Translate

Sunday, November 20, 2016

හර්ෂණ කරුණාතිලක නැමති බාලදක්ෂයා

මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය ආදී සිසුවෙකු වන හර්ෂණ කරුණාතිලක මහතා ඉන්දුනීසියාවේ , ජකාර්තා නුවර පැවති IMA Film Festival සම්මාන උළලේදී, 'හොඳම කැමරා අධ්‍යක්ෂණය' වෙනුවෙන්, රටවල් 155 ක් අභිබවමින් රන් සම්මානය දිනා ගැනීමට සමත් වී ඇත. ඔහු කැමරා අධ්‍යක්ෂණය කරන ලද 'සදී' චිත්‍රපටය වෙනුවෙන් මේ සම්මානය හිමි වී ඇති අතර, මෙය ඔහුගේ ප්‍රථම ප්‍රධාන කැමරා අධ්‍යක්ෂණයයි. මව් සෙනෙහස නොලත් වැදී දරුවෙකුගේ අනුවේදනීය කතාවක් ඇසුරින් නිර්මාණය වූ 'සදී' චිත්‍රපටයේ රංගන දායකත්වය ජීවන් කුමාරතුංග, රොෂාන් පිලපිටිය ඇතුළු පිරිසයි. මීට අමතරව ආදී වාසීන් පිරිසක් ද මෙහි රංගනයට දායක වීම විශේෂ සිදුවීමකි.

පරිගණක ආයතනයක සේවය කළත් මගේ හිත තිබුණේ කලාවට. එදා තමයි මං මුලින්ම සිනේ කැමරාවක් දැක්කේ. බුද්ධික මංගල තමයි මාමලගේ ගෙදර රූ ගත කරපු නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂවරයා. මං ඔහු ළඟට කිට්ටුවෙලා කැමරාව දිහා ඇස් නොපියා බලන් හිටියා. එදා කැමරාව දෙස නෙත් නොපියා බලා සිටි හර්ෂණ කරුණාතිලක අද සහාය කැමරා අධ්‍යක්ෂවරයෙක්. නූතන තාක්ෂණික කැමරා මෙවලන් පිළිබඳ හසල දැණුමක් ඇති ඔහු මේවන විට ෆයින් විෂන් ආයතනයේ සේවය කරයි. චිත්‍රපට දෙකක කැමරා අධ්‍යක්ෂ ලෙසත් චිත්‍රපට 14 ක සහ එක් ටෙලි නාට්‍යක සහාය කැමරා අධ්‍යක්ෂ ලෙසත් ටෙලි නාට්‍ය පහකට නිර්මාණ ශීලී දායකත්වයත් සපයා තිබෙනවා.

* අපි මේ කතාව ඔබේ පාසල් කාලයෙන්ම අරඹමු?
මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. බාලදක්ෂ ව්‍යාපාරය ඔස්සේ කලා කටයුතු සඳහාත් සහභාගි වුණා. පාසැල් විෂය බාහිර කටයුතු වලදී ඉමහත් උද්යෝගයෙන් කටයුතු කල ඔහු ජනාධිපති බාලදක්ෂයෙක්. පාසල් කාලයේ සිට ම කලාවට මෙන්ම පරිගණක පැත්තටත් ලැදියාවක් තිබුණු නිසා ඒ ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය ලබා, තොරතුරු තාක්ෂණ ආයතනයක වැඩ කළා. අහම්බෙන් මට අවස්ථාවක් ලැබුණා දර්ශන තලයකට යන්න, මේ දර්ශන තලය තිබුණෙ තිස්ස විජේසිංහ මගෙ මාමගෙ ගෙදර. මෙහිදී මට මුණ ගැහුණු බුද්ධික මංගල අයියා තමයි මාව කලාවට ගේන්නේ. එයා මාව සී පික්සල් ආයතනයට හඳුන්වා දුන්නා. මේ ආයතනයේ සංස්කරණ සහාය ශිල්පියෙක් ලෙස කටයුතු කරද්දි මගේ නම පළමුවෙන් පළවුණේ ටිකිරි හපන්නු කියන ටෙලි නාට්‍යයෙ. ආලෝක කරන සහායක ශිල්පි, අහංකාර නගරය. ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම, දිය යට ගිනි, ලොක්කයියා. කැමරා සහායක, සුන්දරයි ජීවිතේ යන ටෙලිවල මගේ නම් පළවුණා. මේ අවස්ථා මට ලබා දුන්නේ නිෂ්පාදන කණ්ඩායම බාරව සිටි පාලිත ගොඩගේ මහත්තයයි.

* සිනමාකරණයට දොර විවර වෙන්නෙ කොහොමද?
ටෙලි නාට්‍ය කරගෙන යන අතරෙ මට මුණ ගැහෙන රොහාන් වැලිවිට මහත්තයා තමයි මාව සිනමාව පැත්තට යොමු කළේ. කැමරා අධ්‍යක්ෂ එම්. ඒ. ගපූර් මහතාගේ සහායක ලෙස වස්සානේ සෙනෙහස චිත්‍රපටයේ තමයි පළමුවෙන් වැඩ කළේ. දැනට චිත්‍රපට 14 ක කැමරා සහායක ලෙස වැඩ කර තිබෙනවා. සදී, සූම් යන චිත්‍රපට දෙකේ කැමරා අධ්‍යක්ෂක ලෙස වැඩ කළා.

* මෙතෙක් වැඩ කරපු චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් වඩා කැමති කා සමඟ වැඩකරන්නද? ඒ ඇයි?
වැඩ කරපු හැමෝටම කැමතියි. ඒ අතරින් වී. සිවදාසන්, සුදේශ් වසන්ත පීරිස්, චන්ද්‍රරත්න මාපිටිගම, සනත් ගුණතිලක යන මහත්වරුන් සමඟ වැඩ කරන්න වඩාත් කැමතියි. එයට හේතුව තමයි, ඔවුන් හරිම සැහැල්ලුවෙන් වැඩකරන්නේ. අනික ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි.

* ගමේ අය හැරුණුකොට වැඩ කරන්න කැමැති අධ්‍යක්ෂකවරු කවුරුන්ද?
තව බොහෝ අත්දැකීම් ලබාගැනීම සඳහා තිසුල දීප තඹවිට, ජයන්ත චන්ද්‍රසිරි, ධර්මසේන පතිරාජ මහත්වරුන් සමඟ වැඩකරන්න ලැබුනොත් කැමතියි.

* රැකියාව පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
ඇත්තටම ඔව්. සිහිනය දිගේ එන්න, දෝණි ,පරපුර, රන්ජා, ශ්‍රීමත් අනගාරික ධර්මපාල, ඇතුළු චිත්‍රපට රැසකට සහය කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා. මම හරිම විනෝදෙන් මේ වැඩේ කරන්නේ. මං ගැන වඩාත් දැන ගන්නේ ගිටාර් එකෙන්. කොටින්ම කිව්වොත් ගිටාර් එක මට මේ ක්ෂේත්‍රයේ සැරිසරන්න බොහෝ උපකාරි වුණා.

* අමතක නොවන සිදුවීමක් ගැන කිව්වොත්?
එදා හරිම සුන්දර දවසක්, මං මාමලගෙ ගෙදර ආවෙ හරිම ආශාවෙන්. පුංචි කාලෙ ඉඳලා කලාවට ආදරය කළ මට නළු නිළි පිරිසක් මුණ ගැහෙන ආරංචිය හිත සතුටින් පිරෙව්වා. ක්ලීටස් මෙන්ඩිස් , ජී. ආර්. පෙරේරා, මුතු තරංඟා වගේ අය එදා එතැන හිටියා. මම වැඩ කළ පළමු ටෙලියෙ (අහංකාර නගරය) ආලෝක කරන සහාය ශිල්පියෙක් ලෙස වැඩ කරමින් හිටියෙ, කැමරා අධ්‍යක්ෂ ජනක චමින්ද අයියා කිව්වා ලයිට් එක ඕෆ් තියන්න කියලා. මම පැනපු ගමන් ලයිට් එක ඕෆ් කළා. ළඟ හිටිය කිහිප දෙනෙකුට හිනාත් ගියා, මට ගානක් වුනේ නැහැ. ජනක අයියා කිව්වා ලයිට් එක දාලා මා දිහා බලන්න කියල, එයාට අවශ්‍ය විදිහට එළිය හදාගත්තා. ඊට පස්සෙ කෑම කන වෙලාවෙදි මට ඒ දේ පැහැදිලි කරලා කියලා දුන්නා. කට්ටිය හිනා වුනේ ඇයි කියලා තේරුනේ එතකොටයි.

* හර්ෂණ ඔබට පැවරුණු රාජ කාරිය පිළිබඳ පැහැදිලි කළොත්?
යම් දර්ශනයක් පටිගත කරන්න අවශ්‍ය ආකාරයට කැමරාවට ලෙන්ස් යොදා සුදානම් කර තිබීම, ආලෝක තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම, අනවශ්‍ය දේ රූප රාමුවට එකතු වෙනවද බැලීම, රංගන ශිල්පීන් සමඟ සුහදව කටයුතු කිරීම වගේ දේවල් මගෙන් සිදුවිය යුතුයි.

* කැමරාකරණය ඔබ විග්‍රහ කරන්නෙ මොන ආකාරයටද?
ඉතා සරලව කිව්වොත්, තේමාවට ඔබින රූප රාමු ඔස්සේ ප්‍රේක්ෂකයාව ග්‍රහණය කර තබා ගැනීම.

* පවුලෙ විස්තර කියමු?
මම විවාහකයි. මගේ බිරිඳ බවිත්‍රී මධුපාණි.

* අනාගත බලාපොරොත්තුව?
අත්දැකීම් තුළින් ලද දැනුම සහ මගේ නිර්මාණ ශීලී හැකියාවෙන් කැමරා ශිල්පියකු ලෙස සිනමා නිර්මාණයකට දායකත්වය දෙන්න.

* හර්ෂණ මේ ආ ගමනට සහාය වූවන්ට ස්තූති කරමු?
ආදරණීය මවුපියන්, තිස්ස විජේසිංහ, බුද්ධික මංගල, අනුෂ ජයවර්ධන, සුචිත රණසිංහ, රොහාන් වැලිවිට යන මහත්වරුන්, මට මේ ගමන් මගේ එන්නට ගුරුහරුකම් දුන් සැමට ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

විශේෂ ස්තූතිය

No comments:

Post a Comment