Translate

Tuesday, January 25, 2022

නව ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු සමඟ කළ පිළිසඳරක්

අපි ඕනෑම අභියෝගයක් බාරගන්න සූදානම්
 


ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ජාතික හා අන්තර්ජාතික වශයෙන් මෙතෙක් ලබා ගෙන ඇති ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ. 
 
- ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් ජයග්‍රහණ රැසක් අත්කර ගත්තා
- අපි දරුවන්ට කියන්නේ මේ ව්‍යාපාරයට බැඳෙන්න කියලා
- මේ රට සංවර්ධනය කිරීම අපේ පරම වගකීමක්
- අසූ දාහකට ආසන්න බාලදක්ෂයන් සංඛ්‍යාවක් ඉන්නවා

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය ඔබ දකින්නේ කොහොම ද?

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ ලෝකයේ අනෙක් රටවල් හා සලකා බලන විට ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යන රටක්. හේතුව බාලදක්ෂ ව්‍යාපාරය අපේ රටට ලැබිලා වසර එකසිය දහයක් ගෙවී යමින් තිබිය දී, ඒ කාලය තුළ විශාල ජයග්‍රහණ රැසක් ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් අත්කර ගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ වගේම ලෝකයේ අනෙක් රටවල් සමඟ උරෙන් උර ගැටිලා වැඩ කරන්න පුළුවන් දරුවන් සහ නායකයන් අපේ ව්‍යාපාරයත් සමඟ ඉන්නවා. එම නිසා ගෙවී ගිය කාලය දිහා බලද්දි අපට ආඩම්බර විය හැකි මට්ටමක මෙම ව්‍යාපාරය පවත්වා ගෙන යන්න හැකි වී තිබෙනවා.

අපේ සංගණන අනුව මේ වන විට ව්‍යාපාරයත් සමඟ දරුවන් හැත්තෑ පන්දහසකට අධික පිරිසක් එකතු වෙලා ඉන්නවා. පසුගිය කාලයේ පැමිණි වසංගත තත්ත්වය නොතිබුණා නම් අපට මීට වඩා වැඩි පිරිසක් එකතු කර ගන්න තිබුණා. එහෙත් එය බාධාවක් නොකරගෙන ලබන වසර වන විට බාලදක්ෂ බාලක බාලිකාවන් එක්ලක්ෂ අට දහස් තුන්සිය පනහක් දක්වා වැඩි කරන්න සැලසුම් සකස් කරලයි තිබෙන්නේ.

බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ දරුවන් ඒකරාශීව පවත්වා ගෙන යන ව්‍යාපාරයක්. එවැනි තත්ත්වයකින් පවත්වා ගෙන යන මෙම ව්‍යාපාරයට කොරෝනා වසංගතයෙන් බලපෑමක් එල්ල වුණේ නැද්ද?

කොරෝනා වසංගතය කියන්නේ ගෝලීය වසංගතයක්. කිසිම කෙනෙක් මීට පෙර එවැනි තත්ත්වයකට මුහුණ දීලා නැහැ. එය ශ්‍රී ලංකාවට ඇවිත් ගත වුණ මුල් දවස් කිහිපය තුළ ඊට මුහුණ දෙන්නේ කොහොම ද කියන ප්‍රශ්නය ආවා. එහෙත් බාලදක්ෂයන් ලෙස අපි ඕනෑම අභියෝගයක් බාරගන්න සූදානම්. ඒ නිසා අපි නායකයන් ලෙස මේ ගැන මුලින් සාකච්ඡා කළා. ඔබ කිව්ව වගේම බාලදක්ෂයෝ කියන්නේ සාමූහිකව, කණ්ඩායම් ලෙස ඒකරාශී වෙලා වැඩ කළ කොටසක්.

එහෙත් අපි කිසිම වෙලාවක ඔවුන්ට පසුබෑමකට ලක් වෙන්න ඉඩ තැබුවේ නැහැ. මාර්ගගත ක්‍රමයට සහ තවත් විකල්ප ක්‍රම භාවිතා කරමින් දරුවන්ට වගේම නායකයන්ට පුහුණු කිරීම් කටයුතු සිදු කළා. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය මාර්ගගත ක්‍රමයට කඳවුරක් පවා පවත්වා ගෙන ගියා. ගෙදර ඉඳන් කඳවුරු බැඳගෙන ගියත් එය සාර්ථකව සිදු කළා. දවසින් දවස එම වැඩපිළිවෙළ සාර්ථක වෙන්න ගත්තා. මුල් දින කිහිපය හැරුණු විට මේ දක්වා අපි ඉතා සාර්ථක ලෙස අපේ පුහුණු වීම පමණක් නෙවෙයි කඳවුරු, වැඩසටහන්, තරග පවා පවත්වන්න කටයුතු කරලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන් කියන්න ඕනෑ අපිට එය සාර්ථක කර ගන්න පුළුවන් වුණේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් වගේම මව්පියන් ලබාදුන්න සහයෝගය නිසයි. ඔවුන්ට බාලදක්ෂ සංගමය විදියට අපි අපේ කෘතඥතාවය පළකර සිටිනවා.

මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන්න නායකයන් අවශ්‍යයි. ඔබ සඳහන් කළා නායකයන්ගේ අඩුවක් තිබෙනවා කියලා. ඇයි එවැනි අඩුවක් ඇතිව තිබෙන්නේ?

අපේ ව්‍යාපාරයේ සියයට අනූපහක් පවත්වා ගෙන යන්නේ පාසල් කේන්ද්‍ර කර ගනිමින්. පාසලේ නායකත්වය ගන්නේ ගුරුවරුන්. ගුරුවරු ගොඩාක් පීඩන තත්ත්වයෙන් ඉන්නේ. ඔවුන්ගේ නිවෙස්වල රාජකාරී නිසා මේ සඳහා අමතර කාලයක් යොදා ගන්න ඇතැම් අයට නොහැකි වී තිබෙනවා. එම නිසා මම දිසා කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියා විවෘත බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරන්න කියලා. මේ වන විට හැම දිස්ත්‍රික්කයම එවැනි කණ්ඩායම් ආරම්භ කරලා ඉතා සාර්ථකව පවත්වා ගෙන යනවා. මේ වන විට එම විවෘත කණ්ඩායම් වලත් දරුවන් දෙතුන් දාහක් බැඳිලා කටයුතු කරමින් යනවා. ඒ වගේම පාසල් චක්‍ර ලේඛනවලින් එම කණ්ඩායම් බැඳිලා ඉන්නේ නැහැ. පාසල් වහන්න කිව්වත්, ඒවා කරන්න එපා කිව්වත් විවෘත සමූහවලට එය බලපෑමක් වෙන්නේ නැහැ. එය පවත්වාගෙන යන්නේ එක්කෝ දිසා කොමසාරිස්වරයා යටතේ හෝ නැත්නම් ඊට ආවේණික ස්ථානත් එක්කයි. එහිදී මව්පියන්ගේ කැමැත්ත තිබෙනවා නම් කිසිම ගැටලුවක් නැතුව පවත්වා ගෙන යන්න පුළුවන්. 


 
ඔබ ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ සහ ඒ පිළිබඳව අද්දැකීම් ඇති නායකයෙක්. ඔබට අනුව බලද්දි ලෝකයේ අනෙක් රටවල් සමඟ සංසන්දනය කරද්දි ශ්‍රී ලංකාව කුමන තැනක ද ඉන්නේ?

අද වන විට ලෝකයේ ඇතැම් රටවල සාමාජිකත්වය සියයට තිහකින් හතළිහකින් පමණ අඩු වෙලා තිබෙනවා. ඒ වගේම සියයට තිහකින් හතළිහකින් වැඩි වුණ රටවලුත් ඒ අතර තිබෙනවා. වසංගත කාලයත් එක්ක දරුවන්ට කරන්න දේවල් තිබුණේ නැහැ. එහිදී බාලදක්ෂ ව්‍යාපාරය දරුවන්ට අවස්ථා නිර්මාණය කරලා දුන්නා දිගටම වැඩ කරගෙන යන්න. ඒ කාලය තුළ දරුවන්ට ලබාදුන්න පුහුණුව, නායකත්වය නිසා පාසල් සහ මව්පියන් අවබෝධ කරගෙන තිබෙනවා මෙම ව්‍යාපාරය තමයි දරුවන්ට ඒකාකාරිත්වයෙන් මිදිලා තමන්ගේ නිර්මාණශීලිත්වය ගොඩනඟා ගන්න පුළුවන් හොඳම ව්‍යාපාරය කියලා.

2021 අපි පැවැත්වුවා ප්‍රථම ගෝලීය සංස්කෘතික ජම්බෝරිය. මෙය මාර්ගගත ක්‍රමයටයි පැවැත්වුවේ. මීට රටවල් සියයක පමණ බාලදක්ෂයන් සහ නායකයන් විසි හතර දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වුණා. සමහර අවස්ථාවල දී විනාඩියට මිලියන දෙකහමාරකට අධික පිරිසක් එකතු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව ගැන නොදන්න සහ නොදැන සිටි පිටරටවල දරුවන් අපේ රට ගැන සංස්කෘතිය ගැන, කෑම බීම් ගැන දැනගත්තා. ඒ වගේම අපේ දරුවන්ටත් අවස්ථාව ලැබුණා ඔවුන් නොදන්නා සංස්කෘතීන්, ක්‍රියාකාරකම්. කෑම් බීම් සම්බන්ධයෙන් පමණක් නොවෙයි හැසිරීම් පවා දැන ගන්න. කඳවුරු ගත වෙලා නොහිටියට ඒ දවස් කිහිපය තුළ අත්වින්ද අද්දැකීම් නිසා අපිට එය අවසන් වෙන කොට හිතට ලොකු දුකක් දැනුණා තව දවස් කිහිපයක් පවත්වන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියලා. එම නිසා තමයි මම මුලදිත් කිව්වේ අපේ රට ලෝකයේ අනෙක් රටවල් එක්ක සංසන්දනය කරද්දි ඉහළ මට්ටමක ඉන්නවා කියලා.

බාලදක්ෂයන් කියන්නේ දින සති ගණන් කඳවුරු බැඳ ගනිමින් ක්‍රියාකාරකම්වල යෙදුණු පිරිසක්. එහෙම පිරිසකට මාර්ගගත ක්‍රමයට ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනව ද?

මේ වසංගතය නිසා අපට සාමූහිකව, කණ්ඩායම් වශයෙන් එකතු වෙන්න, කඳවුරු බඳින්න ලැබුණේ නැහැ. මොකද නීතිය විසින්ම එය වළක්වා තිබුණා. අප බාලදක්ෂයන් විදියට කිසිම වෙලාවක නීතිය කඩන්නේ නැහැ. ප්‍රායෝගිකව මුහුණට මුහුණ මුණ ගැසෙන්න බැරි වුණත් මෙම මාර්ගගත ක්‍රමය යටතේ ඔවුන්ගේ ක්‍රියාකාරකම්, ක්‍රීඩා, තරග සහ අනෙකුත් වැඩසටහන් පවත්වා ගෙන යන්න පුළුවන් වුණා. ඒ මඟින් දරුවෝ අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වා ගෙන යන්න හැකියාව ලැබුණා. කඳවුරක ඉන්න අවශ්‍ය පරිසරය සහ වටපිටාව සකස් කර ගන්න පුළුවන්කම ලැබුණා. එලෙස කිසිම අවස්ථාවක් නැතුව හිටිය දරුවන්ට එවැනි ආකාරයට සම්බන්ධ වීමෙන් ජයග්‍රහණ රැසක් අත්කර ගන්න පුළුවන් වුණා. එම නිසා මම විශ්වාස කරනවා අපේ දරුවෝ කඳවුරු නොබැන්දත් ඒ සියලු අත්දැකීම් මාර්ගගත ක්‍රමයට අත්වින්දා කියලා.

ඇතැම් මව්පියන් දරුවන් විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කිරීමක් දකින්නේ නැහැ. ඉන් බාලදක්ෂ ව්‍යාපාරයටත් බලපෑමක් එල්ල වෙනවා නේ ද?

මම එය පිළිගන්නේ නැහැ.මොකද අනෙක් ක්‍රියාකාරකම් ගැන කෙසේ වෙතත් බාලදක්ෂ ව්‍යාපාරයට නම් දරුවන් යොමු කරන්න මව්පියන්ගේ විශාල කැමැත්තක් තිබෙනවා. ඔවුන් දන්නවා අපි සෞඛ්‍ය ක්‍රමවේදයන් වලට අනුකූලවයි මේ සියල්ල කරන්නේ කියලා. ඒ වගේම නායකත්වය, විනය, කණ්ඩායම් හැඟීම, අනෙකාට ගරු කිරී ඇතුළු ගුණාංග රැසක් මින් ගන්න පුළුවන් කියලා මව්පියෝ තේරුම් ගෙන තිබෙනවා. ඒ නිසා මව්පියන්ට ලොකු විශ්වාසයක් තිබුණා මේ ව්‍යාපාරයට යොමු කරන දරුවට කිසි දවසක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. ඇත්තටම වසංගත තත්ත්වය නොතිබුණා නම් මම කිව්ව ඉලක්කයට යන්නේ 2023 නෙවෙයි ඊට කලින් එය අභිභවා යන්න තිබුණා.

නායකයන්ගේ හිඟය පිරිමසා ගන්න ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සතු වැඩපිළිවෙළ කුමක් ද?

ඒ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. මොකද පාසල් මට්ටමින් වැඩි පුර ක්‍රියාත්මක වෙන නිසා පාසල් ගුරුවරයකු අත්‍යවශ්‍ය වෙනවා සමූහයක් පවත්වා ගෙන යන්න. අපේ නගරබද පාසල්වල ලොකු ගැටලුවක් නැහැ. එහෙත් ගම්බද පාසල්වල තමයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. පොලොන්නරුවේ සේවය කරන ගුරුවරයකුගේ නිවෙස තිබෙන්නේ නුවර වෙන්න පුළුවන්. ඒ ගුරුවරයා බලන්නේ සිකුරාදා හවස ගෙදර ගිහින් සඳුදා උදේ පාසලට එන්න. අන්න ඒ නිසයි අපට ගම්බද ප්‍රදේශවලින් ගුරුවරයෙක් හොයා ගන්න අපහසු වෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රශ්නත් තිබෙනවා. ඒ අය කැමැති උපකාරක පංතියක් කරලා යම් මුදලක් හොයා ගන්න. මොකද මේ ව්‍යාපාරය ස්වේච්ඡා ව්‍යාපාරයක්. ඒ නිසා මේකෙන් ආර්ථික වාසි ලැබෙන්නේ නැහැ. මේ වගේ ගැටලු කිහිපයක් තිබෙන නිසයි නායකයන්ගේ හිඟයක් පවතින්නේ.

ඒ කියන්නේ බාලදක්ෂ ව්‍යාපාරය ස්වෙච්ඡා ව්‍යාපාරයක් නිසා ද ගුරුවරුන් සම්බන්ධ වෙන්න අකැමැති?

අපේ අධ්‍යයනයන්ට අනුව පෙන්වපු දෙයක් තමයි මෙය ස්වෙච්ඡා ව්‍යාපාරයක් නිසා සම්බන්ධ වීමේ යම් අඩුවක් තිබෙනවා කියන එක. ඒ වගේම මෙහි වගකීම් වැඩියි. මොකඳ කඳවුරු ගත කරන කොට ඒ ගුරුවරයා අනිවාර්යයෙන් ඉන්න ඕනෑ. එහෙම ඉන්නවා කියන්නේ ඔහුගේ හෝ ඇයගේ ගෙවල්වල වැඩ තිබුණත් යම් කැප කිරීමක් කරන්න වෙනවා. මේ ව්‍යාපාරය හෘදයවස්තුවත් එක්ක බැඳුනු කෙනකුට එය ගැටලුවක් නැහැ. එහෙත් අලුතෙන් එක්වෙන ගුරුවරයකුට ඒ උනන්දුවේ ප්‍රශ්නයක් තිබෙනවා එහෙම කැප කිරීමක් කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශය අපිට කියලා තිබෙනවා ඉදිරියේ දී ගුරුවරුන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නම් කියලා.

මොකද දැන් ඉන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයත් බාලදක්ෂයෙක්. එතුමන් සහ එතුමන්ගේ කාර්ය මණ්ඩලයත් විශාල ශක්තියක් ලබා දෙනවා අපේ මේ ව්‍යාපාරය දියුණු කරන්න. ඒවගේම හිටපු අධ්‍යාපන ඇමැතිවරුන්, නිලධාරීන් විශාල සහයෝගයක් ලබා දී තිබෙනවා බාලදක්ෂ ව්‍යාපාරය දියුණු කරන්න. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජයෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. මෙම ව්‍යාපාරය දියුණු කරන්න.

මේ වන විට ඔබේ ව්‍යාපාරය සතුව බාලදක්ෂයන් කොපමණ සිටිනවද, එය වර්ධනය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබෙනව ද? 

අපේ සංගණනය අනුව 68,000 ක් ඉන්නවා. එහෙත් අපි දන්නවා අසූ දාහකට ආසන්න බාලදක්ෂයන් සංඛ්‍යාවක් ඉන්නවා කියලා. ලියාපදිංචි කිරීමේ ප්‍රශ්න නිසයි නිවැරැදි ගණන් ලැබී නැත්තේ. මම පෙර සඳහන් කළ පරිදි 2023 වන විට අපේ ඉලක්කය එක්ලක්ෂ අටදහස් තුන්සිය පනහක් දක්වා මෙය වර්ධනය කර ගැනීම. මේ අවුරුද්දේම පෝතක අංශය සියයට 35 කින් වර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. පසුගිය වසර සහ මේ වසර සංසන්දනය කරද්දි මේ වන විට සියයට 15 ක වර්ධනයක් තිබෙනවා. කොරෝනා වසංගතයෙන් පස්සේ පාසල් ආරම්භ කිරීමත් සමඟ ඇතැම් පාසල්වල සියය, දෙසිය ගණන් ළමයි බැඳෙමින් ඉන්නවා. අපෙන් ඉල්ලන සාමාජික පදක්කම් සංඛ්‍යාත් එක්ක එය හොඳින්ම තහවුරු වෙලා තිබෙනවා. 2021 වසරේ දී අපි තරුණ වැඩසටහන යාවත්කාලීන කරලා අලුත් තරුණ වැඩසටහනක් ආරම්භ කරලා තිබෙනවා. තිබුණ වැඩසටහන හොඳයි. එහෙත් එය තව තව සංශෝධනයන් කරලා සකස් කරන්න කටයුතු කළා. එය සකස් කරද්දි මූලස්ථාන කොමසාරිස්වරු විතරක් නෙවෙයි දිසා කොමසාරිස්වරු සහ මේ ව්‍යාපාරයට සම්බන්ධ සියලුදෙනා එකතු කරගෙනයි සකස් කළේ. ඒ අනුව 2022 ජනවාරි ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ ඒ වැඩසටහනයි. බාලදක්ෂ දරුවකුට ගන්න පුළුවන් ඉහළම පදක්කම තමයි ජනාධිපති ප්‍රදානය. එහෙත් කාලයක් කැප කරලා එය ලබා ගන්න බැරි වෙන දරුවන්ට නිකම්ම ගෙදර යන්න නොදී ජාතික මට්ටමේ ප්‍රදානයක් හඳුන්වා දෙන්න අප කටයුතු කළා. එය තමයි අගමැති ප්‍රදානය. අගමැතිවරයා අත්සන් කරන ලද සහතික පතක් එක්ක එය ප්‍රදානය කරනවා.

ඔබට හිතෙන්නේ නැද්ද මේ වන විට අනෙක් ව්‍යාපාරවල වගේම බාලදක්ෂ ව්‍යාපාරයෙත් ගුණාත්මකභාවය අඩු වෙලා කියලා?

එය මට හොඳට දැනෙනවා. මොකද මම මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහත්මයගේ නායකත්වය යටතේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස ඉන්න කොටත් ඒ අවශ්‍ය සියලු වෙනස්කම් කරන්න අඩිතාලම දැම්මා. හැම තැනම ඔය කතාව නේ කියන්නේ. මගේ නීති ක්ෂේත්‍රය තුළත් කියන්නේ ඔය දේමයි. අපි එකතු වුණාමත් කියනවා ඒ දවස්වල ඔහොම නැහැ, දැන් එහි ස්ටෑන්ඩර්ඩ් එක බැහැලා කියලා. ඕකට වගකියන්න ඕනෑ ජ්‍යෙෂ්ඨ අපි වගේම අලුත් අය. අපි කනිෂ්ඨයන්ට අවශ්‍ය මඟපෙන්වීම කරලා නැහැ. නායකයාට සියයට සියයක් තමන්ගේ දැනුම වර්ධනය කර ගන්න අකමැති නම් ඔහුගේ භාගෙට තිබෙන දැනුම තමයි යට ඉන්න පිරිසට ලැබෙන්නේ. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම නායකයන්ගේ දැනුම යාවත්කාලීන කරන්න ඕනෑ. එහෙම වුණොත් අපිට පුළුවන් ගුණාත්මක වර්ධනය ඇති කරන්න.

ඉදිරියේ දී මෙම ව්‍යාපාරයට එක්වෙන්න බලන් ඉන්න දරුවන්ට සහ නායකයන්ට ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස දෙන පණිවුඩය කුමක් ද?

මේ රට සංවර්ධනය කිරීම අපේ පරම වගකීමක්. මේ ශ්‍රී ලංකාව අපේ රට. මේ රටේ පුරවැසියෝ විනයානුකූලව ගොඩනැඟීම අපේ යුතුකම. ඒ නිසා අපි දරුවන්ට කියන්නේ මේ ව්‍යාපාරයට බැඳෙන්න. බැඳලා මේ ව්‍යාපාරය ගැන ඔබේ සමීපතමයන් සමඟ සාකච්ඡා කරන්න. ලද හොඳ දේ ඔවුන් එක්ක බෙදා ගන්න. ඒ පිරිස් ව්‍යාපාරයේ නැති වුණත් ඔබ ලබා දෙන හොද දේ ඒ අයට යනවා. ඒ තුළින් විනයානුකූල පුරවැසියන් බිහි කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබට රටට, දරුවන්ට සේවයක් කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. එය පරම යුතුකමක්. ඔබ දැනටමත් බාලදක්ෂ නායකයෙක් වෙලා නැත්නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා, පුහුණුව ලබාගෙන බාලදක්ෂ නායකයෙක් වෙන්න. ඒ මඟින් ගුණවත්, බලවත්, නැණවත් දරුවන් පිරිසක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනවා. එය තමයි ඔබේ පරම යුතුකම සහ වගකීම විය යුත්තේ කියලා මා විශ්වාස කරනවා.
 

විශේෂ ස්තූතිය - නුවන් කොඩිකාර
ඡායාරූප සමන්ත වීරසිරි 
dinamina.lk/2022/01/26

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

මෙරට බාලදක්ෂයන්ගේ සංඛ්‍යාව වසර 2023 වන විට එක්ලක්ෂ අට දහසක් දක්වා වර්ධනය කිරීම සිය ඉලක්කය බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

2022 වසරේ බාලදක්ෂ සංගණන පදක්කම සහාය ප්‍රධාන කොමසාරිස් (පරිපාලන) වෛද්‍ය මංජුල සහබන්දු මහතා ප්‍රධාන කොමසාරිස්වරයාට බාලදක්ෂ මුලස්ථානයේදී නිල වශයෙන් පැලඳවීමෙන් අනතරුව පැවැති උත්සවය අමතමින් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා එසේ කියා සිටියේය.

ලෝක බාලදක්ෂ සංගමයේ ඉලක්ක අනුව බාලදක්ෂ සංගණනයන් සිදු කිරීම සියලූ රටවල්වල ජාතික බාලදක්ෂ සංගම් සිදු කරන අතර ඉදිරි වසරේදී බාලදක්ෂ ප්‍රතිශතය ගුණාත්මක හා ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අපේක්ෂා කරයි.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා වැඩි දුරටත් මෙසේද කියා සිටියේය.

“ලෝක බාලදක්ෂ සංගමයේ ඉලක්ක අනුව 2023 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ බාලදක්ෂයන් සංඛ්‍යාව 108,000ක ඉලක්කයක් කරා වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. මේ වන විට මෙරට තුළ 65,000ක් පමණ වන බාලදක්ෂ පිරසක් සාමාජිකත්වය දරනවා. කොරෝනා වසංගතය හේතුවෙන් මේ ප්‍රමාණය වර්ධනයට බාධා එල්ල වුණා. එහෙත් කොරෝනා අභියෝගය තරණය කරමින් 2022 වර්ෂයේ වාර්ෂික වැඩ සැලැස්ම නිර්මාණය කර තිබෙනවා. මෙම කාර්යයභාරයේදී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ කොමසාරිස්වරුන් ප‍්‍රමුඛ සියලූ ජාතික හා දිස්ත්‍රික් කොමසාරිස්වරුන් එක පවුලක් ලෙස බාලදක්ෂ ව්‍යාපාරය හරහා අනාගත දරුවන් යහපත් මාර්ගයට ගැනීම උදෙසා පෙළගැසී සිටිනවා.”

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජනරාල් මිලින්ද පීරිස්, බාලදක්ෂ විධායක කමිටු සභාපති නිතීඥ කපිල කල්‍යාණ පෙරේරා මහත්වරු ඇතුළු බාලදක්ෂ කොමසාරිස්වරු සහ සංගමයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

Monday, January 17, 2022

ෆැන්කි බ්‍රවුන් නම් මැෆ්කින් ශිෂ්‍යභටයා - Mafeking cadets 'The first Boy Scouts'

 
 
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩ්න් පවෙල් සාමිවරයා මැෆ්කින් වීරයා ලෙසින් විරුදාවලිය ලද්දේ දින 217 ක් 6000 කට අධික බෝයර් සතුරු සේනාවක් වටලා සිටි මැෆ්කින් නගරය සීමිත පිරිසක් හා සීමිත ආහාර ඇතුළු සම්පත් සහිතව සිටිමින් නගරය ආරක්ෂා කර ගනිමින් හා මැෆ්කින් නගරය මුදා ගැනීම හේතුවෙනි.

1899 මාර්තු ඇරඹි දෙවන බෝයර් සටනේදී බෝයර් වරුන් 6000 කට අධික පිරිසක් විසින් 1899 ඔක්තෝබර් 13 දින මැෆ්කින් නගරය වටලන ලද අතර 1900 මැයි 17 වන දින බ්‍රිතාන්‍ය හමුදාව විසින් මැෆ්කිනය මුදාගනු ලැබීය .
බෝයර් වරුන් වටලා සිටි මැෆ්කින් නගරයේ දෛනික පැවැත්ම සඳහා බේඩ්න් පවෙල් සාමිවරයා විසින් නගරයේ ළමා පිරිසකගේ සහාය ලබා ගත් අතර ඔවුන් මැෆ්කින් ශිෂ්‍යභටයන් ලෙස නම් කරන ලදී.රෝගීන්ට සාත්තු සප්පායම් කිරීම,පණිවිඩ ගෙනයාම මෙන්ම නගරයේ තැපැල් සේවාව පවත්වාගෙන යෑම එම ශිෂ්‍යභටයන්ගේ ප්‍රධාන කාර්‍ය විය. අනපේක්ෂිත වූ එක් කුතුහලය දනවන කරුණක් වූයේ තැපැල් මුද්දර හා එදිනෙදා භාවිතයට අවශ්‍ය මුදල් නෝට්ටු හිඟයක් පැවතීමයි. නගරය තුල භාවිතා සඳහා දකුණු අප්‍රිකාවේ ස්ටෑන්ඩර්ඩ් බැංකුවේ අනුග්‍රහය ඇතිව දේශීයව මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු නිකුත් කරන ලදී .

තැපැල් මුද්දර සඳහා වික්ටෝරියා රැජිනගේ රුව වෙනුවට අනදෙන නිලධාරී බේඩ්න් පවෙල්ගේ රුව සහිත මුද්දයක් හා මැෆ්කින් ශිෂ්‍යභටයන්ගේ සැරයන් වරයා වූ වෝනර් ගුඩ්ඉයර් බයිසිකලයක් සහිතව සිටින රුව ඇතුලත් මුද්දරයක් නිකුත් කරන ලදී. බ්‍රිතාන්‍ය තැපැල් මුද්දරයක් සඳහා රාජකීය නොවන අයකුගේ රුවක් භාවිතයට ගත් ප්‍රථම අවස්ථාව මෙය විය. ලාබාලම ශිෂ්‍යභටයා වූයේ ෆැන්කි බ්‍රවුන්.





1891 උපත ලැබූ ෆැන්කි බ්‍රවුන් මැෆ්කින් වටලෑමට පෙර ජොහැන්ස්බර්ග් අසල කෆ්‍රාරියා හි ජීවත් වූ අතර 1899 දී ආරක්ෂාව පිණිස මැෆ්කින් නගරය වෙත තම දෙමාපියන් සමඟ පැමිණි අතර ඔහු මැෆ්කින් ශිෂ්‍යභට කණ්ඩායමට එකතු වී තිබුනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 8 කි. 1900 ජනවාරි 1 වනදා පුපුරා ගිය ෂෙල් වෙඩිල්ලක් ෆෑන්කිගේ කොඳුඇට පෙලට මාරාන්තික ලෙස තුවාල කළේය. සතියක කාලයක් දුක්විඳි ඔහුගේ කකුල්වල යම් සෙලවීමක් ලැබූවද ඔහුගේ තත්වය බරපතල එකක් විය. 1900 ජනවාරි 17 දින ඔහු මිය ගියේය.

 
බේඩ්න් පවෙල්ගේ දිනපොතේ "" බෝයි බ්‍රවුන් අද උදෑසන මැරුණා "" ලෙස සටහනක් තැබූ අතර මේ සිදුවීම ඉතා කණගාටුදායක සිදුවීම් වලින් එකක් ලෙස බේඩ්න් පවෙල් විසින් සඳහන් කරන ලදී.බීපී ෆැන්කි හැඳුන්වූයේ බෝයි බ්‍රවුන් ලෙසිනි. මෙහිදී කණගාටුව දනවන කරුණක් වන්නේ ෆැන්කි බ්‍රවුන් ශිෂ්‍යභටයකු ලෙස නිලධාරීන්ගේ නම් ලැයිස්තුවේ නාමිකව පමණක් සිටියෙකු බවය. ඔහුගේ නම ලේඛන ගත නොකර ඇත්තේ ඔහු වයස 11 ට වඩා අඩු වයසින් සිටීම හේතුවෙනි. 

කෙසේ නමුත් ඉංග්‍රීසි සම්භාව්‍යයක් සහිත ෆැන්කි හට ශිෂ්‍යභට ක්‍රියාකාරකම් කිරීමට අවසරය ලබා දී තිබු අතර ඔහු මැෆ්කින් ශිෂ්‍යභට බලකායේ පණිවිඩ ඛණ්ඩයට අනුයුක්තව සිටියේය. ෆැන්කි බ්‍රවුන් වෙනුවෙන් ස්මාරකයක් මැෆ්කින් නගරය මුදාගැනීමෙන් පසු ඉඳිකළ අතර එය වර්ථමාන මැහිකේන් නගරයේ ඇත. මේ ලාබාලම ශිෂ්‍යභටයා මැෆ්කින් නිල් මුද්දරය නිසා ප්‍රසිද්ධියට පත් සැරයන් (පසුව සැරයන් මේජර්) වෝනර් ගුඩ්ඉයර්ගේ ප්‍රසිද්ධියටත් වඩා ඉක්ම ගියේය.

විශේෂ ස්තූතිය
#KD


Wednesday, December 22, 2021

බාලදක්ෂයන්ට සෙවණ දුන් සුදු රාජාලියාගේ නිවහන

බාලදක්ෂ සංවිධානය වූ කලී ලෝකයේ වැඩිම ළමා, තරුණ හා වැඩිහිටි ප්‍රජාවකින් සමන්විත දේශපාලනික නොවන අධ්‍යාපනය සඳහා වූ ලොව විශාලතම ස්වේච්ඡා සංවිධානයකි. එහි පරමාර්ථය වන්නේ තරුණ තරුණියන්ගේ ශාරීරික, බුද්ධිමය, සමාජයීය, චිත්තවේගීය හා ආධ්‍යාත්මික සංවර්ධනය දිරිමත් කිරීම වන අතර, එමඟින් ඔවුන් වගකිවයුතු පුරවැසියන් ලෙස සහ ඔවුන්ගේ දේශීය, ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාවන්හී සාධනීය ස්ථානයක් හිමිකරගන්නා අභිමානවත් පුරවැසියන් ලෙස ගොඩනැංවීමයි.
 
1907දී දකුණුදිග එංගලන්තයේ ඩෝසෙට්හි පූලේ නගරය අසල බ්‍රවුන්සී දූපතේදී එවකට බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ‍ජනරාල්වරයකුව සිටි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයා විසින් කුඩා ළමයින් විසිදෙනකුගෙන් ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය අද වන විට ලෝකයේ රටවල් 216ක මිලියන 31කට අධික ප්‍රජාවකින් සමන්විත දැවැන්ත සංවිධානයකි.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු මුලින්ම ඇරඹෙන්නේ, ලෝකයේ බාලදක්ෂ කටයුතු ඇරඹීමෙන් පසු වසර 5ක් තරම් සමීප කාලයකය. එනම් 1912දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය මූලික කර ගනිමිනි. ඒ, බී.පී. තුමාගේ සමීපතම මිත්‍රයකු වූ එවකට මෙරට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ බ්‍රිතාන්‍ය සිවිල් ඉංජිනේරුවරයකු වූ ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් හෙවත් එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ මූලිකත්වයෙන් ළමයින් 8 දෙනකුගේ සහභාගිත්වයෙනි. ස්ටීවන්ස් මහතා එදා හඳුන්වා ඇත්තේ සුදු රාජාලියා යන අන්වර්ථ නාමයෙනි.

රමණීය විල්ෂයර් කඳුවැටිය පෙනෙන මානයේ එෆ්. ජී. ස්ටීවන්ස් ආදී කර්තෘවරයාගේ නිවහන හෙවත් ස්ටීවන්ස් බංගලාව මෙන්ම ඊට යාබද ක්‍රිස්තුදේව විද්‍යාලය ඉදිරිපස පිහිටා ඇති, වත්මන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති පැරණි කච්චේරි ගොඩනැගිල්ල සිරිලක බාලදක්ෂ උරුමය සමඟ බැඳී ඇති ඓතිහාසික සලකුණුවලින් කිහිපයකි. එදා මෙදාතුර මාතලේ දිසාවේ මෙන්ම සමස්ත සිරිලක බාලදක්ෂයන්ට මෙම පරිශ්‍රයන් නිහඬවම සෙවණ සැපයූවා නිසැකය.

 
සුදු රාජාලියාගේ නිවහන හෙවත් ස්ටීවන්ස් බංගලාව සිරිලක බාලදක්ෂයින්ගේ තිඹිරිගෙය මෙන්ම සුදු අධිරාජ්‍ය සමයේ ගෘහ නිර්මාණ ශිල්පය මොනවට කියාපාන කදිම ඉදිකිරීමකි. අභ්‍යන්තර ගොඩනැඟිල්ලට යාබද ඉදිරිපස දිගු, පළල් හා උස් කොරිඩෝව සමඟ වම්පසින් වූ පෝටිකෝවත් ගහකොළවලින් සපිරි එළිමහන් ඉඩකඩ එවකට බාලදක්ෂයින්ගේ කටයුතු සඳහා අපූරු අවකාශයක් නිර්මාණය කර දී ඇති බව පැහැදිලිය.


එසේම සිරිලක බාලදක්ෂ නිජබිම වූ මාතලේ දිසාවේ පැරණි කච්චේරි ගොඩනැගිල්ල හා ක්‍රිස්තුදේව විද්‍යාලයට ඇත්තේ පියවර කිහිපයක දුරකි. මාතලේ දිසාවේ බාලදක්ෂ කටයුතු සමඟ එම පරිශ්‍රයට කොතරම් සමීප සම්බන්ධතාවයක් තිබී ඇත් ද යන්න විමසීමට තවත් සාක්ෂි අවැසි නැත. පසුගිය සමයේ මාතලේ බාලදක්ෂ මාවතේ පිහිටි බාලදක්ෂ මූලස්ථාන ගොඩනැඟිල්ල සංවර්ධන කටයුතු සඳහා පවරා ගැනීමෙන් පසුව මේ වසරේ මාතලේ පැරණි කච්චේරි ගොඩනැඟිල්ල ‘බාලදක්ෂ සිහිවටන ගොඩනැඟිල්ල’ ලෙස නම් කිරීම ඓතිහාසික මාතලේ දිසාවේ බාලදක්ෂයින්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකීය බාලදක්ෂයින්ට ද අතිමහත් ශක්තියකි. ඒ මාතලේ නගරය හා එහි ඓතිහාසික, සංස්කෘතික, භූගෝලීය පාරිසරික පසුබිම ශ්‍රී ලාංකික බාලදක්ෂයින්ට පමණක් නොව, ලෝක ව්‍යාප්ත බාලදක්ෂ ප්‍රජාවටම සංචාරයට, අධ්‍යයනයට ඉතා වැදගත් තෝතැන්නක් වන හෙයිනි.

බාලදක්ෂ සිහිවටන ගොඩනැඟිල්ලේ පිහිටි මාතලේ බාලදක්ෂ මූලස්ථාන කාර්යාලය හා බාලදක්ෂ උද්‍යානය විවෘත කිරීමේ නිල උත්සවයක් මාතලේ දිස්ත්‍රික් ලේකම් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්,‍‍ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිය ප්‍රනාන්දු සහ මාතලේ දිසා කොමසාරිස් සී. කේ. අබේවර්ධන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි. ඒ වෙනුවෙන් මාතලේ දිසා බාලදක්ෂ මූලස්ථානය සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කළ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක යන මහත්වරු දුන් සහාය අගනේය. ඉතා ඉහළ සංචාරක විභවයක් සහිත මාතලේ දිස්ත්‍රික්කය හා ඉහළ සංචාරක නැඹුරුවකින් සමන්විත ජාත්‍යන්තර බාලදක්ෂ ප්‍රජාව යා කරමින් මාතලේ ‘බාලදක්ෂ සිහිවටන ගොඩනැගිල්ල’ ලොව පුරා විසිරී සිටින බාලදක්ෂ ප්‍රජාවට සංචාරයට, අධ්‍යයනයට හා පුහුණුවට සරිලන කෞතුකාගාරයකින් සමන්විත බාලදක්ෂ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මාතලේ දිසා බාලදක්ෂ අරමුණයි.

 
ගයාන් නිතුල්ගස්පිටිය
සහාය දිසා බාලදක්ෂ කොමසාරිස් (පරිපාලන)

dinamina දෙසැම්බර් 23, 2021 (විශේෂාංග)


 

Sunday, December 19, 2021

නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

නව ප්‍රධාන බාලදක්ෂ ලෙස නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පසුගිය දා පත්විය. නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ(SLSA) 21වැනි ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත. 


SLSA නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටි ජනප්‍රිත් මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඒ, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා එම තනතුරින් නික්ම යෑමත් සමඟය.

1979 දී පාසලේ කණිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සිය ගමන ආරම්භ කරමින්,ඔහු මූලික සහ උසස් අධ්‍යාපනය ලැබූවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයකු ලෙස ඔහු සිය බාලදක්ෂ කණ්ඩායමේ, භට කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ අතර,1984 වසරේ දී කීර්තිමත් ජනාධිපති බාලදක්ෂ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ජනප්‍රිත් මහතා වැඩිහිටි නායකයකු ලෙස, කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවට සම්බන්ධ වූ අතර, දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරයා ලෙසත් පසුව 2005 දී දිස්ත්‍රික් කොමසාරිස්වරයා ලෙසත් පත් විය. 2010 දී SLSA විශේෂ කොමසාරිස්වරයකු ලෙසත් පසුව එම සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස්වරයා බවටත් පත්විය. 2016 දී ඒ මහතා, SLSA නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා වශයෙන් වැඩ භාර ගත් අතර එතැන් සිට දේශීය බාලදක්ෂ ව්‍යාපාරයට කැපවී සේවය කළේය.‍

ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා 2017 සිට 2021 දක්වා ලෝක බාලදක්ෂ කමිටුවටත්, 2012 සිට 2017 දක්වා ආසියා පැසිෆික් කලාපයේ ප්‍රාදේශීය බාලදක්ෂ කමිටුවටත් තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා විය.ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ යහපාලන කණ්ඩායමේ සභාපතිවරයා ලෙස ද,ලෝක බාලදක්ෂ ක්ෂේත්‍රයේ ඔහු දැරූ වෙනත් බොහෝ නායකත්වයන් අතර කලාපීය ව්‍යාපාරයේ කළමනාකරණ උප කමිටුවේ සභාපති ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

ජනප්‍රිත් මහතා ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට දැක්වූ සුවිශේෂී දායකත්වය මැලේසියා අග්‍රාමාත්‍ය,තායිවාන ජනාධිපති සහ පිලිපීනයේ උප ජනාධිපති ඇතුළු බොහෝ රාජ්‍ය නායකයන්ගේ පවා ඇගැයීමට ලක් වී ඇත. ඊට අමතරව, ආසියා පැසිෆික් කලාපයේ සභාපති පදක්කම ද ජනප්‍රිත් මහතාට පිරිනමා තිබේ. ජනප්‍රිත් මහතා වෘත්තීය නීතිඥයකු පමණක් නොව, ඔහු 'බුක්බ්‍රිජ් ශ්‍රී ලංකා' සමාගමේ සභාපතිවරයා ද වෙයි. ඊට අමතරව 'නායකත්ව හා කුසලතා වර්ධන මධ්‍යස්ථානයේ' සභාපතිවරයා ද වන ඒ මහතා මෙරට බොහෝ පෞද්ගලික හා රාජ්‍ය ආයතන රැසක මාණ්ඩලික සාමාජිකයකු ලෙස ද කටයුතු කර තිබේ.

Tuesday, November 30, 2021

මැයි 31 දින නිමාවට පත් වූ දෙවන බුවර් සටන

මැයි 31 දින නිමාවට පත්වූ දෙවන බුවර් සටන

බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ සැමදෙනාම එහි නිර්මාතෘ වරයාගේ ඉතිහාසය පිළිබඳව කියවද්දී එහි දෙවන බෝයර් සටන එක පරිච්ඡේදයක් බව දන්නවා ඇති. මෙම දෙවන බෝයර් සටන බාලදක්ෂයන්ට පමණක් වැදගත්කමක් නොව ශ්‍රීලංකාවටද යම් ඓතිහාසික චරිතයක් එක් කල සිද්ධියකි.

රන් රිදී දියමන්ති ඇතුළු ඛනිජ හා වන සම්පතින් සපිරි දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍යයේ ආදිපත්‍යයට යටත්ව පිටින් පැමිනි සුද්දන් එහි සාරය උරා බීම ගැන එහි වැසියන් පසුවූයේ ඉමහත් කණස්සල්ලෙනි.විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ ආධිපත්‍යය පතුරාවාගෙන සිටි බෝයර් වරුන්ට ඉන් වැදුනේ බලවත් අතුල් පහරකි.

ඕලන්ද ප්‍රංශ ජර්මානු සම්භවයකින් පැවතෙන බෝයර් වරුන් දකුණු අප්‍රිකාවේ මුල් පදිංචිකරුවන් වූහ.ඔවුන් අතරින් වූ යුට්ලන්ඩ් වැසියන් පතල් කැනීම් කරුවන් වූ අතර 1886 දී බෝයර් අගනුවරට දකුණින් ලොව විශාලතම රන් නිධිය සොයාගත් අතර බ්‍රිතාන්‍යයන් ඊට කෙල හලමින් සිටි අතර දහස් ගනන් බ්‍රිතාන්‍යය වරුන් කේප් ජනපදයේ පදිංචියට පැමිනියහ.ඔවුන්ගේ කූට උප්පරවැට්ටිය වූයේ රන් හා දියමන්ති බහුල ට්‍රාන්ස්වාල් ,ඔරෙන්ජ් ෆ්‍රී හා ජොහැන්ස්බර්ග් යන ප්‍රදේශයේ වෙනම ස්වාධීන පාලනයකින් යුතු රාජ්‍යයක් බවට යුට්ලන්ඩ් වැසියන් පෙලඹවීම වීමයි.මේ සඳහා බ්‍රිතාන්‍යයනගේ් ආධාර යුට්ලන්ඩ් වැසියන්ට නොඅඩුව ලැබිණි .මෙයින් කුපිත වූ බෝයර් වරුන් පතල් සඳහා වූ බද්ද ඉහල නැංවූහ.මෙයින් සිදුවූයේ යුට්ලන්ඩ් වැසියන්ගේ විරෝධය බෝයර් වරුන් වෙත එල්ල වීමය.මෙයින් ප්‍රයෝජනය ගත් බ්‍රිතාන්‍යයන් දේශපාලන,සාමාජික හා ආර්ථික ප්‍රතිපත්තියක් සහිත සාධාරණ ජන්ද නීතිය ,ස්වාධීන අධිකරණ හා හොඳ අධ්‍යාපන ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් හඳුන්වාදෙමින් නව ස්වාධීන රාජ්‍යයක් සඳහා යුට්ලන්ඩ් වැසියන් පෙලඹවීමයි.
 

මෙයින් දරුණු ලෙස කුපිත වූ බෝයර් වරුන් සටනට එලෙඹි අතර එහි ප්‍රතිඑලයක් ලෙස පලමු බෝයර් යුද්ධය ඇරඹි අතර ඉන් බ්‍රිතාන්‍යයන්ට අත්වූයේ දරුණු පරාජයකි.කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකාව හැර ඉන් නික්ම වීමට තීරණය නොකලහ.

දකුණු අප්‍රිකාවේ පූර්ණ බලතල තමන් අතට පත්කර ගැනීමට නම් බෝයර් වරුන් හැර අනෙකුත් ස්වදේශිකයන් තමන් වෙත නෑඹුරු කර ගැනීමට හෝ ඔවුන්ව තම යටතට ගැනීමේ පියවර බ්‍රිතාන්‍යයන්ගේ සිහිනය විය.ඇන්ග්ලෝ බෝයර් සටන ,අශාන්ති සටන ,මැටබෙලේ සටන ආදිය මෙහි ප්‍රථිඑලයක් විය .

බ්‍රිතාන්‍යයේ දරුණු කෙණෙහිලි ඉවසාගත නොහැකි තැන බෝයර් වරුන් කල්වේලා ඇතිව දෙවන සටනකට සූදානම් විය.මෙහි ප්‍රථිඑලයක් ලෙස 1899 ඔක්තෝබර් 11 දින දෙවන බෝයර් සටන ඇරඹිණ .මේ සටනට ට්‍රාන්ස්වාල් හා ඔරෙන්ජ් ෆ්‍රී යන ප්‍රාන්ත යන්හි බෝයර් සෙබලුන් 103,000-153,000 හා බෝයර් කමාන්ඩෝ භටයන් ඇතුළුව 100,000 භටයන් ද විදේශ ආධාර භටයන් 5400 ක් එක්ව සිටියහ.
 
 
මෙම සටනට බ්‍රිතාන්‍යය හමුදාවේ සෙබලුන් 347,000ක් සහභාගි වූ අතර යුධ පෙරමුණේ නායකත්ව 8 දෙනෙකු විසින් දැරීය. බෝයර් වරුන්ට නෙදර්ලන්තය, ජර්මානු හා ස්කැන්ඩිනේවියානු රටවල් පක්ශව සිටි අතර බ්‍රිතාන්‍යය වෙනුවෙන් අයිරිෂ් ඇමරිකානු ස්වේච්ඡා ඔත්තු සේවය ,ඉතාලි ස්වේච්ඡා සේනාංකය, අයිරිෂ් ට්‍රාන්ස්වාල් සේනාංකය එක්ව සිටියේය .

මෙම සටනට බ්‍රිතාන්‍යය සඳහා 1901 දී බ්‍රිතාන්‍යය ශ්‍රීලංකා පාබළ හමුදාව ද එක්ව සිටීම විශේෂකි. 1899 ඇරඹි දෙවන බෝයර් යුද්ධය 1902 දී අවසන් වූයේ බ්‍රිතාන්‍යය හමුදාවට ජය අත්කර දෙමිනි.මෙම යුද්ධයේදී බෝයර් වරුන් 6189 මියගිය අතර 24,000 යුධ සිරකරුවන් විය.තවත් 21,250 ක් බ්‍රිතාන්‍යයට යටත් වූහ .

මෙහිදී බ්‍රිතාන්‍යයේ සෙබලුන් 22,092 ක් මියගිය අතර 934 ක් අතුරුදහන් වූවන් ලෙස ගැනිණ .තවත් 22,828 ආබාධිතයින් වූහ.

මෙම යුද්ධයේදී සාමාන්‍ය සිවිල් වැසියන් 40,370 ක් මියගියේය .සරණාගතයින් ලෙස 26,370 සරණාගත කඳවුරු වලට කොටු විය .

මෙම සටනේදී අල්ලාගත් බෝයර් යුධ සිරකරුවන් තම යටත් ව්ජිත රටවලට පිටත්කර යැවූ අතර එලෙස ශ්‍රීලංකාව වෙත එවනු ලැබූ එක් බෝයර් සිර කරුවෙකු මෙරට ඓතිහාසික චරිතයක් විය .ඔහු එංගල් බ්‍රෙක් නම් විය .

එකල හම්බන්තොට මහදිසාපති වූ සුප්‍රකට ඉංග්‍රීසි ලේඛක ලෙනාඩ් වුල්ෆ් මහතාගේ කාරුණික අනුග්‍රහය ඇතිව යාල අභයභූමියේ පාලකයා ලෙස පත්කරනු ලැබූ එංගල් මෙරට පලමු වන උද්‍යාන පාලකයා විය .

#KD

Monday, November 22, 2021

චාර්ල්ස් මැක්ලීන් සාමිවරයාෙග් ලංකා සංචාරය

 

Charles Hector Fitzroy MacLean, Baron MacLean
 
කොළඹ බාලදක්ෂ කැම්පෝරිය එක් දහස් නවසිය හැට ගණන්වල අගභාගයේදී පැවැත් වූයේ විහාරමහාදේවි උද්‍යානයේ නොවේ. කොළඹ ගොල්ෆ් පිටියේය. එවකට මා 15වැනි කොළඹ බාලදක්ෂ සමූහයේ වෘක පෝතකයෙකි. වෘක පෝතකයන් වූ අපට කඳවුරේ රැය ගතකරන්නට ඉඩ ලැබුණේ නැත. එහෙත් ජම්බෝරිය පැවැත්වෙන දිනවලින් එකක් වෘක පෝතකයන් සඳහා ද වෙන් වූයේය. 
 
වෘක පෝතකයන් සඳහා වෙන් වූ එක් දිනයක එක්සත් රාජධානියේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල එවකට ප්‍රධාන බාලදක්ෂ ධුරය හෙබැවු චාර්ල්ස් මැක්ලීන් (පසුව මැක්ලීන් සාමිවරයා Sir Charles McLaughlin??) ජම්බෝරියට ආයේය. පසු කලෙක එතුමාට දෙවැනි එළිසබෙත් රැජිනගේ සාමිවර ධුරය 1971 දී ලැබුණු බව වාර්තාවල සඳහන්ය. 
 
Sir Charles Hector Fitzroy McLean as Chief Scout
 
විශාල කවයකට වෘක පෝතකයන් වන අප රැස්කොට ඔහු අප හා සංවාදයේ යෙදුණේය. වෘක පෝතක කැල මෙහෙය වීමේ උදාන පාඨ කීමට ඔහු කැප් තොප්පියේ තරු දෙකක් ඇති වෘක පෝතකයකු සොයා කවය වටා බැලුවේය. රවුමේ සිටි වෘක පෝතකයන්ගෙන් කැප් තොප්පියේ තරු දෙකක් තිබුණේ මට පමණකි. මම කවය මෙහෙයවීමි. 
“කරාවු කරාවු කරාවු” මම කීමි. 
“කරාමි කරාමි කරාමි” කවයේ සිටි අනෙක් වෘක පෝතකයෝ කීවෝය.
කැප් තොප්පියේ පැළඳන තරු මට ඉබේ ලැබුණු ඒවා නොවේ. පළමු සහ දෙවැනි පන්තියේ පරීක්ෂණ 20ක් පමණ සමත් වූ පසු ලැබුණු ඒවාය. චාර්ල්ස් මැක්ලීන්ගේ ඇඳුම කුඩා අපට විහිලුවක් බඳු වූයේ ස්කොට් ජාතික ඇඳුම ඇඳි කිසිවකු පින්තූරයකින් හෝ අප දැක නොතිබුණු නිසාය. උඩු කය බාලදක්ෂ නිල ඇඳුමකින් සැරසුණු ඔහු යටි කයට ඇන්ඳේ සායක් බඳු ස්කොට් ඇඳුමයි. එය බැගී පයිප් බෑන්ඩ් (Baggy Pipe Band) වාදකයන්ගේ ඇඳුමට සමානය. වයස අවුරුදු 12 ලැබූ විට වෘක පෝතක බවෙන් මිදී බාලදක්ෂයකු වීමේ වරම අපට ලැබුණේය.

බාලදක්ෂ ජම්බෝරිය කුඩා අපට අතිශය විනෝදය ගෙන දෙන තැනක් වූයේය. දිවා කාලයේ ජම්බෝරිය පැවැත් වෙන භූමියේ තැනෙක බොක්සිං තරග පැවැත් වේ. තවත් තැනක රෙස්ලිං තරගය, තවත් තැනක සංගීත කණ්ඩායමකි. එදිනෙදා නිවෙසේ ගෙවන ජීවිතයෙන් මිදී අවුත් කුඩා කාලයේදීම අපි කඳවුරේ කෑම පිසගෙන සැවොම එක්ව අනුභව කළෙමු. කෑම පිසීමත් තේ පිළියෙළ කිරීමත් දෙවැනි පන්තියේ පරීක්ෂණවලදී සමත් විය යුතු වූයේය.

අප කුඩා කාලයේදීම සාමූහිකව ගයන්නටත් රඟපාන්නටත් පුරැදු වූයේ කඳවුරේ රාත්‍රී කාලයේ පැවැත්වෙන ගිනිමැල වටා වූ ජවනිකා නිසාය. බාල දක්ෂයින්ටම වෙන්වූ ගිනි මැල ගීත බොහෝය. ඉන් එකක් කඳවුරු ගැන කියන්නකි.

“පුංචි පුංචි පැල් සදාලා හරිම ලස්සනයි
පන්ති පන්ති බාලදක්ෂ කඳවුරේ සිටී
කඳවුරේ උයයි
කඳවුරේ නිදයි
බාලදක්ෂ ෂ: හරිම ලස්සනයි!”

දෙවැනි පන්තියේ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව තනි තනි පදක්කම් උදෙසා පැවැත්වෙන පරීක්ෂණවලට සහභාගීවීමේ වරම බාලදක්ෂයා ලබයි. (දැන් මේවා වෙනස් වී ඇතැයි සිතමි.) ප්‍රථමාධාර දෙන්නා, කඳවුරුකරු, පොත් කියවන්නා, කෑම පිසින්නා ආදී වශයෙන් එක් එක් කුසලතා සඳහා දිනාගත හැකි පදක්කම් රාශියක් තිබිණි. ඒවායින් මගේ සිත වඩාත්ම ඇදී ගියේ වන ශිල්පියා (Back Woods man) පදක්කමටයි. බොම්බයි ලූනු ගෙඩියේ දමා බිත්තර තම්බාගන්නටත්, මැටි ගසා දෙල් තම්බාගන්නටත්, කෝටුවක ඔතා රොටි සාදාගන්නටත් එකල අපි පුරුදු වූයෙමු. අපි කුඩා කාලයේදීම කූඩාරම් ඉදිකරන්නට රුසියෝ වීමු.

අපට කුඩා කාලයේම 15 වැනි කොළඹ බාලදක්ෂ වෘක පෝතකයන් ලෙස බඳවා ගත් ප්‍රධාන බාලදක්ෂ ආචාර්යවරයා අපූර්ව පුද්ගලයෙකි. දෙහිවල කැම්බල් පෙදෙසේ විසූ ඔහු නමින් ජෝර්ජ් සමරසිංහය. ඔහු කුඩා දරුවන්ට කුසලතා ඉගැන්වීමේ අති දක්ෂයෙක් විය. අප බාලදක්ෂ කටයුතුවල නිරත වූ කාලයේත් මැදි වයස පසුකර සිටි ඔහු අවුරුදු 103ක් ආයු වළඳා මිය ගියේ දෙදහස් ගණන් වලදීය. එකල ගල්කිස්සේ සාන්ත තෝමසුන්ගේ විද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩාංගණය පිහිටි ඉඩම සෙනසුරාදා දිනවල 15 වැනි කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ කටයුතුවලට වෙන්කර දී තිබිණි. එය පිහිටා තිබුණේ ද සේරම් පාරට සහ හෝටල් පාර අතර මැද බිම් කොටසකයි.

මීරිගම, කණ්ඩලම ගොවිපළ සමීපයේ පිහිටි අක්කර ගණනාවක වනාන්තර භූමියක් එකල බාලදක්ෂ කටයුතු සඳහා කඳවුරැ බඳින්නට වෙන්කර දී තිබිණි. මා දුටු විශාලම පුස්සැල්ලා වැල තිබුණේ එම වනාන්තරයේය. එකවර ළමුන් හත් අට දෙනකුට එහි ඉහළට නැගගෙන ඔන්චිල්ලා පදින්නට තරම් එම පුස්සැල්ලා වැලේ ඉඩ තිබිණි. එම වනාන්තරයේ ඇති රූස්ස ගස් නගින්නට ප්‍රමාණවත්, ශක්තිමත් කඹ එම කඳවුරේම එකල තිබුණු නිසා ඒවා ආධාරයෙන් ගස් නැගීම මීරිගම කැලයේ ජනප්‍රිය ක්‍රීඩාවක් විය. රූස්ස ගස් අතුවල කඹ දවටා පුටු ගැටය (එය විශේෂ ගැටයකි.) ආධාරයෙන් අප බිමින් ගස් උඩටත්, ගස් උඩ සිට බිමටත් යන්නට පුරුදු වීමු.

1970 අවුරුද්දේ දෙසැම්බරයේ දින හතරක් කුරුණෑගල බාලදක්ෂ මූලස්ථානයේ කඳවුර කරන්නට අපට හැකිවිය. එම ගොඩනැගිල්ල තිබෙන නිසා අපට කූඩාරම් ඉදිකරන්නට අවශ්‍ය වූයේ නැත. දැන් එම ගොඩනැගිල්ල පිහිටි පෙදෙස සෙනඟ ගැවසෙන ජනාකීර්ණ හරියකි. ඒ කාලයේ ඒවා පාළු පාරවල්ය. 2007 අවුරුද්දේ එම ගොඩනැගිල්ලේම නාට්‍ය වැඩමුළුවක කටයුතු කරන්නට මට ආරාධනා ලැබිණි. 1970 දෙසැම්බරයේ එහි ගත කළ දින හතර ඇතුළත අපි “ඉබ්බාගල” නැංගෙමු. කුරුණෑගල වටා ඇති ඇතාගල, ඉබ්බාගල, කුරුවෙනියාගල, ඇඳාගල, යක්දෙස්සගල ආදිය ගැන තොරතුරු රැස්කළෙමු. වයස අවුරුදු 12-14 කාලයේදී අපි ගෙදරින් නික්ම දින තුන හතර බාලදක්ෂ කඳවුරුවල ගත කළෙමු. අප නිවසින් පිට යවද්දී අපේ මාපියන්ට හිතේ බියක් ලොකුවට දැනුණේ නැත. ඒ ගමන්වලින් අපේ කුසලතා වර්ධනය වන බවද අපේ මාපියෝ දැන සිටියහ. දැන් කාලයේ නම් කඳවුරකට යවන්නට තබා සවස් කාලයේ එළිමහනකට දරුවකු යවන්නට පවා ඩෙංගු ආදී ලෙඩ රෝග නිසා මාපියෝ බියවෙති. පාසලෙන්, උපකාරක පන්තියටත්, උපකාරක පන්තියෙන් ගෙදරටත් එන දරුවාට මොන කඳවුරු ජීවිතයක් ද! 

කොළඹ මහජන පුස්තකාලය අවට විහාර මහාදේවි උද්‍යානයේ ඇති යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් සිහිකිරීම පිණිස වූ (සෙනොටාෆ්) යුද ස්මාරකය දකින මගේ සිත ළමා කාලයට දිව යන්නේ නිතැතිණි. මා මුල්වරට මෙම ස්මාරකය ළඟට ගිය දවස මට හොඳ හැටි මතකය. ඒ එක්දහස් නවසිය හැත්තෑව, හෑත්තෑඑක පමණ කාලයේය. ඒ කාලයේ විහාර මහා දේවි උද්‍යානයේ ඒ පැත්ත පට්ට පාළුය. ඒ වටා උසට වැඩුණු මානා පඳුරු මිස මිනිස් පුළුටක් පෙනෙන්නට නොතිබිණි. පාතර් පංචාලි චිත්‍රපටයේ, ජීවිතයේ මුල්වරට, දුම්රිය දකින අපූර් සහ දුර්ගා මෙන් මමද මාන පඳුරු අතරින් දිවගොස් එම ස්මාරකය දෙස තුෂ්ණිම්භූතව බලා උන්නෙමි. (එම චිත්‍රපටයේද දුම්රිය දකින්නට පෙර ඒ දෙදෙනා මාන කැලයක් මැද්දෙන් දිවයති.) එම ස්මාරකය විහාර මහා දේවි උද්‍යානයේ දින දෙක තුනක් ඒ වනවිටත් රැය පහන්කොට සිටි මා දැක තිබුණේ නැත.

මා විහාර මහා දේවි උද්‍යානයේ රැය පහන් කළේ තනිවම නොවේ. 15 වැනි කොළඹ බාලදක්ෂ සමූහය සමඟය. 15 වැනි කොළඹ බාලදක්ෂ සමූහය එදා විහාර මහා දේවි උද්‍යානයේ කඳවුරු බැඳ සිටියේ ද තනිවම නොවේ. කොළඹ නගරාසන්නයේ සියලු බාලදක්ෂ කණ්ඩායම් සමඟය. කාලයක් තිස්සේ බාල දක්ෂයන්ගේ කොළඹ වාර්ෂික ජම්බෝරිය පැවැත්වූයේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදීය. අවුරුදු කිහිපයකදීම අපේ කඳවුරු උදෙසා කූඩාරම් ඉදිකළේ කලා භවනට මුහුණලා පිහිටි පැත්තේය.

කණ්ඩායම් අතර ඉවුම් පිහුම් තරගය පැවැත්වූයේ යුද ස්මාරකය සමීපයේය. පළමු වරට යුද ස්මාරකය මගේ නෙත ගැටුණේ ආහාර පිසීමේ තරග ඒ කිට්ටුව තැනක පවත්වන්නට යෙදුණු අවස්ථාවකය.

එම යුද ස්මාරකයට ඇත්තේද අපූර්ව ඉතිහාසයකි. එය ඉදිවී ඇත්තේ පළමු සහ දෙවැනි ලෝක යුද්ධ දෙකෙන්ම මිය ගිය ශ්‍රී ලාංකීය සොල්දාදුවන් සිහිවනු පිණිසය. ඉංග්‍රීසියෙන් එය හඳුන්වන්නේ Cenotaph War Memorial කියාය. Cenotaph යන්නේ හිස් සොහොන් කුටිය යන අර්ථය ද ගැබ්වේ. යුද්ධයෙන් මිය ගොස් වෙනත් තැනක මිහිදන් කළ සොල්දාදුවන් වෙනුවෙන් Cenotaph ස්මාරක ඉදිවේ.

එම ස්මාරකය සඳහා මුල්ගල තබා ඇත්තේ විහාර මහා දේවි උද්‍යානයේ නොවීමද පුදුමයකි. 1921 දෙසැම්බර් 7 වැනිදා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි මෑනිංග් ඊට මුල්ගල තබා 1923 ඔක්තෝබර් 27දා එය නිරාවරණය කර තිබෙන්නේ කොළඹ ගාලුමුවදොර පිටියේය. එය එවකට විජයග්‍රහණයේ ස්මාරකය ලෙස හැඳින්විණි. එහෙත් දෙවැනි ලෝක සංග්‍රාමය වෙද්දී එය ගලවා ඉවත්කොට විහාර මහා දේවි උද්‍යානයේ දැන් තිබෙන තැන නැවත ඉදි කෙරුණේය. එය වෙනත් තැනකට ගෙන ගියේ තම අවි එල්ල කිරීම සඳහා ජපනුන් එය සළකුණක් ලෙස භාවිතා කරාවි යන බිය නිසා බවද කියවේ. මියගියවුන්ගේ එහි සඳහන් නම් අතර ඇත්තේ එකම කාන්තාවකගේ නමකි. ඒ.එල්. මිච්වුඩ් මෙනෙවියගේ නම පමණයි.

මහජන පුස්තකාලය අසලින් අහසට එසවුණු යුද ස්මාරකය දකින මට සිහියට නැගෙන්නේ ලෝක යුද්ධවලින් මිය ගිය සොල්දාදුවන් නොවේ. අදටත් ආදරයෙන් සිහිකළ හැකි මගේ සුන්දර ළමා කාලයයි. එදා විහාර මහා දේවි උද්‍යානයේ පාළු කෙළවරක මාන පඳුරු මැද තිබු යුද ස්මාරකය, විහාර මහා දේවි උද්‍යානයේ කඳවුර බැඳ රැය පහන් කළ දවස් ගැන අදටත් කිසිවකුට නෑසෙන්නට තතු කියන්නා සේ දැනේ.
 
සටහන
සමන් පුෂ්ප ලියනගේ

Tuesday, October 19, 2021

බාලදක්‍ෂ නිලඇදුම

අතීතයේ භාවිත වූ ලෝක බාලදක්‍ෂ නිලඇදුම අප්‍රිකාවේ පොලිස් හමුදාවේ නිල ඇඳුමට බෙහෙවින් සමාන වූ බව පැවසේ. වර්තමානයේ ලොව පුරා විසිරී සිටින බාලදක්‍ෂයන් විවිධ වර්ණයේ නිල ඇඳුම් බාවිතා කරනු ලැබූවද ඔවුන් පළදික ලෝක බාලදක්ෂ පදක්කම සැම අතින්ම එක සමාන වේ. නිල ඇදුම ඒ ඒ රටවලට යෝග්‍ය වන ආකාරයෙන් නිදහස්ව කටයුතු කිරීමට හැකි වනසේ පිළියෙළ වූ සුව පහසු ඇඳුමක් බවට පරිවර්තනය වී ඇත.
  • බෙරට් හිස් වැස්ම
  • කර ‍‍‍‍ලේන්සුව
  • බාලදක්ෂ කමිසය
  • කොට කලිසම/දිග කලිසම
  • කලු පැහැති පොලිෂ් කරන සපත්තු

සිඟිති අංශය

සිඟිති අංශය නිල ඇඳුම
සිඟිති අංශය නිල ඇඳුම

පෝතක අංශය

Cub boy

බාලදක්ෂ අංශය

jscout_uniform
කනිෂ්ඨ බාලදක්ෂ නිල ඇඳුම

 

sscout_uniform
ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නිල ඇඳුම

මානවක අංශය

rover-uniform
මානවක අංශය නිල ඇඳුම