Translate

Thursday, April 2, 2015

මීදුම් නගරයට - වසන්තය අැවිල්ලා!

බෝඹුරු ඇල්ල වන අරණේ තැනුණු - ගෝන ගම්මානය සොයා ගිය ගමනක්...

අපේ රට යටත් කරගත්තු ඉංගි‍්‍රසින් ඔවුන්ගේ රටේ දේශගුණයට, සමාන දේශගුණයක් පවතින නුවරඑළිය ප්‍රදේශයට ‘පුංචි එංගලන්තේ’ කියලා නමක් පටබැන්දේ නිකන්ම නොවෙයි. නුවරඑළියේ දේශගුණය, පිහිටීම වගේම අලංකාරයත් එංගලන්තේ ඇතැම් පළාත්වලට බෙහෙවින්ම සමාන නිසයි. නුවරඑළිය පැත්තේ මල්, පලතුරු, එළවළු වගේම තේ කෝපි වගාවත් ප්‍රචලිත කරන්නට සුදු ජාතීන් උනන්දු වුණේ ඒ දේශගුණය නිසයි නුවරඑළිය පැත්තේ පැරැණි නිවාස හා ගොඩනැඟිලි බොහොමයක්ම ඉදි කරලා තියෙන්නෙත් එංගලන්තෙ ගෘහ නිර්මාණ ශිල්පීය ආකෘති අනුව. හැමදාම හැමදෙනාම යන එන සුපුරුදු සංචාරක ආකර්ෂණ ස්ථාන හැරුණාම ගිහින් බලන්නට වටිනා සුන්දර මෙන්ම වටිනා තැන් ගණනාවක්ම නුවරඑළිය හා අවට තිබෙනවා. මෙවර අප ඔබ කැඳවාගෙන යන්නේ තවත් එවන් වූ මනරන්ජනීය ඉසව්වකටයි. නුවරඑළිය නගරයෙන් කිලෝ මීටර් දෙකක් එපිටින් පිහිටි සඳතැන්නේ පීඩෲ බාලදක්ෂ කඳවුරු භූමියයි ඒ. ‘සඳතැන්න’ නමටම ඔබින සුන්දර ගම්මානයක්. නුවරඑළිය නගරයේ සිට වැලිමඩ පාරේ ග්‍රෙගරි වැව කෙළවරේ මාගස්තොට හන්දියෙන් වමට හැරිලා දිගටම ගියාම හමුවෙන්නේ සුන්දර සඳතැන්න ගම්මානයයි.

සඳතැන්නට යන පාර දිගේ කිලෝ මීටර් දෙකක් ඉදිරියට පැමිණියාම අපට ලංකාවේ උසම ස්ථානයේ පිහිටි ජලාශය වන බෝඹුරුඇල්ල ජලාශය හමු වෙනවා. බෝඹුරු ඇල්ල ජලාශයට යන පාර දිගේ පහළටම ගියාම හමුවන්නේ අපේ රටේ මුලින්ම හදාපු බාලදක්ෂ කඳවුරු භූමිය වන පීඩෲ බාලදක්ෂ කඳවුරු භූ®මියයි. බාලදක්ෂ කඳවුරු භූමියක් වුණාට එය බාලදක්ෂ කටයුතු සඳහා පමණක්ම වෙන් වූවක් නොවෙයි.
බාලදක්ෂ පුහුණු කඳවුරු සම්මේලන, ජම්බෝරි පැවැත්වෙනවා හැරෙන්නට ඒ අවට සිරි නරඹන රිසින් එහි යන ඔබ අප වැන්නන්ට එහි නවාතැන් ගන්නටත් පුළුවන්. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ කොළඹ චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් හෝ වර්තමානයේ කඳවුරු භාර නිලධාරී අජිත් ජයසේකර මහතාගෙන් අවසර ලබාගෙන ඔබට කඳවුරු බිමට ඇතුළුවන්නට පුළුවන්. කොත්මලේ හරහා තවලන්තැන්න පාරේ ගමන් කළ අපේ කට්ටිය නුවරඑළියට ළඟා වෙන විට මධ්‍යාහ්නය පහුවෙලා. ජූනි මාසෙත් එළැඹුනාට ඒ වන විටත් නුවරඑළියට වැස්ස පටන් අරගෙන තිබුණේ නෑ. වෙනදාට පාර දිගේ තැනින් තැන ඉදිකළ පුංචි පුංචි කඩවල පාට පාටින් ලස්සනට අඩුක්කරලා තියෙන එළවළු ගොඩවල්වලට වඩා මෙදා පාර අපි දුටු එළවළු ගොඩවල් පුංචියි කියලයි මට නම් හිතුණේ. වෙනදාට පෝලිමට ඇරලා තියෙන එළවළු පෙට්ටි කඩ තැනින් තැන විතරක් ඇරලා. මල් කඩ පෙට්ටිත් ඒ තරම්ම දැක්කෙ නෑ. එළවළුත් කොළඹ තරමටම ගණන්. මධ්‍යාහ්නය පහුවෙලාත් කොළඹ වගේ අව්ව තද නෑ. හොඳටම අව්ව පායලාත් හමා යන සුළඟේ සිසිලස ගත කිලිපොළා යන තරම්. නුවරඑළියේ පදිංචි කාරයන්ට දාඩිය දැම්මට අපි නම් මුලින්ම කළේ නගරයේ උණුසුම් ඇඟලුම් සාප්පුවකට වැදිලා කබායක් තොප්පියක් මිලදී ගැනීමයි. නුවරඑළිය නගරයෙන් කිලෝ මීටරයක් දෙකක් දුරින් තිබුණට සඳතැන්න පැත්ත හොඳටම ශීතලයි කියලා අපි අහලා තිබුණා. ටවුම පහු කරලා සඳතැන්න පාරේ කිලෝමීටරයක් විතර ගිහින් අපි බෝඹුරු ඇල්ල වන අඩවියට පිවිසුණා. උසට උසේ වැවුණු ටර්පන්ටයින්, ඇකේශි‍්‍රයා සහ සයිප්‍රස් ගස්වලින් හෙවණ වූ පටු මාවතේ අපේ වාහනේ ඉදිරියට ඇදුණේ හෙමින්. ගස්වල කොළ හැලිලා. වෙනදාට වැඩිය කලඑළියක් මාවතට වැටිලා. තෙතමනය රැඳුණු සීත සුළං රැලි කවුළුවෙන් රිංගලා ගත දාහය නිවා සනහනවා. බෝඹුරු ඇල්ලට යන පාරේ කෙළවරේ පිහිටි කඳවුරු භූමියෙහි අප එනතුරු එහි කඳවුරු පාලක අජිත් ජයසේකර මහතා පෙරමඟ බලා සිටියා. ප්‍රවීණ බාලදක්ෂ ආචාර්යවරයකු වන අජිත් එවරස්ට් කඳු ශිඛරය තරණය කළ පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා. ඒ වගේම ඔහු දාසය වතාවක් හිමාලය කන්ද තරණය කරලා තිබෙනවා. උසින් අඩි පහක් තරම් වත් නැති මේ පුංචි මිනිසා තුළ සැඟව ඇති ආත්ම ශක්තියේ බලය හිමාලය කන්දටත් වඩා උසයි.

ගුවන් ගැබ සිපගන්න තරම් උස් වූ ටර්පන්ටයින් යාය මැද පිහිටි කඳවුරු භූමියට පිවිසෙන කවරකුගේ වුවත් ගත සිත සුවපත් වෙනවා. මෙම කඳවුර නවසිය හතළිස් හයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ හිටපු ප්‍රධාන කොමසාරිස්වරයා වූ බෲක් විලියම් මහතාගේ පාලන කාලයේදී කර්නල් සී. පී. ජයවර්ධන මහතාගේ යුගයේදී අරඹා තිබෙනවා. බාලදක්ෂ නායකවරුන් සඳහා වන උසස් බාලදක්ෂ පුහුණු පාඨමාලාව පැවැත්වීම අරමුණු කොට ගෙන ඉදි කරන ලද මෙම කඳවුරෙහි වර්තමානයේ දී ජාතික හා පාසල් මට්ටමින් පුහුණු කඳවුරු සහ බාලදක්ෂ කණ්ඩායම්වල වාර්ෂික කඳවුරු පැවැත්වීම ද සිදු කරනුලබනවා. බෝඹුරු ඇල්ල ජලාශයට යාබද අක්කර අටක භූමි ප්‍රමාණයක පිහිටි කඳවුරු භූමිය රමණීය පරිසරයකින් යුක්තයි. උමා ඔයෙහි ප්‍රධාන ජලාශයේ සිට ගලා එන උමා ඇළ, කඳවුරු භූමිය වටා ලතාවකට ගලා බසිනවා. වර්ෂ 1950 දී බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රධාන මූලස්ථානය වූ එංගලන්තයේ ගිල්වෙල් පාර්ක් කඳවුරේ කඳවුරු පාලක ජෝන් තෝමන් මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ නිලධාරී මණ්ඩලය පුහුණු කිරීම සඳහා මෙරට පැමිණි අවස්ථාවේ එතුමාට නවාතැන් ගැනීම සඳහා ඉදිකළ ජෝන් තෝමස් නිල නිවාසය වර්තමානයේත් කඳවුරු පාලක නිල නිවාසය ලෙස භාවිත කරනවා. කඳවුරු භූමියේ බාලදක්ෂයන් සඳහා කඳවුරු ගිනිමැල කවයක්, ප්‍රධාන රැස්වීම් භූමියක් වගේම දහදෙනා බැගින් නවාතැන් ගන්නට හැකි කඳවුරු කුටි හයකින් සමන්විතයි. උමා ඇළෙන් එගොඩ වූ විට වන මැද දැවයෙන් ඉදිකරන ලද සුව පහසු කුටිවල විසි දෙනකුට පමණ නවාතැන් ගන්නට පුළුවන්.

වරකට සිය දෙනකුට පමණ නවාතැන් ගන්නට තරම් ප්‍රමාණවත් පහසුකම් පීඩෲ කඳවුරෙහි තිබෙනවා. කුඩා කණ්ඩායම් සඳහා සුදුසු දැවමුවා කුටි වෙන්ව තනා තිබෙනවා. හෝටලයක නවාතැන් ගන්නවාට වඩා කඳවුරු බිමක නවාතැන් ගැනීම වෙනස්. බාලදක්ෂයන්ට එය එතරම් අලුත් දෙයක් නොවුණාට ඉඳහිට එහි යනෙන සංචාරකයන්ට එය නැවුම් අත්දැකීමක් වෙනු නිසැකයි. කළුගලින් බිත්ති බැඳ ඇතුළත දැවයෙන් නිමවා ඇති කුටි තුළ දැවයෙන් තැනු ඇඳන් ඇතුළු සියලු අවශ්‍යතා ද සපයා තිබෙනවා. දැව කුට්ටිවලින් තනන ලද අපූරු ආසන සහ මේස කිහිපයකින් ඒ සමන්විතයි. බාලදක්ෂ කඳවුරකදී බාලදක්ෂයන් තම කටයුතු ඔවුන් විසින් ම ඉටු කරගන්නවා. කඳවුරේ නවාතැන් ගන්නට යන අමුත්තන්ට උයා පිහා ගන්නට අවශ්‍ය පහසුකම් සහිත මුළුතැන් ගෙයක් එහි තිබෙනවා. උයාගෙන කන්නට අකමැති නම් කඳවුරු පාලක තුමාට කලින් දැන්වූවාම ඉතාම රසට පිරිසුදුවට ආහාරපාන සකස්කර දෙන දක්ෂ සූපවේදියකුගේ සේවය ඔබට ලබාගන්නටත් පුළුවන්. කඳවුරු බිමක නවාතැන් ගන්නට යන දරුවන්ට එහි බාලදක්ෂයන් සඳහා ඇති ක්‍රීඩා අත්හදා බලන්ටත් අවස්ථාව ලැබෙනවා. ගස් දෙකක් අතර ගැට ගසන ලද සවිමත් දැල්වල එල්ලී දැල් තරණය කිරීමට, උස් ගස්වල එල්ලන ලද ඉණිමංවල නගින්නට කොමාන්ඩෝ බ්‍රිජ්, මන්කි බ්‍රිජ් වැනි උසින් සවිකළ පාලම්වල නැගී ධීර ක්‍රියාකාරකම්වල යෙදෙන්නටත්, කඳවුරු බිම අවට වනන්තරයේ ඇවිදීමටත් ළමුනට ලැබෙන අවස්ථාව නැවුම් අත්දැකීමක් වනවා සිකුරුයි.

අහස්කුස සිප ගන්නට තරගයට ඉහළට ඇදෙන සයිප්‍රස් තුරු අතරින් සඳරැස් ගලා එනවා. කඳවුරු බිමේ සුදෝ සුදු වැලි තලාව සඳරැසින් නෑවිලා කඳු මුදුනේ සිටින අපට දිස්වන්නේ හාත්පස සුදෝ සුදු හිම පළසක් ඇතිරුවා වගෙයි. ඇටමිදුලු පසාරු කරගෙන හමා යන ශීත සුළං රැලි සමඟ පොරබදිමින් අපේ උණුසුම් කබා අප උණුසුම්ව තබන්නට දරුණු අරගලයක යෙදෙනවා. රාත්‍රී සිරි නරඹනු රිසින් කඳවුරු බිමේ මිදුලට බැස්සත් ඒ ශීතල දරාගෙන රෑ සිරිය විඳගන්නත් අමාරු ගානයි. කඳවුර වටා ගලා හැලෙන උමා ඇළේ ජල ධාරාවේ සුමදුර ස්වරය පරයා හෝං හෝං නාදයෙන් දෝංකාර නගමින් සිසිල් මාරුතය හමා යනවා. දසත හමා යන මාරුතය උස් ගස්වල වැදීමෙන් නැගෙන ඒ අමුතු ශබ්දය පරිසරයට එක්කරන්නේ ගූඪ බවක්. වනන්තරේ නිහඬතාව බිඳිමින් ඉඳහිට රාව නඟන නිශාචර පක්ෂියකු හිටිවනම රෑ සිරි නරඹමින් පරිසරය සමඟ දැහැන්ගත වූ අපේ සමාධිය බිඳ දමනවා.

කඳවුරු පාලක දිවා නිරීක්ෂණ කුටිය අසල ඉදිකළ දැවමුවා පීඨිකාවට එපිටින් ගිනිමැලයක් ගසා ගෙන ඒ වටා වාඩිලාගෙන සතුටු සාමීචියේ යෙදෙන්නට, ගීයක් ගයා තුටු පහටු වෙන්නට එහි එන වැඩි දෙනෙකු පි‍්‍රය කරනවා. දැඩි කටුක සීතලත් එක්ක හීන් පිනිබිඳු පතිත වෙනවා. නුපුරුදු දේශගුණයට ඔරොත්තු නොදෙන නැහැපුඬු නොකඩවා කිවිසුම් හරිනවා.“දැන් හොඳයි නිදාගෙන උදේ රැයින් නැගිටලා බෝඹුරු ඇල්ල බලන්න ගියානම්” අජිත්ගේ යෝජනාවට හැමෝම එක සිතින්ම එකඟ වුණා. හොඳහැටි පොරෝණය තුළට ගුලි වෙලා නිදාගන්නට හිතුණත් කුසීතකම ජය අරන් අපි හැමෝම හිමිදිරියෙම අවදි වුණා. මේනක හදා දීපු රසවත් උදෑසන ආහාරයෙන් පස්සේ කඳවුරට ඉහළින් පිහිටි බෝඹුරු ඇල්ල ජලාශය බලන්න අපි ගියේ පයින්.

නුවරඑළියට පායන තරම කොයිතරම් ද කියලා බලා ගන්න ජලාශයේ අඩු වෙලා තිබුණු ජල මට්ටම හොඳම සාක්කියක්. වෙනදාට වේල්ල ළඟටම ජලයෙන් පිරෙන ජලාශයේ පතුල මතු වෙලා. යාන්තම් පෙනෙන නොපෙනෙන තරම් මඩ වතුර. ජලාශය පිසගෙන හමා ආ මාරුතය චණ්ඩයි. ඇඟ හිරිගඩු වට්ටනවා මදිවට සුළඟේ සැරට විසිවී යා දෝයි බයත් හිතෙනව. ජලාශයේ බැම්ම දිගේ සුදු වැලි ඇතිරූ මාවතේ අපි රක්ෂිතයේ ඇරැඹුම දක්වාම ඇවිද ගියා.

බෝඹුරු ඇල්ල ජලාශය ඉතා විරල ගණයේ ජලාශයක්. එය ලංකාවේ වැඩිම උසකින් පිහිටා ඇති ජලාශයයි. ජලාශයේ සොරොව්ව සහ පිටවාන පිහිටා ඇත්තේ ජලාශයෙහි මැද. මෙවැනි පිටවානක් තවත් අපේ රටේ තිබෙන්නේ හම්බන්තොට පිහිටි ඇකිරිය වැවෙහි පමණයි. බෝඹුරු ඇල්ල ජලාශයේ ජල කඳ උඹා ඇළ ඔස්සේ බදුලු ඔයට වැටී අනතුරුව මහවැලි ගංගාවට එකතු වෙනවා. රක්ෂිතයේ තරමක් දුරට ගියාම බෝඹුරු ඇල්ල ජලාශයට දියවර සපයන ගල් පාලම සහ ‘බුලු ඇල්ල’ දිය ඇලි බලාගන්නට පුළුවන්. බුලු ඇල්ල පාමුල පිහිටි ගුහාව සීතා දේවිය සඟවා තැබු ස්ථානයක් බව කියැවෙන අතර එම ගුහාව හග්ගල මල්වත්තට නොදුරින් පිහිටි සීතා අම්මාන් කෝවිළ දක්වාම දිවෙන බවට සාධක හමු වී තිබෙනවා. බෝඹුරු ඇල්ල රක්ෂිතයේ එක් මායිමක් වැලිමඩ දක්වාත් තවත් මායිමක් හග්ගල මල්වත්ත පිහිටි ප්‍රදේශය දක්වාත් උතුරින් කඳවල දක්වාත් විහිදෙනවා. බෝඹුරු ඇල්ල රක්ෂිතයේ සැරිසරන්නට ලැබෙන අවස්ථාවත් ඉතා වටිනවා. වන සරණට රිසි ඔබට එය අපූරු අත්දැකීමක් වනු නිසැකයි. කඳවුරු බිම පිහිටි භූමිය නැවත වගා කරන ලද ටර්පන්ටයින්, රෙඩ්ගම්, ඇකේශියා සහ සයිප්‍රස් ගස්වලින් සෙවණ වෙලා. කඳුරු බිමට මායිම් වන ස්වභාවික වනාන්තරය කඳුකර වැසි වනාන්තර ගණයට අයත්. නුවරඑළිය ප්‍රදේශයට ආවේණික වූ මහරත්මල් (රොටර් ඩැන්ඩ්‍රම්) හා යෝධ මීවන වර්ග එහිදී ඔබට චකගන්නට පුළුවන්. ගල් වෙරළු, වැල් මී, මොනරැස්ස වගේ ඖෂධිය පැළැටිත් එහි හොඳින් වැවෙනවා.

දිවියන්, ගෝනුන්, මුවන්, මී මින්නන් දඬු ලේනුන්, වල් ඌරන්, වගේම දුර්ලභ ගණයේ සතකු වන වලස් වඳුරන් බෝඹුරු ඇල්ල රක්ෂිතයේ බහුලව වාසය කරනවා. ඒ වගේම අපේ රටේ ජාතික පක්ෂියා වන වලි කුකුළන්, ගිරවුන්, මලිත්තන්, බකමූණන් වැනි පක්ෂීන් ද එහිදී දැකගන්නට පුළුවන්. වනන්තරයේ සිරි නරඹන්නට වගේම එහි ජෛව විවිධත්වය ගැන අධ්‍යයනයක යෙදෙන්නටත් සුදුසුම ස්ථානයක් ලෙස බෝඹුරු ඇල්ල රක්ෂිතය හඳුනාගෙන තිබෙනවා. ඒ ප්‍රදේශය සංචාරක ආකර්ෂණ ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන සැබෑවටම සොබාදහමට ආදරය දක්වන සංචාරකයන්ට වගේම නිරීක්ෂකයන්ටත් ඒ සඳහා පහසුකම් සලස්වන්නට ඉදිරියේදී පියවර ගන්නා බව නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා පවසනවා.

රක්ෂිත වනයකට හිතූ හැටියට ඇතුළු වෙන්නට බෑ. ඒ සඳහා ඔබ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ව අවසර ලබා ගන්නට ඕනෑ. රක්ෂිතය හරහා සැතැපුම් හයක් පමණ ගිය විට අලංකාර බෝඹුරු ඇල්ල දිය ඇල්ල හමු වෙනවා. දිය ඇල්ලට පහළින් පිහිටි පේරවැල්ල ගම හරහා යළිත් ඔබට මහමඟට පිවිසෙන්නට පුළුවන්. මිනිසුන් වගේම සතා සීපාවොත් ඔවුන්ගේ නවාතැන් පොළ සකස් කරගන්නා බව ඔබ දන්නවා. කුරුල්ලන් කැදලි තනනවා. වලසුන් දිවියන් ගල් ගුහාවල ගාල් වෙනවා. තලගොයින් උරගයන් හුඹහක් තනා ගන්නවා. ඒත් ගෝනුන් හා ඌරන් ලගින්නට ගෙවල් හදාගන්නා බවක් අප අසා නෑ. බෝඹුරු ඇල්ල රක්ෂිතයේ වන මං ඔස්සේ පිය මං කළ අප අපේ නඩේ ගුරා අජිත් ගෝනුන් වාසස්ථාන තනාගත් ගෝන ගම්මානයකට අප කැටුව ගියා. නිතරම කැලෑ ගමන්වල යෙදෙන අජිත් ගෝන ගම්මානයට යන පාර හොයා ගත්තේ ගෝනුන්ගේ අං උලා තුවාල කළ ගස්වැල්වල හෝඩුවාව ඔස්සේ යමින්. ‘සද්ද කරන්නෙ නැතිව මා පස්සෙන් එන්න’ අජිත්ගේ ඉල්ලීමට අනුව ගස්වැල්වල පය පැටලිලා වැටුණත් නිහඬවම අපි ඔහුගේ පිටුපසින් ගියා. “මෙන්න බලන්න ගෝන ගෙදරක්.” හොඳින් අතු පතර විහිදා වැඩුණු රූස්ස ගසක පාමුල තණ පත් තලා ඇතිරූ සුව පහසු ගුහාවක් වැනි සෙවණක් අජිත් අපට පෙන්නනවා.

“මේ දැන් ගෝනා මතන ඉඳලා ගිහින් තියෙන්නෙ.”
ඒ ළඟම තිබු ගහේ ගෝනා අං ඇතිල්ලීමෙන් තුවාල වූ බඳින් තවමත් කිරි වැනි ශ්‍රාවයක් වෑහෙනවා. අපි එන සද්දෙට ගෝනා හෙමිහිට නැගිටලා වනයට වැදිලා. ඒ ආකාරයටම තැනූ ගෝන ගෙවල් රාශියක් අජිත් අපට පෙන්නුවා. උදේ රැයින්ම ආහාර හොයාගෙන කැලෑ වදින ගෝනුන් හැන්දා අඳුරත් එක්කම ගෝන ගම්මානයට ගාල් වෙනවා.

වනන්තරේ නිහැඬියාවට බාධා නොකර ඊළඟට අපි ගියේ ඌරු ගම්මානෙට. ඌරන්ට මඩ තලන්නට ඕනෑ කරන මඩ කඩිති උන් විසින්ම හාරාගෙන ඇති ආකාරය එහිදී අප දුටුවා. හොඳින් ජලය පිරුණු තටාකයක දිය කෙළින්නට දුර බැහැර යනවාට වඩා ළඟම තිබුණු දියකඩිත්තක් අසබඩ වළක් හාරාගෙන ඒ වළ මඩ කරගෙන මඩ තලන එක කොයිතරම් පහසු ද? ඌරු තටාකවල පිංතූර ගන්න ලේසි නෑ. පුංචි සද්දෙටත් සතුන් කලබල වෙලා එහාට මෙහාට වෙලා හැංගෙනවා. නැත්නම් සතුරාට එරෙහිව සටනට එනවා. ඌරු තටාකවල පිංතූර ගන්න අජිත් සුදම් එක්ක තව තවත් කැලෑවෙ ඈතටම ගියා.

බෝඹුරු ඇල්ල රක්ෂිතයේ ඇවිද්දාට කිසිම වෙහෙසක් ඇඟට පතට නොදැනීම ඇත්තෙන්ම මවිතයට කාරණාවක්. උදෙන්ම වනයට වැදුණු අපි වනන්තරයෙන් එළියට එන විට මධ්‍යාහ්නයත් ළඟා වෙලා. ඒත් දහදිය පොදක්වත් වැටී නැත්තේ වනන්තරේ පිසගෙන නිරන්තරෙන් හමා යන පිවිතුරු සිසිල් මදනල ගත සිත නිවා සනසාලන නිසයි. හැමදාම සැපම හොයන්නේ නැතිව කැලේක ඇවිදලා කුරුල්ලන් සතුන් ගහකොළ නරඹලා, කඳු නැඟලා, දිය ඇලි බලලා විඳලා එන එකෙත් අමුතුම මිහිරක් තිබෙනවා. ඉගෙන ගන්න දූ දරුවන්ට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා. සුපුරුදු සම්ප්‍රදායික විනෝද චරිකාවකට වඩා එය අතිශයින්ම නැවුම් වූත් විනෝදජනක වූත් සංචාරක අත්දැකීමක් ඔබට ගෙන දෙනවා සිකුරුයි.



විශේෂ ස්තූතිය







 

No comments:

Post a Comment