Translate

Monday, June 15, 2020

බාලදක්ෂ ගිනිමැල ගීතයේ මී මැස්සෝ!

ගිනිමැල ගීතය රචනා කළ ඩයස් ගුණරත්න සූරීන් බාලදක්ෂයා උපමා කොට ඇත්තේ..... මී මැස්සන්ටය. බාලදක්ෂයින් එතරම්ම කඩිසරය. ඔවුන් වඩාත් යුහුසුලු වන්නේ නරක දේ අතහැර වඩාත් හොඳ දේ කිරීමටය. විජය බාලදක්ෂ කඳවුරේ සංකල්පය පසුගියදා ශ්‍රී ලාංකික බාලදක්ෂයින් වෙත හඳුන්වා දුන්නේ, පස් යොදුන් රට මී මැසි සංරක්ෂණ හා පුහුණු මධ්‍යස්ථානය තුළදීය. ඒ සඳහා "BEE ශ්‍රී ලංකා" ආයතනයේ ප්‍රධාන උපදේශක සජීව විජේසුන්දර මහතා බාලදක්ෂයින්ට මග පෙන්වීය.
 

මතුගම බාලදක්ෂ මී මැසි ජනපදය විවෘත කරයි

බාලදක්ෂ නායක සජීව විජේසුන්දර මහතාට අයත් සුවිසල් වතුයාය සහ වන ගොමුව බාලදක්ෂයින්ට මී මැසි පාලනය උගැන්වීම සඳහා සූදානම් කර ඇත. නියාමන එක්දින පුහුණු කඳවුර සඳහා බාලදක්ෂයින් හය දෙනෙක් සහභාගි වූහ. එළිමහන් බාලදක්ෂ කඳවුරැ තුළ දිවි ගෙවූ වසර විස්සක් අත්දැකීම් ඇති ලී පදක්කම්ධාරී බාලදක්ෂ ආචාර්යවරු තිදෙනෙක්, කනිෂ්ඨ බාලදක්ෂයෙක්, පෝතක බාලදක්ෂයෙක් සහ සිඟිති බාලදක්ෂයෙක් ද ඒ අතර වූහ. ප්‍රායෝගික අභ්‍යාස සඳහා උපකා‍ර කරමින් දැනුම ලබා ගැනීමට තවත් වැඩිහිටියන් කිහිප දෙනෙක් සජීව විජේසුන්දර මහතාගේ අනුදැනුමින් පැමිණ සිටියහ.
 

ප්‍රවීණතා පදක්කම හඳුනා ගැනීම

කනිෂ්ඨ බාලදක්ෂයින් සඳහා නිර්දේශිත කුඩා ගෙවතු හිමියා ප්‍රවීණතා පදක්කම දිනා ගැනීමට කුකුළු පාලනය, මත්ස්‍ය පාලනය හෝ මී මැසි පාලනය කළ යුතුය. මී මැසි පාලනයට අදාළ විෂය නිර්දේශය මෙහි දැක්වෙයි.
• මී වද පරිහරණය හා පරිපාලනය ආදර්ශනය කළ යුතුයි.
• පිලවා හොඳ හා නරක (මී මැසි වර්ග) වද, පැණි වද හඳුනාගත හැකි විය යුතුයි. මී මැසි පොදියක් පිටවී යාම වැළැක්විය හැකි ක්‍රමයක් දැන සිටිය යුතුයි.
• මී මැසි පොදියක් ලබාගෙන කෘත්‍රීමව ආහාර දීමේ මූලධර්ම දැන සිටිය යුතුයි.
• රුජින, වැඩකාර මැස්සියන් හා පිරිමි මැස්සන් හඳුනාගත හැකි විය යුතුයි. ඔවුන්ගේ ජීවන රටා පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි.
• තමන්ගේ මී මැසි ජනපදයෙන් ලබාගත් පැණි සාම්පලයක් ඉදිරිපත් කළ යුතුයි. එම පැණි නිෂ්පාදනය කිරීම කෙරෙහි බලපාන සාධක පිළිබඳව පරීක්ෂකවරයා සමග සාකච්ඡා කළ යුතුය.
ප්‍රවීණතා පදක්කමේ විෂය නිර්දේශය ආවරණය කරමින් සකස් කළ එක්දින මී මැසි පාලන කඳවුරෙහි වැඩ සැලැස්ම ඒ අනුව නිර්මාණය විය.
මී මැසි පාලනය හැඳින්වීම, උපකරණ හඳුනා ගැනීම හා භාවිතය, ජනපද පරීක්ෂාව, ස්වාභාවික ස්ථානයක ඇති ගමන් මැසි පොදියක් අල්ලා පෙට්ටියක තැන්පත් කිරීම, අක්‍රමවත් ජනපදයක් සැකසීම, ජනපද ස්ථානය හා නඩත්තුව, ජනපද වලට ආහාර ලබාදීම, මී පැණි නිස්සාරණය, ගෝචර ශාක හඳුනා ගැනීම, රෝග සහ පළිබෝධක හඳුනා ගැනීම ආදියෙන් වැඩසටහන පෝෂණය විය. 

ආරක්ෂාව තහවුරැ කිරීම

මී මැස්සෝ අනියි... යන කියමන අප කාගේත් මුවග රුව් දුන්නේය. ඒ වචනය ඇසෙන හැම විටකම විජේසුන්දර මහතා පැවසුවේ මී මැස්සාට අං පිහිටා නැති බවය. ඇත්තේ කුඩා විතකි. ලබා දුන් නිශ්චිත උපදෙස් පරිදි මී මැසි පාලක නවකයන් කටයුතු කළ යුතු විය. 

හිස, ඇස, කන් ආවරණ සහිත කබාය පැලඳීම අනිවාර්ය විය. වැඩසටහන ආරම්භයේ දී මී මැසි කබා පැලඳි බාලදක්ෂයෝ හවස් කාලයේ දී ඒවා උනා පසෙකින් තබා මී මැස්සන්ගේ සැබෑම මිතුරෝ වූහ. 

මී මැස්සාට හිරිහැර නොකරන තාක් ඔවුන්ගෙන් අපට හානියක් නැත යන්න ප්‍රත්‍යක්ෂ ලෙස බාලදක්ෂයෝ අත් වින්දෝය. මී මැස්සන් අහුරැ පිටින් අල්ලා මී මැසි ජනපද තුළ පදිංචි කෙරිණ. මී මැසි පාලනය ලොකු කුඩා බාලදක්ෂයින් සියලු දෙනා හට මී මැසි පාලනය ආකර්ශණීය විෂයක් බවට පත්විය.
 

ඉගෙනීමට අතහිත දෙන මී මැස්සෝ

මී මැස්සාට ඇති අනිසි බිය නිසා බාලදක්ෂයෝ මී මැසි පාලනය නොකරති. එහෙත් නියාමන වැඩසටහනට අවුරැදු දහයක සිඟිති බාලදක්ෂයෙකු සහ අවුරැදු දොළහක පෝතක බාලදක්ෂයෙකු ද සහභාගි වූහ.
ඔවුන්ගේ මී මැසි ජනපද තුළින් ලබා ගන්නා වූ මී පැණි අලෙවි කර ඉගෙන ගැනීමට අවැසි පාසල් පතපොත මිලදී ගත හැකි ක්‍රමයක් බී ශ්‍රී ලංකා ආයතනය විසින් බාලදක්ෂයින්ට හඳුන්වා දී ඇත. එය සකසුරැවම් බාලදක්ෂයින් හට සුබවාදී ආරංචියකි. 

 

මීළඟ පැණි වාරේ කඳවුරැ බඳින්න දැන්ම සූදානම් වෙන්න

එළැඹෙන අප්‍රේල් මාසයේ පාසල් නිවාඩු කාලයේ දී බාලදක්ෂයින් සඳහා මී මැසි පාලන වැඩමුළු කිහිපයක්ම පැවැත්වීමට කටයුතු යොදා ඇත. වනගත ගවේෂණාත්මක කඳවුරක් ලෙස ක්‍රියාත්මක කෙරෙන එම වැඩසටහන සඳහා බාලදක්ෂ ඔබ සහභාගී වීමට කැමැති නම් 0774526262 දුරකථනයට කතා කර ලියාපදිංචි විය යුතුය.


 

No comments:

Post a Comment