ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු මුලින්ම ඇරඹෙන්නේ, ලෝකයේ බාලදක්ෂ කටයුතු ඇරඹීමෙන් පසු වසර 5ක් තරම් සමීප කාලයකය. එනම් 1912දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය මූලික කර ගනිමිනි. ඒ, බී.පී. තුමාගේ සමීපතම මිත්‍රයකු වූ එවකට මෙරට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ බ්‍රිතාන්‍ය සිවිල් ඉංජිනේරුවරයකු වූ ෆ්‍රැන්සිස්
ජෝර්ජ් ස්ටීවන්ස් හෙවත් එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ මූලිකත්වයෙන් ළමයින් 8
දෙනකුගේ සහභාගිත්වයෙනි. ස්ටීවන්ස් මහතා එදා හඳුන්වා ඇත්තේ සුදු රාජාලියා යන
අන්වර්ථ නාමයෙනි.
රමණීය විල්ෂයර් කඳුවැටිය පෙනෙන මානයේ එෆ්. ජී. ස්ටීවන්ස් ආදී කර්තෘවරයාගේ නිවහන හෙවත් ස්ටීවන්ස් බංගලාව මෙන්ම ඊට යාබද ක්‍රිස්තුදේව විද්‍යාලය ඉදිරිපස පිහිටා ඇති, වත්මන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති පැරණි කච්චේරි ගොඩනැගිල්ල සිරිලක බාලදක්ෂ උරුමය සමඟ බැඳී ඇති ඓතිහාසික සලකුණුවලින් කිහිපයකි. එදා මෙදාතුර මාතලේ දිසාවේ මෙන්ම සමස්ත සිරිලක බාලදක්ෂයන්ට මෙම පරිශ්‍රයන් නිහඬවම සෙවණ සැපයූවා නිසැකය.
එසේම සිරිලක බාලදක්ෂ නිජබිම වූ මාතලේ දිසාවේ පැරණි කච්චේරි ගොඩනැගිල්ල හා ක්‍රිස්තුදේව විද්‍යාලයට ඇත්තේ පියවර කිහිපයක දුරකි. මාතලේ දිසාවේ බාලදක්ෂ කටයුතු සමඟ එම පරිශ්‍රයට
කොතරම් සමීප සම්බන්ධතාවයක් තිබී ඇත් ද යන්න විමසීමට තවත් සාක්ෂි අවැසි
නැත. පසුගිය සමයේ මාතලේ බාලදක්ෂ මාවතේ පිහිටි බාලදක්ෂ මූලස්ථාන ගොඩනැඟිල්ල
සංවර්ධන කටයුතු සඳහා පවරා ගැනීමෙන් පසුව මේ වසරේ මාතලේ පැරණි කච්චේරි
ගොඩනැඟිල්ල ‘බාලදක්ෂ සිහිවටන ගොඩනැඟිල්ල’ ලෙස නම් කිරීම ඓතිහාසික මාතලේ
දිසාවේ බාලදක්ෂයින්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය බාලදක්ෂයින්ට ද අතිමහත් ශක්තියකි. ඒ මාතලේ නගරය හා එහි ඓතිහාසික, සංස්කෘතික, භූගෝලීය පාරිසරික පසුබිම ශ්‍රී ලාංකික බාලදක්ෂයින්ට පමණක් නොව, ලෝක ව්‍යාප්ත බාලදක්ෂ ප්‍රජාවටම සංචාරයට, අධ්‍යයනයට ඉතා වැදගත් තෝතැන්නක් වන හෙයිනි.
බාලදක්ෂ සිහිවටන ගොඩනැඟිල්ලේ පිහිටි මාතලේ බාලදක්ෂ මූලස්ථාන කාර්යාලය හා බාලදක්ෂ උද්‍යානය විවෘත කිරීමේ නිල උත්සවයක් මාතලේ දිස්ත්‍රික් ලේකම් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිය ප්‍රනාන්දු සහ මාතලේ දිසා කොමසාරිස් සී. කේ. අබේවර්ධන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි. ඒ වෙනුවෙන් මාතලේ දිසා බාලදක්ෂ මූලස්ථානය සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කළ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක යන මහත්වරු දුන් සහාය අගනේය. ඉතා ඉහළ සංචාරක විභවයක් සහිත මාතලේ දිස්ත්‍රික්කය හා ඉහළ සංචාරක නැඹුරුවකින් සමන්විත ජාත්‍යන්තර බාලදක්ෂ ප්‍රජාව යා කරමින් මාතලේ ‘බාලදක්ෂ සිහිවටන ගොඩනැගිල්ල’ ලොව පුරා විසිරී සිටින බාලදක්ෂ ප්‍රජාවට සංචාරයට, අධ්‍යයනයට හා පුහුණුවට සරිලන කෞතුකාගාරයකින් සමන්විත බාලදක්ෂ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මාතලේ දිසා බාලදක්ෂ අරමුණයි.
ගයාන් නිතුල්ගස්පිටිය
සහාය දිසා බාලදක්ෂ කොමසාරිස් (පරිපාලන)
dinamina දෙසැම්බර් 23, 2021 (විශේෂාංග)
No comments:
Post a Comment