Translate

Monday, January 17, 2022

ෆැන්කි බ්‍රවුන් නම් මැෆ්කින් ශිෂ්‍යභටයා - Mafeking cadets 'The first Boy Scouts'

 
 
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩ්න් පවෙල් සාමිවරයා මැෆ්කින් වීරයා ලෙසින් විරුදාවලිය ලද්දේ දින 217 ක් 6000 කට අධික බෝයර් සතුරු සේනාවක් වටලා සිටි මැෆ්කින් නගරය සීමිත පිරිසක් හා සීමිත ආහාර ඇතුළු සම්පත් සහිතව සිටිමින් නගරය ආරක්ෂා කර ගනිමින් හා මැෆ්කින් නගරය මුදා ගැනීම හේතුවෙනි.

1899 මාර්තු ඇරඹි දෙවන බෝයර් සටනේදී බෝයර් වරුන් 6000 කට අධික පිරිසක් විසින් 1899 ඔක්තෝබර් 13 දින මැෆ්කින් නගරය වටලන ලද අතර 1900 මැයි 17 වන දින බ්‍රිතාන්‍ය හමුදාව විසින් මැෆ්කිනය මුදාගනු ලැබීය .
බෝයර් වරුන් වටලා සිටි මැෆ්කින් නගරයේ දෛනික පැවැත්ම සඳහා බේඩ්න් පවෙල් සාමිවරයා විසින් නගරයේ ළමා පිරිසකගේ සහාය ලබා ගත් අතර ඔවුන් මැෆ්කින් ශිෂ්‍යභටයන් ලෙස නම් කරන ලදී.රෝගීන්ට සාත්තු සප්පායම් කිරීම,පණිවිඩ ගෙනයාම මෙන්ම නගරයේ තැපැල් සේවාව පවත්වාගෙන යෑම එම ශිෂ්‍යභටයන්ගේ ප්‍රධාන කාර්‍ය විය. අනපේක්ෂිත වූ එක් කුතුහලය දනවන කරුණක් වූයේ තැපැල් මුද්දර හා එදිනෙදා භාවිතයට අවශ්‍ය මුදල් නෝට්ටු හිඟයක් පැවතීමයි. නගරය තුල භාවිතා සඳහා දකුණු අප්‍රිකාවේ ස්ටෑන්ඩර්ඩ් බැංකුවේ අනුග්‍රහය ඇතිව දේශීයව මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටු නිකුත් කරන ලදී .

තැපැල් මුද්දර සඳහා වික්ටෝරියා රැජිනගේ රුව වෙනුවට අනදෙන නිලධාරී බේඩ්න් පවෙල්ගේ රුව සහිත මුද්දයක් හා මැෆ්කින් ශිෂ්‍යභටයන්ගේ සැරයන් වරයා වූ වෝනර් ගුඩ්ඉයර් බයිසිකලයක් සහිතව සිටින රුව ඇතුලත් මුද්දරයක් නිකුත් කරන ලදී. බ්‍රිතාන්‍ය තැපැල් මුද්දරයක් සඳහා රාජකීය නොවන අයකුගේ රුවක් භාවිතයට ගත් ප්‍රථම අවස්ථාව මෙය විය. ලාබාලම ශිෂ්‍යභටයා වූයේ ෆැන්කි බ්‍රවුන්.





1891 උපත ලැබූ ෆැන්කි බ්‍රවුන් මැෆ්කින් වටලෑමට පෙර ජොහැන්ස්බර්ග් අසල කෆ්‍රාරියා හි ජීවත් වූ අතර 1899 දී ආරක්ෂාව පිණිස මැෆ්කින් නගරය වෙත තම දෙමාපියන් සමඟ පැමිණි අතර ඔහු මැෆ්කින් ශිෂ්‍යභට කණ්ඩායමට එකතු වී තිබුනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 8 කි. 1900 ජනවාරි 1 වනදා පුපුරා ගිය ෂෙල් වෙඩිල්ලක් ෆෑන්කිගේ කොඳුඇට පෙලට මාරාන්තික ලෙස තුවාල කළේය. සතියක කාලයක් දුක්විඳි ඔහුගේ කකුල්වල යම් සෙලවීමක් ලැබූවද ඔහුගේ තත්වය බරපතල එකක් විය. 1900 ජනවාරි 17 දින ඔහු මිය ගියේය.

 
බේඩ්න් පවෙල්ගේ දිනපොතේ "" බෝයි බ්‍රවුන් අද උදෑසන මැරුණා "" ලෙස සටහනක් තැබූ අතර මේ සිදුවීම ඉතා කණගාටුදායක සිදුවීම් වලින් එකක් ලෙස බේඩ්න් පවෙල් විසින් සඳහන් කරන ලදී.බීපී ෆැන්කි හැඳුන්වූයේ බෝයි බ්‍රවුන් ලෙසිනි. මෙහිදී කණගාටුව දනවන කරුණක් වන්නේ ෆැන්කි බ්‍රවුන් ශිෂ්‍යභටයකු ලෙස නිලධාරීන්ගේ නම් ලැයිස්තුවේ නාමිකව පමණක් සිටියෙකු බවය. ඔහුගේ නම ලේඛන ගත නොකර ඇත්තේ ඔහු වයස 11 ට වඩා අඩු වයසින් සිටීම හේතුවෙනි. 

කෙසේ නමුත් ඉංග්‍රීසි සම්භාව්‍යයක් සහිත ෆැන්කි හට ශිෂ්‍යභට ක්‍රියාකාරකම් කිරීමට අවසරය ලබා දී තිබු අතර ඔහු මැෆ්කින් ශිෂ්‍යභට බලකායේ පණිවිඩ ඛණ්ඩයට අනුයුක්තව සිටියේය. ෆැන්කි බ්‍රවුන් වෙනුවෙන් ස්මාරකයක් මැෆ්කින් නගරය මුදාගැනීමෙන් පසු ඉඳිකළ අතර එය වර්ථමාන මැහිකේන් නගරයේ ඇත. මේ ලාබාලම ශිෂ්‍යභටයා මැෆ්කින් නිල් මුද්දරය නිසා ප්‍රසිද්ධියට පත් සැරයන් (පසුව සැරයන් මේජර්) වෝනර් ගුඩ්ඉයර්ගේ ප්‍රසිද්ධියටත් වඩා ඉක්ම ගියේය.

විශේෂ ස්තූතිය
#KD


Wednesday, December 22, 2021

බාලදක්ෂයන්ට සෙවණ දුන් සුදු රාජාලියාගේ නිවහන

බාලදක්ෂ සංවිධානය වූ කලී ලෝකයේ වැඩිම ළමා, තරුණ හා වැඩිහිටි ප්රජාවකින් සමන්විත දේශපාලනික නොවන අධ්යාපනය සඳහා වූ ලොව විශාලතම ස්වේච්ඡා සංවිධානයකි. එහි පරමාර්ථය වන්නේ තරුණ තරුණියන්ගේ ශාරීරික, බුද්ධිමය, සමාජයීය, චිත්තවේගීය හා ආධ්යාත්මික සංවර්ධනය දිරිමත් කිරීම වන අතර, එමඟින් ඔවුන් වගකිවයුතු පුරවැසියන් ලෙස සහ ඔවුන්ගේ දේශීය, ජාතික හා ජාත්යන්තර ප්රජාවන්හී සාධනීය ස්ථානයක් හිමිකරගන්නා අභිමානවත් පුරවැසියන් ලෙස ගොඩනැංවීමයි.
 
1907දී දකුණුදිග එංගලන්තයේ ඩෝසෙට්හි පූලේ නගරය අසල බ්රවුන්සී දූපතේදී එවකට බ්රිතාන්ය හමුදාවේ ලුතිනන් ජනරාල්වරයකුව සිටි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයා විසින් කුඩා ළමයින් විසිදෙනකුගෙන් ඇරඹි බාලදක්ෂ ව්යාපාරය අද වන විට ලෝකයේ රටවල් 216ක මිලියන 31කට අධික ප්රජාවකින් සමන්විත දැවැන්ත සංවිධානයකි.

ශ්රී ලංකාවේ බාලදක්ෂ කටයුතු මුලින්ම ඇරඹෙන්නේ, ලෝකයේ බාලදක්ෂ කටයුතු ඇරඹීමෙන් පසු වසර 5ක් තරම් සමීප කාලයකය. එනම් 1912දී මාතලේ ක්රිස්තුදේව විද්යාලය මූලික කර ගනිමිනි. ඒ, බී.පී. තුමාගේ සමීපතම මිත්රයකු වූ එවකට මෙරට ප්රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ බ්රිතාන්ය සිවිල් ඉංජිනේරුවරයකු වූ ෆ්රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් හෙවත් එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ මූලිකත්වයෙන් ළමයින් 8 දෙනකුගේ සහභාගිත්වයෙනි. ස්ටීවන්ස් මහතා එදා හඳුන්වා ඇත්තේ සුදු රාජාලියා යන අන්වර්ථ නාමයෙනි.

රමණීය විල්ෂයර් කඳුවැටිය පෙනෙන මානයේ එෆ්. ජී. ස්ටීවන්ස් ආදී කර්තෘවරයාගේ නිවහන හෙවත් ස්ටීවන්ස් බංගලාව මෙන්ම ඊට යාබද ක්රිස්තුදේව විද්යාලය ඉදිරිපස පිහිටා ඇති, වත්මන් දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ ඇති පැරණි කච්චේරි ගොඩනැගිල්ල සිරිලක බාලදක්ෂ උරුමය සමඟ බැඳී ඇති ඓතිහාසික සලකුණුවලින් කිහිපයකි. එදා මෙදාතුර මාතලේ දිසාවේ මෙන්ම සමස්ත සිරිලක බාලදක්ෂයන්ට මෙම පරිශ්රයන් නිහඬවම සෙවණ සැපයූවා නිසැකය.

 
සුදු රාජාලියාගේ නිවහන හෙවත් ස්ටීවන්ස් බංගලාව සිරිලක බාලදක්ෂයින්ගේ තිඹිරිගෙය මෙන්ම සුදු අධිරාජ්ය සමයේ ගෘහ නිර්මාණ ශිල්පය මොනවට කියාපාන කදිම ඉදිකිරීමකි. අභ්යන්තර ගොඩනැඟිල්ලට යාබද ඉදිරිපස දිගු, පළල් හා උස් කොරිඩෝව සමඟ වම්පසින් වූ පෝටිකෝවත් ගහකොළවලින් සපිරි එළිමහන් ඉඩකඩ එවකට බාලදක්ෂයින්ගේ කටයුතු සඳහා අපූරු අවකාශයක් නිර්මාණය කර දී ඇති බව පැහැදිලිය.


එසේම සිරිලක බාලදක්ෂ නිජබිම වූ මාතලේ දිසාවේ පැරණි කච්චේරි ගොඩනැගිල්ල හා ක්රිස්තුදේව විද්යාලයට ඇත්තේ පියවර කිහිපයක දුරකි. මාතලේ දිසාවේ බාලදක්ෂ කටයුතු සමඟ එම පරිශ්රයට කොතරම් සමීප සම්බන්ධතාවයක් තිබී ඇත් ද යන්න විමසීමට තවත් සාක්ෂි අවැසි නැත. පසුගිය සමයේ මාතලේ බාලදක්ෂ මාවතේ පිහිටි බාලදක්ෂ මූලස්ථාන ගොඩනැඟිල්ල සංවර්ධන කටයුතු සඳහා පවරා ගැනීමෙන් පසුව මේ වසරේ මාතලේ පැරණි කච්චේරි ගොඩනැඟිල්ල ‘බාලදක්ෂ සිහිවටන ගොඩනැඟිල්ල’ ලෙස නම් කිරීම ඓතිහාසික මාතලේ දිසාවේ බාලදක්ෂයින්ට මෙන්ම සමස්ත ශ්රී ලාංකීය බාලදක්ෂයින්ට ද අතිමහත් ශක්තියකි. ඒ මාතලේ නගරය හා එහි ඓතිහාසික, සංස්කෘතික, භූගෝලීය පාරිසරික පසුබිම ශ්රී ලාංකික බාලදක්ෂයින්ට පමණක් නොව, ලෝක ව්යාප්ත බාලදක්ෂ ප්රජාවටම සංචාරයට, අධ්යයනයට ඉතා වැදගත් තෝතැන්නක් වන හෙයිනි.

බාලදක්ෂ සිහිවටන ගොඩනැඟිල්ලේ පිහිටි මාතලේ බාලදක්ෂ මූලස්ථාන කාර්යාලය හා බාලදක්ෂ උද්යානය විවෘත කිරීමේ නිල උත්සවයක් මාතලේ දිස්ත්රික් ලේකම් සහ අතිරේක දිස්ත්රික් ලේකම්වරයාගේ ප්රධානත්වයෙන්,‍‍ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්රිය ප්රනාන්දු සහ මාතලේ දිසා කොමසාරිස් සී. කේ. අබේවර්ධන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි. ඒ වෙනුවෙන් මාතලේ දිසා බාලදක්ෂ මූලස්ථානය සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කළ මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලය, දිස්ත්රික් ලේකම් එස්. එම්. ජී. කේ. පෙරේරා, අතිරේක දිස්ත්රික් ලේකම් ඉෂාන් විජේතිලක, අතිරේක දිස්ත්රික් ලේකම් නිශාන්ත කරුණාතිලක යන මහත්වරු දුන් සහාය අගනේය. ඉතා ඉහළ සංචාරක විභවයක් සහිත මාතලේ දිස්ත්රික්කය හා ඉහළ සංචාරක නැඹුරුවකින් සමන්විත ජාත්යන්තර බාලදක්ෂ ප්රජාව යා කරමින් මාතලේ ‘බාලදක්ෂ සිහිවටන ගොඩනැගිල්ල’ ලොව පුරා විසිරී සිටින බාලදක්ෂ ප්රජාවට සංචාරයට, අධ්යයනයට හා පුහුණුවට සරිලන කෞතුකාගාරයකින් සමන්විත බාලදක්ෂ කේන්ද්රස්ථානයක් බවට පත් කිරීම මාතලේ දිසා බාලදක්ෂ අරමුණයි.

 
ගයාන් නිතුල්ගස්පිටිය
සහාය දිසා බාලදක්ෂ කොමසාරිස් (පරිපාලන)

dinamina දෙසැම්බර් 23, 2021 (විශේෂාංග)


 

Sunday, December 19, 2021

නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

නව ප්‍රධාන බාලදක්ෂ ලෙස නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පසුගිය දා පත්විය. නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ(SLSA) 21වැනි ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත. 


SLSA නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටි ජනප්‍රිත් මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඒ, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා එම තනතුරින් නික්ම යෑමත් සමඟය.

1979 දී පාසලේ කණිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සිය ගමන ආරම්භ කරමින්,ඔහු මූලික සහ උසස් අධ්‍යාපනය ලැබූවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයකු ලෙස ඔහු සිය බාලදක්ෂ කණ්ඩායමේ, භට කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ අතර,1984 වසරේ දී කීර්තිමත් ජනාධිපති බාලදක්ෂ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ජනප්‍රිත් මහතා වැඩිහිටි නායකයකු ලෙස, කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ ශාඛාවට සම්බන්ධ වූ අතර, දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරයා ලෙසත් පසුව 2005 දී දිස්ත්‍රික් කොමසාරිස්වරයා ලෙසත් පත් විය. 2010 දී SLSA විශේෂ කොමසාරිස්වරයකු ලෙසත් පසුව එම සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස්වරයා බවටත් පත්විය. 2016 දී ඒ මහතා, SLSA නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්වරයා වශයෙන් වැඩ භාර ගත් අතර එතැන් සිට දේශීය බාලදක්ෂ ව්‍යාපාරයට කැපවී සේවය කළේය.‍

ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා 2017 සිට 2021 දක්වා ලෝක බාලදක්ෂ කමිටුවටත්, 2012 සිට 2017 දක්වා ආසියා පැසිෆික් කලාපයේ ප්‍රාදේශීය බාලදක්ෂ කමිටුවටත් තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා විය.ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ යහපාලන කණ්ඩායමේ සභාපතිවරයා ලෙස ද,ලෝක බාලදක්ෂ ක්ෂේත්‍රයේ ඔහු දැරූ වෙනත් බොහෝ නායකත්වයන් අතර කලාපීය ව්‍යාපාරයේ කළමනාකරණ උප කමිටුවේ සභාපති ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

ජනප්‍රිත් මහතා ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට දැක්වූ සුවිශේෂී දායකත්වය මැලේසියා අග්‍රාමාත්‍ය,තායිවාන ජනාධිපති සහ පිලිපීනයේ උප ජනාධිපති ඇතුළු බොහෝ රාජ්‍ය නායකයන්ගේ පවා ඇගැයීමට ලක් වී ඇත. ඊට අමතරව, ආසියා පැසිෆික් කලාපයේ සභාපති පදක්කම ද ජනප්‍රිත් මහතාට පිරිනමා තිබේ. ජනප්‍රිත් මහතා වෘත්තීය නීතිඥයකු පමණක් නොව, ඔහු 'බුක්බ්‍රිජ් ශ්‍රී ලංකා' සමාගමේ සභාපතිවරයා ද වෙයි. ඊට අමතරව 'නායකත්ව හා කුසලතා වර්ධන මධ්‍යස්ථානයේ' සභාපතිවරයා ද වන ඒ මහතා මෙරට බොහෝ පෞද්ගලික හා රාජ්‍ය ආයතන රැසක මාණ්ඩලික සාමාජිකයකු ලෙස ද කටයුතු කර තිබේ.

Tuesday, November 30, 2021

මැයි 31 දින නිමාවට පත් වූ දෙවන බුවර් සටන

මැයි 31 දින නිමාවට පත්වූ දෙවන බුවර් සටන

බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ සැමදෙනාම එහි නිර්මාතෘ වරයාගේ ඉතිහාසය පිළිබඳව කියවද්දී එහි දෙවන බෝයර් සටන එක පරිච්ඡේදයක් බව දන්නවා ඇති. මෙම දෙවන බෝයර් සටන බාලදක්ෂයන්ට පමණක් වැදගත්කමක් නොව ශ්‍රීලංකාවටද යම් ඓතිහාසික චරිතයක් එක් කල සිද්ධියකි.

රන් රිදී දියමන්ති ඇතුළු ඛනිජ හා වන සම්පතින් සපිරි දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍යයේ ආදිපත්‍යයට යටත්ව පිටින් පැමිනි සුද්දන් එහි සාරය උරා බීම ගැන එහි වැසියන් පසුවූයේ ඉමහත් කණස්සල්ලෙනි.විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ ආධිපත්‍යය පතුරාවාගෙන සිටි බෝයර් වරුන්ට ඉන් වැදුනේ බලවත් අතුල් පහරකි.

ඕලන්ද ප්‍රංශ ජර්මානු සම්භවයකින් පැවතෙන බෝයර් වරුන් දකුණු අප්‍රිකාවේ මුල් පදිංචිකරුවන් වූහ.ඔවුන් අතරින් වූ යුට්ලන්ඩ් වැසියන් පතල් කැනීම් කරුවන් වූ අතර 1886 දී බෝයර් අගනුවරට දකුණින් ලොව විශාලතම රන් නිධිය සොයාගත් අතර බ්‍රිතාන්‍යයන් ඊට කෙල හලමින් සිටි අතර දහස් ගනන් බ්‍රිතාන්‍යය වරුන් කේප් ජනපදයේ පදිංචියට පැමිනියහ.ඔවුන්ගේ කූට උප්පරවැට්ටිය වූයේ රන් හා දියමන්ති බහුල ට්‍රාන්ස්වාල් ,ඔරෙන්ජ් ෆ්‍රී හා ජොහැන්ස්බර්ග් යන ප්‍රදේශයේ වෙනම ස්වාධීන පාලනයකින් යුතු රාජ්‍යයක් බවට යුට්ලන්ඩ් වැසියන් පෙලඹවීම වීමයි.මේ සඳහා බ්‍රිතාන්‍යයනගේ් ආධාර යුට්ලන්ඩ් වැසියන්ට නොඅඩුව ලැබිණි .මෙයින් කුපිත වූ බෝයර් වරුන් පතල් සඳහා වූ බද්ද ඉහල නැංවූහ.මෙයින් සිදුවූයේ යුට්ලන්ඩ් වැසියන්ගේ විරෝධය බෝයර් වරුන් වෙත එල්ල වීමය.මෙයින් ප්‍රයෝජනය ගත් බ්‍රිතාන්‍යයන් දේශපාලන,සාමාජික හා ආර්ථික ප්‍රතිපත්තියක් සහිත සාධාරණ ජන්ද නීතිය ,ස්වාධීන අධිකරණ හා හොඳ අධ්‍යාපන ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් හඳුන්වාදෙමින් නව ස්වාධීන රාජ්‍යයක් සඳහා යුට්ලන්ඩ් වැසියන් පෙලඹවීමයි.
 

මෙයින් දරුණු ලෙස කුපිත වූ බෝයර් වරුන් සටනට එලෙඹි අතර එහි ප්‍රතිඑලයක් ලෙස පලමු බෝයර් යුද්ධය ඇරඹි අතර ඉන් බ්‍රිතාන්‍යයන්ට අත්වූයේ දරුණු පරාජයකි.කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකාව හැර ඉන් නික්ම වීමට තීරණය නොකලහ.

දකුණු අප්‍රිකාවේ පූර්ණ බලතල තමන් අතට පත්කර ගැනීමට නම් බෝයර් වරුන් හැර අනෙකුත් ස්වදේශිකයන් තමන් වෙත නෑඹුරු කර ගැනීමට හෝ ඔවුන්ව තම යටතට ගැනීමේ පියවර බ්‍රිතාන්‍යයන්ගේ සිහිනය විය.ඇන්ග්ලෝ බෝයර් සටන ,අශාන්ති සටන ,මැටබෙලේ සටන ආදිය මෙහි ප්‍රථිඑලයක් විය .

බ්‍රිතාන්‍යයේ දරුණු කෙණෙහිලි ඉවසාගත නොහැකි තැන බෝයර් වරුන් කල්වේලා ඇතිව දෙවන සටනකට සූදානම් විය.මෙහි ප්‍රථිඑලයක් ලෙස 1899 ඔක්තෝබර් 11 දින දෙවන බෝයර් සටන ඇරඹිණ .මේ සටනට ට්‍රාන්ස්වාල් හා ඔරෙන්ජ් ෆ්‍රී යන ප්‍රාන්ත යන්හි බෝයර් සෙබලුන් 103,000-153,000 හා බෝයර් කමාන්ඩෝ භටයන් ඇතුළුව 100,000 භටයන් ද විදේශ ආධාර භටයන් 5400 ක් එක්ව සිටියහ.
 
 
මෙම සටනට බ්‍රිතාන්‍යය හමුදාවේ සෙබලුන් 347,000ක් සහභාගි වූ අතර යුධ පෙරමුණේ නායකත්ව 8 දෙනෙකු විසින් දැරීය. බෝයර් වරුන්ට නෙදර්ලන්තය, ජර්මානු හා ස්කැන්ඩිනේවියානු රටවල් පක්ශව සිටි අතර බ්‍රිතාන්‍යය වෙනුවෙන් අයිරිෂ් ඇමරිකානු ස්වේච්ඡා ඔත්තු සේවය ,ඉතාලි ස්වේච්ඡා සේනාංකය, අයිරිෂ් ට්‍රාන්ස්වාල් සේනාංකය එක්ව සිටියේය .

මෙම සටනට බ්‍රිතාන්‍යය සඳහා 1901 දී බ්‍රිතාන්‍යය ශ්‍රීලංකා පාබළ හමුදාව ද එක්ව සිටීම විශේෂකි. 1899 ඇරඹි දෙවන බෝයර් යුද්ධය 1902 දී අවසන් වූයේ බ්‍රිතාන්‍යය හමුදාවට ජය අත්කර දෙමිනි.මෙම යුද්ධයේදී බෝයර් වරුන් 6189 මියගිය අතර 24,000 යුධ සිරකරුවන් විය.තවත් 21,250 ක් බ්‍රිතාන්‍යයට යටත් වූහ .

මෙහිදී බ්‍රිතාන්‍යයේ සෙබලුන් 22,092 ක් මියගිය අතර 934 ක් අතුරුදහන් වූවන් ලෙස ගැනිණ .තවත් 22,828 ආබාධිතයින් වූහ.

මෙම යුද්ධයේදී සාමාන්‍ය සිවිල් වැසියන් 40,370 ක් මියගියේය .සරණාගතයින් ලෙස 26,370 සරණාගත කඳවුරු වලට කොටු විය .

මෙම සටනේදී අල්ලාගත් බෝයර් යුධ සිරකරුවන් තම යටත් ව්ජිත රටවලට පිටත්කර යැවූ අතර එලෙස ශ්‍රීලංකාව වෙත එවනු ලැබූ එක් බෝයර් සිර කරුවෙකු මෙරට ඓතිහාසික චරිතයක් විය .ඔහු එංගල් බ්‍රෙක් නම් විය .

එකල හම්බන්තොට මහදිසාපති වූ සුප්‍රකට ඉංග්‍රීසි ලේඛක ලෙනාඩ් වුල්ෆ් මහතාගේ කාරුණික අනුග්‍රහය ඇතිව යාල අභයභූමියේ පාලකයා ලෙස පත්කරනු ලැබූ එංගල් මෙරට පලමු වන උද්‍යාන පාලකයා විය .

#KD

Monday, November 22, 2021

චාර්ල්ස් මැක්ලීන් සාමිවරයාෙග් ලංකා සංචාරය

 

Charles Hector Fitzroy MacLean, Baron MacLean
 
කොළඹ බාලදක්ෂ කැම්පෝරිය එක් දහස් නවසිය හැට ගණන්වල අගභාගයේදී පැවැත් වූයේ විහාරමහාදේවි උද්‍යානයේ නොවේ. කොළඹ ගොල්ෆ් පිටියේය. එවකට මා 15වැනි කොළඹ බාලදක්ෂ සමූහයේ වෘක පෝතකයෙකි. වෘක පෝතකයන් වූ අපට කඳවුරේ රැය ගතකරන්නට ඉඩ ලැබුණේ නැත. එහෙත් ජම්බෝරිය පැවැත්වෙන දිනවලින් එකක් වෘක පෝතකයන් සඳහා ද වෙන් වූයේය. 
 
වෘක පෝතකයන් සඳහා වෙන් වූ එක් දිනයක එක්සත් රාජධානියේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල එවකට ප්‍රධාන බාලදක්ෂ ධුරය හෙබැවු චාර්ල්ස් මැක්ලීන් (පසුව මැක්ලීන් සාමිවරයා Sir Charles McLaughlin??) ජම්බෝරියට ආයේය. පසු කලෙක එතුමාට දෙවැනි එළිසබෙත් රැජිනගේ සාමිවර ධුරය 1971 දී ලැබුණු බව වාර්තාවල සඳහන්ය. 
 
Sir Charles Hector Fitzroy McLean as Chief Scout
 
විශාල කවයකට වෘක පෝතකයන් වන අප රැස්කොට ඔහු අප හා සංවාදයේ යෙදුණේය. වෘක පෝතක කැල මෙහෙය වීමේ උදාන පාඨ කීමට ඔහු කැප් තොප්පියේ තරු දෙකක් ඇති වෘක පෝතකයකු සොයා කවය වටා බැලුවේය. රවුමේ සිටි වෘක පෝතකයන්ගෙන් කැප් තොප්පියේ තරු දෙකක් තිබුණේ මට පමණකි. මම කවය මෙහෙයවීමි. 
“කරාවු කරාවු කරාවු” මම කීමි. 
“කරාමි කරාමි කරාමි” කවයේ සිටි අනෙක් වෘක පෝතකයෝ කීවෝය.
කැප් තොප්පියේ පැළඳන තරු මට ඉබේ ලැබුණු ඒවා නොවේ. පළමු සහ දෙවැනි පන්තියේ පරීක්ෂණ 20ක් පමණ සමත් වූ පසු ලැබුණු ඒවාය. චාර්ල්ස් මැක්ලීන්ගේ ඇඳුම කුඩා අපට විහිලුවක් බඳු වූයේ ස්කොට් ජාතික ඇඳුම ඇඳි කිසිවකු පින්තූරයකින් හෝ අප දැක නොතිබුණු නිසාය. උඩු කය බාලදක්ෂ නිල ඇඳුමකින් සැරසුණු ඔහු යටි කයට ඇන්ඳේ සායක් බඳු ස්කොට් ඇඳුමයි. එය බැගී පයිප් බෑන්ඩ් (Baggy Pipe Band) වාදකයන්ගේ ඇඳුමට සමානය. වයස අවුරුදු 12 ලැබූ විට වෘක පෝතක බවෙන් මිදී බාලදක්ෂයකු වීමේ වරම අපට ලැබුණේය.

බාලදක්ෂ ජම්බෝරිය කුඩා අපට අතිශය විනෝදය ගෙන දෙන තැනක් වූයේය. දිවා කාලයේ ජම්බෝරිය පැවැත් වෙන භූමියේ තැනෙක බොක්සිං තරග පැවැත් වේ. තවත් තැනක රෙස්ලිං තරගය, තවත් තැනක සංගීත කණ්ඩායමකි. එදිනෙදා නිවෙසේ ගෙවන ජීවිතයෙන් මිදී අවුත් කුඩා කාලයේදීම අපි කඳවුරේ කෑම පිසගෙන සැවොම එක්ව අනුභව කළෙමු. කෑම පිසීමත් තේ පිළියෙළ කිරීමත් දෙවැනි පන්තියේ පරීක්ෂණවලදී සමත් විය යුතු වූයේය.

අප කුඩා කාලයේදීම සාමූහිකව ගයන්නටත් රඟපාන්නටත් පුරැදු වූයේ කඳවුරේ රාත්‍රී කාලයේ පැවැත්වෙන ගිනිමැල වටා වූ ජවනිකා නිසාය. බාල දක්ෂයින්ටම වෙන්වූ ගිනි මැල ගීත බොහෝය. ඉන් එකක් කඳවුරු ගැන කියන්නකි.

“පුංචි පුංචි පැල් සදාලා හරිම ලස්සනයි
පන්ති පන්ති බාලදක්ෂ කඳවුරේ සිටී
කඳවුරේ උයයි
කඳවුරේ නිදයි
බාලදක්ෂ ෂ: හරිම ලස්සනයි!”

දෙවැනි පන්තියේ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව තනි තනි පදක්කම් උදෙසා පැවැත්වෙන පරීක්ෂණවලට සහභාගීවීමේ වරම බාලදක්ෂයා ලබයි. (දැන් මේවා වෙනස් වී ඇතැයි සිතමි.) ප්‍රථමාධාර දෙන්නා, කඳවුරුකරු, පොත් කියවන්නා, කෑම පිසින්නා ආදී වශයෙන් එක් එක් කුසලතා සඳහා දිනාගත හැකි පදක්කම් රාශියක් තිබිණි. ඒවායින් මගේ සිත වඩාත්ම ඇදී ගියේ වන ශිල්පියා (Back Woods man) පදක්කමටයි. බොම්බයි ලූනු ගෙඩියේ දමා බිත්තර තම්බාගන්නටත්, මැටි ගසා දෙල් තම්බාගන්නටත්, කෝටුවක ඔතා රොටි සාදාගන්නටත් එකල අපි පුරුදු වූයෙමු. අපි කුඩා කාලයේදීම කූඩාරම් ඉදිකරන්නට රුසියෝ වීමු.

අපට කුඩා කාලයේම 15 වැනි කොළඹ බාලදක්ෂ වෘක පෝතකයන් ලෙස බඳවා ගත් ප්‍රධාන බාලදක්ෂ ආචාර්යවරයා අපූර්ව පුද්ගලයෙකි. දෙහිවල කැම්බල් පෙදෙසේ විසූ ඔහු නමින් ජෝර්ජ් සමරසිංහය. ඔහු කුඩා දරුවන්ට කුසලතා ඉගැන්වීමේ අති දක්ෂයෙක් විය. අප බාලදක්ෂ කටයුතුවල නිරත වූ කාලයේත් මැදි වයස පසුකර සිටි ඔහු අවුරුදු 103ක් ආයු වළඳා මිය ගියේ දෙදහස් ගණන් වලදීය. එකල ගල්කිස්සේ සාන්ත තෝමසුන්ගේ විද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩාංගණය පිහිටි ඉඩම සෙනසුරාදා දිනවල 15 වැනි කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ කටයුතුවලට වෙන්කර දී තිබිණි. එය පිහිටා තිබුණේ ද සේරම් පාරට සහ හෝටල් පාර අතර මැද බිම් කොටසකයි.

මීරිගම, කණ්ඩලම ගොවිපළ සමීපයේ පිහිටි අක්කර ගණනාවක වනාන්තර භූමියක් එකල බාලදක්ෂ කටයුතු සඳහා කඳවුරැ බඳින්නට වෙන්කර දී තිබිණි. මා දුටු විශාලම පුස්සැල්ලා වැල තිබුණේ එම වනාන්තරයේය. එකවර ළමුන් හත් අට දෙනකුට එහි ඉහළට නැගගෙන ඔන්චිල්ලා පදින්නට තරම් එම පුස්සැල්ලා වැලේ ඉඩ තිබිණි. එම වනාන්තරයේ ඇති රූස්ස ගස් නගින්නට ප්‍රමාණවත්, ශක්තිමත් කඹ එම කඳවුරේම එකල තිබුණු නිසා ඒවා ආධාරයෙන් ගස් නැගීම මීරිගම කැලයේ ජනප්‍රිය ක්‍රීඩාවක් විය. රූස්ස ගස් අතුවල කඹ දවටා පුටු ගැටය (එය විශේෂ ගැටයකි.) ආධාරයෙන් අප බිමින් ගස් උඩටත්, ගස් උඩ සිට බිමටත් යන්නට පුරුදු වීමු.

1970 අවුරුද්දේ දෙසැම්බරයේ දින හතරක් කුරුණෑගල බාලදක්ෂ මූලස්ථානයේ කඳවුර කරන්නට අපට හැකිවිය. එම ගොඩනැගිල්ල තිබෙන නිසා අපට කූඩාරම් ඉදිකරන්නට අවශ්‍ය වූයේ නැත. දැන් එම ගොඩනැගිල්ල පිහිටි පෙදෙස සෙනඟ ගැවසෙන ජනාකීර්ණ හරියකි. ඒ කාලයේ ඒවා පාළු පාරවල්ය. 2007 අවුරුද්දේ එම ගොඩනැගිල්ලේම නාට්‍ය වැඩමුළුවක කටයුතු කරන්නට මට ආරාධනා ලැබිණි. 1970 දෙසැම්බරයේ එහි ගත කළ දින හතර ඇතුළත අපි “ඉබ්බාගල” නැංගෙමු. කුරුණෑගල වටා ඇති ඇතාගල, ඉබ්බාගල, කුරුවෙනියාගල, ඇඳාගල, යක්දෙස්සගල ආදිය ගැන තොරතුරු රැස්කළෙමු. වයස අවුරුදු 12-14 කාලයේදී අපි ගෙදරින් නික්ම දින තුන හතර බාලදක්ෂ කඳවුරුවල ගත කළෙමු. අප නිවසින් පිට යවද්දී අපේ මාපියන්ට හිතේ බියක් ලොකුවට දැනුණේ නැත. ඒ ගමන්වලින් අපේ කුසලතා වර්ධනය වන බවද අපේ මාපියෝ දැන සිටියහ. දැන් කාලයේ නම් කඳවුරකට යවන්නට තබා සවස් කාලයේ එළිමහනකට දරුවකු යවන්නට පවා ඩෙංගු ආදී ලෙඩ රෝග නිසා මාපියෝ බියවෙති. පාසලෙන්, උපකාරක පන්තියටත්, උපකාරක පන්තියෙන් ගෙදරටත් එන දරුවාට මොන කඳවුරු ජීවිතයක් ද! 

කොළඹ මහජන පුස්තකාලය අවට විහාර මහාදේවි උද්‍යානයේ ඇති යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් සිහිකිරීම පිණිස වූ (සෙනොටාෆ්) යුද ස්මාරකය දකින මගේ සිත ළමා කාලයට දිව යන්නේ නිතැතිණි. මා මුල්වරට මෙම ස්මාරකය ළඟට ගිය දවස මට හොඳ හැටි මතකය. ඒ එක්දහස් නවසිය හැත්තෑව, හෑත්තෑඑක පමණ කාලයේය. ඒ කාලයේ විහාර මහා දේවි උද්‍යානයේ ඒ පැත්ත පට්ට පාළුය. ඒ වටා උසට වැඩුණු මානා පඳුරු මිස මිනිස් පුළුටක් පෙනෙන්නට නොතිබිණි. පාතර් පංචාලි චිත්‍රපටයේ, ජීවිතයේ මුල්වරට, දුම්රිය දකින අපූර් සහ දුර්ගා මෙන් මමද මාන පඳුරු අතරින් දිවගොස් එම ස්මාරකය දෙස තුෂ්ණිම්භූතව බලා උන්නෙමි. (එම චිත්‍රපටයේද දුම්රිය දකින්නට පෙර ඒ දෙදෙනා මාන කැලයක් මැද්දෙන් දිවයති.) එම ස්මාරකය විහාර මහා දේවි උද්‍යානයේ දින දෙක තුනක් ඒ වනවිටත් රැය පහන්කොට සිටි මා දැක තිබුණේ නැත.

මා විහාර මහා දේවි උද්‍යානයේ රැය පහන් කළේ තනිවම නොවේ. 15 වැනි කොළඹ බාලදක්ෂ සමූහය සමඟය. 15 වැනි කොළඹ බාලදක්ෂ සමූහය එදා විහාර මහා දේවි උද්‍යානයේ කඳවුරු බැඳ සිටියේ ද තනිවම නොවේ. කොළඹ නගරාසන්නයේ සියලු බාලදක්ෂ කණ්ඩායම් සමඟය. කාලයක් තිස්සේ බාල දක්ෂයන්ගේ කොළඹ වාර්ෂික ජම්බෝරිය පැවැත්වූයේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදීය. අවුරුදු කිහිපයකදීම අපේ කඳවුරු උදෙසා කූඩාරම් ඉදිකළේ කලා භවනට මුහුණලා පිහිටි පැත්තේය.

කණ්ඩායම් අතර ඉවුම් පිහුම් තරගය පැවැත්වූයේ යුද ස්මාරකය සමීපයේය. පළමු වරට යුද ස්මාරකය මගේ නෙත ගැටුණේ ආහාර පිසීමේ තරග ඒ කිට්ටුව තැනක පවත්වන්නට යෙදුණු අවස්ථාවකය.

එම යුද ස්මාරකයට ඇත්තේද අපූර්ව ඉතිහාසයකි. එය ඉදිවී ඇත්තේ පළමු සහ දෙවැනි ලෝක යුද්ධ දෙකෙන්ම මිය ගිය ශ්‍රී ලාංකීය සොල්දාදුවන් සිහිවනු පිණිසය. ඉංග්‍රීසියෙන් එය හඳුන්වන්නේ Cenotaph War Memorial කියාය. Cenotaph යන්නේ හිස් සොහොන් කුටිය යන අර්ථය ද ගැබ්වේ. යුද්ධයෙන් මිය ගොස් වෙනත් තැනක මිහිදන් කළ සොල්දාදුවන් වෙනුවෙන් Cenotaph ස්මාරක ඉදිවේ.

එම ස්මාරකය සඳහා මුල්ගල තබා ඇත්තේ විහාර මහා දේවි උද්‍යානයේ නොවීමද පුදුමයකි. 1921 දෙසැම්බර් 7 වැනිදා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි මෑනිංග් ඊට මුල්ගල තබා 1923 ඔක්තෝබර් 27දා එය නිරාවරණය කර තිබෙන්නේ කොළඹ ගාලුමුවදොර පිටියේය. එය එවකට විජයග්‍රහණයේ ස්මාරකය ලෙස හැඳින්විණි. එහෙත් දෙවැනි ලෝක සංග්‍රාමය වෙද්දී එය ගලවා ඉවත්කොට විහාර මහා දේවි උද්‍යානයේ දැන් තිබෙන තැන නැවත ඉදි කෙරුණේය. එය වෙනත් තැනකට ගෙන ගියේ තම අවි එල්ල කිරීම සඳහා ජපනුන් එය සළකුණක් ලෙස භාවිතා කරාවි යන බිය නිසා බවද කියවේ. මියගියවුන්ගේ එහි සඳහන් නම් අතර ඇත්තේ එකම කාන්තාවකගේ නමකි. ඒ.එල්. මිච්වුඩ් මෙනෙවියගේ නම පමණයි.

මහජන පුස්තකාලය අසලින් අහසට එසවුණු යුද ස්මාරකය දකින මට සිහියට නැගෙන්නේ ලෝක යුද්ධවලින් මිය ගිය සොල්දාදුවන් නොවේ. අදටත් ආදරයෙන් සිහිකළ හැකි මගේ සුන්දර ළමා කාලයයි. එදා විහාර මහා දේවි උද්‍යානයේ පාළු කෙළවරක මාන පඳුරු මැද තිබු යුද ස්මාරකය, විහාර මහා දේවි උද්‍යානයේ කඳවුර බැඳ රැය පහන් කළ දවස් ගැන අදටත් කිසිවකුට නෑසෙන්නට තතු කියන්නා සේ දැනේ.
 
සටහන
සමන් පුෂ්ප ලියනගේ

Tuesday, October 19, 2021

බාලදක්‍ෂ නිලඇදුම

අතීතයේ භාවිත වූ ලෝක බාලදක්‍ෂ නිලඇදුම අප්‍රිකාවේ පොලිස් හමුදාවේ නිල ඇඳුමට බෙහෙවින් සමාන වූ බව පැවසේ. වර්තමානයේ ලොව පුරා විසිරී සිටින බාලදක්‍ෂයන් විවිධ වර්ණයේ නිල ඇඳුම් බාවිතා කරනු ලැබූවද ඔවුන් පළදික ලෝක බාලදක්ෂ පදක්කම සැම අතින්ම එක සමාන වේ. නිල ඇදුම ඒ ඒ රටවලට යෝග්‍ය වන ආකාරයෙන් නිදහස්ව කටයුතු කිරීමට හැකි වනසේ පිළියෙළ වූ සුව පහසු ඇඳුමක් බවට පරිවර්තනය වී ඇත.
  • බෙරට් හිස් වැස්ම
  • කර ‍‍‍‍ලේන්සුව
  • බාලදක්ෂ කමිසය
  • කොට කලිසම/දිග කලිසම
  • කලු පැහැති පොලිෂ් කරන සපත්තු

සිඟිති අංශය

සිඟිති අංශය නිල ඇඳුම
සිඟිති අංශය නිල ඇඳුම

පෝතක අංශය

Cub boy

බාලදක්ෂ අංශය

jscout_uniform
කනිෂ්ඨ බාලදක්ෂ නිල ඇඳුම

 

sscout_uniform
ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නිල ඇඳුම

මානවක අංශය

rover-uniform
මානවක අංශය නිල ඇඳුම

Wednesday, July 14, 2021

ලෝක බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය (WOSM)

ලොව විශාලතම තරුණ සංවිධානය හා රාජ්‍ය නෙවන සංවිධානය ලෙස ලෝක බාලදක්ෂ සංවිධානය හැදින් වේ.(World Organization of the Scout Movement). සංවිධානය කෙටි නාමය WSOM ලෙස හදුන්වන අතර 1922 වසරේ දී ස්විට්ස්ර් ලන්තයේ ජිනිවා නගරය කේන්ද්‍ර කරගනිමින් මුලස්ථනය ආරම්භකරන ලදි. WSOM සතු මූලික ම වගකිම වනුයේ බාලදක්ෂ පෙරොන්දුව හා නිතිය යන අගයන් මත පදනම් වු ස්වයං පරිසමාප්ත පුද්ගලයන් වශයෙන් සමාජයට ඵලදායි කාර්යභාර්යක් ඉටුකරමින් යහපත් ලොවක් ගොඩනැගිම සඳහා සහය විමට අවශ්‍ය වන තරුණ මිනිසුන් උදෙසා වන අධ්‍යාපන මෙහෙවරක යෙදිම වේ. 

ලෝක බාලදක්ෂ සංවිධානය

ලෝකයේ රටවල් 216ක් අතරින් 169කට ආසන්න ජාතික සංගම් ප්‍රමාණයක් ලෝක බාලදක්ෂ සංවිධානයයේ සාමාජිකත්වය පිලිගෙන තිබේ. අසර්බයිජාන් හි පැවැත්වූ 41 වැනි ලෝක බාලදක්ෂ සමුළුවේ දී, ලෝක බාලදක්ෂ සංගමය සමග නිල වශයෙන් ලියාපදිංචි වූ රටවල් 9 කට ලෝක බාලදක්ෂ සාමාජිකත්වය පිරිනමන ලදී. ඒ අනුව දැන් ලෝකයේ රටවල් 178 ක බාලදක්ෂ ව්‍යාපාරය ස්ථාපිත වී ඇති බව ලෝක බාලදක්ෂ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. මිලියන 52කට ආසන්න පිරිසක් තම රටවල ඇති ජාතික සංගමයන් ඔස්සේ බාලදක්ෂ සමාජිකත්වය ලබාගෙන ඇත. වර්ථමානයේ දී පරිපාලන පහසුව සඳහා WSOM ආයතනයේ මුලස්ථානය මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර පිහිටුවා ඇත. ආරම්භයේ සිටම WSOM හි අනුබද්ද ආයතනයක් ලෙස ලෝක බාලදක්ෂිකා සංගමය (World Association of Girl Guides and Girl Scouts – WAGGGS) ද පවත්වාගෙන යනු ලැබිය.

ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය (WOSM) 

WSOM සතු මූලික ම වගකිම වනුයේ බාලදක්ෂ පෙරොන්දුව හා නිතිය යන අගයන් මත පදනම් වු ස්වයං පරිසමාප්ත පුද්ගලයන් වශයෙන් සමාජයට ඵලදායි කාර්යභාර්යක් ඉටුකරමින් යහපත් ලොවක් ගොඩනැගිම සඳහා සහය විමට අවශ්‍ය වන තරුණ මිනිසුන් උදෙසා වන අධ්‍යාපන මෙහෙවරක යෙදිමයි.

WSOM ආයතනය WAGGGS සමග එක්ව සෑම අවුරුදු 4කටම වරක් ලෝක බාලදක්ෂ ජැම්බරි, (බාලදක්ෂයන් උදෙසා) ලෝක මානවක සමුලු(Rover Moot)හා නායකයන් උදෙසා ජාත්‍යන්තර ඉන්ඩාබා කඳවුරැ සංවිධානය කරනු ලැබේ.එසේම ස්ව්ට්සර්ලන්තයේ පිහිටි Kandersteg International Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානය. Cairo International Scout Centre ඊජිප්තුවේ පිහිටි ජාත්‍යන්තර මධ්‍යස්ථනය,දකුණු ඇමෙරිකාවේ චිලි හි පිහිටා ඇති Picarquín World Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථාන හි පාලන කටයුතු ද සිදුකරනු ලබයි.

ලෝක බාලදක්ෂ සමුලුව – World Scout Conference (WSC)

මෙය බාලදක්ෂ ව්‍යාපාරයේ මහ සභාව ලෙස හැදින්විය හැක. සෑම වසර 3කට වරක්ම ලෝක තරුණ බාලදක්ෂ සමුලුව පැවැත්විමෙන් පසුව රුස්වේ. ලෝක බාලදක්ෂ කාර්යංශය තුල WSOM හා WAGGGS කලාප 6 යට අයත් සාමාජික සංගම් වලින් නි‍යෝජිත වරු තෝරා පත්කරගනු ලැබේ. යම් රටක බාලදක්ෂ සංගම් එකකට වඩා පැවතියහොත් එම සංගම් දෙක සහයෝගයෙන් ක්‍රියා කරමින් WSL සඳහා නියෝජිතයන් තොරා යැවිම සිදුකලය යුතුය. වසර 3කට වරක් WSOM හි සාමාජික රටක මෙම සමුලුව පවත්වනු ලැබේ. එම රට සමග එක්ව සම-සම්බන්දීකරනයක් පවත්වා ගනිමින් මෙය සංවිධානය කිරිමට ලෝක බාලදක්ෂ සංවිධානය බැදි සිටියි.

ලෝක බාලදක්ෂ කමිටුව – World Scout Committee

මෙය ලෝක බාලදක්ෂ සමුලුවේ විධායක සභාව වන අතර මේ සදහා ස්වෙච්චා සාමාජිකයන් අතර පවත්වන ඡංදයකින් පසු නිලතල සදහා පුද්ගලයන් තෝරා පත්කරගනු ලැබේ.මෙහි වගකිම් වනුයේ ලෝක බාලදක්ෂ සමුලුවේ දි ගනු ලැබු තින්දු තීරණ ආදි ක්‍රියාත්මක කිරිමයි.මෙම සභාව වසරකට දෙවතාවක් රුස්වේ.එයට අමතරව අත්‍යවශ අවස්ථාවල දි සභාපති,උප සභාපති වරැ දෙදෙනා,හා මහලේකම් වරයාගෙන් සමන්වි විශේෂ මෙහෛයුම් කමිටුව රැස්වී අවශ්‍ය තින්දු තීරණ ගනු ලබයි. 

කමිටුවේ මලු නිලධාර් මණ්ඩලය 14 ක වන අතර ඉන් 12 දෙනෙකු විවිධ රටවල ජාතික සංගම් නියෝජනය කරමින් පැමිනි සාමාජිකයන් තුලින් ඡංදයක් පවත්වා වසර 3ක කාල සීමාවකට තෝරා පත්කරගනු ලබයි.නමුත් ඔවුන් තම රටේ අවශ්‍යතා නොව ව්‍යාපාරයේ අවශයතා නියොජනය කරයි.නමුත් මහලේකම් වරයා හා භාණ්ඩාගාරික වරයා WSOM හි පත්වු නිලධාරින් දෙදෙන ම වේ.එසේම කලාප වල පිහිටුවා ඇති කමිටුවල සභාපති වරුන් මෙම ලෝක බාලදක්ෂ කමිටුවේ උපදේශක මට්ටමේ නිලධාරින් ලෙස සහභාගි විය හැක.

ලෝක බාලදක්ෂ කාර්යංශය – World Scout Bureau

  1. යුරෝපා කලාපය.
  2. අරාබි කලාපය.
  3. අප්‍රකානු කලාපය.
  4. ආසියා පැසිපික් කලාපය. (ශ්‍රී ලංකාව අයත් වනුයේ මෙම කලාපයටයි.)
  5. ඇමරිකානු කලාපය.
  6. යුරේසියානු කලාපය.

ආසියා පැසිපික් බාලදක්ෂ කලාපය

ශ්‍රී ලංකාවේ බාලදක්ෂයන් අයත් වන්නේ ආසියා පැසිපික් බාලදක්ෂ කලාපයටයි. එම කලාපයට රටවල් තිහක් ඇතුළත්ය. එක් එක් රට වෙන වෙනම හඳුනා ගැනීමට හැකි පරිදි බාලදක්ෂ ලාංඡනය ඇසුරින් සකස් කළ ඒ ඒ රටවල දේශිය බාලදක්ෂ සාමාජික පදක්කම් මේ පරිදි වේ.

ලොව වැඩිම බාලදක්ෂ සමාජිකයන් සංඛයාවක් ඇති කලාපය ආසියා පැසිපික් කලාපයයි. කලාපයේ වැඩිම සාමාජික සංඛයාවක් ඇති සංගමය වනුයේ ඉන්දුනිසියා බාලදක්ෂ සංගමය වන අතර එය Gerakan Pramuka Indonesia යන නමින් හදුන්වයි, එහි සාමාජිකත්වය මිලියන17ට ආසන්වේ. එසේම උතුරු කොරියව හා ලාඹ්සය යන රට වල බාලදක්ෂ ව්‍යාපාරය පිලිගැනිමකට ලක්ව නොමැත. සහකාර සමාජිකයන් (Associate Members) ලෙස මැකවු හා පොලිනිෂියා රටවල් හැදින්වේ. 

කලාපීය බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය

කලාපය ආසියා පැසිපික් කලාපයේ සමාජික රටවල් 24 මිලියන 29යකට ආසන්න සාමාජික පිරිසක් ඇත. ශ්‍රී ලංකාව අයත් වනුයේ මෙම කලාපයටයි. වර්ග කිලෝමිටර් මිලියන 21ක් පුරා උතුරින් මොන්ගොලියාවත් දකුණින් නවසීලන්තයත් නැගෙනහිරින් ප්‍රෙන්ච් පොලින්ෂියාවත් බටහිරින් පාකිස්ථානයත් මෙහි සීමා මායිම් වේ.

කලාප මහා සමුලුව සඳහා සෑම සාමාජික රටකින්ම සමාජිකයන් 6දෙනෙකුට හා නිරික්ෂන මට්ටමේ නියෝජිකයන් ට මෙයට සහභාගි වේ. මෙම කලාප සමුලුවට සමාන්තරව කලාපිය තරුණ සමුලුව පැවැත්වේ. එයින් ඉලක්ක කරනුයේ සංවිධානයේ තීරණ ගැනිමේ දි තරුණයන් සදහා වැඩි අවස්ථවක් සැලසා ගැනිමය. එසේම කලාපයේ වැඩිහිටි නායකයන් පුහුණු කිරිමේ වැඩසටහන් වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරිම සදහා නායක පුහුණුකිරිමේ පාඨමාලාවද පැවැත්විම සිදුකරයි.
 
කලාපීය කමිටුව වසර 6ක කාලයක් උදෙසා සාමාජිකයන් 10දෙනෙකු සාමාජිකරටවල ඡන්දයෙන් තොරාපත්කරගනු ලබයි. එම 10දෙනාට අමතරය තරැණ සමුලුයෙන් තේරිපත් වු නියෝජිතයන් 6 දෙනාද මෙයට ඇතුලත් වන සාමාජිකරටවල ඡන්දයෙන් තොරාපත්කරගනු ලබයි. එම 10දෙනාට අමතරය තරුණ සමුලුවේ තේරිපත් වු සභාපතිවරයාද ඡන්ද බලය සහිතවම මෙහි සාමාජිකත්වය හිමිවේ.