Translate

Friday, June 5, 2015

ගස් වර්ග 15 - 08. සියඹලා ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

08. සියඹලා ශාකය


සියඹලා ගසේ නිඡබිම ගැන පැහැදිලි සඳහනක් නොමැත. එය නිවර්තන අප්‍රිකාවේ නිජ වන්නට ඇතැයි යන්න වඩාත් ප්‍රකටව පිළි ගැනෙන මතය යි. ප්‍රාග් ඓතිහාසික සමයේ දී, සියඹලා ශාකය මිනිසුන් ගේ මාර්ගයෙන් දකුණු ආසියාවට ප්‍රචාරණය වන්නට ඇතැයි සැලකේ. ඉන්දියාව, සියඹලා ශාකයේ නිජ භූමිය වශයෙන් ඇතැම් විටක හඳුන්වා දී ඇත. ඉන්‍දියාව ඔස්සේ පර්සියාවට හඳුන්වා දෙනු ලැබූ සියඹලා, අරාබීහු tamar hindi (ඉන්දියන් රට ඉඳි) වශයෙන් හැඳින් වූහ​. සියඹලා ශාකයේ විද්‍යාත්මක නාමය වන Tamarindus indica යන්නට එහි ඉන්දියානු නිජ භූමි සංකල්පය බලපාන්නට ඇත. ක්‍රි.පූ. 4 වන සියවසේ දී, මිසර වැසියන් හා ග්‍රීකයන්, මෙහි ඵලය ප්‍රයෝජනයට ගත් බවට සාධක ඇත​. දකුණු ඉන්දියාවට ආවේණික ශාකයක් වූ සියඹලා ඉන්දියාව , පකිස්ථානය, බුරුමය, බෙංගාලය, ශ්‍රී ලංකාව යන රටවල්වල දක්නට ලැබේ.

සියඹලා, සංස්කෘතක භාෂාවෙන් අම්ලිකා, චිඤ්වා, තිත්තිඩි, අම්ලි, චුක්‍රා, දත්තශයා, තෙන්තුල්, චිංචා, කාච තිත්තිඩි, ත්‍රින්ත්‍රීනී, අමිලා යනුවෙන් ද, හින්දි භාෂාවෙන් චිංචා ඉම්ලි, ඹෝ ඉම්ලි යනුවෙන් ද, ‍‍බෙන්ගාල භාෂාවෙන් තේන්තුල්, තිංතිල් යනුවෙන් ද, ද්‍රවිඩ භාෂාවෙන් පූලියම් පලම් ,පූලියම් යනුවෙන් ද, මැලේ බසින් ඇසෑම් ජාවා යනුවෙන් ද, ඉංග්‍රීසි බසින් ටැමරින්ඩ් යනුවෙන් ද, ස්පාඤ්ඤ හා පෘතුගීසි බසින් ටැමරින්ඩෝ යනුවෙන් ද, හදුන්වනු ලැබේ.

සියඹලා (Tamarindus indica) ෆැබසියෙ (Fabaceae) කුලයට අයත්, නිවර්තන කලාපික, සදාහරිත වෘක්‍ෂයකි. දකුණු ආසියාවට හා නිවර්තන අප්‍රිකාවට ආවේණික යයි සැලකේ. උචිත පරිසර සාධක යටතේ අඩි 80 - 100 පමණ උසට වැඩේ. කුඩා පොකුරු වශයෙන්, කහ පාට මල් හට ගනී.සුළඟට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාකයකි. ශාකයේ බීජ, අක්‍රමවත් වකයන් පෙන්වන​, අඟල් 3 - 4 ක් දිග​, කරල් තුළ හට ගනී. කරල තුළ පවතින දුඹුරු පහැති මාංසල කොටස ආහාරයට ගත හැකි ය​. ඇඹුල් රසැති එය කුළු බඩුවක් වශයෙන් පෙර දිග රට වල බහුලව භාවිතා කරනු ලැබේ. අලංකරණයට​, සෙවණ ශාකයක් වශයෙන් හා ආහාරයට ගන්නා කරල් ලබා ගැනීම සඳහාත් සියඹලා වගා කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර් 1000 පමණ උස් වූ තෙත් කලාපයේ හා වියළි කලාපයේ සාරවත්ව වැඩෙන දැකුම්කළු සදාහරිත වෘක්ෂයකි.බොහෝ සේ අතුපතර විහිදුවමින් මීටර් 18-20 පමණ උසට වැඩේ. කඳේ පොත්ත ලා දුඹුරු පැහැයට හුරුය. බෙහෙවින් රළුය. පොත්තේ ඇතුළත ලා රෝස පාටය. මිලි මීටර් 7 ක් පමණ ගණකම් වේ.ශාකය මෝරමින් වැඩෙන විට පොත්ත පිපිරී ගැලවි යයි . හොඳින් වැඩුණු ගසක වට ප්‍රමාණය මීටර් 10 ක් පමණ වේ .ශාක කඳේ දිග අතට හා හරස් අතටවිහිදුවන අන්වායාම හිදැස් හෙවත් පැලුම් පවතී. අසම පත්‍රිකා යුගල 10-15 ක් පවතී . සම්මුකයි . පත්‍ර මතුපිට මටසිළුටු ය. රේඛීය පත්‍රිකා රාශියක් හටගනී. දිගටි පත්‍ර සෙ. මී. 1 ක් දිගය.මේවා උදේ දිග හරී පවතී. සවස් වන විට හැකිලේ. සියඹලා පත්‍රකා පහසුවෙන් හැලී යයි. සුදු හෝ ලා කහ පැහැති රතුවන් රේණාවන් වැටුණු කුඩා පුෂ්ප කීපයන් පොකුරක හටගනී. පුෂ්පයක පෙති 3 කි. මදක් උල් හැඩ පවතී .අප්‍රේල් මැයි මාස වලදී සියඹලා ගස මලින් බරවෙයි. ශාකයේ වැදගත්ම අංගය වූ ඵලය ගනකම් වූ කරලකි .දෝලා ඵලයකි. සෙ . මී . 7.5-20 දක්වා දිගය. ඵලාවරණය වක්‍රාකාර වූ රැලි සහිතය. ලා දුඹුරු පැහැතිය. පහසුවෙන් කැඩෙන සුළු ය. ඒ තුල ඝනකම් මාංසල කොටස බෙහෙවින් ඇඹුල් රසැතිය. අමු අවස්ථාවේදී කොළ පැහැතිය. තද ගතියකින් යුක්තය. ඉදෙන විට මාංසල කොටස කහ පැහැ වේ. මොළොක්ය.

සියඹලා ගස ව්‍යාප්තිය සඳහා බීඡ මඟින් පැළ ලබා ගත යුතුය. බීජ තද දුඹුරු පැහැතිය. පැතලිය. දිලිසෙන සුළු ය. නොගැඹුරු තල සහිතය . ඉදුණු සියඹලා කරලේ පොතු හා තන්තුමය රැහැන් ඉවත්කර ලුණු සමඟ මිශ්‍ර කර අව්වේ වියළා, වියලි මැටි බදුනක අසුරා වියළි තැනක ගබඩා කර තැබීමෙන් කල් තබා ගත හැකිය. සියඹලා කොළ, පොතු හා ඇට බෙහෙත් සඳහා ගනු ලැබේ. සියඹලා ශාකයට ආවේණික සුවදක් පවතී. සියඹලා කරල් මෙන්ම මල් හා කොළ පවා ඇඹුල් රසයකින් යුක්තය.

සියඹලා ‍බොර වල ටා‍ටරික් අම්ලය 5% ක්ද, සිට්‍රික් අම්ලය 4% ක්ද ,මැලික් හා ඇසි‍ටික් අම්ලයද, ‍පොටෑසි‍ටම් ටාටරික් 8% ක්ද, සීනි පදාර්ථ 25% සිට 40 දක්වා ද, මැලි‍යම් හා ‍පෙක්ටීන් පදාර්ථ‍යද අන්තර්ගතය. බීජාවරණ‍යේ ‍ස්ථිර තෛල පදාර්ථ හා අපද්‍රව්‍ය සංඝටක අඩංගු ය. බීජවල ඇල්බියුම්නොයිඩ්ස්, මේද පදාර්ථ ද, කා‍බෝහයිඩ්‍රේට 63.22 ක්ද, ඇතුළත්ය. භෂ්මයෙහි පො‍ස්පරස් හා නයිට්‍රඡන් අන්තර්ගත ය. ඵලයේ ඔක්සැලික් අම්ලය අඩංගු ය.

ඉදුණු සියඹලා මිහිරි හා ඇඹුල් රස මිශ්‍රය . එහයින් වාත ශාකමය. උෂ්ණාධික ය. පිත්ත ශාකමය . පරණ වූ සියඹලා බොර, ආහාර රුචිය වඩවයි . පිපාසය සමනය කරයි. සියඹලා බොර විරේචන ගුණ යුක්තය. සියඹලා කරලේ ලොඳ වැනි කොටස දිය කිරීමෙන් සියඹලා බොර සකස් කර ගනී. ඉදුණු සියඹලා කරල් වල බොර මෙන්ම අඹරා ගත් පත්‍ර කල්කය දැවිලි සහිත ඉදිමුමට ආලේප කරයි. වසරක් දෙකක් පමණ පැරණි වූ ඉදුණු ඵල ආමාශයට හා අන්ත්‍රවලට ගුණ දායක ය. මළ බද්දය දුරු කරවයි . අඹරාගත් කොළ තැලුම් , ඉදිමුම්වලට ගෑමට යොදා ගනී . ඉදුණු සියඹලා මද හදවතට ගුණදායකය . සියඹලා දළු හා මල් ශීත වීර්යයි . පිත්ත ශාකමය . මල් ස්වරසය අතීසාරයට ගුණ දේ . සියඹලා දළු හා මල් ව්‍යංජනයක් ලෙසද ආහාරයට ගනී . සියඹලා මල් ප්‍රදාහ කාරක රෝගවලට ආලේප කෙරේ . මිරිකා ගත් මල් යුෂ රක්ත අර්ශස් රෝගයේදී අභ්‍යන්තර වශයෙන් දෙනු ලැබේ . සියඹලා ඉන්දියානු ජාතිකයෝ සිය ආහාර වේලට ප්‍රධාන වශයෙන් ම එක් කර ගන්නා කුළු බඩුවකි . සියඹලා යුෂ සරුවත් බුරුම ජාතිකයන්ගේ ජනප්‍රිය පානයකි. සියඹලා කරලේ මදපිපාසය, මල බද්දය නසන පිත්ත විරේචක, යකෘතය උත්තේජනය කරවන ඔසුවකි. සුරාසව - මද්‍යසාර, අත්තන ආදියෙන් ඇති වූ මත් විෂ පහ කිරීම සඳහා සියඹලා භාවිත කරයි.

සියඹලා පොතු ස්වරසය අන්ත්‍ර ශුල වේදනා නිවාරණය කරයි. සියඹලා කුඩා ළමුන්ට අනගි විරේකඔසුවකි . අව්වේ සිටීමෙන් ඇතිවන ශරීර පීඩා දැවිලි සහිත රෝග නැසීමේ ශක්තිය සියඹලා සතුය . කෑම අරුචිය , බඩගින්න නොමැතිකම යන‍ මේවාට නොවරදින ප්‍රතිඵල ලබා දෙන පානයකි. සියඹලා බොර පානය, ගෙඩි - වණ, අර්බුද , පිළිකා වලදී සියඹලා ඇට ආලේපය සදහා ගැනේ . සියඹලා ඇට කසට රස යුක්තය . එබැවින් අතීසාර හා විසර්ප රෝග හරණයට අනගි ඔසුවකි . සියඹලා බීජයේ රතු පැහැති කුරුට්ටේ අතීසාර නාසක ගුණ පවතී . බීජ වලින් සැකසූ ඖෂධ උණ , මුත්‍රා , ව්‍යූහගත ආබාධ , සන්ධිගත රෝග , නසයි . පත්‍ර වලින් සකසා ගත් කසාය උගුරේ ආබාධයනට උගුර සේදීම සදහා ගැනේ . අතීසාර රෝගින්ට සියඹලා කොළ ජලයෙන් පොඩිකර ලබා ගත් ආම්ලික සාරය පිත්තප්වර , මුත්‍රාස්මරී , (මුත්‍රා ගල්) අවස්ථාවලදී භාවිත කෙරේ .
සියඹලා භෂ්මය (දවාගත් අළු) වෙනත් භෂ්ම සමඟ මිශ්‍ර කර ප්‍රයෝග කෙරේ . ඉදුණු සියඹලා කරලේ පොතු ලවන ලෙස ඖෂධ පිණිස ගත හැක . වෙනත් ඖෂධ සමඟ මිශ්‍ර කර විවිධ යෝග පිළියෙළ කර ගනී . පුරාණ වූ පිලාවේ ඉදිමීමට සියඹලා භෂම ගුණ දායක‍ය . පොතු භෂම ජීර්ණ පද්ධතියේ රෝග වලදී ඖෂධ යෝග සමඟ යෙදේ . සියඹලා ශීතාද රෝගයට ගුණදායකය . විටමින් සී ඌනතා රෝග අවස්ථාවලදී සියඹලා බොර සීනි යොදා සකස් කර ගත් ශිරප් දෙහි යුෂ සමඟ පානය කරයි . සියඹලාකොළ අමු කහ සමඟ තම්බා ගත් ජලය කුෂ්ඨ , දැවිලි ආදී අවස්ථා වලදී සේදීමට ගනු ලබයි . සියඹලා කොළ තැවිල්ල වාත වේදනා දුරු කරයි. කුළුබඩු හා ඖෂධයක් ලෙස එක්වන සියඹලා ශාක‍යේ පත්‍ර , කරල් , පත්‍ර ස්වරසය , පොතු ආදී කොටස් අරුචිය , පිපාසය , බඩ කැක්කුම, මල බද්ධ,අතීසාර, ආමවාත වාතාබාධ , විවිධ ප්‍රදර රෝග , උණ ශුක්‍ර දෝෂ , ස්වප්න දෝෂ, කුෂ්ඨ, සර්ප විෂ, අධික දහඩිය දැමීම, කැස්ස යනාදී රෝග ගණනාවකට වෙනත් ‍ඖෂධ සමඟ ප්‍රයෝග කෙරේ.

සියඹලා බොර පවස නිවන පානයකි .ආහාර කල් තබා ගැනීමේදී අතීතයේ පටන්ම සියඹලා කරල්යොදා ගෙන තිබේ . අනිකුත් පළතුරු වර්ග හා සසඳන කල සියඹලා කරල් සතු සීනි හා ආම්ලික කොටස ඉහළ අගයක පැවතීම විශේෂයකි . ජෙලි, සිරප්, අච්චාරු හා ආහාර සමඟ ගන්නා කටුක රසැති සුප් පිළියෙළ කර ගැනීම සඳහා ඉන්දියාවේ වැඩි වශයෙන් සියඹලා කරල් භාවිතයට ගැනේ.


ගස් වර්ග 15 - 07. බෙලි ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

07. බෙලි ශාකය



බෙලි ඖෂධීය වටිනාකමකින් යුත් පලතුරු වර්ගයකි. නිරෝගී භාවයට පත් කරන ඔසුවකි. ඖෂධීය කප්රුකකි. පුරාණ ඉන්දියාවේ වේද ග‍්‍රන්ථවලත්, ඉපැරණි ග‍්‍රන්ථවලත් අනේක විධ සර්වාංග රෝග නිවාරණය සඳහා ගුණ දෙන ඖෂධ වලින් පෝෂිත පලතුරක් වශයෙන් බෙලි හඳුන්වා දී ඇත. රූටාසේ (Rutaceae) ශාක කුලයට අයත් බෙලි ශාකය ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේත්, ඝර්ම කලාපීය අනෙකුත් රටවලත් සාරවත්ව වැඩේ. ‘ඒග්ලේ මාර්මිලෝස්’ යනුවෙන් හඳුන්වන මෙම පලතුරු වර්ගයේ මවු බිම ඉන්දියාවයි. බෙලි යනුවෙන් අප හඳුන්වන මෙම පලතුර ඛිලව (සංස්කෘතික) බෙන්ගෝල් ක්වීන්ස් (ඉංග‍්‍රීසි), බෙල (හිංදි), විල්වම් (දෙමළ) යයි ඒ ඒ භාෂා වලින් හඳුන්වනු ලැබේ. Aegle marmelos L, Correa/ Feronia pellucida Roth/ Crataeva marmelos Linn වැනි උද්භිද විද්‍යාත්මක නාමයන්ගෙන් හදුන්වන බෙලි ශාකය ඉංග්‍රීසි බසින් හදුන්වන්නේ Bael fruit tree, Bengal quince, Indian quince, Golden apple, Stone apple, Holy fruit වැනි නාමයන්ගෙනි. සංස්කෘතයෙන් බිල්වා යන ප්‍රසිද්ධ නාමයෙන් දක්වා ඇති මෙයට ගන්ධගර්භ, රිද්යගන්ධ, කන්ටකද්ය, ලක්ෂ්මීපාල, සමීරරස වැනි පර්යාය නාමයන් ඇත. මෙය ජම්බීර(පැගීරි) කුළයේ ශාකයකි.

බෙලිවල ගුණ ලෙස මධුරයි. තුන් දොස් නසයි, උෂ්ණයි, රුචි වඩයි, සිත පිනවයි, පිත වඩවයි, මළ බද්දයට මෙන්ම බුරුල් කිරීමට ද එක සේ ගුණ දෙන ලොව ඇති එකම පලතුරු වර්ගය බෙලිය. ඉන්දීය හා හෙළ නිඝංටුවල නම් ග‍්‍රන්ථයේ බෙලි පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර ඇත්තේ මිනිස් ජීවිතයේ නිරෝගී බව රැක ගැනීම සඳහා උදාර මෙහෙයක් මේ ශාකයෙන් සිදුවන නිසා යැයි විශ්වාස කළ හැකිය. බෙලි ගෙඩියේ ස්වභාවය බැලූ විට, එය පැන්සලක් තරම් වූ මහත නටුවකට සම්බන්ධ, මෙය මෝරන තුරුම කොළ පාටින් ද යුක්තය.ඉදුණු ගෙඩියෙන් මිහිරි සුවඳක් වහනය වේ. මදය කහ පාටය, තදය. එහෙත් ඉදුණු විට ඇඟිලි තුඩු වලින් සූරා ගැනීමට හැකි වන තරමට මොළොක්ය.මාංශයට සම්බන්ධව දිග අතට පිහිටි කුඩා මදුලු නොහොත් කෝෂ, ලාටු වැනි අලෙන සුළු පැණි දියරකින් පිරී ඇත. බීජ පිහිටා තිබෙන්නේ ද මේවා තුළය.

මේ ගස විෂ සහිත තියුණු කටුවලින් යුක්ත බැවින්, සිය නිවෙස්වලින් ඈත සිටුවා ගැනීම බොහෝ දෙනෙකුගේ සිරිතයි. කුඩා බීජ මගින් හෝ අංකුර මගින් මෙහි ව්‍යාප්තිය සිදු වේ. ඉතා සෙමින් වැඩෙන මේ ශාකයේ පල දැරීමට වර්ෂ 10 ක පමණ කාලයක් ගත වේ.බෙලි පලතුරක් වශයෙන් අමුවෙන් කෑමට ගත නොහැකිය. එසේ වුවත් අමු බෙලි තම්බා සීනි මිශ‍්‍ර කර කෑමට ගන්නා අතර, ඉදුණු ගෙඩියේ මදය ඒ අයුරින්ම කෑමට ගනු ලැබේ. තේ ගස මේ රටේ වගා කිරීමට පෙර අපේ මුතුන් මිත්තෝ වියළි බෙලි මල් තැම්බූ වතුර පානය කළහ. අදටත් අප ආහාරයට ගන්නා කෘතිම ආහාර පානවලට වඩා මෙම පානය සෞඛ්‍යයට හිතකර වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී බෙලිවලට ඉතා ඉහළ ස්ථානයක් හිමි වේ. හෘදය පිනවීම මෙන්ම සුවඳවත් කිරීම ද මෙමගින් සිදු වේ. බෙලි කොළ, මල්, ගැට මද, පැසුණු ඵල සහ මුල් ද නොයෙකුත් ප‍්‍රතිකාර සඳහා යොදා ගනී. 

බෙලි වෘක්ෂය මධ්‍යම ප්‍රමාණයේ ශක්තිමත්ව හා සෘජුව මිටර් 10-15 දක්වා උසට වැඩෙන ශාකයකි. තියුණු කටු සහිතය. ශක්තිමත් ශාඛා වලින් යුක්තය. ඝණකම් පොත්තක් සහිත කඳ අක්‍රමවත් රටාවලින් යුක්තය. පොත්ත එසේම සුවදවත්ය. පත්‍ර කෙටි නටු වලින් සවිවි ඇත. ඒකාන්තර පක්‍ර රටාවක් පෙන්වයි. දිගැති සම්මුඛ පත්‍ර යුගලයකින්ද දිග් වු වෘන්තයක් සහිත තරමක් විශාල වු අග්‍රස්ථ පත්‍රිකාවකින්ද යුක්තය. පත්‍ර අංඩාකාරය. මතුපිට පෘෂ්ඨය සිනිදුය. කොළ පැහැයට හුරු සුදු පැහැති පුෂ්පයේ දැක ගත හැක. ප්‍රසන්න සුවදකින් යුක්ත මල් තනිව හෝ කිහිපයකින් යුක්තව හට ගනි. මල් හට ගැනීම මැයි මාසයේදි සිදුවේ. සෙ.මි. 8-20 දක්වා විෂ්කමභයකින් යුක්තව සෙ.මි. 8-20 දක්වා විෂ්කමභයකින් යුක්තව ඵලය කොළ පැහැතිය. ඉදෙන විට ක්‍රමයෙන් කහ පැහැය‍ට හැරේ. ඵලාවරණය මි.මි.3 ක පමණ ඝන කමකින් යුක්තය. ඇතුලත මදය නානුමය මෘදු මෘදු පටකයකින් පිරි ඇත. මධුර රසයෙන් යුක්තය. එසේම සුගන්ධවත්ය. ඵලය තුල බීජ හෙවත් ඇට රාශියක් හට ගනී. බීජ පාරදුෂ්‍ය වු ශ්ලේෂ්මල වලින් වටවි ඇත.බීජාවරණය සුදු පැහැතිය. සියුම් කෙදි වලින් යුක්තය. ශ්ලේෂ්මලයේ ගිලි පවති. ගෙඩි මේරීම අගෝස්තු සැප්තැම්බර් මාස වන විටදී සිදුවේ. බෙලි ශාකයේ  නිජ භුමිය ලෙස සැලකෙන්නේ ඉංදියාවයි. උෂ්ණ කලාපීය සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණයකින් හෙබි ප්‍රදේශ වල බෙලි ශාකය හොදින් වැඩේ. ශ්‍රී ලංකාව, පාකිස්ථානය, බංගලිදේශය, බුරුමය සහ තායිලන්තය වැනි රටවල බෙලි මනාව වැඩේ. ලංකාවේ බෙලි ප්‍රභේද දෙකක් ගැන සදහන් වේ. ග්‍රාම්‍ය සහ වන්‍ය එම ප්‍රභේද දෙකයි. ග්‍රාම්‍ය ප්‍රභේදය වුවද එහි ගෙඩි වල රසය අනූව උප ප්‍රභේද වලට බෙදීයයි.සාමාන්‍යයෙන් ග්‍රාම්‍ය බෙලි ප්‍රභේදයේ ගෙඩි කුඩාය. වන්‍ය ප්‍රභේදයේ ගෙඩි සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලය.

ඛනිජ ද්‍රව්‍ය සහ විටමීන් වර්‍ග බහුල පොෂ්‍ය පදාර්ථයන්ගෙන් බහුල ඖෂධීය පළතුරක් ලෙස බෙලි ඉහලින්ම සදහන් කල හැක. මීට අමතරව කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් බහුල පළතුරකි. අනෙක් පළතුරු හා සැසැදීමේදි බෙලි වල ඇති ප්‍රෝටීන් ප්‍රමාණය ඉතා අධික බව පැවසිය හැක. ඛනිජ ද්‍රව්‍ය ලෙස කැල්සියම්, පොස්පරස් හා යකඩ අඩංගුවේ.අමතරව විවිධ මූලද්‍රව්‍ය විවිධ මාත්‍රාවන්ගෙන් මෙහි අන්තර්ගතව ඇත. බෙලි වල ඇති රසායනික ද්‍රව්‍යයන් අතරින් වඩාත් වැඩි විභවයක් ඇති රසායනිකය ලෙස හදුනා ගෙන ඇත්තේ මාමෙලොසින් නැමති ද්‍රව්‍යයයි. විරේක කාරකයක් ලෙසත් මුත්‍රාකාරකයක් ලෙසත් ක්‍රියාතරන බව සොයාගෙන ඇත. අමතරව දහඩිය දැමීම හා නින්ද නොයෑම මදක් අඩු කිරීමටද මෙම ද්‍රව්‍ය සමත් බව පරික්ෂණයන්ගෙන් තහවුරු කරගෙන ඇත. සොරාලෙන්, මාර්මීන්, එජ්ලීන් වැනි රසායනිකයන්ද වෙනත් ප්‍රති බැක්ටීරියාමය   ( Anti Bacterial)  සහ ප්‍රති දිලීරමය( Anti Fungus)  රසායනිකයන්ද හදුනගෛන තහවුරු කරගෙන ඇත.

බෙලි ශාකයේ ඔෟෂධීය වටිනාකම

බෙලි ශාකය යනු පුද්ගලයාගේ ජීවිතය නිරෝගී භාවයට පත් කරන ඔසුවකි. බෙලි ගසේ සෑම අංගයක්ම ඔෟෂධයක් සේ සැලකේ. එමෙන්ම අපේ දේශීය ඔෟෂධ අතරින් උසස්ම සහ වටිනා ශාකයක් ලෙස සැලකිය හැකිය. බෙලි ශාකයේ එක් එක් කොටස් ප්‍රයෝජනයට ගත හැකි ආකාරය බලමු.

බෙලි මුල

බෙලි මුල් ගෙන හොඳින් සෝදා වේළා දෙහි ඇඹුලෙන් උරගාන්න. එමඟින් ලැබෙන යුෂවලට මී පැණි එකතු කර පානය කිරීමෙන් බඩවැලේ තුවාල හටගැනීම හා බඩවැල සම්බන්ධයෙන් මතුවන රෝග වළක්වාගත හැකිය. එමෙන්ම එමඟින් බඩවැලේ උෂ්ණත්වය පාලනය කරයි.

බෙලි පොතු

බෙලි පොතු ගෙන හොඳින් සෝදා වේළාගන්න. පසුව සූදුරු සහ කොත්තමල්ලි එකතු කොට යම් ප්‍රමාණයකට රත් කර ගන්න. එය හොඳින් කොටා ගෙන කෝපි මෙන් උදේ හවස පානය කරන්න. ශරීරයේ උෂ්ණත්වය පාලනය කරයි. වාත සෙම් පිත රෝග මර්දනය කරයි.

බෙලි මල
 
බෙලි මල් නොයෙක් කසාය සඳහා යොදා ගනී. බෙලි මල් වේළා කොටා කුඩු කර තේ සමානව හකුරු සමඟ පානය කිරීම පිපාසයට හොඳ ඔෟෂධයකි. එමෙන්ම බෙලි මල් පානය ප්‍රණීත පානයකි. ශරීරයේ උෂ්ණත්වය නිවමින් ලේ පිරිසුදු කරනවා පමණක් නොව සෙම් රෝග පිත නිවාරණය කරයි.

බෙලි දලු
 
බෙලි කොළ සහ දලු සෝදා සිහින්ව කපාගෙන රතුලූනු දෙහි ඇඹුල් එකතු කොට සම්බෝලයක් ලෙස සකස් කරගෙන ආහාර වේලට එක්කර ගන්න. මෙහිදී බඩවැලේ ගල්, වැලි ආදිය සිරවීම, ආමාශයේ ආහාර හිරවීම පමණක් නොව අම්ල පිත්ත රෝගයටත් නියම ඔෟෂධයකි.

බෙලි ගෙඩිය

 
බෙලි ගෙඩියේ කටුව සූදුරු සුදුලූනු සමඟ තම්බා පානය කිරීමෙන් අජීර්ණ ස්වභාවය වළක්වා ගත හැකිය. එමෙන්ම මල බද්ධයට නියම ඔෟෂධයකි. බෙලි මදය ඇට ඉවත් කර සීනි ඉඟුරුපියලි, සූදුරු, කොත්තමල්ලි පදම සාදාගෙන මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් මූත්‍ර රෝග ඇතිවීම වළක්වයි. බෙලි ගෙඩියේ ඇට කොප්පරා, අමු කහ සමඟ අඹරා මීතෙල් දමා කැඩුණු අස්ථිවලට තබා වෙළීමෙන් අස්ථි ළං වේ. එමෙන්ම අස්ථි ශක්තිමත් වෙයි. එමෙන්ම බෙලි මදය (පැය දෙකකට පමණ) කුසගින්න නිවා ගැනීමට ආධාර වෙයි.

වාස්තු විද්‍යාවට අනුව 

බෙලි ශාකය නිරිත දිශාවට ඉතා යහපත් බව කියනු ලැබේ. වාස්තු විද්‍යාවේ දී බෙලි ශාකය හඳුන්වනු ලබන්නේ ශ්‍රියා පල ශාකය ලෙසයි. එම නිසා මෙම ශාකය විශ්ව ශක්තිය පිටව යන නිරිත දිශාවේ සිටුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.හින්දු ආගමික හා දේව විශ්වාස හා බැදුනු ප්‍රධාන වෘක්ෂයක් වන්නේ බෙලි වෘක්ෂයයි. බෙලි වෘක්ෂය සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම ආගමික විශ්වාසය වන්නේ බ්‍රහ්ම, විශ්ණු සහ ඊශ්වරය  (හින්දු ආගමේ එන ත්‍රිමුර්තිය) යන දෙවිවරු මෙම වෘක්ෂයට අරක්ගෙන ඇතය යන්නයි. එය සංඛේතවත් වන්නේ බෙලි පත්‍රයේ ඇති පත්‍රිකා තුනෙන් බව හින්දුන් අතර  දැඩි විශ්වාසයක් ඇත.

මීට අමතරව විශ්ණු දෙවියන්ගේ භාර්යාව වන ලක්ෂ්මිය වාසය කරන ස්ථාන අතර මුලින්ම කියැවෙන්නේ බෙලි ශාකයයි. ලක්ෂ්මිය යනු හින්දු විශ්වාස වලට අනුව සෞභාග්‍යයේ සුරූපිනියයි. ඇය සිතූ පැතු සම්පත් ලබාදෙන වස්තුන් අතරින් එකකි. සුර අසුර යුද්ධයේදි විශ්ණුහු විසින් ක්ෂීර සාගරය කලම්බා සොයාගත් වස්තූන් අතරින් ලක්ෂ්මියද එක් වස්තුවකි. ලක්ෂ්මියගේ වාසභවනය යන අර්ථයෙන් ‍බෙලි වෘක්ෂයද සෞභාග්‍යමත් බවේ සංඛේතයක්ය යන පිළිගැනීම පැරැන්නන් අතර පැවතුණි. ඒ අනූව සෑම නිවසකම ඉදිරියේ දකුණු පැත්තට වන්නට බෙලි ශාකයක් රෝපනය කර ගැනීමට පැරැන්නෝ පෙළඹී සිටියහ. ශීව දෙවියන් පිදීමටද බෙලි පත්‍ර යොදාගැනීමට හින්දුන් කටයුතු කරණු ලැබේ. බෙලි වෘක්ෂයේ ඇති ඖෂධීය වටිනාකම නිසාම ශිව දෙවියන්ගේ මහත් ආදර ගෞරවයට එය පත්වු බව විශ්වාසයක් ඇත. ඒ නිසාම හින්දු දහමේ වන්දනාවට පාත්‍රවන ශංකර්(ශිව) දෙවියන්ගේ භාර්යාව වූ පාර්වතියගේ පියොවුරු හා සමාන කොට බෙලි ඵලය දැක්වීමට පුරාණ ශ්‍රේෂඨ සංස්කෘත පොත්පත් වල කතුවරුන් කටයුතු කර ඇත. බෙලි ශාකය වූකලි සර්ව බලධාරී දෙවියන් විසින් මිනිසාගේ සුභසිද්ධිය සදහාම ත්‍යාග කරන ලද්දක් යැයි විශ්වාසයක්ද ඇත. ඒ අනූව බෙලි ශාකයක් කපා දැමීම දෙවියන්ගේ කොපයට හේතුවක් වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නොයෙක් ආකාරයේ රෝග පීඩා ඇතිවිම සිදුවන බවටත් විශ්වාස කෙරේ. වර්තමානයේද බෙලි ගස් කැපීම හෝ දර වශයෙන් ගිනි දැල්වීමට ගැනීම නොසුදුසු යැයි/ නොකල යුතු යැයි යන මතයක් සමාජයේ ඇත. බෙලි ගස් වැවෙන ස්ථාන අසල භූමියේ අභ්‍යන්තරයේ හොදින් වතුර ඇති බවටද පිළිගැනීමක් ඇත. එය ලිං කැනීමේදි සුදුසු ස්ථානයක් සොයා ගැනීමට හොද ඉගියක් කොට ගැනීමට එම කාර්යයේ නිරත වන්නෝ පුරුදුව සිටිති.


ගස් වර්ග 15 - 06. කොහොඹ ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

06. කොහොඹ ශාකය

Azadirachta indica, flowers & leaves
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
කොට්ඨාශය: Flowering plant
ගෝත්‍රය: Sapindales
කුලය: Meliaceae
ගණය: Azadirachta
Species: A. indica
Binomial name
Azadirachta indica
Adrien-Henri de Jussieu

කොහොඹ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසකි. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ඇස්ඩ්‍රක්ටා ඉන්ඩිකා(Azadirachta indica) වේ. මෙය ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයකි.තවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.කොහොඹ ශාකය, ශ්‍රි ලංකාවේ වැඩි වශයෙන් වැවෙන්නේ වියළි කළාපය ආශ්‍රිතවය. යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, පුත්තලම, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල බහුලය. ඉඩෝරයට ඔරොත්තු දෙන කොහොඹ ගස් යාපනය, ත්‍රිකුණාමලය මග දෙපස වවා ඇත. මෙහි ඵල(ගෙඩි) සහ බීජ(ඇට) කොහොඹ තෙල් සෑදීම සදහා යොදාගනී.


කොහොඹ ශාකය සීග්‍රයෙන් වර්ධනය වන අතර මීටර 15-20 (අඩි 50) පමණ උසට වැඩේ. මීටර 35-40 උස යන ගස් කලාතුරකින් දක්නට ලැබේ. මෙම ශාකය දේවදාර ශාකයට සමාන බවක් දක්වයි. මෙය ශක්තිමත් කඳක් සහිත ගසකි. සෑම අතටම විහිදුනු අතුවල ශාක පත්‍ර විශාල වශයෙන් දක්නට ලැබේ. එම නිසාම කොහොඹ හොඳ සෙවණ ඇති ගසක් ලෙස ප්‍රචලිතය. කොහොඹ තිත්ත රසට හොඳම නිදර්ශනයක් වේ. කඳේ පොත්තත්, ශාඛ පත්‍රත් තිත්ත රසය. පොත්තේ තිත්ත කහට රසක් ඇත. පොත්ත දුඹුරු පැහැතිය. ළපටි අතු සිනිදුය. කොහොඹ ශක්තිමත් කඳක් හා විහිදී යන අතු සහිත අඩි 50-60 පමණ උසට වැඩෙන ශාකයකි. එහි පොත්ත දුඹුරු පාටය. ළපටි අතුවල පොත්ත සිනිඳුය. පත්‍ර තරමක් ළං ළංව පිහිටා ඇත. එවා පක්ෂවත්ය. එක් එක් පත්‍රයක ළා කොළ පාට සිනිඳු පත්‍රිකා ජෝඩු 2-8 දක්වා ඇත. පත්‍රයක අග්‍රස්ථ පත්‍රිකාවක් සහිතය. පත්‍රිකාවල හැඩය ලංසාකාර-දාත්‍රාකාරය. ඒවායේ දාරය දන්තූර-කරපත්‍රිකය. කක්ෂීය පුෂ්පමංජරි සංයුක්ත ඒකාක්ෂියකි. පුෂ්ප හටගන්නේ මාර්තු-මැයි කාලයේ ය. මල සුදුපාටය, කුඩාය, සුවඳවත්ය. එවා ද්වීලිංගිකය. දල ආයතය, ඵලය අෂ්ටිලයකි. එය තරමක් ගෝලාකාරය, සිනිඳුය, මොටය. එක් එක් ඵලයෙහි තනි බීජයක් තිබේ.


කොහොඹ කඳ ඉතාමත් ශක්තිමත් ඒවාගේම බර ද වේ. කඳෙන් ඉරා ගත් ලීයක ඝන අඩියක් කිලෝ ග්‍රෑම් 20 ක් පමණ බරය. කඳ කැපූ විට රතු පාටය. ඉන්පසු ටිකින් ටික රතු පැහැයට හුරු දුඹුරු පැහැයකට හැරේ. කොහොඹ ලීය හොඳන් පදම් කළ හැකිය. නොයෙක් කැටයම් සඳහා සුදුසුය. නමුත් හොඳන් ඔප දැමිය නොහැක. කොහොඹ ලීයට ගුල්ලන් සහ අනෙකුත් කෘමීන්ගෙන් හානියක් නොමැත.පැරණි නිවෙස් වල උඵවහු, ජනේල, කරත්ත සහ නගුල් සඳහා කොහොඹ ලී භාවිතා කර තිබේ.

දෙපසට විහිදුනු පත්‍ර සෙන්ටිමීටර 20-40 ක් අතර දික්ව පිහිටන අතර සෙන්ටිමීටර 20-31 මධ්‍යම ප්‍රමාණයේ සිට සෙන්ටිමීටර 3-8 තද කොළ පැහැති පත්‍රිකා දක්වා විහිදෙයි. කෙළවර පත්‍රිකාව බොහෝ දුරට දක්නට නොමැත. පත්‍ර වෘන්තය කෙටිය. කොහොඹ මල්(සුදු සහ මනා සුවඳැති) සැකසී ඇත්තේ කක්ෂයෙන් පිපෙන විසිරැනු මල් ඉත්තක් ලෙසිනි. එම ඉති සෙන්ටිමීටර 25 ක් පමණ දික් වේ. එක් මල් ඉත්තක් මල් 150-250 පමණ දරා සිටී. එක් මලක් මිලිමීටර 5-6 පමණ දික්වන අතර මිලිමීටර 8–11 පමණ පුලුල් වේ. ප්‍රපුන්පරිණත, ද්වීලිංගික මල් සහ පුරුෂ මල් එකම ශාකයක දක්නට ලැබේ.කොහොඹ ශාකයෙහි මල් හටගනු ලබන්නේ මාර්තු සිට මැයි දක්වා කාල සීමාවේදීය. ගසෙන් නෙලා ගත් මල් හා අව්වේ වේලාගත් මල් යොදා යාපනය ප්‍රදේශයේ ගෘහනියන් රසවත් ව්‍යන්ජනයක් පිසියි.

කොහොඹ ගෙඩිය (පළතුර,ඵලය) සෙන්ටිමීටර 2ක් පමණ දිගටිය. ගෙඩියේ අෂ්ටිඵලයේ හැඩය තරමක් රවුම් ඕවලාකාරව දික්ව පිහිටයි. ඉදුණු ගෙඩියක් සෙන්ටිමීටර 1.4–2.8 සිට 1.0–1.5 දක්වා වේ. ගෙඩියේ පොත්ත සිනිදු හා දම් පැහැතිය. කොහොඹ ගසෙහි සෑම කොටසක්ම තිත්ත වුවත් ගෙඩි තිත්ත නැත. ගෙඩියේ පොත්ත තුල ඇත්තේ තිත්ත හා පැණි රස මුසු කහ පැහැයට හුරු සුදු පැහැති කෙඳි සහිත ලොඳකි. මෙහි අන්තර් කෝශය සෙන්ටිමීටර 0.3–0.5 පමණ උකුය. ගෙඩියේ සුදු පැහැති තද අභ්‍යන්තරාවරණය(ගෙඩිය ඇතුල් කටුව) තුළ දුඹුරු පැහැති ලෙල්ලක් සහිත දිගටි බීජයක් ඇත. කලාතුරකින් බීජ 2,3 සහිත ගෙඩි ද දක්නට ලැබේ. එම බීජයෙන් කොහොඹ තෙල් හිඳ ගනී. තෙල් හිඳ ගත් පසු ඉතිරිය පොහොර වශයෙන් භාවිතයට ගනී. කොහොඹ ගෙඩි කුරැල්ලන්ගේ හා ලේනුන්ගේ ප්‍රියතම ආහාරයක් වේ.

කොහොඹ නියගයට ඔරොත්තු දෙන ශාකයකි. සාමාන්‍යයෙන් මෙම ශාකය ව්‍යාප්ත වන්නේ වියළි හා තෙත මිශ්‍ර පාරිසරික තත්ත්වයක, මිලිමීටර 400-1200 අතර වාර්ෂික වර්ෂාපයතනයක් යටතේය. වාර්ෂික වර්ෂාපයතනය මිලිමීටර 400 ට අඩු ප්‍රදේශයන්හී ද මෙය වැවිය හැකි නමුත් එවැනි අවස්ථාවකදී එය බොහෝ දුරට භූමීය ජල මට්ටම මත රඳා පවතී. කොහොඹ විවිධ පස් වර්ගයන්හි වැවිය හැකි නමුත් එය හොඳින් ව්‍යාප්ත වන්නේ ජලය බැස යන වැලි සහිත පසෙහිය. මෙය නිවර්තන මෙන්ම අර්ධ ශුෂ්ක ගසක් ලෙස්ද පෙනී සිටින අතර වාර්ෂික මධ්‍යන්‍යය උෂ්ණත්වය සෙල්සියස් අංශක 21-32 අතර වේ. එයට ඉතා ඉහළ උෂ්ණත්වයන් දරා සිටිය හැකි නමුත් සෙල්සියස් අංශක 4ට අඩු උෂ්ණත්වයන්ට ඔරොත්තු දිය නොහැක. කොහොඹ යනු නියං පවතින බිම්වල ව්‍යාප්ත වන සිසිල සලසන ශාකයන් අතලොස්සෙන් එකකි. උදාහරණ ලෙස ශුෂ්ක වෙරළාශ්‍රිත, ඉන්දියාවේ සහ පාකිස්තානයේ දකුණු ප්‍රදේශයන් දැක්විය හැක. මෙම ගස් ජලයේ ගුණය සමග එතරම් සන්වේදී භාවයක් නොදක්වන අතර ව්‍යාප්ත වන්නේ සුලු ජල ප්‍රමාණයකය. ඉන්දියාව තුල සහ නිවර්තන රටවලට ඉන්දියානු ජනයාගේ විසිර යමෙදී, වීධී දෙපස ද, පූජනීය ස්ථාන ආශ්‍රිතවද, පාසල් සහ අනෙකුත් පොදු ගොඩනැගිලි හෝ බොහෝ මිනිසුන්ගේ පසුපස මිදුල්හි ද සෙවණ සඳහා කොහොඹ ගස් යොදා ගත් බව පොදුවේ දැකිය හැකි කරුනකි.කොහොඹ ගස් ඉතා වියලි ප්‍රදේශයන්හි විශාල වශයෙන් වගා කර ඇත. බොහෝ ප්‍රදේශයන්හි කොහොඹ වල් පැළෑටියක් ලෙස නිගමනයන්ට එළඹ ඇත. සමහර මැදපෙරදිග කොටස් ද වැඩි වශයෙන් උප සහරානු අප්‍රිකා කොටස් ද බටහිර අප්‍රිකා හා ඉන්දීය සගරය ආශ්‍රිත කොටස් ද මීට ඇතුලත් වේ. පරිසර විද්‍යාත්මකව ගත් කළ එවැනි ප්‍රදේශයන්හි ද තවදුරටත් කොහොඹ ශාකය නොනැසී පවතී. නමුත් මෙය වල් පැලෑටියක් බවට තවමත් සම්පූර්ණයෙන් තහවුරු කර නොමැත.

සාම්ප්‍රදායික ඔෟෂධයක් ලෙස

ඉන්දියාවේ මිලියන 2 කට අධික ප්‍රමාණයක්, කොහොඹ ශාකය ආශ්‍රයෙන් සදන නිෂ්පාදිත වල ලෙඩ සුව කරන ගුණයක් ඇති බව සලකා භාවිතයට ගනී. ආයුර්වේදයේ නියතු වුවන් කොහොඹ නිෂ්පාදිත ප්‍රතිහෙල්මින්තික, ප්‍රතිබැක්ටීරිය, වයිරස් නසන, උපත් පාලක සහ වේදනා නාශකයක් ලෙස විශ්වාස කරයි. මෙය ආයුර්වේදයේ හා යුනානි වෙදකමෙහි ප්‍රධාන සංරචකයක් වේ. එහිදී කොහොඹ විශේෂයෙන් සමේ රෝග සඳහා නිර්දේශ කොට ඇත. එසේම කොහොඹ තෙල් හිසකෙස් නිරොගී කර ගැනීමටත්, අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමටත්, ලේ වල සීනි මට්ටම පාලනය කර ගැනීමටත් භාවිතා කරයි. කොහොඹ කොළ සමේ රෝග(උදා:දද, සෝරෙෙසියසිස්) සත්කාරකයක් ලෙස යොදාගනී.
කෙසේ වුවද කොහොඹ ශාකයෙන් ගත හැකි ප්‍රයෝජන පිළිබඳ සෙවීම් ඉතාමත් අඩු බව දක්නට ලැබේ.කොහොඹ දිගුකාලීනව භාවිතය වකුගඩු සහ අක්මාවට හානි පැමිණවිය හැකි බැවින් තරුණ ජනතාවට මෙය කෙටිකාලීනව භාවිත කල හැක. කොහොඹ තෙල් විෂවීම් නිසා කුඩා දරුවන් මරණයට පත්වීම් සිදුවිය හැක. කොහොඹ ගබ්සා වීම්, මදසරු භාවය හා ලේ වල සීනි ප්‍රමාණය අඩු වීමට හේතු විය හැක.

වෙනත් ප්‍රයෝජන

ඉන්දියානු ජනතාව කොහොඹ දලු සහ මල් එළවලුවක් වශයෙන් ආහාරයට ගනී. තමිල්නාඩු ජනයා කොහොඹ මල් වලින් වෙප්පම්පූ චාරු (Veppampoo charu) නම් සූපයක් පිළියෙල කරයි. බටහිර බෙන්ගාලයේ, නොමේරූ කොහොඹ දලු සහ කුඩා වම්බටු කැබලි තෙලෙහි බැද කට ගැස්මක් ලෙස භාවිතයට ගනී. කොහොඹ අග්නිදිග ආසියාවේ විශාල භූමි ප්‍රදේශයක භාවිතයට ගනී. කොලොම්බියාව, ලාඕසය, තායිලන්තය, මියන්මාරය වැනි රටවල් ඒ අතරින් විශේෂ වේ. හොඳින් පිසගත්තද, මෙය ඉතා තිත්ත රසැති ආහාරයක් බැවින් මෙම ප්‍රදේශයන්හි සියලුම නිවැසියන් මෙවා අනුභව නොකරයි. මෙය සෞඛ්‍යට හිතකර ආහාරයක් බවට විශ්වාසයක් තිබේ. කොහොඹ මැලියම් වල ප්‍රෝටීන් බහුලය. මියන්මරයේ, නොමේරූ කොහොඹ කොළ සහ මල් සියඹලා සමග තම්බා තිත්ත ගතිය අඩු කොට එළවලුවක් ලෙස ආහාරයට ගනී. තව ද මියන්මාර ජනයා කොහොඹ කොළ අච්චාරුව තක්කාලි සහ මාලු මිශ්‍රිත සෝස් සමග අනුභව කරයි.

කෘමී හා විෂබීජ නාශකයක් ලෙස

කොහොඹ රසායනික පළිබෝධ නාශක වෙනුවට භාවිත කළ හැකි ස්වාභාවික පළිබෝධ නාශකයකි. කුඩු කරගත් කොහොඹ ඇට රැය පුරා පෙගෙන්නට හැර බෝග වලට ඉසිනු ලැබේ. මෙහි ඵලදායී කර ගැනීම සඳහා දවස් 10කට වරක්වත් දිගින් දිගටම යෙදිය යුතුය. කොහොඹ බෝග වල සිටින කෘමීන් එකවර විනාශ නොකරයි. එය කෘමී වර්ධනය හීන කිරීමත් බිත්තර දැමීම පාලනය කිරීමත් මගින් බෝග හානිය වලක්වයි. කෘමීන් ආහාර නොමැති වීමෙන් කිහිප දිනකින් විනාශ වේ. කොහොඹ පොහොර ලෙස විකුණයි.
කොහොඹ තෙල් වේයන් වර්ධනය වලක්වමින් පරිසර හිතකාමියෙකු ලෙස කටයුතු කරයි.



ඖෂධීය වටිනාකම



සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල කොහොඹ හැඳින්වෙන්නේ "නිමිඛ", "පිවුමන්ද" හා "අරිෂ්ට"  යන නම්වලිනි. නිමිඛ (කොසඹ) හා මහා නිමිඛ (මහා කොහොඹ) යයි කොහොඹ දෙවර්ගයකි. කොහොඹ තිත්තය, සිසිල්ය. සෙම් රෝග, රක්ත දෝෂ, පිත්ත දෝෂ, කුෂ්ට හා වණ නසයි. නොපැසුණු වණ පැසවයි. පැසුණු වණවල සැරව පිට කරයි. පෙනහලු රෝග, උණ රෝග, ආහාර අරුචිය, කුරුමිණි හා පණු රෝග, වමන රෝග හා ඉදිමීමේ රෝග සුවපත් කරයි. ක්ෂය, විෂ, පිත්, දැවිල්ල හා වාතය පහ කරයි. මල බඳියි. කොහොඹ කොල ඇසට හිතකරය. කෘමි විෂ දුරු කරයි. වාතය වඩයි. මහ කොහොඹ තිත්තය. කුෂ්ට. රක්ත දෝෂ, උණ හා මී විෂ නසයි. 



කොහොඹ ඇටවලින් සාදා ගනු ලබන තෙල් කහ පාටය. කටුකය, තිත්තය. එහි අප්‍රිය ගඳක් ඇත. ඉන්දියාවේ බෙහෙවින් කොහොඹ තෙල් නිශ්පාදනය කෙරේ. ඒ ඖෂධයක්, කෘමිනාශකයක්, පහන් දල්වන තෙලක් ආදී වශයෙන් ප්‍රයෝජනයට ගනු පිණිසයි. කොහොඹ තෙල් වෙනත් තෙල් හා මේද සමග මිශ්‍ර කොට සබන් සාදනු ලැබේ. ගව ආදී සතුන්ගේ ශරීරයෙහි වසන මැක්කන් බඳු කෘමීන් පහ කිරීම හා එම සතුන්ගේ තුවාලවල මැස්සන් ඉහඳ තැබීම වැළැක්වීම සඳහා කොහොඹ තෙල් ආලේප කරනු ලැබේ. වණ, කුෂ්ට, දද හා සමේ කැසීම් ආදියට ප්‍රතිකාර වශයෙන් භාවිතා කරන තෙල් හා ආලේපන රාශියකට කොහොඹ තෙල් එකතු කෙරේ.



කොහොඹ කොළවලින් හා කොහොඹ තෙල්වලින් සාදා ගත් මිනිසාට හෝ පරිසරයට හානි නොවන ශාකමය කෘමිනාශක ඇතැම් රටවල භාවිතා කෙරේ. කොහොඹ ඇට කොටා වණ්ඩුවේ තම්බා මිරිකා තෙල් ලබාගත් පසු ඉතිරි වන රොඩු (මුරුවට) දිය කොට හොඳින් කලතා පෙරාගත් තෛලෝදය ඉතා හොද කෘමිනාශකයකි. මෙහි ගුණය හිරු එළියෙන් විනාශවන නිසා හිරු නැගෙන්නට පෙර ඉසීම වඩාත් යෝග්‍යයි. මේ තෛලෝදයෙන් පළඟැටියන්, පණුවන්, පිටිමකුණන්, මඳුරු කීටයයන්, ගොළුබෙල්ලන්, ගෙමැස්සන්, කුරුමිණියන් හා ජපන් කුරුමිණියන් මර්දනය කළ හැක. 



ධාන්‍ය වර්ග ගබඩා කරන විට ඒවාට කොහොඹ කොළ මිශ්‍ර කිරීමෙන් ඒවා පුස්, ගුල්ලන් හා කෘමීන්ගෙන් ආරක්ෂා කර ගත හැකි බව සනාථ වී තිබේ. මේ වන විට බටහිර රටවල පවා කෘමිනාශකයක් ලෙස  කොහොඹ තෛලෝදය භාවිතා කරයි.


ගස් වර්ග 15 - 05. නා ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

05. නා ශාකය

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය මෙය වේ. ශ්‍රී ලංකාවට ආවේණික වුව ද ඇසෑම්, දකුණු නේපාලය, ඉන්දු චීනය සහ මැලේ අර්ධද්වීපය වැනි ප්‍රදේශවල ද වගා කරනු ලැබේ. නා ගස ලෙස හඳුන්වන වෘක්‌ෂය ආසියාතික රටවල සෑහෙන ව්‍යාප්ත වී ඇති අතර මැලේ අර්ධද්වීපය, සුමාත්‍රාව, මියන්මාරය, තායිලන්තය, සහ ආශ්‍රිත ඉන්දු චීන රටවල මේ ගස ස්‌වාභාවිකව දක්‌නට ලැබේ. මීට අමතරව බොහෝ නිවර්තන රටවල මේ ගස අලංකාරය සඳහා වවනු ලබන්නකි. මෙම ශාඛයේ දැව ඉතා දැඩි ස්වභාවයක් ගන්නා බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් "අයන් වුඩ්" ලෙස හඳුන්වනු ලැබේ. සෙවණ සදන විසල් අතු පතරින් සහ සුවඳවත් මලින් ද යුක්ත මෙම ශාකය නිවර්තන දේශගුණ කලාපවල සරුවට වැඩේ. නා ගසේ ඵල ප්‍රයෝජන බොහොමයක්‌ ඇති අතර දැවය (සිල්පර කඳන් සඳහා ඉන්දියාවේ භාවිත වේ), මල් (සුවඳ විලවුන් හා බෙහෙත් සඳහා, මල්වලින් සිඳ ගන්නා තෙල් සබන් සඳහා), ඇට (ආහාරය සඳහාත් ඇටවලින් සිඳ ගන්නා තෙල් බෙහෙත් සඳහාත්), මුල් (බෙහෙත් සඳහා) හා පත්‍ර (බෙහෙත් සඳහා) යොදා ගත හැකි ය.

අඩි 100 ක් පමණ උසට වැඩෙන නා ගසේ කඳේ පාදම බොහෝ විට රුකුල්වලින් යුක්ත වන අතර කඳේ විශ්කම්භය මීටර් 2 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක උසක් දක්වා වූ තෙත් කලාපයේ බහුලව පවතී. 7 - 10 cm පමණ දිගින් යුතු සරළ, පටු සහ දිගටි ශාක පත්‍ර තද කොල පැහැති වන අතර පත්‍රයේ යටි පැත්ත සුදු පැහැතිය. අලුතන් මතු වන දළු, රතු පැහැති හෝ කහ පැහැයට හුරු රෝස පැහැති වන අතර එල්ලා වැටෙන ස්වභාවයක් දරයි. මලක විශ්කම්භය සෙන්ටිමිටර් 4 - 7.5 පමණ වන අතර පෙති 4 කින් යුතු සුදු පැහැති මල මැද කහ පැහැති රේණු විශාල ප්‍රමාණයක් වෙයි.

නා ගස අයත් වන ශාක ගණයට ද්විපද නාමකරණයේ පියා ලෙස හැඳින්වෙන ලිනේයස්‌ විසින් Mesua (මෙසුආ) යන නම ලබා දෙන ලදී Mesua (මෙසුආ) ගණය විශේෂ 50කින් පමණ සමන්විත වේ. මේ ගණයේ දර්ශීය විශේෂය ලෙස නම් කර ඇත්තේ ද ලිනේයස්‌ විසින් වර්ෂ 1753 දී Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) ලෙස නම් කරනු ලැබූ නා ගසයි. මේ නම ලබා දීමට ලිනේයස්‌ පාදක කර ගත්තේ පෝල් හර්මන් නමැති ඕලන්ද ජාතික වෛද්‍යවරයා විසින් එක්‌ දහස්‌ හය සිය ගණන්වල ලංකාවෙන් එකතු කරණු ලැබූ ශාක නිදර්ශකයන් ය.

බොහෝ කාලයක්‌ පුරා නා ගස හඳුන්වනු ලැබුවේ Mesua ferrea (මෙයුආ ෆෙරෙයා) යන නමින් වුවත් මේ ශාකය අයත් වන Clusiaceae කුලය දිගු කලක්‌ තිස්‌සේ අධ්‍යයනය කළ උද්භිද විද්‍යාඥයකු වූ ආචාර්ය ඒ. ඡේ. ජී. එච්. කොස්‌ටර්මාන් විසින් අලුත් මතයක්‌ ඉදිරිපත් කරන ලදී. ඔහු දක්‌වා සිටියේ ලිනේයස්‌ විසින් Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) යන විද්‍යාත්මක නාමය ලබා දී ඇත්තේ නා ගසට නො ව අප රටේ දක්‌නට ලැබෙන පැම් ගණයට ම අයත් තවත් විශේෂයක්‌ වන Mesua thwaitesii (මෙසුආ ත්වේට්‌සි) ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන දිය නා ශාකයට බවයි. ඒ අනුව ඔහු විසින් අපේ දිය නා ශාකයේ නම Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) ලෙස සංශෝධනය කරන ලදී.

Mesua (මෙසුආ) ගණය ගැන වැඩිදුරටත් පර්යේෂණ කළ ආචාර්ය කොස්‌ටර්මාන්ට පෙනී ගියේ නා ගස, උද්භිද විද්‍යාඥ නිකොලස්‌ බර්මන් විසින් 1768 දී උද්භිද විද්‍යාත්මකව නම් කරනු ලැබ ඇති බවයි. එහෙත් බර්මාන් මේ ශාකය ඇතුළත් කර තිබුණේ දොඹ ශාකය අයත් වන Calophyllum (කැලෝෆිලම්) ගණයට ය. ඒ අනුව ඔහු මේ ශාකයට දී තිබුණේ Calophyllum nagassarium (කැලෝෆිලම් නාගසාරියම්) යන නමයි. (නාගසාරි යනු ජාවා රටේ නා ගස හඳුන්වන ව්‍යවහාරික නම ය)

බර්මාන් මේ නම දීමට පාදක කරගත් මුල් නිදර්ශකය සසඳා බැලු කොස්‌ටර්මාන් විසින් එය Calophyllum (කැලෝෆලම්) ගණයට නො ව Mesua (මෙසුආ) ගණයට අයත් විය යුතු බවත් එබැවින් එහි නම Calophyllum nagassarium (කැලෝෆිලම් නාගසාරියම්) නො ව Mesua nagassarium (මෙසුආ නාගසාරියම්) ලෙස වෙනස්‌ විය යුතු බවත් යෝජනා කරන ලදී.

මේ අදහස්‌ ආචාර්ය කොස්‌ටර්මාන් විසින් 1976 වර්ෂයේ දී Ceylon Journal of Science නමැති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක්‌ මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ශාක සංග්‍රහය පුනරීක්‌ෂණය කිරීමේ ව්‍යාපෘතියේ දී Clusiaceae කුලය පුනරීක්‌ෂණය කිරීම භාර ව සිටියේ ද ආචාර්ය කොස්‌ටර්මාන් මහතා ය. ඔහු නා ගස සඳහා Mesua nagassarium (මෙසුආ නාගසාරියම්) යන නමත් දිය නා සඳහා Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) යන නමත් ලබා දී තිබිණි. මේ සංශෝධනය ඇතුළත් මහාචාර්ය එම්. ඩී. දසනායක හා ආචාර්ය රේමන්ඩ් පොෆස්‌බර්ග් මහතුන් විසින් සංස්‌කරණය කරන ලද ශ්‍රී ලංකාවේ ශාක සංග්‍රහයේ පුනරීක්‌ෂිත වෙළුම 1980 දී පළ විය.

මේ නව වෙනස්‌ වීම නිසා තරමක අසීරුතාවක්‌ ඇති වුව ද සාමාන්‍යයෙන් උද්භිද විද්‍යාත්මක නම් විවිධ නව සොයා ගැනීම් නිසා මෙලෙස විටින් විට වෙනස්‌කම්වලට භාජන වීම සාමාන්‍ය දෙයක්‌ බැවින් මෙරට උද්භිද විද්‍යාඥයන් විසින් ද කොස්‌ටර්මාන් මහතා ගේ සංශෝධිත නම් භාවිත කිරීමට පටන් ගන්නා ලදී.

රජය නා ගස ජාතික වෘක්‌ෂය බවට ප්‍රකාශයට පත් කිරීමත් සමග එහි විද්‍යාත්මක නාමය Mesua nagassarium (මෙසුආ නාගසාරියම්) බව සමහර ලිපි ලේඛනවල සටහන් විය. කෙසේ වෙතත් මේ වෙනස්‌ වීම ගැන දැනුවත් නො වූ අය හා ආචාර්ය කොස්‌ටර්මාන් මහතා ගේ සමහර උද්භිද විද්‍යාත්මක මත සමග එකඟ නො වන උද්භිද විද්‍යාඥයන් දිගට ම පාවිච්චි කළේ නා ගසට Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) හා දිය නා ගසට Mesua thwaitesii (මෙසුආ ත්වේට්‌සි) යන නම් බව ද සඳහන් කළ යුතු ය.

කෙසේ වෙතත් 1986 දී සුප්‍රකට Taxon වාර සඟරාවේ මේ පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක්‌ පළ කළ ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ උද්භිද විද්‍යාඥයකු වන පී. එෆ්. ස්‌ටීවන්ස්‌ මහතා පළ කළේ හාත්පසින් ම වෙනත් මතයකි. ඔහු කොස්‌ටර්මාන් පළ කර තිබූ මත විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරමින් බිඳ හෙළා ඇති අතර නා ගස Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) හා දිය නා ගස Mesua thwaitesii (මෙසුආ ත්වේට්‌සි) ලෙස හැඳින්වීම නිවැරැදි බව පෙන්වා දී ඇත.

ඉහත කරුණු සොයා බලන විට අපේ ජාතික වෘක්‌ෂයේ විද්‍යාත්මක නාමය වන්නේ Mesua ferrea (මෙසුආ ෆෙරෙයා) බව සඳහන් කළ යුතු ය. කලින් සඳහන් කළ අයුරු මෙය අප රටට ආවේණික නො වූවත් දේශීය ශාකයකි.

ආචාර්ය ස්‌ටීවන් ඇතුළු විවිධ උද්භිද විද්‍යාඥයන්ට අනුව Mesua ගණයට අයත් ශාක විශේෂ හතරක්‌ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත. ඉන් සුවඳ ශාකය (Mesua stylosa) (මෙසුආ සටයිලෝසා) ලංකාවට ආවේණික වේ. Mesua
ferrea (මෙසුආ ෆෙරෙයා)වලට අමතරව මේ ගණයට අයත් අනෙකුත් ශාක වන්නේ දිය නා (Mesua thwaitesii) හා Mesua pulchella (මෙසුආ පුල්කෙල්ලා) යන නමින් හඳුන්වන නා ගසට බොහෝ සේ සමාන ශාකයයි.

Mesua pulchella (මෙසුආ පුල්කෙල්ලා) හා දිය නා (Mesua thwaitesii) ඉන්දියාවේ ද ඇති බව සමහර වාර්තාවල සඳහන් වන බැවින් ඒවායේ ආවේණිකතාව ගැන නිශ්චිත කිව නොහැකි ය.


ගස් වර්ග 15 - 04. කුඹුක්‌ ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

04. කුඹුක්‌ ශාකය


ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සශ්‍රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක් වේ. මේ ශාකය සම්බන්දව පවතින විද්‍යාත්මක කරුණු දැන හෝ නොදැන, පැරණි මුතුන් මිත්තන් විසින් කුඹුක් ගස පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කර තිබෙන බව ඉතා පැහැදිලිය. විශේෂයෙන් සෑම වැවක් හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව කුඹුක් ගස් සිටුවීම ඔවුන් විසින් මනාව කරනු ලැබ තිබේ. එහෙත් අභාග්‍යකට මෙන් වර්තමානයේදී දැව කර්මාන්තයේ යෙදෙන්නන් ගේ අසත්‍ය කීම් බස් වලට මුලා වී, වැව් ආශ්‍රිතව වැවී තිබුනු කුඹුක් ගස් කපා දැමීම සිදු කරමින් තිබෙන බව දකින්නට ලැබේ. කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලව මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්ය.

විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්‍යවරු පවසති. ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්‍රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත. ඉහත සඳහන් ගැටළුව විසඳා ගැනීම සඳහා ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක් වන්නේ කුඹුක් ශාකය වේ. මේ ශාකය වැව් ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත.
පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකය. එම නිසා ස්වභාවධර්මයාට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්‍රධාන යුතුකම හා වගකීම වන්නේය. සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුය. ඒ සදහා එක් පියවරක් ලෙස සෑම වැවක් ආශ්‍රිතව මෙන්ම ළිං හා අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව හැකිතරම් කුඹුක් පැල සිටුවීම, පිරිසිදු පානිය ජලය ලබා ගැනීමටත් එමඟින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න භාවයත් ලබා ගැනීමටත් හේතු වනු ඇත.


අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි. මෙහි අතු හරස් අතට විහිදී යයි. පොත්ත ඉතා ඝනය, සිනිඳුය, ළා රෝස පාටය. මෙම පොත්තේ පහසුවෙන් පතුරු ගැලවී යයි. ළපටි රිකිලිවල සියුම් බූවක් ඇත. පත්‍ර සම්මුඛය, ආයතය, අඟල් 3-6 අතර දිගැතිය. පත්‍රයේ දෙකෙළවරම වටකුරුය. පත්‍ර දාරය කරපත්‍රිකය. පත්‍ර නටුව ඉතා කෙටිය. කක්ෂීය ශුකිවල හෝ කුඩා අග්‍රස්ථ සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප හට ගනී.

සාමාන්‍යයෙන් පුෂ්ප දක්නට ලැබෙන්නේ අප්‍රේල් හා මැයි මාසවලදීය. මේ පුෂ්පවලින් තද පැණි සුවඳක් හමයි. පුෂ්ප කොළ පාටට හුරු සුදු පාටයි. පුෂ්පයක රේණු 8-10 අතර ඇත. ඵලය තුඩක් සහිත නොපැලෙන අෂ්ටිලයකි. එහි මධ්‍යාවරණය මාංසලය. පිටට නෙරා සිටින දුඹුරු පාට පියාපත් 5 ක් ඵලයෙහි ඇත. ලංකාවේ පහතරට ගං ඉවුරු අසල කුඹුක් ගස් බහුලව වැවේ. වියළි ප්‍රදේශවලද වැව් ආශ්‍රිතව දක්නට ලැබේ. කුඹුක් පොත්තේ අගනා ඖෂධීය ගුණයක් ඇත. කුඹුක් ලීය තදය, ශක්තිමත්ය. එහි අරටුව රතු පාටට හුරු දුඹුරු පාටය. කුඹුක් ශාකය කොම්බ්‍රෙටාසේ (Combretaceae) කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම

කුඹුක් කසටය, සිසිල්ය, සෙම් පිත් නසයි, හෘදයට හිතකරයි, වණ ශුද්ධ කරයි. කැඩුණ බිදුණ ඇට සන්ධි කරයි, ශක්තිය වඩයි. හෘදයාබාධ, ලේ මදිකම, විෂ, මේදය වැඩිකම, රුධිර දෝෂ, වණ හා මුත්‍ර අඩස්සිය යනාදිය සුවපත් කරයි. පිපාසය සමනය කරයි. එහෙත් වාතය කුපිත කරයි. ආයුර්වේදයේදීත් දේශීය වෙදකමේදීත් කෂාය, පත්තු, මැල්ලුම් හා ආලේප රැසකට කුඹුක් පොතු හා මුල් භාවිතා වෙයි. එමෙන්ම කුඹුක් යනු ඖෂධමය වටිනාකමක් ඇති ශාකයකි. පැරැන්නන් විසින් කුඹුක් ගසෙන් ලබා ගත් ප්‍රයෝජන,

  • කුඹුක් පොත්තෙන් ලබා ගන්න අළු ගර්භනී මව්වරුන්ට සාම්ප්‍රදායික ඖෂධයක් වශයෙන් ලබා දීම.( වර්ථමානයේදී ගර්භනී මව්වරුන් ට කැල්සියම් පෙති ලබාදීමෙන් බලාපොරොත්තු වන කලලයේ වර්ධනය මෙමඟින් ඉටුකරගෙන ඇත)
  • කුඹුක් පොතු කුඩු කර ලේ ගලන තුවාල වලට තැබීමෙන් සුව කර තිබෙන අතර, සමේ ඇතිවන රෝග සඳහාද ඖෂධයක් වශයෙන් භාවිතා කර ඇත.
  • කුඹුක් පොතු හීනියට කුඩු කර දත් මැදීමෙන් දත් දිරා යාම වළක්වා දත් ශක්තිමත් කර ගැනීම සිදු කර ඇත.
  • මුඛයේ ඇතිවන ආසාදනයන් සඳහා කුඹුක් පොතු තැම්බු වතුරෙන් කට සෝදා ගැනීම කර ඇත.
ඓතිහාසික ගැට කුඹුක්‌ ගස
 
අලව්ව, පරමාවුල්ල අම්බලම අසල පිහිටි ඓතිහාසික ගැට කුඹුක්‌ ගස දුර්ලභ ගණයෙහි ශාකයක්‌ ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් නම්කර තිබේ. මෙම ශාකය ක්‍රි. ව. 1200-1300 සමයේ III විජයබාහු රජු විසින් ඉදිකරවන ලද වැවේ බැම්මෙහි මෙම කුඹුක්‌ ගස පිහිටි බව සැලකේ. 

අටවිසි බුදුවරුන් අතරින් යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
මාසයක් පමණ කෙටිකලක් දුෂ්කර ක්රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්වූ බව සාසන ඉතිහාසයෙහි වේ.

ගස් වර්ග 15 - 03. පුවක්‌ ශාකය (බාලදක්ෂයින්ට අවශ්‍ය)

03. පුවක්‌ ශාකය


ආසියාතික හා මුහුදුබඩ ආශ‍්‍රිත රටවල ජනයාගේ පුවක් සහ බුලත් සැපීමේ සම්ප‍්‍රදාය සහ පුරුද්ද වසර දහස් ගණනක ඉතිහාසයක් දක්වා දිවයයි. පුවක් සහ බුලත් එකට භාවිතා කිරීම මානසික ක‍්‍රියාකාරිත්වයක් සහිත ඖෂධීය ගුණයෙන් යුක්ත බවට එකල දැනුමක් තිබුණේ නැත. තායිලන්තයෙන් මෙන්ම ඉන්දුනීසියාවෙන් හා පිලිපීනයෙන් හමුවූ පුරාවිද්‍යාත්මක සාධක වලින් අනාවරනය වන්නේ බුලත් විට සැපීම වසර 4000 ක් හෝ ඊට වැඩි කාලයකට එපිට සිට පැවති බවයි. ඉන්දියානු උපමහාද්වීපයේ බුලත්විට සැපීම වේද යුගය සහ හරප්පා අධිරාජ්‍ය කාලය දක්වා විහිදී යයි. ක‍්‍රි.පූ. 140 - 08  අතර කාලයේ ලියැවුනේයයි සැලකෙන ”සැං-ෆූ-හුආංග්” ලේඛණයට අනුව පුවක් යන නාමය මැලේසියානු ”පින්ලැන්ග්” යන වචනයෙන් හැඳින්වී ඇති බව සඳහන් වේ. ස්පාඤ්ඤ ජාතික නාවිකයෙකු වූ අල්වරෝ ද මැන්ඩෙනා, සොලමන් දූපත් වාසීන් පුවක් සහ බුලත්, හුණු සමඟ සැපීමෙන් ඔවුන්ගේ මුව රත්පැහැයෙන් යුත් පැල්ලම් සහිත වූ බව වාර්තා කර ඇත.

පුවක් පිළිබඳව පවතින මතවාද ප‍්‍රතිවිරුද්ධ සහ අවිනිෂ්චිත ස්වභාවයේ ඒවාවේ. විවිධ පර්යේෂකයින් විසින් මැලේසියාව, පිලිපීනය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ සුමාත‍්‍රා දූපත්වලින් පුවක් වල වල් දර්ශ (වනගත ප‍්‍රභේද) හඳුනා ගෙන ඇත.

පුවක්‌ ගසේ ප්‍රධානතම විශේෂත්වය වන්නේ එය ආසියාතික රටවල පමණක්‌ වැවෙන ශාකයක්‌ වීමයි. ආසියාතික ගම්බද ජනතාවගේ පාරම්පරික ආශ්වාදජනක කෑමක්‌ වන "බුලත් විට" වල රස මතුකරන ප්‍රධානතම සාධකය පුවක්‌ය. "සිංහල පුවක්‌ හා රට පුවක්‌" යනුවෙන් ලංකාවේ ප්‍රචලිත පුවක්‌ වර්ග දෙකකි. පුවක්‌ ගෙඩිය ඇට (භමඑ) වර්ගයකට අයත් නොවුවද පුවක්‌ ගස ඉංග්‍රීසි බසින් හැඳින්වෙන්නේ රුජ්බමඑ නමිනි. සමහර අවස්‌ථාවල ඊeඑeකබමඑ ලෙසද පුවක්‌ ගස හඳුන්වා ඇත.

සිංහල පුවක්‌ "කහට රසය" මූලික කරගත් රසයකින් යුත් අතර එම පුවක්‌ වැඩිපුර කෑමෙන් ඇතමුන් මත් ගතියක්‌ මෙන්ම ක්‌ලාන්ත ගතියක්‌ද ඇතිවේ. එබැවින් බුලත් විටක්‌ කෑමේදී එම පුවක්‌ අවම පමණින් යොදා ගැනීම පළපුරුද්දෙන්ම කළ යුතුයි. සිංහල පුවක්‌ පැසීමට කලින් "ගොලෑ පුවක්‌" වන අතර හොඳින් පැසුණු ඉඳුණු පුවක්‌ "රබ්බඩ" ලෙස හැඳින්වේ. ගොලෑ පුවක්‌ හා රබ්බඩ පුවක්‌ අතරමැද පවතින පුවක්‌ (මඳක්‌ මදය මේරූ) "හාල් පුවක්‌" ලෙස ගැමි ජනතාව අතර ප්‍රකටය. අනෙක්‌ වර්ගය වන්නේ සිංහල පුවක්‌ ගෙඩියට වඩා ප්‍රමාණයෙන් විශාල වූ කහට රසයට වඩා කිරි රසයෙන් යුත් "රට පුවක්‌" නම් පුවක්‌ විශේෂයයි.

පුවක්‌ ශාකයේ ව්‍යාප්තිය

පොල්, තල්, කිතුල්, රටඉඳි ශාක මෙන්ම පුවක්‌ ද තාල වර්ගයේ (මුදුන් මුලක්‌ නොමැතිව පරිවාර මුල් මගින් පොළොවට සම්බන්ධ වන හා අතු නොබෙදෙන ශාක වර්ගයට අයත් (කුලය) ශාකයක්‌ වන අතර "පුවක්‌ ප්‍රචාරණය" සිදුවන්නේ මූලිකවම "පුවක්‌ ගෙඩිය" මඟිනි. පුවක්‌ ශාකය ගෙවතු වගාවක්‌ ලෙසද මිශ්‍ර වතු වගාවක්‌ ලෙසද වැට මායිම් හා ඉඩම් සීමා මායිම් දක්‌වන වගාවක්‌ ලෙසද ශ්‍රී ලංකාවේ පූරාණයේ සිටම ගම්බද හා අර්ධ නාගරික ප්‍රදේශවල ජනප්‍රියව පැවතිණි. මීට අමතරව ඇළ දොළ හා විශාල කුඹුරු වගා බිම් (කුඹුරු යායවල්) ආශ්‍රිතව පුවක්‌ ශාකය පැතිරී තිබෙනු දැකිය හැකිය. තෙත් කලාපයේද, අතරමැදි කලාපයේද පහළ කඳුකරයද පුවක්‌වල වැඩීමට යහපත් පරිසර සාධක හා දේශගුණික සාධක රැඳී ඇති අතර වියළි කලාපයේද පුවක්‌ ශාකය අතරින් පතර දක්‌නට ලැබේ. හොඳින් ඉදුණු පුවක්‌ ගෙඩියක්‌ තමන්ට කැමති ස්‌ථානයක අඟල් 2-3 ක්‌ පමණ ගැඹුරින් පසට යටකර මාස 2-3 ක්‌ දක්‌වා කාලයකදී ඉන් සාර්ථක පැළයක්‌ ලබා ගැනීමට හැකිය. ඉන්පසු නිදහසේ වැඩෙන පුවක්‌ ශාකය අඩි 10-15 දක්‌වා පමණ වර්ධනය වූ පසු (සාමාන්‍යයෙන් වසර 4-5 ක්‌ ඇතුළත) පලදැරීම අරඹයි. සාමාන්‍යයෙන් පුවක්‌ ගසක්‌ අඩි 30 - 50 උසක්‌ දක්‌වා වැවෙයි. එමෙන්ම පුවක්‌ ගසකට කිසිදාක පොහොර භාවිතයක්‌ කළ යුතු නොවීමද විශේෂයකි.

පුවක් නිෂ්පාදන සහ එහි භාවිතයන්

පුවක් ශාකයේ ඵල පොදුවේ පුවක් ලෙස හඳුන්වන අතර එ්වා සියළුම දකුණු ආසියාතික රට වල සහ බොහෝ අග්ණිදිග ආසියාතික මෙන්ම මුහුදුබඩ ආශ‍්‍රිත රටවල බුලත් සමඟ සැපීම සඳහා භාවිතා කරයි. එමඟින් සිරුරට මෘදු සැරගතියෙන් යුත් සන්වේදනයක් සහිත මෘදු උත්තේජනයක් ලබාදේ. පුවක් ගෙඩි අමු සහ වියලි යන ආකාර දෙකින්ම භාවිතා කරයි. ඉන්දියාව සහ පකිස්තානය යන රටවල අමු පුවක් කපා රසගන්වා විවිධ නිෂ්පාදන සකස්කරයි. චීනයේ සහ ඉන්දියාවේ ආයුර්වේදයේ හා සාම්ප‍්‍රදායික චීන ඖෂධ නිෂ්පාදන සඳහා පුවක් භාවිතා කරයි. කුඩු කරන ලද පුවක් ඇතැම් දන්තාලේප නිපදවීම සඳහා සංඝටකයක් ලෙස ඉන්දියාවේ භාවිතාවේ. එමෙන්ම ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශවල කුඩුකරන ලද පුවක් කෂාය හෝ නිස්සාරනය කරන ලද ඇල්කලොයිඩ පශුවෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වන්නේ සතුන්ගේ පටිපණු රෝගයට සහ ආහාර මාර්ගය ආශ‍්‍රිත පරපෝෂිතයින් මර්ධනය කිරීම සඳහා ඖෂධයක් ලෙසය.

එමෙන්ම පුවක් අතු ගෘහාශ‍්‍රිත භාණ්ඩ නිපදවීම සඳහා යොදාගනී. එ් අතර සැරසිල්ලක් ලෙස, පහසුවෙන් දිරායනසුළු පිඟන් නිර්මාණය සහ ඇසුරුම් ද්‍රව්‍යයක් ලෙස ද යොදාගනී. සාම්ප‍්‍රදායිකව පුවක් කොලපුව බත්මුල් බැඳීම සඳහා මෙන්ම කිතුල්පැණි ගබඩා කර තැබීම සදහාත් භාවිතා කරයි. හින්දු භක්තිකයින් විසින් මේරු පුවක් කඳ ගොඩනැගිලි ද්‍රව්‍යයක් ලෙස සහ ආගමික උත්සව වල දී  සැරසිල්ලක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. කුඩා පුවක් පැළ විසිතුරු පැළෑටියක් ආකාරයෙන් යොදා ගන්නා අවස්ථා ද ඇත.

මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟම ක්‍ෂේස්ත‍්‍රයේ ස්ථාපනය කල යුතුය. ක්‍ෂේස්ත‍්‍රය සකස් කිරීමෙන් අනතුරුව සෙ.මී. 60 ං 60 ප‍්‍රමාණයේ වලවල් වලට මතුපිට පස්, කොම්පෝස්ට් හෝ ගොම පොහොර යොදා පැළ සිටුවිය යුතුය. මනා ජලවහනයක් සඳහා ජලවහන කාණු පද්ධතියක් ක්‍ෂේස්ත‍්‍රයේ ස්ථාපනය කිරීම යෝග්‍යවේ. බෑවුම් සහිත ඉඩමක වගා කිරීමේ දී සමෝච්ච රේකා අනුව පැල සිටුවීම අනුමත කරනු ලැබේ. වඩා යහපත් වර්ධනයක් සඳහා කාබනික පොහොර අත්‍යාවශ්‍යවේ.

අස්වනු ලෙීම හා පසු අස්වනු ක‍්‍රියාකාරකම්

පුවක් ශාකය පීදීම සඳහා වසර 06 - 07ක් පමණ කාලයක් ගතවේ. නමුත් එම ශාකයෙන් උපරිම ඵලදාවක් ලබාදෙනු ලබන්නේ වසර 10-12ක් පමණ ගතවූ පසුය. අපේක්‍ෂිත ප‍්‍රයෝජනය අනුව පුවක් පොකුරු විවිධ මේරීමේ අවස්ථා වල දී නෙලනු ලැබේ.  සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පුවක් අස්වනු නෙලීම පැසුණු පසු සිදු කරන අතර එ්වා අමු හෝ වියලි ස්වරූපයෙන් ප‍්‍රයෝජනයට ගනී. මෙම ගෙඩි පැසවීමට භාජනය කලහොත් එහි නැවුම් ස්වභාවයට හානි නොවී වසරක පමණ කාලයක් තබාගත හැකිය. එක් ශාකයකින් වසරකට පුවක් පොකුරු 03-04 ක අස්වැන්නක් ලැබේ.

ඔෂධීය ගුණාංග ෂහ රසායනික සංඝටක

පුවක් වල අඩංගු ප‍්‍රධාන රසායනික සංඝටකය ටැනින්වේ. ගාලික් අම්ල සහ තිරවූ තෛලමය මැලියම්, ටර්පිනෝල් සුළු ප‍්‍රමානයක්, ලිග්නීන්, විවධ ලවණ සහිත සංඝටක හා ඇරිකොලීන්, ඇරිකේන්, සහ ගුවාසීන් නමින් ඇල්කලොයිඩ තුනක් ප‍්‍රධාන වශයෙන් හඳුනා ගත හැකිය.

පුවක්‌ හා බැඳුණු හෙළ සංස්‌කෘතිය

අතීතයේ කුඹුරු ගොවියාද හේන් ගොවියාද, කරත්ත කරුවාද, පතල්කරුවාද, පෙදරේරුවාද, කම්මල්කරුවාද, බඹර කපන්නාද, ගල් වඩුවාද, අතුරේ යන්නාද, රා මදින්නාද (පොල්, තල්, කිතුල්) දඩයම් කරුවාද, ධීවරයාද, රෙදි අපුල්ලන්නාද වශයෙන් මෙකී නොකී සෑම තරාතිරමකම රැකියාවල නියුතුවූවන් තම විඩාව සංසිඳුවා ගන්නට බුලත් විටකින් සප්පායම් වීම පෙරදා ජන ජීවිතයේ අනිවාර්ය අංගයක්‌ව පැවතිණි. අතීතයේ කිසියම් ආගන්තුකයකු, අසල්වැසියකු හෝ පිටගම් කාරයෙකු නිවසට පැමිණී විට ආගන්තුක සත්කාරයට" පෙළ ගැසෙන්නේ තේ කෝප්පයක්‌ හා බුලත් විටකුත්ය. අංගසම්පූර්ණ බුලත් විටකට පුවක්‌, බුලත්, හුණු, දුන්කලවලට අමතරව එනසාල් ඇටයක්‌ කරාබු නැටි කැබැල්ලක්‌, වසාවාසී, සූදුරු, ඉඟුරු පියල් වැනි සුවඳ ද්‍රව්‍යය කීපයක්‌ද එකතු වීම අතීතයේ සුලභ දෙයක්‌ විය. මෙවන් සුවඳ ද්‍රව්‍ය සමඟ කුරුටු ගෑ පුවක්‌ ගෙඩි දෙක තුනක්‌ද බුලත් කොළ කීපයක්‌ද පිළිවෙලකට තැබූ බුලත් හෙප්පුවක්‌ අතීතයේ ගැමි ගෙවල්වල ඉස්‌තෝප්පුවේ මැද කනප්පුවක සිට උජාරුවෙන් බලා සිටියේ හෙළ සංස්‌කෘතියේ සුවිශේෂී අංගයක්‌ ලෙසිනි. වර්තමානයේදී පවා මංගල අවමංගල උත්සවයකදී වේවා නිවසට පැමිණෙන නෑදැ අසල්වැසි හා ඥති මිත්‍රාදීන් හා අමුත්තන් වෙනුවෙන් සාලයේ හෝ ඉස්‌තෝප්පුවේ කොනක බුලත් හෙප්පුවක්‌ සුදානම්කර තැබීම චිරාගත සම්ප්‍රදයානුකූල චාරිත්‍රයක්‌ ලෙස බොහෝ ගම්බද පළාත්වලදී දැකීමට පුළුවන. එමෙන්ම පැරැන්නන් වන්දනා ගමන් විනෝද ගමන් හෝ නැදැ ගමන් යැමේදී පවා ගමනට අවශ්‍ය වන ප්‍රධාන කළමනා අතර බුලත් මඩිස්‌සලයක්‌ද රැගෙන යැමට අමතක නොකළහ. පුවක්‌ හා බැඳුණු ගිරය අනෙක් උපකරණය වනුයේ ගිරයයි. මේ සඳහාම සකස්‌ කරගත් කුඩා පිහියක්‌ද (දුනු පිහිය) පැරැන්නන් අතර භාවිත විය. කොළඹ ජාතික කෞතුකාගාරය හා මහනුවර රාජකීය කෞතුකාගාරය තුළ සිංහල රජ කාලයේ භාවිත කළ විවිධ හැඩයට සැකසූ ගිර රාශියක්‌ ප්‍රදර්ශනය කර තිබීමෙන් පෙනී යන්නේ අතීතයේ පුවක්‌ බුලත් හා ගිරය අතර තිබූ අන්නේන්‍ය සබඳකමකි. 

රාජකීය බුලත් විට


දුටු ගැමුණු රාජ්‍ය සමයේ පවා රජුගේ යුද හේවායන් සඳහා රජ ගෙදරට "බුලත් සැපයීමේ රාජකාරියට" වෙන්වූ පුද්ගලයන් කීපදෙනෙක්‌ සිට ඇත. ඉන් අයෙකි. "බුලතා යෝධයා". (මහියංගණයේ සොරබොර වැව කරවූයේද බුලතා යෝධයාය) බුලතා යෝධයා දුටුගැමුණු රාජ සේනාවට බුලත් සපයද්දී බුලත්විටට අවශ්‍ය පුවක්‌ සපයා ගැනුණේ සබරගමුවෙන් හා මහනුවර කොත්මලේ වැනි ප්‍රදේශවලිනි. පුවක්‌ සැපයීම බාරව තිබුණේ එම ප්‍රදේශවල ජීවත් වූ සිංහල හා මුස්‌ලිම් වෙළෙන්දන් කීපදෙනකුටය. එපමණක්‌ද නොව මහනුවර රාජ්‍ය සමයේ හෙළ රජවරුන් රාජකීය භෝජන වැළඳීමෙන් පසු සුවඳ වර්ග 15 ක්‌ එක්‌ තැන්කොට රස මුසුකළ අංගසම්පුර්ණ බුලත්විටකින්ද සප්පායම් වූ බව මහා සිංහල විශ්ව කෝෂයේ සඳහන් වේ.

බුලත් විටක අගය

බුලත් විටක්‌ සැපීමෙන් මුඛය සුවඳවත් වීමත්, දත් සඳහා හානි පමුණුවන විෂබීජ හා පණුවන් විනාශ වන බවත් පැරැන්නන් තුළ විශ්වාසයක්‌ තිබිණි. බුලත් විටට එකතු කරන දුන්කල මඟින් රසයකුත් මත් ගතියකුත් ලැබෙන අතර පණුවන්ට අහිතකර ඖෂධයක්‌ තමා පාවිච්චි කරන බවද පැරැන්නන් විශ්වාස කළහ. මේ නිසාම පැරැන්නන් ගේ ප්‍රධාන ආහාර රටාවේ අතුරු පසක්‌ තරමටම ජනප්‍රියව බුලත් විට භාවිත කෙරිණි. එම බුලත් විටකට බුලත්, පුවක්‌, හුණු, දුන්කළ, කරඳමුංගු (එනසාල්) කරාබු හැටි, සාදික්‌කා, වසාවාසි, ඉඟුරු පියළි, කොත්තමල්ලි, අවශේෂ ද්‍රව්‍ය 18 කින් සමන්විත වූ බවද පොත පතෙහි සඳහන් වී ඇත. රජවරුන් මහාමාත්‍යදීන්, පුරෝහිතයන්, නිලමේවරුන් අතර පවා මෙම සම්ප්‍රදායික බුලත් විට ප්‍රචලිතව තිබිණි. රජ ගෙදර පවා රජතුමාට ආහාර පිළිගැන්වූ බත් වඩන නිලමේ බොජුන් වළඳා අවසන් වූ පසු රජුට මාහැඟි බුලත් විටක්‌ සැපයවූ බව සඳහන්ය.


පුවක්‌ ශරීර උත්තේජකයකි

තේ හෝ කෝපි කෝප්පයකින් ශරීරයට ලැබෙන උත්තේජනය බුලත් විටකින් ලැබෙන බව පැරැන්නන් අතර පවතින සාමාන්‍ය මතයයි. ශරීර ප්‍රබෝධයට, කාන්සියට, නිදිවැරීමට කුඹුරේ හේනේ පැල් රකින්නකුට බුලත් විටක්‌ සමහර විටක මිතුරකු තරම් අගය වන්නට ඇත. එහෙත් කිසියම් හෝ හේතුවකට බුලත් විටට ඇබ්බැහිවීමම ඉතාම අයහපත් ලෙස මුඛ සෞඛ්‍යයට බලපාන බව වෛද්‍ය මතයයි. මතුපිට ලෙල්ල ඉවත්කර ගෙඩිය වටා ඇති කුරුට්‌ට ක්‍රමිකව ඉවත්කර සිහින් පෙති ලෙස හෝ කැබලි බවට කපා ගන්නා පුවක්‌ ගෙඩිය නැවුම් බුලත් කොළයක්‌ සමඟ කෑම (ඉඳහිටක) එතරම්ම අයහපත් නොවූවද ඊට හුණු හා දුංකල යහමින් එකතු කර නිතර බුලත් විට භාවිතයට පුරුදු වීම මුඛයේ හා උගුරේ බරපතළ පිළිකා ඇති කිරීමට හේතුවන බව වෛද්‍ය මතය වේ. නිතරම බුලත් විට සැපීම, රාත්‍රියේ නින්දට යන විට පවා බුලත් විටක්‌ කටේ තබාගෙන නින්දට යැම, බුලත්විටක්‌ සැපීමේදී හුණු දුන්කොල පුවක්‌ සමග මිශ්‍රවන කෙළ ගිල දැමීම, විට කෑමෙන් පසු නිසි ලෙස මුඛය නොසේදීම පොදුවේ බුලත් විට සපන්නන් අතර පවතින බරපතළ අඩුපාඩුකම්ය. පුරා විද්‍යාත්මක සාධක අනුව ආසියාතික රටවල බුලත්aa විට සැපීම වසර 4000 ක්‌ පමණ අතීතයට හිමිකම් කියයි.
 


පුවගේ අසිරිය

පුරාණයේ පිරිත් ගෙදරට, බණ ගෙදරට මෙන්ම සොකරි, දහඅටසන්නිය, කොහොඹා කංකාරිය, කිරි අම්මාවරුන්ගේ දානය, ආදි වූ පරැණි හෙළ සංස්‌කෘතික අංගයන් පැවතුණේ කිනම් තැනකද එතැනට පුවක්‌ ගෙඩියෙන් හා පුවක්‌ මලින් මෙන්ම පුවක්‌ කඳෙන් ද සිදුවූ සේවය සුළුපටු එකක්‌ නොවේ.

පිරිත් මණ්‌ඩපය, මඟුල් පෝරුව, තොරණ ආදියට පුවක්‌ ගසේ කඳෙන් ලැබුණේ සුවිශේෂ අලංකාරයකි. ශක්‌තියකි. හොඳින් මේරු පුවක්‌ ගසක කඳක්‌ අවශ්‍ය දිගට කෙටි කර ගම්මැද්දේ ඇළ දොළ වල ඉවුරු හරහා යොදමින් පෙරදා ගැමියන් විසින් නිර්මාණය කරගත් "ඒදණ්‌ඩ" පසු කාලීනව මහා පාලමකට පූර්වාදර්ශයක්‌ ම වූ බව පෙනේ.

පැරැන්නන් තම කටුමැටි නිවාසය සදාගැනීමේදී නිවසේ කණු බිත්තිය සවිමත් කිරීමට යෙදු වරිච්චි පටිද, වහලයේ රීප්පද සකසා ගත්තේ හොඳින් මේරු පුවක්‌ කඳකිනි. වහලයට යෙදෙන රීප්පය මත විවිධ ශාකවල කිරි, ලාටු වැනි ස්‌වභාවික දැව ආරක්‍ෂකද තැවරූ කළ මේවායේ කල් පැවැත්මද වැඩිවේ. පුවක්‌ රීප්ප මත පොල් අතු මනාව තබා බැඳීමෙන් අඩු වියදමකින් ගෙයි වහලයක්‌ අතීතයේ සකසා ගත හැකිය.

පැරැණි කාලයේ ගෙවත්ත වටා බැඳුණු වැට පවා ශක්‌තිමත් කළේ පුවක්‌ රීප්පයකිනි. ගිනිසීරියා වැටහිර වැනි පැළවෙන ලී කණු වැටට සිටුවා පුවක්‌ රීප්ප එම කණු හරහා බැඳීමෙන් ශක්‌තිමත් වැටක්‌ සකසාගත හැකි විය.

එකල වරිච්චි ගෙවල්වල මුදුන් කණු හා පැති කණු සඳහාද මේරු පුවක්‌ කඳන් ප්‍රයෝජනයට ගැනිණි. කණුව සිටුවන වළ තුළට කොහොඹ ඇට කොටා පැඟිරි තෙල් සමඟ මිශ්‍ර කර වත් කිරීමෙන් පසට යටවන පුවක්‌ කඳ කෘමීන්ගෙන් හා වේයන්ගෙන් ආරක්‍ෂා විය.

අතීතයේ බොහෝ කුඹුරුවල දෙනිය (දෙවන හීය) හෑමෙන් පසු ගොයම් සිටුවීමට කුඹුරු සකස්‌ කර ගත්තේ (අඩි 8 - 10 ක්‌ පමණ දිගු පුවක්‌ කඳක්‌) දෙකෙළවරෙහි ලණුවක්‌ බැඳ යමෙකු විසින් කුඹුරු මත ඇදගෙන යාමෙනි.

පැරැන්නන් සොහොන් ඉදිකිරීමට බහුලව යොදා ගත්තේ පුවක්‌ කඳන්ය. පුවක්‌ කඳේ පිට පොත්ත හොඳින් කුරුටු ගා එක්‌ කොටසක්‌ අඩි 3 -4 ක්‌ පමණ වන සේ කොටස්‌ කර සොහොන් වල වටා රටාවකට සිටුවාගත් පුවක්‌ කඳන් මත කුරුම්බා කෝම්බ දවටා කිතුල් මල් රෑන් කීපයකින් පුවක්‌ කණු සම්බන්ධ කර එම කුරුම්බා කෝම්බ හා කිතුල් මල් රෑන් මත රිදීපාට තීන්ත ආලේප කිරීමෙන් ඉතාම අඩුම වියදමකින් අලංකාර ලෙස සොහොන සරසාගත හැකි විය. (කිතුල් මල් රෑන් රිදීපාටින් ආලේප කළ පසු ඒවා ඈතට දිස්‌වන්නේ දම්වැල් මෙනි) ඉතාම පැරැණි ගම්වල මෙවැනි සොහොන් සැරසිලි අද ද සිදු කෙරේ.

අතීතයේ නිර්මාණය වුණු මංගල තොරණ, පිළිගැනීමේ තොරණ මෙන්ම මහා වෙසක්‌ තොරණ හා පොසොන් තොරණ සඳහා භාවිත කළේ විශාල දිගකින් යුත් පුවක්‌ කඳන්ය. මංගල තොරණ හා පිළිගැනීමේ තොරණ වර්තමානයේ නවීන ලෙස ඉදි වුවද වෙසක්‌ හා පොසොන් තොරණ සඳහා වෙසක්‌ පොසොන් සමයට ඉතා විශාල ලෙස පුවක්‌ ගස්‌ යොදා ගනී. මෙවන් තොරණ සඳහා පුවක්‌ කඳකට වඩා ලාභදායක මෙන්ම භාවිතයට පහසුවන වෙනත් ආදේශක දැවයක්‌ නොමැති තරම්ය. මංගල තොරණ හා පිළිගැනීමේ තොරණ අලංකාර කිරීමට "පුවක්‌ මල" හා පුවක්‌ අතු ද පැරැන්ණන් බහුලව සාදා ගත්හ.

මෑතක්‌ වන තුරුම පොල්කටු හැන්දට, ඉදලට, කොස්‌සට මිට සකසා ගක්‌කේ ද පුවක්‌ කඳින් සකසා ගත් පුවක්‌ කීරිය. අද ඒ සඳහා යොදා ගන්නේ වෙනත් දැව වර්ගවල දැව කොටස්‌ වීම කිසියම් ප්‍රමාණයකින් පුවක්‌ ගස්‌ ආරක්‍ෂා වීමටද බලපායි.

අතීතයේදී නාඩගම් හා සංගීත සංදර්ශනවල මෙන්ම දේශපාලන වේදිකාවද ඉදිකිරීමට විශාල වශයෙන් භාවිතයට ගැනුනේ පුවක්‌ කඳන්ය. එය අද යකඩ බාර්වලට හිමිව තිබීම පුවක්‌ ගස්‌වලට සිදුවන හානිය වැළැක්‌වීමට තරමක හෝ රුකුලක්‌ වී ඇත. එහෙත් වර්තමානයේ පවා පිරිත් ගෙදරක පිරිත් මණ්‌ඩපයක උඩුවියන සරසා ගැනීමට පුවක්‌ මල් කිනිත්තකින්" ලැබෙන උපකාරය අගනේය. එමෙන් "පිරිත් නූල" ඔතන්නේ පවා පුවක්‌ මලක්‌ වටා වීම තවමත් නොනැසී පවතින චාරිත්‍රයකි.

අතීතයේ මෙන්ම වර්තමානයේද වන්දනාව සඳහා සුදානම් වන වාහනයක ඉදිරිපසින් පුවක්‌මලක්‌ සවිකිරීමද එසේ නොනැසී පවතින චාරිත්‍රයකි. පුවක්‌ මලක්‌ දැකීම පවා සුභ පෙරනිමිත්තක්‌ සුබ ලකුණක්‌ සේ සැලකීම මේ චාරිත්‍රවල පැවැත්මට හේතුවයි. පරිත් පැන් නිවස වටාද ගේ තුළද ඉසින්නේද පුවක්‌ මල් කිනිත්තකිනි.

ඉදුණු පුවක්‌ ගෙඩියේ ලෙල්ල වවුලන්නට හා ලේනුන්ට රසවත් පැණි ලබා දෙයි. වවුලන් ඉදුණු පුවක්‌ ගෙඩියේ පැණි උරා බීමට මහත් රුචියක්‌ දක්‌වති. කටින් ඩැහැගත් පුවක්‌ ගෙඩිය සූප්පු කරන්නට වවුලකු අමතර කාලයක්‌ වැය නොකරයි. වවුලා එම කාරිය කරන්නේ තම පියසැරිය අතරතුරමයි. පුවක්‌ ශාකය රට පුරා පැතිරයාමට මෙම තත්ත්වය විශාල රුකුලකි. අතීතයේ මී මැස්‌සන් කුඹල්ලු වැනි සතුන් දෂ්ට කිරීමකදී ඉදුණු පුවක්‌ ගෙඩියක යුෂ දෂ්ට කළ තැන ඇතිල්ලීම අත් බෙහෙතකි.

පුවක්‌ අත්තේ "කොළපත" ද ජන ජීවිතයේ විවිධ අවස්‌ථාවල ප්‍රයෝජනයට ගැනිණි. අතීත ගැමි දරුවන් "කොළපත් පැදීම" ලෙසින් නම් කළ ක්‍රීඩාව සඳහා යොදා ගත්තේ ගසකින් ඉදී වැටුණු පුවක්‌ අත්තක කොළ ඉවත් කළ නාරටිය සහිත කොළපතකි. කොළපතෙහි ඉඳගෙන එහි ඉදිරි නාරටියෙන් අල්ලා ගන්නා දරුවෙකු තවත් කෙනෙකු විසින් ඇදගෙන යමින් කොළපත් ඇදීමේ සෙල්ලමින් පෙරදා දරුවන් ඉහළ සතුටක්‌ ලැබූහ.

පුවක්‌ අත්ත සහ කොළපත

බිත්තර වී සකස්‌ කිරීමේදී ජලයේ පොඟවා ගත් වී නිවසේ අඳුරු තැනෙක මුල්ලකට මුලින්ම බිම අතුරන්නේ අමු පුවක්‌ අතුය. ඉන්පසු බිත්තර වී ඒ මත හෙලා ගොඩගසා ඒ මතද පුවක්‌ අතු අතුරා වසා දමයි. ඉදී බිම වැටෙන පුවක්‌ අත්තේ කොළයෙන් වෙන්කරගත් "පුවක්‌ ඉරටු" එකට මිටියක්‌ සේ බැඳ ගොම මැටි ගෑ ගෙබිමේ දූවිලි පිස දමන්නට අතීතයේ ගැමි ගෙවල්වල භාවිත කෙරිණි.
අද මෙන් කෘත්‍රීම කෑම කොළ නොතිබුණු අතීතයේ බත් මුලක්‌ බැඳීමට පවා යොදගත්තේ සීරුවට සකසා ගත් කොළපතකි. මෙසේ කොළපතක ඔතා සකසන ලද බත්මුල ඉක්‌මනින් පිළුණු නොවීමද විශේෂත්වයකි. කොළපත් පට්‌ටයක ඔතන ලද බත් මුලද ලබු කැටයකට ජලයද පුරවාගෙන හේනට කුඹුරට යන ගොවියා එය ඉතා ප්‍රනීත බත් මුලක්‌ බව දනී. කුඹුරට හේනට කමතට පමණක්‌ නොව නිවසට ජලය ගෙන ඒමට යොදාගන්නා කොළපත් ගොට්‌ට ද පෙරදා කොළපතින් සකසාගත් කොළපත් ගොටු භාවිතාවිය. කොළපත් පට්‌ටා, කොළපත සිහින් දිග තීරුවලට ඉරාගත් පසු ලැබෙන "පටි" ලණුවක්‌ සේ භාවිතා කිරීමටද පුළුවණ. මේ අනුව හණ පට්‌ටා මෙන්ම කොළපත් පට්‌ටාද අතීතයේ ලණු වෙනුවට භාවිතා විය. අතීතයේ ගැමි ගෙදරක ලිපේ අළු ඇදීමටද කසල එකතු කිරීමටද මැටි කළගෙඩිය තැබීමටද කොස්‌ඇට, දෙල් ඇට හෝ ගොම ආදිය එකතු කිරීමටද භාවිත කළේ කොළපතකි. ගසකින් කඩාගත් කොස්‌ ගෙඩිය පවා කර මත තබාගෙන පැමිණියේ කොළපතක්‌ මත තබාගෙනය. අතීතයේ ගැමි ගෙවල්වල කුස්‌සියේ භාවිත කළ හැඳි ආණ" සකස්‌ කළේද පුවක්‌ ගසේ කොළපතකිනි. (හැඳි ආණ යනු පොල්කටු හැඳි රඳවා තබන උපකරණයයි) සමහර අවස්‌ථාවල වර්ෂා ජලය පොල්අතු වහලයෙන් රූරා විත් ගෙබිම මත වැටේ එවන් විටක පැරැන්නන් වහලයේ තෙමෙන තැනට තාවකාලික පිළියමක්‌ ලෙස කොළපතක්‌ තෙමෙන තැන රැඳවූහ. කුඹුරේදී කමතේදී හෝ හේනේදී රවුමට කැපූ කොළපත් පිඟානකින් තම අඩුක්‌කුව (කෑම වේල) සප්පායම් (කෑම ගැනීම) වීමද අතීතයේ සුළභව දක්‌නට ලැබිණි. රවුම් බෙලෙක්‌ පිඟානක්‌ කොළපතක්‌ මත තබා සමහර දිගු කොළ පතකින් එවැනි පිඟන් දෙකක්‌ හෝ තුනක්‌ කපා ගැනීමට හැකිවිණි. කොළපත් පිඟාන මතට කැන්ද කොළයක්‌ හෝ කෙසෙල් කොළයක්‌ එලා ගැනීමෙන් එම කෑම වේලට අමුතුම රසයක්‌ද එක්‌වන බව අතීත ගැමියන් දැන සිටියහ. කොළපත ගැමි ජීවිතයට සමීපව මිතුරෙකු උදව්කාරයෙකු වූවේ එලෙසිනි. අන්තිමට මට ඉතුරු වුණේ ඇඳිවතයි කොළපතයි විතරයි" මේ ඉඟි වැකිය ඊට කදිම සාක්‌ෂියකි. 

"කප්රුක" ලෙස හැඳින්වෙන පොල්ගස තරමටම පුවක්‌ ගසද ජන ජීවිතය හා ඉතා තදින්ම බැඳුණු ගසක්‌ බව පැහැදිලිව පෙනී යන කරුණකි. පුවක්‌ ගසක වටිනාකම දැන එහි ව්‍යාප්තියට සහාය වීම අපගේ යුතුකමයි.