Translate

Wednesday, May 18, 2022

බාලදක්ෂ කඳවුරු දොරටු - ස්වදේශීය අනන්‍යතාවයක් සහිත දොරටු නිර්මාණය (පළමු කොටස)

සාර්ථක බාලදක්ෂ කඳවුරක දී බාලදක්ෂයෝ සතුටින් සිටිති. එවැනි අවස්ථාවක් සලසා දීමට බාලදක්ෂ ආචාර්යවරයා මග පෙන්විය යුතුය. බාලදක්ෂ පුරෝගාමී දැනුම ප්‍රයෝජනයට ගනිමින් ප්‍රදර්ශනාත්මක කාලීන උපකරණයක් නිර්මාණය කළ හැකි ය. එළඹෙන නිවාඩු කාලයේ ඉදිකරන බාලදක්ෂ කඳවුරු බිම්වල කඳවුරකට අත්‍යවශ්‍ය &කාලීන උපකරණ ස්ථාපිත කිරීම පිළිබඳව බාලදක්ෂ ඔබ දැනුම්වත් විය යුතුමය. එබැවින් පහත තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

කඳවුරු දොරටු ඉදිකිරීම

එළිමහන් බාලදක්ෂ කඳවුරකට අත්‍යවශ්‍යම කාලීන උපකරණයක් ලෙස කඳවුරැ දොරටුව හැඳින්විය හැකි ය. කඳවුරැ දොරටුව බාලදක්ෂ කණ්ඩායමේ අභිමානය හා පුරෝගාමී කුසලතා විදහා පෙන්විය හැකි අවස්ථාවක් වන බැවින් එය ඉදි කිරීමට බාලදක්ෂයින් වඩා නිර්මාණශිලීව දායක විය යුතුය.

තොරණ වර්ග

අද වෙසක් සැමරීමට විශාල පරිමාණයේ තොරණ ඉදි  කළත් පුරාණයේ තොරණ යොදාගෙන ඇත්තේ බෞද්ධ විහාරස්ථාන සඳහා යි. ඒවා ස්ථිර තොරණ ලෙස පැවතුණා. ඒ කාලයේ වෙසක් තොරණ තැනීමේ සිරිතක් තිබුණේ නැහැ. මුලින් ම සිද්ධස්ථානවලට ඇතුළු වන තැන ඉදිකළ තොරණ වැඩිකල් නොයා ම රජ මාලිගය කරා පැමිණ එය ගෘහ නිර්මාණ කලාවේ ද අංගයක් වී තිබෙනවා. තොරණ බැඳීම නමැති කුඩා පුස්කොළ පොතට අනුව අනුව කේරළයේ රජ කළ සේරමත් රජුට වැලඳුණු හිසරුදාවක් සුව කිරීමට තොරණ ඉදිකළ බව කවියෙන් කියා ඇත්තේ මෙහෙමයි:

‘‘පොරණ ගී ඇදුරු රුති ලෙස නොව වේග
උරණ නොවී අස සත පෙර පැවති රඟ
පෙරත් පුවත මෙහි දන්නෝ ඇද්ද වග
තොරණ දැක්කුවෝ බමුණෝ කාල යුග“

තොරණ අතීතයේ සිට ම මංගල සංකේතයක් ලෙස සැලකුණු බව බුදුන්ගේ ශ්‍රී පතුලෙහි මංගල ලකුණු අතර තොරණ දෙකක් තිබීමෙන් පේනවා. තොරණ වර්ග අතර මකර තොරණ, ගොප් තොරණ, රඹ තොරණ, පහන් තොරණ, කීල තොරණ, බුලත් තොරණ, අයිල් තොරණ, පෙරහර තොරණ, පිලි තොරණ ආදී වශයෙන් තොරණ රාශියක් අතීතය විමසන විට හමුවෙනවා.

යාපහුව යුගයට අයත් යාපහුව ද්වාර මණ්ඩපයේ මකර තොරණ

මකර තොරණ

වෙහෙර විහාරස්ථානවල ඉදිරිපස දොරටුවේ, විහාර මන්දිර අබියස, බෝධී වෘක්ෂ අසල ප්‍රවේශ දොරටුව සරසා ඇති මකර තොරණ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසින් එහාට දිව යන බව පැවසෙනවා. මනංකල්පිත මකර රූපය ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද පැතිරි තිබුණු පැරණි ආගමික සැරසිල්ලක්. ඉන්දියාවේ සාංචි, භාරුත්, බුද්ධගයා විහාර නටබුන්වල මකර රූපය දකින්න ලැබෙනවා.

මකරාගෙන් කාලය සංකේතවත් වන බව විද්වත් මතය යි. මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කර ඇත්තේ කාලය සියලු දෑ විනාශ කරන නිසා මකරා තුළින් ඒ අදහස සංකේතවත් වන බව යි. මහනුවර යුගයේදී මකර තොරණ මැටි බදාමවලින් පමණක් නොව ලී හා කළුගල්වලින් ද නිර්මාණය කෙරුණා. ප්‍රධාන විහාරස්ථානවල ශෛලමය උළුවහුවල හරස් කඳේ මකර තොරණ කැටයම් යොදා ගැනීම දැක ගත හැකි යි. එවැනි උළුවස්සක් මහනුවර දළදා මාලිගයේ තිබෙනවා.

 දළදා මාලිගයේ ශෛලමය මකර තොරණක්- ශ්‍රී දළදා මාලිගය facebook page

මකර තොරණ මකරුන් දෙදෙනකුගේ සංකලනයකින් තමයි නිර්මාණය වී ඇත්තේ. මකර තොරණේ මකරුන් දෙදෙනා සම්බන්ධ වන්නේ කීර්ති මුඛ නම් වූ භයංකාර පෙනුමක් ගෙන දෙන මුහුණකින්. ඊශ්වර දෙවියා කීර්ති මුඛ ලෙස හැඳින්වෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ වැනි නායක්කර් වංශික රජවරුගේ අනුග්‍රහයෙන් මහනුවර සමයේ ඇරඹුණු විහාරස්ථානවල මෙම මකර තොරණ කිඹිසි මුහුණක් හෙවත් කීර්ති මුඛයකින් යුතුව ඉදිකරන්ට පටන් ගත්තා.

විහාරස්ථානවලට ඊශ්වර දෙවිඳුන්ගේ රැකවරණය පතා එලෙස මකර තොරණට කීර්ති මුඛය එක් කරන්නට ඇති බව සැලකෙනවා. සුවිසල් වූ දෙනෙත් ද, දෙපසට දික් වූ දත් ද, කිඹිහි මුහුණද රෞද්‍ර බවක් පෙන්නවා. මකර හිස වටා ලියවැල්වලින් සරසා තිබෙනවා. දෙපස මකරුන්ගේ මුඛයෙන් පිටවන ලියවැල් හා සත්ව රූප කීර්ති මුඛය තුළට යන ආකාරය අලංකාර ලෙස කැටයම් කර තිබෙනවා. මකර රූපය දෙපස දේව රූප දැකිය හැකි විහාරවලට උදාහරණ ලෙස ගඩලාදෙණිය හා ලංකාතිලක විහාරය දැක්විය හැකි යි.

 ගඩලාදෙණිය බුදු පිළිමයේ මකර තොරණ- stock.adobe.com

මහනුවර යුගයේ මකර තොරණ විවිධ වෙනස්කම්වලට භාජනය වී විකාශය වුණා. බොහෝ විට මකරා මුව ඉහළට අයා ගෙන සිටින අයුරින් දැක්වූව ද, දෙපසට මුව අයා සිටින මකර තොරණ ඉදි කළ අවස්ථා ද තිබෙනවා. රිදී විහාරයේ මකර තොරණේ මකර මුව තුළ සිංහ රූප දෙකක් ද, මකර මුඛ තුළට ඉහළින් දේව රූප හා තාපස රූප ද අලංකාර ලෙස නිර්මාණය කර තිබෙනවා. බදුල්ල බෝගොඩ ලෙන් විහාරයේ මකර තොරණ ද ඉදිකර ඇත්තේ මකරා දෙපසට මුව අයා ගෙන සිටින ආකාරයෙන්.

 ඇම්බැක්ක දේවාලයේ මකර තොරණ- stock.adobe.com

ගම්පොළ හා මහනුවර යුගවල විහාරවල ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවට ඉහළින් මකර තොරණ බොහෝවිට දක්නට ලැබුණා. උඩුනුවර ලංකාතිලක විහාරයේ පිවිසුම් දොරටුවේ ඇති මකර තොරණ, මාහැඟි කලා නිර්මාණයක් ලෙස දැක්විය හැකි යි. ලංකාතිලක බුදු පිළිමයට ඉහළින් ද අනගි මකර තොරණක් දැකගත හැකි යි. ගඩලාදෙණියේ ප්‍රතිමා මන්දිරයේ ඇති මකර තොරණ ගඩොලින් තනා බදාමයෙන් නිමකොට වර්ණාලේප කර තිබෙනවා. කුරුණෑගල රිදී විහාරය, දඹුල්ල ලෙන් විහාරය, මහනුවර ශ්‍රී දළදා මාලිගය, ලේවැල්ල ගංගාරාමය යන ස්ථානවල ඇති මකර තොරණ තරමක් විශාල යි.

මහනුවර යුගය වන විට මකර තොරණ කුඩා විහාර මන්දිරවලට පවා ඇතුළත් කිරීමට නිර්මාණ ශිල්පීන් උනන්දු වී තිබෙනවා. ඉතා සියුම් කැටයම් සහිත කුඩා මකර තොරණ සූරියගොඩ විහාරය, දියකෙලිනාවල, දනකිරිගල, මැදවල විහාරය වැනි තැන්වල දැකගත හැකි යි. නූතන යුගයේ සොයිලියස් මැන්දිස් සිත්තරා කළ කලාත්මක මකර තොරණ දෙකක් මල්වාන ලෙනගම්පොල විහාරයේ දී දැකගත හැකි යි.

 පැරණි පොල් තොරණක් - Nostalgia.lk facebook page

ගෙඩි තොරණ

ගෙඩි තොරණට අයත් වන්නේ පොල්ගෙඩි හෝ තැඹිලි ගෙඩි යි. පුවක් කොටවලින් තනන සැකිල්ලට එකිනෙක පොල් ගෙඩි එල්ලා මේ තොරණ සකස් කරනවා. අතීතයේ විහාරවල වෙසක් හා වෙනත් උත්සව කාලෙට ගමේ දායක පවුල්වලින් එකතු කරගන්නා පොල් ගෙඩිවලින් තමයි මේ තොරණ ඉදිකරන්නේ. උත්සවය නිම වූ පසුව එහි තිබෙන පොල් වෙන්දේසි කර හෝ විකුණා විහාරයට ආදායමක් ලබාගැනීමයි සිරිත වන්නේ.

 පල්ලියක මංගල්‍යයට තැනූ පොල් තොරණක් - tharurasi.blogspot.com

මෑතක සිට පොල් තොරණ කතෝලික පල්ලිවල මංගල්‍ය අවස්ථාවල ඉදිකිරීමත් දැක ගත හැකි යි. විවිධ සැරසිලි යොදා අලංකාර ආකාරයෙන් තැනූ ගෙඩි තොරණ පල්ලිවල දැකගත හැකි යි. රාත්‍රියේ දී වඩාත් අලංකාර වීමට මේ තොරණ විදුලි බුබුළු යොදා සැරසීමත් සිදුවෙනවා. පල්ලිවල ඉදිකරන පොල් තොරණවලින් පල්ලියට එන බැතිමතුන් පිළිගැනීම, ශාන්තුවරයාට ගරු කිරීම, ඉදිකරන්නන්ගේ සංස්කෘතික හා නිර්මාණ හැකියාව පෙන්වීම, බැතිමතුන් අතර සමගිය සහෝදරත්වය ඇති කිරීම යන කාරණා පසුබිමේ තිබෙනවා. 

 පල්ලියක තැනූ තැඹිලි තොරණක්- ගොඩැල්ල ශා. සෙබස්තියන් දෙව් මැදුර

ගෙඩි තොරණ වෙනුවෙන් ලියැවුණු පැරණි කවියක් දැන් කියවා බලමු:

ගෙනෙන ගෙනෙන             වලු
තොරණෙ බැඳෙන             වලු
තොරණෙ බඳින                 වලු
නැටි පරවෙන                    වලු

නැටි පරවෙන                 වලු
බිමට වැටෙන                 වලු
බිමට වැටෙන                 වලු
කොල්ලෝ කන              වලු

තවත් ගෙඩි තොරණක් වූ තැඹිලි තොරණ බොහෝවිට ඉදි කරන්නේ පල්ලියේ මංගල්‍ය අවස්ථා සඳහා යි. පුවක් කඳන්වලින් තැනූ තොරණ සැරසීම සඳහා තැඹිලි වලුපිටින්ම එල්ලී ම තමයි සිදුකරන්නේ. මංගල්‍යය දින අවසන් වූ පසු මෙහි තිබෙන තැඹිලි වලු ගලවා පල්ලියේ බැතිමතුන් අතර බෙදාදීම සිදුවෙනවා.

උත්සවයකට තැනූ ගොක් තොරණක්- mawbima.lk

ගොක් තොරණ

පොල් ගසේ ළපටි කොළ වන කහ පාටින් යුත් ගොක් කොළ යොදා තනන සැරසිලි අතීතයේ පටන් ම අපේ සංස්කෘතියේ අංගයක් වුණා. අපේ රටේ අනන්‍යතාව ලොවට විදහාපාන ක්‍රමයක් ලෙස ගොක් කලාව සැලකිය හැකි යි. ගැමි ජනයා තොවිල් පවිල්වලට ද, පිරිත් මණ්ඩපයට ද, තොරණට ද ගොක් සැරසිලි යොදා ගත්තේ එයින් මැවෙන අලංකාර රූ රටා ගැන අවබෝධයෙන්. ගමේ මඟුල් අවමඟුල්, පන්සලේ පිංකම්වල දී මෙන් ම වෙසක් උත්සවවලදිත් ගොක් තොරණ යොදා ගත්තා. මෑත අතීතයේ දී රාජ්‍ය උත්සවත් සැරසීමටත් ගොක් තොරණ යොදාගෙන තිබෙනවා. එමෙන්ම සරල වෙසක් තොරණ ගොක්කොළ භාවිතයෙන් තැනීම සිදුවුණා.

දශක හතර පහකට පෙර පැතිර තිබූ ගොක් කලාව මෙන්ම ගොක් තොරණ ද දැන් දැක ගැනීම අසීරු යි. එයට එක් හේතුවක් නම් ඩිජිටල් මුද්‍රණයෙන් පහසුවෙන් පිළිගැනීම් තොරණ, පිංකම්වල තොරණ ආදිය තැනීමට හැකිවීම යි. ඒ වගේම ගොක්කොළ කැපීම නිසා පොල් අස්වැන්න අඩුවීමත් ගොක් භාවිතය අඩුවීමට හේතුවක් වුණා. නොයෙක් අතට ගොක්කොළ වියා, විවිධ හැඩතලවලින් හැඩ දමා කෙරෙන ගොක්කොළ තොරණ වැඩිම වුණොත් පවතින්නේ දින තුන යි. ගොක්කොළවලට දීප්තියක් ලබා ගැනීමට පොල්තෙල් ආලේප කිරීමත් සිරිතක්.  දින තුනක් ගතවන විට ගොක්කොළ මැලවී කහ පැහැය අඳුරු පැහැයට හැරෙනවා. එවිට තොරණ ගලවා දැමීම සිදුවෙනවා.

05. පුරෝගාමී වැඩ ගැන සම්ප්‍රදායෙන් ඉගෙන ගන්න - උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පොල් මල් තොරන