Translate

Sunday, June 12, 2016

11වැනි ජාතික කබෝරිය

තවත් සොඳුරු සියවසකට

ප්‍රධාන බාලදක්‍ෂ කොමාසාරිස්‌ මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ උපදෙස්‌ පරිදි මෙවර සංවිධානය කෙරෙන 11වැනි ජාතික කබෝරියේ සංවිධායක කොමසාරිස්‌ ලෙස කටයුතු කරනුයේ සහාය ප්‍රධාන කොමසාරිස්‌ ගීතා පෙරේරා මහත්මිය යි. අපි ඇයගෙන් මෙම කබෝරිය පිළිබඳව විමසුවෙමු.



ආයෙත් ජාතික කබෝරියක් ඇවිත්...

පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය 1916 දී එංගලන්තයේ ආරම්භ කරන ලදුව වසර 100ක කාලයක්‌ තුළ ලෝකය පුරා රටවල් 216 ක ව්‍යාප්ත වෙලා තියෙනවා. පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කළ වසරේදීම ශ්‍රී ලංකාවේත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්‍ෂ සමූහය තුළ පෝතක බාලදක්‍ෂ කටයුතු ඇරඹුණා. ජාත්‍යන්තර පෝතක බාලදක්‍ෂ සියවස ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂ සියවස ලෙසද ඒ නිසා අපට හඳුන්වන්න පුළුවන්.

මොකක් ද මෙවර තියෙන විශේෂත්වය

පෝතක බාලදක්‍ෂ කටයුතුවලදී ශාරීරික, බුද්ධිමය, සාමාජයීය, ආධ්‍යාත්මික, සංස්‌කෘතික සංවේදී වශයෙන් ක්‍ෂේත්‍ර 6 කට අදාළව ඔවුන්ගේ වයසට ඔබින පරිදි පුළුල් විෂය නිර්දේශයක්‌ යටතේ දරු දැරියන් පුහුණුවක්‌ ලබනවා. මෙමගින් ලැබෙන දැනුම, අත්දැකීම් හා ඔවුන්ට ලැබෙන ආත්ම විශ්වාසය, පරිසර හිතකාමී ආකල්ප නිසා ඔවුන් රටට ජාතියට හිතැති ආගමට ගරු කරන යහපත් දරු පිරිසක්‌ බවට පත්වෙනවා. ඉතින් අපි මෙම කබෝරියේ කටයුතු ඉතා සාර්ථක ව කරන්න බලාපොරොත්තු වෙනවා.
 
මෙවර කබෝරියේ කටයුතු කොහොම ද සංවිධානය වී තිබෙන්නේ

උතුරු නැඟෙනහිර ඇතුළු 'බාලදක්‍ෂ දිස්‌ත්‍රික්‌ක' 33 කින් වයස අවුරුදු හතත් එකොළහත් අතර පසුවන පෝතක බාලදක්‍ෂයන් පන්දහසක්‌ පමණ සහ ආචාර්ය මහත්ම මහත්මීන් පන්සියයක්‌ සහභාගි වෙනවා.
සෑම පෝතකයින් 10 දෙනකුටම එක්‌ නායකයෙක්‌ සිටිනවා. ලෝකඩ පදක්‌කම්වලින් ඉහළ පදක්‌කම් ලබාගත් වයස අවුරුදු හතත් එකොළහත් අතර පෝතකයන් මෙවර කබෝරියට සහභාගිවීමට නියමිත යි.


මෙවර තේමාව


'තවත් සොඳුරු සියවසකට' තේමාව යටතේ තමයි මේ කබෝරිය පැවැත්වෙන්නේ... ඇය කීවාය.
 

කබෝරියක් සංවිධානය කිරීමේ අරමුණ මොකක් ද?

ශ්‍රී ලංකාව පුරා වෙන් වෙන්ව විසිරී සිටින පෝතකයන් එක්‌ ස්‌ථානයකට ගොනුකර කණ්‌ඩායම් හැඟීම, අන්‍යාන්‍ය සුහදත්වය, මිත්‍රශීලීත්වය, සහෝදරත්වය වැඩිදියුණු කිරීමයි කබෝරියක අරමුණ. ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භවුණු මහගෙදර හෙවත් ගාල්ල රිච්මන්ඩ් විදු පියසටම එක්‌රොක්‌වී ක්‍රියාකාරකම්, ක්‍රීඩා විනෝද වැඩසටහන් තුළින් තම හැකියාවන් පෙන්නුම් කිරීමට මෙවර ඔවුන්ට අවස්‌ථාව ලැබීම සුවිශේෂ යෑයි ගීතා මහත්මිය සඳහන් කළා ය.




ආරම්භක උත්සවය ගැන කීවොත්
 
2016 මැයි මස 13 වැනිදා සිට 15 වැනිදා දක්‌වා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත. එහි සමාරම්භක උත්සවය 13 දා පස්‌වරු 4.00 ට දකුණ පළාත් ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රිච්මන්ඩ් විද්‍යාලයේදී පැවැත්වෙනවා. 


මෙවර පෝතකයන්ගේ ක්‍රියාකාරකම් මොනව ද?

13 දා ආරම්භක උත්සවයෙන් පසුව 14 දා උදේ 9.00 සිට දහවල් 1.00 දක්‌වා දරුවන්ගේ ක්‍රියාකාරකම් පැවැත්වෙනවා. අත්වැඩ, චිත්‍ර, ගීත, රඟ දැක්‌වීම්, ඉලක්‌කයට විදීම්, කඹ ඇදීම්, දැල් නැගීම් ආදිය මේ අතර වෙනවා. සාමූහිකව කටයුතු කිරීම පිළිබඳ දරුවන්ට මෙහිදී ප්‍රායෝගික අවබෝධයක්‌ ලැබෙනවා.

ද ජංගල් බුක්‌


 ඒ වගේම 14 දා සවස එවකට පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට නිමිතිකරගත් ඉංග්‍රීසි ජාතික රඩ්යාඩ් කිප්ලිංග් 'ද ජංගල් බුක්‌' නම් වනකතාව ඇසුරෙන් දරුවන් එළිමහන් සංදර්ශනය පවත්වනවා. මෙහිදී එක්‌ බාලදක්‍ෂ දිස්‌ත්‍රික්‌කයකට සිය දෙනා බැගින් වන සේ සහභාගි වනවා. දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් තමයි ඔවුන් එම ඉදිරිපත් කිරීම් කරන්නේ. පෝතකයන් වලහා, අලියා ආදීවශයෙන් සතුන්ගේ චරිත ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුලු වේවි.


රතුමල

මෙම වැඩසටහනින් පසුව 14 දා සවස 6.15 ට පැවැත්වීමට නියමිත ඇත්තේ 'රතුමල' වැඩසටහන සූදානම් කරන්නේ මූලස්‌ථාන කොමසාරිස්‌ වත්සලා විඡේවික්‍රම මහත්මිය විසින්. බාලදක්‍ෂයන්ගේ ගිනිමැල සංදර්ශනය වෙනුවට තමයි පෝතකයන්ට 'රතුමල' හඳුන්වාදී තිබෙන්නේ. පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලික වූ රඩ්යාඩ් කිප්ලිංගේ 'වන කතාව' අනුව මවුග්ලි නම් දරුවා හැදුණේ වෘක ගුහාවක. වෘක අම්මාගේ ඉල්ලීමට අනුව ශියර්කාන් නම් කොටියා බය කරන්න තමයි මවුග්ලි ගම්මානයට ගොස්‌ ගින්දර අරන් එන්නේ. එය තමයි 'රතු මලින් ' සංකේතවත් කරන්නේ. එය ළමයින්ගේ අපූරු ඉදිරිපත් කිරීමක්‌ වන බව නම් විශ්වාසයි.

පෝතක සියවස් සමරු මුද්දරය

කබෝරිය නිමිති කරගෙන මුද්දරයක්‌ නිකුත් කිරීමට ද නියමිතය. පහළොස්‌ වැනිදා සමාප්ති වැඩසටහන පැවැත්වෙනු ඇති. 
පොතක සියවස වෙනුවෙන් ප්‍රදර්ශනයක්‌පැවැත් වෙනවා ද?
 
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ද දායකත්වය ඇතිව පෝතක බාලදක්‌ෂයින්ගේ ඉතිහාසහ ද නිරූපණය වන ප්‍රදර්ශනයක්‌ පැවැත්වෙනවා. 

එංගලන්තයේදී 1916 දී පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරය නිර්මාතෘ බේඩ්න් පවල්සාමිතුමා විසින් ආරම්භ කරන්නේ කුඩා දරුවන් සමාජයට වුවමනා ආකාරයට විනය ගරුක හා බුද්ධිමත් පුරවැසියන් බවට පත්කිරීමේ පිවිතුරු අරමුණෙනි. ඉතින් වසර 100ක කාලයක්‌ තුළ ලෝකය පුරා රටවල් 216 ක ව්‍යාප්ත වෙලා තියෙනවා. ජාත්‍යන්තර පෝතක බාලදක්‍ෂ සියවස ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂ සියවස ලෙසද ඒ නිසා අපට හඳුන්වන්න පුළුවන්. පෝතකයන්ගේ සොඳුරු ක්‍රියාකාරකම් දෙස අපි පිවිතුරු සිතින් බලාසිටිමු.

සියවසක් සපිරැණු පෝතක බාලදක්‍ෂ ව්‍යාපාරයට SCOUTING MAGAZINE උණුසුම් සුභ පැතුම්...

 

No comments:

Post a Comment