Translate

Saturday, November 17, 2018

එංගලන්තයේ බාලදක්ෂිකා සංවිධාන මඩුල්ලේ ළාබාලම කමිටු සාමාජිකාව

ලෝකයේ රටවල් 150ක බාල දක්ෂිකාවන් මිලියන 150කින් සමන්විත එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ලෝක බාලදක්ෂිකා සංවිධාන මඩුල්ලේ නවතම සහ ලාබාලම කමිටු සාමාජිකාවක් ලෙස චමත්යා ප්‍රනාන්දු මෙනවිය නොබෝදා තෝරා පත්වෙමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් එක්කර දී ඇත. 
 

වසර සියයකට අධික සම්භාවනීය ඉතිහාසයකට හිමිකම් කියන එංගලන්තයේ පිහිටි ලෝක බාලදක්ෂිකා සංවිධාන කේන්ද්‍රස්ථානයේ පවත්වන ලද ලෝක මණ්ඩල රැස්වීමටද චමත්යා ප්‍රනාන්දු මෙනවිය ද සහභාගි විය. වයස අවුරුදු 8දී රෝස පොහෝට්ටු, කුඩා මිතුරු හා බාලදක්ෂිකාක් ලෙස කටයුතු කර බාලදක්ෂිකා ව්‍යාපාරයට සම්බන්ධ වුණු චමත්යා දැනට බාලදක්ෂිකාවක් ලෙස ලබා ගතහැකි ඉහළම සම්මානය වන ජනාධිපති බාලදක්ෂිකාවක් ලෙස සම්මානය දිනා ඇත. 
 
ඇය වසර 17ක පමණ කාලයක් අඛණ්ඩව ස්වේච්ඡා බාලදක්ෂිකාවක් ලෙස අනගි සේවයක් ලබා දී ඇත. කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහි ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ බාලදක්ෂිකා සංගම් දියත් කරන ලද ව්‍යාපාරවල ඇය නිරන්තරයෙන් නිරත වූ අතර එමෙන්ම ඇය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මණ්ඩලය අමතමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබා දුන්නාය. මෑතකදී එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු මඟින් සංවිධානය කළ ලෝකයේ නැගී එන තරුණ නායක නායිකාවන් 10 දෙනා අතරට තේරී පත් වි ශ්‍රී ලංකාව නියෝජනය කිරී‍මේ ගෞරවය හිමිකර ගත් එකම තරුණ නායිකාව ලෙසද චමත්යා ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබාදී ඇත.  තවද ඇය බෙල්ජියම්හි පැවැත්වුන ලෝක තරුණ නායිකාවන්ගේ සම්මේලනයටද පසුගියදා සහභාගිවී ශ්‍රී ලංකාවට නැවත වරක් ගෞරවයක් ලබා දුන්නාය. 
 
කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය NSBM ආයතනයට අනුයුක්ත එංගලන්තයේ (plymonth) ප්ලිමත් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලාවේදී උපාධියක්ද ලබා ඇත. චමත්යා ප්‍රනාන්දු මෙනවිය දිවයිනේ ප්‍රධාන ඇඟලුම් ව්‍යාපාරයක් වන බ්‍රැන්ඩික්ස් ආයතනයේ ද සේවය කරන්නීය.

----------------------------------

සැබෑ හැකියාවට, සියලු සීමා මායිම් බිඳදමා, දේශ දේශාන්තර පවා අතික්‍රමණය කළ හැකි ය. මේ පුංචි දිවයිනේ උපන් ඇයත්, තම දේශයේ නාමය සත්සමුදුරින් ඔබ්බට ගෙන යමින්, කිතුගොස නඟන්නට සමත් වූ, දක්ෂතාවලින් පිරිපුන් තරුණ නායිකාවකි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ලොව තරුණ නායක නායිකාවන් දසදෙනෙකුට පමණක් ලබාදෙන ‘ටෙන් ඉමර්ජින් යන්ග් ලීඩර්‘ සම්මානය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙන ආ ඇය, චමත්යා ප්‍රනාන්දු ය.

* ටෙන් ඉමර්ජින් යන්ග් ලීඩර්, එහෙමත් නැත්නම් නැගී එන තරුණ නායක නායිකාවන්ගේ සම්මානය කියන්නේ මොකක්ද?

ඒක, ලෝකයේ ම වෙසෙන තරුණ නායක නායිකාවන් දහ දෙනකුට, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන සම්මානයක්.

ඒක ඉල්ලුම් කරලා ගන්න බෑ. සමාජ සේවා වැඩකටයුතු සාර්ථකව කරගෙන යන අය අතරින්, ඒ අය විසින් ම එම පුද්ගලයන් තෝරා ගන්නවා. මේ අවුරුද්දෙ මැයි 04 වැනිදා තමයි පළමු වතාවට ශ්‍රී ලංකාවේ කෙනෙක්ට මේ සම්මානය ලැබුණේ.

* ශ්‍රී ලංකාවෙන්ම මේ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු වැනියා වීම ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන නම් බොහොම සතුටුයි. ස්වේච්ඡා සේවයේ යෙදෙන්නියක් විදිහට ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක්වීම පිළිබඳ සතුටක් දැනෙනවා.

* ඒ රටේදි ඔබට ලැබුණු අත්දැකීම් පිළිබඳ කතා කළොත්?

සම්මාන ප්‍රදානෝත්සවය තිබුණේ අමෙරිකාවේ වොෂින්ටන්වල. සම්මානය ලබා දුන්නා විතරක් නෙමෙයි, සම්මාන ලැබුණු අයට තමන්ගේ රටවලට ගියහම කරන ව්‍යාපෘති දියුණු කර ගන්න අවශ්‍ය දැනුම, අවබෝධය ලබා දෙන්න, වොෂිංටන් වගේ ම ඔස්ටින්වලට අප කැඳවාගෙන ගියා. සති දෙකක් පුරා අපට ඒ අත්දැකීම ලබා දුන්නා. මේ ගමන ජීවිතයට හොඳ අත්දැකීමක්.

* මේ සම්මානය ඔබට ලැබෙන්න හේතු වුණේ මොන වගේ කරුණු කාරණාද?

මේ කාර්යය කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම වැටුනෙ පාසලෙන්මයි. මම ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. පාසලේදි කුඩා මිතුරියන් සහ බාල දක්ෂිකා සංගම්වලට පොඩි කාලේ ඉඳන් ම සම්බන්ධවෙලා හිටියා. බාල දක්ෂිකා සංගමයෙ වැඩිපුරම තියෙන්නෙ කෑම්පින්, හයිකින්, ගැජට්ස් හදන ඒවා, මැහුම් ගෙතුම්, උයන පිහන වගේ ජීවන කුසලතා ලබා දෙන කටයුතු. ඒ වගේ ම ස්වේච්ඡා සේවය ලබා දෙන්න, තමන්ගේ සමාජ සේවා වැඩ කරන්න, ව්‍යාපෘති සැලැසුම් කරන්න අවශ්‍ය කරන දැනුම ඒකෙදී අපට ලැබෙනවා. ඒවායින් බොහෝ කුසලතා දියුණු කර ගන්න ලැබුණා.

* ඔබ මීට පෙර ඇගැයීමට ලක්වෙලා තියෙන්නෙ කොහොමද?

පොඩි කාලෙ ඉඳලම මට ලැබුණු අත්දැකීම් එක්ක මට 2010දී බාලදක්ෂිකා ජනාධිපති සම්මානය ලැබුණා.

* ඔබ ලෝක බාලදක්ෂිකා සංගමයට තේරුණේ කොහොමද?

මං උ. පෙළ කරනවත් එක්ක, බාහිර වැඩ කටයුතුවලින් ටිකක් ඈත් වුණා. උ. පෙළ අවසන් වූ හැටියෙම, ආයෙමත් මං බාලදක්ෂිකා සංගමයේ ස්වේච්ඡා සේවයට බැඳුණා. ඊට පස්සෙ තමයි ලෝක බාලදක්ෂිකා සංවිධානයට තෝරා ගත්තේ.

ඒකට ඉල්ලුම් කරන්න බෑ. ලෝක බාලදක්ෂිකා සංවිධානය ගත්තහම, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ඒකෙ සාමාජික රටක්. ඒ වගේ සාමාජික රටවලින් දෙන්නා දෙන්නා නිර්දේශ කළාට පස්සේ, ලෝක බාලදක්ෂිකා සංවිධානයෙන් තමයි එයට තෝරා ගැනීම සිදු වෙන්නේ. එහෙම නැතුව අපට කෙළින් ම ඉල්ලුම් කරන්න බෑ. පස්සේ මට ලෝක සංවිධානයේ තරුණ නායිකාවක් හැටියට ශ්‍රී ලංකාව සහ ලෝක බාලදක්ෂිකා සංවිධානය නියෝජනය කරන්න ලැබුණා. ඒ, එක්සත් ජාතීන්ගේ කමිෂන් ඔන් ද ස්ටේටස් ඔෆ් විමෙන් කියන, 2013 මාර්තු මාසෙදි නිව්යෝර්ක්වල තිබුණු සමුළුවෙදි. එහෙදි අපට, ‘ ප්‍රචණ්ඩත්වය නවතමු‘ කියලා වැඩපිළිවෙළක් ඉදිරියට අරන් යන්න ලැබුණා. මම ශ්‍රී ලංකාවට ආවට පස්සෙ අපේ බාලදක්ෂිකා කණ්ඩායමටත් කතා කරලා, ‘ප්‍රචණ්ඩත්වය නවතමු‘ කියන ව්‍යාපෘතිය ඉදිරියට අරන් ගියා.

* මේ ව්‍යාපෘතිය මඟින් හෙළිදරව් වුණේ මොන වගේ කරුණු කාරණාද?

ලෝක සංවිධානයෙන් පරීක්ෂණයක් කළහම, බොහෝ රටවලින් කියලා තිබුණ බැරෑරුම් ම ප්‍රශ්නෙ තමයි, ගෑනු ළමයින්ට සහ කාන්තාවන්ට මුහුණ දෙන්න වන හිංසනය. බාලදක්ෂිකා සංගමයට තියෙනවා විශාල ජාලයක්. රට පුරාම හැම දිස්ත්‍රික්කයක ම අපි භාෂා තුනෙන් ම වැඩ කරනවා. කාන්තාවන්ට සහ ළමයින්ට මේ පිළිබඳ අවශ්‍ය දැනුම ලබා දෙන එක අපේ මූලික ම පරමාර්ථය කර ගත්තා.

* ඔබ ඒ කටයුතු කළේ කොහොමද?

මම පුළුවන් විදිහට කොළඹ පාසල්වල වැඩමුළු කළා. පස්සේ බස් එකේ ගිහින්, දුර පාසල්වලත් වැඩමුළු කළා. අපි ශ්‍රී ලංකාවට ආවට පස්සෙ මොනවද කරන්නෙ කියලා ලෝක සංවිධානය මඟින් සොයා බලනවා. පහසුකම් නැතුව වුණත්, අපි කොහොම හරි අමාරුවෙන් මේ කටයුතු කරනවා කියලා ඒ අය දැක්කා . තව තරුණ නායකයන් බඳවගෙන, මේ වැඩපිළිවෙළ තවත් දියුණු කරලා, වැඩමුළු ගණන වැඩි කරන්න වගේ ම, පිට පළාත්වලත් වැඩමුළු කරන්න ඒ අය අපට උදවු කළා.

අපට කොළඹ පාසල්වල වැඩමුළු කරන එක ලේසි වුණත්, ග්‍රාමීය පැතිවල මේ අධ්‍යාපනය වැඩියෙන් ම අවශ්‍ය කරන අය ඉන්නවා . ග්‍රාමීය පළාත්වල අය ඉදිරිපත් කරන ප්‍රශ්නත් එක්ක, මේ වැඩමුළු ඒ අයට කොයිතරම් වැදගත්ද කියලා අපට අවබෝධ වුණා. පස්සේ අපි ඒ පළාත්වල වැඩමුළු පැවැත්වීම වැඩි කළා. ඒවා සාර්ථකව කරගෙන යන්න ලොකු ම හේතුව, මාත් එක්ක ඉන්න කණ්ඩායම. ඒකේ ගෑනු ළමයි වගේ ම, පිරිමි ළමයිනුත් ඉන්නවා.

අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා කරද්දී, කාන්තාවන්ට වන හිංසනය ගැන කතා කරද්දී, කාන්තාවන් වගේ ම පිරිමි අය දැනුම්වත් කරන එක වැදගත් . ඒ අයත් මේ සාකච්ඡාවලට සම්බන්ධ කර ගන්න ඕනැ. බොහෝ වෙලාවට වෙන්නෙ, පිරිමි අය තමයි මේ හැමදේම කරන්නෙ කියලා අපි චෝදනා කරනවා .

පාසල් තුළදී මේ දේ ගැන අපට ලැබෙන අධ්‍යාපනය අඩුයි. ඒ නිසා අප, බාලදක්ෂිකා සංගමයෙන්, පුළුවන් තරමක් අයට මේ දැනුම, අධ්‍යාපනය වගේ ම, මේ දේවලට මුහුණ දෙන්නෙ කොහොමද කියන දේ කියා දෙනවා. 2015දී අපි බාලදක්ෂිකා නායිකාවන් 65 දෙනෙක් පුහුණු කළා. ඒ, ශ්‍රී ලංකාව පුරාම, හැම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන සහ එක එක වයස් කාණ්ඩවලට ගැළපෙන විදිහටයි. “වොයිසස් එගෙන්ස් වයලන්ට්” කියන අපේ ව්‍යාපෘතිය වැඩි දියුණු කළේ අපේ ලෝක සංවිධානයයි , එක්සත් ජාතීන්ගේ කාන්තා ආයතනයයි. මම ඒකේ ජාතික පුහුණුකාරියක්. බාලදක්ෂිකා ලෝක සංවිධානය මා පුහුණු කළේ, ශ්‍රී ලංකාවට ඇවිත් තවත් අය පුහුණු කරන්න පුළුවන් වන විදිහටයි. හැම අවුරුද්දෙ ම මාර්තුවල නිව්යෝර්ක්වල තියෙන 2014 සහ 2015 අවුරුදු දෙකේම කමිෂන් ඕන් ද ස්ටේටස් ඔෆ් විමෙන් කියන සමුළුවට සහභාගි වෙන්න හැකි වුණා.

* ඔබගේ වැඩමුළු කොළඹට විතරද?

මම මගේ කණ්ඩාමත් එක්ක කොළඹ විතරක් නෙමෙයි, කැකිරාව, නුවර, යාපනය, නුවරඑළිය වගේ හැම තැනකම ගිහිල්ලා වැඩමුළු කරනවා. වැදගත් ම දේ තමයි, බොහෝ වෙලාවට අපි කරන්නෙ තරුණ අය එක්ක ඉඳලා ඒ අයට තියෙන ප්‍රශ්නවලට උත්තරත් ඒ අය තුළින් ම එළියට ගන්න උත්සාහ කරන එක. අපි අපේ වැඩමුළු කරලා ආවට පස්සෙ, ඒ අය ඒවා ඉදිරියට අරන් යන බව, ඔවුන් දක්වන ප්‍රතිචාර මඟින් දැන ගන්න හැකියි.

ඒ අය අපට ආපහු කතා කරලා, වැඩමුළුව තමන්ට කොපමණ වැදගත් වුණාද?, කොයිවගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණාද? වැනි දේ පවසනවා. බොහෝ වෙලාවට කතා කරන දෙයක් තමයි, ප්‍රසිද්ධ ස්ථානවල ලිංගික හිංසනය, බස්, කෝච්චිවල යද්දි වෙන හිංසනය වගේ දේ. අපි ඒකට විරුද්ධව කතා කරන එක, අපේ අයිතීන් වෙනුවෙන් අපි හඬනඟන එක කොච්චර වැදගත්ද? ඒවාට විරුද්ධව කතා නොකළොත්, ඒ කෙනා තවත් කෙනෙක්ට ඒ විදිහට ම කරදර කරනවා. ඔය වගේ දේවල් තමයි අපේ වැඩමුළුවලදි කතා කරන්නෙ.

* ඔබේ පවුලෙ විස්තර ටිකක් පැවසුවොත්?

මගෙ පදිංචිය නුගේගොඩ, විජේරාමෙ. අම්මයි, තාත්තයි, අක්කයි, මමයි ගෙදර ඉන්නෙ. අම්මා වැඩ කළේ බැංකුවක. දැන් නම් විශ්‍රාමිකයි.

* මේ සමාජ සේවා කටයුතුවලට අමතරව, ඔබේ ජීවිතේ ගෙවෙන්නෙ මොන විදිහටද?

මම උසස් පෙළින් පස්සේ එංගලන්තේ ප්ලයිමවුත් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කළමනාකරණ සහ ව්‍යාපාර උපාධිය ලබා ගත්තා. ඒ, 2015 අවුරුද්දෙදි. ඒ උපාධියේ දෙවැනි වසර අවසන් වෙනකොට ම වගේ මට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණා. ඉගෙනගන්න දෙයක් අහක යන්නෙ නැති නිසා, ඒකත් කරන්න පටන් ගත්තා. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් විදිහට ආර්ථික විද්‍යාව හදාරනවා. ඒ ඔක්කොමත් එක්ක තමයි සමාජ සේවා වැඩ කරගෙන යන්නේ.

----------------------

Chamathya Fernando received Emerging Young Leaders Award at U.S. Department of State

Chamathya Fernando, an undergraduate of University at Sri Jayewardenepura received Emerging Young Leaders Award for international youth (18-25) who have shown the tenacity and courage to promote conflict resolution and prevent crime and violence in their communities at U.S. Department of State on 5th may 2017.
 
 
Chamathya Fernando coordinates the “Stop the Violence” Campaign of Sri Lanka Girls Guide Association (SLGGA) and is a National Trainer for “Voices against Violence,” an educational curriculum co-developed by the World Association of Girl Guides and Girl Scouts (WAGGGS) and UN Women.

She has been chosen as the Girl Champion from the Asia Pacific Region for the WAGGGS’s #TeamGirl Campaign for her work under the UN’s development goal for Gender Equality and Empowerment of Women and Girls in 2016. She represented Sri Lanka and WAGGGS as a Youth Delegate at the UN Commission on the Status of Women held in New York.

Since 2013, she and her team have reached around 10,000 girls and boys across the country through various activities. She also focuses on youth issues including education, skills development, reproductive health and rights, and combating racial discrimination and extremism. She helped lead a campaign against violent extremism through which a “Peace Hotline” was established and they organized interfaith dialogues around the country. As Assistant Director of Community Service of the Rotaract Club of National School of Business Management (NSBM) she organized many community service projects.

The University of Sri Jayewardenepura conveys its heartfelt congratulations to Ms. Chamathya Fernando and wishes a great success and continued recognition in the future!
 
---------------- 
වැඩි තොරතුරු

Tuesday, November 6, 2018

කොමියුනිස්ට් බාලදක්ෂයෝ

 https://assets.roar.media/Sinhala/2018/02/cover-photo1.jpg?fit=clip&w=679

1922 පටන් 1991 දක්වා කාලය තුල රුසියාව හඳුන්වනු ලැබුවේ සෝවියට් සමූහාණ්ඩුව හෙවත් සෝවියට් සමාජවාදී ජනරජය යන නමිනුයි. කොමියුනිස්ට්වාදය ගුරු කොට ගනිමින් රාජ්‍ය පාලනය සහ ප්‍රතිපත්ති සැකසීම සිදු කෙරුණු මේ කාල වකවානුව තුළ එම දේශපාලනික දෘෂ්ටි කෝණයට අනුකූලව සමාජයද විවිධ වෙනස්කම් වලට භාජනය වුණා. එසේ වෙනස්කම් වලට ලක් වුණු දෑ අතර රුසියානු බාලදක්ෂ ව්‍යාපාරයත් වනවා. 1922 වසර වන විට රුසියාව තුළ ක්‍රියාත්මක වුණු බාලදක්ෂ ව්‍යාපාරය කොමියුනිස්ට් ව්‍යාපාරය සමග සබඳතා පැවැත්වූයේ නැහැ. මේ නිසා, කොමියුනිස්ට් ආණ්ඩුවට සහයෝගය නොසැපයීමේ හේතුව මත රුසියානු බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කෙරුණේ කොමියුනිස්ට් පාලනය විසින්මයි.
නමුත් පොදු මහජනතාවගේ අදහස වුණේ රට තුළ බාලදක්ෂ ව්‍යාපාරයක් පැවතීම යහපත් අංගයක් ලෙසයි. බාලදක්ෂයින් විසින් සිදු කරන ලද සමාජ සේවාවන් ඇතුළු ක්‍රියා අගය කිරීමට ජනතාව පෙළඹී සිටීම නිසා, බාලදක්ෂ ව්‍යාපාරය තහනම් කිරීමෙන් ඇති වුණු හිස්තැන පිරවීම සඳහා නවතම මුහුණුවරකින් යුත් ව්‍යාපාරයක් ඇරඹීමට එවකට රජය කටයුතු සූදානම් කළා. ව්ලැඩ්මීර් ලෙනින් සර්ව – සමූහාණ්ඩු පුරෝගාමී සංවිධානය හරහා සෝවියට් රුසියාවේ තරුණ පුරෝගාමීන්ගේ ව්‍යාපාරය (Young pioneers’ youth group of Soviet Russia) ආරම්භ කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

තරුණ පුරෝගාමීන්ගේ උත්සව අවස්ථාවක් (photoshelter.com)

ව්‍යාපාරයේ සැබෑ අරමුණ

එකමුතු භාවය සහ වෙහෙස වී වැඩෙහි යෙදීම ආදී කොමියුනිස්ට්වාදී ආකල්ප රටේ නව යෞවන යෞවනියන් අතර ප්‍රචලිත කිරීම එහි මූලිකතම අරමුණක් වුණා. ඔවුන්ට අත්‍යවශ්‍ය වන නිපුණතා ලබා දෙන අතරම කොමියුනිස්ට්වාදී ආකල්ප ඔවුන්ගේ සිත් තුළ තැන්පත් කිරීමට මෙම ව්‍යාපාරය කටයුතු කළේ එම අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිසයි. මෙසේ තරුණ පුරෝගාමීන්ගේ ව්‍යාපාරයට බඳවා ගැණුනේ වයස අවුරුදු දහයත් පහලවත් අතර දරු දැරියන්වයි. සංවිධානයට බැඳීම ස්ව කැමැත්තෙන් සිදු කෙරුණද, ඕනෑම දරුවකු එම වයට එළඹෙන විට ඔහු හෝ ඇය තරුණ පුරෝගාමියකු විය යුතු බවට සමාජය දැරූ මතය හේතුවෙන්, තරුණ පුරෝගාමියකු වීම අනිවාර්ය කරුණක් ලෙසින් සැළකුනා.

යුද සමය තුළ ව්‍යාපාරයේ දායකත්වය

සෝවියට් රුසියාවටම ආවේණික වූ මෙම පුරෝගාමී ව්‍යාපාරය විශාල කොමියුනිස්ට් ව්‍යාපාරයේම කොටසක් ලෙස හඳුනාගත හැකියි. කියුබාව, චීනය හා මෙක්සිකෝව පමණක් නොවෙයි, ෆින්ලන්තය දක්වාද මෙම ව්‍යාපාරය ඒ වන විට පැතිරී ගොස් තිබුණා. මේ ව්‍යාපාරය කෙතරම් රුසියානු දරුවන්ගේ හිත් තුළට කාවැදී තිබුණාද කිවහොත්, දෙවන ලෝක යුද්ධය (සෝවියට් සමූහාණ්ඩුවට අනුව එය “දේශප්‍රේමී සටනක්” වුණා) ආරම්භ වීමත් සමගම එම ළමුන් එතෙක් කළ “හොරා පොලිස්” සෙල්ලම් වෙනුවට “ජර්මානුවෝ සහ සෝවියට් වැසියෝ” (Soviets against Germans) ක්‍රීඩාවෙහි යෙදෙන්නට පුරුදු වුණා.
තරුණ පුරෝගාමී ව්‍යාපාරය විසින් සංවිධාන කරන ලද (බාලදක්ෂ ව්‍යාපාරයේ ජම්බෝරි වැනී විශේෂ කඳවුරු තුළදී මෙම දරුවන්ට මූලික යුද පුහුණුවකට සමාන පුහුණුවක් ලබා දීමට සෝවියට් රජය කටයුතු කර තිබෙනවා. එකල පළ කෙරුණු පුවත්පත් වලට සිය අදහස් දැක්වූ පුරෝගාමී කණ්ඩායමේ දරුවන් ප්‍රකාශ කොට ඇත්තේ එම කඳවුරු තුළදී තමන් “අත් බෝම්බ විසි කිරීම, රයිෆල් තුවක්කු පාවිච්චිය අධ්‍යනය කිරීම සහ රුසියානු ලේඛක නිකොලායි ගොගොල්ගේ මියගිය ආත්ම (Dead Souls) නැමති පොත කියවීම” වැනි ක්‍රියාකාරකම් වල නිරත වූ බවයි.

තරුණ පුරෝගාමීන්ගේ කඳවුරක දසුනක් (weirdrussia.com)

ගොවිපලවල් වල වැඩ කළ තරුණ සහ වැඩිමහල් පුරුෂයින් යුද හමුදාවට බැඳුණු පසු ඔවුන් වෙනුවට එම ගොවිපලවල් වල වැඩ කිරීම, යුද කටයුතු සඳහා නැවත යොදාගත හැකි ලෝහ හා කඩදාසි කැබලි එකතු කර දීම මෙන්ම යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ගේ සොහොන් පිරිසිදුව තබාගෙන පවත්වාගෙන යාම වැනි කටයුතු වල පවා මෙම පුරෝගාමී ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් නියැලී තිබෙනවා. 1944 පමණ වන විට එම ව්‍යාපාරයේ මුළු සාමාජික සංඛ්‍යාව මිලියන 5ක් පමණ වූ නිසා මෙම කටයුතු වල නියැලෙන්නට අවශ්‍ය තරම් දරු දැරියන් කොමියුනිස්ට් ව්‍යාපාරය සතුව සිටීම ඔවුන්ට වාසිදායක වුණා.
ජර්මානු හමුදාවන් විසින් අත්පත් කොටගෙන තිබූ භූමි තුළ සටන් වැදීමටද මෙම පුරෝගාමීන් සහභාගී වී ඇති අතර, එහිදී ඇතැමුන් මියගිය අතර, දිවි බේරාගෙන යළි පැමිණි සිව්දෙනෙකු වෙත  “සෝවියට් සමූහාණ්ඩුවේ වීර පදක්කම” හෙවත් රන් තරු පදක්කම පවා ලබා දීමට සෝවියට් සමූහාණ්ඩුව කටයුතු කොට තිබෙනවා. වැලෙන්ටින් කොට්‍යික් යනු ඒ අයුරින් මියගිය ලාබාලතම පුරෝගාමියායි. සටන් වලදී දෙවරක් තුවාල ලැබූ ඔහු තුන්වන සටනේදී මිය යද්දී වයස අවුරුදු 14ක නව යෞවනයෙක්. අදටත් රුසියාව පුරා තරුණ පුරෝගාමීන්ගේ කඳවුරු තුළ ඔහුව සිහිපත් කෙරෙන්නේ වීරයකු ලෙසින්.

messynessychic.com

වර්තමාන තත්වය

අදටත් ලොව පුරා මෙම තරුණ පුරෝගාමීන්ගේ ව්‍යාපාරය දියත්ව පැවතියද, කොමියුනිස්ට්වාදී අදහස් පැතිරවීම වැනි කටයුතු සඳහා එය භාවිතා නොකෙරෙන හෙයින් මෙම ව්‍යාපාරය වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් තවත් එක් බාලදක්ෂ කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා.
කෙසේ වෙතත්, මේ දක්වා තිබෙන ඡායාරූප මගින් පැහැදිලි වන එක් කරුණක් වන්නේ, කුඩා දරුවන් පවා යුද්ධයේ යථාර්තයෙන් ඉවත් කළ නොහැකි බවයි. රාජ්‍යයන් යුද වදින්නට තීරණය කරන්නේ නම්, දරුවන් අනිවාර්යයෙන්ම එහි බිල්ලක් වන බවට ඉතිහාසයද සාක්ෂි දරන බව මේ සේයා රූ කියාපානවා.

http://thehill.com -(වත්මන් බාලදක්ෂවරුන්ගේ ඡායාරූපයක්)

කවරයේ ඡායාරූපය – 1937 වසරේ ලෙනින්ග්‍රාඩ් නගරයේ සිවිල් ආරක්ෂක පුහුණුවකට සම්බන්ධ වීම සඳහා ගෑස් ආවරණ  පැළඳි තරුණ පුරෝගාමී දරු දැරියෝ (allthatsinteresting.com)

තොරතුරු උපුටා ගැනීම – allthatsinteresting.com වෙබ් අඩවියේ “Life inside the Young Pioneers” ලිපිය ඇසුරිනි. 

විශේෂ ස්තූතිය - roar.media


බාලදක්ෂයො ගැන

කතා බහ  

- බාලදක්ෂයින් ගැන කතා වෙන වැදගත් දේවල්

Image result for කේ.ස්වාමිනාදන්

උතුරේ පාසල්වල යුද හමුදාවේ ශිෂ්‍යභට පුහුණු ඒකක පැවැත්වීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලනඥයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූවත් උතුරු පළාතේ පාසල්වල බාලදක්ෂ ව්‍යාපාර පිහිටුවීම සම්බන්ධයෙන් විරෝධතාවයක් එල්ල නොකරන බවත් මේ තත්ත්වය මත උතුරේ පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරය පවත්වා ගෙන යාමට හැකි ඉතාම හිතකර පරිසරයක් ගොඩ නැගී ඇති බවත් ඊට සහය දැක්වීමට පළාතේ දේශපාලන අධිකාරිය ඇතුළු සියලූ දෙනා එක්ව සිටින බවත් විශේෂයෙන්ම උතුරේ පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ද බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත සිසුන්ගේ දෙමව්පියන්ගෙන් ද බාලදක්ෂ ව්‍යාපාරයට විශාල සහයක් ලැබෙන බවත් යාපනයේ හින්දු විද්‍යාලයේදී යාපනයේ බාලදක්ෂ ව්‍යාපාරයේ ප‍්‍රධානී කේ.ස්වාමිනාදන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

---------------------------




https://encrypted-tbn0.gstatic.com/images?q=tbn%3AANd9GcT74CRKqAMh_CHmS5RRyV-H49ut0vGD2aZi4wBawoxqbGb0H_Sq

‘මමත් බාලදක්ෂ පෝතකයෙක්’

බාල දක්ෂ සේවා හා මහජන සම්භන්ධතා සතියේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් බාලදක්ෂ ව්‍යාපාරය යනු ස්වශක්තියක් ලැබෙන ව්‍යාපාරයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සමාරම්භක දේශණය පවත්වමින් පවසා සිටියේය. මෙහිදී අගමැතිතුමන් ඉතා සුහද ශීලීව එම බාල දක්ෂයින් සමග කතා බස් කළේය. එහිදී අගමැතිතුමන් ඔවුන්ට කියා සිටියේ තමන්ද බාලදක්ෂයෙකු බවත් එහෙත් එදා තමන්ට වැස්ස බාධාවක් නොවුනු බවත්ය. එවිට ළමුන් සිනාසෙමින් අත්පොලසන්ද නැගුවේය. ළමුන්ගෙන් පිරිසක්ද සිය සේවා කටයුතුවල අරලියගහ මැදුරු පරීශ්‍රයේදී යෙදී සිටියහ.
ගරු අග්‍රාමාත්‍යතුමන්ද බාලදක්ෂ පෝතකයෙකු ලෙස කටයුතු කළබවත්, එම කාලයේ තම කණඩායමට ලැබුනේ රුපියලක් බවත්, එදා රුපියල් දහයක් එකතු කරණවා කියන එක ඉතාමත්ම අසීරු දෙයක් බවද, අදද එදා මෙන්ම බොහෝදේ පවතින බවත් බාල දක්ෂයෙකුවීම ඉතාමත්ම අමාරු මෙන්ම ජීවිතයට හොඳ අත්දැකීමක් බවද එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් දිරි ගන්වමින් කියා සිටියේය.

--------------------------------

බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකයන් ඉහළ නංවන බව ජනපති කියයි

මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකයින් සංඛ්‍යාව ලක්ෂය දක්වා ඉහළ නංවා ගැනීමට නව වසරේදී ඉලක්ක සහගත වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළා. චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ඉදිකළ නව බාලදක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ හික්මීමකින් යුත් දරුවෙකු බිහිකරලීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය විශාල වැඩකොටසක් සිදුකරන බවයි.
--------------------------------


සමාජ විරෝධි කටයුතුවලට හේතුව මානව දයාව ජනතා සිත්වලින් ඈත්වීමයි- දකුණු පළාත් ආණ්ඩුකාර


වර්තමානයේ සිදුවන සමාජ විරෝධී කටයුතුවලට හේතුව සහෝදරත්වය,මිත්‍රත්වය,ආදරය, මානව දයාව වැනි ගුණාංග ජනතාවගේ සිත්සතන් වලින් ඈත්ව යාම බවත්, එවැනි ගුණාංග වර්ධනය කරලීමට නම් කුඩා කල සිට ම දරුවන් ‘බාලදක්ෂ ව්‍යාපාරයට යොමු කිරීම වැදගත් බවත් වසර ගණනාවක් තිස්සේ බාලදක්ෂ ව්‍යාපාරය තමන්ගේ පාසල් අවධිය හා බැඳී පැවති බවත්, බාලදක්ෂ ව්‍යාපාරයට පෙර සිටම හැකි සෑම අවස්ථාවකදීම අවශ්‍ය උපරිම සහාය ලබා දුන් බවත් පැවසීය.

- දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර
මාතර රාහුල විද්‍යාලයේ පැවැත්වෙන උතුර හා දකුණ යා කරමින් සහෝදරත්ව, 
මිත්‍රත්ව බාලදක්ෂ කඳවුරේ සමාරම්භක නිල උත්සවය 

--------------------------------

 

ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට එක්වෙමින් ප්‍රධාන බාලදක්ෂක, ජනාධිපතිතුමා සිදුකළ කතාව


උපුටා ගැනීම - ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට එක්වෙමින් ප්‍රධාන බාලදක්ෂක, ජනාධිපතිතුමා සිදුකළ කතාව

2018 වර්ෂයේ ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. මා ඇමතිවරයෙක් විදියටත්, මන්ත‍්‍රීවරයෙක් විදියටත් අද ජනාධිපතිවරයෙක් විදියටත් පාසල්වලට යන බොහෝ අවස්ථාවල බාලදක්ෂයින් දකිනවා. ඒ සෑම විටම මගේ මතකයට එන්නේ ඔබ මෙන්ම මමත් බාලදක්ෂයෙක් විදියට සිටි මගේ ශිෂ්‍ය ජීවිතය පිළිබඳවයි. මගේ වයස 14,15,16 කාලේ පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂයෙක් විදියට කටයුතු කළා. මගේ ශිෂ්‍ය ජීවිතයේ අමතක නොවන මතකයක් රැසක් බාලදක්ෂ ජීවිතයේ තිබෙනවා.
මම මීට පෙරත් මේ කතාව කියා තියෙනවා. මේ අද ඉන්න දරුවෝ වෙනත් බාලදක්ෂ උලෙළවල්වලදී හමුවී නැති වෙන්නත් පුළුවන්. ඒ නිසයි අදත් මම මේ කතාව කියන්නේ. මට මතකයි එක් වසරක දී බාලදක්ෂ වැඩ සතියේ දුන්න කාඞ් එකත් අරගෙන අපි ගෙයින් ගෙට යන විට පොළොන්නරුවේ රජයේ නිලධාරියෙකුගේ ගෙදරකට ගියා. ඒ වෙලාවේ මගෙන් ඇහුවා මොනවටද ළමයෝ මෙහෙ ආවේ කියලා. මම කිව්වා සර් මේ දවස්වල බාලදක්ෂ වැඩ සතිය. මොනවහරි වැඩත් තියෙනවානම් මට දෙන්න කියලා. ආ.. මාත් මේ කවුරු හරි හොය හොයා හිටියේ. වැඩක් කරගන්න තියෙනවා. මේ පැත්තේ වැඩ කරන මිනිස්සුත් නැහැ. ඒ නිසා එන්න කියලා මාව ගේ පිටිපස්සට එක්කගෙන ගියා. වසර ගණනක් පුරා තිබුණ මහා විශාල හිස් කුකුළු කොටුවක් එහි තිබුණා. මට උදැල්ලක් දීලා කිව්වා මෙන්න මේක ඔක්කොම සුද්ධ කරන්න කියලා. මගේ මතකයේ හැටියට මම පැය 4 කට වැඩිය දාඩිය පෙර පෙර කුකුළු කොටුව සුද්ධ කළා. වසර ගණනක් ගොඩගැහී තිබුණ ඔක්කොම එළියට ඇද්දා. පස්සේ මම වැඬේ ඉවරයි ගිහින් එන්නම් කියලා කියපුවහම මගේ කාඞ් එක අරන් අත්සන් කරලා මට රුපියල් දෙකක් දුන්නා. එවැනි සිදුවීම් මගේ මතකයේ තිබෙනවා.
විශේෂයෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාත්‍ය බේඩන් සාමි තුමා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන යුගයේ තිබූ ආර්ථික, සමාජ, දේශපාලන තාක්ෂණික තත්ත්වයන් නොවෙයි අද තිබෙන්නේ. ඒ සියල්ල අද වෙනස්වෙලා තියෙනවා. ලෝකයේ නව දැනුමත් සමග තාක්ෂණික ලෝකයේ තරගකාරීත්වයෙන් අද සියල්ල ඉදිරියට යනවා. ඒ තුළ සියල්ල වෙනස් වෙනවා. වෙනස් වීම් අනුව සියලූ දේ වෙනස්විය යුතු වෙනවා. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරය තුළ තිබිය යුතු තිබෙන මූලික සිද්ධාන්ත, මූලික ප‍්‍රතිපත්ති, මූලික දර්ශනය මුල් කර ගත් තේමාවන් තුළ කටයුතු කරමින් කාලානුරූපව, අවශ්‍ය පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේත් අවශ්‍ය වෙනස්කම් විය යුතු යැයි මා විශ්වාස කරනවා.
බාලදක්ෂයෙක් විදියට එදා මම හිටි කාලේ තිබූ සමාජ ප‍්‍රශ්න නෙවෙයි අද තිබෙන්නේ. එදා තිබු ලෝකය නෙවෙයි අද තිබෙන්නේ. එදා තිබූ සමාජ වටපිටාවන් නොවෙයි අද තිබෙන්නේ. එදා පාසල් ශිෂ්‍යයෙකුට මුහුණ දෙන්න තිබූ අභියෝග නෙවෙයි අද තිබෙන්නේ. අද සියල්ලම වෙනස් වී තිබෙනවා. ඒ නිසා වාණිජ සමාජයක, තරගකාරී ලෝකයක යහපත් දේට වඩා අයහපත්, නරක, අවිනීත දේ විශාල වශයෙන් ගලා යන ලෝකයක අපි ඒවාට මුහුණ දිය යුතු වෙනවා. ඒ තුළ අපේ ජීවිතය වඩා යහපත් ලෙස සකස් කර ගත යුතු වෙනවා. විභාගවලින් ඉතා ඉහළින් සමත්වන ඔබ විභාග සමත්වීමට දිය යුතු ප‍්‍රමුඛත්වය මෙන්ම ජීවිතය සමත්වීම සඳහා අවශ්‍ය ප‍්‍රායෝගික අභියෝගවලට මුහුණ දිය යුතු වෙනවා. විභාග සමත්වන ඔබට ජීවිතය සමත් වෙන්න බාලදක්ෂ ව්‍යාපාරය ඉතාමත් විශිෂ්ට වූ කාර්යයක් ඉටු කරනවා.
බාලදක්ෂ මහ කොමසාරිස්තුමා ඇතුළු මේ සඳහා උනන්දු වූ සියලූ දෙනාට මගේ ස්තූතිය පිිරිනමමින් නව ලෝකයේ නව තරගකාරීත්වය තුළ ඉදිරියට යන්නට ඔබේ ජීවිත වඩා යහපත් කරන්නට බාලදක්ෂ ව්‍යාපාරය තුළ ඔබට හැකිවේවා කියා ආශිර්වාද කරමින් ඔබෙන් සමුගන්නවා.
ස්තූතියි.

---------------------------

2018.10.20 පෙරවරුවේදී මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේ පැවති 2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළ පැවැත්විය.

2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළ වීඩියෝව මෙතැනින්...