Translate

Monday, December 27, 2010

8 වැනි ජාතික බාලදක්‌ෂ ජම්බෝරිය

ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ වසර 30කට පසු එකම බිමක කඳවුරු බඳිති

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා සිටින බාලදක්ෂයන් වසර 30 කට පසු ප්‍රථම වරට එක බිමක කඳවුරු බඳින බාලදක්ෂයන්ගේ අටවැනි ජාතික ජම්බෝරිය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, අඟුණකොළපැලැස්ස, එරමිණියාය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (27) ඇරඹිණි.

සිය අභිමානවත් සියවසක උරුමය 2012 වසරෙදී සමරන්නට සූදානමින් සිටින ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය මේ ජාතික ජම්බෝරියත් සමඟින් ඒ සියවස් සැමරුමටද මුල පිරුවේය. ශ්‍රී ලංකාවේ නන් දෙසින් බාලදක්ෂයන් 15000 ක් හා පෝතක බාලදක්ෂයන් 3000 ක් එරමිණියාය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඊයේ එක්රැස් වුණේ රට ගලවාගත් නායකයාගේ වීරත්වයට උපහාර පුදනු වස් එතුමන්ගේ නිජභූමිය වන හම්බන්තොටට රැගෙන ආ ජාතික ජම්බෝරියට එක්වන්නටය.

බාලදක්ෂයන් හා පෝතක බාලදක්ෂයන් දහ අට දහසකගෙන් පිරී ගිය එරමිණියාය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට සපැමිණි ජනාධිපතිතුමා බාලදක්ෂයන් දෙදෙනෙකු විසින් දෑතින් අල්ලාගෙන ප්‍රධාන උත්සව භූමිය වෙත කැඳවා ගෙන එන ලදී. අනතුරුව ජනාධිපතිවරයා වෙත පෝතක බාලදක්ෂ රැළේ පෝතක ආචාරය පිරිනැමිණ. විශේෂ පීඨිකාවක සිට ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන්ගේ ආචාරයද පිළිගත්තේය.

ජනාධිපතිවරයා ජාතික ධජය ඔසවන විට බාලදක්ෂ ධජය සහ ලෝක බාලදක්ෂ ධජය එසවුණේ ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපති ලෙස්ලි රූපසිංහ, ප්‍රධාන කොමසාරිස් සී. බටුවන්ගල මහත්වරුන් අතිනි. ඉක්බිති ජාතික ගීය ගැයිණි.

අනතුරුව ජම්බෝරි ධජය ඔසවා ජම්බෝරියේ නිල සමාරම්භය සනිටුහන් කළ ජනාධිපතිවරයා රැස්ව සිටි සැම වෙත සිය අභිමානවත් හඬින් ඒ බව දැනුම් දුන්නේය. “දැයේ විරුවෝ අපි වෙමු බාලදක්ෂයෝ” යන ජාතික ජම්බෝරි ගීතය අනතුරුව ගායනා කෙරිණ.

ඇදහැළුණු වැසි පවා නොතකා ජනාධිපතිවරයාගේ දේශනයට සවන් දෙමින් සිටි බාලදක්ෂයෝ රටේ නායකයාට තමන්ගේ භක්ත්‍යාදරය ප්‍රකාශ කළහ.

ජාතික ජම්බෝරියට සමගාමීව පෝතක බාලදක්ෂයන්ගේ ජාතික කබොරියද මෙහිදී සමාරම්භ කෙරුණු අතර එය ලුණම, දුටුගැමුණු විද්‍යාලයේදී පැවැත්වේ’

ඊට ඇරැඹි ජාතික ජම්බෝරිය 30 වැනිදා අවසන් කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. උප කඳවුරු පහක් යටතේ ක්‍රියාත්මක වන ජම්බෝරියට එක්ව සිටින බාලදක්ෂ දිස්ත්‍රික්ක 37 ම බාලදක්ෂයෝ තරුණ කඳවුරු, සුහද හමු, එළිමහන් සන්දර්ශන, පරිසර චාරිකා යනාදී අංගවලට එක්වෙති.

2012 දී සියවස් සමරුවට සමගාමීව විදේශ බාලදක්ෂයන් 3000 ක්, දේශීය බාලදක්ෂයන් 15,000 ක් එක් කරගෙන ජාත්‍යන්තර ජම්බෝරියක් මාතලේ නගරයේදී පැවැත්වේ.

ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, මර්වින් සිල්වා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ලෙස්ලි රූපසිංහ, ප්‍රධාන කොමසාරිස් සී. බටුවන්ගල, ජම්බෝරි ප්‍රධාන සංවිධායක සී. බටුවන්ගල මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.