Translate

Monday, March 4, 2019

මහඋළුගෙදර බාලදක්ෂයෝ - World 1st Prisoner Scout Group

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේ 1841 වසරේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් වැලිකඩ හිරගෙදර ඉදිකරනු ලැබ ඇත. අද එය පාලනය වන්නේ ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟිනි. ඉදිකිරීම කටයුතු මෙහෙයවනු ලැබ තිබෙන්නේ එවකට මෙරට සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර කැමරන් විසිනි.
ශ්‍රී ලංකාව තුළ ලොකු හා කුඩා ලෙස බන්ධනාගාර 23ක් තිබේ. උසාවි ආශ‍්‍රිත සිරමැදිරි 32ක්ද එළිමහන් සිරකඳවුරු 10ක්ද ස්ථාපිතව ඇත. ඒ තුළ ආසන්න වශයෙන් සිරවුණු සිරකරුවන් ගණන 21,000කි. පසුගිය දෙසැම්බර් 31 වැනිදාට මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවන් ගණන 427කි. ජීවිතාන්ත සිරදඬුවම් හිමි ගණන 284කි. ඔවුන්ගෙන් අයකුට දෛනික නඩත්තු වියදම ආසන්න වශයෙන් රුපියල් 300ට වැඩි අගයකි. සිරකරුවන් සහ බන්ධනාගාරයත් පාලනය කිරීම සඳහා සිටින බන්ධනාගාර නිලධාරීන් ගණන 4500කි.

බන්ධනාගාර සංඛ්‍යා ලේඛනවලට අනුව බන්ධනාගාර ජනගහනයෙන් අඩක්ම සැකකරුවන්ය. ඔවුන් අපරාධයක් කළ බවට සැක කරන අය විනා අපරාධය සිදුකළ අපරාධකරුවන්යැ’යි තීරණය කළ අය නොවෙති. එයින් තවත් 49%ක්ම උසාවියෙන් තමනට නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වූ අයයි. ඔවුන් බන්ධනාගාර ගතවී තිබෙන්නේ කළ සුළු වරදට නියම වූ දඩය ගෙවා ගැනීමට හැකියාවක් නොමැතිවීම නොහොත් තමන්ගේ ආර්ථික නොහැකියාව නිසාය. ඒ සිරදඬුවමක් ඔහු විඳිය යුතු නිසා නොවේ. බන්ධනාගාර ගතකරන සිරකරුවන්ගෙන් 36%කට ආසන්න පිරිසක්ම මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත වැරදිකරුවන්ය. සරල සිංහලෙන් කුඩු බොන්නන්ය. තවත් 25%කට ආසන්න පිරිසක් සුරා බදු වැරදි එනම් කසිප්පු ළඟ තබාගැනීම හේතුවෙන් බන්ධනාගාර ගතවූ අයයි. එකී නොකී සියල්ල අතරින් 46%කට වඩා වැඩි පිරිසක් සිරකරුවන් ලෙස බන්ධනාගාර ගතව සිටින්නේ මාස 6කට වඩා අඩු කාලයකි. ඒ ඔවුන් බරපතළ වැරදි කළවුන් නොවන නිසාවෙනි. රටේ සිදුවන අපරාධවලින් පොලිසියට පැමිණිලි කරන්නේ 40%කටත් වඩා අඩු පිරිසකි. ඒ පිරිසෙන් බරපතළ අපරාධ ගැන සැකකරමින් අධිකරණය හමුවට ගෙන ආවද අධිකරණයෙන් වැරදිකරුවන් වනුයේ 4%කි. නිදොස් කොට නිදහස් වන ඉතිරි 36% දෙනෙකි. නිදහස හෝ දඬුවම හිමි නොවන තැන එම පීඩනයේ උච්චතම අවස්ථාව දිවි තොර කරගැනීමය. නැතිනම් පැනයෑමය. එහෙත් ඒවා අමතක කිරීමට පහසුම මග මත්වීමය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් බන්ධනාගාරය තුළම එමට ඇත. ‘මරණ දණ්ඩනය නියමවූවන්ගේ’ තත්ත්වය ඊටත් වඩා අන්ත දුක්ඛිතය. ඔවුන්ට දඬුවමද හිමි නැත. නිදහස්වීමද හිමි නැත. ජීවිත බලාපොරොත්තුවක් නැති ඔවුහු සිරගෙයින් පැනයන්න උත්සාහ දරති. බැරි තැන ජීවිතයෙන් පැන යන්න උත්සාහ දරති.

ලොව ප්‍රථම බන්ධනාගාර බාලදක්ෂ කණ්ඩායම

වැලිකඩ බන්ධනාගාරයේ මුළු භූමි ප්‍රමාණය වර්ග අඩි 19,000කි. එනම් අක්කර 48කි. ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අයත් වේබ් අඩවියේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පළමු බලදක්ෂ කන්ඩායම 1926 අරම්භය කල බව සදහන් වේ. BP තුමාගේ විශේෂ අවසරයක් යටතේ වැලිකඩ බන්ධනාගාරයෙහි රැඳවියන් සඳහා මානවක බාලදක්ෂ කණ්ඩායමක් බ්‍රිතාන්‍ය ඉම්පීරියල් බාලදක්ෂ මූලස්ථානයෙහි ලියාපදිංචි කළ බව ඉතිහාසයෙහි සඳහන්ව ඇත. ලංකා සංචාරයකදී වරක් BP තුමා එළිමහන් සිරකරුවන් හමු වී ඇත.


1926 - තරුණ වරදකරුවන් පුහුණු කිරිමේහිලා බාලදක්ෂ මූලධර්ම උපයෝගි කරගැනීම හඳුන්වා දෙන ලද අතර, වැලිකඩ බන්ධනාගාර හට කණ්ඩායම ලොව ප්‍රථම සිරකඳවුරු බාලදක්ෂ කණ්ඩායම ලෙස රාජකීය බාලදක්ෂ මූලස්ථානය විසින් ලියාපදිංචි කරනු ලැබීය.  

ලෝකයේ බොහෝ දෙනා මෙන් ම ලංකාවේ බොහෝ දෙනා නොදන්නා වූ බාලදක්ෂ ඉතිහාසයෙන් වැලලී ගිය තොරතුකි. කලින් කලට බන්ධනාගාර බලදක්ෂ කටයුතු විවිධ නිලධාරින් යටතේ ක්‍රියාත්මකවි ඇති අතර 2012 බන්ධනාගාරය තුල ඇතිවු කැරැල්ලෙදී තිබු බොහෝ මුලාශ්‍ර විනාශ වී ඇත.

ලොව පළමු වරට එළිමහන් රැඳවියන් වෙනුවෙන් බාලදක්ෂ ජම්බෝරියක් 2014/02/8-9 නුවරඑළිය පීඩෲ බාලදක්ෂ පුහුණු කඳවුරේදී පුනරුත්ථාපන හා ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. ලෝකයේ කිසිම රටක එවැන්නක් පවත්වා නොමැත. ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය හා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්‌ව සංවිධානය කරනු ලැබූ මෙම කඳවුරට ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාර නියෝජනය කරමින් අවුරුදු 18 ත් 24 ත් අතර වයසේ පසුවන රැඳවියන් 500ක් සහභාගී වූහ. සිරගතව සිටින තරුණ රැදවියන්ගේ මානසික සංවර්ධනයක් ඇති කිරීම හා යහපත් ජීවිතයක් ගත කිරීමට පසුබිම සකසාදීම මෙහි අරමුණ විය.

බාලදක්ෂ ජම්බෝරිය ගැන බන්ධනාගාර වෙබ් අඩවියේ තොරතුරු මෙතනින්. පීඩෲ කඳවුරේ තොරතුරු මෙතනින්.

29 වන කොළඹ විකුම් මානවක බාලදක්ෂ කණ්ඩායම

වැලිකඩ හිරගෙදර ඉදිරිපස සුප්‍රසිද්ධ විසල් යකඩ ‍දොරෙන් ඇතුළු වන අයකුට දෙවැනිව හමුවන්නේ දැවයෙන් නිමා කළ එවැනිම විශාල ද්වාර මණ්ඩපයකි. එයින් ඇතුළු වූ කල කෙටි දුරකින් මකර තොරණ හමුවේ. මකර තොරණ පසුකර කෙළින් ඉදිරියට යන කල බුදු පිළිමයක් දර්ශනය වේ. එය පසුකර ඉදිරියට යන විට වෙන් වෙන්ව පිහිටි ගොඩනැඟිලි තුනක් හමුවේ. ඉදිරි පසින් කර්මාන්ත අංශයේ කාර්යාල ගොඩනැඟිල්ල පිහිටා ඇති අතර දකුණු පසින් ප්‍රභූ සිර මැදිරියක් වශයෙන් භාවිත වන ‘එස්’ වාට්ටුව පිහිටා තිබේ. එය අසලම කෘත්‍රිම පොකුණක් නිමවා ඇත. කාලයකට පෙර බාලදක්‍ෂ පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන්ද ‘එස්’ වාට්ටුව පාවිච්චි කර තිබේ.

වැඩිහිටි බාලදක්ෂ කණ්ඩායම් සැරසිලි කටයුතු සංවිධාන කිරීම පෙරහැරේ කටයුතු නර්තන කණ්ඩායම විසින් ද පිරිත් මණ්ඩපය කැටයම් ශිල්පය දන්න අයගේද එකතුවෙන් වාර්ෂික පිංකම් සිදු කිරීමද ඔවුන් අනන්‍ය වූවක්. ආගම දහමට මුල්තැන දෙමින් වැලිකඩ බන්ධනාගාර භූමියට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස වාර්ෂිකව ඉදිකෙරෙන වෙසක් තොරණ වැලිකඩ සිරදඬුවම් විඳිමින් පසුවන රැඳවියන්ගේ සාමූහික උත්සාහයක්. මෙහිදී වැලිකඩ බන්ධනාගාරයේ බාලදක්‍ෂ කණ්‌ඩායම නියෝජනය කරන රැඳවියන් ප්‍රධාන වශයෙන් ඒ අයගේ දායකත්වය කැපී පෙනෙන බව වසර 19ක සිට වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ බන්ධනාගාර බාලදක්ෂ කණ්ඩායමේ හා නැටුම් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන ජානක ජයලත් මහතා පවසනවා. (තොරතුරු මෙතනින්.)

“මේ තොරණේ කටයුතු සිදුකරන්න අපිට තිබුණේ දින 40ක් වගේ සුළු කාලයක්. අපේ අධිකාරීතුමා මේ ගැන මාව දැනුවත් කළාම මටත් ඒක අලුත් අභියෝගයක් වුණා. නමුත් ඒ අභියෝගයට බය වෙන්න අවශ්‍ය වුණේ නැහැ මට. මොකද මා  සමග හොඳ කණ්ඩායමක් සිටිය නිසා. අප බන්ධනාගාරයේ නැටුම් කණ්ඩායම, බාලදක්ෂ කණ්ඩායම  සහ මරණ දඬුවම නියමවූවන් තිදෙනෙක් ඇතුළත් මේ පිරිස තමයි මේ කාර්යයට එක් වුණේ. අපේ අධිකාරීතුමා පියෙක් වගේ නිවැරදි නායකත්වයක් සමග අප පසුපස සිටිය නිසා ඒක අපිට ලොකු ශක්තියක් වුණා.

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මතෘ රොබට් ස්ටීවන්ස් ස්මිත් බේඩින් පවෙල් සාමිතුමාගේ 160 වන සැමරුම් දිනට සමගාමීව වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන වේදිකාව අසල බී.පී.තුමාගේ පිලිරුවක් ද පිහිටවනු ලැබූහ. ඩෙංගු රෝගය මර්දනයට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය සඳහා බන්ධනාගාර සිරකරුවන්ගෙන් සමන්විත සියදෙනෙක් පමණ කාර්ය සාධක බළකායක් සකස් කරනු ලැබූ අතර එහි ද බන්ධනාගාර බාලදක්ෂ කණ්ඩායම පෙරමුණේ සිටී. (තොරතුරු මෙතනින්.)


ගාල්ල මානවක බාලදක්ෂ කණ්ඩායම

ගාල්ල බන්ධනාගාරය විසින් දිනපතා 800කට අධික පිරිසකට ලබා ගන්නා කෑම සඳහා එළවළු සියල්ල ඔවුන් විසින් ම ගොවිබිමෙන් කොම්පොස්ට් යොදා වගා කරනු ලබන අතර ගාල්ල නගර මධ්‍යයේ මහා ගොවි පොළෙහි විකිනීමට තිබේ. සිරගෙදර සිරනොවි මාගේ ආහාරවේලට දායකත්වය ලබාදෙන ගාල්ල බන්ධනාගාර සිරකරුවන් අතර ද බාලදක්ෂ කණ්ඩායමට හිමිවනුයේ වැදගත් ස්ථානයකි.


වැරැදි කරන්නන් අඩු සමාජයක් බිහිවන තුරු සිරගෙවල් පිරී යැම නැවැත්විය නොහැක. එය සදාන ධර්මතාවයකි. මිනිස්සු හැමදාම වැරදි නොකරති. වැරදි කළවුන්ට වැරැදි හදා ගැනීමට අවස්ථාවක් ද දිය යුතුය. නේවාසික රැඳවියන් සදහා බාලදක්ෂ කටයුතු යනු  ලබා දෙන එවැනි අවස්ථාවකි. ඒ කටයුත්ත මනාවු ආකාරයට ඉටු කරන බන්ධනාගාරයේ නිලධාරිහු සත්කින්ම අගය කළ යුතුව තිබේ.

විශේෂ ස්තුතිය
රාවය පුවත්පතට හා බන්ධනාගාර කොමාසරිස් ජනරාල්ට

No comments:

Post a Comment