Translate

Tuesday, April 16, 2024

ඒ.ටී.ආරියරත්න නැමති බාලදක්ෂයා - දිවංගත ඒ.ටී.ආරියරත්න මහතා බලදක්ෂ ව්‍යාපාරයට කළ සේවය වෙනුවෙනි !!!

 මම ගෙදර ගියෙමි

ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය අහංගමගේ ටියුඩර් ආරියරත්න මහතා 2024.04.16 දින පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසු වූයේ ය. සිය ජීවිත කාලයෙන් දශක හතකට වැඩි කාලයක් ලොව යහපත වෙනුවෙන් කැපවූ ඒ මානව හිතවාදී සත්පුරුෂයා පිළිබඳව ආවර්ජනය, ලොව වැඩ පිණිස කැමති කවරෙකුට වුව අගනා හැදෑරීමක් වනු ඇත. වත්මන් පරපුරට පුරාවෘත්තයක් බඳු රසවත් කථාවකි. අධ්‍යයනය කරන්නෙකුට විශ්වවිද්‍යාලයක් මෙන් වනු ඇත. එතුමා ශ්‍රී ලංකා සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සම්මානිත සභාපතිවරයා ද විය. සියල්ලන්ගේම උදාව සඳහා ශ්‍රමය, චින්තනය සහ ශක්තිය බෙදාගැනීමේ සංකල්පය මත පදනම් වූ බිම් මට්ටමේ මානුෂීය සංවිධානයකි. වසර ගණනාවක් පුරා සර්වෝදය නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් 1958 සිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇත්තේය.
 
1931 දී දකුණු ලකෙහි උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලැබීය. ආරියරත්න මහතා බාලදක්ෂ උගත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙනි. 1950දී ලංකා ජනතාවට නිස්සරණාධ්‍යාක්ෂයින් සේවයක් කිරීම උදෙසා අප්‍රතිහත කැපවීමෙන් කටයුතු කල අතර විධිමත් සමාජ සේවා කටයුත්තක් ලෙස පාසල් යන අතරේදී උණවටුන ගමේ සංවිධායක ලේකම් වශයෙන් ආරම්භ කළ කොහු කාර්මිකයන්ගේ සමුපකාර සමිතිය සමාජ සේවාවේ ආරම්භය විය. 1956 ජනවාරියේ සිට ඔහු මහරගම ගුරු විද්‍යාලයට ඇතුළත් වන්නේ විද්‍යා ගුරුවරයකු ලෙස පුහුණුවීමටය. රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ සමාජ සේවා සංගමයක් පිහිටුවා එහි ප්‍රථම සභාපති වශයෙන් සමාජ සේවය තවදුරටත් ප්‍රගුණ කළ අතර විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධියක් ලබා ගත් ඔහුට, එම විශ්වවිද්‍යාලයෙන් ම පසුකාලීනව සම්මාන අචාර්ය උපාධියක් පිරිනැමිණි. කාලයාගේ ඇවෑමෙන් කොළඹට පැමිණි ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් විද්‍යා ගුරුවරයකු ලෙස ගුරු වෘත්තිය ආරම්භ කළේය. නාලන්දා විද්‍යාලයේ සමාජ සේවා සංගමය තුළින් ශ්‍රමදාන ව්‍යාපාරය කෙරෙහි කැපවෙමින් කටයුතු සිදු කල අතර බාලදක්ෂ කටයුතු සඳහාද එක්විය. නාලන්දාවේදී බාලදක්ෂ නායක පුහුණුවේ පළමු සහ දෙවැනි අදියර සම්පූර්ණ කරන ලදී.
 
කුලියාපිටියේ ජීවත් වූ කොළඹ මියුසියස් විදුහලේ ආදි ශිෂ්‍යාවක් හා බාලදක්ෂිකාවක් වූ නීතා ධම්මචාරී ඇල්පිටිය ආරච්චි මෙනවිය සමග සරල චාම් විවාහයකින් අතිනත ගත් ආරියරත්නයන්ට දරුවන් සය දෙනෙකු සහ අද වන විට මුනුබුරු මිනිබිරියන් දොළොස් දෙනෙක් විය. තරුණ ගුරුවරයෙකු හා බාලදක්ෂ ආචාරයවරයෙකු ලෙස මරදාන දෙල්ගහයට ගෙදර සිය ජයභූමිය කරගනිමින් ගුරු සේවය හා කඳවුරු සේවාව කරන ලද අතර එල්.එච්.මෙත්තානන්ද, කළුකොඳයායේ හාමුදුරුවෝ, මඩිහේ හාමුදුරුවෝ, බද්දෙගම හාමුදුරුවෝ වැනි ගිහි පැවිදි පඩිවරුන් සමග සමීපව ඇසුරු කරමින් ජාතික, ආගමික හා සංස්කෘතික බලවේගයන් හි ප‍්‍රමුඛයකු ලෙස අත්දැකීම් ලබන අතර ඔවුන් ආරම්භ කළ ජාතික පුනර්ජීවනයේ කොටස්කරුවෙකු ද විය. ඒ ඇසුරෙන් සිය අනාගත ගමන් මගට පන්නරය ලබා ගත්තේය. ඉන්දියාවේ මහත්මා ගාන්ධි දර්ශනයේ ආභාෂය ලබන අතර එතුමන්ගේ ප‍්‍රධාන අනුගාමිකයන් වූ ආචාර්ය විනෝභා භාවේ, ජයප‍්‍රකාශ් නාරායන්, ශ‍්‍රී ජවහර් ලාල් නේරු වැනි ඉන්දීය නායකයින් හමුවේ ඔවුන්ගේ ක‍්‍රියාවන් හා අත්දැකීම් තම ජීවින දර්ශනයට ඒකාත්මික කර ගත්තේ ය. ඒ වනවිට බාලදක්ෂ ආධුනිකයෙකු ලෙස සිටි ඒ ටී ආරියරත්න මහතා විවිධ හැල හැප්පීම් මත බාලදක්ෂ ව්‍යාපාරය හැරගියේය. තරුණ ජවයත් අනුන්ට සේවය කිරීමේ අසීමිත ආශාවත් ඔස්සේ අලුත් ආරක බාලදක්ෂ කටයුතු සඳහා යෝජනාවලියක් ජාතික බාලදක්ෂ මූලස්ථානයට ඉදිරිපත් කලට ඒවා තුට්ටුවකට හෝ මායිම් නොකොට පසෙක දැමීම හේතුවෙන් බාලදක්ෂ කටයුතු සම්බන්දයෙන් බලවත් කලකිරීමට පත්වෙමින් සිටි අවධියක දිසා බාලදක්ෂ සංගමයේ විවිධ තාඩන පීඩන හමුවේ බාලදක්ෂ කටයුතු වලින් ඇත්වීම බාලදක්ෂ ව්‍යාපාරයට එල්ල කලේ වචනයේ පරිසමාප්ත අන්දමින්ම බලවත් පාඩුවකි. එම සංතල්ප ඔස්සේ පසු කාලීනව සර්වෝදය ව්‍යාපාරය තුළ බාලදක්ෂ කටයුතු බිහි කිරීමේලා එතුමා කටයුතු කලේය.
 
 
සර්වෝදය වචනය මුල්වරට භාවිතා කොට ඇත්තේ මහත්මා ගාන්ධිතුමා විසිනි. ගාන්ධීගේ අභාවයෙන් පසුව ඔහුගේ දේශපාලන ජීවිතයට ශ්‍රී නේරු උරුම කරුවූ අතර අධ්‍යාත්මික හා දාර්ශනික උරුමය ඉදිරියට ගෙන ගියේ සර්වෝදයේ මාර්ගෝපදේශකයා වශයෙන් සැලකෙන විනෝබා භාවේ තුමන් විසිනි. ඉන්දීය නිදහස් සටනට ජීවය දුන් ප්‍රබල නායකයෙකු වූ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් 1948 සේවා ග්‍රාමයේදී පැවැති රැස්වීමේදී සර්වෝදය සමාජ ක්‍රමයක් ඇති කිරීමේ මූලික පියවර ගෙන තිබේ. දුප්පත් කමින් තොර සුඛෝපභෝගී බවෙන් තොර සියල්ලන්ගේ උදාව ලෙස සර්වෝදය අර්ථ දක්වා තිබේ. 1959 මාර්තු මාසයේ අවසන් සතියේ නවදිල්ලියේදී පැවැති New education fellow ship සමුළුවේදී මහාචාර්ය ඒ. රාමචන්ද්‍රන් පැවැත්වූ දේශනයේදී සර්වෝදයේ දාර්ශනික පදනම විග්‍රහ කොට තිබේ. සමුළුවට සහභාගි වී සිටි ඒ. ටී. ආරියරත්න ගුරුවරයා මෙම අදහස මැනවින් අවබෝධ කරගත්තේය. එදවස සර්වෝදය දර්ශනය ඉන්දීය සංවර්ධනය මෙහෙයවූ මතවාදයක් විය. 
 
කොළඹ ආනන්ද, නාලන්ද මහ විදුහල් දෙකෙහිම වරින්වර විදුහල්පතිකම් දැරූ දිවංගත එස්. ඩබ්. කරුණානන්ද මහතා එදවස නාලන්ද විදුහල්පතිවරයා විය. ඒ.ටී. ආරියරත්න මහතා එදවස නාලන්දා විද්‍යාලයේ වයස 26ක තරුණ විද්‍යා ගුරුවරයෙක් වූයේය. නාලන්දා සමාජ සේවා සංගමයේ උප සභාපති වූ ඒ. ටී. ආරියරත්න මහතා 1958 දෙසැම්බර් 8 වැනිදා කොළඹ නාලන්දා විද්‍යාලයයේ උසස් පෙළ පාසල් ශිෂ්‍යයින් හතලිහක් සහ ගුරුවරුන් දොලසක් සමග ගාල්ල කලපුලුව ගම්මානයේ කල අධ්‍යාපන චාරිකාවක් සූදානම් කලේය. එදා පැවති කුලහීන යැයි සැලකෙන ගම්වල පැවති පීඩනය අතිශයින් අත්දැකීමට හැකි වූ බව එතුමා කම්පනයට පත් කලේය. මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වූයේය. 
 
පැවති දේශපාලන ප්‍රවාහයේ උපරිම සහයෝගය ලබා ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කල අතර කලපුලුව ශ්‍රමදාන කඳවුරට එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් පණිවිඩයක් එවා තිබුණි. පණිවිඩය රැගෙන පැමිණියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විය. ‘සෙසු ජනතාව විසින් නොසලකා හරින ලද අවාසනාවන්ත ජනයා වෙසෙන ඒ ගමේ වැසියන්ගේ උන්නතිය සැලසීමට නාලන්දා සමාජ සේවා සංගමය ගත් පියවර ඉතා විශිෂ්ට ජන සේවා ක්‍රියාමාර්ගයක් ලෙස සලකමි.’ අගමැතිවරයාගේ මෙම පණිවිඩය සැබවින්ම ශක්තියක් විය. පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් කළේය. කිසිදු ලාභ අපේක්‍ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් ශ්‍රමය කැප කිරීම ශ්‍රමදානය ලෙස අර්ථ දක්වා තිබේ. දිවයිනේ දීප්තිමත් පාසලක් වන කොළඹ නාලන්දා විද්‍යාලයේ සමාජ සේවා සංගමය සර්වෝදය බවට රූපාන්තරනය වන්නේ 1962 දීය. එවකට පැවැති නොයෙක් ස්වේච්ඡා ආයතන වූ සිංහ සමාජ, බාලදක්ෂ, බාලදක්ෂිකා, රතුකුරුස, සෞඛ්‍යදාන, රොටරි ආදි ව්‍යාපාර අතර දේශීය ව්‍යාපාරයක් ලෙස සර්වෝදය පෙරමුණේ ලා ගැනෙන්ට විය. දේශපාලන බලාධිකාරයේ සහයෝගය සමගින් 60 දශකයේදී සර්වෝදය ගම් 100 සංවර්ධන ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර 1969 පිලිපීන රජයෙන් රැමෝන් මැග්සයිසේ සම්මානය පෞද්ගලිකව ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාට පිරිනමනු ලැබීය. සම්මානය සමග ලද ඇමෙරිකානු ඩොලර් දසදහසක මුදල සර්වෝදයට පරිත්‍යාග කිරීමට ආරියරත්න මහතා කටයුතු කළේය.
 

 
සිරිලක බාලදක්ෂ එරීනා කලාවේ නම් දැරූ පතාක යෝධයන් අතර ඩයස් ගුණරත්න නම රන් අකුරින් ලියැවී ඇත. ඩයස් ගුණරත්නයන් බාලදක්ෂනය උගත්තේ I.K.G.චන්ද්‍රසේන මහතාගෙනි. චන්ද්‍රසේන මහතා, J.ලයනල් සිල්වා, සාලිය රාජ කරුණා සහ නිහාල් ද මෙල් මහත්වරු සිරිලක ප්‍රථම පූර්ණ කාලීනව ක්ෂේත්‍ර කොමසාරිස්වරු සමකාලීනයේ වූහ. එකල මොරටු පිළියන්දල බාලදක්ෂ දිසාවේ බොහෝ පිරිස් සර්වෝදය ව්‍යාපාරය හා එක් වූහ. ඒ අතරින් අයි.කේ.ජී.චන්ද්‍රසේන මහතා ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. බාලදක්ෂ කටයුතු ද යෝදා ගනිමින් විවිධ අත්හදා බැලීම් ඇසුරින් බිහි කළ "සර්වෝදය ව්‍යාපාරය" කරළියට රැගෙන ඒමට අයි.කේ.ජී.චන්ද්‍රසේන මහතාගේ බාලදක්ෂ ශිල්පීය ඥානය බොහෝ ප්‍රයෝජනවත් විය. චන්ද්‍රසේන මහතා සතු නිර්මාණශීලී බාලදක්ෂ ශීල්පීය ප්‍රගුණත්වය සර්වෝදය ව්‍යාපාරය මැනවින් සමාජගත වීමට සෘජු බලපෑම් කළේය. ශ්‍රමදාන ව්‍යාපාර, ප්‍රජා සේවා කටයුතු රට පුරාම ක්‍රියාත්මක කලේය. පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරය පිරිසුදු කිරීමේ වැඩසටහන ඒ අතරින් ප්‍රමුඛ වේ. සතර දිගින් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් තරුණයන් විසින් සිදු කළ සේවා කටයුතු සියලු දෙනාගේම ඇගයීමට ලක් වූයේය. රාවතාවත්ත, මොරටුව සර්වෝදය මධ්යස්ථානය ප්‍රදේශයට පමණක් සීමා නොවී මන්නාරම, අනුරාධපුරය, රත්නපුරය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලද සර්වෝදය ව්‍යාපාරය සාර්ථක ලෙස ව්‍යාප්ත කෙරිණ.

ආරියරත්න මහතා තුළ ඇති චතුර කථිකත්වය සහ දාර්ශනික දැනුම සර්වෝදයේ කීර්තියට තදින්ම බලපෑවේය. එතුමා විසින් රචනා කර ඇති ග්‍රන්ථ සහ ලිපි ලේඛන දෙස බලන විට එය මැනවින් පැහැදිලි වේ. බුදු දහම පමණක් නොව වෙනත් කුමන විෂයයක් පිළිබඳව වුව ද ඔහුට ඇත්තේ අසීමිත දැනුමකි. පොතපත කියවීමෙන් ඔහු තම දැනුම ප්‍රගුණ කරගනු ලැබුවේ පාසල් අවදියේ සිටය. මෙම කරුණු විමර්ශනය කර බලන විට ඔහු නියත වශයෙන්ම බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කාරණා හතර මගින් මනස සකස් කිරීම දාන, ප්‍රිය වචන, සාමානාත්මකව සහ අර්ථ චරියා හැම විටම ආරියරත්නයන් පිළිගත් සිද්ධාන්තයක් වී තිබේ. ඇතැම් විට ආරියරත්නට සිදු වූ විවිධ අඩත්තේට්ටම් සහ කුරිරු හිරිහැර ඇති වූ අවස්ථාවලදී ඉවසීමෙන් ඒ සියල්ල විඳ දරා ගැනීමට ක්‍රියා කළ ආකාරය එතුමා තුළ පැවැති යහගුණය විදහා දැක්වෙන කැඩපතක් බඳුය.

කලපුලුව මෑනෑව කඳවුරුවලින් පසුව පාසල් දරුවන් සහභාගිකර ගනිමින් දිවයින පුරා ශ්‍රමදාන කඳවුරු පවත්වා තිබේ. දෙනියාය, වතුරව, ඕපනායක අකරැල්ල, මඩකලපුව, පනිච්චංකර්නි, යාපනේ නිර්වේල් කයිතඩි උදාහරණ කිහිපයකි. 1958 බණ්ඩාරනායක රජයේ අමාත්‍යවරු සංඛ්‍යාව 14කි. 1959 ජුනි 09 දින සංශෝධනයෙන් සමාජ සේවා හා සංස්කෘතික වශයෙන් ඇමැතිවරුන් දෙදෙනෙක් පත්විය. සමාජ සේවා අමාත්‍යාංශය බිහිවීම සඳහා මෙම ශ්‍රමදාන සමාජ මෙහෙවර බලපා ඇති බව බොහෝදෙනෙක් නොදන්නා කරුණකි. වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, එදවස ශ්‍රමදාන කඳවුරට එක්වූ රාජකීය විද්‍යාල ශිෂ්‍යයෙකි. හිටපු ඇමැතිවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා දිවංගත ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා ආරියරත්න මහතාගේ සර්වෝදය ශ්‍රමදාන කඳවුරු එතුමාට සමීපව සිට සංවිධානය කළ සිසුන් දෙදෙනෙකි. මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් රැසක් මෙම අත්දැකීමෙන් ජීවිත මුවහත් කරගෙන තිබේ. ප්‍රවීණ සිනමා නළු ගාමිණී ෆොන්සේකා එදා ශ්‍රමදාන කඳවුරුවලට නිතර සහභාගි වූ තරුණයෙකි.ෙ

ආරම්භයේ සිටම සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ඔහු විසින් හඳුන්වන ලද්දේ තිරසාර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන්වහන්සේගේ මඟ අනුගමනය කිරීමක් ලෙසය. ප්‍රජාවගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික, සමාජයීය, ආර්ථික සහ දේශපාලන ජීවිතයේ උන්නතිය සඳහා බුදුන්වහන්සේගේ ඉගැන්වීම් යොදාගත හැකි ආකාරය ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය. සතර බ්‍රහ්ම විහරණ, සතර සංග්‍රහ වස්තු, දසරාජ ධර්ම දස පාරමිතා, සප්ත අපරිහානීය ධර්ම, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නොයෙක් සූත්‍ර ධර්මයන් ආදී ඉගැන්වීම් ඔහු ඉතා ප්‍රායෝගික ලෙස හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි වැනි බෙ!ද්ධ නොවන ප්‍රජාවන් ද ඇතුලත් ග්‍රාමීය ප්‍රජාවන් 15,000 කගේ එදිනෙදා ජීවිතයට හඳුන්වා දුන්නේය. පෞරුෂෝදය (මානව පෞරුෂයේ උදාව), කුටුම්බෝදය (පවුලේ උදාව), ග්‍රමෝදය (ගමේ උදාව), නගරෝදය (නාගරයේ උදාව) දේශෝදය (ජාතියේ උදාව) සහ විශ්වෝදය (ලෝකයේ විශ්වයේ උදාව) ඔහු සිය සගයන් හා එක්ව, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම්වූ, සියළු දෙනාම මට්ටම් හයකින් අවදි කිරීමේ න්‍යායාත්මක හා ප්‍රයෝගික පුහුණුවක් සර්වෝදය නමින් වර්ධනය කළේය.

රටට සමාජයට විශේෂ සේවාවක් සිදු කළ පුද්ගලයන් සඳහා ආරියරත්න මහතා අවධානය යොමු කළේය. වසරක් පාසා එවැනි පුද්ගලයන් පස් දෙනකු තෝරා උපහාර පිදුම් සිදු කරනු ලබන්නේ ද ධන පරිත්‍යාග ඇතුළත් කරමිනි. භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් ද දැඩි අවධානයක් යොමු කරමින් ප්‍රජා නායකත්ව පුහුණු කිරීමේ කාර්යය සඳහා පාතකඩ අරඹන ලද භික්ෂු පුහුණු මධ්‍යස්ථානය හඳුන්වා දුන්නේය. එහි සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුවේ අපවත් වී වදාළ හේන්පිටගෙදර ඥානසිහ හිමියන් විසිනි. සර්වෝදය මගින් ආරියරත්නයන් ඇරැඹූ තවත් සමාජ සත්කාරයක් වූයේ දරුවන් රැක බලා ගැනීමේ ව්‍යාපෘති වේ. නීතා ආරියරත්න මහත්මියගේ මූලිකත්වයෙන් ඇරැඹි එම සේවාව මගින් දරුවන් විශාල පිරිසකට සෙත සැලසුණි. කාන්තාවන් ඒ සඳහා මෙන්ම තරුණ පරපුර වෙනුවෙන් ද සර්වෝදය ක්‍රියාත්මක කළ වැඩසටහන් රැසකි. එමගින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන තැනක් ගනී. ඉන් ඔවුන්ට ස්වයං රැකියා උත්පාදනයක් ද සිදු විය. 

ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එවක අගමැති ආර්. ප්‍රේමදාස මහතාත් ඉන්දීය සර්වෝදය නායකයකුවූ ආචාර්ය ආර්.ආර්. දිවාකර් මහතා සර්වෝදය මධ්‍යස්ථානයක් නැරඹීමට එක්වූ අවස්ථාව.
 
අග්‍රාමාත්‍යවරුන් වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විජයානන්ද දහනායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ඩඩ්ලි සේනානායක මහතා, ජනාධිපති විලියම් ගොපල්ලව මහතා, අගමැති සහ විධායක ජනාධිපති ධුර හෙබවූ ජේ.ආර්. ජයවර්ධන මහතා, ආර්. ප්‍රේමදාස මහතා යන රාජ්‍ය නායකයෝ ඔවුන්ගේ නිල කාල වලදී ද, ශ්‍රීමත් ජෝන් කොතලාවල හිටපු අගමැතිතුමා, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, ඒ. අමිර්තලිංගම්, එස්. තොණ්ඩමාන්, අබ්දුල් අසීස්, සෙනෙට් සභාපතිව සිටි ඒ. රත්නායක යන ගෞරවනීය මැතිතුමන්ලා ද, පක්ෂ නායකයෝ ද පක්ෂ හා බලකාමී භේදයකින් තොරව සර්වෝදය කරගෙන ගිය සේවාවන්ට අතහිත දුන් අතර ඒවාට බාධා නොකළහ. ඔවුන් යටතේ සිටි යම් දේශපාලකයකු හෝ නිලධාරියකුගෙන් අසාධාරණයක් වූ විට අපේ අභියාචනාවලට කන්දී ඔවුන් සාධාරණය ඉටු කළහ.
1986 කතරගම කිරිවෙහෙරේ සිට යාපනය නාගදීපය දක්වා සාම පාගමනක් ආරම්භ කළේ උතුරේ හිංසාවාදී ක්‍රියා ප්‍රබලව පැවති අවධියකය. මෙය පුළුල් ජන සහභාගීත්වයක් ලද ආධ්‍යාත්මික ප්‍රයත්නයකි. වව්නියාවේ සිට පාගමනින් ගමන් කිරීමට ඉන්දීය ආගමික නායකයන් විසින් එකඟතාව පළකර තිබුණි. යාපනයට ඇතුළුවීමට අපේක්‍ෂා කළේ සත්‍ය ශ්‍රී සායි බබා තුමන් ඇතුළු ඉන්දීය ආගමික නායකයන්ගේද සහභාගීත්වය ඇතිවය. බලයේ පැවති රජය මෙම උත්සාහය වළක්වාලීය. ඒ සඳහා බලපෑ හේතු විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. මහත්මා ගාන්ධි විනෝබබා විසින් සර්වෝදය විග්‍රහකර තිබුණේ වේදය පදනම් කරගෙනය. සර්වෝදය අධ්‍යයන කවය මෙයට බෞද්ධ මුහුණුවරක් ලබාදුන්නේය. සර්වෝදය යනු ක්‍රියාත්මක බුදුදහම බව බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියෝ ප්‍රකාශ කළෝය. විවිධ ආගම් හා ජන කණ්ඩායම් සමග කටයුතු කරන ජාතික ව්‍යාපාරයක් බවට පසුගිය වසර 65 ක කාලය තුළ සර්වෝදය පත්වී තිබේ. සර්වෝදය සමාජ සේවා ව්‍යාපාරයක් පමණක් නොවේ. එය සමාජ වෙනසක් අපේක්‍ෂා කරන ජාතික ආයතනයකි. ආධ්‍යාත්මික පදනම උපයෝගී කරගත් සංවර්ධන මොඩලයක් ලෙස සර්වෝදය අන්තර් ජාතික සම්භාවනාවට පාත්‍ර වී තිබේ. 1960 සිට එක් එක් දශක ඒ ඒ අවධීන්හි සමාජ දේශපාලන ගැටලුවලට මුහුණදෙන ආකාරයට කටයුතු කර ඇති බව වසර 65 ක පරිණාමය විමසීමේදී පැහැදිලිය. 
 
ඒ.ටී. ආරියරත්න මහතාගේ 85 වැනි ජන්ම දින සැමරුම

සර්වෝදය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ සාහිත්‍ය ශූරී ගෞරව ආචාර්ය උපාධියෙන් ද,  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතින් 2007 දී ශ්‍රී ලංකා ජනරජයේ පුරවැසියකුට පිදෙන ඉහළම සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයෙන්පිදුම් ලැබීය. 1969 දී ප්‍රජා නායකත්වය සඳහා ප්‍රථම වරට (Ramon Magsaysay Award for Community Leadership Philippines) සම්මානය (පිලිපීනය), 1982 දී සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානයද (බෙල්ජියම), 1992 නිවානෝ සාම ත්‍යාගය (ජපානය) සහ 1996 දී මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) වැනි බොහෝ වූ ජාත්‍යන්තරයෙන් සම්මාන ඔහු වෙත පිරිනැමුනි. ආචාර්ය ආරියරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඩී.ලිට් උපාධියෙන් (D.Litt.) හා පිලිපීනයේ ්පැකසද ්ටමසබ්කාද ක්‍දකකැටැ දf ඵැාසජසබැ වෙතින් මානව ශාස්ත්‍ර (D.H.) උපාධියෙන් ද පිදුම් ලැබීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ‍්‍රී ලංකාභිමානී සම්මානය ඇතුළු දේශීය සම්මාන බොහොමයකින් ද ආරියරත්නයන් සහ සර්වෝදය සේවාව සම්භාවනාවට ලක්ව ඇත.

“මගේ සමාජ සේවා ජීවිතයේ ආරම්භයේ සිට ම විවිධ බාධකවලට මුහුණ දීමි. මෙයින් සමහරක් පෞද්ගලික හා අන්තර් පුද්ගල සබඳතාවල අඩුපාඩු නිසා ඇතුළතින්ම ඇති වූ ඒවාය. සමහර බාධක බාහිර පුද්ගලයන් ගෙන්, කණ්ඩායම්වලින් හෝ තාවකාලික රාජ්‍ය බලතල ලබා සිටිය වූන්ගෙන් එල්ල වූ බාධකය. මේවායින් අප අධෛර්යයට පත් නොවූ අතර අප සමග එකට වැඩකළ වැඩිහිටි, සම වයස් හා ළාබාල සහෝදර සේවක සේවිකාවන් ද තව තවත් ධෛර්යට පත්කොට ඉදිරියට සේවාවන් ගොඩනඟාගෙන ආවෙමු. මේ දීර්ඝ ගමන සඳහා අප යෙදූ ශ්‍රමය, සම්පත්, චිත්ත ශක්තිය අප්‍රමාණය. අප බලාපොරොත්තු වූ එකම ප්‍රතිඵලය වූ නිස්සරණ ප්‍රීතිය අපි නොඅඩුව ලැබීමු. පරාර්ථ සේවය සඳහා මා ගත කළේ පෙර ආත්මයක තිබූ ආභාසයක් නිසාදෝ නොඑසේ නම් බුදු හිමියන්ගේ ඉගැන්වීම අනුව පරාර්ථ සේවය තුළින් ආත්මාවබෝධය ඇතිකර ගැනීමට බලවත් චිත්ත වේගයක් මා තුළ ක්‍රියාත්මක වූ නිසාදෝ විය හැකිය.”

2024 අප්‍රේල් 16 වැනිදා පස්වරුවේ ඒ මහතා රෝගී තත්ත්යෙන් කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වනවිට 93 වන වියේ පසුවිය. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 20 වැනිදා (සෙනසුරාදා) රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකලේය.
 
පැවති විවිධ ආණ්ඩු සහ රාජ්‍ය පාලකයන් සමග කටයුතු කළ ආකාරයෙන් කිසිදු දිනෙක රජයේ වරදාන වරප්‍රසාද ලබා නොගෙන සැබෑ සමාජ සේවකයකු ලෙස කටයුතු කල එතුමා වැනි විශ්ව දර්ශනයක් තුළින් ලෝකයටම ආමන්ත‍්‍රණය කරන විශ්වීය නායකයෙක් අහිමි කරගැනීමේ දුක ඇත්තේ සුලු පිරිසකට පමණකි. සියලූ ආගම් හා විශ්ව දර්ශනයන්හි පොදු සාධක තම ජීවිතයට අභ්‍යන්තරීකරණය කරගත් සාමාන්‍ය ජනතාව සමග සතුටින් සිටින ජනතා නායකයෙක් වූ එතුමා වැනි බොහෝ නායකයන් බාලදක්ෂ ව්‍යාපාරයට අහිමි කරගනිමින් සිටිති. 
 
බාලදක්ෂ ඉතිහාසයේ නොලියවුණු මෙම ඓතිහාසික තොරතුරු ඔබ වෙත සමීප කරනු ලබනනේ තත්කාලීනවද බාලදක්ෂ ව්‍යාපාරයේ සිදුවූ නීරස සිදුවීම් කිහිපය නැවතත් සිදුවෙමින් පවතින නිසාවෙනි. එබැවින්, වර්තමානයේ සිටින බාලදක්ෂ ව්‍යාපාරයේ නියැලෙන බාලදක්ෂයින්, පෞරුෂත්ව ගුණාංගයන් සහිත වැඩිහිටි නායකයින්, විකල්ප මත දරන්නන්, නායකයින්, බාලදක්ෂ ව්‍යාපාරයේ සිටින නිර්මාණශීලී වැඩක් කල හැකි පිරිස් බාලදක්ෂ ව්‍යාපාරය තුළ ආරක්ෂා කරගැනීමට ප්‍රමාණවත් ස්ථීර සාර වැඩපිළිවෙලක් බිහි කළ යුතු කාලය උදා වී තිබේ. සැබැවින්ම, එය කාලීන අවශ්‍යතාවයකි !!!
 
 
 

Monday, April 8, 2024

සිලෝනා පෙරවදන - CEYLONA ජත්‍යන්තර බාලදක්ෂිකා කදවුර 2024

2024 වර්ෂය ශ්‍රී ලංකා බාලදක්ෂිකාවන්ගේ 107 වැනි ස්මරණීය වර්ෂයයි. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ගැහැණු ළමයින් උදෙසා ම පිහිටවනු ලැබූ සංවිධානයකි. ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා කටයුතු ආරම්භ වූයේ 1917 මාර්තු 21 දිනය.  මහනුවර උසස් බාලිකා විදුහලේ එවකට විදුහල්පතිනිය වූ Miss F.R. Samson සැන්සම් මෙනෙවියගේ උනන්දුව මත ජෙනී කැල්වර්ලි Mrs. Jenny Greene Calverley මෙනෙවිය විසින් මෙම ව්‍යාපාරය ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ඇය විසින් මෙරටට නෙට්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීමට කටයුතු කලබව ද පැවසේ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ තරුණ ගැහැණු ළමුන් 40 ක් බඳවාගෙන 1වන මහනුවර බාලදක්ෂිකා සමාගම 1st Kandy Guide Company පිහිටුවන ලදී.

ලෝක බාලදක්‍ෂිකා ව්‍යාපාරය අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. මේ වනවිට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකා සාමාජික සංඛ්‍යාව මිලියන 41 ඉක්මවා ඇති බව වාර්තාවේ. මොවුන් සියල්ලටම සෙවණ සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement - (WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts - WAGGGS) හැදින්විය හැකිය.

මෙසේ ආරම්භ වූ  බාලදක්‍ෂිකා ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. ශිෂ්‍ය භටබලකාය, බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආදිය නිසා අධ්‍යාපනය දියුණුවට ද රුකුලක් වී තිබේ. එසේම මෙය කාන්තා අනන්‍යතාවය තහවුරු කර ඉදිරියට යන සංවිධානයක් වශයෙන් සැලකිය හැකිය. 1917 දී ජෙනී කැල්වර්ලි මෙනෙවිය විසින් විසින් රෝපණය කරන ලද බාලදක්ෂිකා බීජය 2017දී ශත සංවත්සරය ජම්බෝ '17 ලෙස 2017 අගෝස්තු 23 සිට 27 දක්වා මින්නේරිය යුද හමුදා කඳවුරේදී සමරනු ලැබිණ. ශ්‍රී ලාංකීය බාලදක්‍ෂිකා ව්‍යාපාරයේ සියවස් සැමරීමෙන් අනතුරුව නැවත වරක් දැවැන්ත කඳවුරු අත්දැකීමක් බෙදා දීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ජාත්‍යන්තර අංශය සූදානම් වෙමින් සිටිති.  

Ceylona පදක්කම

සිලෝනාව කරලියට

ඈත අතීතයෙහි සිට ම විදේශික වෙළෙන්දෝත් දේශාටකයෝත් අපේ රටට ආහ.  "සමුද්‍ර" යන සංස්කෘත පදයට නෑකමක් ඇති "සිමුන්දු" හෙවත් "සිමොන්දු" (Simoundu) යන නම ද ප්ලිනි (Pliny) නමැති ග්‍රීක ලේඛකයා ලියූ "Periplus of the Erythrean Sea " නම් පොතට අනුව ග්‍රීකයන් අපේ රට හැඳින්වීමට "Palaisimundu" (පලයිසිමන්දු) හෙවත් "පාරසමුද්‍ර"යෙදූ බවත් පැවසේ.
 
යුරෝපයෙන් පැමණි දේශාඨකයේ බොහොමයක් මේ රට හැඳින්වීමට වැඩිපුර ම යොදා ගත්තේ "සිංහල දේශ" යන නාමය ආශ්‍රයෙන් සදා ගත් පද වලිනි. "සාලිකේ" (Salike) යන නම ග්‍රීකයන් යෙදූ බව කියවේ. "ස්වර්ණ ද්වීප" යන නාමය හෝ "සිංහල ද්වීපය" යන නාමය ඊට පාදක කොට අරාබි ජාතික වෙළන්දෝ "සෙ‍රන්ඩිප්" (Serendip) හෝ "සෙරෙන්ඩිබ්" (Serendib) කීහ. මේ "සෙරෙන්ඩිප්" යන පදය අනුසාරයෙන් ඉංග්‍රිසි ශබ්දකෝෂයට ද අලුත් පදයක් එක් විණ. ඒ "serendipity" (සෙරෙන්ඩිපිටි) යන පදය යි. මේ පදය ඉංගිරිසි භාෂාවට එක් කිරීමේ ගෞරවය හිමි වන්නේ හොරස් වොල්පෝල් ( Horace Walpole) නමැති ගත්කතුවරයාට ය. 1754 දී ඔහු ලියූ "Three Princes of Serendip" නමැති කෘතියෙහි "සෙරෙන්ඩිපිටි" යන පදය යෙදුවේ "අහම්බෙන් මුහුණ දීමට සිදු වන සතුටුදායක සිද්ධි" හැඳින්වීමට ය. ඒ නාමපදය ඇසුරින් "serendipitous" යනුවෙන් ගුණ පදයක් ද "serendipitously" යනුවෙන් විලාස පදයක් ද ඉංගිරිසියට එක් විණ.
 
පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රිසි යන යුරෝපීය ජාතීන් අපේ රට හැඳින්විමට යොදා ගත් නම් සමහරක් අතර Zeilan (සෙයිලාන්), Zeylan (සෙයිලාන්), Seylan (සෙයිලාන්), Ceilao (සෙයිලාඕ), Ceylan (සිලාන්), Ceylon (සිලෝන්) දැක්විය හැකිය. මේ අතුරින් පෘතුගීසීන් යෙදුවේ "සෙයිලාඕ" යන්න යි. එහි අවසානයෙට එන "ඕ" ශබ්දය උච්චාරණය කෙරුණේ නාසික්‍ය ශබ්දයක් වශයෙනි. ලන්දේසීන් වැඩිපුර යෙදුවේ "සෙයිලාන්" යන නාමය යි. එමේ අතුරින් අවසානයට ම අසන්නට ලැබුණේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් යෙදූ "සිලෝන්" යන නාමය යි. ඒ නාමය ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වුණේ ඔවුන් ලෝකයට ගෙන ගිය ලංකා තේ නිසා ය. අද වුවත් විදේශිකයන් අපේ රට ගැන දන්නේ "Ceylon Tea" (සිලෝන් ටී) නිසා ය. මීට අමතරව ලංකාවේ එක් බැංකුවක් ද මේ නාමය තවමත් ආරක්ෂා කොට ගෙන සිටි. ඒ "ලංකා බැංකුව" හෙවත් "Bank of Ceylon" (බෑන්ක් ඔෆ් සිලෝන්) ය. කෙසේ හෝ සිලෝන් යන්න ලොවක් දන්නා සන්නාමයක් බවට අදවන විට පත්ව තිබේ. 
CEYLONA කඳවුරු ලෝගෝව

සිලෝන් යන්න සිංහලේ යන වදන ඉංග්‍රීස් උරුවට යොදාගනුලැබූවක් විය.  එතෙක් සිංහලේ නම් වූ දූපත් රාජ්‍ය එක්සත් රාජධානියේ යටත් විජිතයක් බවට පත් වූ වකවානුවේදී හඳුන්වනු ලැබූ "බ්‍රිට්ශ් සිලෝන්" නාමයෙන් බිඳි ආ නාමපදයකි. ඒ අනුව රටේ නිල නාමය "සිලෝන්" නම්විය. මෙම තත්වය 1956 දක්වා පැවති අතර 1956 දී පනතක් මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වූ අතර රටේ නිල නාමය ලංකා බවට පත්විය. එනමුත් ඉංග්‍රීසි බස කථාකරන්නන් දිගටම සිලෝන් වදන භාවිතා කරන ලදී. 1972 දී ජනරජ ව්‍යවස්ථාවෙන් රටෙහි නම ශ්‍රී ලංකා ලෙස වෙනස්කරන ලදී.

සිලෝනා යනු සිංහල බසින් නිරුප්පත්ති වූ වදනක් නොවේ. ලොවක් දන්නා සන්නාමය වූ සිලෝන් නාමයට 'ආ' ප්‍රත්‍ය එක් කිරීමෙන් 'සිලෝනා' 'CEYLONA' නාමය නිර්මාණය වී තිබේ. මෙවර පැවැත්වෙන බාලදක්ෂිකා කඳවුරට පූර්ව සාක්ඡා වට කීපයකදීම කරලියට ආ නම් අතරින් වඩාත් ආකර්ශනීය වූ මේ නම ඇසුනේ අහම්බෙනි. ඒ නදීශානි ජයරත්න මෙනවියගේ අදහසකි. මෙම පෙරවදන කදවුරු ලෝගෝව වෙනුවෙනි.

සිලෝනා බාලදක්ෂිකා ජාත්‍යන්තර කඳවුරක් 2024 අගෝස්තුවේදී..

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය තරුණ නායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් සිලෝනා - 2024 නමින් ජාත්‍යන්තර කඳවුරක් පැවැත්වීමට තීරණය කර ඇත. එය කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේදී 2024 අගෝස්තු මස 18 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙම කඳවුර පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තුන්දහසකට අධික බාලදක්ෂිකාවෝ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආසියා ශාන්තිකර කලාපීය කමිටුවේ උපසභාපතිනි ප්‍රාර්ථනා ලියනගේ මෙනෙවිය සහභාගිවීමට නියමිතය.


Ceylona කඳවුරේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව 2024.04.08 දින පැවති අතර එහිදී නිල කඳවුරු කාර්‍යාලය විවෘත කරනු ලැබිණ. කඳවුර සඳහා ලියාපදංචි කටයුතු නිලවශයෙන් ආරම්භ කෙරුණ අතර එහිදී කඳවුරු නායිකාව ලෙස ප්‍රධාන කොමසාරිස්තුමිය හා පළමු බාලදක්ෂිකාව නිල වශයෙන් කඳවුර සඳහා ලියාපදිංචිකරගනු ලැබිණ.

Ceylona කඳවුරේ ලාංජනය සහ කඳවුරු ගීතය එළිදැක්වීමද මෙහිදී සිදුකෙරුණ අතර කදවුරු සුරතලා ලෙස Celly නැමති අලි පැංචිය හඳුන්වා දී තිබිණ. මෙම කුළුදුල් මැස්කොට් නිර්මාණය රන්දිනී ප්‍රනාන්දු බාලදක්ෂිකාවගේ ය. එදා මෙදාතුර බාලදක්ෂිකා ඉතිහාසයෙහි කඳවුරු සුරතලෙකු හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය වේ. සිලෝනාව හා බැඳුණු කඳුවරු සුරතලා සමග ඡායාරූපයක් ගැනීමට ලැබීම ඔබටත් අපූරු සිහිවටනයක් වනු ඇත.

සැලී නම් බාලදක්ෂිකාව - සිලෝනා කඳවුරු සුරතලා

2D සජීවී කරනය සුප්‍රකට මල්මාමා කොමික් කාටූන් ශිල්පියා වන පියල් උදය සමරවීර මාමා සහ පසක් සමරවීර මහතා විසින් බාලදක්ෂිකාවන් වෙත ලබාදුන් දායකත්වකි.

සෙලී නම් කුඩාමිතුරිය - සිලෝනා කඳවුරු සුරතලා
 
ශ්‍රී ලංකා බාලදක්ෂිකා ඉතිහාසයෙහි මෙවැනි දැවැන්ත කඳවුරක් සංවිධානය කිරිම වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ කටයුත්තක් පසුගිය දා කොළඹ බාලදක්ෂිකා මුලස්ථානයේදි සිදු කෙරිණි. මෙම අවස්ථාවට ශ්‍රි ලංකා බාලදක්ෂිකා සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් නදීකා ගුණසේකර ශ්‍රි ලංකා බාලදක්ෂිකා සංගමයේ උපසභාපතිනි ස්වර්ණිකා පිටිගල සහ ප්‍රධාන කොමසාරිස් ආචාර්ය කුෂාන්ති හේරත් ඇතුලු බාලදක්ෂිකාවෝ රැසක් සහභාගි වූහ. ඒ සඳහා මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී වී සිටි අතර CEYLONA ජාත්‍යන්තර කඳවුරේ සහයෝගීතා අනුග්‍රාහකත්වය ලංකාදීප පුවත්පත් සමාගමේ විජය බාලදක්ෂිකා කඳවුර, Scouting Magazine සඟරාව සහ ස්කවුටිං යූටිබ් නාලිකාව විසින් සිදුකරනු ලැබේ.
 

සිලෝනා SDG goals

2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රය සහ එහි තිරසර සංවර්ධන ඉලක්ක - ජාත්‍යන්තර සහයෝගීතාවයේ වර්තමාන ප්‍රමුඛ ගෝලීය රාමුවේ පදනම වන්නේ තිරසරභාවයයි. බාලදක්ෂිකා තිරසර සංවර්‍ධනය යනු පාරිසරික, සමාජයීය හා ආර්ථික යන ත්‍රිත්ව මානයන් සුසංයෝජනය වූ, දිගුකාලීන, තිරසර සමෘද්ධියක් ලබා ගැනීම සඳහාවූ ඒකාබද්ධ ප්‍රවේශයකි.

2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 ම සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කළහ. ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට මාවතක් සකස් කළහ. මෙම “2030 න්‍යාය පත්‍රයෙහි” මූලික කරුණු වනුයේ, තිරසර සංවර්ධන ඉලක්ක 17 (SDGs) Sustainable Development Goals වන අතර එමඟින් අපට අවශ්‍ය ලෝකය ඉතා පැහැදිලිව නිර්වචනය කර ඇත - කිසිවෙක් මග නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළ වේ.


නව ගෝලීය ඉලක්කයන් ආරම්භයේ සිටම ව්‍යාපාර, සිවිල් සමාජය සහ පුරවැසියන් සම්බන්ධ කරගත් රජයන් සමඟ වෙන කවරදාටත් වඩා සංයුක්ත වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ලෝකය යා යුත්තේ කොතැනටද යන්න පිළිබඳව අපි සියලු දෙනා එකඟතාවයක සිටියි. මෙම අභිලාෂයන් සපුරාලීම සඳහා සමාජයේ සෑම අංශයක්‌ම පෙර නොවූ විරූ උත්සාහයක් ගත යුතු අතර, තිරසර සංවර්ධන සභාව වශයෙන් අපි සැම දෙනාටම තිරසර සංවර්ධන රටක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට බාලදක්ෂිකා අපි කැපවී සිටින්නෙමු.

සිලෝනා කඳවුරු බිම

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික වැදගත්කම ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන අතර ඉහතින් සඳහන් කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන රාජධානි හතරට අමතරව බදලත්ථලි නම් උප රාජධානියක් ඉබ්බාගමුව බතලගොඩ වැව ආශ්‍රිතව පිහිටා තිබී ඇත. අතීතයේ බතලගොඩ ප්‍රදේශයේ මංගලපුරය ලෙස ද හඳුන්වා දී ඇත. පළමුවන පැරකුම් රජුගේ අමාත්‍යවරයකු වූ බදලත්ථලි විසින් දැදුරු ඔය හරස් කර අමුණක් බැඳ වේලක් ඔස්සේ ලබාගත් ජලයෙන් පිර වූ බැවින් මෙම වැව “බදලත්ථල වාපි“ වශයෙන්ද හැඳින් වේ. මෙම ප්‍රදේශය 'බදලත්ථලි පුර' වශයෙන්ද හැඳින් වූ බවට මතයක් ඇත. පසුකාලීනව කල්‍යාණවතී රැජින (ක්‍රි.ව.1202-1208) විසින් බතලේගොඩ වැව ප්‍රතිසංස්කරණය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. බතල උඩ වැවේ සොරොව්ව අසල ඇති සෙල් ලිපියෙන් මෙම තොරතුරු සනාථවේ. 

ශ්රී ලංකා ඉතිහාසයේ නිදහස් අධ්යාපන පනත සම්ම්මත් වීමෙන් පසු එය තවදුරටත් සමාජගත කිරීමේ ප්රතිඵලයක් ලෙස ඇති මධ්ය විද්යාල සංකල්පයෙන් බිහිකල ජාතික පාසැල් අතරින් ශ්රී ලංකාවේ තුන්වන ජාතික පාසල වන ඉබ්බාගමුව මධ්ය විද්යාලය 1942 දි ඉබ්බාගමුවෙන් ජාතියට දායද වී ඇත.  

CEYLONA කඳවුරු භූමිය අතීතයේ බදලත්ථලි නුවර මංගල පුරය පිහිටා තිබූ මනරම් ඉබ්බාගමුව මධ්ය විද්යාලය පුරා විහිදී තිබේ. බතලේගොඩ වැවට මායිම්ව පිහිටි ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය අක්කර 5කට ආසන්න පාසල් භූමිය පුරා  බාලදක්ෂිකා කඳවුරු බිම විහිදී තිබේ.

ක්‍රියාකාරකම් ව්‍යාප්තවන බතලේගොඩ වැව්පිටය

උපකඳවුරු 07ක් යටතේ බාලදක්ෂිකා පලාත් 09 බෙදා කෝටා ක්‍රමයක් යටතේ තෝරාගන්නා ලද බාලදක්ෂිකාවන් කදවුරු බැදීමට යෝජිතය.

ඉබ්බාගමුව මධ්ය විද්යාලයේ සිලෝනා කඳවුරු භූමිය
 
සිලෝනා කදවුරු කාර්යාලය

Ceylona කඳවුරේ නිල කඳවුරු කාර්‍යාලය කොළඹ බාලදක්ෂිකා මුලස්ථානයේ විවෘත කර තිබේ. සිලෝනා කඳවුරු නායිකා, ප්‍රධාන කොමසාරිස්තුමිය විසින් ප්‍රධාන කඳවුරු කාර්‍යාලයේ සිට කඳවුරේ සියලු මෙහෙයුම් කටයුතු මෙමගින් සිදුකෙරේ. කඳවුර සඳහා දෙස් විදෙස් ලියාපදංචි කටයුතු, ප්‍රචාරණ කටයුතු, ප්‍රවර්ධන කටයුතු, සංවිධාන කටයුතු ඇතුලු සියලු මෙහෙයුම් සම්බන්ධීකරනය මෙම ප්‍රධාන කඳවුරු කාර්‍යාලය මගින් සිදුකෙරේ.

සිලෝනා ලියාපදිංචිය

දේශීය හා විදේශීය බාලදක්ෂිකාවන්ගේ ලියාපදිංචි කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සෑම ප්‍රාදේශිකයකම බාලදක්ෂ කඳවුරු නායිකාවන් වෙත යොමුකර ඇත. මෙම කඳවුර සඳහා සහභාගීවීම සීමා සහිත බැවින් ප්‍රමාදයකින් තොරව බාලදක්ෂිකා කණ්ඩායමේ නායිකාවන් විසින් ලියාපදිංචි කටයුතු සඳහා යොමුවීමෙන් ඇතිවිය හැකි අපහසුතා මඟහැරවා ගත හැකි බව කාරුණිකව සළකන්න. 

කඳවුර සඳහා සමනලියන් හා කුඩාමිතුරි ලියාපදිංචි ගාස්තුව  – Rs 1000.00

කඳවුර සඳහා බාලදක්ෂිකා ලියාපදිංචි ගාස්තුව – Rs 2000.00 (Registration fee will be includes the Camp patch,Activity patches, ID card , certificate, and a water bottle)

කඳවුර සඳහා බාලදක්ෂිකා නායිකා ලියාපදිංචි ගාස්තුව – Rs 1500.00 (Registration fee will be includes the camp patch, ID card , certificate, and a water bottle)

කඳවුර සඳහා ජාත්‍යන්තර සේවා කණ්ඩායම (IST) International Service Team ලියාපදිංචි ගාස්තුව – Rs 6000.00 (Registration fee will be includes the camp patch, ID card, certificate, and a water bottle)

ලියාපදිංචි කටයුතු සඳහා

Account Name - Sri Lanka Girl Guides Association Account Number – 017560000197
Bank and Branch name – Sampath bank, Colombo super


 

Tuesday, March 26, 2024

බාලදක්ෂිකා සංගමයේ 107 වන සැමරුම වෙනුවෙන් වෙබ් අඩවියක් විවෘත කරයි (1917-2024)

කැපවීම, සේවය සහ ස්වේච්ඡා සේවයේ 107 වසර සැමරීමට අපි උද්යෝගිමත් සහ උනන්දු වෙමු!



තරුණ කාන්තාවන් සවිබල ගැන්වීමේ 107 වසර සමරමින්, ශ්‍රී ලංකා බාලිකා බාලදක්ෂිකා සංගමය එහි ඔරොත්තු දීමේ, නායකත්වය සහ සේවා ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වසර 107 කට පෙර එහි ආරම්භයේ සිටම, SLGGA ශ්‍රී ලංකාව පුරා සිටින අසංඛ්‍යාත ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ජීවිත හැඩගස්වාලීම, ධෛර්යය, දයානුකම්පාව සහ ප්‍රජා ආත්මය යන වටිනාකම් ඇති කිරීමෙහිලා ඉදිරියෙන්ම සිටී. මෙම වැදගත් අවස්ථාව සමරන අතරතුර, අතීතයේ කැපී පෙනෙන ජයග්‍රහණ ගැන මෙනෙහි කරමින් SLGGA හි මෙහෙවර ඉදිරියට ගෙන යාමට අපගේ කැපවීම අලුත් කර ගනිමු. එක්ව, සෑම ගැහැණු ළමයෙකුටම දියුණු වීමට, නායකත්වය දීමට සහ වෙනසක් කිරීමට අවස්ථාව ඇති අනාගතයක් අපි සිතමු. මෙන්න තවත් වසර ගණනාවක ආශ්වාදය, බලගැන්වීම සහ සහෝදරත්වය වෙනුවෙන් සුභ 107 වැනි සංවත්සරයක්, ශ්‍රී ලංකා බාලදක්ෂිකා! 
 




107වැනි සංවත්සරය සමරණ මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට SCOUTING සගරාවේ සුබ පැතුම් මෙලෙස එක් කරන්නෙමු. මේ ඒ වෙනුවෙන් අප විසින් සකස් කරනු ලැබූ පද පෙළකි.  


බාලදක්ෂිකා......ආලෝකයයි... (ශ්‍රී ලංකා....)
ශ්‍රී ලංකා........ආ....( ශ්‍රී ලංකා....)
ලෝකයයි... ආ....ලෝකයයි...
ශ්‍රී ලංකා බාලදක්ෂිකාලෝකයයි...

එක් වෙමු - රොක් වෙමු
රොද බැද - ජයගමු
එක්සිය හත්වසරක අභිමානයයි... මේ...
ශ්‍රී... ලංකා....ආ....(ශ්‍රී ලංකා....)
බාලදක්ෂිකාලෝකයයි...

තරු දිලෙනා ආකාසේ
එක්වෙමු අපි මීමැසුන් සේ  
ලෝකයයි... ආ....ලෝකයයි...
බාලදක්ෂිකාලෝකයයි...
ශ්‍රී ලංකා........

ශ්‍රී ලංකා......ආ....ආ....
ශ්‍රී ලංකා බාලදක්ෂිකා...
ශ්‍රී ලංකා......

2024 වර්ෂය ශ්‍රී ලංකා බාලදක්ෂිකාවන්ගේ 107වැනි ස්මරණීය වර්ෂයයි. SLGGA මෙම ඓතිහාසික පියවරක් ලෙස බාලදක්ෂිකා නිල වෙබ් අඩවිය ද අන්තර්ජාලයට මුදාහරිනු ලැබිණ.

 

Saturday, March 23, 2024

බාලදක්ෂයෝ 2024 වසරේ මිහිකත හෝරාව - පැයක කාලයක් පෘථිවියට හුස්ම ගැනීමට අවස්ථාව

 


“මිහිකතට යා වෙමු“ යන්න මෙවර එහි තේමාවයි. ඊට දායකත්වය දැක්වූ අය අතරින් ඔබත් කෙනෙක්ද යන්න අපි ඔබගෙන් විමසන්නමෙු?
 
ලෝක වනසත්ව අරමුදල විසින් 2007 වසරේදී මෙම මිහිකත හෝරාව හඳුන්වා දෙනු ලැබීය. ජනතාවගේ පරිසර සංවේදීත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම සංකල්පය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරුණ අතර, 2007 මාර්තු 31 දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මිලියන 2.2ක් පමණ වූ ජනතාව පැයක් විදුලි ආලෝකය නිවා දමමින් මෙම හෝරාව සැමරීමට එක් වූහ. අද වන විට මෙම අවස්ථාව සැමරීම වෙනුවෙන් ලොව පුරා රටවල් 152කට අධික සංඛ්‍යාවක් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එය හැඳින්වෙන්නේ පරිසරය සුරැකීම සඳහා බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන ලොව විශාලතම වැඩපිළිවෙළ යනුවෙනි. 
 
පෘථිවිය උණුසුම්වීමට බලපා ඇති කාබන් වායූ අඩු කිරීම සඳහා ලෝකයේ අවධානය යොමු කිරීම වෙනුවෙන් ලෝකයේ බොහෝ රටවල් මෙම මිහිකත හෝරාව සමරනු ලබති. මෙය සෑම වසරකම මාර්තු මස අවසන් සෙනසුරාදාට යෙදේ. මෙවරත් 2024.03.23 රාත්‍රී 8.30 සිට 9.30 දක්වා අනවශ්‍ය විදුලි පහන් නිවා දමමනේ මිහිකතහෝරාව හා එක්වන්නට සමස්ත බාලදක්ෂ සහෝදරත්වයටම ජාතික බාලදක්ෂ මූලස්ථානය විසින් දන්වනු ලැබිණ. මෙහි අරමුණ පැයක කාලයක් පෘථිවියට හුස්ම ගැනීමට අවස්ථාව යනුවෙන් හැඳින්වේ. 
 



මිහිකත හෝරාව යනු ලෝක වනජීවි අරමුදල (WWF World Wildlife Found ) විසින් සංවිධානය කරනු ලැබූ ලෝක ව්යාප්ත වැඩසටහනකි. ලෝක වනජීවී අරමුදල විසින් සංවිධානය කරන මෙම වැඩපිලිවෙලට සහය දෙමින් ලෝකයේ බොහෝ ස්ථානවල පැයක කාලයක් විදුලි පහන් නිවා දමා තිබුණා. ඉන්දියාවේ නවදිල්ලි නගරය, හොංකොං, සිඩ්නි ඔපෙරා රඟහල, සිංගප්පූරුව, තායිලන්තය, බැංකොක් ආදී බොහෝ නගරවල ද මෙය ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් ඇතැම් රටවල් මේ කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වා තිබුණේ නැහැ.
 
2004 දී ලෝක වනජීවී අරමුදල දේශගුණික විපර්යාස ගැටළුව සම්බන්ධයෙන් ඔස්ට්රේලියානුවන් සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් අදහස් සාකච්ඡා කිරීම සඳහා වෙළඳ ප්රචාරණ ආයතනයක් වන සිඩ්නි නුවර ලියෝ බර්නෙට් ආයතනය හමුවිය. එහිදී මහාපරිමාන විදුලි බලාගාර ක්රියා විරහිත කිරීමේ අදහස මුලින් මතුවිය. එම සංකල්පය 2006 දී නිර්මාණය කර වර්ධනය කර සිඩ්නි හි නගරාධිපති Clover Moore වෙත ඉඳිරිපත් කරන ලදී. ඒ අනුව මුල්ම මිහිකත හෝරාව 2007 මාර්තු 31 දින ඔස්ට්රේලියාවේ සිඩ්නිහිදී දේශීය වේලාවෙන් රාත්රී 7.30 සිට පවත්වනු ලැබීය.
 
මිහිකත හෝරාව 2008 වසරේ පලමු සංවත්සරය සමරමින් මාර්තු මස 29 දින දේශීය වේලාවෙන් රාත්‍රී 8 සිට 9 දක්වා ජාත්‍යන්තරව පවත්වන ලදී. ඊට ලොව පුරා රටවල් 35 ක ප්‍රමුඛ නගර 400 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වූ අතර එහිදී අත්‍යාවශ්‍ය නොවන ආලෝක පහන් නිවා දමන ලදී. සමහර වෙබ් අඩවි මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගූගල් සමාගමේ (Google) මුල් පිටුව අඳුරු බවින් දිස්විය.
 
මෙහිදී ඇමරිකාවේ මිලියන 36 ක් හා වැඩිහිටි ප්රජාවගෙන් 16% ක් ඊට සහභාගී වූ අතර දේශගුණික පාරිසරික ප්රශ්න කෙරෙහි උනන්දුව දක්වන පිරිස 4% කින් ඉහල අගයකින් ඉහල ගියේය. මේ අනුව බැංකොක් හි එම කාලය තුල විදුලි පරිභෝජනය මෙගාවොට් 73.34 කින් අඩුවූ අතර ඉන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 41.6 කින් පහත වැටුණි .ඒ අනුව බොහෝ රටවලින් පැයක් තුල විදුලි පරිභෝජනය අඩුවිය. එමෙන්ම එකී කාලය තුලදී පරිසරයට මුදා හරිනු ලැබූ කාබන් ඩයොක්සයිඩ් ප්රමාණය ටොන් ගනනකින් බොහෝ අඩුවිය. ඉන් හොඳම ප්රථිපලය දැක්වූයේ නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච් නගරයෙනි. ඒ නගරයේ විදුලි පරිභෝජනය 13% කින් පහත වැටීමක් වාර්තා කරමිනි. එමෙන්ම ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර 10% කින් අඩු විය. මිහිකත හෝරාවේ නරකම ප්රථිපලය වූයේ කැනඩාවේ කැල්ගරි නගරයෙනි.එම පැය තුල නගරයේ විදුලි ඉල්ලුම 3.6% කින් ඉහල ගියේය. ඒ සෙනසුරාදාට පෙර දින වාර්තා වූ උෂ්ණත්වයට වඩා පසුදින එනම් සෙනසුරාදා උෂ්ණත්වය අඩුවූ අතර එය 12°c හේතුවෙන් ශීත කාලගුණයක් නගර වැසියන්ට අත්විඳීමට වූ බැවිනි. කෙසේවෙතත් 2010 හා ඊට පසුව එහි විදුලි පරිභෝජනය 1% කින් අඩුවිය. සැබැවින්ම මිහිකත හෝරාව බලශක්ති අඩු කිරීම හා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වීම අවම කිරීම අභ්යාසයක් ලෙස අදහස් නොකරන අතර එය සංකේතාත්මක ක්රියාවකි.එය එම පැය තුල විදුලි පරිභෝජනය හා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩුවීමේ මට්ටම මැනීම නිරත නොවන අතර ලොව පුරා සිටින පුද්ගලයන්, ව්යාපාර හා රජයන් ඔවුන්ගේ පාරිසරික අභියෝග වලට සැබෑ විසඳුම් සපයන සංවාදයේ යෙදීමට දිරි ගැන්වීමේ මුල පිරීමකි.
 
#KD

Wednesday, March 20, 2024

167 වන දින බී.පී දින සැමරුම වෙනුවෙන් නිර්මාණය කළ හිරු සිතුවම - 2024

බේඩ්න් පවෙල් සාමිවරයා වරක් මෙසේ පැවසුවා.  ඔබ ලෝකය හැරයන විට, එය ඔබ මුලින් දුටු ආකාරයට වඩා මඳක් හෝ ඉදිරියෙන් තබා යාමට උත්සාහ කරන්න... යනුවෙනි. ඒ සර්වකාලීන පණිවිඩය පෙරදැරි කරගනිමින්, 167වන බේඩ්න් පවෙල් දින සමර්පණයට එක්වන සුවහසක් බාලදක්ෂ-බාලදක්ෂිකාවන් වෙත SCOUTING සඟරාවේ සුභාසිංශනයද මෙසේ එක්කෙරන වගයි..!

 
ආදිකර්තෘ දිනය සමරමින් ලොව පුරා වෙසෙන බාලදක්ෂ-බාලදක්ෂිකාවෝ විවිධ සමාජ සත්කාරක සහ සේවා වැඩසටහන් සංවිධානය කරති. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ-බාලදක්ෂිකා දරුවන් 167 වන දින බී.පී දින සැමරුම මෙවර 10වැනි ජාතික ජම්බෝරිය්දී සමරණු ලැබූහ. ඒ වෙනුවෙන් SCOUTING සගරාවේ අපි සුපුරුදු පරිදි අලුත්ම නව නිර්මාණයක් බාලදක්ෂ ලෝකයට මෙවර දායාද කරන්නෙමු. අත් කාචයක් හරහා හිරු එළියේ කිරණ එක තැනකට නාභිගත කර දැව පුවරු මත පිළිස්සීමෙන් මෙවර ඒ අතිශය දුෂ්කර කලා කටයුත්ත සිදුකරනු ලැබුවේ මීගමුව බාලදක්ෂ දිසාවේ මාර්කස් ඇන්ටනී ප්‍රනාන්දු මහතා විසිනි.
 
හිරු එළියෙන් සිතුවම් මවන කලාකරුවා scouting යූ ටියුබ් නාලිකාවේ අපට හදුන්වා දෙනු ලැබුවේ අපගේ බාලදක්ෂ මිතුරකු වූ මීගමුව බාලදක්ෂ දිසාවේ ජෝර්ජ් මහතා විසිනි. ඒ ඇසුරින් සිදුකල සම්පූර්ණ වීඩියෝව පහතින් බලා ගත හැකිය.
 

 
ලොව ප්‍රථමවරට නිර්මාණය කල බී.පී. ආලේඛය සහිත හිරු සිතුවම
 
හිරු එළිය අපට නොමිලයේම ලැබෙන ප්‍රධානම ශක්ති ප්‍රභවයයි. විද්‍යාඥයෝ හිරුඑළියෙන් බලය නිපදවා ගැනීමට විවිධ පර්යේෂණ කරගෙන යද්දී කලාකරුවකු එම හිරු එළිය යොදවා තම කලා නිර්මාණ කිරීමට සමත්ව සිටී.‍ ඔහු කටුනායක මාක් ඇන්ටනී පෙරේරා ය. හිරු එළිය උපකාරයෙන් චිත්‍ර ඇදීමටත් පොල් කටුවෙන් විසිතුරු ද‍ෑ කැටයම් කැපීමටත් ඔහු ‍උපන් හපනෙකි.

කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව මවගේ වියෝව නිසා තම සීයා සමීපයේ සිට කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ශිල්ප නිමා කළ ඔහු එතැනින් ගියේ ගැල්වනයිස් කිරීමේ කර්මාන්තයක් කරා ය. එතැන ටික කලක් රැකියාව කළ ඔහු කුවේටය බලා ගියේ ය.

කුවේටයේ රැකියාව කරන අතරතුර ලැබෙන විවේකයේදී ඔහු හිරුඑළිය නාභිගත කර පිළිස්සුම් මගින් අපූරු චිත්‍ර නිර්මාණයක් කරන අන්දම රූපවාහිනියෙන් දුටුවේ ය. තර්ස්ටන් විදුහලේ ඉගෙනීම ලබද්දී ඔහුගේ මිතුරෙකු ඔහුට උත්තල කාචයක් ලබාදී තිබුණි. එතැන් සිට ඔහුගේ ආශාව වූයේ හිරුඑළියෙන් චිත්‍ර කැටයම් කිරීම ප්‍රගුණ කිරීමට ය.

මේ ගැන තිබ‍ූ ආශාවත් සමඟ පාසලේදී අත්වැඩට පොල්කටුවෙන් කරන නිමැවුම් පිළිබඳව ද මාක් ඇන්ටන්ට සිහි විය. ඒ සඳහා මෙවලම් කිසිවක් ඔහු සතුව නොවී ය. තිබුණු මෙවලමකින් පොල් කටු කපා කොටා ගැනීමට ඔහු පෙළඹුණු අතර අඩු පාඩු මෙවලම් එක, දෙක, ක්‍රම ක්‍රමයෙන් සොයා ගත්තේ ය. ඔහු පොල් කටුවෙන් විවිධ කලාත්මක දේ නිපදවා සංචාරකයින්ට අලෙවි කරමින් හිරුඑළියෙන් චිත්‍රණය කිරීමට ද සුළු සුළු අත්හදා බැලීම් සිදු කළේ ය.

හිරු සිතුවම් කලාවෙන් නිර්මිත ලොව ඇති එකම බී.පී.තුමාගේ උඩුකය රූපය නිර්මාණය කිරීම

අත් කාචය හිරුඑළියට අල්ලා නාභි ගත වන රශ්මි ධාරාවෙන් පුළුන් කැබලි, කඩදාසි පිළිස්සීමෙන් ඔහු ඉගෙන ගත්තේ ය. එය ලෑල්ලක් මතට ගෙන රුවක් ගොඩනඟා ගන්නට ඔහු ගත් තැන සාර්ථක විය. ප්‍රවීණ සංගීතඥ ගුණදාස කපුගේ ගේ රුව ලෑල්ලක් තුළින් මතු කරගත් ඔහුගේ මුල්ම නිර්මාණය විය.

මේ ඒ පිළිබඳව ඔහුගේ අදහස්.

“මේක අසීරු වැඩක්. චිත්‍රයක් නිම කරන්න දවස් ගණනක් ගිනි අව්වේ කට්ට කන්න වෙනවා. චිත්‍රයක සුළු ඉරක්, සුළු කොටසක් නිර්මාණයට සෑහෙන වේලාවක් ගත වෙනවා. අත පොඩ්ඩක් හරි ඇස පොඩ්ඩක් හරි අහකට ගත්තොත් චිත්‍රය වෙනස් වෙනවා. ලෑල්ලේ පිච්චෙන තැන හරියටම සලකුණු කරගන්න ඕනේ. විශේෂයෙන් පාට අඩු වැඩි තැන් බොහෝම අවධානයෙන් කරගන්න ඕනේ. ඒකට ලොකු ඉවසිල්ලක් තියෙන්න ඕනේ.

මේ සඳහා හොඳට පායන ඉර අව්වත් අත් උත්තල කාචයත් හැරුණු විට ඉක්මනින් පිළිස්සෙන සුදු පැහැයට හුරු කල් පවතින ලෑලි වුවමනා වෙනවා. වැනිස්ටා බෝඩ් මේ කාර්යයට සුදුසුයි. ෆයිනස්, ඇල්බීසියා වැනි ලෑලිත් ගන්න පුළුවනි. ඒ වගේ ම ලෑල්ල පොලිෂ් කිරීමේ හැකියාව තිබුණොත් චිත්‍රය තවදුරටත් දැකුම්කළු කරන්න පුළුවන. කොහොඹ, දොඹත් සුදුසුයි.

ඒත් හිරු එළියෙන් කෙරෙන චිත්‍ර එතරම් ප්‍රචලිත නැහැ. නමුත් මම නිර්මාණය කළ චිත්‍රවලට ඉහළ ප්‍රතිචාර තිබුණා. ඒත් මේවා නිර්මාණය පහසු නැහැ. ඒ නිසා වටිනාකම ඉහළ යනවා. ඒ වියදම් සමහර විට දේශීය රසිකයකුට දරාගන්න බැහැ. දැනට කරලා තියෙන චිත්‍ර දිහා බලලා ඉල්ලුමක් ලැබුණොත් කරල දෙන්න පුළුවන්. චිත්‍ර ඇදීම පිළිබඳ උනන්දුවක් දක්වන්නකුට ගුරු උපදේශයක් දෙන්න කැමැතියි.

කඩදාසියක ඇඳ ගන්නා සිතුවම ලීය මත කටුසටහනක් ලෙස ඇඳ ගත යුතුයි. හැබැයි අපට පාට සීමිතයි. එකම වර්ණය තද හා ළා පාට දක්වා විහිද යා යුතුයි. ඒ නිසා උපයෝගි කර ගන්නා වස්තු බීජය එම වර්ණයට හෝ රටාවට ගැළපෙන පරිදි විය යුතුයි.

පොල්කටු නිර්මාණ ශිල්පය වැඩි දියුණු කරන්න මම අදහස් කරනවා. පොල් ගසින් කිසිවක් අහක යන්නෙ නැහැ. පොල් කටුව ඉවත දමන දෙයක්. දැනට කරන්නෙ අඟුරු පුච්චන එක පමණයි. එයින් මෙවැනි දේ නිර්මාණයට පුහුණුවක් තියෙන අය අද අඩුයි. ඒ නිසා මේ කර්මාන්තය නඟා සිටවන්න මම වැඩපොළක් ආරම්භ කළා මීගමුවේ පිටිපන නැමැති ගමේ. 0113122466 ට කතා කරලා ඕනෑම කෙනෙකුට පුහුණුව ලබා ගන්න පුළුවන්. 


මාක් ඇන්ටනී නොමිලේ ලැබෙන හිරු එළියෙන් හා පොල්කටුවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට ප්‍රයත්න දරන්නෙකි. මේ ස්වභාවික වස්තුන්, කලාව පෝෂණයට උපයෝගි කර ගැනීම ඇත්තෙන්ම වාසනාවකි. මෙවර ලෝක බාලදක්ෂ නිර්මාතෘ බී.පී දින සැමරුම වෙනුවෙන් බාලදක්ෂ ලෝකයට දායාද කල මෙම අපූරු නිර්මාණය වෙනුවෙන් සමස්ත බාලදක්ෂ ව්‍යාපරය වෙනුවෙන් අප ස්තූතිවන්ත වෙමු.

ශ්‍රී ලංකා බාලදක්ෂිකාලෝකය - බාලදක්ෂිකා සංගමයේ 107 වන සැමරුම (1917-2024)

බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කළේ පිරිමි ළමුන් උදෙසායි. නමුත් බාලදක්‍ෂ ව්‍යාපාරය පිළිබඳව මූලධර්ම ඇතුලත් කොට බේඩින් පවෙල් විසින් රචිත ‘පිරිමි ළමුන් සඳහා බාලදක්ෂ’ (Scouting for Boys) මුල් පොත කියවීම, පිරිමි දරුවන්ට පමණක් ම සීමා වුණේ නැහැ. තම සහෝදරයින් සිදුකරන බාලදක්ෂ පුහුණු කටයුතු පිළිබඳ සහෝදරියන් මහත් උනන්දුවක් දැක්වූවා. එළිමහන් කටයුතු කෙරෙහි ඔවුන් වඩාත් ආකර්ශනය කරගනු ලැබුවා. තමාටත් හැකි පමණින් එම කටයුතු අත්හදා බැලීමටත් එළිමහනේ පිසීම, කඳවුරු ගතකිරීම ආදී බාලදක්ෂයින් විසින් සිදුකරන ක්‍රියාකාරකම් කටයුතු සිදුකරමින් බාලදක්‍ෂ ව්‍යාපාරය කෙරෙහි මහත් උනන්දුවක් දැක්වීමට දැරියන්ද උනන්දු වුණා. ස්කවුටිං ‍ෆො බෝයිස් පොතෙහි සඳහන් ක්‍රියාදාමයන් පිරිමින් දරුවන්ට පමණක් නොව තමන්ට ද අනුගමනය කළ හැකි බව ප්‍රදර්ශනය කරනු ලැබුවා. මේ හේතුවෙන් එංගලන්තයේ මෙම දැරියන් ටොම් බෝයිස් ලෙස පාසල් ළමුන් හිරිහැර අඩම්තේට්ම් හා උසුළු විසිළු ද කරනු ලැබුවා. එංලන්තය ඇතුලු රටවල් බොහෝමයක කාන්තාවන් දිරියෙන් ඉදිරියට පැමිණෙමින් සිටියේ මේ සමයේදීයි. තමන්ට සමාජයේ තැනක් හිමි බව කතා කළේ, අයිතිවාසිකම් පිළිබඳව කතා කළේ ඒ යුගයේදීයි. 1910 - 1911 වසරවල කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් වූයේ ඉන්පසුවය. 

එංගලන්තයේ මේ වකවානුවෙහි පැවති බොහෝ උත්සව සඳහා කාන්තා බාලදක්ෂයින් බලහත්කාරයෙන් පැමිණි බව පැවසෙනවා. 1909 වසරේදී ලන්ඩනයේ ක්‍රිස්ටල් මාලිගයේදී පළමු බාලදක්ෂ රැලිය සදහා පිරිමි ළමුන් 10000 පමණක් නොව ගැහැණු ළමුන් ද අනාරාධිතව බලෙන් ම සහභාගී වී තිබුණා. බේඩින් පවෙල් සාමිවරයා ඔවුන් දැකීමෙන් මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය ගැන වැඩිදුරටත් උනන්දුවක් දැක්වියයුතු යැයි කල්පනා කරනු ලැබුවා. බාලදක්ෂ ව්‍යාපාරයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟම ගැහැනු ළමුන්ටද එහි සාමාජිකයන්වීමට අවශ්‍යතාවය මතුවෙමින් පැවතුණා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කාන්තාවන් වෙනුවෙන් ද බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආරම්භ කිරීමයි. 

ක්‍රිස්ටල් මාළිගයේ පැවති පලමු බාලදක්ෂ රැලියට සහභාගි වූ ගැහැනු ළමුන්ගේ ආයාචනය මත ඇරඹුණු බාලදක්ෂිකා ව්‍යාපාරයේ පළමු සභාපතිනිය ලෙස බේඩින් පවෙල්ගේ නැගණිය වන ඇග්නස් බේඩ්න් පොයෙල් මෙනෙවිය 1910 දී පත්විය. 1914 දී රෝස්බඩ්ස් යන නමින් ආරමිභව පසුව බ්‍රවුනීස් ලෙස නම වෙනස් විය. බේඩ්න් පවෙල් සාමිතුමාගේ ලෝක සංචාරය අතරතුරදී 1912 දී Arcadian නෞකාව ජැමෙයිකාව බලා යාත්‍රා කරමින් සිටි අතරතුරදී, අහම්බයක් ලෙද BP තුමා සහ ඔලෙව් සෝම්ස් මෙනවියෙගේ හමුවීම සිදුවිය. පසුව එම වසරේදීම ඔවුහු ගිවිස ගත්තෝය. ඔවුන් එම වසරේදී අප්‍රසිද්ධියේ විවාහ වූ අතර B-P ආර්යාව බාලදක්ෂ හා බාලදක්ෂ ව්‍යාපාර සමඟ ඇගේ සැමියාගේ වැඩවලට සම්බන්ධ වූවාය. ඇය 1918 දී එංගලන්තයේ ප්‍රධාන බාලදක්ෂිකාව ලෙස පත් කෙරිණ. 1920 වසරේදී ඇග්නස් බේඩින් පවෙල් විසින් සභාපතිනි ධූරයෙන් ඉල්ලා අස්විය. ඇය විසින් එම තනතුර බේඩින් පවෙල් ආර්යාව වූ ඔලෙව් බේඩින් පවෙල් වෙත ප්‍රදානය කරණු ලැබීය. එ අනුව 1930 දී ලෝක ප්‍රධාන බාලදක්ෂිකාව ලෙසද පත්විය. 


fleur-de-lis සහ ත්‍රිපත් ලාංඡනය මගින් නිල ඇදුම විශේෂ වන අතර දක්ෂතා පදක්කම් එයට වැඩි අරුතක් ලබාදුන්නේය. ගැහැනු ළමුන් බාලදක්ෂිකා කටයුතු කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා ලෙස ව්‍යාප්ත කෙරිණ. මෙම බාලදක්ෂිකා ව්‍යාපාරය බේඩ්න් පොයෙල් සාමිවරයාගේ බිරිඳ වූ ඔලෙව් සෙන්ට් ක්ලෙයා සෝම්ස් මහත්මියගේ කැපවීම මත තව දුරටත් දියුණු විය. එකල වයස අවුරුදු 11-18 අතර පිරිමි ළමුන් ඉලක්ක කොට ආරම්භ කෙරුනද කල්යත්ම ක්‍රමක්‍රමයෙන් ව්‍යාපාරයේ වර්ධනය සමඟ එම වයස් මට්ටමෙන් එපිට පිරිමි සහ ගැහැනු ළමුන් සදහා නායකත්ව පුහුනු වැඩසටහන් දියත් කරලීමේ අවශ්‍යතාවය මතුවිය. බාලදක්ෂ ව්‍යාපාරය සඳහා යොදා ගනුයේ අවිධිමත් අධ්‍යාපනය මූලික කරගත්, කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රීඩා, පාගමන් සහ ක්‍රීඩා වැනි එලිමහන් ප්‍රයෝගික ක්‍රියාකාරකම් මේ සඳහා එක්විය. ‍


ආරම්භක වකවානුවේදී සමාජීය සම්මුතීන් නිසා පිරිමි ළමුන් ගැහැණු ළමුන්ගෙන් වෙන් කර තැබුවද විෂය සමගාමී කටයුතු වලදී එකට එකතුව කටයුතු කරන ලදී. 1990 වනවිට බාලදක්ෂ සංගම් 2/3 ක අයිතිය ලෝක බාලදක්ෂ සංගමය සතු වූ අතර එය විෂය සමගාමී වැඩසටහනක් බවට පත්විය.

බාලදක්‍ෂිකා ව්‍යාපාරය අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. බාලදක්‍ෂිකා ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. ශිෂ්‍ය භටබලකාය, බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආදිය නිසා අධ්‍යාපනය දියුණුවට ද රුකුලක් විය. මෙය කාන්තා අනන්‍යතාවය තහවුරු කර ඉදිරියට යන සංවිධානයක් වශයෙන් සැලකිය හැකිය. මේ වනවිට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යාව ලෝකයේ රටවල් 172ක මිලියන 57 ඉක්මවා සිටිති. 

මොවුන් සියල්ලටම සෙවණ සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement - (WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts - WAGGGS) පිළිගනු ලැබේ.

-------------------------------------------------------------