Translate

Thursday, January 3, 2019

අති විශිෂ්ඨ බාලදක්ෂ / බාලදක්ෂිකාවෝ - 2018 (අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ)

2018 අ.පො.ස උසස් පෙළ විශිෂ්ට ජය ලැබූ බාලදක්ෂයා

2018 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල 2017 වර්ෂය සමග සලකා බැලීමේ දී විද්‍යා, ගණිත ඉංජිනේරු සහ ජෛව තාක්ෂණ විෂයධාරා හදාරන සිසුන්ගේ දක්ෂතා ඉහළ යාමක් දක්නට ලැබෙන බවත් 2017 වර්ෂයේ දී ජීව විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 44,269 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 25,178 ක් සුදුසුකම් ලබා තිබේ. එහි ප්‍රතිශතය 56.88% කි.

2018 වර්ෂයේ දී ජීව විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 46,244 දෙනෙකු විභාගයට පෙනී සිට ඇත. ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 27,402 ක් දක්වා ඉහල ගොස් ඇති අතර එහි ප්‍රතිශතාත්මක අගය 59.25% කි.

2017 වර්ෂයේ දී භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 32,075 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 17,584 ක් බවත් සමත් වූ සංඛ්‍යාවේ ප්‍රතිශතය 54.82% කි.

2018 වර්ෂයේ දී භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 32,311 දෙනෙකු විභාගයට පෙනී සිටි ඇති අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 18,514 ක් දක්වා වැඩි වී ඇත. එහි ප්‍රතිශතාත්මක අගය 57.29 % කි.

එසේම 2017 වර්ෂයේ දී ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව යටතේ සිසුන් 10,682 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 6,163 කි. සමත් වූ සංඛ්‍යාවේ ප්‍රතිශතය 57.7% ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

2018 වර්ෂයේ දී ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව යටතේ පෙර වර්ෂයට වඩා වැඩි සිසුන් සංඛ්‍යාවක් එනම් 13,950 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 8,097 කි. එහි ප්‍රතිශතාත්මක අගය 58.04 % කි.

මීට අමතරව 2017 වර්ෂයේ දී ජෛව තාක්ෂණ විෂය ධාරාව යටතේ සිසුන් 6,970 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 4,303 ක් විය. සමත් වූ සංඛ්‍යාවේ ප්‍රතිශතය 61.74% ක් විය. 2018 වර්ෂයේ දී ජෛව තාක්ෂණ විෂය ධාරාව යටතේ පෙර වර්ෂයට වඩා සැලකිය යුතු වැඩි සිසුන් සංඛ්‍යාවක් එනම් 9,463 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව ද 6,088 ක් දක්වා වැඩි වී ඇත. එහි ප්‍රතිශතාත්මක අගය 64.33 % ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි. 

මේ අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් තුන්ලක්ෂ 21,469 දෙනෙකු අතරින් එක් ලක්ෂ 60, 907 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේෂය සඳහා සුදුසුකම් ලබා තිබේ. විභාගය සදහා පෙනී සිටි ශිෂයින්ගෙන් 119 දෙනෙකුගේ ප්‍රථිඵල අත්හිටුවීමට පියවර ගත් බව ,විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වන http://www.doenets.lk/exam/ වෙබ් අඩවිය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය අනුව  එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ පළමු , දෙවැනි, තෙවැනි ස්ථාන මෙසේ දක්වා තිබිණි.
ජීව විද්‍යා විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුද්‍රා රාජපක්ෂ  සිසුවිය හිමි කරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය කොළඹ  ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ සිසුවා හිමිකරගෙන තිබේ. තෙවැනි ස්ථානය  මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් සිසුවා හිමිකරගෙන  ඇත.
භෞතික විද්‍යා විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන සිසුවිය  හිමි කරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ  සිසුවා ද  තෙවැනි  ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සිසුවා හිමිකරගෙන තිබේ.
වාණිජ විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය  කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න  සිසුවා හිමිකරගෙන ඇති අතර දෙවැනි ස්ථානය ගම්පහරත්නාවලි බාලිකා විද්‍යාලයේ  උවිනි අයත්මා රණවීර සිදුවිය හිමිකරගත්තාය. තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්න සිසුවියටයි.
කලා විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස්  සිසුවිය හිමිකරගත් අතර, දෙවැනි ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහ සිසුවියද, තෙවැනි ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි  පිටිගල සිසුවිය හිමිකරගත්තාය.
ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න  සිසුවා හිමිකරගෙන ඇති අතර, දෙවැනි ස්ථානය කොළඹආනන්ද විද්‍යාලයේම තරිඳු හේෂාන්  සිසුවාත් , තෙවැනි ස්ථානය  නිකවැරටියමහසෙන් ජාතික පාසලේ සෙෂාන් රංගන විජේකෝන්  සිසුවා හිමිකරගෙන තිබේ.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ  ප්‍රථම ස්ථානය කඹුරුපිටියනාරන්දෙණිය විද්‍යාලයේ සඳුනි  පියුමාෂා  කොඩිප්පිලි  සිසුවිය හිමිකරගත් අතර, දෙවැනි ස්ථානය කල්මුණේ  සමන්තුරෙයි විද්‍යාලයේ රිෂා මොහොමඩ්  හිමිකරගත්තේය. තෙවැනි ස්ථානය  හිමි කරගෙන ඇත්තේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු  දිලෙන්ක ලක්මාල්  සිසුවා විසිනි.

ගණිත අංශයෙන් තෙවැනියා තෙවිඳු


 

තෙවැනි ස්ථානය
තෙමිදු ජනිත් විජේසේකර
රාජකීය විද්‍යාලය - කොළඹ
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සමත්විය.
මේ ඔහුගේ ජයග්‍රහණයේ ගමන් මඟයි, සාමන්‍ය පෙළ විභාගය A9 ක් ලැබුණා. 12, 13 වසරවල දී මගේ පාසල් පැමිණීම සියයට 90ක් ලබා ගත්තා. ඉගෙනුම ලබනවිට මට ඇති වූ ගැටලු මගේ ගුරුවරුන් සමඟ සාකච්ඡාකර විසඳා ගත්තා. ඒ වගේම අමතර පොත්පත් කියවා මගේ විෂය දැනුම පුළුල් කරගත්තා. උසස්පෙළ ශ්‍රේණිවල දී අවශ්‍ය ප්‍රායෝගික දැනුම පාසලේ විද්‍යාගාරවල දී මට උපරිමෙන් ලැබුණා.

පාසලේ වැඩවලට අමතරව ක්‍රීඩා, සෞන්දර්ය, බාලදක්ෂ සහ අනෙකුත් සියලු බාහිර ක්‍රියාකාරකම්වල නිරතවූ බවත් ජයග්‍රහණය පිටුපස සිටියේ සෑම දිනම පාසල් පැමිණීම බව ඔහු ඉතා සතුටින් කියා සිටියේය.

අධ්‍යාපන කටයුතුවලට අමතරව මම පාසලේ පෝතක බාලදක්ෂයෙක්ව සිටියා. පාසලේ ගණිත සංගමයේ සාමාජිකයකුව සිටියා. එයට අමතරව මම සංගීතය වයලීන් වාදනය භාත්කණ්ඩ විභාගය සමත්වුණා. ඒවගේම මම ජාතික හා ජාත්‍යන්තර ගණිත හා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගවලට සහභාගි වී ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. 2018 මැයි මාසයේ දී ද මම ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වියට්නාමයට ගියා.

සැමදා මාගේ සෙවනැල්ල මෙන් සිටි මාගේ ආදරණීය දෙමාපියන්, පළවෙණි ශ්‍රේණියේ සිට මට ඉගැන් වූ මාගේ සියලුම දයාබර ගුරු මෑණිවරු, පියවරු මම ඉතාමත් භක්තියෙන් ආදරයෙන් සිහිපත් කරනවා‍‍. මේ හැම අවස්ථාවක දී ම අප පාසලේ වර්තාමාන විදුහල්පති බී.ඒ.අබේරත්න මැතිතුමා ලබාදුන් උපදෙස් හා නායකත්වය ගැන කෘතඥ පූර්වකව සිහිපත් කරනවා.

මම ගුරුවරුන් උගන්වන විට එය ඉතා හොඳ අවධානයෙන් අසා සිටියා. විෂය දැනුම ග්‍රහණයට මට එය ඉතා පහසුවක් වුණා. විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කරගැනීමට මාගේ සියලුම ගුරුවරුන් උපකාර කළ නිසා මගේ පාසලේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ඉතා ඉහළ ප්‍රමිතියකින් ගුරුවරුන් සකසා දෙන නිසා මුල සිටම එම ප්‍රශ්න පත්‍රවලට මුහුණ දී හොඳ ලකුණු ලබා ගැනීමට කළ පුහුණුව නිසා උසස් පෙළ විභාගයට අලුතින් සූදානම් වීම මට පහසු වුණා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වැඩි සංඛ්‍යාවක් කරගැනීමට මට හැකි වුණා. එමෙන්ම ඉතා සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දීමට මට හැකි වුණා. එය මගේ ජයග්‍රහනයට විශාල පිටිවහලක් වුණා. මේ සඳහා කැපවීමෙන් වැඩ කළ උසස් පෙළ අංශ ප්‍රධාන තමරා කුමාරිහාමි ගුරුතුමියත්, ශ්‍රේණි ප්‍රධාන ජගත් පටබැඳිගේ ගුරුතුමාත්, පන්තිභාර නිහාල් හැළඹගේ ගුරුතුමාත්, ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

 

No comments:

Post a Comment