----------------------------------
සැබෑ හැකියාවට, සියලු සීමා මායිම් බිඳදමා, දේශ දේශාන්තර පවා අතික්‍රමණය කළ හැකි ය. මේ පුංචි දිවයිනේ උපන් ඇයත්, තම දේශයේ නාමය සත්සමුදුරින් ඔබ්බට ගෙන යමින්, කිතුගොස නඟන්නට සමත් වූ, දක්ෂතාවලින් පිරිපුන් තරුණ නායිකාවකි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ලොව තරුණ නායක නායිකාවන් දසදෙනෙකුට පමණක් ලබාදෙන ‘ටෙන් ඉමර්ජින් යන්ග් ලීඩර්‘ සම්මානය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙන ආ ඇය, චමත්යා ප්‍රනාන්දු ය.
* ටෙන් ඉමර්ජින් යන්ග් ලීඩර්, එහෙමත් නැත්නම් නැගී එන තරුණ නායක නායිකාවන්ගේ සම්මානය කියන්නේ මොකක්ද?
ඒක, ලෝකයේ ම වෙසෙන තරුණ නායක නායිකාවන් දහ දෙනකුට, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන සම්මානයක්.
ඒක ඉල්ලුම් කරලා ගන්න බෑ. සමාජ සේවා වැඩකටයුතු සාර්ථකව කරගෙන යන අය අතරින්, ඒ අය විසින් ම එම පුද්ගලයන් තෝරා ගන්නවා. මේ අවුරුද්දෙ මැයි 04 වැනිදා තමයි පළමු වතාවට ශ්‍රී ලංකාවේ කෙනෙක්ට මේ සම්මානය ලැබුණේ.
* ශ්‍රී ලංකාවෙන්ම මේ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු වැනියා වීම ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් බොහොම සතුටුයි. ස්වේච්ඡා සේවයේ යෙදෙන්නියක් විදිහට ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක්වීම පිළිබඳ සතුටක් දැනෙනවා.
* ඒ රටේදි ඔබට ලැබුණු අත්දැකීම් පිළිබඳ කතා කළොත්?
සම්මාන ප්රදානෝත්සවය තිබුණේ අමෙරිකාවේ වොෂින්ටන්වල. සම්මානය ලබා දුන්නා විතරක් නෙමෙයි, සම්මාන ලැබුණු අයට තමන්ගේ රටවලට ගියහම කරන ව්‍යාපෘති දියුණු කර ගන්න අවශ්‍ය දැනුම, අවබෝධය ලබා දෙන්න, වොෂිංටන් වගේ ම ඔස්ටින්වලට අප කැඳවාගෙන ගියා. සති දෙකක් පුරා අපට ඒ අත්දැකීම ලබා දුන්නා. මේ ගමන ජීවිතයට හොඳ අත්දැකීමක්.
* මේ සම්මානය ඔබට ලැබෙන්න හේතු වුණේ මොන වගේ කරුණු කාරණාද?
මේ කාර්යය කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම වැටුනෙ පාසලෙන්මයි. මම ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. පාසලේදි කුඩා මිතුරියන් සහ බාල දක්ෂිකා සංගම්වලට පොඩි කාලේ ඉඳන් ම සම්බන්ධවෙලා හිටියා. බාල දක්ෂිකා සංගමයෙ වැඩිපුරම තියෙන්නෙ කෑම්පින්, හයිකින්, ගැජට්ස් හදන ඒවා, මැහුම් ගෙතුම්, උයන පිහන වගේ ජීවන කුසලතා ලබා දෙන කටයුතු. ඒ වගේ ම ස්වේච්ඡා සේවය ලබා දෙන්න, තමන්ගේ සමාජ සේවා වැඩ කරන්න, ව්‍යාපෘති සැලැසුම් කරන්න අවශ්‍ය කරන දැනුම ඒකෙදී අපට ලැබෙනවා. ඒවායින් බොහෝ කුසලතා දියුණු කර ගන්න ලැබුණා.
* ඔබ මීට පෙර ඇගැයීමට ලක්වෙලා තියෙන්නෙ කොහොමද?
පොඩි කාලෙ ඉඳලම මට ලැබුණු අත්දැකීම් එක්ක මට 2010දී බාලදක්ෂිකා ජනාධිපති සම්මානය ලැබුණා.
* ඔබ ලෝක බාලදක්ෂිකා සංගමයට තේරුණේ කොහොමද?
මං උ. පෙළ කරනවත් එක්ක, බාහිර වැඩ කටයුතුවලින් ටිකක් ඈත් වුණා. උ. පෙළ අවසන් වූ හැටියෙම, ආයෙමත් මං බාලදක්ෂිකා සංගමයේ ස්වේච්ඡා සේවයට බැඳුණා. ඊට පස්සෙ තමයි ලෝක බාලදක්ෂිකා සංවිධානයට තෝරා ගත්තේ.
ඒකට ඉල්ලුම් කරන්න බෑ. ලෝක බාලදක්ෂිකා සංවිධානය ගත්තහම, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ඒකෙ සාමාජික රටක්. ඒ වගේ සාමාජික රටවලින් දෙන්නා දෙන්නා නිර්දේශ කළාට පස්සේ, ලෝක බාලදක්ෂිකා සංවිධානයෙන් තමයි එයට තෝරා ගැනීම සිදු වෙන්නේ. එහෙම නැතුව අපට කෙළින් ම ඉල්ලුම් කරන්න බෑ. පස්සේ මට ලෝක සංවිධානයේ තරුණ නායිකාවක් හැටියට ශ්‍රී ලංකාව සහ ලෝක බාලදක්ෂිකා සංවිධානය නියෝජනය කරන්න ලැබුණා. ඒ, එක්සත් ජාතීන්ගේ කමිෂන් ඔන් ද ස්ටේටස් ඔෆ් විමෙන් කියන, 2013 මාර්තු මාසෙදි නිව්යෝර්ක්වල තිබුණු සමුළුවෙදි. එහෙදි අපට, ‘ ප්රචණ්ඩත්වය නවතමු‘ කියලා වැඩපිළිවෙළක් ඉදිරියට අරන් යන්න ලැබුණා. මම ශ්‍රී ලංකාවට ආවට පස්සෙ අපේ බාලදක්ෂිකා කණ්ඩායමටත් කතා කරලා, ‘ප්රචණ්ඩත්වය නවතමු‘ කියන ව්‍යාපෘතිය ඉදිරියට අරන් ගියා.
* මේ ව්‍යාපෘතිය මඟින් හෙළිදරව් වුණේ මොන වගේ කරුණු කාරණාද?
ලෝක සංවිධානයෙන් පරීක්ෂණයක් කළහම, බොහෝ රටවලින් කියලා තිබුණ බැරෑරුම් ම ප්‍රශ්නෙ තමයි, ගෑනු ළමයින්ට සහ කාන්තාවන්ට මුහුණ දෙන්න වන හිංසනය. බාලදක්ෂිකා සංගමයට තියෙනවා විශාල ජාලයක්. රට පුරාම හැම දිස්ත්‍රික්කයක ම අපි භාෂා තුනෙන් ම වැඩ කරනවා. කාන්තාවන්ට සහ ළමයින්ට මේ පිළිබඳ අවශ්‍ය දැනුම ලබා දෙන එක අපේ මූලික ම පරමාර්ථය කර ගත්තා.
* ඔබ ඒ කටයුතු කළේ කොහොමද?
මම පුළුවන් විදිහට කොළඹ පාසල්වල වැඩමුළු කළා. පස්සේ බස් එකේ ගිහින්, දුර පාසල්වලත් වැඩමුළු කළා. අපි ශ්‍රී ලංකාවට ආවට පස්සෙ මොනවද කරන්නෙ කියලා ලෝක සංවිධානය මඟින් සොයා බලනවා. පහසුකම් නැතුව වුණත්, අපි කොහොම හරි අමාරුවෙන් මේ කටයුතු කරනවා කියලා ඒ අය දැක්කා . තව තරුණ නායකයන් බඳවගෙන, මේ වැඩපිළිවෙළ තවත් දියුණු කරලා, වැඩමුළු ගණන වැඩි කරන්න වගේ ම, පිට පළාත්වලත් වැඩමුළු කරන්න ඒ අය අපට උදවු කළා.
අපට කොළඹ පාසල්වල වැඩමුළු කරන එක ලේසි වුණත්, ග්‍රාමීය පැතිවල මේ අධ්‍යාපනය වැඩියෙන් ම අවශ්‍ය කරන අය ඉන්නවා . ග්‍රාමීය පළාත්වල අය ඉදිරිපත් කරන ප්‍රශ්නත් එක්ක, මේ වැඩමුළු ඒ අයට කොයිතරම් වැදගත්ද කියලා අපට අවබෝධ වුණා. පස්සේ අපි ඒ පළාත්වල වැඩමුළු පැවැත්වීම වැඩි කළා. ඒවා සාර්ථකව කරගෙන යන්න ලොකු ම හේතුව, මාත් එක්ක ඉන්න කණ්ඩායම. ඒකේ ගෑනු ළමයි වගේ ම, පිරිමි ළමයිනුත් ඉන්නවා.
අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා කරද්දී, කාන්තාවන්ට වන හිංසනය ගැන කතා කරද්දී, කාන්තාවන් වගේ ම පිරිමි අය දැනුම්වත් කරන එක වැදගත් . ඒ අයත් මේ සාකච්ඡාවලට සම්බන්ධ කර ගන්න ඕනැ. බොහෝ වෙලාවට වෙන්නෙ, පිරිමි අය තමයි මේ හැමදේම කරන්නෙ කියලා අපි චෝදනා කරනවා .
පාසල් තුළදී මේ දේ ගැන අපට ලැබෙන අධ්‍යාපනය අඩුයි. ඒ නිසා අප, බාලදක්ෂිකා සංගමයෙන්, පුළුවන් තරමක් අයට මේ දැනුම, අධ්‍යාපනය වගේ ම, මේ දේවලට මුහුණ දෙන්නෙ කොහොමද කියන දේ කියා දෙනවා. 2015දී අපි බාලදක්ෂිකා නායිකාවන් 65 දෙනෙක් පුහුණු කළා. ඒ, ශ්‍රී ලංකාව පුරාම, හැම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන සහ එක එක වයස් කාණ්ඩවලට ගැළපෙන විදිහටයි. “වොයිසස් එගෙන්ස් වයලන්ට්” කියන අපේ ව්‍යාපෘතිය වැඩි දියුණු කළේ අපේ ලෝක සංවිධානයයි , එක්සත් ජාතීන්ගේ කාන්තා ආයතනයයි. මම ඒකේ ජාතික පුහුණුකාරියක්. බාලදක්ෂිකා ලෝක සංවිධානය මා පුහුණු කළේ, ශ්‍රී ලංකාවට ඇවිත් තවත් අය පුහුණු කරන්න පුළුවන් වන විදිහටයි. හැම අවුරුද්දෙ ම මාර්තුවල නිව්යෝර්ක්වල තියෙන 2014 සහ 2015 අවුරුදු දෙකේම කමිෂන් ඕන් ද ස්ටේටස් ඔෆ් විමෙන් කියන සමුළුවට සහභාගි වෙන්න හැකි වුණා.
* ඔබගේ වැඩමුළු කොළඹට විතරද?
මම මගේ කණ්ඩාමත් එක්ක කොළඹ විතරක් නෙමෙයි, කැකිරාව, නුවර, යාපනය, නුවරඑළිය වගේ හැම තැනකම ගිහිල්ලා වැඩමුළු කරනවා. වැදගත් ම දේ තමයි, බොහෝ වෙලාවට අපි කරන්නෙ තරුණ අය එක්ක ඉඳලා ඒ අයට තියෙන ප්‍රශ්නවලට උත්තරත් ඒ අය තුළින් ම එළියට ගන්න උත්සාහ කරන එක. අපි අපේ වැඩමුළු කරලා ආවට පස්සෙ, ඒ අය ඒවා ඉදිරියට අරන් යන බව, ඔවුන් දක්වන ප්‍රතිචාර මඟින් දැන ගන්න හැකියි.
ඒ අය අපට ආපහු කතා කරලා, වැඩමුළුව තමන්ට කොපමණ වැදගත් වුණාද?, කොයිවගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණාද? වැනි දේ පවසනවා. බොහෝ වෙලාවට කතා කරන දෙයක් තමයි, ප්‍රසිද්ධ ස්ථානවල ලිංගික හිංසනය, බස්, කෝච්චිවල යද්දි වෙන හිංසනය වගේ දේ. අපි ඒකට විරුද්ධව කතා කරන එක, අපේ අයිතීන් වෙනුවෙන් අපි හඬනඟන එක කොච්චර වැදගත්ද? ඒවාට විරුද්ධව කතා නොකළොත්, ඒ කෙනා තවත් කෙනෙක්ට ඒ විදිහට ම කරදර කරනවා. ඔය වගේ දේවල් තමයි අපේ වැඩමුළුවලදි කතා කරන්නෙ.
* ඔබේ පවුලෙ විස්තර ටිකක් පැවසුවොත්?
මගෙ පදිංචිය නුගේගොඩ, විජේරාමෙ. අම්මයි, තාත්තයි, අක්කයි, මමයි ගෙදර ඉන්නෙ. අම්මා වැඩ කළේ බැංකුවක. දැන් නම් විශ්‍රාමිකයි.
* මේ සමාජ සේවා කටයුතුවලට අමතරව, ඔබේ ජීවිතේ ගෙවෙන්නෙ මොන විදිහටද?
මම උසස් පෙළින් පස්සේ එංගලන්තේ ප්ලයිමවුත් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කළමනාකරණ සහ ව්‍යාපාර උපාධිය ලබා ගත්තා. ඒ, 2015 අවුරුද්දෙදි. ඒ උපාධියේ දෙවැනි වසර අවසන් වෙනකොට ම වගේ මට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණා. ඉගෙනගන්න දෙයක් අහක යන්නෙ නැති නිසා, ඒකත් කරන්න පටන් ගත්තා. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් විදිහට ආර්ථික විද්‍යාව හදාරනවා. ඒ ඔක්කොමත් එක්ක තමයි සමාජ සේවා වැඩ කරගෙන යන්නේ.
----------------------
Chamathya Fernando, an undergraduate of University at Sri Jayewardenepura received Emerging Young Leaders Award for international youth (18-25) who have shown the tenacity and courage to promote conflict resolution and prevent crime and violence in their communities at U.S. Department of State on 5th may 2017.
She has been chosen as the Girl Champion from the Asia Pacific Region for the WAGGGS’s #TeamGirl Campaign for her work under the UN’s development goal for Gender Equality and Empowerment of Women and Girls in 2016. She represented Sri Lanka and WAGGGS as a Youth Delegate at the UN Commission on the Status of Women held in New York.
Since 2013, she and her team have reached around 10,000 girls and boys across the country through various activities. She also focuses on youth issues including education, skills development, reproductive health and rights, and combating racial discrimination and extremism. She helped lead a campaign against violent extremism through which a “Peace Hotline” was established and they organized interfaith dialogues around the country. As Assistant Director of Community Service of the Rotaract Club of National School of Business Management (NSBM) she organized many community service projects.
The University of Sri Jayewardenepura conveys its heartfelt congratulations to Ms. Chamathya Fernando and wishes a great success and continued recognition in the future!
No comments:
Post a Comment