Translate

Thursday, October 11, 2018

බාලදක්‍ෂිකා ශත සංවත්සර උත්සවය

පසුගිය දා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති බාලදක්‍ෂිකා ශත සංවත්සර උත්සවයට සහභාගී වෙමින් අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළ අතර එම සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.
efa30af2f78d20ac2089aaf8ce0
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
1948 වසරේ මෙරට නිදහස ලබන විට ජාතිවාදයක් තිබුණේ නැති බවත් දේශපාලන මත දෙකක් තිබුණ බවත්
දේශපාලනයේදී ඉඩදිය යුත්තේ ආගම්වාදයට, ජාතිවාදයට නොවන බව පෙන්වා දුන් අගැමැතිවරයා ආර්ථික ප්‍රශ්න විසඳීමට ගත යුතු ප්‍රතිපත්ති මාර්ග මොනවාදැයි අප එක්ව සැලසුම් කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පළමුවෙන්ම ලංකාවේ බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආරම්භ කළ මිස් ජේ. ව්ලැරි මැතිනිය ඇතුළු එදා මෙදා තුර මේ සේවය සඳහා තම කාලය කැප කළ බාලදක්‍ෂිකාවන් ලෙස ක්‍රියා කළ උදව් උපකාර කළ සියලු දෙනා සිහිපත් කළ යුතුයි. සියවසක් යනු ඉතා වැදගත් කාලයක්. අතීතය දෙස ආපසු හැරී බලන්න. ඉන්පසුව අනාගතයට යන්න.

බේඩින් පවෙල් සාමි බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ කළේ ශිෂ්‍යයන් සඳහායි. එදා බාලදක්‍ෂ ව්‍යාපාරය පිළිබඳ ප්‍රසිද්ධ කරද්දී, ඒ පිළිබඳව හැදින්වීමේ පොතක් මුද්‍රණය කරද්දී එහි කියවීම පිරිමින්ට පමණක් සීමා වුණේ නැහැ. කාන්තාවන් ද බාලදක්‍ෂ ව්‍යාපාරය පිළිබඳව පොත් කියවූවා. එම පොත්පත්වල සඳහන් ක්‍රියාදාමයන් පිරිමින් පමණක් නොව කාන්තාවන් ද අනුගමනය කළා. බේඩින් පවෙල් සාමිවරයා 1909 වසරේදී පළමුවරට බාලදක්‍ෂ ව්‍යාපාරය කැදවූ අවස්ථාවේ ඊට පිරිමි පක්‍ෂය පමණක් නොව කාන්තාවන් ද සහභාගී වුණා. ඇතැම් උත්සව සඳහා කාන්තාවන් බලහත්කාරයෙන් පැමිණි බව ඇතැමුන් පැවසුවා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කාන්තාවන් වෙනුවෙන් ද බාලදක්‍ෂිකා ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි.

පළමුවෙන්ම කාන්තාවන් ඉදිරියට පැමිණියේ ඒ සමයේදීයි. තමන්ට සමාජයේ තැනක් හිමි බව කතා කළේ, අයිතිවාසිකම් පිළිබඳව කතා කළේ ඒ යුගයේදීයි. 1910, 1911 වසරවල කාන්තාවන් මැතිවරණවලට ඉදිරිපත් වූයේ ඉන්පසුවයි. 1917 වසරේ මහනුවර ගර්ල්ස් හයි ස්කූල්හිදී පළමුවෙන්ම බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආරම්භ කළා. ඒ සඳහා මූලික වූ විදුහල්පතිනියත් අප මතක තබා ගත යුතුයි. ඉන්පසුව බාලදක්‍ෂිකා ව්‍යාපාරය ලංකාවේ ප්‍රධාන නගරවල ප්‍රධාන කාන්තා පාසල්වලට ව්‍යාප්ත වුණා. ඒ යුගයේදී සමහර කාන්තාවන් තමන්ට උරුම වූ අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියා. නොයෙක් අංශවලින් කාන්තාවන් ඉදිරියට පැමිණියා. ඇතැම් අය නීති වෘත්තීයට පිවිසුණා. උසස් අධ්‍යාපනය ලබා ගත්තා.

බාලදක්‍ෂිකා ව්‍යාපාරය තුළින් ද කාන්තාවන්ට තම දක්‍ෂතා පෙන්වීමට අවස්ථාව ලැබුණා. වර්තමානයේ පිරිමි බාල දක්‍ෂ ව්‍යාපාරය මෙන්ම කාන්තා බාලදක්‍ෂ ව්‍යාපාරයත් දියුණුවට පත්වී තිබෙනවා. මේ ව්‍යාපාරය මගින් කාන්තාවන්ට වෙනම නිදහසක් ලැබුණා. තමන්ට වෙනම අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබුණා.
 
සොලමන් ඩයස් බණ්ඩාරනායක මැතිනිය වන ඩේසි ඩයස් බණ්ඩාරනායක මැතිනිය 1929 වසරේදී ඩොනමෝර් කොමිසමෙන් කාන්තාවන්ට ඡන්ද බලය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. ඇය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මිත්තනියයි. අපගේද ඥාතිවරියක වන ඇඩ්ලින් මොලමුරේ මැතිනිය පළමුවෙන්ම මැතිවරණයට ඉදිරිපත් වී රුවන්වැල්ල ආසනයෙන් තේරී පත් වුණා. මේ සියලුම දෙනා කාන්තාවන් ඉදිරියට පැමිණිය යුතු බවට කල්පනා කළ අයයි.

එක් අංශයකින් බාලදක්‍ෂිකා ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැදගත් ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකියි. ශිෂ්‍ය භටබලකාය, බාලදක්‍ෂිකා ව්‍යාපාරය ආදිය නිසා අධ්‍යාපනය දියුණුවට ද රුකුලක් වුණා. බාලදක්‍ෂිකා ව්‍යාපාරය අද වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා. මෙය කාන්තා අනන්‍යතාවය තහවුරු කර ඉදිරියට යන සංවිධානයක් වශයෙන් සැලකිය හැකියි. 2012 වසරේ එක්සත් රාජධානියේ බාලදක්‍ෂිකා ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ජුලී බෙට්නි මහත්මිය පැවසූයේ මෙය ස්ත්‍රීවාදයේ ව්‍යාපාරයක් බවට පත් වී ඇති බවයි.
 
මෙම ව්‍යාපාරයේ විශේෂත්වය වන්නේ සියලූ දෙනා ස්වෙච්ඡාවෙන් සේවය කිරීමයි. ලාභ අපේක්‍ෂාවකින් තොරව කැපවීමෙන් ඔවුන් සේවය සලසනවා. මෙම ව්‍යාපාරය ඇරඹූ දා සිට කාන්තාවන් මීට එක්වීම සඳහා විශේෂ උනන්දුවක් දැක්වූවා. ඇතැම්විට පාසලෙන් නික්ම ගොස් රැකියාවක් කරන විටත් මේ ව්‍යාපාරය පිළිබඳව උනන්දුවක් දැක්වූවා. ස්වෙච්ඡා සේවයක් නැති නම් අද මේ ව්‍යාපාරයත් නැහැ. එම කැපවීමට විශාල විනයක් තිබිය යුතුයි. මේ ව්‍යාපාරය ඉදිරියට ගියේ ඒ අනුවයි.

යුද සමයේදී බාලදක්‍ෂිකා ව්‍යාපාරයේ වැදගත්කම හොදින්ම තේරුම් ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන් හැමවිටම ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතුව කටයුතු කළා. කිසිවිටක එයින් ඈත් වුණේ නැහැ. උතුරේ යුද සමයේ මෙවැනි ව්‍යාපාරයක් ක්‍රියාත්මකවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඉතා අසීරුවෙන් හෝ මේ ව්‍යාපාරයේ කටයුතු සාර්ථකව ගෙන යාමට හැකියාව ලැබුණා.

වර්තමාන ශ්‍රී ලංකාවේ පාසල් දෙදහසක පමණ මේ ව්‍යාපාරය තිබෙනවා. මෙම බාලදක්‍ෂිකා ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවන් අධ්‍යාපනය ලබන සියලූම පාසල්වල ක්‍රියාත්මක කළ යුතු බව මගේ අදහසයි. සියලූම සිසුන් සඳහා වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අප කටයුතු කරනවා. ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසලෙන් පිටවී යන්නේ නැහැ. විශ්ව විද්‍යාලයට යෑමට බලාපොරොත්තුවත් නැති වුවත් උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබෙනවා. එහිදී වෘත්තීය පාඨමාලා හැදෑරීමට හැකියි. එලෙස උසස් අධ්‍යාපනය ලබන සිසු පිරිස වැඩි වන විට මෙම බාලදක්‍ෂ ව්‍යාපාරය එම සිසුන් අතරත් ව්‍යාප්ත කළ හැකියි.

අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කොට ඊළඟ වසර පහ ඇතුළත මේ ව්‍යාපාරය පාසල් මට්ටමින් රටපුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන මට භාරදෙන්නැයි ප්‍රධාන කොමසාරිස් තුමියගෙන් ඉල්ලා සිටිනවා. බාලදක්‍ෂිකා ව්‍යාපාරය තුලින් එහි සාමාජිකාවන්ට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා. වත්මන් සමාජයේ තනිවම ක්‍රියා කිරීමට, තනිව ජීවත්වීමට තම රැකියාවෙන් ඉදිරියට යාමට අප සියලු දෙනාම ශක්තිමත් විය යුතුයි. වත්මන් සමාජයේ ස්වාධීනව ක්‍රියා කිරීමට ශක්තියක් තිබීම විශාල වාසියක් බව කිව යුතුයි. අද රැකියා අතර තරඟයක් තිබෙනවා. විවිධ ව්‍යාපාර තිබෙනවා. එවැනි සමාජයක කාන්තා හැකියාවන් දියුණු කිරීම ඉතා වැදගත් බව කිව යුතුයි. බාලදක්‍ෂිකා ව්‍යාපාරය තුළින් සෑමවිටම ක්‍රියාවක යෙදෙන්නට උගන්වනවා. එමෙන්ම අනුකම්පා කළ යුතු පිරිසට අනුකම්පා කරන්න උගන්වනවා. තමාට මෙන් වත්කමක් නැති අයට උදව් කිරීමට මෙන්ම අනුන්ගේ ප්‍රශ්න දැක ඔවුන් අතහැර නොයන ගුණය මෙම ව්‍යාපාරය තුළින් ලැබෙනවා. එවැනි ලක්‍ෂණ තම දියුණුවට මෙන්ම රටේ දියුණුවට ද ඉතා වැදගත් වන බව කිව යුතුයි.
 
මේ රට විවිධත්වය මෙන්ම එකමුතු බවට යන කාරණා දෙකටම තැනක් ලබා දිය යුතුයි. වසර 30 ක යුද්ධයකින් පසුව මෙරට ජනතාව ශ්‍රී ලාංකිකයින් ලෙස පෙළ ගැස්වීමට ශ්‍රී ලංකාවක හැඟීම ඇති කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සියලූම අනන්‍යතාවයන් ආරක්‍ෂා කර ගත යුතුයි. අප මොනම ජාතියකට, ආගමකට අයත් වුවත් අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් බවට අමතක කළ යුතු නැහැ. අපට එක සමාන අයිතිවාසිකම් තිබෙනවා. ශ්‍රී ලංකාව නැති නම් අපට යන්නට තැනක් නැහැ. සිංහල මෙන්ම දෙමළ, මුස්ලිම් ජනතාවටත් යන්න තැනක් නැහැ.
 
මේ රටේ ඉන්නේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාවයි. ඔවුන්ට වෙනත් රටවල්වලට යන්න බැහැ. මෙහි මුස්ලිම් ජනතාවට අරාබි රටවල්වලට යන්න බැහැ. ඒ නිසා අප සියලූදෙනාම ලාංකිකයි. එය කවුරුත් දැනගත යුතුයි. ඒ සංස්කෘතික විවිධත්වය අප තේරුම් ගත යුතුව තිබෙනවා. අපට ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් සංස්කෘතික වෙනසක් පමණක් නොවෙයි. නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය, සබරගමු, උඩරට, උතුරු මැද ආදී වශයෙන් සංස්කෘතීන් රාශියක් තිබෙනවා. මඩකලපුවේ සංස්කෘතිය යාපනයේ සංස්කෘතියට වඩා වෙනස්. සංස්කෘතියක විවිධත්වය යනු එයයි. අප වැඩකළ යුත්තේ එම සංස්කෘතික විවිධත්වය තේරුම් ගෙනයි. අපේ රට එකතු කර එකාමෙන් වැඩකරමු.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් යටතේ ජාතික ආණ්ඩුවක් ඇති කළේ ඒ සඳහායි. ඒ ජාතික ආණ්ඩුවේත් වෙනස්කම් තිබෙනවා. බලය සඳහා තරග කිරීම් තිබෙනවා. 2018 යනු ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහසේ වසරයි. 2018 වන විට 1948 වසරේ තිබූ ආකාරයටම සියලූම ජාතීන්ට එක්ව ජීවත් වන්නට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එම ශ්‍රී ලාංකික චින්තනය වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි ව්‍යාපාරවලට ද විශාල වගකීමක් පැවැරී තිබෙනවා. අපට ඇති ප්‍රශ්න විසඳාගෙන අඩිතාලම දැමූ පසු අපට ඉදිරියට යාමට ඉතා පහසුයි.
 
දේශපාලනයේදී ඉඩදිය යුත්තේ ආගම්වාදයට, ජාතිවාදයට නොවේ. ආර්ථික ප්‍රශ්න විසඳීමට ගත යුතු ප්‍රතිපත්ති මාර්ග මොනවාදැයි අප එක්ව සැලසුම් කළ යුතුයි. 1948 වසරේ මෙරට නිදහස ලබන විට ජාතිවාදයක් තිබුණේ නැහැ. දේශපාලන මත දෙකක් තිබුණා. ඩී.එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්‍ෂය ධනවාදී ආර්ථික සැලැස්මක් යෝජනා කළා. එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. සිල්වා, පිලිප් ගුණවර්ධන, පීටර් කෙනමන් ආදී නායකයින් මාක්ස්වාදී දර්ශනය යෝජනා කළා. ඒ කිසිවකුත් ජාතිවාදය ගැන කතා කළේ නැහැ. ජාතිවාදය ගැන සිතුවේවත් නැහැ. අප සිංහල, අප දෙමළ කියා වෙළෙන්දන් කිව්වේ නැහැ. ඉන්පසුව රට ජාතිවාදය ආගම්වාදය නිසා බෙදී ගියා. අප දැන් එම බෙදීම්වලින් ඈත්වී රට එක්සත් කිරීමේ යුගයට පැමිණ තිබෙනවා. රට ඉදිරියට ගෙන යා හැක්කේ එක්සත් කිරීමෙන් පමණයි.

බාලදක්‍ෂිකා ව්‍යාපාරය පතුරවන එක්සත් භාවය, එකමුතුකම මුළු රටටම ආදර්ශයක් බව කිව යුතුයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීමට සංස්කෘතික විවිධත්වය පිළිගැනීමට ආගමික සහ ජාතීන් අතර, විවිධත්වය පිළිගෙන ගෞරව කරන අවස්ථාවක් අප සැමටම උදාවී තිබෙනවා. මෙරට දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා බාලදක්‍ෂිකා සංගමයෙන් සේවය අගය කළ යුතුයි. ඔබට සුභ අනාගතයක් ලැබේවා යැයි යන්න අපේ ප්‍රාර්ථනයයි.

No comments:

Post a Comment