Translate

Wednesday, February 15, 2017

ඩී. එෆ්. කාරියකරවන නැමති බාලදක්ෂයා

ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයා

දශක කිහිපයකට පෙර, ජීවන රඟමඬලේ නෙක් ඉසව් සමතික්‍රමණය කරමින්, සිය සහජ හැකියාවන් මගින් ඔබ වෙත සපැමිණි ඔහු, ඩැනියෙල් ෆැන්සිස් කාරියකරවන නම් වෙයි. එසේත් නැත්නම් ඩී. එෆ්. කාරියකරවන යැයි පැවැසුවහොත් ඔබ හොඳින් ම හඳුනනු ඇත. මෙරට  පුවත්පත් ඉතිහාසයේ අද්විතීය නමක් සටහන් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන මහතා 2015-04-22 අභාවප්‍රාප්ත වුණා. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 94 ක්. 1922 වසරේ පෙබරවාරි 8 වැනිදා මීගමුව - කුරණ ප්‍රදේශයේ ඉපදුණු ඩී.එෆ්. කාරියකරවන බෝලවලාන - කතෝලික පිරිමි පාසලෙන් සහ මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබාගත්තා.  ඔහු දශක 8 කට ආසන්න කාලයක් පුවත්පත් කලාවේ නිරතවුණේ මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක කතෘත්වයද දරමින්.

කෘතහස්ත ලේඛකයකු, සිළුමිණ සහ ජනතා යන පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයකු වූ ඔහු, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ලේකම්, සභාපති, විධායක අනුශාසක යන නිලතල ද හොබවා තිබේ. මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි පතාක යෝධයකු වූ කාරියකරවන මහතා, අන්තර් ජාතික මාධ්‍ය සංවිධානයේ උප සභාපති, ඉන්දු – ලංකා මාධ්‍ය සංගමයේ සභාපති සහ ආසියානු මාධ්‍යවේදීන්ගේ සංගමයේ මහලේකම් යන තනතුරු හොබවමින්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකර තිබේ. ශ්‍රී ලංකා පත්‍ර කලා විද්‍යාලයේ අධිපති මෙන් ම, කාරියකරවන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ විදුහල්පති වශයෙන් ද, මාධ්‍ය අත්පොත් තබන්නන්ට ඔහුගෙන් ලැබුණු ගුරු හරුකම් අප්‍රමාණය. අද වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනපි‍්‍රයත්වය ලබන බොහෝ පුද්ගලයන් ඔහුගේ ද ගෝලයන් ය.

"මං ඉපදුණේ මීගමුව කුරණ කියන ප්‍රදේශයේ. ඒ 1922 පෙබරවාරි 08 වැනිදාවක. මගේ පියා නාවක්කඩුවේ දුම්කොළ වැවීමේ නිරත වූ ව්‍යාපාරිකයෙක්. මං මුලින්ම බෝලවලාන කතෝලික පිරිමි පාසලට ඇතුළත් වෙලා, ජ්‍යෙෂ්ඨ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සෙ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ හැදෑරීම් කළා.  මේ කාලෙදී මට ශිෂ්‍යත්වයක් ලැබිලා කළුතර බාලදක්‍ෂ කොළනියට ඇතුළු වීමට ඉඩකඩ ලැබුණා. එහිදී බාලදක්‍ෂ ව්‍යාපාරය හා සම්බන්ධ කටයුතු කිරීමට සහ ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය ලැබුවා.  ඒ වගේ ම මං කටුනායක ඉංගී‍්‍රසි පාසලෙන් පවා ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබූ කෙනෙක්. අධ්‍යාපන කටයුතු මේ විදිහට කෙරීගෙන යද්දී, ගුරු විද්‍යාල ප්‍රවේශයට පෙනී සිටියා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට 1942 – 1944 යන කාලය ඇතුළත, පේරාදෙණිය ගුරු ඇබෑසියේ නේවාසික පුහුණුව ලැබීමට හැකියාව ලැබුණා.
මේ සියලු දෙයින් පස්සෙ, ද්වී භාෂා ගුරුවරයෙක් විදිහට, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ශාඛාවක් වුණ, ජාඇළ, තුඩැල්ලේ පිහිටා තිබෙන ක්‍රිස්තුරාජ විද්‍යාලයට ඇතුළත් වීමේ භාග්‍යය ලැබුවා."

ඔහු සිය ජීවන ගමන් මඟ ඒකාලෝක කරගනු ලැබුවේ ඒ ආකාරයටය. ඉගෙනීමෙහි සමතකු වූ ලේඛනයට මෙන් ම චිත්‍ර කලාවට ද දක්‍ෂයකු විය. ඒ අනුව මිහිර සඟරාව ඔහුගේ ලේඛන දිවියේ කඩඉමක් බවට පත් වුණි.
“මේ මගේ පත්තර දිවියේ මතක සටහනක්.

මං දිනමිණට ආව මුල් කාලෙදි, පත්තර කාර්යාලයේ හිටිය ලොක්කන්ට සිංහල හොඳට බෑ. ඩී.එස්. සේනානායක මහත්තයා මියගිය ගමන් ම සෝල්බරි සාමිවරයා අගමැති ලෙස ඩඩ්ලි සේනානායක මහත්තයව පත් කළා. ඒ වෙලාවෙ ඒ සඳහා හිටිය සුදුස්සා වුණේ ජෝන් කොතලාවල මහත්තයා. මේ තනතුර ඩඩ්ලිට දීම නිසා අවුල් සහගත තත්ත්වයක් ඇති වුණා. මේ කාලෙදිම ‘අගමැති පොරය’ කියලා කොතලාවල මහත්තයා ඩඩ්ලිට විරුද්ධව කැළෑ පත්තරයක් ගැහුවා. ඒත් පස්සෙ දෙන්නම යාළු වුණා. පස්සෙ ජෝන් කොතලාවල ඕස්ට්‍රේලියාවට ගියා. ටික කාලෙකට පස්සෙ නැවැත ආවා.

ඒ කාලෙ දිනමිණ ප්‍රධාන උප කර්තෘ වුණේ මං. කොතලාවලගේ පැමිණීම ගැන ‘සර් ජෝන් පෙරළා පැමිණේ’ යනුවෙන් ශීර්ෂ පාඨයක් යොදලා, මං ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. ඒ කාලෙ දිනමිණ පළමු මුද්‍රණය හවස 6.30 වන විට සූදානම් කරනවා. එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා ‘පෙරළා පැමිණේ’ කියන වචනය දැකලා බයවෙලා. එයා ඒ වචනෙ තේරුම් අරන් තිබුණේ ජෝන් කොතලාවල ආණ්ඩු පෙරළියකට පැමිණිලා කියලයි. එයාට මං ඒකෙන් කියන්නේ ‘‘comming back’’ කියන තේරුම යයි කියා දුන්නා. ඒත් මට ශීර්ෂ පාඨයේ වචන වෙනස් කරන්න වුණා.”


1980 දී දිනමිණේ ප්‍රධාන උප කර්තෘ විදිහට වැඩ කරද්දී ජනතා පත්‍රයේ කර්තෘ විදිහට මාව පත් කළා. මං බෑ කිව්වා. ඒත් රංජිත් විජේවර්ධන මහත්තයා කිව්වා ‘ඔයාට ඒක බාර ගත්තොත් හොඳ අනාගතයක් තියේවි. ඒ නිසා බාර ගන්න’ කියලා. මං ඒ කීම අහලා , කර්තෘ පදවිය බාර ගත්තා. ටික දවසකින් ‘යොවුන් ජනතා’ හා ‘ක්‍රීඩා’ පත්තර ආරම්භ කළා. ඔය පත්තර ටික බලා ගන්නා අතරතුරේදී සිළුමිණ පත්තරේ කර්තෘ තනතුර ගන්න සිදු වුණා. ඉන් පස්සෙ මගෙ වැඩි අවධානය යොමු වුණේ සිළුමිණටයි.

මේ කාලෙදි සහකාර වැඩ කළමනාකරු විදිහට සේවය කළේ ද්‍රවිඩ ජාතිකයෙක්. එයා කිව්වා ‘ඕනෑම උදව්වක් කරන්නම්, අලුත් විශේෂාංගයක් පටන් ගන්න’ කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට 1980 දී මං සිළුමිණ කතුවැකිය මගේ අත් අකුරින්ම පළ කරන්න කටයුතු කළා. මේ ආකාරයට කතු වැකිය මීට පෙර හෝ පසු කිසි ම කතුවරයෙක් තමන්ගේ අත්අකුරින් ඉදිරිපත් කළේ නෑ.

මේ විදිහට කතු වැකිය පළ කිරීම හේතුවෙන් මට පුද්ගලික වශයෙන් පාඩු බොහොමයක් සිදුවී තිබෙනවා. මං කොලු කාලෙ ඉඳන් ම මගේ හොඳ ම යාළුවෙක් වුණ ආර්.ප්‍රේමදාස මහත්තයා මා එක්ක තරහ වුණෙත් කතු වැකිය නිසයි. ‘ගම් උදාව‘ මඟින් අනවශ්‍ය වියදම් සිදුවන බවට මා ලියූ කතුවැකිය මගේ අත් අකුරින් පළ කිරීම මේ අමනාපයට මූලිකම හේතුව වුණා.”
ලේඛන කලාවට අති දක්ෂ ඩී.එෆ්.කාරියකරවන මහතා ලියූ ‘වස්සා පුළුස්සා’ කෘතියට මඟ සැකැසූ රසවත් කතාවක් ඇත. ඔහු සිය හඬ ඒ වෙනුවෙන් අවදි කළේ මෙසේ ය.

“1956 මැතිවරණයට පෙර සර් ජෝන් බාබක්‍යු පාටියක් දුන්නා. එතන්දි කළේ වස්සෙක්ව පුළුස්සලා මේ පාටිය දුන්න එකයි. එවකට දිනමිණේ සිටිය ප්‍රවෘත්ති කර්තෘතුමා සහ මං එකතුවෙලා වස්සා පුළුස්සා ඡායාරූපය පළ කළා. ඒක දැක්ක ජේ.ඇල්.ප්‍රනාන්දු කියන ප්‍රධාන විධායක මහත්මයට කේන්ති ගිහින්, පසුවදා සන්ධ්‍යාවෙම අපි දෙන්නව සර් ජෝන්ගෙ ගෙදර යැව්වා. සර් ජෝන් අපිව තුට්ටුවකටවත් ගණන් ගත්තෙ නෑ. ‘ඔය අය කළේ ඔයාලගෙ රාජකාරියනෙ’ කියලා අපි දෙන්නට හොඳට සංග්‍රහ කරලා එව්වා. මං මේ ගැන අන්තර්ගත කරලා ‘වස්සා පුළුස්සා’ කියන කෘතිය ලිව්වා.”

ඩී.එෆ්.කාරියකරවන මහතා සැබැවින් ම දක්ෂයෙකි. එතුමාගේ දක්ෂකමට සැලකීමට ද එදා ලේක්හවුස් පරිපාලනය ක්‍රියා කර ඇත. ඒ පිළිබඳ කාරියකරවන මහතා මතකය අවදි කිරීමට අමතක කළේ ද නැත.

 “1957 වසරෙදි එංගලන්ත ආණ්ඩුව, ලංකා ආණ්ඩුවට ආරාධනා කර සිටියා තමන්ගෙ රටේ සංචාරයකට කර්තෘවරු තිදෙනෙක් එවන්න කියලා. ඒක මාසයක චාරිකාවක්. මේ සඳහා ටයිම්ස් පත්‍රයේ කර්තෘතුමා, වීරකේසරී කතුවරයා සහ දිනමිණ පත්‍රයෙන් මාව තෝරාගෙන තිබුණා. මං ඒ වනවිට කතුවරයෙක් නොවූ නිසා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කිව්වා කතුවරයාට එන්න කියලා. ඒ වෙලාවෙ මගේ කර්තෘවරයා කිව්වෙ තෝරාගත් ඉතිරි දෙදෙනාට ම වඩා මං සුදුසු බවයි. අපි ගිය ගමනෙදි අපේ හැසිරීම මඟින් ඒ බව ඔප්පු වුණා.

ලන්ඩනයට ගිය විට බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ නිලධාරියෙක් අප තිදෙනාට තේ පානය සඳහා ආරාධනා කළා. ඒ වෙලාවෙ වීරකේසරී කතුවරයා තේ එක හදාගෙන ‘ස්රූස්’ කියලා සද්ද නගලා තේ එක බිව්වා. එයා තේ එක හදන්න ගත්ත තේ හැන්ද එවෙලෙම සීනි එකේ එබුවා. ඒක දැකපු ටයිම්ස් කතුවරයා මගෙ කකුල පෑගුවා. ‘මේ යකා අපිවත් කන්නයි හදන්නෙ’ කියලා එතනින් නැගිටලා ගියා. මේ සිදුවීම මට අදටත් සිනහ උපදවන අවස්ථාවක්.

ජෝශප් ස්ටාලින් මිය ගිය අවස්ථාවෙ එස්මන්ඩ් මහත්තයා මට කතා කරලා ඒ ගැන මුල් පිටුවේ සඳහන් කරන්න කිව්වා. එතකොට හවස හයයි තිහට විතර ඇති. මං ඉතා ඉක්මනට, ඒ වනවිට සකස් කළ පිටුව වෙනස් කරලා, ස්ටාලින්ගෙ පින්තූරෙත් දාලා පිටුව සැකසුවා. ඒක දැක්ක ලොක්කා ඉතාමත්ම සංතෝෂ වුණා. පසුවදා ලොක්කා මට එන්න කියලා මගෙ පඩිය දෙගුණයකින් වැඩි කළ බව පැවැසුවා.”

කාරියකරවන මහතා සමඟ කතා කරන විට ඔහු ලද අත්දැකීම් සමුදාය, ඒ හා බැඳුණු රස කතා අප්‍රමාණ බව පැහැදිලි ය. එහෙත් සයනයේ වැතිර සිටින ඔහු වැනි වියපත් මිනිසකු මහන්සි කරවීම අප නොකළ යුතුමය. ආයු බෝ ලැබ, නිදුක් නිරෝගී සුවයෙන් සිටීමට ඔබට හැකිවේවා! ඒ අප නිරන්තර පැතුම වනු ඇත.

විශේෂ ස්තූතිය
ඉරෝෂණී දීපිකා
http://archives.dinamina.lk/



No comments:

Post a Comment