Translate

Thursday, December 21, 2023

පුරෝගාමී වැඩ ගැන සම්ප්‍රදායෙන් ඉගෙන ගන්න - උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පොල් මල් තොරන

එළිමහන් බාලදක්ෂ කඳවුරකට අත්‍යවශ්‍යම කාලීන උපකරණයක් ලෙස කඳවුරැ දොරටුව හැඳින්විය හැකි ය. කඳවුරැ දොරටුව බාලදක්ෂ කණ්ඩායමේ අභිමානය හා පුරෝගාමී කුසලතා විදහා පෙන්විය හැකි අවස්ථාවක් වන බැවින් එය ඉදි කිරීමට බාලදක්ෂයින් වඩා නිර්මාණශිලීව දායක විය යුතුය. 
 
සාර්ථක බාලදක්ෂ කඳවුරක දී බාලදක්ෂයෝ සතුටින් සිටිති. එවැනි අවස්ථාවක් සලසා දීමට බාලදක්ෂ ආචාර්යවරයා මග පෙන්විය යුතුය. බාලදක්ෂ පුරෝගාමී දැනුම ප්‍රයෝජනයට ගනිමින් ප්‍රදර්ශනාත්මක කාලීන උපකරණයක් නිර්මාණය කළ හැකි ය. එළඹෙන නිවාඩු කාලයේ ඉදිකරන බාලදක්ෂ කඳවුරු බිම්වල කඳවුරකට අත්‍යවශ්‍ය &කාලීන උපකරණ ස්ථාපිත කිරීම පිළිබඳව බාලදක්ෂ ඔබ දැනුම්වත් විය යුතුමය. එබැවින් පහත තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

කඳවුරු දොරටු ඉදිකිරීම

උග්ගල් අලුත් නුවර දේවාලයේ විකාශනය පිළිබඳ ලිඛිත සාක්ෂිය වන මැදගම සන්නසේ හෙවත් ලේකම් මිටියේ සඳහන් පුරාවෘත්තයට අමතරව, ජනශ්‍රැතියේ තවත් මතයක් ඇත. බුදුරජාණන්වහන්සේ කතරගම ශුද්ධ භුමියට වැඩම කරවීමේදී මුල් වූ අය අතර, එවකට ප්‍රාදේශීය පාලකයෙකු වූ සපුමල් බණ්ඩාර (සුමන සමන් දෙවිඳු) ඇති බවත් එම වඩින ගමනේ දී මැදගම් නුවර මෙම දේවාලයට ආසන්නයේ පිහිටි විලක් අසලට වැඩම කොට අපගේ දෙලොව අභිවෘද්ධිය හා අප කෙරෙහි ඇති වූ මහත් කරුණාවෙන් මෙම විලෙන් ද හස්ත පාදයන් හා මුව දෝවනය කොට වදාරනු ලද බවත්ය. ඉන්පසු "බුදුන්ගේ විල"නමින් හැඳින්වූ නමුදු, පසුකාලීනව "බුදුන්නේ වෙල" යයි පරිවර්තනය විය. අද ද මෙම ප්‍රදේශයේ පැරණි බෞද්ධ නටබුන් සහිත ඉපැරණි වෙල් යායක් තිබේ. මෙසේ ආරම්භ වූ දේවාලය විවිධ රජවරුන්ගේ පුද සත්කාරයන්ට ලක් වී ඇති අතර, ඇතැම් ප්‍රදේශීය රජවරුන්ගේ මෙම දේවාලයේ ඉඩකඩම් හා දේපල දේවාලවලට අයිති වී ඇත.

පෘතුගීසි සමයේ දී "කොන්තන්තීනු ද සා "ගේ යුද හමුදාව විසින් මැදගම් නුවර පිහිටි අළුත්නුවර ගින්නෙන් විනාශ කළ ද, මෙම දේවාලයට කිසිදු හානියක් සිදු නොවූයේ මෙම දෙවියන්ගේ හාස්කමක් නිසා යැයි විශ්වාස කෙරේ. පෘතුගීසින්ගේ සමයේ රාජකාරි බොහොමයක් සහ රාජකාරිවරුන්ගේ ඉඩකඩම් ද වෙනස්වීම්වලට ලක් වී තිබේ. 1622දී පෘතුගීසින් විසින් සකස් කරන ලද ඉඩම් ලේඛන වන "තෝම්බුව" සහ "පෝරාලය "සකස් කිරීමේ දී, බොහෝ ඉඩම් අන්සතු. පෘතුගීසින්ගෙන් ද මෙම දේවාලයට විවිධ වූ බලපෑම් එල්ල විය. රා.ව. 1796 දී ලංකාව බ්‍රිතාන්‍ය සතුවීමත් සමඟ පැරණි බොහෝ නිල රාජකාරීවරුන් ක්‍රිස්තියානි වැළඳගත් බවද සඳහන් වේ. කෙසේ වුවද, පැරණි රජදරුවන්ගේ පටන් පැවතී රාජකාරි අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා 1870 අංක 4 දරණ සේවා භුක්ති ආඥා පනතට අනුව මෙම දේවාල ඉඩම් "මුත්තෙට්ටුව සහ"නිලපංගු"වශයෙන් කොටස් දෙකකට බෙදන ලද අතර ,නිලපංගු නැවතත් "පරවේණි පංගු "හා "මාරු වෙන පංගු" වශයෙන් කොටස් දෙකකට බෙදන ලදී. 18 වන සියවසේ පටන් මෙම දේවාලයේ බොහෝ ඉඩම් අන් අයට විකුණමින් රාජකාරිවලින් දුරස්වන ස්වභාවයක් දක්නට පුළුවන එසේ වුවත්, මේ වන විට බොහෝ රාජකාරි නැවතත් පටන් ගෙන ඇත.


ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පොල් මල් තොරන බැඳීම

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ වර්ෂ 1870 ලේඛනයේ සදහන් වලේබඩ ගමේ රාජකාරි කරුවන් විසින් චාරිත්රනුකූලව වාර්ශිකව ඇසල මහ පෙරහැර මංගල්යයට ඉදිකරනු ලබන පොල් මල් තොරන ඉදිකිරීමට සහබාගී වූ රාජකාරිකරුවන්..


  
 

Tuesday, December 19, 2023

අම්බලම් වල නතර වෙවී HIKEඑකක් යමුද?

මගීන්ට නවාතැන් දුන් පුරාණ අම්බලම්

අම්බලම් ගොඩනැංවීම, උතුම් පුණකර්මයක්‌ සේ පුරාණ සමාජයේ සැලකුණා. පිං පතා බුදුගෙවල් හා දාගබ් ඉදි කරන්නාක්‌ මෙන් ම, මහජන යහපත පතා ගම්වැසියන් එක්‌ වී අම්බලම් පිහිටුවූවා. අම්බලමක් ඉදිකළේ මාර්ගයක් අද්දර මගීන්ට පහසු තැනක යි. කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල මංගලගම අම්බලම මෙන් ම කඩුගන්නාව කන්දේ අම්බලමත් එවැනි අපි නිතර දකින අම්බලම් දෙකක්. අම්බලම නිර්මාණය කිරීම පහසු කාර්යයක්‌ වුණේ නැහැ. දිගුකලක් පවතින ලෙස ශක්තිමත් දැවවලින් තමයි මේවා හැදුවේ. අම්බලම් ඉදිකිරීමට කළුගල් ද යොදා ගත්තා. දැන් අපි දුම්බර අම්බලම් කිහිපයක ගිමන් හරින්නට යමු.
 
මහනුවර තැන්නෙකුඹුර පාලමෙන් එපිට පිහිටි මහවැලි ගංගාවෙන් එගොඩ පෙදෙස උඩරට රාජධානි කාලෙදි හැඳින්වුණේ දුම්බර රට කියලයි. දුම්බර ප්රදේශය මහනුවර නගරයට වඩා උසින් වැඩි බෑවුම් සහිත පළාතක් නිසා ඒ පළාතේ සිට මහනුවර ඇතුළු පෙදෙස්වලට යාමේ දී මගීන්ට නිතර විවේක ගනිමින් ගමන් කරන්නට සිදු වුණා. මේ නිසා පාතදුම්බර මෙන් ම උඩදුම්බරත් පුරාණයේ අම්බලම් බහුල ව ඉදිකර තිබුණා. අතරමග රෑ බෝ වුණොත් නිදාගැනීමටත් මේ අම්බලම් භාවිත කළා. ඒ අතරින් අම්බලම් රාශියක් අදටත් දැකගත හැකි යි. මේ සමහර අම්බලම් පුරාවිද්යා ස්මාරක ලෙසත් නම්කර තිබෙනවා.
 

කරගහගෙදර අම්බලම 
 
කරගහගෙදර අම්බලම පුරා විද්‍යා ආරක්ෂක ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇත.මෙම අම්බලමෙහි ඇති එක් දැව කඳක 1837 ලෙස සටහන් කර ඇත. එබැවින් මෙම අම්බලම 1837 වසරේදී හෝ එයට ‍පෙර නිර්මාණය කර ඇති බව අනුමාන කල හැක. මෙම අම්බලම නිර්මාණය කර ඇත්තේ විශාල ගෝලාකාර ගල් කුටිටි හතරක් මත වීම විශේෂත්වයකි.දැවයෙන් නිර්මාණය කර ඇති මෙහි වහල උළු සෙවිලි කර දැව කඳක් සම්බන්ධ කිරිම සඳහා දැවයෙන් නිර්මිත ඇණ යොදාගෙන ඇත.
 
අම්බලම ඇතුලත දෙපා තැබීමට යැයි සිතිය හැකි කුඩා දැව කඳන් හතරක් ඇති අතර අම්බලම වටා ඇති දැව කණු 17ක් මගින් වහලයට සම්බන්ධ වේ. අම්බලමට ඇතුලුවීම සඳහා දැවයෙන් නිර්මිත පියගැටපෙළක්ද තිබෙන අතර එය පසුකාලීනව නිර්මාණය කර ඇති බව පෙනී යයි.
 


 
 
කරල්ලියද්ද අම්බලම

අම්බලම පිහිටා තිබෙන්නේ මහනුවර තෙල්දෙණිය ප්රදේශයේ කරල්ලියද්ද ගමේ. තෙල්දෙණිය ලංගම ඩිපෝව අසල සිට මීටර් 500ක් දුරින් අම්බලම දැකගත හැකි යි. පුරාවිද්යා ස්මාරකයක වන මේ අම්බලම අවට පසුකාලීන ව නිවාස ඉදිකිරීම නිසා එය පිහිටා තිබෙන්නේ පුද්ගලික ඉඩමක් ඇතුළේ නිවාසවලින් වටවුණු පරිසරයක යි.

අම්බලම පිහිටුවා ඇති කළුගල් අත්තිවාරම අඩි එකහමාරක් පමණ උස යි. එය මත උසින් අඩු ගල් 4ක් මත විශාල ලී කඳන් 4ක් දමා තමයි අම්බලමේ පියස්ස තනා තිබෙන්නේ. මෙසේ ගල් මත දැව කණු පිහිටුවා ඇත්තේ වේයන්ගෙන් ආරක්ෂා වීමට යි. හිඳ ගැනීමට ඇත්තේත් මෙම ලී කඳන්ම යි. අම්බලමේ සතර කොනෙන් නැගෙන ලී කුලුනු 4ක් මත වහලය රඳා තිබෙනවා. සතරැස් ලෙස ආරම්භ වන මෙම කණු ස්ථාන දෙකක දී ෂඩස්රාකාර හැඩයක් ගන්නවා. මෙහි කණුවල කැටයම් දැකගැනීමට නම් නැහැ. පියස්සට පෙතිඋළු සෙවිලි කර තිබෙනවා.

පුටුහපුව අම්බලම

තෙල්දෙණිය මැද දුම්බර ප්රදේශයේ තිබෙන කුඩා නගරයක් වන පුටුහපුව පාරවල් පහක් හමුවන හන්දියක්. එහි අඩි 4ක් උස වේදිකාවක් මත පාර අද්දර ම අම්බලම ඉදිකර තිබෙනවා. මෙය මගීන්ට පුවපහසුව සිටීමට තරම් ඉඩකඩ සහිත යි. අම්බලම ඉදි කර තිබෙන්නේ කළුගලින් බැඳි කණු සහිත ව යි. කළුගල් කණු 10ක් මත මෙහි පිටත බිත්ති අතර තනා තිබෙන අතර අම්බලම මැද කණු හතරක් සහිත යි.


පියස්ස තනා ඇත්තේ මේ කණු ආධාර කරගෙනයි. පියස්සේ කොටසක සිංහල උළුත් තවත් කොටසක් රටඋළුත් සෙවිලි කර තිබෙනවා. හගුරන්කෙත අම්බලමේ පියස්ස ද මෙයට සමාන යි. මෙහි තිබෙන කොට බිත්ති මගීන්ට හිඳ ගැනීමට ආසන වශයෙන් ද භාවිත කළ හැකි යි. මෑතක දී මේ අම්බලම පුරාවිද්යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර තිබෙනවා.

සිරිමල්වත්ත අම්බලම

කුඩා නගරයක් වන සිරිමල්වත්තට මහනුවර සිට තැන්නෙකුඹුර මාර්ගයේ බූවැලිකඩ හන්දියෙන් ලේවැල්ල පාලම පසුකොට දකුණට දිවෙන පාරේ ගමන් කළ යුතුයි. ජනප්රවාද පවසන්නේ ශ්රී වික්රම රජසිංහ රජ කාලයේ ප්රාදේශීය ප්රධානියකු මෙහි පිහිටි අම්බලම ඉදිකරවූ බවයි.

පසුකාලීන ව කළ ප්රතිසංස්කරණ නිසා අද වනවිට මෙහි මුල් ස්වරූපය වෙනස් වී තිබෙනවා. ශේෂ වී ඇති දැව කුලුනුවල උඩරට සම්ප්රදායේ කැටයම් දැකගත හැකි යි. අම්බලම මැද අසුන් ගැනීමට තැනූ උස් පඩි වැනි ආසන තිබෙනවා.වහලය තනා ඇත්තේ කුලුනු 13ක් මත යි. කුලුනු පේකඩ කලාත්මක කැටයම් සහිත යි.

කෙන්ගල්ල අම්බලම

මහනුවර පල්ලෙකැලේ හරහා දිගන වෙත ගමන් කිරීමේදී හමුවන කෙන්ගල්ල කුඩා නගරයේ බස් නැවතුම්පල අසල ජනාකීර්ණ තැනක පිහිටා තිබෙන අම්බලමක්. තමිල්නාඩුවේ තන්ජූර් හී සිට පැමිණි දෙමළ වගාකරුවකු වන කේ. වයිතිලිංගම් 1907 වර්ෂයේ දී මෙම අම්බලම ඉදිකළ බව එහි ගල්කණුවල සිංහල, ඉංග්රිසි සහ දෙමළ භාෂාවලින් කොටා තිබෙනවා. විශේෂත්වය නම් ඒ වගාකරුවා 1739 සිය 1815 දක්වා මහනුවර රාජධානිය පාලනය කළ නායක්කර් රාජ වංශිකයන්ගේ ඥාති පරපුරකට සම්බන්ධ බව පැවසීමයි.
 
පුටුහපුව අම්බලම

මෙය තරමක් විශාල අම්බලමක්. වෙළෙන්දන්ට විවේක ගැනීමට මෙය ඉදි කළ බවයි පැවසෙන්නේ. ගල් කුලුනු ආධාරයෙන් ඉදිකොට ඇති අම්බලමේ වහලයට රට උළු සෙවිලි කොට තිබෙන්නේ පසුකාලීන ප්රතිසංස්කරණවල දී විය හැකියි. අම්බලම කාමර දෙකකින් සමන්විත ව තිබූ බව පැවසෙනවා. එක් කාමරයක් පුරුෂ පාර්ශවය උදෙසාත්, අනෙක් කාමරය කාන්තා පාර්ශවය උදෙසාත් ඉදි කොට තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
තෙල්දෙණිය ප්රදේශයේ කෙන්ගල්ල අම්බලම

කෙවුල්ගම අම්බලම

මහනුවර උඩුදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තමයි මේ අම්බලම පිහිටා ඇත්තේ. අම්බලම මහනුවර යුගයේ දී ඉදිකරන ලද්දක් ලෙස සැලකෙනවා. මහනුවර තාලේ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ හා දැව කැටයම් මෙහි දැකගැනීමට පුළුවන්. මහනුවර මහියංගණය මාර්ගයේ හුන්නස්ගිරිය නගරයෙන් හැරී නුගේතැන්න හරහා කිලෝ මීටර් 5ක පමණ දුරක් පැමිණීමෙන් කෙවුල්ගමට ළඟාවිය හැකි යි. කඳු බෑවුමේ සුන්දර වෙල් යායක් අසබඩ තුරුගොමු සමීපයක පිහිටි මේ දැව නිර්මාණය පුරාවිද්යා ස්මාරකයක්. 
 
කෙවුල්ගම අම්බලම

මැටි හා සක්කගල් භාවිතයෙන් පිහිටි පොළොවේ සිට ඉහළට එසවෙන ලෙසින් සකස් කළ පාදමක් මත තමයි අම්බලමේ දැව සැකිල්ල පිහිටුවා තිබෙන්නේ. විශාල දැව කඳන් හතරක් කට්ට කපා ඒ මත කුඩුම්බි කපා ඉහළට එසවෙන කැටයම් සහිත කණු හතරක් සවිකර ඒ මත දැව රාමුවක් ඉහළින් සවිකර පියස්ස තනා තිබෙනවා. පියස්ස සහිත දැව රාමුවේ සෑම කෙළවරක් ම පහළට එල්ලෙන නෙලුම් මල් හැඩැති පේකඩ නිර්මාණ දැකගත හැකි යි. පියස්සට සිංහල උළු සෙවිලි කර තිබෙනවා. වහලය පල හතරකින් යුක්ත යි. පුරාවිද්යා දෙපාර්තමේන්තුව මෑතකදී මේ අම්බලම සංරක්ෂණය කර තිබෙනවා. කෙවුල්ගම සිට කිලෝ මීටරයක පමණ දුරකින් පිහිටි ගනේවෙල ද තවත් අම්බලමක් පිහිටා තිබෙනවා.
 
පිටවල අම්බලම

මේ අම්බලමත් උඩුදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන තවත් දැව නිර්මාණයක්. මෙයත් කෙවුල්ගම අම්බලමට තරමක් සමාන යි. මහනුවර මහියංගණය මාර්ගයේ කළුන්තැන්න 7 කණුව අසලින් හැරී පැමිණි විට පිටවල ගම්මානයට අපිට ළඟාවිය හැකි යි. පිටවල රජ මහා විහාරය අසල අම්බලම පිහිටා තිබෙනවා. අම්බලම ඉදිකර තිබෙන්නේ ද කළුගලින් කළ පදනමක් මත යි. මැටි හා සක්කගල්වලින් තමයි පාදම සකස් කර ඇත්තේ.
දැව කඳන් 4 කින් කළ රාමුවක් මත කණු සිටුවා කණු හතරක් මත තැනූ දැව රාමුවක වහලය සකස් කර තිබෙනවා. මේ අම්බලම අදින් වසර 150 කට පෙර ඉදිකළ බව පැවසෙනවා. දැව කණුවල මැද සරල කැටයම් කොටා තිබෙනු දැකගත හැකි යි.
 
අමුණුගම අම්බලම

කටුගස්තොටින් කිලෝ මීටර් 8ක් දුරින් පිහිටි මැදවල සිට මඳ දුරකින් අමුණුගම පිහිටා තිබෙනවා. මේ අම්බලම අවුරුදු 100කට පෙර තනා ඇති බව පේනවා. දිගන, තෙල්දෙණිය, මැණික්හින්න සහ කුණ්ඩසාලේ සිට මහනුවරට යන මගීන් මේ අම්බලම භාවිත කර තිබෙනවා. ගඩොලින් බැඳි කොට බිත්ති සහිත ව ඉදිකර ඇති මෙහි කුලුනු හතරක් මත පියස්ස තනා තිබෙනවා. පියස්සට සෙවිලි කර ඇත්තේ සිංහල උළුයි. 
 
දිගන ගල් අම්බලම
 
දිගන හන්දියේ සිට වික්ටෝරියා ජලාශ මාවතේ කිලෝ මීටර් එකහමාරක් දුරින් පිහිටි ගලින් බැඳි අම්බලමක්. දුන්හින්න ග්රාමීය රෝහල අසල මෙය පිහිටා තිබෙනවා. කනගාටුවට කරුණ නම් මෙහි ගල් කුලුනු බොහෝමයක් අවට නිවාස තැනීමට ගෙන ගොස් ඇති නිසා දැන් අතුරුදහන් ව තිබීම යි.
 
මූලාශ්ර : අම්බලම හා සමාජය : ශ්රී ලංකාවේ පුරාණ පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්යාත්මක පර්යේෂණයක්-රෝහිත දසනායක
 
මාතලේ වෙල මැද අම්බලම

මලගමන්දෙනිය අම්බලම

පනාවිටිය අමිබලම

නාරම්මල අම්බලම

දවුලගල අම්බලම

අඹගහපිටිය අම්බලම


ඇම්බැක්ක අම්බලම



ලංකාවේ දැනට පවතින පුරාණ අම්බලම්
ඇම්බැක්ක අම්බලම
මංගලගම අම්බලම
අප්පල්ලගොඩ අම්බලම
කන්දේවෙල අම්බලම
උඩුවෙල උඩගම අම්බලම
කරගහගෙදර අම්බලම
උඩුනුවර - හේන්දෙණිය අම්බලම
මීපේ අම්බලම
අැටම්පිටිය අම්බලම
ගිරුවා අම්බලම
රුකුලා අම්බලම
ගොඩමුණේ අම්බලම
මැදගම අම්බලම
උඩුවෙල ගිණිහිරිය අම්බලම
හඟුරන්කෙත අම්බලම
කෙන්ගල්ල අම්බලම
දීවිල්ල අම්බලම
කැටවල අම්බලම
දවුලගල අම්බලම
ජුබිලි අම්බලම
පුටුපාගල අම්බලම
ගොඩමුන්න අම්බලම
හේවා විස්ස අම්බලම
දූල්වල වෙල මැද අම්බලම
මාකඩවර අම්බලම
ඇවරියවල අම්බලම
කිරිඔරුව අම්බලම
කඩුගන්නාව අම්බලම
පනාවිටිය අම්බලම
මාරස්සන අම්බලම
ඇල්ලවත් ඔය අම්බලම
දෙහල්කඩ අම්බලම
බෝතලේ වෙල මැද අම්බලම
කෝට්ටේ ගල් අම්බලම
ගල්කොත අම්බලම
 

Monday, November 27, 2023

නුවරඑළිය පීඩෲ බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානය

නුවරඑළිය trip එකට මේ අත්දැකීම් එකතු කරගන්න අමතක කරන්න එපා. හැමදාම දවස් දෙකක තුනක ට්‍රිප් එකක් යමු කියලා ගෙවල් වල කට්ටිය කතා වෙද්දි පළවෙනියටම එන option එක මොකක්ද ?? අනිවාර්‍යයෙන්ම නුවරඑළිය ?? 

නුවරඑළිය කියන්නේ වෙනම ලෝකයක්. ඒකේ එක එක දවසට තියෙන්නේ එක එක විදිහේ ලස්සනක්. ඒ හින්දා දෙතුන් පාරක් ගියා කියලා නම් නුවරඑළියේ යන එක එපා වෙන්නේ නෑ. ඉතින් හැමදාම යන තැන් වලට තව අපිට මග ඇරෙන තැන් ටිකක් එකතු කරගෙන මතක හිටින family trip එකක් සෙට් කරගන්න තැන් ටිකක් ගැන තමා අපි මේ පාර කතා කරන්න බැලුවේ.

නුවරඑළිය පීඩෲ බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානය

කඳපොල – සීතාඑලිය රක්ෂිතය නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිබෙන වන රක්ෂිතවලින් එකක් තමයි කඳපොල – සීතාඑලිය රක්ෂිතය. මෙය ලංකාවේ තිබෙන පැරණිම වන රක්ෂිත අතරින් එකක් ලෙසද සැලකෙනවා. වන ආඥා පනත යටතේ මෙය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 1892 මැයි 20 දායි. එනම් ඉංග්‍රීසි ආණ්ඩුව පැවති සමයේදී යි. මෙහි ප්‍රමාණය හෙක්ටයාර් 2721ක් වෙනවා.මේ සමගම තවත් රක්ෂිතයක් තිබෙන අතර එය ප්‍රමාණයෙන් හෙක්ටයාර් 110ක් විශාල යි. කඳපොල සීතාඑලිය රක්ෂිතය වඩාත් ජනප්‍රිය වී තිබේ තිබෙන්නේ බෝමුරු ඇල්ල, බෝමුරු ඔය සහ බෝමුරු ඇල්ල ජලාශය නිසායි. මේ තුනම පිහිටා තිබෙන්නේ රක්ෂිතය ඇතුලේ යි. මෙම වනපෙත සම්බන්ධ පුරාවෘත්ත සහ ජනප්‍රවාද බොහොමයි. රාවණා රජතුමා සීතා දේවිය සඟවා තබා ඇත්තේ මේ වනපෙත තුළ බවට ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තිබෙනවා. 

සීතාඑලිය රක්ෂිතය සමඟ ඒ හා ඇති යෝජිත රක්ෂිතය සහ හග්ගල දැඩි රක්ෂිතය ද බැඳී පවතිනවා. මේ වනාන්තර පද්ධතියම එකම වනාන්තරයක් ලෙසටයි විහිදී තිබෙන්නේ. කඳුකර වනාන්තරවල දැක ගත හැකි කුරුල්ලන් සහ උරග ආදී වෙනත් සතුන් රාශියක් මෙම වනාන්තර පද්ධතිය තුළ වාසය කරනවා. එයින් අපේ රටට ආවේණික ගුරු කොණ්ඩයා, කඳුකර මල් කුරුල්ලා, දෙමලිච්චා, මයිලගොයා, වලිකුකුළා, අඳුරු නිල්මැසිමාරා වැනි පක්ෂීන්, මධ්‍ය කඳුකරයේ පමණක් ජීවත් වන රයිනෝ අඟ කටුස්සා, ලංකාවට ආවේණික කටකළු කටුස්සා වැනි උරගයන්ද මෙහි බහුලව ම ජීවත් වෙනවා. උඩවැඩියා සහ මීවන වර්ගද මෙහි ඉතාමත් ම සුලබ යි. කඳුකර වනාන්තරවල දක්නට ලැබෙන දඹ, කීන, ගල් වෙරළු වැනි ශාක ද මෙහි බහුලව දකින්න පුළුවන්. ඒ කෙසේ වුණත් මෙම වනාන්තර පද්ධතියෙහි ජෛව විවිධත්වය පිළිබඳව විශාල වශයෙන් තවම අධ්‍යයනයක් සිදුවී නෑ. මෙම වනාන්තරයට තිබෙන විශාලම තර්ජනය වන්නේ තේ සහ එළවළු වගාව වෙනුවෙන් මිනිසුන් විශාල වශයෙන් වනය එළිපෙහෙළි කිරීමයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නුවරඑළිය අඩවි වන කාර්යාලයෙන් අවසරයක් ලබාගෙන ඔබටත් මේ වනාන්තරයට පිවිසිය හැකියි.

Back to Pedro ~ Taking Over of Pedro National Scout Activity Center After Renovation


Regrowth Pedro Scout Camp - යළි පිබිදෙන නුවරඑළිය පීඩෲ
 


 
පීඩෲ බාලදක්ෂ කඳවුර නුවරඑළිය රාගල පාරේ ඉස්පිරිතාල හන්දියට ගොස් එතනින් පීඩෲ බාලදක්ෂ කඳවුර මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරක් යන විට මේ රක්ෂිතය හමු වෙනවා. නමුත් බෝමුරු ඇල්ල තිබෙන්නේ වනාන්තරයේ කෙළවරක. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආශ්‍රිත ප්‍රදේශයේ යි. බෝමුරු ඇල්ලට යන්න නම් වැලිමඩට ගිහින් වැලිමඩින් පේරවැල්ලට යා යුතුයි. මේ ප්‍රදේශයේ බහුලවම කූඩැල්ලන් ගැවසෙනවා. අඩි 308ක් උස බෝමුරු ඇල්ල ලංකාවේ තිබෙන ලස්සනම දිය ඇලි වලින් එකක්. මේ වනාන්තරය අයත් වන්නේ මධ්‍ය කඳුකරයේ රම්බොඩ නුවරඑළිය වෘක්ෂ ලතා කලාපයටයි.
 
FB - https://www.facebook.com/PedroScoutCamp/



පීඩෲ බාලදක්ෂ කඳවුරේ පැරණි ගීතයක් වියැකී යන්නට පෙර අලුතින්.... 

පීඩෲ කඳවුරේ ලීපදක්කම් පාඨමාලා පැවැත්වීම ආරම්භ කළ කාලෙ ඒ කඳවුරු භූමිය තුළ රජ කළ දැවැන්තයො පිරිසක් හිටිය. කඳවුරු නායක (දැන් ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් ) බ්‍රිගේඩියර් සී.පී. ජයවර්ධන, ජේ.ලයනල් සිල්වා , ඒ.වී.බාලසුබ්‍රමනියම්, පී.එස්.ආර්.රාජමනි, මයික් බලපිටිය,ඩබ් .ජේ.ඩයස් ගුණරත්න, නිහාල් ඩි මෙල්, ඒ.ඒ.ආරියපාල ආදී මහා පුරුෂයන්ගෙ ප්‍රාණවායුව වගේම ඩබ්. වී. නිහාල් ඩි මෙල් මැතිතුමාගෙ ජීවන සුවඳ අදත් මේ භූමිය තුළ පවතිනව.

මයික් බලපිටිය මහත්තය ලියපු පීඩෲ ගීතය හැත්තෑවෙ දශකයේ අග භාගයේ කොළඹ 03 බාලදක්ෂ මාවතේ අංක 131 ස්ථානයේ තිබුණු බාලදක්ෂ මූලස්ථානයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදි එතුමාගෙ කටින්ම අහන්න එදා තරුණ වයසෙ හිටි අපි වාසනාවන්තවුණා. එහෙම කිව්වෙ පුහුණු කිරීමේ නායක කර්නල් ආනන්ද අල්විස් මහත්මයා. මෙන්න ඒ ගීතය....


එනවා...// මම නැවත // එනවා.. මාන වලින් වත් පැලක් හදා ගෙන ඉන්නට මම එනවා // පිදුරුතලාගල කඳුවැටි පා මුල සීතඑළිය සෙවණේ කදිම බිමක් ඇත කඳවුරු ලන්නට දොළපාරක් අයිනේ ගතට සිසිල දෙන සිතට සුවය දෙන මේ බිම රමනීයයි මෙතනට සමවන කිසිම තැනක් නැත මිහි පිට සගය මෙයයි එනවා ....// මම නැවත //...... // මල්වල සුවඳයි පෙදෙසේ සිසිලයි පවනට මුසු වෙනවා මිහිර රැගෙන එනවා සියොතුන් නාදය ගලන දොළේ හඬ ගීයක සැඟවෙනවා තණ අග පිණිබිඳු මිණි මුතු වාගේ පෙදෙසම බබළනවා එනවා....// මම නැවත //..... // වනය මැදින් පා ගමනෙ යෙදී රැය පතන බීමෙහි ගෙව්වේ අමුතු දෙයක්මයි අඩියෙන් අඩියට මග දෙපසේ දුටුවේ අවට වනයෙ කොටි ගෝන මුවන් හඬ සෑම දෙසින් ඇසුනේ සතුට විනෝදය එලෙස ලබන්නට කවදද මට ලැබුණේ එනවා....// මම නැවත //.....// 

මේ ගීතය ඒ. වී බාලසුබ්‍රමනියම් මහත්තය පසු කාලයකදි දමිල භාෂාවට නඟලා තිබුණා. වරුවේන්...// නාන් මීන්ඩෘ// වරුවේන්... කියල. නමුත් ඒ පදමාලාව සොයා ගැනීමට තවමත් අපිට නොහැකි වීම ගැන තියෙන්නෙ කණගාටුවක්..

ලවර්ස්ලීප් දිය ඇල්ල හා පීඩෲ තේ කම්හල 

නුවරඑළිය නගරය මධ්‍යයේ වික්ටෝරියා උද්‍යානයේ මායිමේ ඇති උඩුපුස්සැල්ලාව පාරේ කිලෝමිටර් දෙකක් පමණ යන විට ඔබට හාවාඑළියට ළඟාවෙන්න පුලුවන්.. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වගේම නුවරඑළිය ප්‍රධාන රෝහලත් පිහිටලා තියෙන්නේ හාවාඑළියේ.. හාවාඑළියේදි අපිට දැක ගන්න පුලුවන් විශේෂම දෙයක් තමා එලවළු වගාව.. කැරට්, ලීක්ස් වගේ එලවළු පාත්ති හැමතැනම දකින්න පුලුවන්.. හාවාඑළියට ළඟා වුණාම අපිට ඉහළින් කඳු පන්තියේ මායිමෙන් සුදෝ සුදුවට ගලාහැලෙනා ලවර්ස්ලීප් දිය ඇල්ල දැක ගන්න පුලුවන්. මාර්ගයේ ඉඳන් කෙටි දුරක් අඩිපාර දිගේ පැරණි බීර කම්හලට ජලය ලබාගත් බට මාර්ගය දිගේ බොහොම පහසුවෙන් දිය ඇල්ල පාමුලට ළඟාවීමේ හැකියාව පවතිනවා. ඒ යන අතරමඟදි ඔය වටේ තියෙන කැරට් පාත්තියකට ගොඩ වෙලා ගොවිපොළේ හිමිකරු එක්කත් ටිකක් කතාබහ කරල, කැරට් අලයක් එහෙම ගලවගෙන රස බලන්නත් අමතක කරන්න එපා.

පිදුරුතලාගල කඳු පන්තියේ නැගෙනහිරට වෙන්න ගලාහැලෙන මීටර් 30 ක් පමණ උස මේ සුන්දර දිය ඇල්ලට නම එකතු වෙලා තියෙන්නේ ප්‍රේමයේ නාමයෙන් දිය ඇල්ල මුදුනේ සිට පැන දිවි තොරකරගත් යුවලක් නිසා කියලයි ප්‍රචලිත වෙලා තියෙන්නේ. ලවර්ස්ලීප් දිය ඇල්ලෙන් සමුඅරගෙන එම මාර්ගයේම තව පොඩි දුරක් ගමන් කිරීමෙන් ඔබට පීඩෲ (Pedro) තේ කම්හල අසලට ළඟා වෙන්න පුළුවන්.. තේ නිෂ්පාදනයේ පියවරෙන් පියවර දැනගන්නා හා සියසින් දැක ගන්නා අවසානයේ, එම තේ කම්හලෙන්ම නිපද වූ නැවුම් තේ කෝප්පයක රස විඳින්නත් ඔබට අවස්ථාව හම්බෙනවා.. ඉතාමත් සුන්දර වටපිටාවක පිහිටා ඇති තේ කම්හලට පහළින් ලවර්ස්ලීප් දිය ඇල්ල උපද්දා පැමිණි දිය දහර හරස් කොට තැනූ බෝඹුරුඇල්ල කුඩා ජලාශයද ඔබට දැක ගත හැකියි.. මේ දිය දහර උමා ඔයේ මුල් දියත්ත විදිහටත් සලකනවා..

බෝඹුරු ඇල්ල

නුවරඑළිය නගරයේ සිට බදුල්ල මාර්ගයේ කුඩා දුරක් එනවිට ඔබට හක්ගල උද්භිත උද්‍යානය දැක ගත හැකියි.. එම ස්ථානයේ  නොනවත්වා තවත් ටික දුරක් වැලිමඩ සානුව දෙසට පල්ලම් බසින විට ඔබට රේන්දපොල මංසන්දියේදී බෝඹුරු ඇල්ලට යන මාර්ගය වම් පැත්තෙන් දැක ගත හැකියි.. රේන්දපොළ මංසන්දියේ සිට හොඳින් පිළිසකර කර ඇති මාර්ගයේ කිලෝමීටර් හතක පමණ දුරක් ගෙවා ඔබට බෝඹුරු ඇල්ල උපද්දා එසේ ගිරි හෙලින් පැනීමෙන් ඇතිවූ වෙහෙස සංසිදවා ගැනීමට මෙන් ඔහේ නිසලව ගලායන බෝඹුරු දොල එහෙමත් නැත්නම් උමා ඔයේ මුල් දියත්ත අසලට පැමිණීමට හැකියි. මෙම ස්ථානයට වැලිමඩ දෙසින්ද ළගාවිය හැකියි. සුන්දර දිය ඇල්ල මාර්ගයට දර්ශනය නොවන හෙයින් ඇගේ සුන්දරත්වය මනාව විඳ ගැනීමට නම් කුඩා දුරක් ඔබට පා ගමනින් යා යුතු වෙනවා. බෝඹුරු දොලේ පාළම අසලින් මදක් අඩිපාර දිගේ ඉහළට නැඟි විට ඔබට දිය ඇල්ලට පහළින් කුඩා අමුණකින් ජලය හරවා ගොවිබිම් වෙත ජලය ගෙනයන කුඩා ඇලපාරක් ආසන්නයට ළඟා විය හැකියි. ඉන්පසු එම ඇලපාර දිගේ ඉහළට ගමන් කලයුතු වෙනවා.. අඩිපාර දිගේ ගමන් කිරීමෙන් ඔබට දිය ඇල්ල පාමුල වම් අන්තයට ළඟාවිය හැකියි.. එහෙත් මනාව සුන්දරත්වය දැක ගැනීමට නම් අතරමගදි හමුවන අමුනෙන් දොළේ දකුණු පසට මාරු විය යුතු අතර එය ඔබව සුන්දර දර්ශන තලයකට ගෙන යනවා.. උසින් මීටර් 30 ක් පමණ වූ මෙම බෝඹුරු ඇල්ල දිය ඇල්ල ලංකාවේ සුන්දරම දිය ඇල්ලක් ලෙසත් සැලකෙනවා.

නුවරඑළිය නගරය 

නුවරඑළිය නගරය අපි පුංචි එංගලන්තය විදිහට සලකන්නේ නුවර එලියේ තියන පාරිසරික ලක්ෂණ විතරක්ම නිසා නෙමේ.. නුවරඑළිය නගරය පුරා විහිදිලා තියෙන යටත් විජිත සමයට අයත් හා පසුව බ්‍රිතාන්‍යය ගොතික් ගෘහ නිර්මාණ ලක්ෂණ ආකාරයට ගොඩනැඟුණු ඉදිකිරීමුත් ඒකට එක හේතුවක්.. දිනයක් වෙනම නගරය පුරා ඇවිදීමට වෙන් කර ගැනීමට තරම් නැරඹීමට ස්ථාන නගරය පුරා විහිදී තියෙනවා.

කුරුළු ඇසකින් නුවරඑළිය නගරය දැක ගැනීමට හැකි ප්‍රධාන ස්ථානයක් නගරයට යාබදව පිහිටා ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. ඔබට නගරයේ සිට ස්වල්ප වේලාවක් පමණක් ගෙවා ලංකාවේ මුහුදු මට්ටමේ සිට ඉහළින්ම පිහිටි ශාන්තිපුර ගම්මානයට ළඟාවෙන්න පුලුවන්. මෙහි ගම්මානයේ පිහිටා ඇති නැරඹුම් ස්ථානයේ සිට  නුවරඑළිය නගරයම ඉතා සුන්දර ලෙස දැක ගන්න මෙහිදී හැකියාව පවතිනවා. මෙම ස්ථානයේ සිට ගමන් අරඹා සිංගල් ට්‍රී කන්ද හා කිකිලියමාන කන්ද තරණයටද හැකියාවක් පවතිනවා.

නුවරඑළිය නගරයේ පැරණි තැපැල් කාර්‍යාලය, ට්‍රිනිටි දේවස්ථානය ආදී පැරණි ගොතික් සම්ප්‍රදාය අනූව නිර්මාණය වුනු ගොඩනැගිලි වගේම අපිට අද දකින්නට නොමැති නානුඔය උඩුපුස්සැල්ලාව පටුආමාන දුම්රිය මඟේ නුවරඑළිය දුම්රිය ස්ථානය අද වන විට නුවරඑලිය පොලීසිය ලෙසද දැකගන්නට පුලුවන්. තැපැල් කාර්‍යාලයට යාබදව පිහිටා ඇති නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය අපිට නියම යුරෝපියානු හැගීමක් ලබා දෙන ස්ථානයක්.. ඒ වගේම වික්ටෝරියා උද්‍යානය හා තුරඟ තරග පිටිය අපිට ලංකාවේ වෙනත් කිසිම ස්ථානයක දැක ගත නොහැකි අත්දැකීම් වලට මඟ පාදනවා.

ග්‍රෙගරි වැව නුවරඑලිය නගරයේ ස්වාභාවික හදවතක් ලෙස ක්‍රියාකරන තැනක්. තම ප්‍රියයන් එක්ක ග්‍රෙගරි වැව ආසන්නයේ මංතීරුවේ ඇවිද යන්නට, සැරට හැදුනු ලුණු මිරිසක් එක්ක උණු උණුවේ රොටියක් කමින් බංකුවක හිඳ සුන්දරත්වය විදින්නට හෝ වැවේ බෝට්ටුවකින් සවාරියක් යන්නට මෙම ස්ථානය ඔබට අවස්ථාව සලසනවා. බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටා ඇති පළතුරු වෙළඳපලට ගොස් ලංකාවේ හැදුනු ස්ට්‍රෝබෙරි ගෙඩියක පෙයාර්ස් ගෙඩියක රස බලන්නත් අමතක කරන්න එපා.

සඳතැන්න 

සඳතැන්න කියන්නේ ඉතාමත් මෑතකදි ඉතා ඉහලින්ම සංචාරක අකර්ෂණය දිනාගත්ත තැනක් කිව්වොත් ඉතාමත් නිවැරදියි.. සදතැන්න නැත්නම් Moon plains නුවරඑළිය නගරයේ සිට ග්‍රෙගරි වැව අවසානයේ ඇති මාගස්තොට මාර්ගය දිගේ කිලෝමීටර් දෙක හමාරක පමණ ගමනකින් ඉතාම පහසුවෙන් ලඟාවෙන්න පුලුවන් ස්ථානයක්. මෙය සංචාරකයන් අතර වඩාත්ම ප්‍රචලිත වෙන්න හේතුව විදිහට හෝටන් තැන්නේදී අපිට අත්විඳිය හැකි අත්දැකීමට ආසන්න අත්දැකීමක් මෙහිදී වැඩි දුරක් නොයාම ලබා ගත හැකි වීම. 2014 වර්ෂයේදී සංචාරකයින් සඳහා විවර වුනු මෙම තැන්නට තමන්ගේ පෞද්ගලික වාහන වලින් නම් ඇතුලුවෙන්නට ඉඩ ලැබෙන්නේ නෑ.. ඔබට අනිවාර්‍යයෙන්ම නුවරඑළිය මහනගර සභාවත් සංචාරක අධිකාරියත් එක්ක එකට එකතුවෙලා ඇතිකරලා තියෙන සෆාරි ජීප් රථ වල පිහිට පතන්නටම වෙනවා.. කොළ පාට තණපිටි මැද්දෙන් මෙහි මායිමේ ඇති කුඩා ලෝකාන්තය තෙක් ම ඔබට රථයෙන් බැසීමට නම් අවස්ථාවක් හම්බෙන්නේ නෑ.. ඒ ඒ තරමටම මෙම පරිසරයේ ජෛව වටිනාකම ආරක්ශා කර ගැනීමට අදාල බලධාරින් කටයුතු කරන නිසා.. ඒත් ඔබට ගමනාන්තයේ ඉදිකර ඇති නැරඹුම් අට්ටාලයට නැග අවට අංශක 360 නැරඹුම් පරාසයක සුන්දරත්වය දැක ගත හැකියි. ගමනේ මැදදි හම්බෙන උස් බිමේ සිට අවට දෙස බලන විට හැම අතින්ම කොළ පාටින් වැසුනු බිම් ඈත අනන්තය වෙනකම් දර්ශනය මත පතිත වෙන්නේ මහා සාගරයක මධ්‍යයේ ඉදන් හතර අත බලන විදිහේ හැගීමක් අපිට ඇති කරමින්. මෙහි තියෙන අනෙක් ප්‍රධානම විශේෂත්වය වන්නේ ලංකාවේ උසම කඳු මුදුන් දහය අතරින් ශ්‍රී පාදය හැරුනු විට අනෙකුත් කදු මුදුන් නවයම ඔබට මෙම භූමියේ ඉදන් දැක් ගන්නට ලැබෙන එක. 

හෝර්ටන් තැන්න

හොර්ටන් තැන්න නොහොත් මහඑළිය තැන්න ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ ඉතිහාසයට සම්බන්ධ සුන්දරම බිම් කඩක්.. ඉහළ කඳුකර වනෝද්‍යානයක් වන මෙහි සුන්දරත්වය වෙනස්ම ආකාරයට විදීමට නම් අපි ඔබට යෝජනා කරන්නේ මධ්‍යාහ්නයට පසුව ගමන යොදාගන්නා ලෙස.. මෙය ඔබට යම් අමුත්තක් දැනෙන යෝජනාවක් වේවි. එහෙත් එක් නිමේශයක් හාත්පසම වසා ගන්නා මීදුමේ සැඟවෙන්නටත් හිතත් ගතත් කුල්මත් කරනා සීතලේ සිසිලස විඳින්නටත් මෙම කාලය ඔබට අනිවාර්‍යයෙන්ම අවස්ථාව සකසා දෙනවා. නුවරඑළියේ සිට අඹේවෙල හරහා හෝර්ටන් තැන්න බලා යන ඔබට අඹේවෙලදි අනන්තය තෙක් විහිදෙන සරුසාර තණ බිමුත් ඒ පුරා නිදැල්ලේ තණ උලා කන කිරිහරක් රංචුත් ලංකාවේ දේශීයව නිපැදවෙන කිරි නිෂ්පාදන වල රස විඳින්නට ඔබට ආරාධනාවක් වගේ දැනෙන්නට පුලුවන්… එ් නිසා අඹේවෙල ගොවිපලේ වෙළඳ සැලෙන් දේශිය නැවුම් කිරි කෝප්පයක නැත්නම් චීස් කෑල්ලක රස විඳින්නත් ටික වේලාවක් ගතකලාට පාඩු නැහැ. මක්නිසාද යත් ඉන්පසු එලඹෙන තොටුපළ කන්ද තරණය කිරීමට ගතට එය සවියක් වන නිසා. හෝර්ටන්  තැන්නේ සාමාන්‍යය මංපෙතින් බැහැරව සුන්දරත්වය විඳීමට ඔබට තොටුපල කන්ද තරණය කිරීමට හෝ කිරිගල්පොත්ත කන්ද තරණයට යොදා ගත හැකිය.. කිරිගල්පොත්ත තරණය කිරීමට නම් හෝර්ටන් තැන්න වන නිවස අසලින් ඇති මංපෙත යොදාගත යුතුයි.

හෝර්ටන් තැන්න තුළ ගමන් කිරීමට ඇත්තේ වෘත්තාකාර මාර්ගයක නිසා කුඩා ලෝකාන්තය පලමුව දැක ගැනීම සුදුසුයි.. එම මඟ තරමක රළු බෑවුම් ආකාරයට ඇති නිසා පහළට යන විට එය පහසු වූවත් ආපසු එන විට ඔබට එය අපහසු විය හැකියි. කුඩා ලෝකාන්තයට පසුව මහා ලෝකාන්තයට ළඟාවිය හැකිය. ඔබ දවසේ වාසනාවන්තයෙක් නම් බෑවුම පහළ බලංගොඩ නන්පේරියල් වතුයාය මෙන්ම ඈත අනන්තයේ ඌවේ දර්ශනය මනාව දැකගන්න පුලුවන්. ඒත් හෝර්ටන් තැන්නේ එකවර ඇතිවන මීදුම ඔබට බාධාවක් වීමට ඇති ඉඩකඩ බෝහෝම වැඩියි..ඉන්පසු වලවේ ගඟේ මුල් දියත්තක් වන් බෙලිහුල් ඔයේ දඟකාර වික්‍රමයක් නිසා ඇතිවන බේකර්ස් දිය ඇල්ල ඔබට දැක ගත හැකියි.. ඒ වගේම ගමන අවසානයට කාලයකට පෙර අර්තාපල් වගාවට මෙම බිම්කඩ යොදා ගැනීමේදි ඉදිකෙරූ චිමිනි තටාකය දැක ගත හැකියි. හෝර්ටන් තැන්නේදී බහුලව ගෝනුන් දැකගැනීමට ඔබට හැකියාවක් ලැබෙන අතර එහි සංචාරයට යන්නේ නම් පොලිතීන් කිසිසේත්ම රැගෙන යාමෙන් වළකින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

හැමදාම යන නුවරඑළි ගමනට අලුත් කුලුබඩු ටිකක් එකතු කර රසගන්නවා ගන්නට අවැසි නම් මේ ස්ථාන ඔබට ඒ රස අනිවාර්යයෙන්ම එකතු කරන බව අපේ විශ්වාසයයි. මීට අමතරව හක්ගල උද්භිත උද්‍යානය, සීතා අම්මාන් කෝවිල, පිදුරුතලාගල කදු මුදුන, ග්ලේන් ඇල්ල, රම්බොඩ ඇල්ල හා උමග ඔබේ ගමනේ කාලසටහන අනූව එකතු කරගන්න.. එහෙනම් සුභ ගමන්..

 


පුරෝගාමී වැඩ ගැන සම්ප්‍රදායෙන් ඉගෙන ගන්න - තොරන වර්ග හා ඉතිහාසය

එළිමහන් බාලදක්ෂ කඳවුරකට අත්‍යවශ්‍යම කාලීන උපකරණයක් ලෙස කඳවුරැ දොරටුව හැඳින්විය හැකි ය. කඳවුරැ දොරටුව බාලදක්ෂ කණ්ඩායමේ අභිමානය හා පුරෝගාමී කුසලතා විදහා පෙන්විය හැකි අවස්ථාවක් වන බැවින් එය ඉදි කිරීමට බාලදක්ෂයින් වඩා නිර්මාණශිලීව දායක විය යුතුය. 

සාර්ථක බාලදක්ෂ කඳවුරක දී බාලදක්ෂයෝ සතුටින් සිටිති. එවැනි අවස්ථාවක් සලසා දීමට බාලදක්ෂ ආචාර්යවරයා මග පෙන්විය යුතුය. බාලදක්ෂ පුරෝගාමී දැනුම ප්‍රයෝජනයට ගනිමින් ප්‍රදර්ශනාත්මක කාලීන උපකරණයක් නිර්මාණය කළ හැකි ය. එළඹෙන නිවාඩු කාලයේ ඉදිකරන බාලදක්ෂ කඳවුරු බිම්වල කඳවුරකට අත්‍යවශ්‍ය &කාලීන උපකරණ ස්ථාපිත කිරීම පිළිබඳව බාලදක්ෂ ඔබ දැනුම්වත් විය යුතුමය. එබැවින් පහත තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

කඳවුරු දොරටු ඉදිකිරීම

සමාජයේ විවිධ අවස්ථාවන් පිළිඹිබු කිරීම සඳහා ඈත අතීතයේ සිටම සිංහල සංස්කෘතියේ පවතින වැදගත් අංගයක් ලෙසට තොරණ සැලකිය හැකිය. මංගල, අවමංගල්‍ය වැනි සමාජයේ වැදගත් අවස්ථාවන් වලදී මේවා ඉදිකරනු ලබයි අප රටේ මෙවැනි තොරන් වර්ග රාශියක් තිබු බව දකින්නට ලැබේ ඒවා පහත පරිදි දැක්විය හැක. ලංකාවේ සැරසිලි පිලිබඳ ඉතිහාසයේ වැදගත් අංගයක් ‘තොරණ’. මකර තොරණ, අයිල් තොරණ, මල් තොරණ, සප්ත නාරි තොරණ, රන් තොරණ, පිළි තොරණ, බුලත් තොරණ, ලිය තොරණ, සිංහ තොරණ, කීල තොරණ, ගොප් තොරණ, පහන් තොරණ, පෙරහර තොරණ, වෙසක් තොරණ ආදී තොරණ වර්ග රාශියක් පිලිබඳ සාක්ෂි පෞරාණික ලේඛණ සහ ජනප්‍රවාද තුල හමුවෙනවා. නමුත් ඒවා පිලිබඳ රූපමය සාක්ෂි දුර්ලභයි. 

තොරණේ විස්තරේ

තොරණ අපේ සංස්කෘතිකාංගයකි. මරණයටත්, මඟුලටත්, පිළිගැනීමටත්, ප්‍රදර්ශනයටත් ආගම දහම වෙනුවෙන් පමණක් නොව වෙළහෙළඳාමටත් පුරාණයේ සිට තොරණ ඉදි වී තිබේ. සිද්ධස්ථාන සීමාව සැරසීමට සීමා වූ තොරණ වැඩිකල් නොයාදීම රජ මාලිගය කරාද පැමිණ ක්‍රමයෙන් එය ගෘහ නිර්මාණ කලාවේද අංගයක් වී තිබේ. මහා භාරතයේ සාංචිහි තොරණ ඒ අතින් ඉතා වැදගත් කොට සැලකිය හැකිය. එය ඉතා පැරණි ස්ථාවර විචිත්‍ර ගල් තොරණකි. 

ලංකාවේ පැරණිම මකර තොරණක් අනුරාධපුර විජයාරාම නටබුන්

සුප්‍රකට සාංචි තොරණ අනුකරණය කරමින් මකර තොරණ පහළ වූ බවට විචාරකයෝ මත පළ කළහ. ඉන්දියාවෙන් ජනිත වූ මකර තොරණ බුද්ධාගමේ ව්‍යාප්තියත් සමග බුරුම, කාම්බෝජ, ලාවෝස්, චීන, කොරියා, ජපන් සහ බාලි යන අග්නිදිග ආසියාවේ රටවල් කරා ද ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.

වෙහෙර විහාරස්ථානවල ඉදිරිපස දොරටුවේ, විහාර මන්දිර අබියස, බෝධී වෘක්ෂ අසල ප්‍රවේශ දොරටුව සරසා ඇති මකර තොරණ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසින් එහාට දිව යන බව පැවසෙනවා. බෞදුධ සිද්ධස්ථාන ජනප්‍රියම තොරණ වන මකර තොරනෙහි මකරා රුවට ඇත් සොඬක් වැනි සොඬක් ඇත. පාද - සිංහයා වැනිය. දෙකන් - සූකරයකුගේ වැනිය. ශරීරය - දියෙහි වසන මාළුවකුගේ මෙනි. දෙඇස් - හනුමාගේ ඇස් වැනිය. ඉදිරියට නෙරූ දත්ය. ලෝකයේ උත්පාදනය මකරා මගින් මූර්තිමත් වන බව ඈත පෙරදිග රටවල විශ්වාසය වී තිබේ. මකරා දේව වරප්‍රසාදයේ සලකුණක් මෙන්ද ඔවුහු පිළිගනිති. දෙවිඳුන්ගේ වාහනය මෙන්ද කාම දේවයාගේ කොඩියෙහි සටහන ලෙස ද මකරා සැලකෙයි. දෙවි දේවතාවන් කෙරෙහි ගෞරව දැක්වීමට ජනතාවගේ ඇති ආශාවට ඉඩ ලබා ගැනීම සඳහා කලාකරුවා මකර තොරණ උපයෝගී කරගෙන තිබේ. සබරගමුව, මහ සමන් දේවාලයේ දේව පූජා පෙරහර අවසානයේ ගඟ මැදට ගොස් දිය කැපීම සඳහා දේව අඟුලක් පිළියෙළ කරනු ලැබේ. මේ අඟුලෙහි සැරසිලිවල මුල්තැන ලැබෙන්නේ මකර තොරණටය.

ගඩලාදෙණිය බුදු පිළිමයේ මකර තොරණ

මහනුවර යුගයේදී මකර තොරණ මැටි බදාමවලින් පමණක් නොව ලී හා කළුගල්වලින් ද නිර්මාණය කෙරුණා. ප්‍රධාන විහාරස්ථානවල ශෛලමය උළුවහුවල හරස් කඳේ මකර තොරණ කැටයම් යොදා ගැනීම දැක ගත හැකි යි. එවැනි උළුවස්සක් මහනුවර දළදා මාලිගයේ තිබෙ. මහනුවර යුගය වන විට මකර තොරණ කුඩා විහාර මන්දිරවලට පවා ඇතුළත් කිරීමට නිර්මාණ ශිල්පීන් උනන්දු වී තිබෙනවා. ඉතා සියුම් කැටයම් සහිත කුඩා මකර තොරණ සූරියගොඩ විහාරය, දියකෙලිනාවල, දනකිරිගල, මැදවල විහාරය වැනි තැන්වල දැකගත හැකි යි. නූතන යුගයේ සොයිලියස් මැන්දිස් සිත්තරා කළ කලාත්මක මකර තොරණ දෙකක් මල්වාන ලෙනගම්පොල විහාරයේ දී දැකගත හැකි යි.

තොරණේ ආරම්භය පිළිබඳ වැදගත් පතපොතකින් ඉදිරිපත් කළ හැකි කරුණු නොමැති අතර “තොරණ බැඳීම” නමින් කුඩා පුස්කොළ පොතක් තිබී ඇත. එහි පද්‍ය පනහක් ඇති බව පැවසෙන අතර මුද්‍රණය වූ බවක් දැනගන්නට නැත. තොරණ බැඳීම නමැති කුඩා පුස්කොළ පොතට අනුව අනුව කේරළයේ රජ කළ සේරමත් රජුට වැලඳුණු හිසරුදාවක් සුව කිරීමට තොරණ ඉදිකළ බව කවියෙන් කියා ඇත්තේ මෙසේයි

‘‘පොරණ ගී ඇදුරු රුති ලෙස නොව වේග
උරණ නොවී අස සත පෙර පැවති රඟ
පෙරත් පුවත මෙහි දන්නෝ ඇද්ද වග
තොරණ දැක්කුවෝ බමුණෝ කාල යුග“

තොරණ අතීතයේ සිට ම මංගල සංකේතයක් ලෙස සැලකුණු බව බුදුන්ගේ ශ්‍රී පතුලෙහි මංගල ලකුණු අතර තොරණ දෙකක් තිබීමෙන් පේනවා. තොරණ වර්ග අතර මකර තොරණ, ගොප් තොරණ, රඹ තොරණ, පහන් තොරණ, කීල තොරණ, බුලත් තොරණ, අයිල් තොරණ, පෙරහර තොරණ, පිලි තොරණ ආදී වශයෙන් තොරණ රාශියක් අතීතය විමසන විට හමුවේ.


සප්ත නාරි තොරණ තවත් තොරණ වර්ගයකි. ඒ තොරණ බැලූ විට පෙනෙන්නේ ස්ත්‍රීන් සත් දෙනෙකු එකට ගැටලාගෙන සිටින අතර ඒ මැදින් ප්‍රවේශයට ඉඩ තබා ඇති අයුරුය. පිළිතොරණ කෙසෙල් ගස් දෙපස සිට වූ රඹ කැණේ (කෙසෙල් ගස්) බුලත් තොරණ ලිය තොරණ නිමැවී ඇත්තේ ඉපැරැණි ලියකම්වලිනි. සිංහ තොරණේ ඇත්තේ ඉපැරැණි සිංහ රූප දෙකකි. පිලි තොරං කොඩි තොරං රෙදි යොදා ගනිමින් ඉදි කෙරේ.

අයිල් තොරණ

දෙවොල් දෙවියන් හා පත්තිනි මෑණියන් මුල් කරගෙන පවත්වනු ලබන දෙවොල් මඩු, පුනා මඩු, පහාන් මඩු වැනි සෙත් ශාන්තිකර්ම අවසානයේදී ගරා වෙස් පෑම සිදු කරනු ලබයි. කතරගම දෙවියන්ගේ සහ වල්ලි මාතාවගේ විවාහ මංගල්‍යයේදී වල්ලි මාතාව හදා වඩාගත් ඥාතීන් වන වැදි පිරිස මඟුල් මඩුව මෙන්ම තොරණද සරසා තිබුණේ විවිධ සතුන්ගේ මස්මාංසවලිනි. විවාහ මංගල්‍යයට ආරාධනා ලැබූ දෙවිවරුන්ට කිලි කුණුවලින් අපවිත්‍ර වී තුබූ භූමියපිරිසිදු කර දුන්නේ ගරා විසිනි. ගරා යකු පැමිණ මඟුල් මඩුවේ මෙන්ම මඟුල් තොරණේද තිබූ සියලුම මස් මාංස අනුභව කර එම විවාහ උත්සව භූමිය පිරිසුදු කර කිලි හරණය කරදුන් බව ඉතිහාසයේ සඳහන් වේ.

තොරං පරපුරේ මුල්ම විකාශනය වශයෙන් අයිල් තොරණ සැලකිය හැකිය. අයිල යන්නෙන් අදහස් කරන්නේ යක්ෂාදීන්ට පුදන ලද ආහාර තැබීමට යොදනු ලබන තටුවයි. මේ තොරණින් අදහස් කරන්නේ භූතයන් සතුටු කිරීමයි. ඒ අනුව ගරා මඩු සෙත් ශාන්තිකර්මයේදී ගොරකා ගසේ ශක්තිමත් අතු දෙකක් ගෙන එම අතුදෙක පොළොවේ සිටුවා ගරා යකුට වාඩිවී සිටින්නට ඉහළින් මැස්සක් සකස් කරනු ලබයි. මෙය පුවක් අතු, ගොක් අතු, කොස් අතු, මෙන්ම බුරුල්ල අතු ගෙන සරසනු ලබයි. ඒ සඳහා පොල් මල්, පුවක් මල්ද භාවිත කරයි. ඇතැම් අවස්ථාවලදී ගරා නැටුමේදී මෙම වෙස් අස්නය “අයිලය” නමින්ද හඳුන්වනු ලැබේ. මේ තොරණ ගොරොක් අතු දෙකකින් සැදුණු අයිලයක් මත ගොක්කොළවලින් සරසා තිබේ. ගරායකුමක ඇති මල් යහන, යක් බෙර, අයිලය, දුම්මල කට්ටකුමන්ජල් ආදී සියලු අංගයන් සමන්විත වේ. අයිලයට නැග එහි රැඟුම් පාන අතර  අවසානයේදී ගොරකා අතු දෙක අල්ලාගෙන ඔන්චිලි පදිමින් එහාට මෙහාට රවුමට පැද්දෙමින් ශක්තිමත් ගොරකා අතු දෙක කඩාගෙනම ඉවත්ව යයි. මෙමඟින් අදහස් වන්නේ සියලුම වස් දොස් දුරුවන බව පැවසේ.

 


ගොක් තොරණ

මුල් යුගයේ ගොක්කොළ තොරණ බොහෝ විට සැදුනේ තනිමාලයටය. නොයෙක් අතට ගොක්කොළ වියා, විවිධ හැඩතලවලින් හැඩ සංවිධානය කෙරෙන ගොක්කොළ තොරණ වැඩිම වුණොත් පවතින්නේ තෙදිනකි. ඒවා දිලිසෙන්නට පොල්තෙල් ආලේප කළත් ඊට වඩා දින ගණනාවක් තබාගත හැකි නොවේ. ගොක්කොළ මැළවෙයි. ගොක්කොළවලින් විතරක් නෙමෙයි. පොල්කොළවලිනුත්, පොල්පිතිවලිනුත් තොරණ අලංකාර කිරීම් සිදු කෙරේ.



රාජ්‍ය උත්සව සැරසීමටත් ගොක් තොරණ යොදාගෙන තිබේ. මඟුල් අවමඟුල්, පන්සලේ පිංකම්වල දී මෙන් ම වෙසක් උත්සවවලදිත් ගොක් තොරණ සකසති.  එමෙන්ම සරල වෙසක් තොරණ ගොක්කොළ භාවිතයෙන් තැනීම සිදුවේ. සශ‍්‍රීකත්වය සංකේතවත් කරන පුන්කලස, පිරිත් මණ්ඩප සදහා යොදා ගන්නා සැරසිලි, ගොක් ගෙඩි, තොවිල් පවිල් ආදියට යොදාගන්නා පහන් පැළ, තවත් තොවිල් භාණ්ඩයක් වූ කිරුළු තොප්පිය, සාම්ප‍්‍රදායික පොල්තෙල් පහනක හැඩරුව ගත් ගොක් පහන, වෙසක් පහන, මඟුල් පෝරුව, මුතු කුඩය, අනුරාධපුර, පොළොන්නරු පෙදෙස්වල බෙහෙවින් ප‍්‍රචලිත තනිමාලේ තොරණ, තොවිල්වලට යොදාගන්නා පිදවිලි සැරසිලි, ගම්මඩු - දෙවොල් මඩුවලදී දැකිය හැකි බිසෝකප, වෙසමුණි රජුගේ ආයුධයක් සේ සලකන ඊ-ගහ, ශාන්තිකර්ම සඳහා යොදාගන්නා කුමාර කළය මේ නිර්මාණ අතරට අයත්ය. මේ හැරුණු විට කුඩා දරු දැරියන් විනෝදය සදහා සකස් කරන නිර්මාණ ද විශාල ප්‍රමාණයක් ඇත. හුලංපෙත්ත, ගොක් කොළ ඔරලෝසුව, නෙළුම් මල, නයා, පත්තෑයා, ඉස්සා, ගිරවා වැනි නිර්මාණ රැසක් ගොක් කොළ ආශ්‍රිතව සිදු කරයි. අපේ රටේ අනන්‍යතාව ලොවට විදහාපාන ක්‍රමයක් ලෙස ගොක් කලාව සැලකිය හැකි යි. ගැමි ජනයා තොවිල් පවිල්වලට ද, පිරිත් මණ්ඩපයට ද, තොරණට ද ගොක් සැරසිලි යොදා ගත්තේ එයින් මැවෙන අලංකාර රූ රටා ගැන අවබෝධයෙන් පොල් ගසේ ළපටි කොළ වන කහ පාටින් යුත් ගොක් කොළ යොදා තනන සැරසිලි අතීතයේ පටන් ම අපේ සංස්කෘතියේ අංගයක් බවට පත්ව තිබේ.

මල් තොරණ

අතීතයේ උත්සව අවස්ථාවල දී වීදි අලංකාර කොට ඇත්තේ මල් තොරණ වලිනි. ථූපවංශයේ ද පූජාවලියේ ද ඒ බව සඳහන් වේ. එය ද ගොක්කොළ ආශ්‍රයෙනි. පහන් තොරණ මැටි පහන්වලින් අලංකාර වෙයි. දෙපස සිටින්නේ දැල්වුණු මැටි පහන් දෙකක් සහිතව සිටගත් කාන්තාවෝ දෙදෙනෙකි. පෙරහර තොරණ නම් තවත් තොරණකි. දෙදෙනෙකු (රූප) දෙපසින් විශාල ධජ පතාක දෙකක් ඔසවා ගෙන සිටින අයුරිනි. ගොක්කොළ හා කොඩි රෙදි වර්ගයක් උපයෝගී කරගෙන චිත්‍ර ද ඇතුළත් කර ඇත. වාද්දුව පොතුපිටියේ වාළුකාරාම විහාර තොරණේ සහ මාතර වැවුරුකන්නල පරණ විහාරයේ තොරණේ තිබුණු කවියක මේසේ දැක්වේ.

“පොරණ මුනි මැඳුර දිරුමට     ගිය බැවිනි
සරණ ගත මෙගම් වැසි හැම     විය දමිනි
තොරණ සමග යළි පියේවී     කර වමිනි
තීරණ කළේ සුමන තෙර නමැති     ම විසිනි”

පන්තිස් කෝල්මුරයට අයත් මේ තොරණ දැක්වීම පත්තිනිය පිළිබඳ ශාන්තිකර්මයන් හිදී බෙරයෙන් නැගෙන, මෘදු කෝමල රිද්මයට අනුව ගී ගයන කපුවන් විසින් මිහිරි ලෙස ගැයෙන්නකි. වීථි තොරණ ගැන ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසෙහි කෘතීන් දෙකක් වන ශිලප්පදිකාරාමා සහ මණිමේඛලායි යන ද්‍රවිඩ මහා කාව්‍යයන්හිද කමනියව සඳහන් වෙයි. සිංහලයේ ඉපැරණි පද්‍ය සාහිත්‍යයේ ද ඇතැම් ජාතක කතාවල ද තොරණ සඳහන්ය. තොරණ ආගම හා සම්බන්ධ වන බව සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් හි පිහිටා ඇති මඟුල් ලකුණු අතර මඟුල් තොරණ දෙකක් ද තිබෙන බව සඳහන් වීමෙනි. චෛත්‍යය, බෝධිය, පිළිමගෙය, දේවාලය ආදී පූජනීය ස්ථානවලට ඇතුළු වන දොරටුව තොරණකින් සැරසීම ආගමික චාරිත්‍රයක් බවට දියුණු වී ඇත්තේය. කලාකරුවන්ගේ විශේෂ අවධානයට එය ලක් වී ඇත්තේ තොරණ විශේෂ අංගයක් බවට පත් වීම නිසාය.


කීල තොරණ තවත් එක් තොරණකි. එය දකින්නට ලැබෙන්නේ කංකාරීවලදීය. දේවාල කෝවිල්වල තිබෙන පූජෝත්සවවලදී තැනෙන “කාලපන්දම” ද කීල තොරණේම කොටසකි. එය සැකසෙන්නේ උසින් අඩු පුවක් කණු සතර දෙස පිහිටුවාය. කාලපන්දම ගසන්නේ තොරණ මුදුනේය. එයින් නැගෙන එළිය දැකුම්කලුය. මෙය බොහෝ විට ද්‍රවිඩ සාහිත්‍යයේ සඳහන් වේ.

ගෙඩි තොරණ

දේවාලයක පෙරහර සමයේ ඉදි කෙරෙන තොරණට එම දේවාලයේ රාජකාරි ඇත්තන් සහ ගමේ පැරැන්නන් ව්යවහාර කරන්නේ “අරංගුව” කියන නමින්. සුමංගල ශබ්දකෝෂයට අනුව එවැනි වදනක් සොයන්නට නැති නමුත් සුමංගල ශබ්ද කෝෂයේ ඇති අරඟු යන වචනය දඹදෙනි සමයේදී අරංගුව ලෙස ව්යහාරයට ආවා වියහැකියි. අරඟු යන වදනින් පැහැදිලි කරන්නේ සැරසිලි විශේෂයක් බව ශබ්දකෝෂයේ සටහන්ව තිබේ. සියවසකට පමණ පසුව දෙවිනුවර මහ පුදබිමේ බැඳෙන අරංගු තොරණ හෙවත් ගෙඩි තොරණ මේ සඳහා කදිම උදාහරණයකි. දෙවිනුවර මහා උපුල්වන් විෂ්ණු දේවාලයේ පැරණි ඡායාරූපය අනුව 20නි සියවසේ මුල්ම දශකවල පවා දෙවිනුවර මහා දේවාලයේ "අරංගුවක්" බැන්ද බවට සාධක තිබේ. මහා දේවාලයේ අරංගුවට අමතරව සිංහාසන දේවාලයේ අරංගුව බැඳීම සිදු කෙරේ. 
 
අහුගෙඩි, වැටකේ, ගිං පොල්, ලේන්තැරි, පුවක්, කඩොල්, පොල්ගෙඩි, තැඹිලිගෙඩි, අන්නාසිගෙඩි, දොඩම්ගෙඩි පමණක් නොව විවිධ පළතුරු යොදාගත් තොරණ්ද ඉදිකිරීම දැකිය හැකිය. පන්සලේ මල් වට්ටි වෙන්දේසිය වෙන්නෙ සල්පිලේ, ඒක ඉවර අහවර වෙලා තොරණේ එල්ලා ඇති පොල් නැත්නම් තැඹිලි වෙන්දේසි කෙරේ. ගෙඩි තොරණට අයත් වන්නේ පොල්ගෙඩි හෝ තැඹිලි ගෙඩි යි. පුවක් කොටවලින් තනන සැකිල්ලට එකිනෙක පොල් ගෙඩි එල්ලා මේ තොරණ සකස් කරනවා. අතීතයේ විහාරවල වෙසක් හා වෙනත් උත්සව කාලෙට ගමේ දායක පවුල්වලින් එකතු කරගන්නා පොල් ගෙඩිවලින් තමයි මේ තොරණ ඉදිකරන්නේ. පොල්ගෙඩි වලු පිටින් එල්ලපු තොරං වගේම තැඹිලිගෙඩි වලු පිටින් එල්ලපු තොරං එකල හොඳ ඉල්ලුමක් පැවතිණ.

 පැරණි ගෙඩි තොරණක්

පන්සලේ පමණක් නොව පල්ලියේ ද මෙම පොල්, තැඹිලි තොරං ඉදි කිරීම සිදු වේ. රාගම, හපුගොඩ ආදී කතෝලික පළාත්වල ගැමියන් ගොක් කොළය පාවිච්චි කළේ පල්ලිය මංගල්‍යයට වීදි දෙපස සැරසීම සඳහා කුරුල්ලන් කැපීමට පමණි. මෑතක සිට පොල් තොරණ කතෝලික පල්ලිවල මංගල්‍ය අවස්ථාවල ඉදිකිරීමත් දැක ගත හැකි යි. විවිධ සැරසිලි යොදා අලංකාර ආකාරයෙන් තැනූ ගෙඩි තොරණ පල්ලිවල දැකගත හැකි යි. රාත්‍රියේ දී වඩාත් අලංකාර වීමට මේ තොරණ විදුලි බුබුළු යොදා සැරසීමත් සිදුවෙනවා. පල්ලිවල ඉදිකරන පොල් තොරණවලින් පල්ලියට එන බැතිමතුන් පිළිගැනීම, ශාන්තුවරයාට ගරු කිරීම, ඉදිකරන්නන්ගේ සංස්කෘතික හා නිර්මාණ හැකියාව පෙන්වීම, බැතිමතුන් අතර සමගිය සහෝදරත්වය ඇති කිරීම යන කාරණා පසුබිමේ තිබෙනවා. මීගමුව හා වැලිවේරිය කතෝලික බැතිමතුන්ගේ බැතියට ළං වූ පොල් තොරං, තැඹිලි තොරං සහ ජපමාලේ තොරං ගැන මෙන්ම මුහුදු කරේ කරවල තොරං ද සෑදී ඇති බව කියැවේ.

කඩවත පල්ලියේ පොල්කටු තොරණ

පල්ලියක මංගල්‍යයට තැනූ පොල් තොරණ

ගොඩැල්ල ශා. සෙබස්තියන් දෙව් මැදුර තැඹිලි තොරණ

පල්ලියේ මහ තොරණ ඉදි කරද්දී අතීතයේ තිබුණේ ‍පොල් තොරණය. ‍පොල් වලු දහස් ගණනක් එක් කොට බැලුම් බෝල ‍පොකුරු එල්ලුවා සේ දැවැන්ත ‍පොල් තොරණ ඉදි කිරීමට ‍පොල් ත්‍රිකෝණයේ කතෝලිකයෝ සැදී පැහැදී සිටියහ. පල්ලියේ මංගල්ලෙට ඉදිවෙන පොල් තොරණක් ඉදිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ තොරණින් පස්සෙ ඒවා පල්ලියෙන්ම විකුණා ආදායමක් ගැනීමයි. පුවක් කඳන්වලින් තැනූ තොරණ සැරසීම සඳහා තැඹිලි වලුපිටින්ම එල්ලී ම තමයි සිදුකරන්නේ. මංගල්‍යය දින අවසන් වූ පසු මෙහි තිබෙන තැඹිලි වලු ගලවා පල්ලියේ බැතිමතුන් අතර බෙදාදීම සිදුවෙනවා. ඒ එකතුවන මුදල් අපේ අරමුදලට එක් වේ. පල්ලියට එන අපේ බැතිමතුන් පිළිගැනීම, ශාන්තුවරයාට ගරු කිරීම, ශාන්තුවරයාගේ මැදිහත්කම පතා බැතිමතුන් යාඥාවට පෙලැඹවීම, ඉදිකරන්නන්ගේ සංස්කෘතික හා නිර්මාණ හැකියාව පෙන්වීම, ඉදි කරන්නන් අතර සමගිය සහෝදරත්වය ඇති කිරීම යන කාරණා පොල් තොරණ පසුබිමේ තිබේ. ගොක් තොරණ පල්ලියට පැමිණ තිබුණේ එහි සම්ප්‍රදාය වෙනස් කරමින් ඉටි කොළ, අල කොළ, සහ ක්‍රෝටන් කොළද ඇතුළත් වූ තරමක් සංකර පිළිවෙතකට අනුවය.

ගෙඩිගේ තොරණ

ලංකාවෙ පැරණි ඉදිකිරීම් ක්ර්රමයක් . මුලින්ම මෙහෙම ඉදිකිරීමක් විදියට ගැණෙන්නෙ අනුරාධපුර කිරිබත් වෙහෙර. ඊටපස්සෙ නාලන්දා ගෙඩිගේ, පොළොන්නරුවේ ථූපාරාම පිළිමගෙය, ලංකාරාම පිළිමගෙය, තිවංක පිළිමගෙය, නුවර තියෙන ගඩලාදෙණිය, ලංකාතිලකය පසුව එකතුවුණා. අලංකාරය හා සම්බන්ධ ගෙඩි පිළිගැනීම්, මංගල , අවමංගල වගේ සෑම අවස්ථාවකට ම යොදාගත්ත සැරසිලි අංගයක් වුන ගෙඩිතොරණ හදන්නෙ පුවක්ගස්වලින් හදාගත්ත සැකිල්ලක පොල්වලු එල්ලල. ඒකෙ හැඩය නිකම් මකර තොරණක් වගේ. පිරිසකට යටින් යන්න පුලුවන්. ගොක්කොල යොදාගෙන ඒව ගෙඩියක් ආකාරයට සකසාගන්නා අපූරු නිර්මාණයක් තමයි ගොප් ගෙඩිය. මේකෙ පහන් සවිකිරීමෙන් උත්සව අවස්ථාවන්හිදී පොල්තෙල් පහන් දැල්වීමේ කටයුත්ත සඳහාත් ගන්නව. විදුලිය භාවිතයෙ නොමැති කාලයේ නිවෙස් ආලෝක කිරීමට පොල්තෙල් යොදා වහලේ හෝ බිත්තියේ එල්ලා පත්තුකල පහන් වර්ගයක් වන ගෙඩි පහන හැදුවේ පිත්තල වගේ ලෝහයකින්. එහි තිබෙන ගෙඩියක හැඩය නිසා එය ගෙඩි පහන වුනා. 
 
 
 
 

පත්තිනි තොරණ

දෙවොල් මඩුවේ සුවිශේෂී සැරසිල්ල මකර තොරණ හෙවත් පත්තිනි තොරණ යි. මෙය පත්තිනි දේවියගේ ආභරණ තැම්පත් කිරීම වස් සකස් කරයි. උතුරට මුහුණලා සකස් කරන අතර සම්මත මිමි ප්‍රමාණ මත සකසා ගනී. මුදුන කොත් 5කි. තොරණ් යාගයේ කවිවලදී පත්තිනි තොරණේ මිමි ප්‍රමාණ ගැන සඳහන් ය. කෙසෙල් පතුරු, ගොක් කොළ, ක්‍රෝටන් කොළ ගැට ගසමින් අලංකාර කර ගන්නා අතර තොරණ ජ්‍යාමිතික හැඩයන්ගෙන් යුක්ත ය. කිඳුරු රූප, පක්ෂි රූප, ඉර හඳ තොරණ අලංකරණය සදහා යොදා ගනී. ස්වභාවික හැඩයන්ට අමුද්‍රව්‍යයන්ට අමතරව වර්ණවත් කඩදාසි, සව් කොළ යොදා ගැනේ. 

ඓතිහාසික ගණේගොඩ දේවාලය මඩු තොරණ

සේරමාන් රජුගේ නැව මුදුනේ පැවති කුඹ ගස සිහිපත් කරමින් කාලපන්දම් ගස සිටුවයි. රියන්11ක් උස පුවක් ගසක් තෝරා සුද්ධ කර එහි මුදුනෙහි විශාල පන්දමක් ගසනු ලැබේ. මෙම කාලපන්දම් ගස ගොක්කොළ, කණවැල් ආධාරයෙන් සිටුවන අතර දේවතෝඩු බැඳ සකසා ගනී. එදා සේරමාන් රජුගේ බිසව විසින් සිටුවන ලද කප් ගස සිහිපත් කරමින් බිසෝ කප සිටුවයි. සවියත් සහඟුලක් දිගින් යුතු පවිත්‍ර කරන ලද කෙසෙල් බඩයක කැටයම් කරන ලද ගොක්කොළ ගසා සකසා ගනී. දෙවියන් වෙනුවෙන් විචිත්‍රවත් ලෙස සකසා ගන්නා මල් යහන විශේෂ සැරසිල්ලකි. මෙය තනමත්තක් උසට සිටින සේ සකසා ගනී. ගොක්කොළ, කෙසෙල් පතුරු, හබරල කොළ කැටයමින් අලංකාර කරයි. ආරුක්කු, ගරාදි, පේකඩ, දොරටු, කව්ලු දක්නට ලැබේ. තනිපට ලණුව, දෙපට ලණුව දක්නට ලැබේ.

කෝවිල් ‍තොරණ

නව රාත්‍රී සහ ශිව රාත්‍රී ඇතුළු ප්‍රධාන හින්දු ආගමික උත්සව, මුන්නේශ්වරම්හි සමරනු ලැබේ. මේ හැර අගෝස්තු හා සැප්තැම්බර් මාසවල, සති 4 ක කාලයක් පුරා මුන්නේශ්වරම් වාර්ෂික මංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර ඒ සඳහා හින්දු බැතිමතුන් මෙන් ම බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් ආගමිකයින් ද ආගම් භේදයකින් තොර ව සහභාගී වෙයි.


 
පූජාවන්හි සහ මංගල අවස්ථාවල වන්දනාවට පාත්‍රවන තුල්සි, පීපල්, නීම්, ආම්, අශෝක, බිල්වපත්‍රා, නරියාල්, අඹ සහ තවත් බොහෝ ශාක මෙන් කෙසෙල් පැළයට ද හින්දු ආගමික සංස්කෘතිය තුළ වන්දනාමාන කෙරේ. කෙසෙල් ගසේ මුල, කඳ, පත්‍ර සහ ගෙඩි යන සෑම කොටසක්ම වැදගත් ලෙස සැලකේ. කෙසෙල් ගස ගසක් නොවුණත් එහි ව්‍යුහය සහ ශෛලිය නිසා ගසක් ලෙස දිස්වේ. මෙම පූජනීය කෙසෙල් ගස බ්‍රහස්පති දෙවියන් ලෙස සලකනු ලබන අතර පවුලේ සුබසාදනය පතා වන්දනා කරනු ලබයි. කෙසෙල් ගස විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දෙවියන් ද සංකේතවත් කරන අතර විෂ්ණු දෙවියන් එහි වැඩ හිඳින බව පැවසේ. කෙසෙල් කැන් සහිත ගස් හින්දු ආගමික උත්සවයන් හිදී ඇතුල්වීමේ දොරටුව සැරසීමට යොදා ගන්නේ එම ස්ථානයට දෙවියන් වැඩීම පිළිගැනීම සඳහා ය. තවද විවාහයක දී යුවළගේ ජීවිතය සදා හරිත විය යුතු බවත් සදාකාලික බැඳීමකට මගපෑදිය යුතු බවත් සංකේතවත් කරමින් විවාහ ශාලාව දෙපස මනාලයා සහ මනාලිය නියෝජනය කරමින් කෙසෙල් ගස් දෙකකින් සකසන රඹ තොරණකින් සැරසීම අනිවාර්ය සාම්ප්‍රදායික සිරිතක්ව පවතී.

 

වෙසක් ‍තොරණ

මුල් කාලයේදී මෙරට වෙසක් තොරණ උපත ලබා ඇත්තේ චාම් ගොක් රැලිවලින් සහ පුහුල් පහන්වලිනි. ඒවා මුදුනේ 'බුදු සසුන බැබලේවා' යන පාඨය සදහන් විය. ගොක් කොළවලින් වියන ලද තොරණ මුදුනේ වෙහෙරක සංකේතයක් යොදා තිබූ බවද ඒ දෙපැත්තේ වෙහෙරට වදින දෙවිවරුන් දෙදෙනකු නිරූපණය කර තිබුණේ යයිද කියැවේ. එදා වෙසක් තොරණට නම ගිය නගරය වූයේ අම්බලන්ගොඩය. 1956 පැවති වෙසක් ජයන්ති උත්සවය වෙනුවෙන් කොළඹ වරාය අසල මොටාගෙදර වනිගරත්න චිත්‍ර ශිල්පියා ඇදි තොරණත්, ඩීන්ස් පාරේ ලිප්ටන් වට රවුම අසල පාර හරහා ජී. එස්. ප්‍රනාන්දු චිත්‍ර ශිල්පියා ඇදි ආරුක්කුවක් වැනි තොරණත්, දෙහිවල ෆ්‍රොම්ට්‍රේඩ්ස් සමාගම සකස් කළ ජී.ඇල්. ගෞතමදාස චිත්‍ර ශිල්පීයා ඇදි නේරංජනා තරණය දක්වන තොරණත්, කොටුවේ වීරකෝන් සමාගම ඉදි කළ හෙන්රි ධර්මසේන චිත්‍ර ශිල්පියා ඇදි බුදු රුවත් එදා වෙසක් උළෙලේ දක්නට ලැබුණු සුවිශේෂම තොරණ විය.


වෙසක් පොසොන් සහ ඇසළ මාසවල දර්ශනීය තොරණ ඉදිකර ප්රදර්ශනය කිරීමේ සම්ප්රදාය අඛණ්ඩව පැවතගෙන එයි. වෙසක් තොරණ ගැන අප දන්නවා වුවත් ආදි කාලේ වෙසක් තොරණ ඉදිවුණේ දුප්පත් ලෙසය. ගොක්කොළ පසුබිමේ බුද්ධ රූප කිහිපයක් තබා එදා ජාතක කතාවක් සිත්තම්කොට නොවේ ලියපත්, කඟවේන්නු, ලීස්තර, ගරාදි, නාරිලතා ඒ තොරණ කොයිකේත් සැරසිලි වී තිබිණ. පුවක් ගස් කපලා. පුවක් ගස් කපාන ඇවිත් ඒ කඳන් බරගාණක් හිටෝලා සැකිල්ල හදලා ජාතක කතා චිත්‍ර එල්ලානු ලැබේ. වෙසක් බලන්න එන අය තොරං බැලුවෙ ඒ ජාතක කතාවලට හිතේ පහන් හැඟීමක් ඇති කරගෙන. පස්සෙ කාලෙ බුදුරැස් මාලාවෙ ඉඳලා නොයෙක් වෛවාරන වොට් 5-20 පොඩි පොඩි බල්බ් ර‍ටා දැල්වෙන්න පටන් ගන්නවා. හුඟක් අය ගියේ රැස් විහිදෙන ලයිට් කන්දරාව බලන්න. පුවක් කඳන්වලින් ද මිදී යකඩ බටවලට මාරු වූ තොරණ සැකිල් මත අතින් ඇඳි චිත්‍ර පමණක් නොව ඩිජිටල් මුද්‍රිත රූප පද්ධති ද පැමිණ තිබේ.

ගම්උදා තොරණ

රණසිංහ ප්‍රේමදාස මහත්තයා කාලෙ සෑම අවුරුද්දකම ජූනි මාසෙ පැවැත්වුණා රටේ කොහේ හරි ගම් උදාවක්. ඒක මහා ප්‍රදර්ශනයක්. ගෙවල් සහිත අලුත් ගම්මානයක්. මේ ප්‍රදර්ශන භූමියෙ ඉදි වුණා විසාල තොරණක්. පසුබිම තැඹිලි පාටයි. උදාගම් ප්‍රදර්ශන භූමියෙ ප්‍රවේශයේ ඉදි වුණ ඒ තොරණ ගැහුවේ තුනී ලෑලි සහ රිජුෆෝම්වලින්. ඒ තොරණේ පුරෝගාමියා ජයසිරි සේමගේ කියන කලාකාරයා. ඔහු ඒ පළාතේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හැදියාව ඒ දැවැන්ත තොරණේ නිරූපණය කළේ සිත්තම්වලින් හා අර්ධ මූර්තිවලින්. මාස කිහිපයක් තිස්සේ ඒ තොරණ ඉදි වුණා. දැන් පිටරට ගිහිං ආපු ඇත්තෝ නවීකරණය කළ තොරණ ඉදි කෙරුණා. 

වර්තමානයේ ද මඟුල් තුලා, අවමඟුල්, සල්පිල්, පිංකම්, උත්සව ආදී නොයෙක් අවස්ථාවන්හි තොරණ ඉදිකිරීම කෙරෙයි. මළ ගෙදරකදී දේහය පිට්ටනියට ගෙන යන වීදි දෙපස ‍පොල් කොළයෙන් සැරසූ අතර මංගල්ලවලදී ඒ චරිතය ගොක්   කොළයට හිමි වී තිබුණි. නොයෙක් ද්රව්ය යොදා ගනිමින් නිර්මාණය කරන තොරණ අද ඩිජිටල් තාක්ෂණය දක්වා පරිණාමය වී ඇත. අතින් අකුරු ඇඳ නිර්මාණය කළ තොරණ අද ඩිජිටල් මුද්රණයෙන් නිම වෙයි. කොප් කොළ වැනි යොදා ස්වාභාවික ද්රව්ය යොදාගෙන නිම කළ තොරණ රිජිෆෝම්, ඉටි රෙදි වැනි කෘතිම ද්රව්ය යොදා ගැනීම දක්වා වෙනස් වී ඇත. ගොක්කොළවලින් ලෑලි, පොලිතින්වලින් තොරණ වෙනස් වී අනතුරුව රිජුෆෝම්වලින් ද තොරණ සැදුණු අයුරු අපි දනිමු. බැලුම් තොරං මෙන්ම ඩිජිටල් තොරන්ද අධික මිල ගනන් යටතේ අලෙවි වීම සිදුවේ. 


තොරතුරු මූලාශ්‍ර
"අතැඹුල" ශාස්ත්‍රීය සංග්‍රහය


05. පුරෝගාමී වැඩ ගැන සම්ප්‍රදායෙන් ඉගෙන ගන්න - උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පොල් මල් තොරන
06. පුරෝගාමී වැඩ ගැන සම්ප්‍රදායෙන් ඉගෙන ගන්න - කඹුරුගමුව පොල්පිටියේ ගෙඩි තොරණ