී ලංකා බාලදක්ෂිකාලෝකය - බාලදක්ෂිකා සංගමයේ 107 වන සැමරුම (1917-2024)

බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කළේ පිරිමි ළමුන් උදෙසායි. නමුත් බාලදක්‍ෂ ව්‍යාපාරය පිළිබඳව මූලධර්ම ඇතුලත් කොට බේඩින් පවෙල් විසින් රචිත ‘පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ’ (Scouting for Boys) මුල් පොත කියවීම, පිරිමි දරුවන්ට පමණක් ම සීමා වුණේ නැහැ. තම සහෝදරයින් සිදුකරන බාලදක්ෂ පුහුණු කටයුතු පිළිබඳ සහෝදරියන් මහත් උනන්දුවක් දැක්වූවා. එළිමහන් කටයුතු කෙරෙහි ඔවුන් වඩාත් ආකර්ශනය කරගනු ලැබුවා. තමාටත් හැකි පමණින් එම කටයුතු අත්හදා බැලීමටත් එළිමහනේ පිසීම, කඳවුරු ගතකිරීම ආදී බාලදක්ෂයින් විසින් සිදුකරන ක්‍රියාකාරකම් කටයුතු සිදුකරමින් බාලදක්‍ෂ ව්‍යාපාරය කෙරෙහි මහත් උනන්දුවක් දැක්වීමට දැරියන්ද උනන්දු වුණා. ස්කවුටිං ‍ෆො බෝයිස් පොතෙහි සඳහන් ක්‍රියාදාමයන් පිරිමින් දරුවන්ට පමණක් නොව තමන්ට ද අනුගමනය කළ හැකි බව ප්‍රදර්ශනය කරනු ලැබුවා. මේ හේතුවෙන් එංගලන්තයේ මෙම දැරියන් ටොම් බෝයිස් ලෙස පාසල් ළමුන් හිරිහැර අඩම්තේට්ම් හා උසුළු විසිළු ද කරනු ලැබුවා. එංලන්තය ඇතුලු රටවල් බොහෝමයක කාන්තාවන් දිරියෙන් ඉදිරියට පැමිණෙමින් සිටියේ මේ සමයේදීයි. තමන්ට සමාජයේ තැනක් හිමි බව කතා කළේ, අයිතිවාසිකම් පිළිබඳව කතා කළේ ඒ යුගයේදීයි. 1910 - 1911 වසරවල කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් වූයේ ඉන්පසුවය. 

එංගලන්තයේ මේ වකවානුවෙහි පැවති බොහෝ උත්සව සඳහා කාන්තා බාලදක්ෂයින් බලහත්කාරයෙන් පැමිණි බව පැවසෙනවා. 1909 වසරේදී ලන්ඩනයේ ක්‍රිස්ටල් මාලිගයේදී පළමු බාලදක්ෂ රැලිය සදහා පිරිමි ළමුන් 10000 පමණක් නොව ගැහැණු ළමුන් ද අනාරාධිතව බලෙන් ම සහභාගී වී තිබුණා. බේඩින් පවෙල් සාමිවරයා ඔවුන් දැකීමෙන් මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය ගැන වැඩිදුරටත් උනන්දුවක් දැක්වියයුතු යැයි කල්පනා කරනු ලැබුවා. බාලදක්ෂ ව්‍යාපාරයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟම ගැහැනු ළමුන්ටද එහි සාමාජිකයන්වීමට අවශ්‍යතාවය මතුවෙමින් පැවතුණා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කාන්තාවන් වෙනුවෙන් ද බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආරම්භ කිරීමයි. 

ක්‍රිස්ටල් මාළිගයේ පැවති පලමු බාලදක්ෂ රැලියට සහභාගි වූ ගැහැනු ළමුන්ගේ ආයාචනය මත ඇරඹුණු බාලදක්ෂිකා ව්‍යාපාරයේ පළමු සභාපතිනිය ලෙස බේඩින් පවෙල්ගේ නැගණිය වන ඇග්නස් බේඩ්න් පොයෙල් මෙනෙවිය 1910 දී පත්විය. 1914 දී රෝස්බඩ්ස් යන නමින් ආරමිභව පසුව බ්‍රවුනීස් ලෙස නම වෙනස් විය. බේඩ්න් පවෙල් සාමිතුමාගේ ලෝක සංචාරය අතරතුරදී 1912 දී Arcadian නෞකාව ජැමෙයිකාව බලා යාත්‍රා කරමින් සිටි අතරතුරදී, අහම්බයක් ලෙද BP තුමා සහ ඔලෙව් සෝම්ස් මෙනවියෙගේ හමුවීම සිදුවිය. පසුව එම වසරේදීම ඔවුහු ගිවිස ගත්තෝය. ඔවුන් එම වසරේදී අප්‍රසිද්ධියේ විවාහ වූ අතර B-P ආර්යාව බාලදක්ෂ හා බාලදක්ෂ ව්‍යාපාර සමඟ ඇගේ සැමියාගේ වැඩවලට සම්බන්ධ වූවාය. ඇය 1918 දී එංගලන්තයේ ප්‍රධාන බාලදක්ෂිකාව ලෙස පත් කෙරිණ. 1920 වසරේදී ඇග්නස් බේඩින් පවෙල් විසින් සභාපතිනි ධූරයෙන් ඉල්ලා අස්විය. ඇය විසින් එම තනතුර බේඩින් පවෙල් ආර්යාව වූ ඔලෙව් බේඩින් පවෙල් වෙත ප්‍රදානය කරණු ලැබීය. එ අනුව 1930 දී ලෝක ප්‍රධාන බාලදක්ෂිකාව ලෙසද පත්විය. 


fleur-de-lis සහ ත්‍රිපත් ලාංඡනය මගින් නිල ඇදුම විශේෂ වන අතර දක්ෂතා පදක්කම් එයට වැඩි අරුතක් ලබාදුන්නේය. ගැහැනු ළමුන් බාලදක්ෂිකා කටයුතු කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා ලෙස ව්‍යාප්ත කෙරිණ. මෙම බාලදක්ෂිකා ව්‍යාපාරය බේඩ්න් පොයෙල් සාමිවරයාගේ බිරිඳ වූ ඔලෙව් සෙන්ට් ක්ලෙයා සෝම්ස් මහත්මියගේ කැපවීම මත තව දුරටත් දියුණු විය. එකල වයස අවුරුදු 11-18 අතර පිරිමි ළමුන් ඉලක්ක කොට ආරම්භ කෙරුනද කල්යත්ම ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාරයේ වර්ධනය සමඟ එම වයස් මට්ටමෙන් එපිට පිරිමි සහ ගැහැනු ළමුන් සදහා නායකත්ව පුහුනු වැඩසටහන් දියත් කරලීමේ අවශ්‍යතාවය මතුවිය. බාලදක්ෂ ව්‍යාපාරය සඳහා යොදා ගනුයේ අවිධිමත් අධ්‍යාපනය මූලික කරගත්, කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රීඩා, පාගමන් සහ ක්‍රීඩා වැනි එලිමහන් ප්‍රයෝගික ක්‍රියාකාරකම් මේ සඳහා එක්විය. ‍


ආරම්භක වකවානුවේදී සමාජීය සම්මුතීන් නිසා පිරිමි ළමුන් ගැහැණු ළමුන්ගෙන් වෙන් කර තැබුවද විෂය සමගාමී කටයුතු වලදී එකට එකතුව කටයුතු කරන ලදී. 1990 වනවිට බාලදක්ෂ සංගම් 2/3 ක අයිතිය ලෝක බාලදක්ෂ සංගමය සතු වූ අතර එය විෂය සමගාමී වැඩසටහනක් බවට පත්විය.

බාලදක්‍ෂිකා ව්‍යාපාරය අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. බාලදක්‍ෂිකා ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. ශිෂ්‍ය භටබලකාය, බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආදිය නිසා අධ්‍යාපනය දියුණුවට ද රුකුලක් විය. මෙය කාන්තා අනන්‍යතාවය තහවුරු කර ඉදිරියට යන සංවිධානයක් වශයෙන් සැලකිය හැකිය. මේ වනවිට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යාව ලෝකයේ රටවල් 172ක මිලියන 57 ඉක්මවා සිටිති. 

මොවුන් සියල්ලටම සෙවණ සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement - (WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts - WAGGGS) පිළිගනු ලැබේ.

-------------------------------------------------------------

Monday, March 18, 2024

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භයට එක් වෙමින් ජනපතිතුමා කළ කථාව

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලය කෝනේෂ්වරා හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජම්බෝරිය නියෝජනය කරන්නේ නෑ. සැම දෙනා එක් වුණොත් මතු පරපුරට සුරක්ෂිත රටක් ගොඩනඟා දිය හැකියි. යහපත් පුරවැසියන් රටට තනන බාලදක්ෂ ව්‍යාපාරයට උපරිම අනුග්‍රහය දක්වනවා. බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට අවස්ථාව සලසනවා..


රනිල් වික්‍රමසිංහ
ප්‍රධාන බාලදක්ෂක /ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රිත සමාජවාදී ජනරජයෙහි ජනාධිපති
10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය

ජාති, ආගම් පදනමින් කිසිවකුත් ජාතික බාලදක්ෂ ජම්බෝරිය නියෝජනය නොකරන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්‍ වීමෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට එකමුතුවක් නිර්මාණය කරගත හැකි බවද කියා සිටියේය. රටට අවශ්‍ය යහපත් පුරවැසියන් නිර්මාණය කරන බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය අනුග්‍රහය දක්වන බව මෙහිදී පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විවෘත කෙරිණි. ‘වෙනසක් සඳහා නායකත්වය’ යන තේමාව යටතේ පෙබරවාරි 20 සිට 26 දා දක්වා පැවැත්වෙන මේ ජාතික ජම්බෝරියට දෙස් විදෙස් බාලදක්ෂයන් සහ බාල දක්ෂ නායකයන් 11,500ක පමණ පිරිසක් එක්ව සිටිති. ප්‍රථම වතාවට බාලදක්ෂිකා ව්‍යාපාරය නියෝජනය කරන කණ්ඩායමක්ද කඳවුරට එකව සිටින අතර, පෝතක බාලදක්ෂයන් සඳහාද මෙවර අවස්ථාව හිමි කර දී තිබීම විශේෂත්වයකි.



10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා වෙත ජම්බෝරි කර ලේන්සුව සහ පදක්කම පැලඳවීමද සිදු කෙරිණි.

ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු වූ අතර, ප්‍රධාන සමරු කලාපය ඇතුළු දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණය කළ සමරු කලාපද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව නිල ඇඳුම ප්‍රදානය සංකේතවත් කරමින් එය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද ජම්බෝරි සිහිවටනය සහ සමරු තිළිණ පිළිගැන්විණි. 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ ස්ථාපිත කර තිබෙන කඳවුරු නිරීක්ෂණය සඳහාද අනතුරුව එක් වූ ජනාධිපතිවරයා බාලදක්ෂ බාලදක්ෂිකාවන් සමඟ සුහද කතාබහක නිරත විය.

අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය, ඉන්දියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිලන්තය, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 28ක බාලදක්ෂයින් 10 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහා එක්ව සිටිති.

ජම්බෝරිය පැවැත්වෙන සෑම දිනකම බාලදක්ෂයන් සඳහා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන අතර, ගිනි මැල සන්දර්ශන, සංස්කෘතික සන්දර්ශන ද ඊට ඇතුළත් වේ. ඊයේ (21) සිට පෙරවරු 9.00 සිට රාත්‍රි 9.00 දක්වා මහජනතාව වෙනුවෙන් ජම්බෝරිය විවෘත කර තැබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“දස වැනි බාලදක්ෂ ජම්බෝරිය අද ත්‍රිකුණාමලයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම බාලදක්ෂ බාලදක්ෂිකාවන් මීට සහභාගි වී සිටිනවා. අද ඔබ මීට සහභාගි වන්නේ තමන්ගේ පාසල වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ආගම වෙනුවෙන් නොවෙයි; තමන්ගේ ජාතිය වෙනුවෙන් නොවෙයි. අද ඔබ මෙතැනට පැමිණ සිටින්නේ ශ්‍රී ලාංකික බාලදක්ෂයකු ලෙසයි. අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ.

මෙතැනට පැමිණි සියලු දෙනාටම පළමුව මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. අද ඔබ සියලු දෙනාගේ මේ සාමූහිකත්වය පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල සම්බන්ධතාවක් ගොඩනැඟෙනවා; ඒ වගේම කොළඹ සහ ත්‍රිකුණාමලය දක්වා මිත්‍රත්වයක් ගොඩනැගෙනවා. ඔබේ එකමුතුකම වැඩි වෙනවා. ඒ නිසා මේ ජම්බෝරිය මඟින් විශේෂ මෙහෙවරක් සිදු වනවා.

“බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහි වන්නේ මේ රටට අවශ්‍ය යහපත් පුරවැසියන් පිරිසක්. ප්‍රධාන බාලදක්ෂයා ලෙස මම මේ වගකීම භාර ගත් අවස්ථාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගෙන් විමසා සිටියා මෙහි සාමාජිකත්වය ලක්ෂ දෙක දක්වා ඉහළ නංවාගැනීමට අපට හැකියාවක් තිබෙනවාද කියා. එය කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා. එබැවින් සියලු දෙනා එක්ව මේ බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කරගත යුතුයි. ඉදිරියේදී ඒ සාමාජිකත්වය දෙලක්ෂ පනස්දහස දක්වා ඉහළ නංවාගත හැකියි. මේ සඳහා ගැටලුවක්ව පැවතියේ සම්පත් ප්‍රමාණවත් නොවීමයි. බාලදක්ෂ ව්‍යාපාරය ලක්ෂ දෙකක ඉලක්කය සම්පූර්ණ කළ විට ඒ වැඩකටයුතු සඳහා මීට වඩා මුදලක් දීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමට කැමැතියි. එහෙත් ඒ සඳහා සැලැස්මක් අවශ්‍යයි.

ඒ වගේම මෙවැනි ව්‍යාපාර මඟින් නව දැනුම හා නව තාක්ෂණය සැලසිය හැකියි. ඒ වගේම ලබන වසරේ ජාතික බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වෙන අවස්ථාව වන විට කෘත්‍රිම බුද්ධිය සැපයිය හැකියි. නව දැනුම ගෙනදෙන මාර්ගයක් ලෙසත් මේ බාලදක්ෂ ව්‍යාපාරය අපට භාවිතයට ගත හැකියි. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරයට තාක්ෂණ අමාත්‍යාංශය සමඟ වැඩකටයුතු කිරීමට අවස්ථාව සලසා දීමට මා බලාපොරොත්තු වනවා.

“කෘෂිකර්ම නවීකරණය, පරිසරය ආරක්ෂා කිරීම වැනි ක්ෂේත්‍රද මේ බාලදක්ෂ ව්‍යාපාරය සමඟ එක් කිරීමට අපේ සහාය දෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයෙන් අප බලාපොරොත්තු වන්නේ රට වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරයි කියලා. දැනට ඔබ එය සිදු කර තිබෙනවා. අනාගතයේදී එය තවදුරටත් ශක්තිමත්ව සිදු කරනු ඇතැයි අප බලාපොරාත්තු වනවා.


“බාලදක්ෂයන් පමණක් නොවෙයි, අනෙක් සියලු දෙනාටත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට තිබෙනවා. එය අප සියලු දෙනා ඉටු කරනවාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. දේශපාලනයේ සිටින අය එය ඉටු කරනවාද කියන එක ගැටලුවක්. මීට වසර දෙකකට පෙර අප සියලු දෙනාම දුක් වින්දා: විදුලි බලය තිබුණේ නැහැ; ඉන්ධන තිබුණේ නැහැ; ගොවිතැන් කිරීමට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ; තුන් වේලට ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ. ඉතා අසීරු යුගයක් අප පසු කළේ. අපේ රට බංකොළොත් වුණා. එහෙත් දැන් ක්‍රමානුකූලව ඒ බංකොලොත්භාවයෙන් මිදෙමින් සිටිනවා. ජනතාවට අප යම් සහන දුන් නමුත්, තවත් අසීරුකම් තිබෙනවා. ඒත් රට ජයග්‍රහණය කරවීමට නම් අප මේ මාවතේ ඉදිරියට යා යුතුයි. රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමෙන් පසු අප සියලු දෙනාගේ ඊළඟ යුතුකම වන්නේ මීට වඩා හොඳ රටක් මතු පරපුර වෙනුවෙන් ගොඩනඟා දීමයි. නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන ලෙස රට ගොඩනැගිය යුතුයි. දේශපාලනඥයන් තවම ඒ සඳහා සුදානම්ද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

“අපි සියලුදෙනා එකතුව මේ ගමන යමුයි කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. අප සියලු දෙනා එකතු වුව හොත් තවත් වසර 10ක් 15ක් යන විට හොඳ රටක් බිහි කරගත හැකියි. එය මේ රට අනාගත පරපුර වෙනුවෙන් අප ඉටු කළ යුතු යුතුකම ලෙස මම ප්‍රකාශ කිරීමට කැමතියි.

ජාතික බාලදක්ෂ ජම්බෝරියට මම නැවතත් මගේ සුබපැතුම් පිරිනමනවා.”

නැ‍ඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, ජම්බෝරි නායක ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ආසියා ශාන්තිකර කලාපයේ උපසභාපති හා ලෝක බාල දක්ෂ ව්‍යාපාරයේ නියෝජිත සයිමන් බොක්‍රේ, බාලදක්ෂ කඳවුරු සංවිධායක, වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි, ජාතික පුහුණුවීම් කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස්, ආචාර්ය කුසන්තා හේරත්, නියෝජ්‍ය ජම්බෝරි නායක, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.