Translate

Tuesday, November 6, 2018

ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට එක්වෙමින් ප්‍රධාන බාලදක්ෂක, ජනාධිපතිතුමා සිදුකළ කතාව


උපුටා ගැනීම - ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට එක්වෙමින් ප්‍රධාන බාලදක්ෂක, ජනාධිපතිතුමා සිදුකළ කතාව

2018 වර්ෂයේ ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළට සහභාගී වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. මා ඇමතිවරයෙක් විදියටත්, මන්ත‍්‍රීවරයෙක් විදියටත් අද ජනාධිපතිවරයෙක් විදියටත් පාසල්වලට යන බොහෝ අවස්ථාවල බාලදක්ෂයින් දකිනවා. ඒ සෑම විටම මගේ මතකයට එන්නේ ඔබ මෙන්ම මමත් බාලදක්ෂයෙක් විදියට සිටි මගේ ශිෂ්‍ය ජීවිතය පිළිබඳවයි. මගේ වයස 14,15,16 කාලේ පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂයෙක් විදියට කටයුතු කළා. මගේ ශිෂ්‍ය ජීවිතයේ අමතක නොවන මතකයක් රැසක් බාලදක්ෂ ජීවිතයේ තිබෙනවා.
මම මීට පෙරත් මේ කතාව කියා තියෙනවා. මේ අද ඉන්න දරුවෝ වෙනත් බාලදක්ෂ උලෙළවල්වලදී හමුවී නැති වෙන්නත් පුළුවන්. ඒ නිසයි අදත් මම මේ කතාව කියන්නේ. මට මතකයි එක් වසරක දී බාලදක්ෂ වැඩ සතියේ දුන්න කාඞ් එකත් අරගෙන අපි ගෙයින් ගෙට යන විට පොළොන්නරුවේ රජයේ නිලධාරියෙකුගේ ගෙදරකට ගියා. ඒ වෙලාවේ මගෙන් ඇහුවා මොනවටද ළමයෝ මෙහෙ ආවේ කියලා. මම කිව්වා සර් මේ දවස්වල බාලදක්ෂ වැඩ සතිය. මොනවහරි වැඩත් තියෙනවානම් මට දෙන්න කියලා. ආ.. මාත් මේ කවුරු හරි හොය හොයා හිටියේ. වැඩක් කරගන්න තියෙනවා. මේ පැත්තේ වැඩ කරන මිනිස්සුත් නැහැ. ඒ නිසා එන්න කියලා මාව ගේ පිටිපස්සට එක්කගෙන ගියා. වසර ගණනක් පුරා තිබුණ මහා විශාල හිස් කුකුළු කොටුවක් එහි තිබුණා. මට උදැල්ලක් දීලා කිව්වා මෙන්න මේක ඔක්කොම සුද්ධ කරන්න කියලා. මගේ මතකයේ හැටියට මම පැය 4 කට වැඩිය දාඩිය පෙර පෙර කුකුළු කොටුව සුද්ධ කළා. වසර ගණනක් ගොඩගැහී තිබුණ ඔක්කොම එළියට ඇද්දා. පස්සේ මම වැඬේ ඉවරයි ගිහින් එන්නම් කියලා කියපුවහම මගේ කාඞ් එක අරන් අත්සන් කරලා මට රුපියල් දෙකක් දුන්නා. එවැනි සිදුවීම් මගේ මතකයේ තිබෙනවා.
විශේෂයෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාත්‍ය බේඩන් සාමි තුමා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරන යුගයේ තිබූ ආර්ථික, සමාජ, දේශපාලන තාක්ෂණික තත්ත්වයන් නොවෙයි අද තිබෙන්නේ. ඒ සියල්ල අද වෙනස්වෙලා තියෙනවා. ලෝකයේ නව දැනුමත් සමග තාක්ෂණික ලෝකයේ තරගකාරීත්වයෙන් අද සියල්ල ඉදිරියට යනවා. ඒ තුළ සියල්ල වෙනස් වෙනවා. වෙනස් වීම් අනුව සියලූ දේ වෙනස්විය යුතු වෙනවා. ඒ නිසා බාලදක්ෂ ව්‍යාපාරය තුළ තිබිය යුතු තිබෙන මූලික සිද්ධාන්ත, මූලික ප‍්‍රතිපත්ති, මූලික දර්ශනය මුල් කර ගත් තේමාවන් තුළ කටයුතු කරමින් කාලානුරූපව, අවශ්‍ය පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේත් අවශ්‍ය වෙනස්කම් විය යුතු යැයි මා විශ්වාස කරනවා.
බාලදක්ෂයෙක් විදියට එදා මම හිටි කාලේ තිබූ සමාජ ප‍්‍රශ්න නෙවෙයි අද තිබෙන්නේ. එදා තිබු ලෝකය නෙවෙයි අද තිබෙන්නේ. එදා තිබූ සමාජ වටපිටාවන් නොවෙයි අද තිබෙන්නේ. එදා පාසල් ශිෂ්‍යයෙකුට මුහුණ දෙන්න තිබූ අභියෝග නෙවෙයි අද තිබෙන්නේ. අද සියල්ලම වෙනස් වී තිබෙනවා. ඒ නිසා වාණිජ සමාජයක, තරගකාරී ලෝකයක යහපත් දේට වඩා අයහපත්, නරක, අවිනීත දේ විශාල වශයෙන් ගලා යන ලෝකයක අපි ඒවාට මුහුණ දිය යුතු වෙනවා. ඒ තුළ අපේ ජීවිතය වඩා යහපත් ලෙස සකස් කර ගත යුතු වෙනවා. විභාගවලින් ඉතා ඉහළින් සමත්වන ඔබ විභාග සමත්වීමට දිය යුතු ප‍්‍රමුඛත්වය මෙන්ම ජීවිතය සමත්වීම සඳහා අවශ්‍ය ප‍්‍රායෝගික අභියෝගවලට මුහුණ දිය යුතු වෙනවා. විභාග සමත්වන ඔබට ජීවිතය සමත් වෙන්න බාලදක්ෂ ව්‍යාපාරය ඉතාමත් විශිෂ්ට වූ කාර්යයක් ඉටු කරනවා.
බාලදක්ෂ මහ කොමසාරිස්තුමා ඇතුළු මේ සඳහා උනන්දු වූ සියලූ දෙනාට මගේ ස්තූතිය පිිරිනමමින් නව ලෝකයේ නව තරගකාරීත්වය තුළ ඉදිරියට යන්නට ඔබේ ජීවිත වඩා යහපත් කරන්නට බාලදක්ෂ ව්‍යාපාරය තුළ ඔබට හැකිවේවා කියා ආශිර්වාද කරමින් ඔබෙන් සමුගන්නවා.
ස්තූතියි.

---------------------------

2018.10.20 පෙරවරුවේදී මහනුවර පොල්ගොල්ල සමුපකාර ආයතනයේ පැවති 2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළ පැවැත්විය.

2014-2018 ජනාධිපති බාලදක්ෂ සම්මාන උලෙළ වීඩියෝව මෙතැනින්...

No comments:

Post a Comment