Translate

Tuesday, February 12, 2013

The Cowboys ලොව හෙල්ලූ ගොපල්ලෝ


  
ලෝක සිනමාව පිලිබඳ ඇල්මක් තිබෙන සියලු දෙනා කව්බෝයි හෙවත් ගොපල්ලන් ගේ ජීවන රටාව පසුබිම් කරගනිමින් නිපදවූ චිත්‍රපට නරඹා ඇති. කාලෙන් කාලෙට යම් යම් තේමාවන් පදනම් කරගනිමින් චිත්‍රපටි නිපදවීම ලෝක ප්‍රවනතාවක්. යුද්ධය පසුබිම් කරහත් චිත්‍රපටි, (ද ලෝන්ගස්ට් ඩේ වැනි) අද්භූත හෝ මාරක කතා පසුබිම් කරගත් චිත්‍රපටි, (ඩ්රැකියුලා, හැරී පොටර් වැනි ) ත්‍රාසය පදනම් කරගත් චිත්‍රපටි, (මිෂන් ඉම්පොසිබල්, ජේම්ස් බොන්ඩ්, වැනි) ශ්රුන්ගාරය පදනම් කරගත් චිත්‍රපටි, (බයි නයිට් චිත්‍රපටි මාලාව) හාස්‍යය පදනම් කරගත් චිත්‍රපටි, (මට මේ වෙලාවේ මතක් වෙන්නේ ක්‍රේසි බෝයිස්‌ චිත්‍රපටි මාලාව) ඒ සඳහා උදාහරණ කීපයක්. මේ අතර ලෝකයේම ප්‍රේක්ෂක අවධානය දිනාගත් චිත්‍රපට මාලාවක් ලෙස කව්බෝයි හෙවත් ගොපළු චිත්‍රපටි හඳුන්වන්න පුළුවන්. ගොපළු චිත්‍රපට ලෝකය පුරා ජනප්‍රියව පැවතියේ 1950 දශකයේ අග භාගයේදී සහ 1960 දශකයේදී යි. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ දී, කව්බෝයි චරිත සහිත චිත්‍රපටි 1930 දශකයෙදීත් නිපදවා තිබෙනවා.
පින්තුරය ගත්තේ මෙතනින්
  කාලෙන් කාලෙට එන විවිධ තේමා පදනම් කරගත් චිත්‍රපට මාලාවන් ඉක්මනින් වැළඳගන්නේ තරුණ පරපුර නොවැ. අපි තරුණ කාලේ කියා එහි වෙනසක් නැහැ. ඒ කාලේ රුපවාහිනිය ලංකාවට ඇවිත් නොතිබීමේ ‘වාසනාව’ නිසාත්, පුවත්පත්වල පළවූ සිනමා තීරු ලිපි සෑහෙන සංඛ්‍යාවක් කියවන්නට තරම් ගුරුවර වැඩිහිටියන්ගේ මග පෙන්වීම ලද නිසාත්,  ජරාව සහ හොඳ නිර්මාණය වෙන්කර හඳුනාගැනීමේ ඉවක් අප තුළ පහළ වුනා. ඒ ඉව අදටත් නොනැසී පැවතීම වාසනාවක්. ඒ ඉව අපට ලබාදුන් ගුරුවර, වැඩිහිටි, දෙමවුපිය, උත්තමයෝ උත්තමාවියෝ මතු බුදුවෙත්වා! ඉතින් මේ චුර්නිකාවෙන් පසු ප්‍රස්තුතයට බසිමු. කව්බෝයි චිත්‍රපට සඳහා පදනම වැටුනේ 18 වැනි සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ බටහිර ප්‍රාන්තවල (මෙතන මුලින්ම ලියා තිබුණු ‘ උතුරේ’ යනුවෙන් සඳහන්ව තිබීම වැරදි බව, ඒ ගැන දන්නා අරුණි ශපිරෝ විසින් පෙන්වාදීමෙන් පසු, නිවැරදි කරන ලදී. ඒ පිළිබඳව ඇයට මාගේ ස්තුතිය) විසු ගොපළු ජන කොට්ටාශය පිළිබඳව ඇමරිකානු සමාජය පුරා පැතිරුණු විශේෂ අවධානයේ ප්‍රතිඵලයක් වශයෙන්.
   
කව්බෝයි යනු කවරකුද? ඔහුගේ ජීවන රටාව කෙබඳුද? අපි එය කෙටියෙන් විමසා බලමු. ගොපල්ලන් කියන්නේ ගවයන් පාලනය කරන අය බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් උතුරු ඇමරිකාවේ සහ කැනඩාවේ දකුණු ප්‍රදේශවල සිටින කව්බෝයි යනුවෙන් හඳුන්වන ගොපල්ලන් ගවයන්ට අමතරව අශ්වයන්, බැටළුවන්, එළුවන් ආදියත් ඇති කරනවා.
  
ඒ වගේම ඔවුන් මේ සඳහා යොදාගන්නේ අක්කර සිය ගණන් දහස් ගණන් තිබෙන අති විශාල භූමි ප්‍රදේශ. ඒ බිම් විවිධ භූවිෂමතා ලක්ෂණ වලින් යුක්තයි. සත්ව පාලනය සඳහා යොදාගන්නා එවැනි බිම් පෙදෙස් හඳුන්වන්නේ රෑන්ච් (Ranch) යනුවෙන්. 
ඉහත පින්තූර දෙක ගත්තේ 1 මෙතනින් සහ 2 මෙතනින්
  
කව්බෝයි චිත්‍රපටිවල බොහෝවිට සඳහන් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම පෙදෙස් වල ඇති රෑන්ච් සම්බන්ධවයි. ඔබ බොහෝවිට රූපවාහිනියෙන් හෝ චිත්‍රපටි වලින් දැක ඇති මේ රෑන්ච් වල සිදුකරන ක්‍රීඩාවක්. එය හැඳින්වෙන්නේ රෝඩියෝ (Rodeo) යනුවෙන්. මෙහිදී ගවයකු හෝ හීලෑ නොකළ අශ්වයකු පිට නැගී, ඒ සතා දඟලද්දී කිසියම් නිශ්චිත කාලසීමාවක් නොවැටී සිටීම,
   
දුවන වසුපැටවකු පසුපස, අශ්වයකු පිට නැගී හඹාගොස්, මද්දක් ගසා අල්ලාගැනීම. වැනි ක්‍රීඩා දකින්නට ලැබෙනවා. මේ ක්‍රීඩා කව්බෝයිලාගේ ක්‍රීඩා ලෙස සැළකෙනවා. මෙය දක්ෂතාවය මෙන්ම නිර්භීත භාවයද පෙන්වන ක්‍රීඩාවක් වුනත් පොඩ්ඩ බැරිවුනොත්, හොම්බෙන් යන අවස්ථාත් නැතුවාම නොවේ.  එහෙම වෙන අවස්ථාත් ඔබ දැක ඇති.

මේ පින්තූර තුන ගත්තේ 1 මෙතනින්, 2 මෙතනින්, 3 මෙතනින්
 
කව්බෝයි චිත්‍රපට වල ඉතිහාසය
  කව්බෝයි චිත්‍රපට වල ඉතිහාසය බටහිර සිනමාවේ මුල් අවස්ථාව තරම්ම පැරණියි. 1900 දී පමණ ඇරඹුණු ඒ සිනමාව වෙත කවුබෝයි චිත්‍රපට මුසු වන්නේ 1930 දී පමණ. එහෙත් එහි කුටප්‍රාප්තිය ලෙස සැලකෙන්නේ 1950 – 60 දශක දෙකයි. එමෙන්ම බොහොමයක් කව්බෝයි චිත්‍රපට සඳහා පසුබිම් කරගන්නා කාලසීමාව වී තිබෙන්නේ 1860 ගණන් වල සිට 1900 – 1920 පමණ වන කාලයයි. මේ සෑම කතාවකම පාහේ දකින්නට ලැබෙන මුලික ලක්ෂණය වන්නේ, කළු සුදු චරිත හෙවත්, නරකට විරුද්ධව සටන් කරන හොඳ මිනිහා, හෙවත් වීරයා සංකල්පයයි. කතානාද චිත්‍රපටි බිහිවීමට පෙර යුගයේ තිබුණු ‘නිහඬ සිනමාව Silent Films’ පැවති කාලයේත්, කව්බෝයි මෝස්තරයේ චිත්‍රපටි බිහිවුණා. නමුත්, ප්‍රේක්ෂකයන් විසින් තදින් වැළඳගත් ප්‍රථම කව්බෝයි චිත්රපටිය වන්නේ 1939 දී තිරගතවූ ‘ස්ටේජ්කෝච් Stagecoach’ චිත්‍රපටියයි.  එමෙන්ම බටහිට සිනමාවේ යෝධයකු වූ ‘ජෝන් වේන් John Wayne’ නමැති ලෝකප්‍රසිද්ධ නළුවා ප්‍රේක්ෂක හදවතට ඇතුළු වුයේද මේ අවදියේදීය. 

කව්බෝයි චිත්‍රපටි වල තිබෙන විශේෂත්වය කුමක්ද
   
කව්බෝයි චිත්‍රපටි ජනප්‍රිය වීමට විශේෂ හේතුවක් වශයෙන් සළකනු ලබන්නේ එම චිත්‍රපටි වල තිබෙන තුවක්කු/රිවෝල්වර වලින් වෙඩි තබාගැනීමේ ජවනිකා සහ අශ්වයන් පිට වේගයෙන් ගමන් කිරීමේ ජවනිකාය. මේ ජවනිකා අතිශයින් තාත්වික ලෙස රූපගතකර තිබීම නිසා ප්‍රේක්ෂකයාට වඩාත් සජීවී ගුණයකින් යුක්තව චිත්‍රපටිය රසවිඳීමට හැකිවෙයි. පින්තුරය ලබාගත්තේ මෙතනින්
   
අශ්වයන් පිට ගමන් කිරීම සඳහා ත්‍රාසජනක ක්‍රියා නළුවන් (Stunts) නොයොදා, ඒ ඒ චරිතාංග නළුවාම, හොඳ පුහුණුවකින් පසුව සිය රඟපෑම ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි. මෙහිදී නළු නිලි දෙපාර්ශ්වයම මේ සඳහා පුහුණුවීම් ලැබීමද විශේෂත්වයකි. එමෙන්ම පසුතල නිර්මාණයේදී 1930 – 40 දශක පවා නිරූපණය වන පරිදි සකස්කර ඇති පසුතල මෙන්ම ඇඳුම් සහ වේශ නිරූපණයද චිත්‍රපටියේ තාත්විකත්වය කෙරෙහි සුවිශේෂී දායකත්වයක් ලබාදෙයි. පින්තුරය ලබාගත්තේ මෙතනින්

කව්බෝයි යනු කෙබඳු පුද්ගලයකුද
  කව්බෝයි කෙනෙක් කියන්නේ පරමාදර්ශී චරිතයක්. ඔහුගේ ගුණාංග විස්තර කෙරෙන අචාරධර්ම පද්ධති කීපයක් තිබෙනවා. ඒ සියල්ලේ සංකලනයක් තමයි පහතින් දක්වන්නේ.
  • ඔහු කිසිවිටකත් ප්‍රශ්න ඇතිකරගැනීමට උත්සාහ නොකරයි.
  • එහෙත් ප්‍රශ්නයක් ආ විට නොබියව එයට මුහුණ දෙයි.
  • ඔහු සෑමවිටම හරි පැත්ත ගනියි.
  • ඔහු සෑමවිටම හොඳ මිනිසුන් නරක මිනිසුන්ගෙන් බේරාගැනීමට ක්‍රියාකරයි.
  • ඔහුගේ ආත්ම විශ්වාසය ඉතා ඉහළය.
  • ඔහු හොඳ හික්මුණු ගති වලින් යුක්තය.
  • ඔහු අවංකය.
  • මිනිසුන් කුමක් සිතුවත්, දේශපාලන අර්ථකථනය කුමක් වුවත්, ඔහු සෑමවිටම සිය සිතට එකඟව ඇත්ත කතාකරයි.
  • ඇමරිකානු වනගත ප්‍රාන්තයන්හි ඔහු සමගියේ පහන් ටැඹයි.
  • ඔහු සෑමවිටම ගරු බුහුමන් ලබන පුද්ගලයෙකි. එකල සැලෝන් යනුවෙන් හැඳින්වුන අවන්හලකට ඔහු ගොඩවැදුනොත් (ඔහු බොන්නේ සාසපෙරිලා Sarsaparillaනමැති ස්වභාවික පානය පමණි) මුළු අවන්හලම නිශ්ශබ්ද වන අතර එතන සිටින ඒ ප්‍රදේශයේ ගණන්කාරයෝ ඔහුගෙන් ඈත්ව සිටිති.
  • තුවක්කු/රිවෝල්වර් හරඹයකදී, තම සතුරා, ඔහුගේ අවිය අතට ගන්නට පෙර, තම අවිය කොපුවෙන් ඇද වෙඩි තැබීමට ඔහු සමත්ය. මුෂ්ටි ප්‍රහාරයකදී වුවද ඔහු සතුරාට වඩා ඉක්මන්ය
  • ඔහු සෑමවිටම ජයග්රාහකයෙකි. ඔහු සෑමවිටම තමා තුල සිටින මිනිසා දිනවයි. සටනකින් ජය ලැබූ වහාම ඔහු නිහඬව තම අසු පිට නැගී ඉර බසින දිශාවට මුහුණලා පිටව යයි.
  කව්බෝයි කෙනෙකුගේ පෙනුම මොනවගේද? ඔන්න පහලින් තියනවා පින්තුරයක්. ඊට පස්සේ විස්තරේ තියනවා.

පින්තුරය ලබාගත්තේ මෙතනින්
  කව්බෝයි සමහරවිට සංචාරකයෙක්. තවත් සමහරවිට රහස් පරීක්ෂකයෙක්. කොහොම වුනත් ඔහු තම අශ්වයා සමග එළියට බහින්නේ, ඕනෑම දෙකට ඔට්ටුයි කියාගෙනයි. මේ පින්තූරය දෙස බැලුවිට ඔබට පැහැදිලි වෙනවා ඇති තුවක්කුව, රිවෝල්වරය, වතුර මල්ල, ඇතිරිල්ල, කඹය, ඔහුගේ ප්‍රධාන උපකරණ බව. ඔහුගේ ඇඳුම රළු පරිසරයට අනුව සකසාගත් එකක් බවත් පෙනෙනවා නේද?

කව්බෝයි චිත්‍රපට සංස්කෘතියේ කැපී පෙනෙන චරිත
  ඔබ හොඳින් දන්නවා ඇති, ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා කාලීනව වෙනස් වුනත්, එහි ජනප්‍රියත්වය අඩු නොවුන බව. කවුබෝයි චිත්‍රපට බොහෝ දුරට එක හා සමාන තේමාවන් රැගත් කතා මාලාවක් වුවත්, එකම ප්‍රධාන නළුවා, ඊළඟ,ප්‍රධාන නළුවා පහල වනතුරු රඟපෑවේ නැහැ. ඒ වගේම ජනප්‍රියත්වය අඩු වුනෙත් නැහැ. අපි බලමු මුල් යුගයේ සිට ජබන්ප්රිය කව්බෝයි නළුවන කීප දෙනෙක්.
1. ජෝන් වේන් (ඉහත ඡේදයකත් දක්වා ඇත) ඇමරිකානු සිනමා ඉතිහාසයේ පතාක යෝධයකු වු මොහු කව්බෝයි චිත්‍රපට මෙන්ම අනෙකුත් වෘතාන්ත චිත්‍රපට වලින්ද අතිශයින් ජනප්‍රිය විය.

මේ පින්තූරය ගත්තේ මෙතනින්
2. ක්ලින්ට් ඊස්ට්වුඩ් :- කව්බෝයි චිත්‍රපට පිළිබඳව කතා කිරීමේදී කිසිදින අමතක නොවන නාමයක් තමයි ක්ලින්ට් ඊස්ට්වුඩ්. විශේෂයෙන් ඔහු සිය අතිශයින් ප්‍රත්භා සම්පන්න රංගන හැකියාව ප්‍රදර්ශනනය කළ චිත්‍රපට තුන හෙවත්, ‘ඩොලර් සීරිස්’‌ නමින් ප්‍රකට ‘For A Few Dollars More’ , ‘A Fistfull of Dollars’ , ‘The Good, The Bad, And The Ugly’ යන චිත්‍රපට තුන නරඹා නැති කව්බෝයි චිත්‍රපට රසිකයකු ඇත්නම්, ඔහු  කව්බෝයි චිත්‍රපටි නරඹා නැතැයි කිව්වාට වරදක් නැත.

මේ පින්තූරය ගත්තේ මෙතනින්
3. රොබට් ඩුවාල්:- මේ ශේෂ්ඨ නළුවාගේ විශේෂත්වය වන්නේ දුෂ්ඨ චරිත රංගනය අතින් ඔහු දැක්වූ අසමසම විශිෂ්ටතත්වයයි. ඇත්ත වශයෙන්ම ඔහු වඩාත් ජනප්‍රිය වුයේද අපරාධ කල්ලි පසුබිම් කරගත් චිත්‍රපටි වල රඟපෑම නිසාය.
පින්තූරය ලබාගත්තේ මෙතනින්
4. මෝර්ගන් ෆ්‍රීමන් :- බටහිර සිනමාවේ පතාක යෝධයකු වන මෝර්ගන් ෆ්‍රීමන් චරිතාංග නළුවකු ලෙස අද කාලයේ වුවද උසුලන්නේ අනබිභවනීය ස්ථානයක්.

පින්තූරය ගත්තේ මෙතනින්
5. ලී වෑන් ක්ලීෆ්:-  කව්බෝයි චිත්‍රපට බොහොමයක චරිතාංග නළුවකු වු ලී වෑන් ක්ලීෆ් වඩාත් ජනප්‍රිය වුයේ ඩොලර් චිත්‍රපටි මාලාව නිසයි.

පින්තූරය ගත්තේ මෙතනින්
  මෙහි දැක්වුවේ කවුබෝයි චරිතාංග නළුවන අතරින් ප්‍රධාන පෙලේ පස දෙනෙකුගේ විස්තර පමණයි. තවත් 10 ක් පමණ ඉන්නවා මෙවැනි චිත්‍රපට නිසාම ප්‍රසිද්ධවූ අය. එහෙත් ලිපිය දිග වැඩි වන නිසා ඒ සියල්ල ඇතුළත් කරන්නේ නැහැ.
 
ඇමරිකානු ගොපලු ජීවිතය නිරුපනය කරන මේ චිත්රපට ටොරන්ට් මගින් බාගත කරගෙන නැරඹීමේ පහසුව තිබෙනවා. අතීත ඇමරිකානු සමාජයේ එක පැතිකඩක් පිළිබඳව කෙරෙන විවරණයක් ලෙසද මේ චිත්‍රපට හඳුන්වන්න පුළුවන්.



My Signature for Blog
2012 නොවැම්බර් මස 17 දින 01:11 පැය



අපගේ විශේෂ ස්තූතිය  http://jangun.wordpress.com/page/2/



No comments:

Post a Comment