Translate

Friday, February 20, 2015

නීතිය විනිවිද දුටු දැස්‌ අහිමි බාලදක්ෂයා

නීති පීඨ ඉතිහා‍සයේ පළමු පන්තියේ ගෞරව සාමර්ථ්‍යයක් දිනූ අන්ධ බාලදක්ෂයා

කඳු නැඟ, කඹවල එල්ලී පාගමන් ගිහින් බාලදක්ෂ ජනපති සම්මානයත් දිනලා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ වසර හැට අටකට ආසන්න ඉතිහාස කාලයේ නීති උපාධියේ පළමු පන්තියේ ගෞරව සාමර්ථ්‍යය ලැබූවන් හත් අට ‍දෙනෙකුට වඩා නැත. මහාචාර්ය ජී.එල්.පීරිස්, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර එම හත්අට දෙනා අතරින් ප්‍රකට චරිත දෙකකි.


පසුගිය ජූනි එකොළොස්වන බදාදා සවස් කාලයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයක් පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ඔස්වල්ඩ් ගෝමස් හිටපු අගරදගුරු තුමා ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. උපාධි සහතික ලැබූ දෙසිය පනහක් පමණ වන විද්‍යාර්ථීන් අතර පළමු පන්තියේ ගෞරව සහතික ලැබූවෝ දෙදෙනෙක් වූහ. එසේ පළමු පන්තියේ ගෞරව සහතික ලැබූ දෙදෙනා අතරින් එක් අයකු එම පළමු පන්තියේ ගෞරව සහතිකය ලැබූයේ ලංකා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉතිහාසය පුරාවට සුවිශේෂ සටහනක් ද එක්කරමිනි.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පළමු පන්තියේ ගෞරව සහතිකයක් ලැබූ ප්‍රථම දෘශ්‍යාබාධිත පුද්ගලයා ඔහුය. එපමණක් නොව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහකාර කථිකාචාර්ය ධූරයක් දැරූ දෑසම අන්ධ ප්‍රථම පුද්ගලයා ඔහුය. මෙයට පෙර නීති පීඨයේ අන්ධ අයෙකු කිසිම විටක ඉගැන්වීමේ කටයුතුවල යෙදී නැත. ඔහු මහනුවර අලවතුගොඩ සුපුන් ජයවර්ධනය. දෙදහස් නවය වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වූ සුපුන් පළමු වසර හැර දෙවන තුන්වන, හතරවන වසරවල නීති උපාධි අ‍ෙප්ක්ෂකයින් අතරින් වැඩිම ලකුණු ලැබූ කණ්ඩායම් ප්‍රමුඛයා විය.
සුපුන්ගේ සුවිශේෂත්වය එපමණක් නොවේ. 2005 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු විෂයයන් දහයකට ‘ඒ’ සාමර්ථ ලැබීය. එය දෘශ්‍යාබාධිත සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගයේදී එවැනි සාමර්ථ්‍යයක් ලැබූ ප්‍රථම අවස්ථාව විය. උසස් පෙළ සඳහා දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ සිංහල විෂයන් හැදෑර ඔහු උසස් පෙළ විභාගයේ දී ‘ඒ’ සාමාර්ථතුනක් ලැබීය. එම විභාගයේ දී ඔහු මධ්‍යම පළාතේ හත්වැනියා විය. මුළු ශ්‍රී ලංකාවෙන්ම අනූඑක්වැනියා විය.

ඕනෑම රටක බාලදක්ෂ ව්‍යාපාරයේ නිරතව සිටින්නෙකුට ලබාගත හැකි ඉහළම පදක්කම සහ සම්මානය, ජනාධිපති බාලදක්ෂ පදක්කම සහ සම්මානය වෙයි. 2007 වසරේදී සුපුන් ජයවර්ධන බාලදක්ෂ ජනාධිපති සම්මානය දිනාගත්තේය. ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට බාලදක්ෂ ජනාධිපති සම්මාන පදක්කම හිමිකරගත් දෑසම අන්ධ පුද්ගලයා ඔහුය. ශ්‍රී ලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියාවේ ද එවැනි ඉහළ තත්ත්වයේ බාලදක්ෂ පදක්කමක් හිමිකරගත් ප්‍රථම අන්ධ පුද්ගලයා ඔහුය.

සුපුන් ජයවර්ධන උපත ලැබීමට පෙර ඔහුගේ පියාත් මවත් වාසය කළේ ඕමාන් රාජ්‍යයේය. වික්‍රමසිංහ ජයවර්ධන හෙවත් සුපුන්ගේ පියා එහි වාස්තු විද්‍යාඥයෙකි. චන්දි යසෝදරා නඩුවත්ත වන ඔහුගෙ මව ද පියා හා සමඟ ඕමානයෙහි වාසය කළාය. දරුවා ප්‍රසූත කිරීමේ දින ළං වූ විට චන්දි යසෝදරා, මහනුවර අලවතුගොඩ සිය නිවසට ආවේ තම කුළුඳුල් දරුවා, තමන් උපන් රටේම උපත ලබනු දැකීමට කැමැති වූ නිසාය. දරුවා උපත ලබා මාස තුනකින් ඇය නැවතත් ඕමානයෙහි තම සැමියා වෙත ගියාය.
තුන් මසැති බිලිඳා දීර්ඝ ගුවන් ගමනක යෙදුණ නිසා මවුපියෝ බිලිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනගැනීමට වෛද්‍යවරයකු වෙත රැගෙන ගියහ. ඇසේ සුද නිසා දරුවා උපතින්ම අන්ධයකු බව ඔවුන් දැනගත්තේ එහිදී සිදුකෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදීය.


ජයවර්ධන යුවළ දරුවා මැදිකරගෙන දින ගණනක් නොකා නොබී වැලපුණහ. අවසානයේ ඔවුහු සිත් දැඩිකර ගත්හ. තම අන්ධ පුතා ජීවිතය ජයගන්නා දිරිය මිනිසෙකු බවට පත්කිරීමට ඔවුහු අධිෂ්ඨාන කරගත්හ.
සුපුන් ජයවර්ධන මාස හතරේදී ශ්‍රී ලංකාවට රැගෙන විත් මහනුවර රෝහලේ දී අක්ෂි ශල්‍යකර්මයක් සිදුකළත් එය ද සාර්ථක නොවීය. “පුතා ටිකින් ටික ලොකු වෙද්දී, ඇස් පේන සාමාන්‍ය දරුවෙක් වාගේ සෙල්ලම් කරන්න අපි ඉඩ දුන්නා. එයා කරන්න යන කිසිම දෙයකට අපි එපාය කියන වචනය කිව්වෙ නැහැ. එයාට ඕන දෙයක් කරන්න ඉඩ දීලා අපි හොඳට පරීක්ෂාවෙන් බලාගෙන හිටියා.” චන්දි යසෝදරා පවසන්නේ, සුපුන් කුඩා කාලයේ පටන් ආත්මශක්තිය පිරුණු දරුවෙකු වශයෙන් වර්ධනය වීමට ඉඩහසර සලසා දුන් ආකාරය පිළිබඳවය. “අපි පුතාට ගොඩාක් කතාන්දර කියලා දුන්නා. අපූරු සින්දු පුතා වෙනුවෙන් ගායනා කළා” තම එකම අන්ධ පුතු වෙනුවෙන් මවුපියන් දෙදෙනා පාරමිතා පිරුවේ එසේය.

මේ අතර වික්‍රමසිංහ ජයවර්ධනත්, චන්දි යසෝදරාත් තමන්ගේ එකම පුතා වෙනුවෙන් බ්රේල් ක්‍රමය හදාරන්නට වූහ. “මගේ එක සහෝදරියක් අන්තර්ජාලයට ගිහිල්ලා ජීවිතය සාර්ථක කරගත් අන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු එකතුකළා. ඇමෙරිකාවෙ ජීවත්වුණ අන්ධ තාරකා විද්‍යාඥයකු පිළිබඳ තොරතුරු හොයාගෙන ඇය කිව්වා, අපේ සුපුන් පුතාවත් ඒ වගේ ඉහළටම යවන්න ඕනය කියලා” සුපුන්ගේ ළමා කාලයේ කෙළිලොල්කම නැතිකර දැමීමට අන්ධ බවට නොහැකි විය. ඔහු මිදුල පුරා බයිසිකල් පැද්දේය. බිම වැටී තුවාල වූ විට බෙහෙත් දමාගෙන නැවතත් බයිසිකලය පැද්දේය. සුපුන් තමන්ගේ නිවසට පහතින් පිහිටි වෙල් ඉපැනැල්ලේ දී ගමේ යහළු යෙහෙළියන් සමඟ හොඳ හැටි සෙල්ලම් කළේය.
ආබාධිත පුද්ගලයන්ට ලැබෙන විශේෂ අධ්‍යාපන පහසුකම් යටතේ, සුපුන් අවුරුදු හතරයි මාස නවයේ දී මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඇතුළුවීමට හැකිවිය.

“අපමණ ධෛර්යවන්ත මගෙ අම්ම තාත්තා ‍මගෙ ඥාතීන් එක්ක කිංස්වුඩ් විද්‍යාලයත් මගෙ ජීවිතය ජයගන්න අපමණ ධෛර්යයක් සහ ආලෝකයක් දුන්නා” සුපුන් පවසයි. “පළමුවන වසරේදී ලලිත් දිසානායක කියන ගුරුවරයාගෙන් බ්රේල් ක්‍රමය පිළිබඳව විශේෂ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව පුතාට ලැබුණා.” සුපුන්ගේ පියා පවසන්නේ මුල් කාලයේ සුපුන් අධ්‍යාපනයට යොමු වූ හුරුවූ අන්දම පිළිබඳවය. “සයවැනි වසරේ ඉඳලා මම අනෙක් ළමයි එක්ක සාමාන්‍ය පන්තියක ඉගෙනගත්තා. 6 පවසරේදී පාසලේ බාලදක්‍ෂ කණ්‌ඩායමට බැඳුනා. බාලදක්‍ෂ ක්‍රියාකාරකම්වලදී එයාට තරගකාරී බව තනිව කටයුතු කිරීම වැනි වැදගත් දේවල් ඉගෙන ගන්න අවස්‌ථාව ලැබුණා. මම පාඩම් සටහන් බ්රේල් ක්‍රමයෙන් ලියාගත්තා. විභාගවලදී අනෙක් ළමයින්ට ප්‍රශ්න පත්‍ර බෙදුවට පසුව ගුරුවරු මට ප්‍රශ්න පත්‍රය කියෙව්වා. මම බ්රේල් ක්‍රමයට ලිව්වා” තම ප්‍රාථමික අධ්‍යාපනය එලෙසින් සුපුන් මතකයට නඟයි. 1999 දී ඔහු පස්වැනි වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේය. ඒ වන විට සුපුන් සාමාන්‍ය දැනීම අතින් ඉහළම තැනක සිටියේය. මේ අතර ඔහුගේ මව විවිධ ශිෂ්‍යත්ව විභාගවල උපකාර පොත් ගෙනැවිත් ඒවා ඔහුට කියවා විභාගය සඳහා ඔහු දැනුමෙන් සන්නද්ධ කළාය. පස්වැනි වසර ශිෂ්‍යත්ව විභාගයේ දී ඔහු ලකුණු එකසිය හැත්තෑහතරක් ගත්තේය. එවර පස්වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි හොඳින් දෑස් පෙනෙන කිංස්වුඩ් සිසුන් පරදවා මේ අන්ධ දරුවා විභාගයෙන් තුන්වැනි ස්ථානය ගත්තේය.

සුපුන් ජයවර්ධන පදිංචිව සිටි අලවතුගොඩ නිවසේ සිට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට සැතපුම් දහයක් දුර විය. මුල් වසර දෙකේදී ඔහුගේ මව, ඔහු පාසලට ගෙන ගියාය. “පසුව මම වෑන් එකක පාසල් යන්න පුරුදු වුණා. ඒ හැම දවසකම මගෙ යාළුවො, මගෙ පන්තියේ මගේ ඩෙස්ක් එක ළඟටම මාව ගිහිල්ල ඇරලුවා”, සුපුන් කෘතඥපූර්වකව පවසයි. “දෙදහස් එක අවුරුද්දෙ, ඒ කියන්නෙ සුපුන් හත්වෙනි වසරෙ ඉගෙනුම ලබද්දී කිංස්වුඩ් විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. 2002 වසරේ බළපිටියෙ පවත්වපු හයවන ජාතික බාලදක්ෂ ජම්බෝරියට ද පුතා ගියා” සුපුන්ගේ මව පවසයි. වසරක් පාසා පැවැත්වෙන ජේ‍.ජේ.පී.දෙහිගම අනුස්මරණ කඳු ගවේෂණ තරගාවලිය සඳහා 2004 වසරේදී ඔහු කණ්ඩායමක් සමඟ හන්තාන කන්ද තරණය කළේය. එවර වසරේ හොඳම කඳු ගවේෂණ කණ්ඩායම වූයේ සුපුන් ජයවර්ධන සහභාගී වූ කණ්ඩායමය.

කිංස්‌වුඩ් එකේ ලලිත් දිසානායක සර් තමයි මේ පදක්‌කම් සම්මාන තෑගී උපාධි අතරට යන්න මට මුල් අඩිතාලම දමලා දුන්නේ. කපිල ප්‍රියන්ත සර් බාලදක්‌ෂ පුහුණු කදවුරු වලදී මට තනිව දෙපයින් නැගිටින්න පුහුණු කළා. බාලදක්‍ෂ කණ්‌ඩායම එක්‌ක එකතු වෙලා ඉද්දි "සුමුදුට බෑ" කියලා මොන අවස්‌ථාවකදීවත් කිව්වේ නෑ. සුමුදු තනිව සපත්තුවල ලේස්‌ දාන්න, සුමුදු තනිවම සපත්තු දාන්න, වෙලාව, වේගය බොහෝම වැදගත්. තනිවම හොයාගන්න, කියලා කපිල සර් කියපු දේ මට මේ දැනුත් ඇහෙනවා. ආසියාවේ ප්‍රථම ජනාධිපති පදක්‌කම් ලාභී දෘෂ්‍යාබාධිත බාලදක්‍ෂයා ලෙස පිදුම් ලබන්නට මට ශක්‌තිය පන්නරය දුන්නේ, කපිල සර් ඇතුළු කිංස්‌වුඩ් මාතාව. මම අදටත් නුවර යද්දි මගේ ඉස්‌කොලෙට වැදලා යන්නේ. මගේ මුළු ජීවිතයම ගොඩ ගත්තේ මා තුළ මහා ආත්ම විශ්වාසයක්‌ ගොඩනැගුවේ කිංස්‌වුඩ් විද්‍යාලය නිසයි."  ඒ් සුපුන්ගෙ අදහස්.

ජනාධිපති බාලදක්ෂ සම්මාන පදක්කම දිනාගැනීම සඳහා කඹවල එල්ලී ගමන් කළ යුතු විය. ජල ක්‍රීඩාවල නිරත විය යුතුය. ප්‍රථමාධාර දැනුම අවශ්‍ය විය. සුපුන් ජයවර්ධන අන්ධ සිසුවෙකු වූවත් ඒ සියල්ලක්ම අඩුවක් නැතිව සපිරුවේය. ඒ සඳහා විශේෂ පාගමන් ද කළ යුතු විය. ඔහු තවත් දෙදෙනෙකු සමඟ ඇඳුම්, ආහාර පාන හට්ටි මුට්ටි ද ඔසවාගෙන මහනුවර සිට තැන්නකුඹුර හරහා පල්ලකැලේ බාලදක්ෂ මූලස්ථානයට ගමන් කළේය. එදින රාත්‍රියේ, එහිදී ආහාරපාන පිළියෙල කර, අනුභව කර, එහි ගතකර කටුගස්තොට හරහා මහනුවර බාලදක්ෂ මූලස්ථානය වෙත පැමිණියේය. “පස්සෙ මම තවත් යාළුවෙකුත් එක්ක කිලෝ මීටර් තිස් දෙකක් වන “ධීරයා” පාගමනත් නිමා කළා”, සුපුන් ජයවර්ධනට ජනාධිපති බාලදක්ෂ සම්මාන පදක්කමට හිමිකම් කීමට ලැබුණේ එවැනි වීර්ය වික්‍රමාන්විත සපිරීමෙන් පසුවය. 2004 වසරේ පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු 08 වැනි දින දක්වා ජපානයේ පැවැති බාලදක්ෂ උත්සවයකට ද සුපුන් සහභාගී විය.

“කිංස්වුඩ් එ‍ෙක්දි මම වූෂූ ස‍ටන් කලාව ද ඉගෙනගත්තා. මේක හුඟාක් වෙලාවට ඇස් බැඳගෙන කරන සටන් කලාවක් නිසා මට ඒක ඉගෙනගන්න ගොඩාක් පහසු වුණා. ඇස් පේන්නෙ නැතිවුණාට සුළං පහරේ ශබ්දය අනුව අනෙක් කෙනා ගහන පහර වළක්වා ගන්න පුළුවන් වුණා” සුපුන් පවසයි. “කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබද්දි සෑම පන්තියකම ඉස්සරහම ඩෙස්ක් එක මට ලැබුණා. හැම ගුරුවරයකුම උගන්වද්දි එක පාඩමකින් තවත් පාඩමකට ගියේ ඒ පාඩම හොඳින් මම අවබෝධ කරගත්ත ද කියලා දැනගත් පසුවයි. ඇඩ්වාන්ස් ලෙවල් කරද්දි ආර්.මිත්‍රපාල, ජයලතා කුලසිංහ, උපාලි දිසානායක ගුරුවරුන් වගේම, විදුහල්පති රංජිත් චන්ද්‍රසේකර ගුරු පියාණන් ද මට උදව් කළා” සුපුන් ස්තුතිපූර්වකව පවසයි. ඒ සියල්ල අතරම සුපුන් සෞන්දර්ය විෂයන් කෙරෙහි ද දක්ෂතාවක් දක්වයි. වයලීනය සහ ගිටාරය වාදනය කිරීමට ඔහුට මැනවින් පුළුවන. චිත්‍රශිල්පය කෙරෙහි ද ඔහු ළැදියාවක් දක්වයි. “පුතා වයස අවුරුදු හත කාලයේ දී මුහුදු වෙරළ වගේ ස්වභාවික දර්ශන අපූරුවට සිතුවම් කළා. රැලි නඟින මුහුද, දිගු වෙරළ, වැටකෙයියා ගස් ඒ චිත්‍රවල තිබුණා. ඒ ඔක්කොම අපි කියපු කතාවලින් ඔහු හිතේ මවාගත්ත දේවල්” සුපුන්ගේ මව පවසයි. කුඩා වියේ පටන් සුපුන්ගේ ආශාව වූයේ නීතිය ඉගෙනීමටය. කලා විෂයයන් තෝරාගන්නේ ඉගෙනීමට එතරම් දක්ෂතාවක් නැති අය කියා මතයක් ඇති නිසා සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු ඉහළින්ම සමත්වීමට උත්සහ කළේය. එම උත්සහයේ ප්‍රතිඵල වශයෙන් ඔහුට විෂයන් දහයටම ‘ඒ’ සාමර්ථ්‍යය ලැබිණි. උසස් පෙළට ඔහු තෝරාගත්තේ නීතිය හැදෑරීමට අවශ්‍ය විෂයයන්ය. ‘ඒ’ සාමාර්ථ තුනක් ලැබූ ඔහු 2009 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් විය.

සුපුන් නීති පීඨයට ඇතුළු වූ පසු නිවසේ අය අලවතුගොඩ පදිංචිය තාවකාලිකව අත්හැර කිරිබත්ගොඩ පදිංචියට පැමිණියහ. “මුල්ම දවස්වල අම්ම කිරිබත්ගොඩ ඉඳල කොළඹ විශ්වවිද්‍යාලයට රැගෙන ආවා. පසුව ගෙනගියා. කඩුගන්නාවෙ ඉඳල අපේ පැකල්ටියට ආපු මලිත් කියල යාළුවෙක් අපේ ගෙදර නතරවෙන්න ආවා. ඒක නිසා අම්මගේ ගමන නතර වුණා” සුපුන් පවසන්නේ නිවසේ සිට විශ්වවිද්‍යාලයට ආගිය අන්දම පිළිබඳවය. යහළුවන් සමඟ ගමන් කිරීම ආරම්භ කළ පසු සුදු සැරයටිය අත්හැර දැමූ බව සුපුන් “යාළුවො මගෙ උදව්වට හිටියා. ඒක නිසා අමුතු ආධාරකයක් ඕනෑවුණේ නැහැ. ඒත් මම දැන් සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් නීති පීඨයේම වැඩකරන නිසා ආයෙත් සුදු සැරයටිය අතට ගත්තා”.
දෑසම නොපෙනෙන සුපුන් නීති උපාධිය හැදෑරීමට පටන්ගත්තත් එහි පුස්තකාලයේ බ්රේල් ක්‍රමයෙන්. නීතිය ගැන ලියැවුණ පොත් තිබුණේ නැත. එනිසා එවැනි නීති පොත් බොහෝමයක් ඔහුට ඇසෙන ලෙස කියෙව්වෙ ඔහුගේ අම්මාය. සුපුන් නීති පීඨයේ තුන්වැනි වසරේ ‍ඉගෙනුම ලබද්දී ඕමානයේ සේවය කළ සුපුන්ගේ පියා ද ලංකාවට පැමිණියේ සුපුන්ගේ ඉගෙනීමේ කටයුතුවලට සහාය දීමටය.

“අන්ධ අය කතාකරන පිළිවෙළින් ඇවිදින පිළිවෙළින් ඔහු අන්ධයෙක් බව කියන්න පුළුවන්. හැම අන්ධ කෙනෙකුටම ඒවා ‍පොදුයි. නමුත් ඒවා වෙනස් කරන්න පුළුවන්. මගේ අම්ම තාත්තා මගෙ ළඟ තිබුණ එම “අන්ධ පුරුදු” එක් එක් අභ්‍යාසවලින්ම ඉවත් කළා. දැන් කාටවත් මාව අන්ධ පුද්ගලයෙක් කියල එකපාර අඳුනගන්න අමාරුයි.” තම දෙමවුපියන් තමන් වෙනුවෙන් සිදු කළ කැපකිරීම් ගැන සුපුන් කතාකරන්නේ අප්‍රමාණ භක්තියකිනි.

“උපතින්ම දෑසම අන්ධ මට මෙතැනට එන්න මගෙ නෑදෑයො, අලවතුගොඩ සුපුන්, චන්දන වගේ යාළුවො විතරක් නොවෙයි මාර්ග අංක 154 කිරිබත්ගොඩ - අඟුලාන බස්වල රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තුරු මට ගොඩාක් උදව් කළා” සුපුන් කියන්නේ ඒ සැමදෙනාම තමාගේ ජයග්‍රහණයට සාංගික වූ බවය.
සුපුන් 2010 වසරේ හොඳම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා සම්මානය ලබාගත් අතර 2011 වසරේ ඒ.බී.කුරේ අනුස්මරණ තිළිණය සහ පී.එච්.ඩී.කරුණාතිලක අනුස්මරණ තිළිණය ලැබීය. පසුගිය බදාදා සවස පැවැති නීති පීඨයේ උපාධි ප්‍රදාන උත්සවයේ දී සුපුන් පළමු පන්තියේ ගෞරව උපාධිය සමඟ, ව්‍යවස්ථා නීතිය පිළිබඳව ප්‍රධාන විනිසුරු එච්.එන්.ජී.ප්‍රනාන්දු අනුස්මරණ තිළිණය, ජාත්‍යන්තර නීතිය පිළිබඳව විනිසුරු සී.ජී.වීරමන්ත්‍රී අනුස්මරණ තිළිණය, පරිපාලන නීතිය පිළිබඳ විනිසුරු මාර්ක් ප්‍රනාන්දු අනුස්මරණ තිළිණය, විශ්වලිංගම් සහ රාජකෝනම් බුවනසුන්දරම් අනුස්මරණ රන් තිළිණය, නීතිය සඳහා ප්‍රදානය කරන කේ.සිංබා අනුස්මරණ තිළිණය, පොන්නම්බලම් අරුණාචලම් අනුස්මරණ තිළිණය, හොඳම ශිෂ්‍යයා වෙනුවෙන් නීති පීඨාධිපති තිළිණය ද හිමිකර ගත්තේය.

සුමුදුගේ වචන ස්‌ථිරය. දැඩිය. ඔහු මේ වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහය කථිකාචාර්ය වරයෙකුව කටයුතු කරයි. අන්තර්ජාතික නීතිය සහ තානාපතිවේදය පිළිබදව ඩිප්ලෝමාවක්‌ ද හදාරයි. ඔහුට සිහිනයක්‌ නැතත් ජීවිතය අර්ථවත් කර ගැනීමේ අරමුණක්‌ තිබේ. වසර හතරක්‌ නීති පීඨයේ ඉගෙනුම ලැබු සිසුන් අතරින් සුවිශේෂී දක්‍ෂතා දැක්‌වු සිසුන්ගේ නම් පෙළ කියවද්දී සුමුදු ජයවර්ධනගේ නම තුන් වරක්‌ එක පෙළටත්, තවත් ක්‍ෂණයකින් සිවු වරක්‌ එක පෙළටත් කියවිණි. මෙම වසරේ නීති පීඨයේ සුවිශේෂී දක්‌ෂතා වෙනුවෙන් පිරිනමන පදක්‌කම් සහ ත්‍යාග එකොළාහෙන් දහයකම හිමිකරුවා ඔහු ය. එහිදි ලද ඔහු ලද පදක්‌කම් හා ත්‍යාග නම්, මෙසේයි.

* අණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නීතිය 11 වැඩිම ලකුණු සදහා පිරිනමන අග විනිසුරු එච්.එන්.පී. ප්‍රනාන්දු අනුස්‌මරණ ත්‍යාගය

* පොදු අන්තර් ජාතික නීතිය වැඩිම ලකුණු සදහා පිරිනමන විනිසුරු සී.ජී. වීරමන්ත්‍රි ත්‍යාගය

* පරිපාලන නීතිය වැඩිම ලකුණු සදහා පිරිනමන විනිසුරු මාක්‌ ප්‍රනාන්දු ත්‍යාගය

* විශිෂ්ටතම ප්‍රථිඵල සදහා පිරිනමන ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් අනුස්‌මරණ ත්‍යාගය හා රන් පදක්‌කම.

* විශිෂ්ටතම ප්‍රථිඵල සදහා පිරිනමන කේ. සින්යා ත්‍යාගය සහ රන් පදක්‌කම

* ප්‍රථම වසරේ විශිෂ්ට ප්‍රථිඵල සදහා පිරිනමන ඒ.බී. කුරේ අනුස්‌මරණ ත්‍යාගය

* තුන්වන වසරේ විශිෂ්ටතම ප්‍රථිඵල සදහා පිරිනමන පී.ඩී.එච්. කරුණාතිලක අනුස්‌මරණ ත්‍යාගය

* හතර වන වසර විශිෂ්ටතම ප්‍රථිඵල සදහා පිරිනමන විශ්වලිංගම් සහ රාජකුණාම් බුවනේ සුන්දරම් අනුස්‌මරණ රන් පදක්‌කම

* පීඨයේ විශිෂ්ටතම ශිෂ්‍යා සදහා පිරිනමන නීති පීඨ පීඨාධිපති සම්මානය සහ රන් පදක්‌කම

* වසර හතරේ හොදම ලකුණු ලැබු ශිෂ්‍යයාට හිමි රන් පදක්‌කම සහ නීතිවේදී ප්‍රථම පෙළ උපාධිය

එපමණක්‌ ද නොව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ 1947 - 2014 දක්‌වා කාලය තුළ ප්‍රමුඛ පෙළ උපාධිය ලබා ඇති අට දෙනා අතරට එක්‌ වීමට ද සුමුදුට භාග්‍ය හිමි විණි.
සුපුන් ජයවර්ධන මේ වනවිට කොලඹ විශ්ව විද්‍යලයේ නීති පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කරනු ලැබේ. මේ සා දැනුම් සම්භාරයකට උරුමකම් කියන්නට සුමුදුට හැකි වුයේ ඔහුගේ ඇති අධිෂ්ඨානයත්, උත්සාහයත් සාමුහිකත්වයේ බැදීමත් නිසාවෙනි. අවශ්‍ය උත්සාහය පමණි. දිරිමත් බාලදක්ෂයෙකු කිසිකලෙකවත් ආබාධිතයෙක්‌ නොවේ. ඔහු සැබෑම බාලදක්ෂයෙක් වන්නේ ඒ් නිසාවෙනි. සුපුන් බාලදක්ෂයාගේ ජීවිතාදර්ශය, සෙසු සියලු දෙනා අාදර්ශයට ගතයුත්තේ මේ නිසා බව අපි තරයේ විශ්වාස කරමු. 



 

No comments:

Post a Comment