Translate

Tuesday, April 16, 2024

ඒ.ටී.ආරියරත්න නැමති බාලදක්ෂයා - දිවංගත ඒ.ටී.ආරියරත්න මහතා බලදක්ෂ ව්‍යාපාරයට කළ සේවය වෙනුවෙනි !!!

 මම ගෙදර ගියෙමි

ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය අහංගමගේ ටියුඩර් ආරියරත්න මහතා 2024.04.16 දින පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසු වූයේ ය. සිය ජීවිත කාලයෙන් දශක හතකට වැඩි කාලයක් ලොව යහපත වෙනුවෙන් කැපවූ ඒ මානව හිතවාදී සත්පුරුෂයා පිළිබඳව ආවර්ජනය, ලොව වැඩ පිණිස කැමති කවරෙකුට වුව අගනා හැදෑරීමක් වනු ඇත. වත්මන් පරපුරට පුරාවෘත්තයක් බඳු රසවත් කථාවකි. අධ්‍යයනය කරන්නෙකුට විශ්වවිද්‍යාලයක් මෙන් වනු ඇත. එතුමා ශ්‍රී ලංකා සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සම්මානිත සභාපතිවරයා ද විය. සියල්ලන්ගේම උදාව සඳහා ශ්‍රමය, චින්තනය සහ ශක්තිය බෙදාගැනීමේ සංකල්පය මත පදනම් වූ බිම් මට්ටමේ මානුෂීය සංවිධානයකි. වසර ගණනාවක් පුරා සර්වෝදය නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් 1958 සිට ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇත්තේය.
 
1931 දී දකුණු ලකෙහි උපත ලද ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන් ද, ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ද ලැබීය. ආරියරත්න මහතා බාලදක්ෂ උගත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙනි. 1950දී ලංකා ජනතාවට නිස්සරණාධ්‍යාක්ෂයින් සේවයක් කිරීම උදෙසා අප්‍රතිහත කැපවීමෙන් කටයුතු කල අතර විධිමත් සමාජ සේවා කටයුත්තක් ලෙස පාසල් යන අතරේදී උණවටුන ගමේ සංවිධායක ලේකම් වශයෙන් ආරම්භ කළ කොහු කාර්මිකයන්ගේ සමුපකාර සමිතිය සමාජ සේවාවේ ආරම්භය විය. 1956 ජනවාරියේ සිට ඔහු මහරගම ගුරු විද්‍යාලයට ඇතුළත් වන්නේ විද්‍යා ගුරුවරයකු ලෙස පුහුණුවීමටය. රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ සමාජ සේවා සංගමයක් පිහිටුවා එහි ප්‍රථම සභාපති වශයෙන් සමාජ සේවය තවදුරටත් ප්‍රගුණ කළ අතර විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධියක් ලබා ගත් ඔහුට, එම විශ්වවිද්‍යාලයෙන් ම පසුකාලීනව සම්මාන අචාර්ය උපාධියක් පිරිනැමිණි. කාලයාගේ ඇවෑමෙන් කොළඹට පැමිණි ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් විද්‍යා ගුරුවරයකු ලෙස ගුරු වෘත්තිය ආරම්භ කළේය. නාලන්දා විද්‍යාලයේ සමාජ සේවා සංගමය තුළින් ශ්‍රමදාන ව්‍යාපාරය කෙරෙහි කැපවෙමින් කටයුතු සිදු කල අතර බාලදක්ෂ කටයුතු සඳහාද එක්විය. නාලන්දාවේදී බාලදක්ෂ නායක පුහුණුවේ පළමු සහ දෙවැනි අදියර සම්පූර්ණ කරන ලදී.
 
කුලියාපිටියේ ජීවත් වූ කොළඹ මියුසියස් විදුහලේ ආදි ශිෂ්‍යාවක් හා බාලදක්ෂිකාවක් වූ නීතා ධම්මචාරී ඇල්පිටිය ආරච්චි මෙනවිය සමග සරල චාම් විවාහයකින් අතිනත ගත් ආරියරත්නයන්ට දරුවන් සය දෙනෙකු සහ අද වන විට මුනුබුරු මිනිබිරියන් දොළොස් දෙනෙක් විය. තරුණ ගුරුවරයෙකු හා බාලදක්ෂ ආචාරයවරයෙකු ලෙස මරදාන දෙල්ගහයට ගෙදර සිය ජයභූමිය කරගනිමින් ගුරු සේවය හා කඳවුරු සේවාව කරන ලද අතර එල්.එච්.මෙත්තානන්ද, කළුකොඳයායේ හාමුදුරුවෝ, මඩිහේ හාමුදුරුවෝ, බද්දෙගම හාමුදුරුවෝ වැනි ගිහි පැවිදි පඩිවරුන් සමග සමීපව ඇසුරු කරමින් ජාතික, ආගමික හා සංස්කෘතික බලවේගයන් හි ප‍්‍රමුඛයකු ලෙස අත්දැකීම් ලබන අතර ඔවුන් ආරම්භ කළ ජාතික පුනර්ජීවනයේ කොටස්කරුවෙකු ද විය. ඒ ඇසුරෙන් සිය අනාගත ගමන් මගට පන්නරය ලබා ගත්තේය. ඉන්දියාවේ මහත්මා ගාන්ධි දර්ශනයේ ආභාෂය ලබන අතර එතුමන්ගේ ප‍්‍රධාන අනුගාමිකයන් වූ ආචාර්ය විනෝභා භාවේ, ජයප‍්‍රකාශ් නාරායන්, ශ‍්‍රී ජවහර් ලාල් නේරු වැනි ඉන්දීය නායකයින් හමුවේ ඔවුන්ගේ ක‍්‍රියාවන් හා අත්දැකීම් තම ජීවින දර්ශනයට ඒකාත්මික කර ගත්තේ ය. ඒ වනවිට බාලදක්ෂ ආධුනිකයෙකු ලෙස සිටි ඒ ටී ආරියරත්න මහතා විවිධ හැල හැප්පීම් මත බාලදක්ෂ ව්‍යාපාරය හැරගියේය. තරුණ ජවයත් අනුන්ට සේවය කිරීමේ අසීමිත ආශාවත් ඔස්සේ අලුත් ආරක බාලදක්ෂ කටයුතු සඳහා යෝජනාවලියක් ජාතික බාලදක්ෂ මූලස්ථානයට ඉදිරිපත් කලට ඒවා තුට්ටුවකට හෝ මායිම් නොකොට පසෙක දැමීම හේතුවෙන් බාලදක්ෂ කටයුතු සම්බන්දයෙන් බලවත් කලකිරීමට පත්වෙමින් සිටි අවධියක දිසා බාලදක්ෂ සංගමයේ විවිධ තාඩන පීඩන හමුවේ බාලදක්ෂ කටයුතු වලින් ඇත්වීම බාලදක්ෂ ව්‍යාපාරයට එල්ල කලේ වචනයේ පරිසමාප්ත අන්දමින්ම බලවත් පාඩුවකි. එම සංතල්ප ඔස්සේ පසු කාලීනව සර්වෝදය ව්‍යාපාරය තුළ බාලදක්ෂ කටයුතු බිහි කිරීමේලා එතුමා කටයුතු කලේය.
 
 
සර්වෝදය වචනය මුල්වරට භාවිතා කොට ඇත්තේ මහත්මා ගාන්ධිතුමා විසිනි. ගාන්ධීගේ අභාවයෙන් පසුව ඔහුගේ දේශපාලන ජීවිතයට ශ්‍රී නේරු උරුම කරුවූ අතර අධ්‍යාත්මික හා දාර්ශනික උරුමය ඉදිරියට ගෙන ගියේ සර්වෝදයේ මාර්ගෝපදේශකයා වශයෙන් සැලකෙන විනෝබා භාවේ තුමන් විසිනි. ඉන්දීය නිදහස් සටනට ජීවය දුන් ප්‍රබල නායකයෙකු වූ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් 1948 සේවා ග්‍රාමයේදී පැවැති රැස්වීමේදී සර්වෝදය සමාජ ක්‍රමයක් ඇති කිරීමේ මූලික පියවර ගෙන තිබේ. දුප්පත් කමින් තොර සුඛෝපභෝගී බවෙන් තොර සියල්ලන්ගේ උදාව ලෙස සර්වෝදය අර්ථ දක්වා තිබේ. 1959 මාර්තු මාසයේ අවසන් සතියේ නවදිල්ලියේදී පැවැති New education fellow ship සමුළුවේදී මහාචාර්ය ඒ. රාමචන්ද්‍රන් පැවැත්වූ දේශනයේදී සර්වෝදයේ දාර්ශනික පදනම විග්‍රහ කොට තිබේ. සමුළුවට සහභාගි වී සිටි ඒ. ටී. ආරියරත්න ගුරුවරයා මෙම අදහස මැනවින් අවබෝධ කරගත්තේය. එදවස සර්වෝදය දර්ශනය ඉන්දීය සංවර්ධනය මෙහෙයවූ මතවාදයක් විය. 
 
කොළඹ ආනන්ද, නාලන්ද මහ විදුහල් දෙකෙහිම වරින්වර විදුහල්පතිකම් දැරූ දිවංගත එස්. ඩබ්. කරුණානන්ද මහතා එදවස නාලන්ද විදුහල්පතිවරයා විය. ඒ.ටී. ආරියරත්න මහතා එදවස නාලන්දා විද්‍යාලයේ වයස 26ක තරුණ විද්‍යා ගුරුවරයෙක් වූයේය. නාලන්දා සමාජ සේවා සංගමයේ උප සභාපති වූ ඒ. ටී. ආරියරත්න මහතා 1958 දෙසැම්බර් 8 වැනිදා කොළඹ නාලන්දා විද්‍යාලයයේ උසස් පෙළ පාසල් ශිෂ්‍යයින් හතලිහක් සහ ගුරුවරුන් දොලසක් සමග ගාල්ල කලපුලුව ගම්මානයේ කල අධ්‍යාපන චාරිකාවක් සූදානම් කලේය. එදා පැවති කුලහීන යැයි සැලකෙන ගම්වල පැවති පීඩනය අතිශයින් අත්දැකීමට හැකි වූ බව එතුමා කම්පනයට පත් කලේය. මෙම අමතක නොවන සංචාරයේදී ආචාර්ය ආරියරත්නයන් සිය සිසුන්ට සහ ගුරුවරුන්ට සිය ශ්‍රමය, චින්තනය සහ ශක්තිය ගම්වාසීන් සමඟ බෙදා හදා ගැනීමේ මඟ පෙන්වූ අතර ඔවුන්ගේ ගම සංවර්ධනය කිරීමට සහාය වූයේය. 
 
පැවති දේශපාලන ප්‍රවාහයේ උපරිම සහයෝගය ලබා ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කල අතර කලපුලුව ශ්‍රමදාන කඳවුරට එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් පණිවිඩයක් එවා තිබුණි. පණිවිඩය රැගෙන පැමිණියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විය. ‘සෙසු ජනතාව විසින් නොසලකා හරින ලද අවාසනාවන්ත ජනයා වෙසෙන ඒ ගමේ වැසියන්ගේ උන්නතිය සැලසීමට නාලන්දා සමාජ සේවා සංගමය ගත් පියවර ඉතා විශිෂ්ට ජන සේවා ක්‍රියාමාර්ගයක් ලෙස සලකමි.’ අගමැතිවරයාගේ මෙම පණිවිඩය සැබවින්ම ශක්තියක් විය. පළමු ශ්‍රමදාන කඳවුර සර්වෝදය ශ්‍රමදාන ව්‍යපාරයේ ආරම්භය සනිටුහන් කළේය. කිසිදු ලාභ අපේක්‍ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් ශ්‍රමය කැප කිරීම ශ්‍රමදානය ලෙස අර්ථ දක්වා තිබේ. දිවයිනේ දීප්තිමත් පාසලක් වන කොළඹ නාලන්දා විද්‍යාලයේ සමාජ සේවා සංගමය සර්වෝදය බවට රූපාන්තරනය වන්නේ 1962 දීය. එවකට පැවැති නොයෙක් ස්වේච්ඡා ආයතන වූ සිංහ සමාජ, බාලදක්ෂ, බාලදක්ෂිකා, රතුකුරුස, සෞඛ්‍යදාන, රොටරි ආදි ව්‍යාපාර අතර දේශීය ව්‍යාපාරයක් ලෙස සර්වෝදය පෙරමුණේ ලා ගැනෙන්ට විය. දේශපාලන බලාධිකාරයේ සහයෝගය සමගින් 60 දශකයේදී සර්වෝදය ගම් 100 සංවර්ධන ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර 1969 පිලිපීන රජයෙන් රැමෝන් මැග්සයිසේ සම්මානය පෞද්ගලිකව ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාට පිරිනමනු ලැබීය. සම්මානය සමග ලද ඇමෙරිකානු ඩොලර් දසදහසක මුදල සර්වෝදයට පරිත්‍යාග කිරීමට ආරියරත්න මහතා කටයුතු කළේය.
 

 
සිරිලක බාලදක්ෂ එරීනා කලාවේ නම් දැරූ පතාක යෝධයන් අතර ඩයස් ගුණරත්න නම රන් අකුරින් ලියැවී ඇත. ඩයස් ගුණරත්නයන් බාලදක්ෂනය උගත්තේ I.K.G.චන්ද්‍රසේන මහතාගෙනි. චන්ද්‍රසේන මහතා, J.ලයනල් සිල්වා, සාලිය රාජ කරුණා සහ නිහාල් ද මෙල් මහත්වරු සිරිලක ප්‍රථම පූර්ණ කාලීනව ක්ෂේත්‍ර කොමසාරිස්වරු සමකාලීනයේ වූහ. එකල මොරටු පිළියන්දල බාලදක්ෂ දිසාවේ බොහෝ පිරිස් සර්වෝදය ව්‍යාපාරය හා එක් වූහ. ඒ අතරින් අයි.කේ.ජී.චන්ද්‍රසේන මහතා ප්‍රමුඛ ස්ථානයක් ගත්තේය. බාලදක්ෂ කටයුතු ද යෝදා ගනිමින් විවිධ අත්හදා බැලීම් ඇසුරින් බිහි කළ "සර්වෝදය ව්‍යාපාරය" කරළියට රැගෙන ඒමට අයි.කේ.ජී.චන්ද්‍රසේන මහතාගේ බාලදක්ෂ ශිල්පීය ඥානය බොහෝ ප්‍රයෝජනවත් විය. චන්ද්‍රසේන මහතා සතු නිර්මාණශීලී බාලදක්ෂ ශීල්පීය ප්‍රගුණත්වය සර්වෝදය ව්‍යාපාරය මැනවින් සමාජගත වීමට සෘජු බලපෑම් කළේය. ශ්‍රමදාන ව්‍යාපාර, ප්‍රජා සේවා කටයුතු රට පුරාම ක්‍රියාත්මක කලේය. පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර පූජා නගරය පිරිසුදු කිරීමේ වැඩසටහන ඒ අතරින් ප්‍රමුඛ වේ. සතර දිගින් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් තරුණයන් විසින් සිදු කළ සේවා කටයුතු සියලු දෙනාගේම ඇගයීමට ලක් වූයේය. රාවතාවත්ත, මොරටුව සර්වෝදය මධ්යස්ථානය ප්‍රදේශයට පමණක් සීමා නොවී මන්නාරම, අනුරාධපුරය, රත්නපුරය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලද සර්වෝදය ව්‍යාපාරය සාර්ථක ලෙස ව්‍යාප්ත කෙරිණ.

ආරියරත්න මහතා තුළ ඇති චතුර කථිකත්වය සහ දාර්ශනික දැනුම සර්වෝදයේ කීර්තියට තදින්ම බලපෑවේය. එතුමා විසින් රචනා කර ඇති ග්‍රන්ථ සහ ලිපි ලේඛන දෙස බලන විට එය මැනවින් පැහැදිලි වේ. බුදු දහම පමණක් නොව වෙනත් කුමන විෂයයක් පිළිබඳව වුව ද ඔහුට ඇත්තේ අසීමිත දැනුමකි. පොතපත කියවීමෙන් ඔහු තම දැනුම ප්‍රගුණ කරගනු ලැබුවේ පාසල් අවදියේ සිටය. මෙම කරුණු විමර්ශනය කර බලන විට ඔහු නියත වශයෙන්ම බුදු දහමින් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කාරණා හතර මගින් මනස සකස් කිරීම දාන, ප්‍රිය වචන, සාමානාත්මකව සහ අර්ථ චරියා හැම විටම ආරියරත්නයන් පිළිගත් සිද්ධාන්තයක් වී තිබේ. ඇතැම් විට ආරියරත්නට සිදු වූ විවිධ අඩත්තේට්ටම් සහ කුරිරු හිරිහැර ඇති වූ අවස්ථාවලදී ඉවසීමෙන් ඒ සියල්ල විඳ දරා ගැනීමට ක්‍රියා කළ ආකාරය එතුමා තුළ පැවැති යහගුණය විදහා දැක්වෙන කැඩපතක් බඳුය.

කලපුලුව මෑනෑව කඳවුරුවලින් පසුව පාසල් දරුවන් සහභාගිකර ගනිමින් දිවයින පුරා ශ්‍රමදාන කඳවුරු පවත්වා තිබේ. දෙනියාය, වතුරව, ඕපනායක අකරැල්ල, මඩකලපුව, පනිච්චංකර්නි, යාපනේ නිර්වේල් කයිතඩි උදාහරණ කිහිපයකි. 1958 බණ්ඩාරනායක රජයේ අමාත්‍යවරු සංඛ්‍යාව 14කි. 1959 ජුනි 09 දින සංශෝධනයෙන් සමාජ සේවා හා සංස්කෘතික වශයෙන් ඇමැතිවරුන් දෙදෙනෙක් පත්විය. සමාජ සේවා අමාත්‍යාංශය බිහිවීම සඳහා මෙම ශ්‍රමදාන සමාජ මෙහෙවර බලපා ඇති බව බොහෝදෙනෙක් නොදන්නා කරුණකි. වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, එදවස ශ්‍රමදාන කඳවුරට එක්වූ රාජකීය විද්‍යාල ශිෂ්‍යයෙකි. හිටපු ඇමැතිවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා දිවංගත ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා ආරියරත්න මහතාගේ සර්වෝදය ශ්‍රමදාන කඳවුරු එතුමාට සමීපව සිට සංවිධානය කළ සිසුන් දෙදෙනෙකි. මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් රැසක් මෙම අත්දැකීමෙන් ජීවිත මුවහත් කරගෙන තිබේ. ප්‍රවීණ සිනමා නළු ගාමිණී ෆොන්සේකා එදා ශ්‍රමදාන කඳවුරුවලට නිතර සහභාගි වූ තරුණයෙකි.ෙ

ආරම්භයේ සිටම සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ඔහු විසින් හඳුන්වන ලද්දේ තිරසාර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන්වහන්සේගේ මඟ අනුගමනය කිරීමක් ලෙසය. ප්‍රජාවගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක, සංස්කෘතික, සමාජයීය, ආර්ථික සහ දේශපාලන ජීවිතයේ උන්නතිය සඳහා බුදුන්වහන්සේගේ ඉගැන්වීම් යොදාගත හැකි ආකාරය ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය. සතර බ්‍රහ්ම විහරණ, සතර සංග්‍රහ වස්තු, දසරාජ ධර්ම දස පාරමිතා, සප්ත අපරිහානීය ධර්ම, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නොයෙක් සූත්‍ර ධර්මයන් ආදී ඉගැන්වීම් ඔහු ඉතා ප්‍රායෝගික ලෙස හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි වැනි බෙ!ද්ධ නොවන ප්‍රජාවන් ද ඇතුලත් ග්‍රාමීය ප්‍රජාවන් 15,000 කගේ එදිනෙදා ජීවිතයට හඳුන්වා දුන්නේය. පෞරුෂෝදය (මානව පෞරුෂයේ උදාව), කුටුම්බෝදය (පවුලේ උදාව), ග්‍රමෝදය (ගමේ උදාව), නගරෝදය (නාගරයේ උදාව) දේශෝදය (ජාතියේ උදාව) සහ විශ්වෝදය (ලෝකයේ විශ්වයේ උදාව) ඔහු සිය සගයන් හා එක්ව, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මත පදනම්වූ, සියළු දෙනාම මට්ටම් හයකින් අවදි කිරීමේ න්‍යායාත්මක හා ප්‍රයෝගික පුහුණුවක් සර්වෝදය නමින් වර්ධනය කළේය.

රටට සමාජයට විශේෂ සේවාවක් සිදු කළ පුද්ගලයන් සඳහා ආරියරත්න මහතා අවධානය යොමු කළේය. වසරක් පාසා එවැනි පුද්ගලයන් පස් දෙනකු තෝරා උපහාර පිදුම් සිදු කරනු ලබන්නේ ද ධන පරිත්‍යාග ඇතුළත් කරමිනි. භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් ද දැඩි අවධානයක් යොමු කරමින් ප්‍රජා නායකත්ව පුහුණු කිරීමේ කාර්යය සඳහා පාතකඩ අරඹන ලද භික්ෂු පුහුණු මධ්‍යස්ථානය හඳුන්වා දුන්නේය. එහි සංවිධාන කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුවේ අපවත් වී වදාළ හේන්පිටගෙදර ඥානසිහ හිමියන් විසිනි. සර්වෝදය මගින් ආරියරත්නයන් ඇරැඹූ තවත් සමාජ සත්කාරයක් වූයේ දරුවන් රැක බලා ගැනීමේ ව්‍යාපෘති වේ. නීතා ආරියරත්න මහත්මියගේ මූලිකත්වයෙන් ඇරැඹි එම සේවාව මගින් දරුවන් විශාල පිරිසකට සෙත සැලසුණි. කාන්තාවන් ඒ සඳහා මෙන්ම තරුණ පරපුර වෙනුවෙන් ද සර්වෝදය ක්‍රියාත්මක කළ වැඩසටහන් රැසකි. එමගින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රධාන තැනක් ගනී. ඉන් ඔවුන්ට ස්වයං රැකියා උත්පාදනයක් ද සිදු විය. 

ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එවක අගමැති ආර්. ප්‍රේමදාස මහතාත් ඉන්දීය සර්වෝදය නායකයකුවූ ආචාර්ය ආර්.ආර්. දිවාකර් මහතා සර්වෝදය මධ්‍යස්ථානයක් නැරඹීමට එක්වූ අවස්ථාව.
 
අග්‍රාමාත්‍යවරුන් වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විජයානන්ද දහනායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ඩඩ්ලි සේනානායක මහතා, ජනාධිපති විලියම් ගොපල්ලව මහතා, අගමැති සහ විධායක ජනාධිපති ධුර හෙබවූ ජේ.ආර්. ජයවර්ධන මහතා, ආර්. ප්‍රේමදාස මහතා යන රාජ්‍ය නායකයෝ ඔවුන්ගේ නිල කාල වලදී ද, ශ්‍රීමත් ජෝන් කොතලාවල හිටපු අගමැතිතුමා, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, ඒ. අමිර්තලිංගම්, එස්. තොණ්ඩමාන්, අබ්දුල් අසීස්, සෙනෙට් සභාපතිව සිටි ඒ. රත්නායක යන ගෞරවනීය මැතිතුමන්ලා ද, පක්ෂ නායකයෝ ද පක්ෂ හා බලකාමී භේදයකින් තොරව සර්වෝදය කරගෙන ගිය සේවාවන්ට අතහිත දුන් අතර ඒවාට බාධා නොකළහ. ඔවුන් යටතේ සිටි යම් දේශපාලකයකු හෝ නිලධාරියකුගෙන් අසාධාරණයක් වූ විට අපේ අභියාචනාවලට කන්දී ඔවුන් සාධාරණය ඉටු කළහ.
1986 කතරගම කිරිවෙහෙරේ සිට යාපනය නාගදීපය දක්වා සාම පාගමනක් ආරම්භ කළේ උතුරේ හිංසාවාදී ක්‍රියා ප්‍රබලව පැවති අවධියකය. මෙය පුළුල් ජන සහභාගීත්වයක් ලද ආධ්‍යාත්මික ප්‍රයත්නයකි. වව්නියාවේ සිට පාගමනින් ගමන් කිරීමට ඉන්දීය ආගමික නායකයන් විසින් එකඟතාව පළකර තිබුණි. යාපනයට ඇතුළුවීමට අපේක්‍ෂා කළේ සත්‍ය ශ්‍රී සායි බබා තුමන් ඇතුළු ඉන්දීය ආගමික නායකයන්ගේද සහභාගීත්වය ඇතිවය. බලයේ පැවති රජය මෙම උත්සාහය වළක්වාලීය. ඒ සඳහා බලපෑ හේතු විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. මහත්මා ගාන්ධි විනෝබබා විසින් සර්වෝදය විග්‍රහකර තිබුණේ වේදය පදනම් කරගෙනය. සර්වෝදය අධ්‍යයන කවය මෙයට බෞද්ධ මුහුණුවරක් ලබාදුන්නේය. සර්වෝදය යනු ක්‍රියාත්මක බුදුදහම බව බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියෝ ප්‍රකාශ කළෝය. විවිධ ආගම් හා ජන කණ්ඩායම් සමග කටයුතු කරන ජාතික ව්‍යාපාරයක් බවට පසුගිය වසර 65 ක කාලය තුළ සර්වෝදය පත්වී තිබේ. සර්වෝදය සමාජ සේවා ව්‍යාපාරයක් පමණක් නොවේ. එය සමාජ වෙනසක් අපේක්‍ෂා කරන ජාතික ආයතනයකි. ආධ්‍යාත්මික පදනම උපයෝගී කරගත් සංවර්ධන මොඩලයක් ලෙස සර්වෝදය අන්තර් ජාතික සම්භාවනාවට පාත්‍ර වී තිබේ. 1960 සිට එක් එක් දශක ඒ ඒ අවධීන්හි සමාජ දේශපාලන ගැටලුවලට මුහුණදෙන ආකාරයට කටයුතු කර ඇති බව වසර 65 ක පරිණාමය විමසීමේදී පැහැදිලිය. 
 
ඒ.ටී. ආරියරත්න මහතාගේ 85 වැනි ජන්ම දින සැමරුම

සර්වෝදය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය ලෙස සිය සේවය අඛණ්ඩව කරගෙන යන අතර ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ එහි ජනතාව වෙනුවෙන් කළ කැපවීම අගයන ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ලබා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ සාහිත්‍ය ශූරී ගෞරව ආචාර්ය උපාධියෙන් ද,  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතින් 2007 දී ශ්‍රී ලංකා ජනරජයේ පුරවැසියකුට පිදෙන ඉහළම සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයෙන්පිදුම් ලැබීය. 1969 දී ප්‍රජා නායකත්වය සඳහා ප්‍රථම වරට (Ramon Magsaysay Award for Community Leadership Philippines) සම්මානය (පිලිපීනය), 1982 දී සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානයද (බෙල්ජියම), 1992 නිවානෝ සාම ත්‍යාගය (ජපානය) සහ 1996 දී මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) වැනි බොහෝ වූ ජාත්‍යන්තරයෙන් සම්මාන ඔහු වෙත පිරිනැමුනි. ආචාර්ය ආරියරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඩී.ලිට් උපාධියෙන් (D.Litt.) හා පිලිපීනයේ ්පැකසද ්ටමසබ්කාද ක්‍දකකැටැ දf ඵැාසජසබැ වෙතින් මානව ශාස්ත්‍ර (D.H.) උපාධියෙන් ද පිදුම් ලැබීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ශ‍්‍රී ලංකාභිමානී සම්මානය ඇතුළු දේශීය සම්මාන බොහොමයකින් ද ආරියරත්නයන් සහ සර්වෝදය සේවාව සම්භාවනාවට ලක්ව ඇත.

“මගේ සමාජ සේවා ජීවිතයේ ආරම්භයේ සිට ම විවිධ බාධකවලට මුහුණ දීමි. මෙයින් සමහරක් පෞද්ගලික හා අන්තර් පුද්ගල සබඳතාවල අඩුපාඩු නිසා ඇතුළතින්ම ඇති වූ ඒවාය. සමහර බාධක බාහිර පුද්ගලයන් ගෙන්, කණ්ඩායම්වලින් හෝ තාවකාලික රාජ්‍ය බලතල ලබා සිටිය වූන්ගෙන් එල්ල වූ බාධකය. මේවායින් අප අධෛර්යයට පත් නොවූ අතර අප සමග එකට වැඩකළ වැඩිහිටි, සම වයස් හා ළාබාල සහෝදර සේවක සේවිකාවන් ද තව තවත් ධෛර්යට පත්කොට ඉදිරියට සේවාවන් ගොඩනඟාගෙන ආවෙමු. මේ දීර්ඝ ගමන සඳහා අප යෙදූ ශ්‍රමය, සම්පත්, චිත්ත ශක්තිය අප්‍රමාණය. අප බලාපොරොත්තු වූ එකම ප්‍රතිඵලය වූ නිස්සරණ ප්‍රීතිය අපි නොඅඩුව ලැබීමු. පරාර්ථ සේවය සඳහා මා ගත කළේ පෙර ආත්මයක තිබූ ආභාසයක් නිසාදෝ නොඑසේ නම් බුදු හිමියන්ගේ ඉගැන්වීම අනුව පරාර්ථ සේවය තුළින් ආත්මාවබෝධය ඇතිකර ගැනීමට බලවත් චිත්ත වේගයක් මා තුළ ක්‍රියාත්මක වූ නිසාදෝ විය හැකිය.”

2024 අප්‍රේල් 16 වැනිදා පස්වරුවේ ඒ මහතා රෝගී තත්ත්යෙන් කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වනවිට 93 වන වියේ පසුවිය. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 20 වැනිදා (සෙනසුරාදා) රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකලේය.
 
පැවති විවිධ ආණ්ඩු සහ රාජ්‍ය පාලකයන් සමග කටයුතු කළ ආකාරයෙන් කිසිදු දිනෙක රජයේ වරදාන වරප්‍රසාද ලබා නොගෙන සැබෑ සමාජ සේවකයකු ලෙස කටයුතු කල එතුමා වැනි විශ්ව දර්ශනයක් තුළින් ලෝකයටම ආමන්ත‍්‍රණය කරන විශ්වීය නායකයෙක් අහිමි කරගැනීමේ දුක ඇත්තේ සුලු පිරිසකට පමණකි. සියලූ ආගම් හා විශ්ව දර්ශනයන්හි පොදු සාධක තම ජීවිතයට අභ්‍යන්තරීකරණය කරගත් සාමාන්‍ය ජනතාව සමග සතුටින් සිටින ජනතා නායකයෙක් වූ එතුමා වැනි බොහෝ නායකයන් බාලදක්ෂ ව්‍යාපාරයට අහිමි කරගනිමින් සිටිති. 
 
බාලදක්ෂ ඉතිහාසයේ නොලියවුණු මෙම ඓතිහාසික තොරතුරු ඔබ වෙත සමීප කරනු ලබනනේ තත්කාලීනවද බාලදක්ෂ ව්‍යාපාරයේ සිදුවූ නීරස සිදුවීම් කිහිපය නැවතත් සිදුවෙමින් පවතින නිසාවෙනි. එබැවින්, වර්තමානයේ සිටින බාලදක්ෂ ව්‍යාපාරයේ නියැලෙන බාලදක්ෂයින්, පෞරුෂත්ව ගුණාංගයන් සහිත වැඩිහිටි නායකයින්, විකල්ප මත දරන්නන්, නායකයින්, බාලදක්ෂ ව්‍යාපාරයේ සිටින නිර්මාණශීලී වැඩක් කල හැකි පිරිස් බාලදක්ෂ ව්‍යාපාරය තුළ ආරක්ෂා කරගැනීමට ප්‍රමාණවත් ස්ථීර සාර වැඩපිළිවෙලක් බිහි කළ යුතු කාලය උදා වී තිබේ. සැබැවින්ම, එය කාලීන අවශ්‍යතාවයකි !!!
 
 
 

No comments:

Post a Comment