Translate

Tuesday, July 30, 2024

බාලදක්ෂිකාවන් 2000ක් සඳහා ජනාධිපති පදක්කම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමයේ සාමාජිකාවන්ට ජනාධිපති පදක්කම් පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 2024.07.31 පැවති ජනාධිපති පදක්කම් උත්සවයට එක් වෙමිනි.

75,000ක් වූ බාලදක්ෂිකා ව්‍යාපාරයේ සාමාජිකත්වය 150,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. බාලදක්ෂ / බාලදක්ෂිකා ව්‍යාපාරය,  ශිෂ්‍ය භට බලකාය සහ යොවුන් සේනාංක වැනි තරුණ සංවිධාන හරහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළටද පුළුල් දායකත්වයක් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

බාලදක්ෂිකාවන් 2000ක් සඳහා ජනාධිපති පදක්කම් පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි  ශාන්ති විල්සන් මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූවාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

 

“බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ මට හොඳ අවබෝධයක් තිබෙනවා. මගේ පවුලේ කිහිප දෙනෙකුම මෙම  සංවිධනයේ ක්‍රියාකාරිව කටයුතු කළා. බාලදක්ෂ ව්‍යාපරය අප තවදුරටත් දියුණු කළ යුතුයි. බාලදක්ෂිකා සංගමය සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ලක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා. එම ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි. බාලදක්ෂ ව්‍යාපාරය, ශිෂ්‍ය භට බලකාය මෙන්ම යොවුන් සේනානාංක සඳහා අවශ්‍ය මුදල් රජය වෙන් කර තිබෙනවා. අනෙක් සංවිධාන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙලෙස මුදල් වෙන් කිරිමට හැකියාව ලැබී තිබෙන්නේ ආණ්ඩුවට දැන් මුදල් ප්‍රමාණයක් තිබෙන නිසයි.මම මේ රට භාර ගනිද්දි ආණ්ඩුවට මුදල් තිබුණේ නැහැ. අපි දැන් අසීරු කාලය පසු කර තිබෙනවා. පාඩු ලබන රාජ්‍ය සංස්ථාවලට මුදල් යොදවන එක අපි දැන් නතර කරලා තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනිමද නතර කර තිබෙනවා. අපිට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයත් අඩු වී තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට යම් මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එම මුදල් තරුණ පරපුර වෙනුවෙන් යෙදවීමට මම බලාපොරොත්තු වෙනවා.

මේ වන විට අධ්‍යාපනය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා. ඉදිරි අවුරුදු කිහිපයේ දී ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අපට සිදු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ද අවශ්‍ය මුදල් අප වෙන් කිරීමට සැලසුම්සහගතව අප කටයුතු කරමින් සිටිනවා.

අධ්‍යාපන අංශය පොත පතට සීමා කරන්න බැහැ. දරුවන්ට ඉදිරියට යාමට නව අවස්ථා සොයා දිය යුතුයි. ඒ සඳහා අප ඉදිරියේ දී මුදල් වැය කරනවා. එහිදී බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 75,000ක් වන මෙහි සමාජිකත්වය ඉදිරියේදී 150,000ක් බවට පත් කර ගත යුතුයි. ඊට අවශ්‍ය සහාය ලබාදිමට රජය බලාපොරොත්තු වෙනවා.


මෙවන් සංවිධානය හරහා අපට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි. මත්ද්‍රව්‍ය මර්ධන කමිටුව සමග සාකච්ඡා කළ විට ඔවුන් සඳහන් කළේ පාසල්වල වැඩි වශයෙන් බාලදක්ෂ සංවිධාන සහ ශිෂ්‍ය භට බලකායන් ඇති කළ යුතුයි කියලා. මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙළට එමඟින් විශාල දායකත්වයක් ලබා ගත හැකියි.

 

ඒ වගේම දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් බාලදක්ෂ කඳවුරු ඇති කිරිමට යම් කිසි කාලයකට රජයේ ගොඩකනැඟිලි ලබාදිමට හැකියාව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වී එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමින් ඔබ සියලුදෙනාට මම සුබ පතනවා.”

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් සහ බාල දක්ෂිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියහ.

Monday, July 1, 2024

2024 බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කරනු ලබන ‘‘ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය‘‘ හෙට 2024.07.01 සිට පුරා මාසයක් පැවැත්වේ. ඒ අනුව එම සේවා සම්බන්ධතාව ජූලි මස (31) වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකා පුරා විසිරී සිටින 110000කට අධික බාලදක්ෂ බාලක බාලිකාවන් මෙම කාලය තුළ බාලදක්ෂ සේවාවන් වල නිරත වෙති.
 
ඕනෑම අභියෝගයකට බාලදක්ෂයන් මුහුණ දෙන බවට සනාථ කරමින් මෙම කාලය තුළ විවිධ සේවා කටයුතු වල නිරත බාලදක්ෂයන් තුළ ශ්‍රමාභිමානය හා අවංක සේවයෙහි ඇති වටිනාකම පිළිබඳ ආකල්ප ඇති කිරීම සහ බාලදක්ෂ කණ්ඩායම් පවත්වා ගෙන යාම හා ඒවායෙහි ක්‍රියාකාරකම් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන අරමුදල් රැස්කිරීම සේවා මාසයෙහි ප්‍රධාන අරමුණ වේ.
 
බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය තුළින් බාලදක්ෂ දරුවන්ගේ ජීවිතයට අත්දැකීම් සමුදායක් එක් කරගැනීමට අවස්ථාවක් ලැබෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය අරඹමින් අරලිය ගහ මන්දිරයේ සේවා කටයුතුවල නිරත වූ බාලදක්ෂයින් වෙත පළමු සේවා කාර්ඩ් පත ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. 
 





2024 බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය ආරම්භ විය

ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික බාල දක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය මේ මස 01 සිට 31 දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 110,000 අධික බාල දක්ෂයන් මෙම කාලය තුළ බාලදක්ෂ සේවාවන්වල නිරත වීමට අපේක්ෂා කෙරේ.  අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. 

මෙම මාසය තුළ සේවා කාඩ්පත රැගෙන පැමිණෙන බාලදක්ෂ බාලක බාලිකාවන්හට සේවාවක් පවරමින් දායකත්වය සපයා දෙන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. තමන්ගේ ශ්‍රමය කැපකොට යම්කිසි වැඩ කටයුත්තකට සිය ශ්‍රමය ලබා දීමේ බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා ක්‍රියාවලිය ශත වර්ෂයකටත් වැඩි කලක් සිට අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. පාසල් දරුවන් එයට එකතු වෙමින්, එය ඉදිරියට ගෙන යාමට සෑම වර්ෂයකම බාලදක්ෂ කඳවුර පවත්වනවා. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහින් අත්දැකීම් සමුදායක් සිය ජීවිතයට එකතු කරගන්න දරුවන්ට අවස්ථාව ලැබෙනවා. එයට කැපවී සිටින බාලදක්ෂවරුන් හා බාලදක්ෂ බාලිකාවන් සියලු දෙනාටත්, බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කොට ඉදිරියට ගෙන යන කොමසාරිස්වරුන් ඇතුළු සියලු දෙනාටත් සුභ පතනවා
 
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් 
නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා.

2024 සේවා හා සම්බන්ධතා මාසය මේ මාසයේ 01 වැනිදා සිට ඇරඹෙනවා. බාලදක්ෂ දරුවන් ඔවුන්ගේ ශ්‍රමය භාවිතා කර ඔවුන්ගේ බාලදක්ෂ සමූහයටත්, දිස්ත්‍රික්කයටත් සංගමයටත් අවශ්‍ය කරන මුදල් වලින් කොටසක් උපයන්නයි මේ ව්‍යාපෘතිය කරන්නේ. එම නිසා දරුවන් ඔබේ නිවසට පැමිණි විට සහය ලබා දෙන්න යැයි ඉල්ලා සිටිනවා.

මූලස්ථාන කොමසාරිස්, ආචාර්ය අනිල් පෙරේරා මහතා බාලදක්ෂ සේවා හා සම්බන්ධතා මාසය වැඩසටහනේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන අතර මේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එස්. මුහීඩ්, ජාත්‍යන්තර කොමසාරිස් වෛද්‍ය රජීව පීරිස් මහත්වරුන් ප්‍රමුඛ බාලදක්ෂ කොමසාරිස්වරුන් හා බාලදක්ෂයන් පිරිසක් එක්ව සිටියහ.
 
 
Scout Service and Relationship Month began today. 

This is an opportunity for school children to gather a wealth of experience for their lives...
- Prime Minister Dinesh Gunawardena 

Presentation of the first service card to scouts, who have engaged in services at the Temple Trees marking the beginning of the National Scout Service and Relationship Month, was held under the patronage of Prime Minister Dinesh Gunawardena. 

The National Scout Service and Relationship Month organized by the Sri Lanka Scouts Association will be implemented from 1st to 31st of July, and more than 110,000 scouts throughout Sri Lanka expect to engage in scout services during this period.
Prime Minister further commenting at the occasion –

“The process of Scout service and relationship that donates one’s labour to a certain work has been implemented in our country for more than a century. School children joining in this process hold the Scout camp annually to maintain it.

Children get an opportunity to gather a wealth of experiences by travelling to a number of areas. I wish success to all scouts who are committed in that regard and to the Commissioner who take forward the scout movement by strengthening it.”
Chief Scout Commissioner Attorney at Law Mr. Janaprith Fernando-

“The Service and Relationship Month 2024 begins on 01st of July. This project is implemented by scouts utilizing their labour for earning a portion of the money required for the association, the district and for their scout group.”

Scout Commissioners led by Deputy Chief Commissioner M.S.S. Muheed, and International Commissioner Dr. Rajeewa Peiris, and a group of scouts joined this event. 
 

 
 
இலங்கை சாரணர் சங்கம் ஏற்பாடு செய்துள்ள "தேசிய சாரணர் சேவை மற்றும் தொடர்பு மாதம்" நாளை (01) ஆரம்பமாகவுள்ளது.
இதன்படி, ஜூலை (31ஆம் திகதி) வரை இந்த சேவை உறவுமுறை அமுல்படுத்தப்படவுள்ளதுடன், இலங்கை முழுவதுமுள்ள 110,000 இற்கும் அதிகமான சாரணர் சிறுவர் சிறுமிகள் இந்தக் காலப்பகுதியில் சாரணர் சேவைகளில் ஈடுபடவுள்ளனர்.
இந்தக் காலகட்டத்தில் சாரணர்கள் எத்தகைய சவாலையும் எதிர்கொள்ள நேரிடும் என்பதை உறுதிசெய்து, பல்வேறு சேவை நடவடிக்கைகளில் ஈடுபடும் சாரணர்களுக்கு கௌரவமிக்க வேலைகளையும், நேர்மையான சேவையின் மதிப்பையும் ஊட்டி, சாரணர் குழுக்களைப் பேணுவதற்குத் தேவையான நிதியைத் திரட்டி, அவர்களின் செயல்பாடுகள் மற்றும் திட்டங்களைச் செயல்படுத்துதலே சேவை மாதத்தின் முக்கிய விடயமாகும்.
இம்மாதத்தில் சேவை அட்டையுடன் வரும் சாரணர் சிறுவர் சிறுமிகளுக்கு சேவையை வழங்கி பங்களிக்குமாறு இலங்கை சாரணர் சங்கத்தின் பிரதம ஆணையாளர் சட்டத்தரணி திரு.ஜனப்ரித் பெர்னாண்டோ பொதுமக்களிடம் கேட்டுக்கொண்டார்.
 
 


 

Monday, June 24, 2024

තෙවැනි චාල්ස් රජු එංගලන්තයේ බාලදක්ෂ අනුශාසක ධූරයට

මහා බ්‍රිතාන්‍ය රාජකීයයන් හා බාලදක්ෂයන් අතර බැඳීම ඇත්තේ දීර්ඝ කාලයක සිටය. බී.පී.තුමා වෙත පැවති ඒ රාජකීය පිළිගැනීම හමුවේ බාලදක්ෂ ලෝකයට ලැබී ඇත්තේ මහත් ආලෝකයකි. රජුගේ බාලදක්ෂයන්, රැජනගේ සම්මානය සහිත බාලදක්ෂයන් බිහිවනුයේ ඒ ආකාරයෙනි. 
 
1909 නොවැම්බරයේදී VII එඩ්වඩ් රජු විසින් රොබට් බේඩන්-පවෙල්ගේ ඉල්ලීම අනුමත කරමින් පළමු පන්තිය සමත් (First Class Scouts) කාර්යක්ෂමතාව සඳහා විශේෂ පරීක්ෂණ සමත් වූ පිරිමි ළමයින් සඳහා "රජුගේ බාලදක්ෂයින්" ලෙස ශ්‍රේණිගත කළ යුතු බවට අවසර ලබාදුන්නේය. ඔටුන්නක් සහිත මෙම ලාංඡනයක් වම් කමිසයේ "රජ බාලදක්ෂයා" ලෙස සම්මානය සනිටුහන් කළේය. එංගලන්තයේ රාජාණ්ඩුව විසින් 1912 සිට මේ දක්වා බාලදක්ෂ කටයුතු වෙනුවෙන් අනුග්‍රහය ලබා දීමේ දීර්ඝ කාලීන සම්ප්‍රදාය අනුගමනය කරමින් IIIවන චාල්ස් රජු විසින් එංගලන්ත බාලදක්ෂ අනුශාසක ධූරය පිළිගත් බව බකිංහැම් මාලිගය විසින් නිල වශයෙන් වර්තාකර තිබේ. ඒ අනුව තවත් චිරාත් කාලයක් එංගලන්තය තුළ බාලදක්ෂ කටයුතු වෙනුවෙන් විශේෂ අවධානයක් සහ සැලකිල්ලක් හිමිවනු ඇති බව ඉඳුරාම පැවසිය හැකිය.

තෙවන චාල්ස් රජු එංගලන්තයේ බාලදක්ෂ අනුශාසක ධූරයට

බාලදක්ෂයන්ට එහි රාජකීය ප්‍රඥප්තිය පිරිනැමුණු අතර අති උතුම් ජෝර්ජ් රජු එංගලන්ත බාලදක්ෂ සංගමයේ ප්‍රථම අනුශාසක බවට පත් විය. මෙවර නව අනුශාසක ධූරයට පත් වූ IIIවන චාල්ස් රජුට පෙර, 70 වසරක පාලන කාලය සඳහා එම තනතුර දැරුවේ දිවංගත දෙවන එලිසබෙත් රාජිණිය විසිනි. මෙම අනුග්‍රහය සාමාන්‍යයෙන් පිළිබිඹු වන්නේ රාජකීය පවුලේ සාමාජිකයාන් විසින් බාලදක්ෂ කටයුතු වෙනුවෙන් දක්වන ගේ සහයෝගය නිරූපනය වේ. සියවසක් දිවෙන බාලදක්ෂ ඉතිහාසය පුරා, බාලදක්ෂ කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් පූර්ණ අනුග්‍රාහකත්වයක් සහ ආධාර ප්‍රමාණයක් ලබා දෙන අතර The Prince’s Trust ඇතුළු පුණ්‍යායතන රාශියක් හරහා බාලදක්ෂ තරුණ තරුණියන් වෙනුවෙන් අඛණ්ඩව ප්‍රමුඛත්වය ලබා දීම සිදු කෙරේ.


 
එංගලන්තයේ තෙවන චාල්ස් රජු, වින්ඩ්සර් හි රැජින/කිංග්ස් බාලදක්ෂ සම්මානලාභීන්ට සම්මාන ලබාදීම, විවිධ බාලදක්ෂ කණ්ඩායම් නැරඹීමට යෑම, කදවුරු සඳහා සහභාගීවීම ඇතුලු බොහෝ බාලදක්ෂ කටයුතු වලදී පූර්ණ දායකත්වයක් ලබා දෙනු ලබන දීර්ඝ කාලීන බාලදක්ෂ සහායකයෙකු ලෙස සැලකේ. එතුමාගේ මව වන දෙවන එලිසබෙත් රැජිනගේ අඩිපාරේ යමින්, III චාල්ස් රජු අනුග්‍රාහකයා ලෙස රාජාණ්ඩුවේ සම්ප්‍රදාය දිගටම පවත්වා ගැනීම වෙනුවෙන් අවධානය යෙදීම ඉදිරි බාලදක්ෂ කටයුතු සඳහා ලැබුණු දැවැන්ත ශක්තියක් ලෙස පැවසිය යුතුම වේ.
 

Friday, June 21, 2024

ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයට අමතක වී යන අමරණීය සැමරුම - 2024 ජුනි 02 දිනට යෙදෙන එෆ්.ජී.ස්ටීවන්ස් දිනය

දේශීය දරුවන් වෙත බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීමේ පුරෝගාමීයා වනුයේ එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය. එතුමා කළ ජාතික මෙහෙවර අගයන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ සෑම වසරකම ජුනි දෙවැනි දින ස්ටීවන්ස් දිනය සමරති. ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයට අමතක වී යන 2024 ජුනි 02 දිනට යෙදුණු එෆ්.ජී.ස්ටීවන්ස් දිනය නිමිතෙන් තබන සටහනකි.
 
SCOUTING MAGAZINE® - SRI LANKA | VOLUME 02 | ISSUE 02 | ISSN 2279-1310 | Page 5, 6
 
එෆ්.ජී.ස්ටීවන්ස් දිනය 2024 ජුනි 02 සැමරීම
 
ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස්, වයිට් ඊගල් වයිට් ඊගල් (02 ජුනි 1890) යනු, ඉංග්‍රීසි ජාතික එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් 1912 වසරේ දී ලංකා බාලදක්‍ෂ කටයුතු මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයෙන් ආරම්භ විය. ජුනි 02 දිනය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආදිකතෘ දිනය ලෙස සලකනු ලැබේ.  

එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ දියසායම් උඩුකය සිතුවම - Scouting Magazine 2වැනි කලාපය

ශ්‍රී ලංකාවට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දීම

එවකට ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වීම බාලදක්ෂ ව්‍යාපාරය මෙරටට හඳුන්වා දීමට ප්‍රබල හේතුවක් විය. ඒ 1912 වසර විය. එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (P W D) මාතලේ දිසා ඉංජිනේරැ පදවිය දැරෑ ඉංග්‍රිසි ජාතික ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාගේ නිල නිවසට යාබදව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය (birthplace of Scouting in Sri Lanka, Christ Church College, Matale) ඒ සඳහා තෝරා ගැනීම අහඹු සිදුවීමක් විය. මාතලේ තම නිල නිවසට යාබදව පිහිටි මාතලේ ක්‍රිස්තුදේව විදුහල තුළ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කිරීමට එතුමා තීරණය කළේය. අසල්වැසි ක්‍රිස්තුදේව විදුහලේ එවකට විදුහල්පති වශයෙන් කටයුතු කළ ඩී.ඒ.ජයසිංහ මහතා සමග එෆ්.ජී.ස්ටීවන්ස් මහතා සාකච්ඡා කළේය. පාසලේ රුස්වීමේදී ගුරැමණ්ඩලය හා සිසුන් අමතා බාලදක්ෂ ව්‍යාපාරය ගැන පැහැදිලි කළේය. එංගලන්තයේ රාජකීය හමුදාවේ ලුතිනන් ජනරාල් රොබට් බේඩ්න් පවෙල් මහතා විසින් ආරම්භ කරනු ලැබූ බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව හඳුන්වා දීමෙන් පසු පාසලේ සිසුන් තුළ බාලදක්ෂ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් ඇති විය. “සුදු රාජාලියා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මෙතුමාට එහි සේවය කළ හැකි වූයේ වසර 20 ක් පමණි. [3]

ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම

මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ දී ලක්දිව ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ස්ථාපිත කෙරිණ. ආර්.ඩී.කොටුවේගෙදර, ආර්.බී. කපුවත්ත, ජෝන් කරැණාරත්න, තම්බෝ නඩරාජා, ඒ.එම්.හමීඩ්, එම්.සහබ්ඩීන් සහ පීටර් බෝලින් යන සිසුවෝ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම් සාමාජිකයෝ වූහ. ඔවුහුසිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාතීන් නියෝජනය කළෝය. 1907 දී එංගලන්තයේ ඇරඹුණු බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර පහකට පසු අත්හදා බැලීමක් ලෙස සිය රාජකාරි විවේක කාලය තුළදී ක්‍රිස්තුදේව විද්‍යාලයේ දී ක්‍රියාත්මක විය.
 

මෙම විද්‍යාලය 1864 දී කුරුණෑගල රදගුරු පදවියේ පල්ලියේ මිෂනාරිවරුන් විසින් සොෆී මැකාති ආර්යාවගේ උයනේ (garden of Lady Sophie McCarthy) ක්‍රයිස්ට් චර්ච් පිරිමි ඉංග්‍රීසි ප්‍රාථමික පාසල (Christ Church Boys' English Elementary School) ලෙස ආරම්භ වී තිබේ. 1912 දී බ්‍රිතාන්‍ය මහාමාර්ග ඉංජිනේරුවරයෙකු වූ ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් විසින් පළමු ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම පාසලේ පිහිටුවන ලද බව පාසල් ඉතිහාස පොත්වල වාර්තා වී තිබේ. මෙම විද්‍යාලයේ සළකුණෙහි බාලදක්ෂ සලකුණ යොදා තිබීමද සුවිශේෂී වේ.

ප්‍රථම බාලදක්ෂ ආචාර්යවරයා

දේශීය දරැවන් වෙත බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වාදීමේ පුරෝගාමියා එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය. එතුමාගේ උපදෙස් මත ප්‍රථම බාලදක්ෂ ආචාර්යවරයා වශයෙන් ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොහොයුරා වූ එම විදුහලේම සේවය කළ ඩී.චාල්ස් ජයසිංහ මහතා පත්කරනු ලැබුවේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම බාලදක්ෂ නායකයා වන්නේ ඩී.චාල්ස් ජයසිංහ මහතාය.

එවකට ක්‍රිස්තුදේව විදුහලේ විදුහල්පති ඩී.ඒ.ජයසිංහ මහතාගේ පූර්ණ අවසරය හා අනුග්‍රහය ස්ටීවන්ස් මහතා වෙත ලැබුණි. පාසල් දරැ දැරියන් බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව දැනුම්වත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස දරැවන් කිහිප දෙනෙක් බාලදක්ෂයින් වීමට කැමැත්ත පළ කළහ. ඒ අනුව, ආර්.ඩී.කොටුවේගෙදර, ආර්.බී.කපුවත්ත, ජෝන් කරැණාරත්න, තම්බෝ නඩරාජා, ඒ.එම්.හමීඩ්, එම් බ්ඩීන් සහ පීටර් බෝලින් යන සිංහල දමිළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන්ට අයත් සිසුන් 08 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම ස්ථාපිත කෙරිණ.

එංගලන්තයේ පළ කෙරැණු Scouting For Boys නම් ග්‍රන්ථය ද The Scout නමින් පළවන සතිපතා සඟරාව උදවු කරගනිමින් පුහුණු කටයුතු කරගෙන යනු ලැබීය. බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ ව ලංකාව පුරා දැනුවත් කිරීමේ අරමුණින් සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් (Ceylon Independence) පුවත්පතෙහි සතිපතා බාලදක්ෂ ප්‍රවෘත්ති තීරයක් වෙන් කරගැනීමට ද හැකිවිය. බාලදක්ෂ ව්‍යාපාරයෙන් ලබන පුහුණුවෙන් හා එහි අරමුණු වලින් ප්‍රතිපත්ති ගරැක දරැවන් බිහි කරන්නට උත්සාහ ගත්තේය. පොත්පත් සඟරා ආදියෙන් ලබාගත් දැනුමින් ජාතික පුහුණු කිරීමේ ක්‍රමවේද ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ද එෆ්.ජී.ස්ටීවන්ස් මහතාය.

සමාජය තුළ ජීවමානව හා සක්‍රීය ලෙස බාලදක්ෂ ව්‍යාපාරය පවත්වා ගෙනයාමට ප්‍රචාරණය සහ ප්‍රවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් බව එෆ්.ජී.ස්ටීවන්ස් මහතා තේරුම් ගත්තේය. සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ස් පුවත්පතේ කතුවරයා සමග සාකච්ඡා කර සතිපතා පළවන බාලදක්ෂ ප්‍රවෘත්ති තීරයක් ආරම්භ කළේය. ඉන්පසු The Ceylon Scout නමින් ලංකාවේ තුළ මුද්‍රණය කළ ප්‍රථම නිල බාලදක්ෂ පුවත්පත නිකුත් කළේය. මෙම පුවත්පත් මඟින් මෙන් ම අනෙකුත් ජාතික පුවත්පත් මඟින් ද ව්‍යාපාරයේ අරමුණු හා ප්‍රතිපත්ති එළිදක්වමින් ද බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස බැඳෙන ලෙස ඉල්ලා එකල සිරිලක ප්‍රභූන් වෙත ආයාචනය කරමින් ද ලිපි පළ කරන ලද්දේ ය. මේ සඳහා බී.එ්.ආර්. හියුස් මහතාගේ දායකත්වය අතිමහත් වේ. ගරු ජේ.ටී.ස්මෝල් (Rev.J.T.Small) දේවගැතිතුමාගේ ද ජේසු නිකායික ගරු සී.රිචඞ් (Rev.C.Reichard) පියතුමාගේ ද රජයේ රස පරීක්ෂක සී.ටී.සීමන්ස් (C.T.Symonds) මහතාගේ ද සහයෝගය එතුමාට ලැබිණ.

බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය.  
 
1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ.

සමස්ත ලංකා ප්‍රථම බාලදක්ෂ රැළිය

කොළඹ හැව්ලොක් තුරග තරග පිටියෙහි 1917 දී පැවති සමස්ත ලංකා ප්‍රථම බාලදක්ෂ බටහිර දිසාරැළිය මෙරට බාලදකෂයින්ට නවමු අද්දැකීමක් විය. මේ වන විටත් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත ආණ්ඩුව විසින් මෙසපොතේමියාවේ යුද සේවය කැඳවා තිබූ අතර යුද සේවය නිමා වූ වහා නැවතත් ලංකාවට පැමිණ යළිත් බාලදක්ෂ කටයුතු කෙරෙහි අවධානය යොමුකරනු ලැබුවේ ය. ඒ වන විටත් දේශීය වශයෙන් පරිනත පුහුණුවක් ලැබූ නායකයින් ගණනාවක් මෙන්ම බාලදක්ෂ සමූහ ගණනාවක් ද දිවයින පුරා ආරම්භ වී ඉතා දියුණු මට්ටමකින් පැවති බව බාලදක්ෂ ඉතිහාසයේ සදහන් වේ. නවවසරක රාජකාරියෙන් පසුව ලද නිවාඩුවෙන් පසු එංගලන්තයට ගිය එතුමා ග්ලැඞ්ස් ක්‍රොක්වෙල් (Gladys Crockwell) මෙණෙවිය හා විවාහ වී 1920 දී යළිත් ලංකාවට පැමිණියේ ය.

ලෝක සංචාරයේ යෙදුනු බේඩ්න් පවෙල් යුවල පිළිගැනීම 
 
1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම ජාතික උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ මහත් හරසරින් සංවිධානය කළේ එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ උපදේශකත්වයෙනි. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ පැවති රැළියෙන් අනතුරු ව බොහෝ හැල හැප්පීම් මධ්‍යයේ යටතේ එෆ්. ජී. ස්ටීවන්ස් මහතා විජිත කොමසාරිස් ධුරයෙන් ඉල්ලා අසු වූ අතර එම වකවානුවේදී එතුමා ලංකා බාලදක්ෂ කටයුතු සම්බන්ධයෙන් බොහෝ කණස්සල්ලෙන් ද සිටි බව වාර්තා වේ. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’ [4] සම්මානය ද ප්‍රදානය කරන ලද්දේ ය. ඒ් වන විට ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි පසුබිම බෙහෙවින් වෙනස් වී තිබිණ.[5]

පසුව මෙතුමා නැවත 1939 දී ගිහි සංගමයේ සභාපතීත්වයට පත්විය. මෙම වකවානුවේ දී ජාතික බාලදක්ෂ මූලස්ථානය විසින් එතුමා ගරු ප්‍රධාන කොමසාරිස් වශයෙන් ද පත් කරනු ලැබූ අතර ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු යටත් විජිත ප්‍රධාන කොමසාරිස් වරයා වන්නේ ද මෙතුමා ය. කෙසේ හෝ ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩාම පෙර තිබු උද්යෝගයෙන් අඛණ්ඩ ව පවත්වාගෙන ගොස් ඇති බව එම කණ්ඩායමේ පැරණි ලොග් සටහන් වලින් පෙනේ. 1940 වර්ෂයේ දී එෆ්.ජී.ස්ටීවන්ස් මහතා එම කණ්ඩායම නැරඹීම සදහා ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පැමිණි අතර එය විද්‍යාලීය බාලදක්ෂ ලොග් පොතේ අත්සන් සහිත ව සටහන් තබා තිබේ. 1940.07.30 දින තබන ලද ලොග් සටහනකින් කියවෙන්නේ එතුමාට ගෞරව පිණිස එදින පාසලේ දරුවන් අමතා කතා කිරීමට ද එතුමාට අවස්ථාව උදා වී තිබේ.

ශ්‍රී ලාංකීය ප්‍රථම බාලදක්ෂ කොමසාරිස් මෙන් ම ක්‍රිස්තු දේව බාලදක්ෂ සමූහයේ නිර්මාතෘතුමා වශයෙන් ද එතුමා සිහිකිරීම පිණිස එම විද්‍යාලෙයහි ඉදිකල බාලදක්ෂ උයනෙහි එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ උඩුකය ප්‍රතිමාවක් ද ඉඳිකර තිබේ. එතුමන් වෙනුවෙන් ලංකාවේ ඉදි වූ ඒකම සිහිවටන ප්‍රතිමාව ද මෙය වේ. මෙම නිර්මාණය මාතලේ හිටපු බාලදක්ෂ කොමසාරිස් රෙජිනෝල්ඩ් විල්සන් මහතාගේ ය.

රට පුරා පැවති සියළු ම බාලදක්ෂ ගිහි සංගම්වලට යමින් සහ ඒවායේ පවතින අඩුපාඩු අවම කර ගැනීමට සහාය වෙමින් බාලදක්ෂ මූලධර්ම අනුව ම බාලදක්ෂ කණ්ඩායම් මෙහෙයවීම සඳහා නායකයන්ට උපදෙස් දෙමින් ද 1945 වසරේ දී නැවත එංගලන්තය බලා යන තුරු ම ඉතා ප්‍රශංසනීය ආදර්ශවත් සේවාවක් කරන්නට එතුමාට හැකි විය. 

වැඩිදුර කියවීමට
Big Chief White Eagle - සුදු රාජාලියා  
 

Tuesday, June 18, 2024

මිහිරේ මිහිරි ගමනක අවසානය "☉" මම ගෙදර ගියෙමි - බාලදක්ෂයන්ගේ ආචාරය!

මෙරට පත‍්‍ර කලාවේ ස්වර්ණමය අවධිය 1960 දශකය විය. කලාවේදීන්, කතුවරුන් හා පාඨකයන් අතර ගනුදෙනුව ප‍්‍රශස්ත මට්ටමකට පත් ව සැමගේ නිම්වලලූ පුළුල් වූ කාලයක් විය. දවස නිවසේ ආරම්භය (1960) හා ඇත්ත පත‍්‍රයේ ආගමනයට (1964) අමතරව ප‍්‍රධාන පෙළේ පත‍්‍ර සමාගම් වෙතින් වාරික ප‍්‍රකාශන ගණනාවක් එළිදුටුවේ ද එම දශකයේදීය. මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඩී.ආර්.විජේවර්ධන මහතා විසින් ලේක්හවුස් ආයතනය පිහිටවනු ලබන්නේ වර්ෂ 1926 දී ය. සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (Associated Newspapers of Ceylon Limited - ANCL) හෙවත් ලේක්හවුස් (LakeHouse) ආයතනය මෙරට ක්‍රියාත්මක වන ප්‍රමුඛතම පුවත්පත් ආයතනයක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමානයේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රකාශන නිකුත් කරනු ලබන මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන ආයතනය විය. 1973 අංක 28 දරණ විශේෂ විධිවිධාන පනත ප‍්‍රකාරව ලේක්හවුස් ආයතනයේ කොටස්වලින් 75% ක ප‍්‍රමාණයක් රජයට පවරා ගන්නා ලදි. ඒ අනුව වර්තමානයේ දී මෙම ආයතනය රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පවතින පුවත්පත් ආයතනයක් ලෙස ක‍්‍රියාත්මක වේ. 
 

නාලක ගුණවර්ධනයෙඋපුටා ගැනීමක්....
ලේක්හවුස් ආයතනයෙන් සරසවිය, මිහිර, තරුණි හා සුබසෙත වැනි සතිපතා පත්තර ආරම්භ කෙරුණා. ඒ අනුව මිහිර පුවත්පත ආරම්භ කරන ලද්දේ 1964 වර්ෂයේදීය.
 
1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට මතක තිබෙන බලපෑමක් කළේ ළමයින්ට කැපවුණු පත්තර කීපය අතරින් එකක් වූයේ මිහිර ළමා පුවත්පතයි. 1964 ජූලි 27 අරඹන ලද මේ සතිපතා පත්තරයට වසර 50ක් පිරුනේ ගිය මාසයේයි. මිහිර මා දැන හඳුනාගත් හා නිතිපතා කියැවූ මුල් ම පත්තරය නිසාවෙන් මිහිර ගැන ඇත්තේ සුමිහිරි මතකයකි. මිහිර බිහි වන විට මා ඉපදී සිටියේ නැහැ. මගේ පියා මට මුල් වරට මිහිර පිටපතක් ගෙනැවිත් දෙන විට මගේ වයස අවුරුදු තුන හමාරක් පමණ වන්නට ඇති. 1969 අගදී.

පින්තූර බලමින් අමාරුවෙන් වචන ගලපා ගනිමින් නමුත් මහත් උද්‍යොගයෙන් මා මිහිර කියවූවා. මිහිර මගේ නිම්වළලූ පුළුල් කළා. මට නව ලෝකයක් විවර කළා. පසු කලෙක මා දැන ගත්තේ මගේ සමවයස් කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද මේ අත්දැකීම ලැබූ බවයි. මිහිරේ පරිකල්පනය හා වින්දනය රැගෙන ආ දෙආකාරයක නිර්මාණ තිබුණා. දෙස් විදෙස් සංස්කෘතීන්ගෙන් උකහාගත් විවිධාකාරයේ ළමා කථා, ප‍්‍රවාද, උපදේශ කථා හා සුරංගනා කථා පළ වුණා. මේවා බොහොමයකට මුල් යුගයේ චිත‍්‍ර ඇන්දේ හරිප‍්‍රිය ගුණසේකරයි. පසු කලෙක නෙයෙල් ලසන්ත ද එයට එක් වුණා.

Mihira children’s newspaper first issue – 27 July 1964

අද මෙන් ඕෆ්සෙට් මුද්‍රණ තාක්‍ෂණය නොතිබි 1960 හා 1970 දශකවල ඔවුන් වර්ණ සංයෝජනය කරමින් එවක පැවති ලෙටර්ප්‍රෙස් මුද්‍රණ ක‍්‍රමයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. (ලේක්හවුස් ආයතනය ඕෆ්සෙට් තාක්‍ෂණයට මාරු වූයේ 1981දී.)

එකල මිහිරට නිතර ලිපි සැපයූ ලේඛකයන් අතර දෙල්තොට චන්‍ද්‍රපාල, පර්සි ජයමාන්න, තුසිත මලලසේකර මුල් තැනක් ගත්තා. පියසේන රතුවිතාන විටින් විට කවි කථා ලියුවා. එල්. සී. ජයසිංහ යන ආරුඪ නමින් ලේක්හවුස් පුවත්පත්වලට ලියූ හෙන්රි තෙන්නකෝන් ද කලක් ළමයින්ට උචිත විකට කථා මාලාවක් මිහිරට රචනා කළා.

දැනුම් ලෝකයෙන් විසිතුරු තොරතුරු නිතරම මිහිරට ගෙනා ලේඛකයකු වූයේ එඞ්වින් ආරියදාසයි. අභ්‍යවකාශ ගවේෂණය, තාරකා විද්‍යාව, නව නිපැයුම්, ලෝක ප‍්‍රවෘත්ති අතරින් වැදගත් සිදුවීම් ආදිය ගැන සරල හා රසවත් ලෙස ඔහු ළමුන් සඳහා කථා කරන සිංහලෙන් ලිපි රචනා කළා. ඔහුගේ ලිපිවල හෙඩිම් සමහරක් මට තවම මතකයි. අහසේ තරු ගැන ලියන විට ‘තාරකා ලස්සනයි: ගන්න බෑ – දෙන්න බෑ’ කියා තිබුණා. හෙලිකොප්ටරයේ ඉතිහාසය ඔහු විග‍්‍රහ කළේ ‘එදා බමරේ – අද හෙලිකොප්ටරේ’’ වශයෙන්.

මෙරට මාධ්‍ය හරහා පාරිසරික සන්නිවේදනයේ පුරෝගාමියකු වූ ආරියදාස සූරීන් 1970 දශකය මුලදී ලොව පුරා පැන නැගී ආ පරිසර සංරක්‍ෂණ උනන්දුව ළමා පාඨකයන්ට පහදා දුන්නේ නවීන විද්‍යා දැනුමත් දේශීය සොබා සම්පත් රැක ගැනීමේ උරුමයත් සංකලනය කරමින්.

වැඩිහිටියකු සමග වනසතුන් බලන්නට වනාන්තරයකට යන අයියා හා නංගී කෙනකුගේ චාරිකා කථාවක් සති ගණනාවක් තිස්සේ මිහිරේ පළ වුණා. එවන් ගමනකදී ගැලපෙන ඇඳුම්, නිසි ප‍්‍රවේශම්කාරි පියවර හා චර්යා රටා ගැන කතාන්දර ස්වරූපයෙන් කියා දුන්නා. මේ කථා මාලාවේ එක් කොටසක හෙඩිම වූයේ ‘‘ශබ්ද නොකර හෙමින් එන්න’’ යන්නයි. (වසර 40කට පසුවත් එය තවමත් මට මතකයි.)

මිහිර ගැන මිහිරි මතක 

මේ කථා ලියා තිබුණේ ‘විජේ මාමා’ නමින්. එහි රචකයා සුප‍්‍රකට කාටුන් චිත‍්‍රශිල්පි ඩබ්ලියු. ආර්. විජේසෝම බව මා දැන ගත්තේ වසර ගණනාවකට පසුව ඔහුත් මාත් උපාලි පුවත්පත් සමාගමේ එකට වැඩ කළ අවධියේයි. වනජීවීන්ට මහත් සේ ඇලූම් කළ ඔහු, විවේක ඇති හැම විටකම පාහේ කැමරාවකුත් රැගෙන වනාන්තර ප‍්‍රදේශවලට යාමට පුරුදු වී සිටියා. ඔහු මිහිරට කථා ලියා තිබුණේ තමන්ගේ දරුවන් කුඩා වියේදී වන චාරිකාවලට ගෙන ගිය අත්දැකීම් මතයි.

මා කියවන කාලයේ මිහිර විෂය මාලාවට සෘජුව අදාල ලිපි පළ කළේ නැතත්, විද්‍යා සිසුන්ට උපකාර වන අමතර කියවීම් ලෙස විද්‍යා ලිපි එහි හමු වූවා. වසර ගණනක් ‘විද්‍යාමාමා’ ලෙස ලියූ කේ. ආරියසිංහයන් හා තවත් අමතර විද්‍යාලිපි සම්පාදනය කළ තිලක් වීරසිංහයන් යන දෙදෙනාම දක්‍ෂ විද්‍යා ගුරුවරුන්.

පෘථිවියේ දිගු ජෛවීය පරිනාම ඉතිහාසයේ බිහි වී පසු කලෙක වඳවී ගිය ප‍්‍රාග්ඓතිහාසික ජීවින් ගැන විසිතුරු ලිපි පෙළක් මිහිරේ පළ වුණා. විවිධ ඩයිනසෝර් විශේෂ හා අනෙකුත් ආදි සත්ත්වයන් ගැන ජීවිත කාලයක් පවතින උනන්දුවක් මගේ මනසේ ඇති කළ මේ ලිපි ලියුවේ කවුදැයි මට දැන් සිහියට නගා ගත නොහැකියි.

අද මෙන් දැනුම පොතපත සුලබ නොවූ, ඉන්ටර්නෙට් නොතිබි එකල අපට මේ දැනුම බෙදා දෙන්නට මිහිරේ ලේඛක ලේඛිකාවන් ගත් උත්සාහය ඉතා වටිනවා. මේ තරම් දස්කම් තිබූ පිරිසක් මිහිර වටා ඒකරාශී කර ගන්නට එහි කතුවරුන්ට දක්‍ෂකමක් හා කැපවීමක් තිබුණා.

මිහිර කියවූ අපේ සිත් වඩාත්ම ඇද ගත්තේ ඇස්. ඒ. දිසානායක චිත‍්‍ර ශිල්පියා නිර්මාණය කළ අසාමාන්‍ය ගණයේ චිත‍්‍රකථායි. මිහිර ආරම්භයේ පටන් ඔන්න බබො නම් වූ මහ දිග චිත‍්‍රකථාවක් ඔහු වසර 15ක් පමණ සතිපතා ඇන්දා. බූ, බබා හා තුල්සි නම් එඩිතර දරුවන් තිදෙනෙකුගේ වික‍්‍රම ගැන කියවෙන ඔන්න බබො කථාව අප අපූරු පරිකල්පන ලෝකයකට රැගෙන ගියා. හොඳ හා නරක අතර නිරන්තර අරගලය මේ කථාවෙන් සංකේතවත් වූයේ පොඩියක්වත් බණ කියන ඔවදන් ශෛලියක් නොවී ඉතා සියුම් ලෙසින්.

ඔන්න බබො චිත‍්‍රකථාවට අමතරව දිසානායක සූරින් යෝධයා හා පඬිතුමා නම් හාස්‍යජනක චිත‍්‍රකථාවක් ද, ලෙඩ සුව කිරීමේ හාස්කම් තිබූ ඕලූ නම් දැරියක් වඩා ගෙතුණු ඕලූ චිත‍්‍රකථාව ද මිහිරට ඇන්දා.

දිසානායකයන් තරම් මිහිරේ තම නිර්මාණ සළකුණු රැුඳවූ තවත් ශිල්පියකු මට සිතා ගත නොහැකියි. මුල් යුගයේ මිහිර ගැන ආවර්ජනය කරන බොහෝ දෙනා වැඩිපුරම කථා කරන්නේ ඔහුගේ කථා ගැනයි. එදා මෙදා තුර වසර 50ක් තිස්සේ ඔහු තවමත් මිහිරට කථා අඳිනවා. මෙය සුවිශේෂී සබඳතාවක්. ඔහු ගැන අප වෙනම යළිත් කථා කළ යුතුයි.

1970 දශකය මුල යම් වකවානුවක කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා ද මිහිර ඔප කළේය. ඒ ටික්කා නම් හාස්‍ය චිත‍්‍රකථා නිර්මාණයෙන්. කටකාර කොලූගැටයකු වන ටික්කාට පැහිච්ච කථා කියන්නට සමත් පැටෝ නම් සුරතල් ගිරවකු සිටිනවා. මේ දෙදෙනා ළමා ලෝකයේ කෝණයෙන් වැඩිහිටි ලෝකය දකින හැටිත්, සියුම් ලෙස වැඩිහිටියන් කරන දේ සරදමට ලක් කරන සැටිත් ටික්කා කථාවේ මූලික හරයයි.

චිත‍්‍රකථා නිසා ළමා මනස මොට වනවා හා දුෂණය වනවා යයි බිය පහළ කළ අපේ බක පණ්ඩිත සුචරිතවාදීන්ට දිසානායක හා කැමිලස් දෙපළ මිහිරෙන් ඉතා හොඳට පිළිතුරු දුන්නා. මිහිර අසිිරිමත් කළේ මෙසේ කෘතහස්ත ලිපි රචකයන් හා චිත‍්‍ර ශිල්පීන්ගේ ඒකරාශී වීමයි. මිහිරේ සිතුවම් හැඩ වූයේ කනංකේ කේ. ප්‍රේමචන්ද්‍ර, කුමුදු තාරක, ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ වැනි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් අතිනි. ළමා මනසට ගැලපෙන ලෙසින් බොහෝ දේ හරබරව ඉදිරිපත් කිරිමට ඔවුන් සමත් වුණා. එයට සමාන්තරව මිහිර නවක ලේඛකයන්ට ද අතහිත දුන්නා. පාසල් දැරියන්ගේ නිර්මාණවලට එහි ඉඩ තිබුණා. මගේ ජීවිතයේ පළමු වතාවට පුවත්පතකට මා ලියූ නිර්මාණයක් පළ වුයේ මිහිර පත‍්‍රයේයි.

කොළඹ අශෝක විද්‍යාලයයේ තුන්වන ශ්‍රේණියේ සිසුවකු ලෙස මා ලියූ කවි පංතියක් 1975 ඔක්තෝබර් මස මිහිර පත‍්‍රයක පළ වුණා. ඔරලෝසුවක් ළමයකු දකින ආකාරය කැටි කර ගත් එය පළ වීමෙන් මා අතිශයින් උද්දාමයට පත් වූ සැටි මතකයි. ඉන් පසු මා ලියූ කෙටි රචනා හා කවි රැසක් මිහිරට යැවූ අතර ඉන් සමහරක් විටින් විට එහි පළ කරනු ලැබුවා. (එහෙත් මා නිතිපතා මාධ්‍යවලට ලිවීම අරඹා එයට ගෙවීමක් ද ලැබුවේ මිහිරට තරගකාරිව 1980දී අරඹන ලද විජය පුවත්පතින්.)

මිහිර දැනුම කෝෂ්ටාගාරයක් බවට සීමා නොවී ළමා මනස පරිකල්පනයෙන් ද සරු කළ බව මගේ අදහසයි. අවසාන විනිශ්චයේදී දැනුමටත් වඩා වටින්නේ පරිකල්පනයයි. දැනුම ගවේෂණයට අතහිත දෙන විශ්වකෝෂ, පාඨමාලා හා CD/DVDවලට වඩා මිහිර සුවිශේෂී වූයේ මේ නිසායි.

මිහිර ගැන මා මතක් කලේ හුදෙක් අතීතකාමය සඳහාම නොවෙයි. ලක් සමාජය ජනමාධ්‍යවලට වඩාත් සමීප වීම ඇරැඹුණේ 1960 ගණන්වලදී. එහි එක් අතුරු ඵලයක් වුයේ මාධ්‍ය හරහා ජනප‍්‍රිය සංස්කෘතියක් බිහිවීම. එයට එක් උදාහරණයක් නම් සතුට, සිත්තර වැනි චිත‍්‍රකථා පත්තර හරහා පැන නැගී කලකට පසු බැස ගිය චිත‍්‍රකථා උන්මාදය.

තමන්ට ආවේණික වූත් අහිංසකවූත් බලපෑමක් කරන්නට මිහිර පත‍්‍රයට හැකිවුණා. මිහිර කියවමින් අකුරු කළ හා ලෝකය හඳුනාගත් මුල් පරම්පරාවේ ඇත්තෝ අද මේ රටේ ලොකු තැන්වල සිටිනවා. ඔවුන්ගේ සංස්කෘතික පොදු සාධකය මිහිරයි. ඔන්න බබො හා යෝධයා වැනි චරිතයි.

පත්තර සංඛ්‍යාව ඉහළ ගිය 1980 දශකයෙන් පසු මෙබඳු පොදු බලපෑමක් තනි ප‍්‍රකාශනයකට කළ හැකියාව ද අඩු වුණා. පත්තර මහගෙදරින් කළ මතක සිටින ලොකු වැඩක් හැටියට 50 සපිරුණු මිහිර පත්තරය සිහිපත් කළ හැකියි.

Mihira 50th anniversary issue – 28 July 2014
 
මංජුල දිසානායකගෙන් තවත් උපුටා ගැනීමක්.... 
සුබසෙත කර්තෘ පදවියට පත් අජිත් අයියා පසු මිහිර කතු පදවියට පත් ජගත් හේවාපන්න මහතාට මිහිර නගා සිටුවීමට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු විය. ඒ අභියෝගය සාර්ථකව බාරගත් ඔහු ඒ වෙනුවෙන් සුවිසල් පියවරක් කීපයක්ම තැබීය. කොවිඩ් සමයේ පවා මිහිර මුද්‍රණය කිරීමට අපට හැකි වූයේ ඒ නිසා ය. ඉන් ටික කළකට පසු ජගත් අයියා විශ්‍රාම ගත්තේ ය. මිහිරේ අනාගතය ගැන ඒ වන විටත් අපට පැහැදිළි චිත්‍රයක් මැවී තිබිණි. ජගත් අයියා විශ්‍රාම ගත් පසු පත්තරේ නැත්තට නැතිවන ඉඟි ඒ වන විටත් පෙනෙමින් තිබිණි. ඊටත් පෙර අපට සිටි හොඳම විශේෂාංග ලේඛිකාවක වූ ඉරූෂා අදිසි හස්තයකින් මාරු කරනු ලැබ අවසානයේ පත්තර රස්සාවට සමු දුන්නාය. නියෝජ්‍ය කතුවරිය වූ ආත්මාට තනතුර අහිමි විය. හිටපු සභාපතිවරයකුගේ අනුහසින් කොහේදෝ සිට නියෝජ්‍ය කතුවරියක් අහසින් පහත් විය. එතැන් සිට මිහිර වල්මත් විය. එතැන් සිට මිහිරේ ගමන ගැන කතාකිරීමෙන් පලක් නැත. පාලකයන්ගේ ගො බ්බ තීරණ හේතුවෙන් වසර 70කට ආසන්න කාලයක් රටට දරුවන්ට දැනුම බෙදූ වටිනා පුවත්පතක් එලෙස ඉතිහාසයට එක් විය.
 
කාලයට ගැළපෙන ලෙස මිහිරේ හැඩය වෙනස් කරමින් දිගු ගමනක් පැමිණි මිහිරේ මිහිරට කණ කොකා හඬන්නට වූයේ පත්තර ගැන නොදත් පාලනාධිකාරින් ලේක්හවුසියට පත් වීමත් සමඟ ය. දේශපාලන පළිගැනීම්වලින් මාරු කෙරෙන අයගේ තාවකාලික නවාතැන්පළක් බවට මිහිර කර්තෘ මණ්ඩලය පත් විය. මිහිරේ උන්නතිය වෙනුවෙන් යෝජනා කළ අදහස් බොහොමයක් කුණු කූඩයට එක් විය.
 
දශක ගණනක් මෙරට දුවා දරුවන්ගේ දැනුම් තක්සලාව බවට පත් වූ ‘මිහිර’ පුවත්පත අවසන් ගමන් යයි
 
 
1964 ජූලි 27 වැනිදා එළිදැක්වුණු පළමු මිහිර පුවත්පත සඳහා මහින්ද කරුණාරත්න, හරිප්‍රිය ගුණසේකර, නිව්ටන් පින්තු සහ අනුලා ද සිල්වා දායක වූහ. එදා එලෙසින් එළිදුටු පළමු පුවත්පතේ පටන් මිහිර ළමා ළපටින්ට සැබැවින්ම මිහිරක් ගෙන දුන්නේය. ආරම්භක මිහිර පත්‍රයේ මිල සත 25ක් විය. මුල් පිටුව හැඩ වූයේ දළදා පෙරහරේ වර්ණ සිතුවමකිනි. කතුවැකිය පළවූයේ මුල්පිටුවේය. එය කලක් යනතුරුම එසේම විය. වත්මනෙහි පුවත්පතක කතුවැකිය ලියැවෙනුයේ පත්‍රයේ ප්‍රධාන කතුතුමා අතිනි. එහෙත් දෙවැනි මිහිර පත්‍රයේ පටන් මිහිර කතුවැකිය ළමා කතුවැකියක් බවට පත්විය. එම ළමා කතුවැකි ළමා පරපුර යහමඟ යැවීම සඳහා දෙන ඔවදන්වලින් සමන්විත වූයේය. මේ කතුවැකි බොහෝවිට ලියා එවනු ලැබූයේ පාසල්වල ආචාර්යවරුන් විසිනි. එසේම සාමණේර භික්ෂූන් වහන්සේ අතින් මෙන්ම සිසුන් අතින් ද මේ කතුවැකිය හැඩ විය.
 
සිළුමිණ ළමා පිටුවෙන් ආරම්භ වූ ‘කමලක්කාගෙන් අහන්න තීරය’ මෙන්ම මිහිර ආරම්භ කළ කමලා ළමා සමාජය ද ළමයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේය. ‘මා ආදරණීය පුතේ’, මුහ‍ුදෙන් එතෙරට, විද්‍යා මාමාගේ විද්‍යා, විද්‍යාගාරය, කැකිල්ලේ රජ්ජුරුවන්ගේ විත්ති, ඉංග්‍රිසි පාඩම යනාදී ලෙසින් මිහිරට එක්වූ විශේෂාංග දරුවන්ගේ දැනුම පෝෂණය සඳහා බෙහෙවින් ඉවහල් විය. ළමා කවි නිර්මාණය සඳහා මුල් පත්‍රයේ සිටම දරුවනට ඉඩහසර සැලසුණු අතර ළමා නිර්මාණ කුසලතා වර්ධනය සඳහා දිරිදෙමින් ළමා රචනා තරග ද මුල්ම පත්‍රයේ සිට ආරම්භ කර තිබිණි. එකල රචනා තරගයේ මුල්ම ත්‍යාගය රුපියල් 75ක් විය. 
 
දැනුම දියුණුවට අමතරව දරුවන් සඳහා රසවත් කතා ද වර්ණ පිටු මඟින් සිතුවම් සහිතව ඉදිරිපත් කෙරුණු අතර දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් ලියූ ලිපි ද බොහෝය. මුල සිට ම ප්‍රහේලිකාවක් ද, ක්‍රීඩා තොරතුරු, සතුන් ගැන තොරතුරු සහ අපේ රට ගැන දැනුම දෙන ලිපි, ළමා කතා, පාසල් පුවත්, චිත්‍ර ඇඳීමේ පාඩම්, ළමා තරග එකල තිබූ අටවැන්නේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ලිපි පෙළක් ළමා මානසික සංවර්ධනය සඳහා අවශ්‍ය ලිපි යනාදී ලෙසින් කලින් කලට විවිධත්වයෙන් යුත් විශේෂාංග මඟින් මිහිර දරුවන් ආහ්ලාදයට පත් කළේය. ඉතිහාසයක් නොමැතිව අනාගතයක් ගොඩනොනැ‍ඟෙන්නා සේ මිහිර එදා සිටම හෙළ විරුවන් පිළිබඳව ළමා දැනුම පෝෂණයට මිහිර පියවර ගත්තේය. එදා එලෙස ආරම්භ වූ මිහිරේ පළමු පත්‍රයේ පිටපත් ලක්ෂයකට වැඩියෙන් අලෙවි වූ අතර සත විසිපහේ දැනුම කෝෂය යන නම එදා මිහිරට පට බැඳුණේය.

මිහිරට එකතු වූ බාලදක්ෂයෝ
 
මිහිර පුවත් පතට තරඟකාරී ලෙස විජය පුවත් පත කරළියට එක් වූවද ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් වසර 30කට වැඩි සේවයක් කරනු ලැබුවේ විජය බාලදක්ෂ කඳවුර විසින් බව නොරහසකි. සිඟිති, පෝතක, බාලදක්ෂ දරුවන්ට සිය හසුරු කුසලතා වර්ධනය කර ගැනීමටත්, බාලදක්ෂ ව්‍යාපාරය දේශීය ළමා පරපුරට සමීපව කටයුතු කිරීමටත් ලබා දී ඇති අමිල සේවය වචනයකින් හෝ අගය කිරීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මේ දක්වාත් කටයුතු කර නොමැත. පසුගිය වසර කීපය තුළදී මිහිර පුවත් පත විසින් කාලයට ගැළපෙන ලෙස මිහිරේ හැඩය වෙනස් කර ගැනීමත් සමඟ බාලදක්ෂ කටයුතු වෙනුවෙන් ද ඉඩක් වෙන් කරනු ලැබූ අතර ජාතික මූලස්ථානයේ මාධ්‍ය අංශයේ ආශිර්වාදය ඇතිව විවිධ බාලදක්ෂ නායකයන් විසින් ලිපි ලිවීම සිදුකෙරිණ. 
 
 
පුවත්පත් වාර්තාකරුවකු හා මාධ්‍යව්දියෙකු ලෙස කටයුතු කල නුවන් කොඩිකාර මහතා බාලදක්ෂ කටයුතු සඳහා එක්කර ගැනීමත් සමඟ මිහිර පුවත් පතේ බාලදක්ෂ කටයුතු සඳහා වැඩි ඉඩක් වෙන් විය. ඒ අනුව පසු ගිය වසරක පමණ කාලය පුරාවට මුද්‍රණය වූ පුවත් පත් තුළ බාලදක්ෂයන් සඳහා පිටුවක පමණ ඉඩක් වෙන් කරනු ලැබිණ.

ජාතික බාලදක්ෂ මූලස්ථානයේ නිල මාධ්‍ය පුවත් පත ආකාරයෙන් කටයුතු කරනු ලබන බව පෙනෙන්ට ඇති මිහිර පුවත් පතේ බාලදක්ෂ තීරය වෙනුවෙන් පමණක් ජාතික බාලදක්ෂ මූලස්ථානයේ නිල මුහුණු පොතේ නිරන්තරව ඉඩක් වෙන් කෙරේ. මෙවර ජම්බෝරියේද මිහිර වෙනුවෙන් වැඩි ඉඩක් හා පෙළගැස්මක් වෙන්කර තිබෙනු දක්නට ලැබිණ.  කිනම් කරුණක් නිසාවෙන් හෝ විජය බාලදක්ෂ කඳවුර වෙනුවෙන් ඒ ඉඩකඩ වෙන් නොකරීමට තරම් සිත් නොදෙන්නේ මන්ද යන්න අපට ඇත්තේ කණගාටුවකි.
 
හිටපු ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රසේන බටුවන්ගල මහතා නොවන්නට ජාතික බාලදක්ෂ මූලස්ථානයක් ඉදි නොවන්නා සේම එතුමාගේ දූරදර්ශී අදහසක් නොවන්නට ස්කවුටිං සඟරාවක්ද බිහි නොවන්නට ඉඩ තිබිණ. එතුමාගේ පූර්ණ ආශීර්වාදය හා සහයෝගය නොවන්නට එය ආරම්භ කල ස්ථානයේම නවතින්නට ද ඉඩතිබිණ. කෙසේ හෝ scouting සඟරාව පවත්වා ගැනීම වෙනුවෙන් සෙසු සියල්ලන්ගෙන්ම උදව් උපකාර ඉල්ලා සිටියද කිසිවෙකුත් ඊට උදව් නොකල බව සැබෑය. පිටුපුරා මුහුණු යෙදූ ඇතැම් නායකයන්ද රස කර යෙදූ කතාන්දර ද හැරෙන්නට සෙසු පිටු අතිශය බරසාර මෙන්ම නොදුටු බාලදක්ෂ ඉතිහාසය හා නොලිය වුණු බොහෝ විෂය කරුණු ද එහි අන්තර්ගත විය. නිර්මාණ කරුවකු නොමැතිව සිටි බාලදක්ෂ සළකුණ සොයාගැනීම එවැන්නකි. අලංකාරව නිර්මාණය කල එෆ්.ජී.ස්ටීවන්ස් දියසායම් රුවත්, සහල් ඇටය මත අඳිනු ලැබූ ලොව ඇති එකම බී.පී. යුවලගේ ආලේඛයන් ද හිරු සිතුවමින් කල බී.පී. ආලේඛය, මුල්ම සමරු මුද්දරයේ අත්පිටපත්, ඉහළ ගුණත්වයෙන් යුත් බී.පී.රූප, බාලදක්ෂ සලකුණු සඳහා ප්‍රමිතියක් ඉදිරිපත් කිරීම, නිශ්චිත වර්ණ යෙදීම ආදී බොහෝ දෑ එහි අන්තර් ගත විය.
 
ජාතික ජම්බෝරි ඉතිහාසයට සීමා වී තිබූ බාලදක්ෂ ඉතිහාසයෙහි සමස්ත ලංකා රැළි පැවැත්වීම පිළිබඳ ඉතිහාසය යාවත් කාලීන කලේ අප විසිනි. මැකීගිය බාලදක්ෂ තොරතුරු සොයා යමින් ආරියඅසේන මහතා විසින් අඳින ලද ශ්‍රී ලංකා බාලදක්ෂ සලකුණ පිළිබඳ සංවාදය නැඟුවේද මීරිගමදී විනාශයට පත් කරමින් පවතින ඩේවිට් පේන්ටර්ගේ සිතුවමෙහි ඉතිරිව ඇති High Res. මුල් ඡායාරූපය ඇත්තේ ද අප සතුවය. එය බේරා ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් දිවංගත සිරාස් සාලි මහතා හැරෙන්නට කිසිවකුත් අප හා එක් නොවූහ. මේ හේතුවෙන් කෝටි ගණනක් වටිනා ඩේවිට් පේන්ටර් විසින් අදින ලද තෙල් සායම් සිතුවමක් නොහික්මුණ දේශපාලඥයෙකු හා වටිනාකමක් නොහඳුනන නායකයින් විසින් විනාශයේ මුඛයට ඇඳ දමා ඇති අතර ඒ මත ඇක්රලික් සායම් යොදා පිළිසකර කිරීම හේතුවෙන් විරූපී වී ඇත. අද දක්වාම මේ සම්බන්දයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැත. 
 
ලොව පළමු අශ්වාරෝහක බාලදක්ෂයින් හඳුන්වා දෙනු ලැබුවේ දඹුල්ල APR ජම්බෝරියේදීය. බාලදක්ෂයන් වෙනුවෙන් AERO කඳවුරු හඳුන්වාදීම, ARO Jamboree පැවැත්වීමෙන් කණ්ඩායම් කීපයකට සීමා වී තිබූ ගුවන් බාලදක්ෂ ව්‍යාපාරය දිසා අතරට වයාප්ත වීම සඳහා ජවයක් ලබා දුන්නෙමු. බාවිතයෙන් ඉවත්වෙමින් තිබූ JOTA JOTI වෙනුවෙන් ජවයෙන් යුත් වේදිකාවක් සපයා දෙනු ලැබුවේ අප විසිනි. දුනු විදීම මෙන්ම ප්‍රාෙයා්ගික බාලදක්ෂ කටයුතු හා ප්‍රවීනතා වෙනුවෙන් බාලදක්ෂ දරුවන් දිරිමත් කිරීමටද අප ගත් උත්සාහය අපරිමිතය. අද වනතුරුත් බාලදක්ෂ විද්‍යාව පොතට මේ දක්වාත් මුද්‍රණ පිරිවිතර ලෙස බාකෝඩ් ලබාගෙන නොමැත. මේ හේතුවෙන් අවම වශයෙන් පුස්තකාල පොතක් ලෙස බාලදක්ෂ විද්‍යාව බාවිතා කල නොහැකි අතර අවම වශයෙන් ජාතික ලේඛණාරක්ෂණයෙහිද එහි එක් පිටපතක් හෝ සුරක්ෂා වී තිබීමට ඇති හැකියාවද මගහැරී තිබේ. අතීතයේදී එහි පරිවර්තනය වෙනුවෙන් දායක වූවන්ගේ නම් සඳහන් වූවද මෑත මුද්‍රණවලට එම ඉතිහාසයෙන් ඉවත් වී ඇත. පාරිභාෂික වාග් මාලාවටද අත් වී ඇත්තේ මේ ඉරණමය. මේ දක්වාත් කිසිවෙකුගේත් අවධානයට ලක් නොවූ බාලදක්ෂ පාරිභාෂික වදන් පෙළ ගොඩ නැඟීම සදහා දිවංගත මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ සහයෝගය ලබා ගත්තද එය සම්පූර්ණ කිරීමට හෝ යාවත්කාලීන කිරීමට කිසිවකුන් නොමැති බව ඉඳුරාම දනිමු. මෙරට බාලදක්ෂයන් පිළිබඳ විකි තොරතුරු බොහෝමයක් මෙන්ම අන්තර්ජාල අවකාශයේ බොහෝ බාලදක්ෂ තොරතුරු යාවත් කාලීන කිරීමේ නිහඩ පරිශීලකයා අප වෙමු. 

ඉදින් නිරන්තරයෙන්ම බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් හඳවතින් හිතැති සුලු පිරිසක් නොවන්නට කලාප 08කින් යුත් වර්ණ පිටු 68 ශ්‍රී ලංකා බාලදක්ෂ සඟරාවක් මුද්‍රණය කිරීමට අපට නොහැකි වනු ඇත. අනේක ගැටලු ඉදිරිපත් කරමින් අලෙවි කල සඟරාවල මුදල් ද ලබා නොදුන් බාලදක්ෂ නායකයකයින් වර්තමානය වන විට බාලදක්ෂ ව්‍යාපාරය ද හැර ගොස්ය. නමුත් අප ලියා තැබූ බාලදක්ෂ ඉතිහාසය අදටත් ශේෂ වී ඇත. මුද්‍රණ තාක්ෂණයේ ඇති වටිනාකම එය වේ. ඒ ඔස්සේ ගොඩ නැගෙන බාලදක්ෂ ඉතිහාස තොරතුරු තවත් වසට 100කට ප්‍රයෝජනවත්ය. එහි පූර්ණ ප්‍රතිලාභය හිමිවනුයේ සමස්ත බාලදක්ෂ පරපුරටම ය.

පුවත්පතක් අවසන් ගමන් යනතුරු නොසිට සමස්ත බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දෙන නිහඩ සේවය වෙනුවෙන් කිසියම් අගය කිරීමක් සිදු කලයුතු බව සිහිපත් කරනු ලබන අතර මෑත කාලීන ඉතිහාසය පුරාවට විවිධ නාලිකාවන්හි මාධ්‍ය සගයන් ලෝක ජම්බෝරි ආවරණය වෙනුවෙන් රැගෙන යාමත් එකම පුවත්පත ලෙස මිහිර පුවත් පත වෙනුවෙන් පමණක් ජාතික බාලදක්ෂ මූලස්ථාන මුහුණු පොත වෙන් කිරීමත් වැනි අතිශය කුහක ප්‍රතිපත්ති අනුගමණය කරමින් තීන්දු තීරණ ගන්නා නායකයින් විසින් මැදහත්ව කටයුතු කලයුතු බවත් වැඩිදුරටත් සිහිපත් කරනු කැමැත්තෙමු. 

මිහිරේ අවසානය "☉" මම ගෙදර ගියෙමි 
 
අපගේ අත්දැකීමේ හැටියට ලේඛනයේ අසීරුම කාර්යය දරුවන්ට ලිවීම ය. අපට පවා එයට හුරු වීමට කාලයක් ගත විය. මුහුණු පොත දිගහැරි විට මුලින් ම දුටුවේ අප සැමදා ආදරය කළ මිහිර පුවත්පත මුද්‍රණය නතර කර ඇති බව ය. මුහුණු පොතේ පුරා ශෝකාලාප දසතින් නැගෙන්නට විය. කවදා හෝ සිදුවන බව දැනසිටියත්, මෙතරම් ඉක්මනින් සිදු වේ යැයි නොසිතූ කනගාටුදායක පුවත අද අසන්නට ලැබු‍ණි. සාමාජ මධ්‍ය පුරා මෙම පුවත වයිරල් වන්නට වූයේය. 

කොවිඩ් අර්බුදය සමඟින් රජයට අයත් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ගණනාවක් මුළුමණින් මුද්‍රණය නතර කරන්නට හෝ සතිපතා පළවූ පත්තර මාසිකව මුද්‍රණය කරන්නට 2022 ජුනි මාසයේදී තීරණය කර තිබුණි. ඒ අනුව දීර්ඝ කාලයක් පුරා අඛන්ඩව පළවූ ‘සරසවිය‘ හා ‘සුබසෙත‘ පත්තර දෙකම 2022 ජුනි 01 වනදා සිට මුද්‍රණය නතර වූ අතර ආරෝග්‍යා, වන්නවානිවිල් (දමිළ), කුට්ටිමුට්ටි (දමිළ) පුවත්පත්ද මුද්‍රණය මුළුමනින් නතර කර අන්තර්ජාල කලාප වලට පමණක් සීමා කෙරිණි. බුදුසරණ, තරුණි හා මිහිර පත්තර තුනම 2022 ජුනි සිට මුද්‍රණය වුවත් ඒවා පළවුයේ මසකට වරක් පමණකි. නමුත් දිනමිණ, සිළුමිණ ආදී පුවත්පත්වල වෙනස්කම් නොකෙරිණි. වසර දෙකක් ඇවෑමෙන් මෙම තීරණ වෙනස්කම් වලට ලක්කර ඇති අතර සුබසෙත නැවත මුද්‍රණය ඇරඹී ඇත. 1964 ජූලි 27 වැනිදා එලෙසින් ආරම්භ වූ ‘මිහිර’රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් හා කඩදාසි හිඟය කඩදාසි මිල ඉහළයාම ආදී හේතුවෙන් මෙතෙක් මසකට වරක් පළවූ 'මිහිර' මුද්‍රණය නතර කර අන්තර්ජාල කලාපයකට පමණක් සීමා කරනු ලැබීය.  

මිහිරේ මුද්‍රණය වන බාලදක්ෂ පාඩම් මාලාවේ අවසන් ලිපිය

දැයේ දූ දරුවන්ට සැබැවින්ම විශ්ව කෝෂයක් වූ මිහිරේ වයස මේ වනවිට දශක 7කට ආසන්න ය. මිහිර ඇරඹියේ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ජ්‍යෙෂ්ට පුවත්පත්කලාවේදියාණන්ගේ කර්තෘත්වයෙනි. දීර්ඝ කාලයක් මිහිරේ කටයුතු කළ මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ඉතා පළපුරුද්දක් තිබූ අය වූහ. ලාල් හික්කඩුව මහතාගෙන් පසු  පිළිවෙලින් බන්දුල සමරසිංහ, අනුලා ද සිල්වා, එස්. සුබසිංහ, සුමනා සපරමාදු, නිව්ටන් පින්තු, ඉන්ද්‍රා ද අල්විස්, අජිත් ධර්මසිරි, ජගත් හේවාපන්න ආදී ප්‍රවීණයන් මිහිර කතුවරු ලෙස කටයුතු කළහ. මෙරට පැරණිම ළමා පුවත්පතක් වූ ‘මිහිර’ මුද්‍රණය නතර කිරීමට ලේක් හවුස් පාලනාධිකාරිය අවසානයේදී තීරණය කරනු ලැබීය.
 
මුද්‍රිත යනු ලිඛිත ඉතිහාසය ගොඩනැගෙන හොඳම සාක්ෂිය වේ. පිටු 68කින් යුත් මෙරට නිර්මාණය කෙරෙුණු scouting සඟරාව මගින් බාලදක්ෂ ලෝකයේ ඉදිරි වසර 100 පුරාවට සිදු නොකළ මෙහෙවරක් ඉතිහාසය වෙනුවෙන් අප ඉතිරි කර ඇත්තෙමු. පිටපතක් ඇතොත් කියවා එය පසක් කර ගන්නා මෙන් අපි අදටත් අභියෝග කරන්නෙමු. ඒ ඔස්සේ බාලදක්ෂ මුද්‍රණ ක්ෂේත්‍රෙය් සිදු වූ පෙරළිය කෙසේදැයි අපි හොඳින් හඳුන්නෙමු. බාල කොළවල කලුසුදු මුද්‍රණයන්ට සීමා වූ ඉතිහාසයත් පුනා පුනා එකම කරුණ ලියැවුණ සඟරා කලාවපත් අතර මෙරට බාලදක්ෂ ලෝකය නවමු මාර්ගයකට ගෙන ඒමට ස්කවුටිං සඟරාවේ පර්යේෂණ අංශය සුවිසල් මෙහෙවරක් කර තිබේ. එය ප්‍රාෙයා්ගිකව අප විසින් අත්දැක තිබේ. ඇගයීමකින් හෝ සහයෝගයකින් තොරව අප කල මෙහෙවරෙහි වටිනා කම යම් දිනක ආනාගත බාලදක්ෂයන් අත්දකිනු ඇත. අන්තර්ජාලයේ, යූටියබ් සහ මුහුණු පොතට අමතරව තොරතුරු සොයා බලන ඕනෑම ස්ථානයකින් අප විසින් උඩුගත කල බාලදක්ෂ තොරතුරු අදටත් 75% හමුවීමේ ප්‍රවණතාවය අප ලැබූ විජයග්‍රහණයකි. සමාජ ජාල අතික්‍රමණය කරමින් අදවනවිට වැඩි ම ග්‍රාහක පිරිසක් සිටින බාලදක්ෂ යූ ටියුබ් නාලිකාව Scouting Magazine වේ.
 
නඩත්තුව සඳහා පිරිවැය දරා ගත නොහැකි තත්වයකදී මුද්‍රණය නතර කිරීමට ලේක් හවුස් පාලනාධිකාරිය අවසානයේදී තීරණය කරනු ලැබීය. මෙරට පැරණිම ළමා පුවත්පතක් වූ ‘මිහිර’ අවුරුදු හැටක් ආයු වළදා අවසන් ගමන් යාමට සිදුවීම ගැන ඉතාමත් කණගාටු විය යුතුම වේ. මේ වන විට වෙළඳපොළට නිකුත් කර ඇත්තේ එහි අවසන් මුද්‍රිත පිටපතයි. මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ මිහිර ඊ පුවත්පතක් ලෙස පමණක් එළිදැක්වෙනු ඇතැයි වාර්තා වේ. ළමා පුවත්පතක් අන්තර්ජාලය ඔස්සේ පමණක් පළවීම එතරම් ප්‍රයෝගික කාරණයක් නොවුණත් වසඳිය නොහැකි මට්ටමේ යම් යම් ආයතනික ගැටලු නොවන්නට එවන් ඉරණමක් අත් නොවනු ඇත. ඉදින් මෙලෙස අවසන් වන මිහිරේ අවසාන බාලදක්ෂ හුස්ම පොඳ වෙනුවෙන් තවත් කවි ගී ලිවීමෙන් පලක් නොවේ. නැවත මුද්‍රිත ළමා පුවත් පතක් ලෙස මිහිර නිකුත් කිරීමට ලැබේවායි පතන්නෙමු.
 
 

Monday, June 10, 2024

කොළඹ දිසා බාලදක්ෂ දිසාවේ 110 වසරට මුද්දර කවරයක් (1914-2024)

එංගලන්තයෙන් 1907දී ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයවසර පහකට පසුව එනම් 1912 වසරේදී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ විය. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට 110 වසරක් (1912-2022) සම්පූර්ණ කිරීමෙන් පසු දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂ කණ්ඩායම් විසින් ස්වකීය අභිමානවත් 110 වසර සම්පූර්ණ කරමින් සිටිති. 2022 වසරේදී ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය දශකය ආරම්භ වූ අතර ෆැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් 1912 දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මුල් ම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරන ලද තැන් පටන් ආරම්භ වූ දිසා සංගම් විසින් සිය 110 සංවත්සරය සමරනු ලබති. 

ගතවූ වසර 110 තුළ ශ්‍රී ලංකාව තුළ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඉතා ශීඝ්‍රයෙන් බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්තවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට 100000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින සුවිශාලතම ස්‌වේච්ඡා ළමා ව්‍යාපාරය බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ බාලදක්ෂ දිස්ත්‍රික් තිස් හතක් කේන්ද්‍ර කරගනිමින් සිඟිති, පෝතක, බාදක්ෂ මෙන්ම මානවක බාලදක්ෂ අංශ ඉතා විනයානුකූලව පිළිගත් ප්‍රමිතීන් යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ලෝකයේ රටවල් 172ක මිලියන 57කට අධික බාලදක්ෂයන් ලෝක බාලදක්ෂ ව්‍යාපාරය වටා එක් රොක් වී සිටියි. 

කොළඹ බාලදක්ෂ සංගමයේ 110 වැනි සංවත්සරය සමරමින් සමරු මුද්දරයක් සහ පළමු දින වරයක් එළිදක්වයි

1914දී ආණ්ඩුකාරතුමා උතුමන්ගේ කණ්ඩායම ලෙස සුප්‍රකට පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ ඇරඹීමෙන් පසු කොළඹ දිසාවේ බාලදක්ෂ කණ්ඩායම පිහිටු වීය. බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූයේ ඉන් අනතුරුවය.... ඒ අනුව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසා ශාඛාවට සියවසකුත් දශකයක් සම්පූර්ණ වී තිබේ. ඔවුහු ස්වකීය 110ක් වසර 1914-2024 මෙසේ සැමරීම සිදු කළහ.

 “Leading since 1914” යන තේමාව යටතේ මෙම 110 වැනි සංවත්සරය 2024 ජුනි 7 වැනි දින කොළඹ බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විය. සමරු මුද්දරය සහ පළමු දින කවරය එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව විසින් ඔවුන්ගේ 110 වැනි සංවත්සරය සමරමින් සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් මාලාවේ තවත් කොටසකි. තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා සහ එල්.ජී.එන්. ද සිල්වා, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ මෙන්ම සභාපති ඇතුළු කොළඹ බාලදක්ෂ ප්‍රධාන නිලධාරීන් - M.C.M සරූක් මහතා, විධායක කමිටුවේ සභාපති - සරත් චන්ද්‍රසිරි විතාන මහතා සහ දිස්ත්‍රික් කොමසාරිස් ඒ සඳහා සහභාගී විය. 

සමරු මුද්දරය සහ පළමු දින කවරය Rover බාලදක්ෂ හංසිත් පෙරේරා විසින් නිර්මාණය කරන ලද අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහකාර මූලස්ථාන කොමසාරිස් දර්ශන රණතුංග මහතා විසින් වසර ගණනාවක ස්වකීය අත්දැකීම් ඔස්සේ බාලදක්ෂ ව්‍යාපාරය හා බැඳුණු මුද්දර පිලිබඳ ඇසුර ඉස්මතු කරමින් රසවත් දේශනයක් ද පවත්වන ලද්දේය. සමරුව නිමිත්තෙන් නිකුත් කරන ලද විශේෂ මුල් දින කවරයක් පසුගිය දා නිකුත් කරනු ලැබීය. මෙම විශේෂ මුල් දිනකවරය කොළඹ බාලදක්ෂ මූලස්ථාන අලෙවි සැලෙන් ඔබටත් මිලදී ගත හැකිය.