Translate

Wednesday, December 22, 2021

බාලදක්ෂයන්ට සෙවණ දුන් සුදු රාජාලියාගේ නිවහන

බාලදක්ෂ සංවිධානය වූ කලී ලෝකයේ වැඩිම ළමා, තරුණ හා වැඩිහිටි ප්රජාවකින් සමන්විත දේශපාලනික නොවන අධ්යාපනය සඳහා වූ ලොව විශාලතම ස්වේච්ඡා සංවිධානයකි. එහි පරමාර්ථය වන්නේ තරුණ තරුණියන්ගේ ශාරීරික, බුද්ධිමය, සමාජයීය, චිත්තවේගීය හා ආධ්යාත්මික සංවර්ධනය දිරිමත් කිරීම වන අතර, එමඟින් ඔවුන් වගකිවයුතු පුරවැසියන් ලෙස සහ ඔවුන්ගේ දේශීය, ජාතික හා ජාත්යන්තර ප්රජාවන්හී සාධනීය ස්ථානයක් හිමිකරගන්නා අභිමානවත් පුරවැසියන් ලෙස ගොඩනැංවීමයි.
 
1907දී දකුණුදිග එංගලන්තයේ ඩෝසෙට්හි පූලේ නගරය අසල බ්රවුන්සී දූපතේදී එවකට බ්රිතාන්ය හමුදාවේ ලුතිනන් ජනරාල්වරයකුව සිටි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයා විසින් කුඩා ළමයින් විසිදෙනකුගෙන් ඇරඹි බාලදක්ෂ ව්යාපාරය අද වන විට ලෝකයේ රටවල් 216ක මිලියන 31කට අධික ප්රජාවකින් සමන්විත දැවැන්ත සංවිධානයකි.

ශ්රී ලංකාවේ බාලදක්ෂ කටයුතු මුලින්ම ඇරඹෙන්නේ, ලෝකයේ බාලදක්ෂ කටයුතු ඇරඹීමෙන් පසු වසර 5ක් තරම් සමීප කාලයකය. එනම් 1912දී මාතලේ ක්රිස්තුදේව විද්යාලය මූලික කර ගනිමිනි. ඒ, බී.පී. තුමාගේ සමීපතම මිත්රයකු වූ එවකට මෙරට ප්රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ බ්රිතාන්ය සිවිල් ඉංජිනේරුවරයකු වූ ෆ්රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් හෙවත් එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ මූලිකත්වයෙන් ළමයින් 8 දෙනකුගේ සහභාගිත්වයෙනි. ස්ටීවන්ස් මහතා එදා හඳුන්වා ඇත්තේ සුදු රාජාලියා යන අන්වර්ථ නාමයෙනි.

රමණීය විල්ෂයර් කඳුවැටිය පෙනෙන මානයේ එෆ්. ජී. ස්ටීවන්ස් ආදී කර්තෘවරයාගේ නිවහන හෙවත් ස්ටීවන්ස් බංගලාව මෙන්ම ඊට යාබද ක්රිස්තුදේව විද්යාලය ඉදිරිපස පිහිටා ඇති, වත්මන් දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ ඇති පැරණි කච්චේරි ගොඩනැගිල්ල සිරිලක බාලදක්ෂ උරුමය සමඟ බැඳී ඇති ඓතිහාසික සලකුණුවලින් කිහිපයකි. එදා මෙදාතුර මාතලේ දිසාවේ මෙන්ම සමස්ත සිරිලක බාලදක්ෂයන්ට මෙම පරිශ්රයන් නිහඬවම සෙවණ සැපයූවා නිසැකය.

 
සුදු රාජාලියාගේ නිවහන හෙවත් ස්ටීවන්ස් බංගලාව සිරිලක බාලදක්ෂයින්ගේ තිඹිරිගෙය මෙන්ම සුදු අධිරාජ්ය සමයේ ගෘහ නිර්මාණ ශිල්පය මොනවට කියාපාන කදිම ඉදිකිරීමකි. අභ්යන්තර ගොඩනැඟිල්ලට යාබද ඉදිරිපස දිගු, පළල් හා උස් කොරිඩෝව සමඟ වම්පසින් වූ පෝටිකෝවත් ගහකොළවලින් සපිරි එළිමහන් ඉඩකඩ එවකට බාලදක්ෂයින්ගේ කටයුතු සඳහා අපූරු අවකාශයක් නිර්මාණය කර දී ඇති බව පැහැදිලිය.


එසේම සිරිලක බාලදක්ෂ නිජබිම වූ මාතලේ දිසාවේ පැරණි කච්චේරි ගොඩනැගිල්ල හා ක්රිස්තුදේව විද්යාලයට ඇත්තේ පියවර කිහිපයක දුරකි. මාතලේ දිසාවේ බාලදක්ෂ කටයුතු සමඟ එම පරිශ්රයට කොතරම් සමීප සම්බන්ධතාවයක් තිබී ඇත් ද යන්න විමසීමට තවත් සාක්ෂි අවැසි නැත. පසුගිය සමයේ මාතලේ බාලදක්ෂ මාවතේ පිහිටි බාලදක්ෂ මූලස්ථාන ගොඩනැඟිල්ල සංවර්ධන කටයුතු සඳහා පවරා ගැනීමෙන් පසුව මේ වසරේ මාතලේ පැරණි කච්චේරි ගොඩනැඟිල්ල ‘බාලදක්ෂ සිහිවටන ගොඩනැඟිල්ල’ ලෙස නම් කිරීම ඓතිහාසික මාතලේ දිසාවේ බාලදක්ෂයින්ට මෙන්ම සමස්ත ශ්රී ලාංකීය බාලදක්ෂයින්ට ද අතිමහත් ශක්තියකි. ඒ මාතලේ නගරය හා එහි ඓතිහාසික, සංස්කෘතික, භූගෝලීය පාරිසරික පසුබිම ශ්රී ලාංකික බාලදක්ෂයින්ට පමණක් නොව, ලෝක ව්යාප්ත බාලදක්ෂ ප්රජාවටම සංචාරයට, අධ්යයනයට ඉතා වැදගත් තෝතැන්නක් වන හෙයිනි.

බාලදක්ෂ සිහිවටන ගොඩනැඟිල්ලේ පිහිටි මාතලේ බාලදක්ෂ මූලස්ථාන කාර්යාලය හා බාලදක්ෂ උද්යානය විවෘත කිරීමේ නිල උත්සවයක් මාතලේ දිස්ත්රික් ලේකම් සහ අතිරේක දිස්ත්රික් ලේකම්වරයාගේ ප්රධානත්වයෙන්,‍‍ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්රිය ප්රනාන්දු සහ මාතලේ දිසා කොමසාරිස් සී. කේ. අබේවර්ධන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි. ඒ වෙනුවෙන් මාතලේ දිසා බාලදක්ෂ මූලස්ථානය සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කළ මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලය, දිස්ත්රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා, අතිරේක දිස්ත්රික් ලේකම් ඉෂාන් විජේතිලක, අතිරේක දිස්ත්රික් ලේකම් නිශාන්ත කරුණාතිලක යන මහත්වරු දුන් සහාය අගනේය. ඉතා ඉහළ සංචාරක විභවයක් සහිත මාතලේ දිස්ත්රික්කය හා ඉහළ සංචාරක නැඹුරුවකින් සමන්විත ජාත්යන්තර බාලදක්ෂ ප්රජාව යා කරමින් මාතලේ ‘බාලදක්ෂ සිහිවටන ගොඩනැගිල්ල’ ලොව පුරා විසිරී සිටින බාලදක්ෂ ප්රජාවට සංචාරයට, අධ්යයනයට හා පුහුණුවට සරිලන කෞතුකාගාරයකින් සමන්විත බාලදක්ෂ කේන්ද්රස්ථානයක් බවට පත් කිරීම මාතලේ දිසා බාලදක්ෂ අරමුණයි.

 
ගයාන් නිතුල්ගස්පිටිය
සහාය දිසා බාලදක්ෂ කොමසාරිස් (පරිපාලන)

dinamina දෙසැම්බර් 23, 2021 (විශේෂාංග)


 

Sunday, December 19, 2021

නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

නව ප්‍රධාන බාලදක්ෂ ලෙස නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පසුගිය දා පත්විය. නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ(SLSA) 21වැනි ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත. 


SLSA නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටි ජනප්‍රිත් මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඒ, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා එම තනතුරින් නික්ම යෑමත් සමඟය.

1979 දී පාසලේ කණිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සිය ගමන ආරම්භ කරමින්,ඔහු මූලික සහ උසස් අධ්‍යාපනය ලැබූවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයකු ලෙස ඔහු සිය බාලදක්ෂ කණ්ඩායමේ, භට කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ අතර,1984 වසරේ දී කීර්තිමත් ජනාධිපති බාලදක්ෂ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ජනප්‍රිත් මහතා වැඩිහිටි නායකයකු ලෙස, කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවට සම්බන්ධ වූ අතර, දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරයා ලෙසත් පසුව 2005 දී දිස්ත්‍රික් කොමසාරිස්වරයා ලෙසත් පත් විය. 2010 දී SLSA විශේෂ කොමසාරිස්වරයකු ලෙසත් පසුව එම සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස්වරයා බවටත් පත්විය. 2016 දී ඒ මහතා, SLSA නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා වශයෙන් වැඩ භාර ගත් අතර එතැන් සිට දේශීය බාලදක්ෂ ව්‍යාපාරයට කැපවී සේවය කළේය.‍

ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා 2017 සිට 2021 දක්වා ලෝක බාලදක්ෂ කමිටුවටත්, 2012 සිට 2017 දක්වා ආසියා පැසිෆික් කලාපයේ ප්‍රාදේශීය බාලදක්ෂ කමිටුවටත් තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා විය.ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ යහපාලන කණ්ඩායමේ සභාපතිවරයා ලෙස ද,ලෝක බාලදක්ෂ ක්ෂේත්‍රයේ ඔහු දැරූ වෙනත් බොහෝ නායකත්වයන් අතර කලාපීය ව්‍යාපාරයේ කළමනාකරණ උප කමිටුවේ සභාපති ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

ජනප්‍රිත් මහතා ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට දැක්වූ සුවිශේෂී දායකත්වය මැලේසියා අග්‍රාමාත්‍ය,තායිවාන ජනාධිපති සහ පිලිපීනයේ උප ජනාධිපති ඇතුළු බොහෝ රාජ්‍ය නායකයන්ගේ පවා ඇගැයීමට ලක් වී ඇත. ඊට අමතරව, ආසියා පැසිෆික් කලාපයේ සභාපති පදක්කම ද ජනප්‍රිත් මහතාට පිරිනමා තිබේ. ජනප්‍රිත් මහතා වෘත්තීය නීතිඥයකු පමණක් නොව, ඔහු 'බුක්බ්‍රිජ් ශ්‍රී ලංකා' සමාගමේ සභාපතිවරයා ද වෙයි. ඊට අමතරව 'නායකත්ව හා කුසලතා වර්ධන මධ්‍යස්ථානයේ' සභාපතිවරයා ද වන ඒ මහතා මෙරට බොහෝ පෞද්ගලික හා රාජ්‍ය ආයතන රැසක මාණ්ඩලික සාමාජිකයකු ලෙස ද කටයුතු කර තිබේ.