Translate

Thursday, January 3, 2019

දෙවැනි බන්ධනාගාර මානවක බාලදක්ෂ කඳවුර - 2018

සෑම සිරකරුවෝම මනුෂයෝ ය.

බන්ධනාගාර නේවාසික බාලදක්ෂ ව්‍යාපාරයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ බාලදක්ෂ කටයුතු ආරම්භ කෙරුණේ මීට වසර 90කට පමණ පෙරය. බී.පී.තුමාගේ විශේෂ අවසරයකින් පළමු වරට ශ්‍රී ලංකාවෙහි 'Scouting in Prison' ආරම්භ වූ මෙම කටයුත්ත වරක් බේඩ්න් පවෙල් සාමිතුමා විසින් ද මහනුවර එළිමහන් බන්ධනාගාර බාලදක්ෂයන් මුණ ගැසුණු බව බාලදක්ෂ ඉතිහාසයෙහි සඳහන් වේ. වර්තමානය වන විට සිංගපූරුවේ චැංගි සිරකඳවරේ බාලදක්ෂිකා කණ්ඩායමක් ද උගන්ඩාවේ සිරකඳවුරේ බාලදක්ෂ කන්ඩායම ද ස්කොට්ලන්තයේ ග්ලාස්ග්ලෝව් සිරකඳවුරු බාලදක්ෂයන් ද සීමිත ප්‍රමාණයක් ලොව පුරා විසිරව සිටින බව වාර්තා වේ.


එවකට එම ව්‍යාපාරයේ සිටි සාමාජික සංඛ්‍යාව 30කි. ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වී වසර 12 ගත වූ පසු 1922දී නේවාසිකයන් තිස් දෙනකුගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ එම ව්‍යාපාරය මේ වන විට සියලුම බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වන අතර මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තු බාලදක්ෂ ව්‍යාපාරය තුළ සිටින සාමාජිකයන්ගේ සංඛ්‍යාව 500කි. ඉන් 150ක් පමණ බන්ධනාගාර නියාමක නිලධාරීහු වෙති. සෙසු සියලු දෙනා නේවාසිකයන්ය. එම ව්‍යාපාරයට සම්බන්ධ නියාමක නිලධාරීන්ව මානවක බාලදක්ෂ ආචාර්යවරුන් ලෙස ද නේවාසිකයන් මානවක බාලදක්ෂයන් ලෙසද කාණඩ අනුව ක්‍රියාත්මකෙවීම සිදු කෙරේ. ඒ සඳහා එම දෙපාර්තමේන්තුව වර්තමානයේ විවිධ පුනරුත්ථාපන ක්‍රමවේදයක් ලෙස රටට වැඩදායි පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට ඉන් ලබා ගතහැකි පිටුබලය සාර්ථක බව හදුනාගෙන තිබේ.‍

එවකට බන්ධනාගාර අමාත්‍යවරයාව සිටි චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අදහසකට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පළමු බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වූයේ 2014 පෙබරවාරි මස 7දාය. නුවරඑළිය පීඩෘ ජාත්‍යන්තර බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී එය පැවැත්විය. එම බන්ධනාගාර මානවක බාලදක්ෂ ජම්බෝරිය ලෝක බාලදක්ෂ ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයකි. එය රැඳවියන් 500කගේ සහභාගිත්වයෙන් පැවැත් වූ ලොව පළමු බන්ධනාගාර බාලදක්ෂ ජම්බෝරිය විය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නැවත වරක් දෙවැනි බන්ධනාගාර බාලදක්ෂ ජම්බෝරියක් 2018 දෙසැම්බර් 7, 8 හා 9 යන තෙදින තුළ පල්ලේකැලේ එළිමහන් සිරකඳවුර තුළ දී සංවිධානය කරනු ලැබීය.

පල්ලේකැලේ එළිමහන් සිර කඳවුර පුද්ගලයන් රඳවා තිබෙන කඳවුරක් වුවද එය දුටුවන්ගේ මන බඳින ස්ථානයකි. අක්කර 148කින් යුත් එම කඳවුරු භූමිය අසලින් ගලා බසින්නේ මහවැලි නදියයි. දුම්බර මිටියාවතේ පිහිටි එම කඳවුර රැඳවූවන් පුනරුත්ථාපනයට සුදුසුම ස්ථානයක් බව නොකියාම බැරිය. තවද එය ලොව පළමු එළිමහන් සිර කඳවුර වීමද ආසියාවේ විශාලතම එළිමහන් සිරකඳවුර වීමද විශේෂත්වයකි. මෙවැනි සුන්දර වටපිටාවක් තුළ පැවැත්වුණ බාලදක්ෂ ජම්බෝරියක අසිරිය කියා ලියා නිම කළ නොහැකි තරම් සුන්දරය.

මෙම ජම්බෝරියේ සංවිධානය බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක ඇතුළු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සංවිධානයෙන් පවත්වනු ලැබීය. පල්ලේකැලේ එළිමහන් සිරකඳවුර භාර අධිකාරිවරයා කේ. තෙන්නකෝන්ය. එහි ප්‍රධාන ජේලර්වරයා මොහාන් කරුණාරත්නය. එම ජම්බෝරිය සාර්ථකව පැවැත්වීම සඳහා එම නිලධාරීන් දෙදෙනාට මෙන්ම කඳවුරේ පුනරුත්ථාපන පුහුණු අංශ නිලධාරි දසනායක යන නිලධාරීන්ට පැවැරී තිබුණේ ඉතා භාරදූර කාර්ය භාරයකි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව වසර 4කට පසු සංවිධානය කළ දෙවැනි බාලදක්ෂ ජම්බෝරිය සඳහා සියලු ම බන්ධනාගාර බාලදක්ෂ සංගම් නියෝජනය කරමින් මානවක බාලදක්ෂ සාමාජිකයන් 500ක් නිලධාරීන් 150ක් වූහ. සහභාගී වූ සියලු ම මානවක බාලදක්ෂයන් විවිධ චෝදනා සම්බන්ධයෙන් වැරැදිකරුවන් බවට පත්ව බන්ධනාගාර ගතව සිටින අවුරුදු 45ට අඩු වූවෝ වෙති.




























පසුගිය තෙදිනක් පුරා පැවැති බාලදක්ෂ ජම්බෝරියේ සියලු ක්‍රියාකාරකම් සිදු කෙරුණේ ඉහත කී බාලදක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙනි. සැබැවින්ම එම බාලදක්ෂ ජම්බෝරිය අප රට තුළ මීට පෙර පැවැති ජම්බෝරිවලට වඩා විශේෂත්වයක් ගෙන තිබිණි. ඊට හේතුවී තිබුණේ එම ජම්බෝරිය තුළ විස්මය, නිර්මාණශීලීත්වය හා හාස්‍ය රසය යන අංගයන් මනා ලෙස කැටිව තිබූ නිසාවෙනි. එම ජම්බෝරිය පුරා දක්නට ලැබුණ නිර්මාණශීලී අංග අතර ජම්බෝරි පිවිසුම් ‍දොරටුව වඩාත් ආකර්ශනී විය. අඩි පහක් පමණ දිගැති එය, විශාල යෝධ උණ බට උපයෝගී කර ගනිමින් නිර්මාණය කරතිබිණි. ඔවුන් එම භූමිය තුළ තෙදිනක් ගත කිරීම සඳහා ඉදිකරගෙන තිබූ කූඩාරම්වලින් ද දක්නට ලැබුණේ නිර්මාණාත්මක බවකි. ඉහතකී සෑම නිර්මාණයක් කිරීම සඳහාම ඔවුන් යොදාගෙන තිබුණේ අවට පරිසරයෙන් සොයාගත් ස්වාභාවික සම්පත්ය.

ජම්බෝරි භූමියේ ගලා බසිනා ‍අලංකාර දොළ පාරක් මත ඉදි වූ වේදිකාවේ ද සුවිශේෂත්වයෙන් සිහිපත් කළයුතු වේ. ජම්බෝරියට එක්කර තිබූ තවත් දැකුම්කලු අංගයක් වූයේ ජම්බෝරි ආචාර වෙඩිමුර පෙළපාළියයි. එම ආචාර වෙඩිමුර පෙළපාළිය සඳහා ඔවුන් යොදාගෙන තිබුණේ උණ බටවලින් නිර්මාණය කරන ලද තුවක්කුය. එම ජම්බෝරි භූමියට පැමිණි සෑම ආරාධිත අමුත්තකුවම ඔවුන් පිළිගත්තේ එකී උණ බටවලින් සකස් කළ තුවක්කුවලින් ආචාර වෙඩිමුර පවත්වමිනි.

ජම්බෝරි භූමිය තුළ සංස්කෘතික ප්‍රසංග, දැනුම මිනුම් තරග, වාද විවාද තරග, මැජික් දර්ශන, ගිනිමැල දර්ශන වැනි අංගයන් බොහෝමයක්ද ක්‍රියාත්මක කෙරුණි.

ජම්බෝරියේ සමාප්ති උළෙල සඳහා බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් වරලත් ඉංජිනේරු මෙරිල් ගුණතිලක හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර හොඳම ගිනිමැල නාට්‍ය වෙනුවෙන් ගාල්ල, තල්දෙන බන්ධනාගාර විසින් ද හොඳම බාලදක්ෂ කඳවුරට හිමි සම්මානය බූස්ස බන්ධනාගාර බාලදක්ෂ කණ්ඩායම විසින් ද දිනා ගනු ලැබූහ.

පසුගියදා ජීනීවාහිදී පැවැති එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකදී මෙරට බන්ධනාගාර ව්‍යාපාරය විශේෂ ඇගයීමකට ලක්වූ බවත් කලාපීය හා ලෝකයේ වෙනත් රටවල් මෙරට බන්ධනාගාර බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන් ඒ අනුව කටයුතු කිරීමට ඉදිරිපත්ව සිටීම මෙරටට විශාල කීර්තියක් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා විසින් අවසන් රැළියේදී අදහසක් දැක්වීය.










මෙරට බන්ධනාගාර බාලදක්ෂයන් විසින් දිනා ඇති කීර්තිය රැක ගනිමින් බන්ධනාගාර දෙපාර්මේන්තුව ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි ද සිරගත වන පුද්ගලයන් පුනරුත්ථාපන ක්‍රියාවලියක් තුළින් යහපත් පුරවැසියන් වශයෙන් සමාජගත කිරීමට බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ඉමහත් පිටුබලයක් ලැබෙන බවත් ඒ අරමුණ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර සිටියේ ය. ජම්බෝරියට ප්‍රධාන ආරාධිතයකු වශයෙන් පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති උපුල් දිසානායක මහතාට හා එම ජම්බෝරිය සාර්ථක කර ගැනීමට පූර්ණ දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට හා එහි ජාතික පුහුණු කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි මහතාට තම දෙපාර්තමේන්තුවේ ස්තුතිය පිරිනමන බව වැඩිදුරටත් එතුමා සඳහන් කළේය.
 

No comments:

Post a Comment