Translate

Sunday, December 27, 2015

කලා කීර්ති එඩ්වින් ආරියදාස නැමති බාලදක්ෂයා

කූඹි කැළේ තිබුණු ජම්බෝරියටත් මම සහභාගී වුනා - ආචාර්ය එඩ්වින් ආරියදාස

(95 වැනි උපන්දිනය වෙනුවෙන්)
ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ කවදාවත් උගන්වා නැති විෂයක් පටන් අරගෙන මගෙන් අහනවා හෙට උදේ ඉඳන් උගන්වන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන් කියලා. මොකද ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම මට තිබුණා. නමුත් ඒ විෂය කරුණු බොහොමයක් තිබුණේ ඉංග්‍රීසියෙන්. මට ඒ සියල්ල සිංහල බසට හරවන්න සිදුවුණා. ඒ වෙනුවෙන් මම විෂය නිර්දේශයකුත් හැදුවා.

කලාකීර්ති එඩ්වින් ආරියදාස යනු අපේ රටේ ජ්‍යෙෂ්ඨතම සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු මෙන්ම ගුරුවරයකු ලෙසින් සුවිශාල මෙහෙවරක යෙදෙන වියතෙකි. මෙරට පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද විශාල කාර්යභාරයක්‌ ඉටුකරනු ලබන හෙතෙම රටවල් ගණනාවක සංචාරය කරමින් ලද අත්දැකීම් හා දැනුම නිර්ලෝභීව අන් අයගේ ද අවබෝධය පිණිස බෙදා දෙමින් ශ්‍රී ලාංකික සන්නිවේදන ක්‍ෂේත්‍රයට අනභිබවනීය සේවයක් ඉටු කරන්නා වූ ප්‍රාඥයෙකි. 

ඕනෑම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධව එතුමාගේ දැනුම පුදුමාකාරය. මෙරට පරම්පරා ගණනාවක් තම දැනුමෙන් පෝෂණය කළ එඩ්වින් ආරියදාසයන්ට ඇවිදින පුස්තකාලය ලෙසින් ද නම් පටබැඳීණි. මේ මහා විද්වතාගේ විශේෂත්වය මෙය යැයි ලඝු කළ නොහැකිය. අනූපස් වසරක ජීවන අත්දැකීම් සේම හැටහත් වසරක වෘත්තීය ජීවිතයේ අත්දැකීම් අද එතුමා සතුව පවතී. 

“මට මගේ කුඩා කාලය කවදාවත් මගේ මනසෙන් ගිළිහෙන්නේ නැති කාල පරිච්ඡේදයක්. ඒකට එකම හේතුව බොහොම ඉහළින් ආදරය ලැබුණු ළමා කාලයක් හිමිවීමයි. මම කුඩා කාලයේ ලද ආදරය තරම් ආදරයක් කවුරු හරි ලබා තියෙනවා නම් ඒ අතළොස්සක් පමණයි. ඒක මගේ වාසනාවක්. මම ඉපදුනේ ගාල්ල උණවටුන ප්‍රදේශයේ ගැමි ගෙදරක. මට අයියණ්ඩිලා තුන් දෙනෙකුයි අක්කණ්ඩිලා දෙන්නෙකුයි සමඟින් පවුලේ බාලයා වීම නිසා අම්මා තාත්තා වගේම අයියණ්ඩිලා අක්කණ්ඩිලා හැමෝගේම ආදරය ඉහළින්ම ලැබුණා. වැඩිහිටි වියට පත් වුණාමත් මගේ මාධ්‍ය ජීවිතයෙන්, ලේඛණ කලා කටයුතු වගේම සංවිධාන කටයුතු හරහා මමත් ඒ ආදරය සමාජයට බෙදා දුන්නා. මම කිසිවෙකුත් සමඟ තරහ නැහැ. කිසිවෙකුට වෛර කරන්නෙත් නැහැ. මොකද මට එවැන්නක් කවදාවත් ලැබිලා නැහැ. මගේ වෘත්තිය මාධ්‍යවේදය නිසා කාටත් හිතැති දේ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකට හොඳ අඩිතාලම වැටුණේ කුඩා වියේදීමයි. 

මම පොතට පතට ආදරය කළේ වයස අවුරුදු දෙකේදී තුනේදී විතර. විවිධ පින්තූර තියෙන ඉංග්‍රීසි පොත් අපේ ගෙදර තිබුණා. ඒවා අපේ ලොකු අයියණ්ඩිගේ පොත්. මම සෙල්ලම් බඩු විදියට සැළකුවේ ඒ පොත්. දඟ වැඩක් විදියට කළේ පෑන අතට ගත්තු එක තමයි. පොතටම ඇලිලා හිටිය නිසා කය වෙහෙසා කරන ව්‍යායාම් ක්‍රියාකාරකම් නම් අඩු වුණා.”

ඔබ කුඩා වියේදී බාලදක්ෂයෙක්?
මගේ අයියණ්ඩි තමයි බාලදක්ෂයා. මට වුණේ වෙන දෙයක්. අයියා නම් බාලදක්ෂ කඳවුරු සමඟින් ලංකාවේ විවිධ පළාත්වල සංචාරය කළා. මම සිංහල පාසලේ ඉගෙන ගන්න කාලයේදී බාලදක්ෂ කඳවුරුවලට කැඳවීම් කළා. වර්තමානයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පිහිටා තියෙන භූමියේ එක බාලදක්ෂ කඳවුරක් පැවැත්වුණා. ඒ කාලයේ ඒ ප්‍රදේශයට කිව්වේ කූඹි කැළේ කියලයි. වන ලැහැබක් වගේ තමයි තිබුණේ. ඒ බාලදක්ෂ කඳවුරට මමත් සහභාගි වුණා. බාලදක්ෂයෙක් වුණාම වතුර ගේන්න, උයන්න පිහන්න වගේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් ඕනේ. හැබැයි ඉතින් මට ඒ මොකුත් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මට බරපතල කාර්යයක් පැවරුනොත් අනිත් අය මං වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඒ කටයුතු කළා. මගේ බාලදක්ෂ ජීවිතේ ගත වුණේ එලෙසින්. ඒ නිසා බාලදක්ෂ පරමාර්ථ මගෙන් ගිළිහුණා. 

පොතපත කියවීම පුංචි කාලයේ පටන්ම ලෝක දැනුම හොයන්න උනන්දු කරවන්න ඇති?
පොතපත කියවන්න හැමදාම මගේ කුතුහලයක් තිබුණා. ජාත්‍යන්තරය ගැන හදාරන්න පෙළඹීම එහි ප්‍රබලම අවස්ථාවයි. අපි පුංචි කාලයේ සිල්ලර කඩවලින් බඩු ඔතලා දෙන්නේ නෝට්ස් පේපර්වල. අමෙරිකාව වගේ රටවලින් තොග වශයෙන් ගෙන්වන පරණ පත්තරවලට තමයි එහෙම කියන්නේ. ඒ නොට්ස් පේපර්වල තියෙන දේවලුත් මම කියවනවා. නිව්යෝක් ටයිම්ස් පත්තරයේ අතිරේඛ මම ඒ කාලයේදීම කියවලා තියෙනවා. පුවත්පත් කියවන්න දේශදේශාන්තරවල සිදුවීම් ඉතා හොඳීන් හදාරන්න මට මඟ පෑදුණේ එළෙසින්. මම පුංචි කාලයේදීම සිංහල සහ ඉංග්‍රීසි පත්තර කියවනවා. ඒවායේ තියෙන ප්‍රහේලිකා පුරවන්නත් මම දක්ෂයි. ඒ විතරක් නෙවෙයි. ඉංග්‍රීසි පත්තරවල තියෙන දේවල් අක්කණ්ඩිලාටත් කියලා දෙනවා. 

මේ කටයුත්තට පාසලෙනුත් ලොකු සහයක් ලැබෙන්න ඇති?
මම මුලින්ම ගියේ අපේ ගෙදර ළඟ තිබූ උණටවුන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට. ඊට පසුව දේවාතුඩුවේ ඉංග්‍රීසි පාසලට ඇතුළත් වුණා. එහි ප්‍රධානාචාර්ය ඒ. එම් අබේගුණරත්න නම් විද්වතා නිසා මගේ ඉංග්‍රීසි දැනුම තව තවත් වර්ධනය කරගන්න අවස්ථාව උදාවුණා. අනිත් ළමයි පිට්ටනියේ සෙල්ලම් කරද්දි මම හිටියේ ඉස්කෝලේ පුස්තකාලයේ. මං ළඟ තිබුණා ළමා විශ්වකෝෂයක්. ඒක මගේ පුංචි කාලයේ ඉතාම ආදරය දිනූ ග්‍රන්ථයක්. මම ඒ පොතට මොන තරම් ආශා කළාද කිව්වොත් ඒ පොතේ තිබුණු ඡායාරූපයේ එහි කර්තෘවරයාගේ විදියට කොණ්ඩය පවා පීරන්න පුරුදු වෙලා හිටියා. විවේක වෙලාවට මම කරන්නේ ඒ විශ්වකෝෂය කියවන එකයි.
තවත් විශේෂ කාරණයක් තියෙනවා. දෙවන ලෝක මහා යුද්ධය ආරම්භ වුණේ මට අවුරුදු දහහතේදීයි. ඒ නිසා මට ඉතාම හොඳීන් ඒ තොරතුරු හදාරන්න අවස්ථාව ලැබුණා. මගේ යහළුවනුත් ඒවට ආදාළ තොරතුරු මට ගෙනත් දෙනවා. අහස් යානා හඳුනා ගන්නා රූප, යුධ නෞකාවල රූප ඒ අතරේ තිබුණා. වැඩිහිටියෝ පවා ඒ කාලයේ දෙවන ලෝක යුද්ධය ගැන තොරතුරු අහන්නේ මගෙන්. 

ඔබ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කළේ පුංචි කාලයේදීමයි. ඒ වෙනුවෙන් උනන්දුව ඇති කළේ අයියණ්ඩිලාද?
මම උපදිනකොට මගේ ලොකු අයියණ්ඩි රැකියාවකටත් ගිහින්. හැබැයි එයා කියවපු පොත් ගෙදර තිබුණා. මම පුංචි කාලයේ රූප බැලුවේ ඒ පොත්වලින්. ටික කාලයක් යනකොට මට තනිවම ඉංග්‍රීසි අකුරු කියවා ගන්න පුළුවන් වුණා. ඒක පුදුමයක්. තාමත් ඒක කොහොම වුණාද කියලා මට හිතාගන්න බැහැ. මගේ වයස අවුරුදු තුනක් විතර වෙනකොට මට ඉංග්‍රීසි අකුරු කියවන්න පුළුවන්. වයස අවුරුද පහ හය වෙනකොට ජනප්‍රිය පොතපත කියවන්න හැකියාව ඇති වුණා. ගෙදර තියෙන පොත් කියවලා ඉවර වුණාම අසල්වැසි ගෙවල්වල තියෙන ඉංග්‍රීසි පොතුත් ඉල්ලා ගෙන කියවනවා.
එක ගෙදරක තිබුණා මම කවදාවත් කියවලා නැති ෂර්ලොක් හෝම්ස්ගේ නවකතා පොත් ටිකක්. මම ඒවත් ඉල්ලාගෙන කියෙව්වා මතකයි. ඒ විදියට පොත් කියවීම තුළින් කිසි බාධාවකින් තොරව ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න හැකියාව ලැබුණා. චාර්ල්ස් ඩිකන්ස්ගේ ‘අ ටේල් ඔෆ් ටූ සිටීස්’ වගේ පොත් කියෙව්වේ පුංචි කාලයේදීමයි. වයස අවුරුදු දහඅටක් විතර වෙනකොට සිංහල සාහිත්‍ය යේ පැරණි පොතපත වගේම ඉංග්‍රීසි සාහිත්‍යෙයේත් ප්‍රධාන පෙළේ පොත් කිහිපයක්ම කියවා ගන්න හැකියාව ලැබුණා. ඒ හැකියාව මට ලැබුණේ උපතින්මයි. ඒකට අපේ අක්කණ්ඩිලා කිව්වේ, මම ගිය ආත්මයේ සුද්දෙක් වෙන්න ඇති කියලයි. 

ගාල්ල මහින්ද විද්‍යාලත් ඔබේ ජීවිතයේ සුවිශේෂි ස්ථානයක්?
ගාල්ල මහින්ද විද්‍යාලයේ මම ඉගෙන ගත් කාලයේ විද්‍යාලාධිපති වුණේ ඊ. ඒ විජේසූරිය මහත්මයා. මම උසස් අධ්‍යාපන සහතික පත්‍ර විභාගයට මුහුණ දුන්නේ එහිදීයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙන්නේ මේ විභාගය සමත්වූවාට පසුවයි. විනී විතාරණ, නන්දදාස කෝදාගොඩ, සිරි ගුණසිංහ අපි එක පන්තියේ හිටියේ. ඒ කාලයේ මහින්දයේ තිබුණා ටක් ෂොප් එකක්. අපි තේ එකක් එහෙම බොන්න එතැනට යනවා. එතැනදී කෙසෙල් ගෙඩිත් එක්ක වඩේ කන්න අපි පුරුදු වෙලා හිටියා. ඒ කාලයේ ඒක අපට ඉහළ කෑමක්.
මහින්ද විද්‍යාලයේ පුස්තකාලයත් මම නිතරම ගැවසුන ස්ථානයක්. මහින්දයේ පුස්තකාලයේ තිබූ පොත් අතුරින් වැඩි ප්‍රමාණක් කිය වූ කෙනා මා බව එකල පුස්තකාලය භාර නිළධාරියා මට දිනක් පැවසුවා. මහින්ද විද්‍යාලය කියන්නේ හරිම අපූරු ස්ථානයක්. වළාකුළින් තොර දවසට අපිට ශ්‍රී පාදය පේනවා. අපි ඒ අවස්ථාව සැළකුවේ විශේෂ ආශිර්වාදයක් විදියටයි. 

ඔබ බෞද්ධ කටයුතු වෙනුවෙන් කැප වෙන්නෙත් තරුණ වියේදීමයි?
විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී බෞද්ධ සහෝදරත්ව සංගමයේ සභාපතිවරයා වුණා. ඒ විතරක් නෙවෙයි, දිප ව්‍යාප්ත බෞද්ධ සංවිධානයක් වුණු සමස්තලංකා බෞද්ධ ශිෂ්‍ය සංවිධානයටත් බැඳී සිටියා. නමුත් ඒ වෙනකොට මම සරසවි ප්‍රවේශ විභාගයේ ප්‍රථිඵල එකතෙක් මහින්ද විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට කටයුතු කළා. එතකොට තමයි රැකියාව, වාහන, සති අන්තයේ සංචාරත් තියෙනවා, කොළඹට එන්න කියලා සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සංවිධානයේ කොළඹ ප්‍රධාන ශාඛාවෙන් ආරාධනා කළේ. 

ධම්මපදය හෙලබසට සහ ඉංග්‍රීසි බසට සංස්කරණය කළෙත් ඔබ?
ඒ පොත පුදුමාකාර ජනප්‍රිය ග්‍රන්ථය බවට පත් වුණා. ඒක රචනා කළේ සිංගප්පූරුවේදියි. මා සිංගප්පූරුවට කැඳවා ඒ වගකීම මට භාර දුන්නේ සිංගප්පූරුවේ මහානායක වේරගොඩ සාරද හිමියන්. එක දවසකට මේ පොතට දුරකථන ඇනවුම් දෙදහසක් පමණ පැමිණි බව සිංගප්පූරුවේ ස්ටේට්ස් ටයිම්ස් සඟරාව මුල් පිටුවේ වාර්තා කළා. 

ඔබ මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ලේක්හවුස් ආයතනයෙන්?
මට ලේක්හවුස් ආයතනයෙන් කැඳවීමක් ලැබුණේ 1949 වසරේදීයි. ඒ කාලයේ ලේක්හවුස් සභාපතිවරයා වුණේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා. එතුමා විසින් පෞද්ගලික ලේකම් ඊලියන් පෙරේරා මහත්මයා අතේ තමයි පණිවුඩය එව්වේ. පොඩි කාලයේ පත්තරවලට ලියන්න උනන්දුව තිබුණත් ඒ වෙනකොට මට රැකියාවක් තිබුණු නිසා ලොකු උනන්දුවක් ඇති වුණේ නැහැ. ඔන්න දෙවැනි වතාවටත් පණිවුඩය ලැබුණා. එතකොට මම මේ කතාව මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාට කිව්වා. ‍“ඉතිං එඩ්වින් මහත්තයා පොඩි කාලයේ පටන් මාධ්‍යනේ ආශ්‍රය කළේ ගියා නම් හොඳයි නේ” කියලා එතුමා කිව්වා. 

එතකොට ඔබේ හිත ආයෙමත් ළමා කාලයේ තිබූ අසාවට ඇදී ගියා?
මම ගිහින් එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයා හමුවුණා. ලේක්හවුස් එකට සේවයට බැඳෙන්න මම එකඟ වුණා. අලුතෙන් බැඳුණු මම ලේක්හවුස් එකේ කර්තෘ මණ්ඩලවලට හඳුන්වා දෙන්න එක්කර ගෙන ගියෙත් සභාපති වික්‍රමසිංහ මහතාමයි. ඕනිම පත්තරයක වැඩ කරන්න තෝරා ගන්න අවස්ථාව මටම දුන්නා. සියලුම කර්තෘ මණ්ඩල හඳුනාගෙන එනකොට ඒ කාලයේ දිනමිණ පත්තරේ කර්තෘ පියසේන නිශ්සංක මහත්තයා අපි පසුපසින් ආවා. එතුමා මාව තම කර්තෘ මණ්ඩලයට බඳවා ගන්න ඉල්ලීමක් කළා. ඒ අනුව මම ලේක්හවුස් එකට බැඳුනේ 1949 මාර්තු 03 වැනිදා. ඊට දවස් විසි එකකට පසුව 1949 මාර්තු 24 එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්තයාගේ දෙවැනි පුත්‍රයාගේ උප්පත්තිය සිදු වුණා. ඒ තමයි වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. එතුමාගේ ජීවිතය මගේ වෘත්තිය ජීවිතයට වඩා දවස් විසිඑකක් බාලයි.
ලේක්හවුස් ආයතයේ මම මුලින්ම සේවය කළේ පියසේන නිශ්සංක මහත්තයා යටතේ දිනමිණ පුවත්පතටයි. ඉන් පසුව සිළුමිණ, ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, ජනතා, බුදුසරණ, සුබසෙත ආදි සියලුම පත්තරවල සේවය කළා. ඒ කාලයේ සරසවිය පත්තරයට ලෝක සිනමාව ගැන ලිව්වේ මමයි.
නවයුගය පත්තරයේ කර්තෘ ධුරය ලැබීම මගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක්. ඒක පුවත්පත් කලාවට නවයුගයක් වගේම මගේ ජීවිතයටත් නවයුගයක් වුණා. ඒ කාලයේ රූපවාහිනිය තිබුණේ නැහැ. අන්තර්ජාලය, සමාජ වෙබ් අඩවි කිසිම දෙයක් තිබුණේ නැහැ. ලොකු කුඩා සැමට ලෝක විත්ති දෙන්න මම ක්‍රම හොයා ගත්තා. මම නාසා ආයතනය සමඟ පෞද්ගලිකව ලිපි ගනුදෙනු කළා. තානාපති කාර්යාලවලින් තොරතුරු ලබා ගත්තා. සමහර දවස්වලට රාත්‍රි දොළහ වෙනකල් මම ලේක්හවුස් එකේ ඉඳන් ලිපි ලිව්වා.

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමඟින් කටයුතු කාලය ගැනත් සිහිපත් කරමු?
එතුමා ඉතාම හිතවත්ව මා සමඟින් කටයුතු කළා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙසින් කටයුතු කරන්න මට අවස්ථාව ලැබීමත් සමඟින් එතුමාගේ හිතවත් මිතුරකු බවට පත් වෙන්න මට හැකි වුණා. මගේ රූපවාහිනි වැඩසටහන් ගැන එතුමා නිතරම කතා කළා. එතුමාගේ තිබුණු විශේෂත්වය තමයි එතුමාට තිබුණේ කුතුහලයෙන් පිරි ළමා මනසක්. සන්නිවේදන ක්ෂේත්‍රෙය් මහා පෙරළියක් කළ එතුමා විසින් මා හැඳීන්වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රෙය් ජ්‍යෙෂ්ඨතමයා විදියටයි. ආතර් සී ක්ලාක් මහත්මයා මට දුන්නේ එවැනි සම්මානයක්. 

අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ජනසන්නිවේදන විෂය හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ ඔබයි?
ලේක්හවුස් එකේ සේවය කළ කාලයේදී විවේක ලද හැම අවස්ථාවකම යන්නේ විවිධ රටවල තානාපති කාර්යාලවලටයි. ගිහින් අලුත්ම විෂයන් පිළිබඳ ලියවුණු පොත් සන්නිවේදනය, මුද්‍රණ ශිල්පය, සිනමාව, රූපවාහිනිය ආදිය හොඳීන් අධ්‍යයනය කළා. “එඩ්වින් ජීවත්වෙන්නේ දැනට වඩා අවුරුදු පනහක් විතර ඉදිරියෙන්” මට වඩා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දීන් මට පැවසුවා. ඒ දැනුම කවදා හරි ප්‍රයෝජනවත් වේවි කියලා මං හිතුවා. 1969 වසරේදී ආණ්ඩුව අලුත් අධ්‍යාපන ආයතන නිර්මාණය කළා. ප්‍රධාන විශ්වවිද්‍යාලවලට යා නොහැකි දරුවන් වෙනුවෙන් වූ ඒවා හැඳීන්වූයේ කණිෂ්ඨ විශ්වවිද්‍යාල නමින්. පරිවර්තන, පුස්තකාල විද්‍යාව, සංචාරක ව්‍යාපාරය ආදි දේ ඒවායේ විෂය නිර්දේශයට ඇතුළත් වුණා.
දෙහිවල කණිෂ්ඨ විද්‍යාලයේ ජනසන්නිවේදන නමින් විෂයක් පටන් ගත්තා. ඒ කාලයේ ඒ විෂයට කිව්වේ ජනවිඥාපනය කියලයි. “හෙට උදේ පටන් මේ අලුත් විෂය උගන්වන්න එඩ්වින්ට පුළුවන් දැයි” කියා එය භාරව සිටි මන්ත්‍රී කාරියවසම් මට දුරකථන ඇමතුමක් දීලා ඇහුවා. ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ කවදාවත් උගන්වා නැති විෂයක් පටන් අරගෙන මගෙන් අහනවා හෙට උදේ ඉඳන් උගන්වන්න පුළුවන්ද කියලා. මම කිව්වා පුළුවන් කියලා. මොකද ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම මට තිබුණා. නමුත් ඒ විෂය කරුණු බොහොමයක් තිබුණේ ඉංග්‍රීසියෙන්. මට ඒ සියල්ල සිංහල බසට හරවන්න සිදුවුණා. ඒ වෙනුවෙන් මම විෂය නිර්දේශයකුත් හැදුවා.

ඔබ තනිකඩ ජීවිතයක් ගත කරන්නේ ඇයි කියන එක පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දි මතු වෙන ප්‍රධානතම ප්‍රශ්නයක් ?
මම යම් තරුණියක කෙරෙහි ඉතා බැරෑරුම් ප්‍රේමයක් ඇති වී බිඳී ගොස් එහි විරහ වේදනාව නිසා තනිකඩ ජීවිතයක් ගත කරන බව බොහෝ දෙනා සිතූ දෙයක්. නමුත් කවදාවත් එවැන්නක් සිදු වුණේ නැහැ. මමත් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේ මනෝවිද්‍යාත්මක පොත පත හැදෑරිමෙන්. මගේ තනිකඩ ජීවිතයට ප්‍රධානතම හේතුව දීර්ඝකාලීන ළමා සමය යි. එය ඇති වෙන්නේ මගේ පවුලෙන් ලද අසීමිත ආදරය සමඟින්. විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියනකොටත් මගේ නියපොතු කැපුවේ ලොකු අක්කණ්ඩි. 

එතකොට හිත ගිය ගැහැනු ළමයෙක් හිටියෙම නැද්ද?
මොකද නැත්තේ හිටියා. හුඟක් හිටියා. ඇයි බෞද්ධ සංගමයේ කටයුතු කරන කාලයේදී ගැහැනු ළමයි, පිරිමි ළමයි අපි හැමෝම නිතර හමු වෙනවා. නොයෙක් පළාත්වල ඇවිදිනවා. ඉතිං ප්‍රේම සම්බන්ධතාත් බහුලයි. 

ඉතිං එහෙනම් එක්කෙනෙක් තෝරාගෙන විවාහ නොවුනේ ඇයි?
ඒක මගේ වරද නෙවෙයි. ඒක මේ ලංකාවේ කාන්තාවන්ගෙන් අහන්න ඕනි ප්‍රශ්නයක්. ඔවුන් මා විවාහකර ගත්තේ නැත්තේ ඇයි? ඔන්න මෙන්න වගේ එක සබඳතාවක් තිබුණා. නමුත් ඒක සිදු වුණේ නැහැ. මොකද කාන්තාවන්ට බලා ඉන්න බැහැනේ. ඒකයි වුණේ. 

ඔබතුමාගේ ඇඳුම් විලාසිතාවත් විශේෂිතයි?
1990දී විතර ලෝකයට තෙවන ලෝකයේ රටවල් කියන හැඟිම ආවා. එතකොට ඉන්දුනීසියාව, සිංගප්පූරුව, චීනය, බුරුමය ආදි තෙවන ලෝකයේ රටවල නායකයන් මේ සරළ සෆාරි ඇඳුමට පුරුදු වුණා. ඔවුන් ඒක නම් කළේ තෙවන ලෝකයේ යුද්ධ ඇඳුම ලෙසින්. සරළයි. ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයකට අඳීන්න පුළුවන්. මේ ඇඳුම ඇඳගෙන පාසලක දේශනයකට යන ගමන් මංගල උත්සවයකටත් යන්න පුළුවන්. ඉතිං මම මේ ඇඳුමට ප්‍රිය කළා. ලංකාවේ මා අනුගමනය කළ ඇතැම් අයත් මේ ඇඳුමට පුරුදු වුණා.
එඩ්වින් ආරියදාසයන් සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම අදත් අප රටේ මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදී සිටින්නේය. විවිධ විෂයන් ඔස්සේ ලෝකය වෙත විහිද ගියා වූ දැනුම සියල්ලන් වෙත ලබා දෙන්නේය. අනූපස් වැනි ජන්ම දිනය සමරන ඔබට තවත් චිරාත් කාලයක් අප සැමට වටිනා දැනුම ලබා දෙමින් වැජඹීමට ශක්තිය ධෛර්යය ලැබේවායි සරසවියේ ප්‍රාර්ථනය යි.
 ----------------------------

බල ශක්තිය ඉවර වුණු චන්ද්‍රිකා පාවෙලා එන්නේ රූමස්සල අහසට

වසර 91 ක ජීවන අත්දැකීම් සහ දශක හතක පමණ වෘත්තිය අත්දැකීම් යමෙකුට ලැබෙන්නේ සොබාදහමේ ආශිර්වාදය හා දෛවයේ අපූර්ව වාසනාවක් නිසාය. එවන් වූ රෝහණ ප්‍රදීප, කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අපට සුවිශේෂ වන්නේ ඔහු ලේක්හවුසියට පය තබා වසර 65 ක් සැපිරීම ද පසුගිය 3 වැනිදාට යෙදීම හේතුවෙනි. 1980 මුල භාගයේ ඇරැඹි මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රථම ප්‍රවර්ධන අධ්‍යක්ෂ වීමේ වරම ලද්දේ ද ඔහුය. මාධ්‍යවේදියකු, පරිසරවේදියකු මෙන්ම ගුරුවරයකු ද වූ නිසාත් ඒ ඔස්සේ පරම්පරා තුනක ජනතාවට ලබාදුන් දැනුම නිසාත් සමහරු ඔහු හැඳින්වූයේ ඇවිදින පුස්තකාලයක් ලෙසය.
අද මෙන් තොරතුරු තාක්ෂණය නොතිබුණ යුගයක දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට පරිසර සංරක්ෂණය මතු නොව විදෙස් විත්ති, නවීන විද්‍යාව ආදී දෑ නව ලොව පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ ‘අන්තර්ජාලය’ බවට පත් වූයේ ද ඔහුය. රටවල් ගණනාවක සංචාරය කරමින් ලද අත්දැකීම්, දැනුම හා වින්දනය නිර්ලෝභීව අන් අයගේ අවබෝධය වැඩීම සඳහා ලබා දුන් ඔහු ලොව පුරා දුටු ස්ථාන අතරින් ලස්සනම තැන ගැන අපට හෙළි කළේ මෙසේ ය.
‘අප්‍රිකානු මහද්වීපයේ ටැන්සානියා හා කෙන්යා අතර නමංගා කියන ප්‍රදේශයේ තිබෙන කීර්තිමත්ම ජාතික වනෝද්‍යානයක් තමයි අම්බුසෙල්. වැට කොටු පවුරු මුකුත් නෑ. සතුන් ඉන්නෙත් නිදහසේ, අපි යන්නෙත් නිදහසේ. ඇත්තම කීවොත් මම පළමුවැනි වරට වල් අලියෙක් දැක්කෙත් එහෙදි. ඉතින් අපව නිල වශයෙන් මඟ පෙන්වන්නන් සමඟ ඒ වනෝද්‍යානය නරඹන්න යවද්දී අපි දැක්කා සිංහයෝ වගයක් මහා කම්මැලි විදිහට නිදා ඉන්න හැටි. අනෙක් සතුනුත් එහෙමයි. ඔහේ ඉන්නවා. පරිසර සංවිධානයේ ප්‍රධානියයි තවත් ආරාධිතයකුයි මමයි හෝටලේදි කතා වුණා ඒ ගමන කිසිම ලකයක් නැහැ, ඒ නිසා මඟ පෙන්වන්නන්ට නැතිව උදේ පාන්දරින් ආයෙත් යමු කියලා. එහෙම යද්දි අපි දැක්කා සිංහ පවුලක් පාරේ සුරතල් පාමින් ඉන්නවා. කලින් දා පුරුද්දට අපි ඒ ළඟට ම ගියා විතරයි මහ සිංහයා ආවෙ නැද්ද වාහනේ ළඟටම. වටේ කැරකි කැරකි ඉව කරන්න ගත්තා. ඒ අතර එහා පැත්තේ සිංහයෙක් සීබ්‍රාවෙකු පස්සේ පන්නාගෙන ගිහින් මැරුවා. මට නම් ඉතින් ඒ තරම් බයක් දැනුණේ නෑ. හැබැයි අනිත් අය කීවා මම එදා තරම් බයවෙලා හිටිය දවසක් දැක්කේ නෑ කියලා.”
සරල කවට කමකින් පසු දක්වන සුපුරුදු සිනාවෙන් වත සරසාගෙන ඔහු යළිත් මෙසේ කීවේය.
“ඔය වගේ දේවල්වලට අමතරව චීන මහා ප්‍රාකාරය, එවරස්ට් කන්ද, හිමාල කූටය, ෆුජීයාමා ගිනි කන්ද, හවායි දූපතේ සුන්දර වායිකිකි වෙරළ වැනි බොහෝ දේවල සෞන්දර්යයෙන් මගේ සිත වශීකෘත වුවත් උපන්දා සිටම මට දකින්නට ලැබුණු පාරිසරික නිධානයක් වූ ඓතිහාසික රූමස්සල තරම් මගේ සන්තානයේ ගැඹුරට කා වැදුණු තැනක් කොහේවත් නෑ.”
එසේ පැවසූ ඔහු රූමස්සල කුඩා කල සිට දුටු ආකාරය ගැන කියන්නට විය.
“අපි කුඩා කාලේ ඉඳන්ම රූමස්සල දැක්කේ හරියට අපේ ගම රකින මුර දේවතාවෙක් වගේ. ඇත්තෙන්ම එය තහවුරු කරමින් සුනාමි ආ වෙලාවේ අපේ ගම බේරුවෙත් රූමස්සල තමයි.”
“ගාල්ලේ ඉඳන් බලද්දි මේ කන්ද අපට පෙනෙන්නේ මහා විශාල සත්ත්වයෙක් වතුර බොන්න මුහුදට එබෙනවා වගේ.”

ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ එෆ්. ජි. පියර්ස් මහතා 1921 වසරේ සිට 1923 වසර දක්වා ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළා. දකුණු ලක ප්‍රථම බාලදක්ෂ කණ්ඩායම බිහි කරන විට විදුහලේ සිටි ශිෂ්‍යයන් තුන්සිය දෙනාගෙන් හරි අඩක්ම බාලදක්ෂයින් බවට පත් කෙරුවා. කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිව සිටි මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය විනී විතාරණ, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කේ. පී. ආරියරත්න, මහාචාර්ය සිරි ගුණසිංහ, මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය දයා රෝහණ අතුකෝරළ වැනි විද්වතුන් බිහිවූයේ මහින්දයෙන්. මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණි පිරිස අති විශාලයි. පුවත්පත් කලාගුරු ඩී. බී. ධනපාල, ඉරිදා ලක්බිම කර්තෘ සුන්දර නිහතමානී ද මැල්, ලක්බිම කර්තෘව සිට නැසීගිය කිත්සිරි නිමල්ශාන්ත වැන්නවුන් ද විමුක්ති ජයසුන්දර වැනි අන්තර්ජාතික සම්මානලාභී සිනමා අධ්‍යක්ෂවරුන් ද මහින්දයෙන් බිහිවූ අය. ඒ් අතර එඩ්වින් ආරියදාස නමත් රැදෙනවා.  දැවැන්ත ව්‍යාපාරිකයන් වූ මහින්දයේ සෙවනින් බිහි වූ විමලධර්ම සහෝදරයෝ, ඇල්බට් එදිරිසිංහ, ආතර් සේනානායක වැන්නවුන් අමතක කළ නොහැකියි.

“අපිට අවුරුදු 13- 14 කාලේ ළමයි කණ්ඩායම යනවා කැලේ බලන්න. ඒ වගේම බාලදක්ෂ කඳවුරුවලටත් අපි එහෙ යනවා. එතකොට අපිට පේන්නේ එය පුදුම ගුප්ත පෙදෙසක් වගේ. ඈත ඉඳන් බලද්දි ගස්වැල්වල පැහැය ඉර එළියට වෙනස් වන ආකාරය මහා පුදුම දෙයක් හැටියට අපට පෙනුණා. අපි කුඩා කාලේ සංචාරක ව්‍යාපාර මුකුත් ඒ අසලවත් තිබුණේ නෑ. රූමස්සල ආශ්‍රිතව වැඩිහිටියන්ගෙන් ඇසුණු දේව කතා හා විභූතිය තමයි අපේ යටි හිතේ රැඳුණේ.”

එදා ඇසූ ඒ කතා තවමත් ඔහුට මතකය. පුංචි කාලේ ඒවා විශ්වාස කළත් නැතත් අද ඒ දෙස උපේක්ෂාවෙන් බැලීමට ඔහු තීරණය කර ඇතුවා සේය. ඒ වෙන කිසිවක් නිසා නොව රූමස්සලට ඇති ආදරය නිසාමය.
“රූමස්සල කන්දේ තිබෙනවලු ගුප්ත වනයක්. ඒකේ වටිනා කළුනික තිබෙනවලු. ඒ කතා සියල්ල රාමායනය අනුවයි කේන්ද්‍ර වන්නේ.”
“රාමායනයට අනුව රාවණා, රාමාටත් හමුදාවටත් විරුද්ධව යැවූ රාම සැරයක් ලක්ෂ්මනට වැදිලා වැටුණලු. ඒ වාරේ වෙදනා කීවලු හිමාලයේ තිබෙන බෙහෙතක් හෝරා විසිහතරක් ඇතුළත ගෙනාවේ නැත්නම් ලක්ෂ්මන මියැදෙනවා කියලා. බෙහෙත ගේන්න හිමාලයට ගිය හනුමාන්ට බෙහෙතේ නම අමතක වුණ නිසා හිමාලයෙන් කෑල්ලක් කඩාගෙන ආවලු. වෙදනා ඒකෙන් අවශ්‍ය බේත අරගෙන ඉතිරිය විසි කළාම රූමස්සල හැදුණලු. ඒ වීසි කරද්දි ඔන්න වැටුණ කී තැන තමයිලු උණවටුන වුණේ.”
එසේ කියා මඳ සිනාවක් මුසු මුහුණින් අප දෙස බලා සිටි ආරියදාස මහතා යළි මෙසේ කීවේ ය.
“හැබැයි ඉතින් වටුන කියන්නේ වැටුණා කියන එක නෙවෙයි, පටුන තමයි වටුන වෙන්නේ. පටුන කියන්නේ වරාය කියන තේරුම. කුඩා වරායක් තමයි උණවටුනේ තිබිලා තියෙන්නේ.”
ඉන්පසු ඔහු රූමස්සල ඉතිහාසය පිළිබඳව විද්‍යාත්මක තොරතුරු පදනම් කරගත් කරුණු කීපයක් කීවේය.
“මහාචාර්ය විනී විතාරණ භූගෝල ශාස්ත්‍රය පිළිබඳ හොඳින් දන්නා කෙනෙක්. ඔහුට අනුව මේ රූමස්සල කියන්නේ ඇත්තෙන්ම අජටාකාශයෙන් වැටුණු ආකාශ වස්තුවක්. ඒ නිසා මේ පර්වතය මීට අවුරුදු කෝටි තුන්සියයකට කලින් ඇතිවූවක් කියන්න විද්‍යාත්මක සාධක තිබෙනවා. ඉන් පස්සේ විවිධ රසායනික ගුණ නිසා විවිධ පැළෑටි හැදෙන්න ඇති කියලයි විශ්වාස කරන්නේ.”
“මේ කන්දට රූමස්සල කියන්නේ ලස්සන දර්ශනයක් මැවෙන තැන නිසා රූ මං සල එක වචනයක් බවට පත්වීමෙන් කියලයි විස්තරවල සඳහන් වෙන්නේ. පුදුමේ කියන්නේ පෘතුගීසි, ලන්දේසි ආවට පස්සේ මෙතනට කීවේ බෝනා විස්ටා කියලා. ඒකේ තේරුමත් ලස්සන දර්ශනය කියන එකනේ!”
“ඈත අතීතයේ නම් අමුතු වර්ගවල සතුන් පවා ඉන්නත් ඇති. ඉස්සර අපේ පළාත්වල හිටියෙම කළු වඳුරෝ. ඒත් ඉඳහිට සුදු වඳුරෝ ආවාම අපි කියන්නේ රූමස්සල ඉඳන් එන අය කියලයි.”
ඔහු යළිත් අතීතයට ගමන් කරන්නට විය.
“අපි පාසල් යන කාලේ හරි විශාල පොකුණක් ‍වගේ බැඳලා තිබුණා. එයට කීවේ ‘වෝටරිං පොයින්ට්’ කියලා. එතැනින් තමයි බොන්න වතුර ගත්තේ. මෙතරම් කරදිය අතරේ බොන වතුර උල්පත් ඒ පොකුණට ආවා. අදටත් සමහර තැන්වල ඒ වගේ පිරිසුදු වතුර කාන්දු වෙනවා.”
“මේ කන්ද ආශ්‍රිතව පසුකාලීනව කුලුනක් හදලා තිබෙනවා. එය බොහෝ විට ප්‍රදීපාගාරයක් වන්න ඇති කියලයි හිතන්නේ.”
එසේ කීමට සාක්ෂි ද ඔහු ඉදිරිපත් කළේ සිය අත්දැකීම් අනුවය.
“එහෙම කියන්න හේතුව ආතර් සී. ක්ලාක් මහත්මයා මුලින්ම ඇවිත් පදිංචි වුණේ මේ රූමස්සල කිට්ටුව. උන්නැහේගේ විනෝදය තමයි මුහුදේ කිමිදීම. එයට හොඳම ප්‍රදේශය වැල්ලේ දේවාලය අසල මුහුද කියලයි කීවේ. මුහුදු පතුලේ කිමිදීමෙන් දැනගත් දේවල් මා සමඟ කියා තිබෙනවා. බටහිර සිට එන යාත්‍රා දකුණු අප්‍රිකාවට පහළින් කේප් තුඩුව නැත්නම් අපි සුබ ප්‍රාර්ථනා තුඩුව කියා හඳුන්වන තැනින් ඇවිත් ඉන්දියන් සාගරයට වැටුණු ගමන් ඉබේම මෙතැනට එනවලු. ඒකට හේතුව මුහුදේ දියවැල්වලින් එකක් ඒ ප්‍රදේශයෙන් පටන්ගෙන උණවටුනෙන් කෙළවර වීමයි.”
එසේ පැමිණි ඉන්දුනීසියානුවන් පදිංචි වූ තැන ජා කොටුව ලෙසත් චීන ජාතිකයන් සිටි ස්ථානය චීන කොටුව ලෙසත් හැඳින්වෙන බව ද ඔහු දිගු විස්තර සහිතව පැවසුවේය. ඉන්පසු ආරියදාස මහතාගේ මතකයට ආවේ ආචාර්ය ආතර් සී ක්ලාක් පැවැසු අරුම පුදුම සිද්ධාන්තයකි.
“ආතර් සී. ක්ලාක් උන්නැහේගේ සිද්ධාන්තය තමයි මේ පෘථිවි ගෝලයේ උතුර දකුණ හරහා දිවෙන චුම්භක ක්ෂේත්‍රයට අසු නොවන තැනක් රූමස්සල තිබෙනවා ය කියන එක. එයා කියන විදිහට අපේ පෘථිවියේ චුම්භකත්වයට වඩා වැඩි බලයක් සහිත ප්‍රබල යමක් ඒ ආශ්‍රිත මුහුදේ පතුලේ කිඳා බැස තිබෙන්න ඕනැ. එය පොළොවට වැටුණු මාර්ගයම චුම්භක ගුණයෙන් තොර හිස් එකක් වන්නත් පුළුවන්. එය ක්ලාක් මහත්මයා ඔප්පු කරන්නේ පෘථිවියෙන් සැතපුම් 22300 ක් ඉහළට යන චන්ද්‍රිකාවල ඉන්ධන නැත්නම් බල ශක්තිය ඉවර වුණාම පාවෙලා ඇවිත් මේ රූමස්සල අසල මුහුදින් ඉහළ අහසේ නතර වෙනවා කියන හේතුව අනුවයි.”
ඉන් ඔබ්බට විද්‍යාත්මක තොරතුරු රැසක් මඟින් සිය මිතුරු ක්ලාක් මහතාගේ සිද්ධාන්තය අපට තේරුම් කළ ඔහු රූමස්සල අපූර්වත්වයට තවත් කරුණු එක් කළේය.
“තවමත් පුදුම දේ තමයි මේ හුදෙකලා ගල් පරය ඇති වුණේ කොහොම ද කියා ස්වභාවික න්‍යායන් කිසිවකින් සොයාගත නොහැකි වීම. ඒ අභිරහස් බවම මේ කන්දේ ආකර්ෂණයට හේතුවක්. අපි පුංචි කාලේ වැල්ලේ දේවාලේ ළඟ මුහුදු වෙරළට වෙලා කවි කියනවා. හෙළ හවුලේ සාමාජිකයන් බවට පත්වූ රෙජී වීරමන්, පසු කාලීනව අනඳපිය කුඩාතිහි කියා නම වෙනස් වූ ජෝජ් කුඩාතිහි, වගේ අය එක්ක අපි පුදුම සොබා සොඳුරු වින්දනයක් ලැබුවා. සමහර විට අපට ලොකු දැනුමක් මේවා ගැන තිබුණේ නැහැ. ඒත් රස වින්දනය තිබුණා. එහෙම විඳපු තව දෙයක් තමයි “හුම් වළ”. ඒකට දැන් කියන්නේ හුම්මානය කියලා. ඒකෙන් මුහුදු වතුර මලක් වගේ උඩට විසි වෙනවා. මේ දේවල් එක්ක අපට රූමස්සල කන්ද ආශ්‍රිතව දැනුණේ අපේ එදිනෙදා ජීවිතයේ දේවල්වලට වඩා දුරින් පවතින කුමක් හෝ බලවේගයක් ඒ කන්දේ ඇති කියලයි.”
“ගල්පර ආශ්‍රිත වෙසෙන ලස්සන මසුන් කොරල් වගේ විචිත්‍ර දේවල් එයට තවත් හේතුවක් වුණා. ගමේ කොල්ලන්ගේ වීර ක්‍රියාවක් තමයි ගල්පර ආශ්‍රිතව ඉන්න පොකිරිස්සන් ඇල්ලීම. වීර ක්‍රියාවක් හැටියට එය හඳුන්වන්නේ ගල්පරය හරියට අල්ලා නොගත්තොත් රළ පහරට ගහගෙන යන නිසයි. එහෙම අල්ලන පොකිරිස්සන් ගෝනියක් ඉස්සර අපේ ගෙදරටත් වැරදුණේ නෑ.”
වසර හැත්තෑ පහකට පමණ ඉහත දුටු රූමස්සල ගැන අදත් නොවෙනස් ගෞරවයක් ඔහු සතුය. එහෙත් ස්වභාව ධර්මය නම් නිරන්තර වෙනස් වීම බව ද ඔහු පිළිගනී. නමුත් පරිසරය තවදුරටත් රැකිය යුතු ය යන දැඩි මතය ඔහු ඉදිරිපත් කළේ මෙසේ ය.
“අපට සමාජ විකාශනය වළක්වන්න බෑ. නමුත් අප දුටු අප ආස්වාදය කළ ඒ සුන්දරත්වය අක්‍රමිකව වෙනස්වීම නිසා අපේ දරුවන්ට අහසේ නිදහසේ පියාඹන පක්ෂින්, නිර්මල දිය දහරා, වන ගහන වෙනුවට කාන්තාර ඉතිරි වන්න පුළුවන්. එහෙම වුණොත් මිනිස් සන්තාන‍යත් කාන්තාර බවට පත් වේවි. කාලෙකදි ගහකොළ සතුන් විතරක් නොවේ මනු සත්ත්වයාත් නැතිව යාවී”.



Saturday, December 26, 2015

මල්කාන්ති ජයසිංහ නැමති බාලදක්ෂිකාව


මං අද කලාකාරිනියක ලෙස මිනිසුන්ගේ සන්තානයේ ඇති ගැඹුරු දේ දකිනවා - ප්‍රවීණ රංගන ශිල්පිනි මල්කාන්ති ජයසිංහ


අැය, සැබැවින්ම රංගනයෙහි ප්‍රතිභාව විදහලූ ප්‍රවීණ කලා ශිල්පිනියකි. දසක තුනකට ආසන්න ඇගේ කලා දිවියේදී වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරයට ද එක්‌ව පෑ රංගන දක්‌ෂතාවන් නිසාවෙන් ප්‍රේක්‍ෂක මතකයන් තුළ සදා ලැඟුම් ගැනීමට වාසනාව ලද්දියකි. එපමණදු නොව මේ ත්‍රිත්වයේදීම සම්මාන, ඇගැයීම් සහ ගෞරව සහතික හිමිකර ගැනීමට ද ඕ සමත් වන්නීය. මේ දිනවල පුංචි තිරයේ විකාශය වන 'සකි සඳ සුවාරිස්‌' සහ 'මුතු පලස්‌ ටෙලි නාට්‍ය නිර්මාණයන්හි රංගනයේ යෙදෙමින් ඔබේ නිවසේ ආලින්දය සරසන මේ කලා ශිල්පිනිය, කලා ලොවේ කිසිවකුගේ සිත් නොරිදවමින් තමන්ගේ කාර්යයේ යෙදෙන්නියක ලෙස ප්‍රචලිතය. ඕ, පාසල් සමයේ ද නිශ්ශබ්ද චරිතයකි. එහෙත් එදා ක්‍රීඩාවට ද ඇය දැක්‌වූ දක්‌ෂතාවන් එමටය. කලාවට එක්‌වීමේ ආශාව ඇය තුළ ජනිත වූයේ පාසලේ බාලදක්‍ෂ ව්‍යාපාරය හා එක්‌වීමට ලැබුණු අවස්‌ථාව නිසාවෙන්ය. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් කලා ලොව දොරගුළු විවර කොට ගත් ඇය බොහෝ හැදැරීම් මතින් දිනෙන් දින සිය රංගනයන් ඔපමට්‌ටම් කර ගැනීමට සමත්කම් දක්‌වන්නීය. මෙතෙක්‌ ඇය රංගනයෙන් දායක වූ සෑම චරිතයක්‌ම ප්‍රේක්‍ෂක සිත් සතන් සනහාලූ බව නොරහසකි. 'දිවයින සිනමා කලා' අද ඇය විමසන්නේ ඇගේ කලා දිවියේ රුව ගුණ වරුණ ඔබට පැවසීම වෙනුවෙනි. ඕ සැබැවින්ම ඔබටත්, අපටත් ලෙන්ගතු, අප සැමගේම හදවත් දිනාගත් ප්‍රවීණතම කලා ශිල්පිනියකි. ඇය නමින් මල්කාන්ති ජයසිංහ ය. මේ.. ඇයත්, අපත් අතර ගලා ගිය සොඳුරු කතාබහක සංක්‍ෂිප්ත සටහනයි...

එදා ක්‍රීඩාවට හපනියක වූ ඔබ, අද රටක ආදරය ලබන්නට වාසනාවන්ත වූ කලා ශිල්පිනියක්‌. කොහොමද ඒ අතීතය සහ, මේ ගෙවෙමින් පවතින වර්තමානය ගැන දකින්නේ...?

මගේ ගම හලාවත. ඒත්. පාසල් දිවියේදී මූලික අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකාවේ ඊට පස්‌සේ හලාවත ශාන්ත මරියා විද්‍යාලයේදී උසස්‌ පෙළට මුහුණ දුන්නා. ඒ කාලේ ජවන හා පිටිය ක්‍රීඩාවන්ට දක්‍ෂතා දැක්‌වූවා. වොලිබෝල්, එල්ලේ ක්‍රීඩාවන්ටත් එක්‌ව සිටියා. පාසලේ බාලදක්‍ෂ ව්‍යාපාරයට එක්‌වීමට අවස්‌ථාව ලැබුණු නිසාම කලාවටත් ආශාවක්‌ ඇති වුණා. ඒත් මේ තරම් දුර ගමනක්‌ එන්න ලැබෙයි කියා සිතුනේ නැහැ.

සිතු දේ නොම වෙයි, නොසිතු දෙයම වෙයි" ලොව දම් කැරකෙනවා.. කියලා කියන්නේ ඒ නිසා නොවේද?

ඇත්තෙන්ම ඔව්. එදා පාසලේදී සාහිත්‍ය දිනයට කළ නාටකය මට තවම මතකයි. මම කළේ පිරිමි චරිතයක්‌. එතනදී මට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. පසුකාලීනව මා කොළඹ පැමිණ පුද්ගලික ආයතනයක රැකියාවක්‌ කළා. පාසල් කාලයේ සිටම වේදිකා නාට්‍ය නැරඹීමට සහ එහි රංගනයට මට තිබුණේ පුදුම ආශාවක්‌.

ඔබේ ඒ පුදුම ආශාව සැබෑවක්‌ වුණේ කොතනදී ද..?

පුවත්පතක තිබූ දැන්වීමකට අනුව යමින්, ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය හා රංග කලා පාසලට ඇතුළත් වුණා. ඇය යටතේ බොහෝ හැදැරීම් කළ බව පවසන්නේ කෘතවේදීත්වය පුද කරමින්. ඒ අතරතුර ප්‍රවීණ කලා ශිල්පී ධර්මසේන පතිරාජ මහතා හඳුනා ගැනීමට ලැබුණා. මහවැලි ව්‍යාපාරය ගැන එවකට ඔහු කළ වාර්තා චිත්‍රපටයට රංගනයෙන් දායකවීමට අවස්‌ථාව ලැබුණා. මේ අවධියේදී මුල් වරට වේදිකාවේ සුවඳ ආග්‍රාහණය කිරීමට මට අවස්‌ථාව උදාවුණා. ඒ සුබසිංහ මහත්මියගේ 'විකෘති' හරහා. මම කළේ මවගේ චරිතය. ඊට පසු 'මූදු පුත්තු', ධර්මසිරි බණ්‌ඩාරනායකයන්ගේ 'ධවල භීෂණ', 'ඒකාධිපති', 'මකරාක්‌ෂයා', රංජිත් ධර්මකීර්තිගේ 'මෝදර මෝල', 'මේඝ' සහ ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් මහතාගේ 'දොaන කතරිනා' ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවකට එක දිගට රංගනයෙන් දායක වුණා.

1995 දී පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඔබ හොඳම සහාය නිළිය ලෙසට මුල් වරට සම්මාන ලැබුවා. එය අමතක කොට මේ කතාබහ කරන්න බැහැ නේද...?

සත්තකින්ම ඔබ හරි. වේදිකාව වගේ රංගනයෙහි තාත්විකත්වය පිළිබිඹු කරන ස්‌ථානයකදී සම්මානයකට පාත්‍රවනවා කියන්නේ සැබැවින්ම සතුටක්‌. එදා මම ඒ සතුට තුරුළු කරගන්නට වාසනාවන්ත වුණා. ඒ විතරක්‌ නොවෙයි මගේ ඉදිරියට ඒ අවස්‌ථාව සවිය සහ ශක්‌තිය කරගැනීමටත් වගබලා ගත්තා. ඊට පසු පතිරාජ එල්. එස්‌. දයානන්දගේ 'කවුරුත් එන්නේ නෑ', 'හිරු නොදුටු මිනිස්‌සු', 'හිරු නැති ලොව', 'ගිනි දඬු හෙවන', 'පරණ අයගේ කතාවක්‌', 'කතන්දර දෙකක්‌', 'ගමරාළ දිවිය ලෝකෙට', 'හිම කුමාරි', 'ඇන්ටිගනී' ගිය වසරේ හොඳම වේදිකා නාට්‍ය ලෙස කිරුළු පැළඳු 'බර්නාඩාගේ සිපිරිගෙය', 'වන තාරාවී', 'පුතා එනකන්', ප්‍රවීණ කලා ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්‌ගේ 'ගැබ්බර මිනිසා' සහ මේ දිනවල වේදිකාගත වන නාලක ස්‌වර්ණතිලකගේ 'දඟ මල්ල' ඇතුළු වේදිකා නාටක 30ක දී පමණ අපේ රටේ නාට්‍ය කලාව තුළ නම් තැබූ ප්‍රවීණ අධ්‍යක්‍ෂවරු රැසක්‌ යටතේ මට නිරූපණයන් ගෙනහැර පෑමට හැකි වූවා යෑයි පවසන්නේ සැබැවින්ම සතුටින්. මේ බොහෝ නාට්‍ය නිර්මාණ ගුණාත්මක බවින් පිරිපුන් නාට්‍ය බවට සම්මත වූ නාට්‍ය වීමත් ඒ සතුට තිව්‍ර කරවන්නක්‌.

වේදිකාවේදී තාත්විකව චරිත තුළ ජීවත් වූ ඔබ ඒ තුළින් ලැබූ සම්මාන සහ සම්මානයනට නිර්දේශවීම් සමගින් පුංචි තිරයට පැමිණි කලා ශිල්පිනියක්‌ ලෙස අද ජනතා ආදරයත් නොඅඩුව ලබන්නියක්‌. අනික ඔබ පුංචි තිරයේ නිරූපණය කළ චරිත කිහිපයක්‌ නිසාවෙන් ප්‍රේක්‌ෂකයින්ට අමතක කළ නොහැකි රංගන ශිල්පිනියක්‌. ඒ මතකයන් ගැන....

ප්‍රවීණ කලා ශිල්පී බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ 'සුර අසුර' මා රඟපෑ ප්‍රථම ටෙලි නාට්‍ය නිර්මාණය. පසුව විමලරත්න අධිකාරි මහතාගේ 'ජීවිතය සුන්දරයි', 'අශෝක හඳගමගේගේ 'දියකැට පහන'. මෙහි මගේ චරිතය වුණේ 'සුභා මිස්‌' මේ චරිතය මාව රූපවාහිනි ප්‍රේක්‍ෂකයන් අතරට ගෙන ගියා යෑයි පැවසුවොත් එය නිවැරැදියි. ජනතා ප්‍රසාදය සම්මානයකට වඩා වටිනා බව මා දන්නවා. මම එහෙම කිව්වේ සම්මානයක්‌ ලගු කිරීමකට නොවෙයි. සැබෑ ජීවිතයේදී ජනතා සම්මානය ඔවුන් ලබාදෙන්නේ අවංක වූ හදවතින්. ඒක පහසුවෙන් ලැබිය හැක්‌කක්‌ නොවෙයි. මම එය අවංකව කිව යුතුයි. ඒ අතින් මම අද ඉතාමත් වාසනාවන්ත කලා ශිල්පිනියක්‌.

චරිතයකට ආරූඪ වීමට ප්‍රථම ඒ පිළිබඳව මනා පෙර සූදානමක්‌ තිබිය යුතුයි නේද..?

සත්තකින්ම ඔව්. මගේ ටෙලි නාට්‍ය රංගන භූමිකාව ඇතුළේ මම බොහෝ චරිතවලට ජීවය මුසු කළේ ඔබ කිවූ ස්‌ථානයන් ඇතුළේ සිට තමයි. 'මලී - 01' නාටකයේදී මම කළේ වයස 80ක පමණ චරිතයක්‌. ඇය හිටි හැටියේ අවුරුදු 35ට විතර එනවා. ඇගේ ශක්‌තිය පිරිමියකුගේ වගේ. ඒ චරිතයට මට හැමෝම උදව් කළා. ඉතිං මෙවැනි චරිත නිරූපණයේදී බොහෝ අධ්‍යයනයන් කළ යුතුව තිබෙනවා. මම අනිවාර්යයෙන්ම චරිතයට ඇතුල්වීමට ප්‍රථම එහි ස්‌වභාවය ගැන ස්‌වයංව අධ්‍යයනයක යෙදෙනවා සේම දැනුවත්වීමක්‌ සිදුකරනවා. එවිට අවසානයේ චරිතයට උපරිම සාධාරණය ඉටුකළ හැකියි. ඒ නිසාවෙන් සම්මාන ඇගැයීම් ගෞරව සහ ජනතා ආදරය ඒ පිටුපස පැමිණීම වැළැක්‌විය නොහැකියි.



2011 වර්ෂය, ඔබේ රංගන දිවියට යස ඉසුරු කැන්දවූ වසර හැටියටයි මා දකින්නේ. එහි වරදක්‌ තිබේද..?

ඔව්, 2011 දී පැවති රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේදී මං හොඳම නිළිය සම්මානය ලැබුවා. ඒ 'යස ඉසුරු' ටෙලිනාට්‍ය නිර්මාණයේ මා කළ මවගේ චරිතය වෙනුවෙන්. 'ඉසිදාසි', 'ධවල කඩුල්ල', zෙµංෂුයි ගෙදර', 'මලී - 1', 'පරවි දේනුව', 'අඟ පිපි මල්', 'කෙළි මඬල', 'රඟ සොබා', 'වංක ගිරිය', 'මේ වසන්ත කාලය' ඇතුළු ටෙලි නාට්‍ය නිර්මාණ සියයකට ආසන්න ප්‍රමාණයකට මේවන විට මා රංගනයෙන් දායක වී තිබෙනවා. බොහෝ තැන්වලදී මා නිරූපණය කළේ මවගේ සහ නැන්දණියගේ චරිත. ඒ අතරතුර සම්මාන 10ක ට ආසන්න ප්‍රමාණයක්‌ ලැබුවා. කලා ශිල්පිනියක ලෙස තෘප්තිමත් වීමට එය හොඳටම ප්‍රමාණවත්. ගුවන් විදුලි හඬකැවීම් ශිල්පිනියක ලෙසත් මා කටයුතු කරන්නේ බොහෝ කලක සිටයි.

සිනමාවේත් ඔබේ සම්මානනීය රංගනයෙහි සලකුණු ඉතිරිව තිබෙනවා. ඒ ගැනත් පැවසුවොත්...

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතාගේ 'දොරකඩ මාරාව' මගේ ප්‍රථම සිනමා රංගනය. එහිදී මා ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක මහතාගේ සොයුරියගේ චරිතය නිරූපණය කළා. 'දොරකඩ මාරාව' ඒ වසරේ ඕ.සී.අයි.සී. කුසලතා සම්මාන, ජනාධිපති සම්මාන ලැබුවා. මා හොඳම නැඟී එන රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවා. ඊට පසු සරත් වීරසේකර මහතාගේ 'ගාමණී' හෙක්‌ටර් කුමාරසිරිගේ 'අභිනික්‌මන' විමුක්‌ති ජයසුන්දරගේ 'සුළඟ' සත්‍යජිත් මාඉටිපේගේ 'බොරදිය පොකුරු' සඳහාත් මා රංගනයෙන් එක්‌වූවා.

ඔබ කලාව තුළින් ජීවිතය දකින්නියක්‌ බව පැවසුවා....

ඇත්තෙන්ම ඔව්. කලාකාරිනියක ලෙස මට මිනිසුන්ගේ සන්තානයේ ඇති ගැඹුරු දේ දැකිය හැකිව තිබෙනවා. ඔවුන්ගේ ආදරය නිරතුරුව අත්දකිනවා. ඒ ආදරයට මමත් ආදරය කරනවා සේම ගෞරව කරනවා. ඒ නිර්ව්‍යාජ ආදරය මාව ජීවත් කරවන බව මට හැඟෙනවා. මම අදටත් පාරේ බස්‌ එකේ ගමන් බිමන් යන සාමාන්‍ය ගැහැණියක මිස සම්මානයෙන් හෝ ලැබුණු ගෞරවයන්ගෙන් ඉලිප්පුණු කලා ශිල්පිනියක්‌ නොවෙයි. ඒකයි මම ඔබට කීවේ ජීවිතය දුටුවේ කලාවෙන් කියලා.

කලාවෙන් ජීවිතය දුටු ඔබ, ආදරයට ආදරය කළ කලා ශිල්පිනියක්‌. අද ඔබ සැමියාට සෙනෙහෙබර බිරිඳක්‌ සේම, දරුවන්ට දයාබර මවක්‌. ඒක කලා ලොවේ ඇතැමුන්ට ආදර්ශයක්‌ විඳිහටයි මා දකින්නේ....

මගේ සැමියා ලාල් චන්ද්‍රසිරි. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්‌. ඒ වගේම කලා ශිල්පියෙක්‌. සෝමලතා මහත්මියගේ නාට්‍ය හා රංග කලා පාසලේ ඉගෙනුම ලබන අවධියේ තමයි අපි ඇසුරු කරන්නට පටන් ගත්තේ. ඒක ආදරයකට පෙරළුනා. ටික කාලයක්‌ නොවෙයි, වසර 7ක්‌ ම අපි ආදරය කළා. අපටත් බාධා නොතිබුණා නොවෙයි. ඒත් අවසානයේ අපි විවාහ වුණා. දැන් අපිට දරුවෝ දෙදෙනයි. පුතා හිරන්‍ය කලාවටත් දක්‍ෂයි. ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයත් දිනා තිබෙනවා. දුව අමන්දි අධ්‍යාපන කටයුතුවල නියෑලී සිටිනවා. අපි හැමෝටම සතුටින් සිටිය හැකි පරිසරයක සිට තමයි මා කලාව කරන්නේ.

ඔබේ පවුලේ තොරතුරුත්, මේ පැමිණි ගමනට සවිය සහ ශක්‌තිය සැපයූ සිහි කළ යුතු පිරිස පිළිබඳවත් පැවසුවොත්...

මගේ පවුලේ සාමාජිකයන් 6 යි. මම වැඩිමලා. අනිත් අය කලාවට සම්බන්ධ නැතත් මට සහාය ලබා දෙනවා. සෝමලතා සුබසිංහ, ධර්මසිරි බණ්‌ඩාරනායක, කේ. බී. හේරත්, මොහාන් ජී. රංගනාත්, රංජිත් ධර්මකීර්ති, කෞෂල්‍යා ප්‍රනාන්දු, වික්‌ටර් රාමනායක, ප්‍රියන්ත සිරිකුමාර, භනුර මලිත්, කාංචන අමරරත්න, නලින් මාපිටිය, දයාල් සුරංග, කුසුම් රේණු සහ කලා ලොවේදී මට සහය ලබාදෙන සියලුම සහෝදර රංගන ශිල්පි ශිල්පිනීන්වත් දයාබර ප්‍රේක්‍ෂක ජනතාවත් හදවතින්ම සිහිපත් කරන්නට මෙය අවස්‌ථාව කරගැනීමට කැමතියි.

රංගනය යනු ඇය ජන්මයෙන්ම රැගෙන ආ දක්‌ෂතාවකි. ප්‍රවීණ කලා ශිල්පීන්ගේ ඇසුර සහ ඒ ඔස්‌සේ ලැබූ ආභාෂයන් තුළින් ඇගේ රංගනයන් තව තවත් ඔප මට්‌ටම් වූ බව ද නොරහසකි. ඒ නිසාවෙන්ම අද ඇය කතා බහට නතු වූ ජනතා ආදරය දිනූ සම්මානනීය රංගන ශිල්පිනියකි. ලැබෙන චරිත වෙනුවෙන් මිලක්‌ නියම කළ හැකි මට්‌ටමක සිටින ඇය, කිසි විටක චරිත වෙනුවෙන් විකිණීමට සූදානම් නොමැති චරිතයකි. එබැවින් ඇගේ ජීවන චරිතයම කලාවට ගෞරවයකි. සෙස්‌සන්ට ආදර්ශයකි. අද දින සිය ඡන්ම දිනය සමරන මේ ප්‍රවීණ කලා ශිල්පිනියට සුබ පතන අපි, ඇයට නිදුක්‌ නිරෝගී චිර ජීවනය ද පතමු.


විශේෂ ස්තූතිය
දිවයින පුවත්පතේ සුජීව තත්සරට හා ඡායාරූප- වාසල සේනාරත්න



Friday, December 25, 2015

වික්‍රම සෙනෙවිරත්න නැමති බාලදක්ෂයා

වික්‍රම සෙනෙවිරත්න යනු ප්‍රසිද්ධ නාට්‍ය කලාවේදියෙකි. රංගන ශිල්පීයෙකි. ඔහු වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ගණිත ගුරුවරයා ද විය. වික්‍රම සෙනෙවිරත්න මහතා සහ ඔහුගේ වැඩිමල් සොයුරු නාලන්දයේ බාලදක්ෂ ආචාර්ය වරු වූහ.
හෙළ බසෙහි ප‍්‍රගමනය වෙනුවෙන් සාහිත්‍ය හා කලා කෙත් අස්වැද්දූ නාලන්දීය ඇදුරු සමූහයා අතර ගුණදාස අමරසේකර, හිටපු අධ්‍යාපන ඇමති ඊරියගොල්ල, කරුණාරත්න අබේසේකර, මිණිවන් පී. තිලකරත්න, සුගතමුණි ඥානසිරි, මහැදුරු කේ. එන්. ඕ. ධර්මදාස, හෙන්රි ජයසේන, යූ. එස්. එස්. පෙරේරා (සිරි අයියා), පණීභාරත, ලයනල් අල්ගම, සෝමලතා සුබසිංහ, දිලිප් රෝහණ, එඞ්වඞ් ජයකොඩි මෙන්ම වික‍්‍රම සෙනෙවිරත්න ද වේ.
කුමාරතුංග මුනිදාසයන්ගේ 'හත්පන' කතාව අැසුරින් නිර්මාණය කෙරුණු ජනප්‍රිය රූපවාහිනී නාට්‍යයෙහි රංගනයෙන් දායක වූ ඔහුගේ කිරිහාමි චරිතය 80 දශකයේ මෙරට කා අතරත් ජනප්රියත්වයට පත් වූවෙකි. ඔහු ලී පදක්කම්ධාරී බාලදක්ෂ නායකයෙකු ද වේ.
සෝමලතා සුබසිංහ මහත්මිය සමගේ නාට්‍ය කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වූ වික්‍රම සෙනවිරත්න වේදිකාවේ පරිනත ශිල්පීයෙකු බවට පත්වේ. විකෘති, නිළියන්ට අපලයි, ආවෝ ගියෝ, මිට නැති කුඩ වැනි වේදිකා නාට්‍ය රැසකට දායකවීමට හැකිවිය. චාන්දනී සෙනෙවිරත්න, නිල්මිණි සිගේරා, ප්‍රසාද් සූරියආරච්චි, ලලනි පුෂ්පමාලා, මල්කාන්ති ජයසිංහ, කෞෂල්‍යා ප්‍රනාන්දු, සංජීව දිසානායාක, ලාල් සිල්වා, අනුර වීරතුංග, භද්‍රා නන්දනී, නයනා හෙට්ටිආරච්චි, හේමක ඩයස් අාදීන් සමකාලීන නාට්‍ය සගයන් විය.

1996 නොවැම්බර් 23 තිරගත වූ අමාන්තය, චිත්‍රපටය අැතුලු චිත්‍රපට රැසකට රංගන ශිල්පීයෙකු ලෙස රංගනයෙන් දායක වී තිබේ. 1997 ජනවාරි 17 තිරගත වූ ඇගේ වෛරය II චිත්‍රපටයෙහි වික්‍රම සෙනෙවිරත්න විසින් සංස්කරණ සහාය දක්වා අැත.

සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බි. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 2014 වර්ෂයේ කලා භූෂණ සම්මාන ප්‍රදානයෙදී රංගය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් වික්‍රම සෙනෙවිරත්ට ද කලා භූෂණ සම්මානය හිමිවිය.

-------------------
මා කුඩා ළමයකුව සිටි මීට වසර කිහිපයකට ඉහත ඔහුව මට පළමුවෙන්ම මුණ ගැසුණේ රූපවාහිනියේදි. ඒ ‘හත් පණ’ ටෙලි නාට්‍යයේ ‘කිරිහාමි’ගේ චරිතය ඔස්සේ. එකල බොහෝ ආශාවෙන් අප නැරැඹූ මේ ටෙලි නාට්‍ය මාලාව ළමා, වැඩිහිටි සියල්ලන්ගේම ආදරය දිනා ගත්තක්. කලකට පසුව මා ඔහුව යළිත් වරක් මුණ ගැසුණා. ඒ අප පුවත්පතට ලිපියක් ලිවීම සඳහා. කලකට ඉහත අප දුටු ඔහුගේ සිනහව මුවෙන් ගිලිහී ඇති බවක් මට හැඟී ගියේ ඉබේටම වගේ. ඒ සිතුවිල්ල සැබෑවක් දැයි විමසනු රිසියෙනුයි මා විමසිල්ලෙන් ඔහු දෙසම බලා සිටියේ.
“පසුගිය දවස්වල අපේ අම්මා නැතිවුණා. ඒ කියන්නේ මේ වසරේ මැයි 23 වැනිදා. ඇගේ වයස අවුරුදු එකසිය දෙකක්. ”
එවිට නම් පෙර ඔහුගේ මුහුණේ පෙනෙන නොපෙනෙන අයුරෙන් රැඳී තිබුණු දුක් සහගත බවේ සිහින් රේඛාව පැහැදිලි ලෙසම විද්‍යමාන වුණා. අප සමඟ පැවතුණු කතාබහේ දි ඔහු මව පිළිබඳ සිත පතුලේ සැඟවුණු අතීතය පිළිබඳ හෙළි කළේ එකින් එක.
මලවි ආච්චි නිමල්හාමි කියන්නේ මගේ අම්මා. නිමල් හාමි ඉපදුණේ 1914 හය වැනි මාසයේ 12 වැනිදා ඇල්පිටියට තරමක් නුදුරුව පිහිටිය අම්බන ග්‍රාමයේ මහම්මාගේ දූවේ. ඒ නිවසේ ඉඳලා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අවසන් වරට සිටියා යැයි සැළකෙන ඉඳුරුගල ලෙනට තිබුණේ මීටර් එකසිය පනහක දුරක්. රාහුල හිමියන්ට ඒ කාලයේ උපස්ථාන කළේ ඒ මහම්මාගේ දූවේ මුතුන් මිත්තන්. ඈ පැවත ගෙන ආවෙත් ඒ පරම්පරාවෙන්. නිමල් හාමි විවාහ වුණේ ජේමිස් වික්‍රම සෙනෙවිරත්නත් එක්ක. තාත්තා තල්ගස්වල තේ කර්මාන්ත ශාලාවේ ටී මේකර් විදියට සේවය කළත් භාෂා තුනම දැනගෙන සිටියා. ඔවුන්ට සිටියේ දරුවොම හත්දෙනෙක්. පළමු වැන්නා චන්ද්‍රෙස්න. දෙවැන්නී ගුණවතී. තුන්වැන්නා සද්ධාරත්න. සිව් වැන්නා සිරිපාල. පස්වැන්නා බුද්ධදාස. සය වැන්නී සෝමාවතී. බඩ පිස්සා වුණේ මම.
මම ඉපදිලා මාස හයක් ගිය තැන මගේ තාත්තා අප අතැර යන්නේ අම්මාගේ කර මතට මුළු පවුලේම බර පටවමින්. ඒ 1952 පෙබරවාරි 03 වැනිදා. එතැන් පටන් අම්මා දන්න දහිරිය දැම්මේ දරුවෝ ටික ලොකු මහත් කරන්න. එහි ප්‍රතිපල ඈ මියයන විටත් භුක්ති වින්ඳා. ඒ තමන්ගේ දරුවන් සමාජයට වැදගත් පුර වැසියන් කිරීමෙන්. ඒ නිසා ඈ මිය ගියේ බොහොම සතුටින්.
ජීවත්ව ඉන්න කාලයේ ඈ කොයිතරම් යහපත් ගෘහිණියක් වුණා ද කිව්වොත් මට මතකයි කිසිම දවසක ඈ බිත්තරවත්, මස්වත් කටකට ගත්තේ නැහැ. එළවළුත් සමඟ පමණයි ආහාරයට ගත්තේ. හතර පෝයටම සිල් ගත්තා. තාත්තා පිළිබඳ මගේ මතකයක් නොමැති වුණත් ඔහුගේ මරණයත් සමඟ බැඳුණු කතාවක් අද වනතුරුත් මගේ මතකයේ රැව් දෙන්නේ නිතැතින්.
එතකොට මට වයස මාස හයක්. තාත්තා හිටියේ ගාල්ල මහමෝදර ඉස්පිරිතාලේ. සැත්කමක් කරන්න එහි ඇතුළත් කළ ඔහුව බලන්න යන්න අම්මා සුදානම් වුණේ ලහි ලහියේ. මාවත් වඩාගෙන නියාගම ඉඳලා ඇතුමලේට ආව අම්මා බස් රථයට නැග්ගේ බලාපොරොත්තු රැසක් හිතේ පුරවගෙන. ගාල්ලෙන් බැහැලා රෝගින් බලන්න යන්න කාලය තිබුණ නිසා ඈ ඉදිරිපස පෙනෙන මුහුදු වෙරළට ගියා. තමන්ගේ පා සිප ගනිමින් එහා මෙහා යන රළ දෙස ඈ බලාගෙන සිටියේ ස්ථීර අධිෂ්ඨානයෙන්.
“ අම්බන අක්කේ මහත්තයා උදේ නැතිවුණා. ”
ඇගේ ඒ අධිෂ්ඨානය බිඳීලා යන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඈව සිහිසන් වුණේ සැනෙන්. ඈ අත හිටිය මාවත් බිමට වැටුණා පමණක් නොවෙයි රැල්ලක් පැමිණ වසා ගත්තා. ඒ අවට සිටිය අය අම්මාවත්, මාවත් අල්ල ගත්තේ කෑ ගසමින්. සිහිය ආවට පස්සේ ඈ මාවත් අරගෙන තාත්තාව අවසන් වරට බලලා ගෙදර ආවේ දුක් ගොන්නක් හිතේ පුරවගෙන. මේ කාලයේ සිද්ධ වුණු මේ සිද්ධිය ගැන හාන් කවිසියක් එදා මා දන්නේ නැති වුණත්, පසු කාලයේ ඒ ගැන දැන ගන්න ලැබුණා. එවිට නම් ඒ පිළිබඳ මගේ සිතට රැගෙන එන්නේ වේදනාවක්.
මේ සිද්ධිය වනවිට නම් මා සිටියේ තුනේ පන්තියේ. පවුලේ බලයා වුණු නිසාමදෝ නිතරම අම්මා ළඟින්ම සිටිමේ වාසනාව උදාවුණේ මට. ඇයයි, මමයි හරියට ඉදිකටුවයි නූලයි වගේ. අම්මා ගෙදර අයට කන්න අවශ්‍ය බඩු ගේන්න පුරුදු වෙලා සිටියේ සති පොළෙන්. තල්ගස්වල සෑම සතියකම බදාදා පැවැත්වුණු මේ පොළට යන ගමනට අම්මා මාවත් එක්කර ගත්තේ බොහොම කැමැත්තෙන්. ඕවිටි, බඩවැටි උඩින් සැතපුම් දෙකක් ගියපසු හමුවන පොළ කියන්නේ විජ්ජා පෙට්ටියක්. මේ විජ්ජා පෙට්ටියේ එකිනෙකා ළඟට යන අම්මා එළවළු මිලදි ගන්නේ සීරුවෙන්. රු. 2.50ක එළවළුවලට අමතරව සිනී පොල්කොහු මිලදී ගන්නට ඈ මා අත සත 50ක් තියන්නේ හැමදාම පුරුද්දට වගේ. රටක් රාජ්ජයක් ලද්දෙක් වගේ අතමිට මොලව ගන්න මා ඒ මුදල අරන් බොම්බයි මොටයි විකුණණ මාමා ළඟට දුවන්නේ ඒවා මිලදි ගන්ට. ඒකත් අරන් ආපසු එන ගමනේදි කකා එන දුර ගමන මට නොදැනෙන්නේ අම්මාගේ කතා පෙට්ටිය නිසා.


ඒ වගේ දවසක් අම්මා පොළට යන්න පිටත් වුණේ මම නැතිව . ඒ මම ඉස්කෝලේ ගිහින් ආව ගමන් නිසා.
“ ඔය අද ඉන්න පුතේ. ඔයාට මහන්සිනේ. ”අම්මා පිටත් වෙලා ටික වෙලාවකින් මමත් යන්න පිටත් වුණේ ගෙදර කාටවත් නොකියම. මම ඇති තරම් වේගෙන් දිව්වා. ඒ අම්මා මඟ හැරෙයි කියලා බයේ. ඈත ඈ යන බව පෙනෙන නිසා මගේ දිවිල්ල අඩු වුණා. ඒත් සමඟම අම්මා පසුපස බැලුවේ පුරුද්දට වගේ. මාව දැක්ක අම්මා ඔළුවේ අත තියා ගත්තේ මගේ පැමිණීම බලාපොරොත්තු නූන නිසා. ඈට ළං වුණු මා දෙස ඈ විමසුම් බැල්මක් හෙළුවා.
“ ඔය කලිසම කොහොමද පාරේ ඇදන් යන්නේ ? ”
මගේ කලිසම් කෙටිය කිළිටි බව අම්මා දකින්නේ අහම්බයෙන්. අතරමඟ නතර වන ඈ කලිසම හෝඳලා ගලක් උඩ වනන්නේ ඉක්මනට වේලෙන්ට. අඩ හෝරාවක් පමණ කලිසම වේලෙනතුරු සිටින ඈ මට ඒක අන්ඳ ගෙන පොළට යන්නේ සුපුරුදු විදියට.
ඒ හරියටම මම ඕලෙවල් පාස්වුණු දවස. විභාගේ පාස්බව දැන ගත්තට පස්සේ මගේ හිතේ මල් හතක් පිපුණා වගේ. මට වඩා මේ ගැන සතුටට පත් වෙන්නේ අම්මා වග රහසක් නොවෙයි. බොහොම අපූරුවට මේ ඇවිත තිබෙන්නේ ඈ දුක් විඳලා උගන්වන්න ගත්ත මහන්සියේ ප්‍රතිඵල. මම එදා ගෙදර ආවේ කොහොමද කියල මට අද වනතුරුත් මතක නැහැ. මම නැවතුණේ අම්මාව අසල. ඈ හිටියේ තේ දළුත් එක්ක ඔට්ටු වෙන ගමන්.
“ අම්මේ මම විභාගේ පාස් ”මව කලකට ඉහතදී
මට කියැවුණා නොවෙයි කෑ ගැසුණා.
“ හ්ම්…..”
මගේ දෙස එක්වරක් බලලා ඈ කිව්වේ එපමණයි. මගේ සිතට ආවේ තරහක්.
“ මම විභාගේ පාස් වුණාට අම්මට කිසිම ගණනක් වත් නැහැ. ” මම මටම කොඳු ගත්තා. ඒ විතරක් නොවෙයි මගේ සිතට දැනුණේ දැඩි දුකක්. ගෙදරට ආවේ අම්මත් එක්ක ඇතිවුණු පුංචි තරහක් සිතේ මෝදුවේගෙන එද්දි. ටික වෙලාවයි ගියේ. දළු කඩන අය ගෙදරට ආවේ දළු දාන්න.
“ ආ….. විභාගේ පාස් නේද ?”
ඔවුන් හැමෝම ඇහුවේ එකපාරටම. මා ඔවුන් සමඟ සිනහ වුණා.
“අම්මා ඒ අයත් එක්ක මගේ ජයග්‍රහණය ගැන කතා කරලා.”
එවිට නම් මට දැනුණේ සතුටක්. ඈ මගේ ඉදිරියේ කිසිම අදහසක් නොනැගුවත් අනෙක් හැමෝමත් එක්ක ඒ ගැන කතා කරලා තිබුණේ ඇගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණු ගණනට. ඇගේ ගතිගුණ නිර්මාණය වෙලා තිබුණේ එහෙමයි.
මම ගුරුවරයෙක් විදියට උගන්වන කාලයේ ගමේ අයත් හවුල් කරගෙන ‘නොමැරෙන මිනිස්සු’, ‘පොර කුකුළු’ ආදී වේදිකා නාට්‍ය කිහිපයක්ම කළා. ඒ කාලයේ මම හිටියේ ටිකක් විතර කොණ්ඩය වවාගෙන. සාමාන්‍යයෙන් ගම්වල පුරුෂයෝ ඒ කාලේ කොණ්ඩය වැව්වේ නැහැ. දවසක් අපේ ගෙදරට ආව නෑදෑ වන බාප්පා කෙනෙක් කතා කළේ චෝදනා මුඛයෙන්.
“ පුතා කොණ්ඩේ වවලා නේ ”
ඒ වනවිට මාව තේරුම් ගෙන සිටිය අම්මා ඔහුට උත්තර දුන්නේ අපුරුවට.
“ නෑ එයා නාට්‍ය කරනවා නේ.”
ඒ විදියට මාව කළ මේ ඇගයීම රංගනයට පිවිසීමට මට අපූරු පිටුබලයක් ගෙනාවා.
මම රංගන ශිල්පියෙක් විදියට රූපවාහිනියේ දකින විට ඇගේ සිතේ තිබුණ සෙනෙහස මට දැනුණා. කිසිම දෙයක් මා සමඟ ප්‍රකාශ නොකළත් ඈ මා පිළිබඳ සිටින්නේ සතුටෙන් වග වැටහුණා. ඇගේ කාලයක පටන් සිතේ තිබුණු හීනයක් සැබෑ කරන්නත් මටයි, සෝමවති අක්කටයි හැකි වුණා. ඒ ඈව ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වඳීන්න රැගෙන යෑම මගින්.
ඇගේ අතින් උයන කෑම තරම් රසවත් කෑමක් මගේ ජීවිතයටම නොකෑ බවත් මේ අවස්ථාවේ මගේ මතකයට නැගෙනවා. ගමේ ගොයම් කයියේදි ඈ බත් උයාගෙන අපට ඇඹුල ගේන්නේ බොහොම සතුටෙන්.
“ අම්බන අක්කා අන්න ඇඹුල ගේනවා.”
අනෙක් අය එහෙම කියන්නේ අම්මාගේ අතෙන් උයන කෑම රසවත් වග දන්න නිසා. අදටත් ගමේ වැඩිහිටියෝ මාව දැක්කම ඒ බතේ රස මතකයට නගන්නේ අම්මාගේ ගුණ මතක් කරමින්. හැමදාම ඈ ගම්මුන්ගේ හදවතේ වගේම අපේ හදවත්වලත් ජීවත් වෙන්නේ මතු කවරදාකවත් අමතක නොවන ලෙසින්.
මම නියැළෙන සෑම කටයුත්තකදිම මුලින්ම මතකයට නැගෙන්නේ අම්මේ ඔබගේ රූප කායයි. ජීවත්ව සිටිද්දි ඔබ දුන්න ඒ ශක්තියේ අඩුවක් තිබෙන බව හැගෙන්නේ මා අලුත් කටයුතකට මුල පුරද්දියි. ඒත් ඔබගේ මතකය මගේ ජීවිතය සදා සුවඳවත් කරන වග නම් රහසක් නොවෙයි. 

Thursday, December 24, 2015

නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය - http://www.president.gov.lk

කොළඹ 02, චිත්තම්පලම් ගාඩ්නර් මාවතේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (22) පස්වරුවේ විවෘත කෙරිණි.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 103 ක් ගත වුවද මේ දක්වා බාලදක්ෂ ව්‍යාපාරය වෙත ස්ථීර ගොඩනැගිල්ලක් නොතිබුණු අතර එම අඩු පාඩුව සපුරාලමින් සියලූ පහසුකම්වලින් සමන්විත පස් මහල් ගොඩනැගිල්ලක් ලෙස මෙම ගොඩනැගිල්ල ඉදි කර ඇත.
ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වඩා විධිමත් කිරීම මෙහි අරමුණයි.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙරට බාලදක්ෂ ව්‍යාපාරය ගොඩනැගිම සදහා රජයෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවයි.
මනුෂ්‍යත්වය පිරි සමාජයක් ගොඩනැගීම සදහා ලෝකයේ තිබෙන උතුම්ම ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
දැනට අපේ රටේ පාසල් දරුවන් 50,000 ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධව සිටින අතර 2016 නව වසරේදී එය ලක්ෂයක් දක්වා වර්ධනය කර ගැනීමට ඉලක්ක සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී යෝජනා කළ ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නලධාරින්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අතර බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ඉටුකරන සේවාව උදෙසා ජනාධිපතිතුමා අතින් ඒ මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්විණි.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති සී. බටුවන්ගල මහතා ඇතුළු නිලධාරිහු ද, දිස්ත්‍රික් බාලදක්ෂ නායක නායිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


-----------------------------

බාලදක්ෂ ව්‍යාපාරය ලෝකයේ යහපත් මිනිසුන් හැදීමේ කේන්ද්‍රයක් 

– නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කරමින් ජනපතිතුමා කියයි

-----------------------------
  නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම - රිවිර 2015/12/25


අපේ දරු පරපුර නොමගට පෙලඹවීම, තාක්ෂණයෙන් ඇතිවන අසුබවාදී දේ වැලඳගැනීම, මාධ්‍ය තුළ තිබෙන අයහපත් දේ පරිශීලනය කිරීම යන මේ කරුණු ගැන මව්පියන් සේම අප සැම කෙනෙක්ම දැඩි අවධානයෙන් පසුවී ඒවායින් දරුවන් බේරා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය අඟහරුවාදා (22) කොළඹ 2 චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවතේ ඉදි කෙරුණු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසීය…
ඔබ පැහැදිලි කළ ආකාරයටම පාසල් ජීවිතයේ බාලදක්ෂයකු විදියට කටයුතු කර ලබා ඇති අත්දැකීම් සමග බාලදක්ෂ ව්‍යාපාරයේ උත්සවයකට සහභාගි වන්න ලැබිම මා සලකන්නේ ඉමහත් ගෞරවයක් සහ භාග්‍යයක් ලෙසයි. ඒ නිසා මේ අවස්ථාව ඔබට වගේම මටත් වැදගත් අවස්ථාවක් වනවා.
බාලදක්ෂයකු විදියට පාසල් ජීවිතයේ කටයුතු කරපු ඒ යුගයට මේ අවස්ථාවේ මගේ මතකය දිව යනවා. අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් මානවවාදී ව්‍යාපාරයක් විදියට බේඩ්න් පවල් සාමිවරයා ආරම්භ කළ බාලදක්ෂ ව්‍යාපාරය අද මුළු මහත් ලෝකයේ යහපත් මිනිසුන් හැදීමේ සහ ඒකරාශි කිරීමේ කේන්ද්‍රයක් බවට පත් වී තිබෙනවා.
අපේ ගමේ භාෂාවේ තිබෙනවා කියමනක් “හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” කියලා. යහපත් මිනිසකු පිළිබඳව බලා‍පොරොත්තු තබන්න කුඩා කාලය තමයි වැදගත් වන්නේ. ළමා කාලය තුළ දරුවෙක් හසුරුවන ආකාරය සහ ඒ දරුවාට දෙන මග පෙන්වීම දරුවාගේ මුළු ජීවිතයම ගොඩනගාගන්න ඉතාමත් වැදගත් වෙනවා. පරිත්‍යාගශීලීභාවය, කැපවීම, අනුන්ට පිහිටවීම, අනුන්ගේ දුක හඳුනාගැනීම, ළමා කාලය තුළ පුරුදු කරන්නට බාලදක්ෂ ව්‍යාපාරය ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරන බව මම විශ්වාස කරනවා.

බෞද්ධ දර්ශනය තුළ, ක්‍රිස්තු දර්ශනය තුළ වගේම අනෙකුත් ආගමික දර්ශන තුළත් අන් අයට උදව් උපකාර කිරීම, පිහිටවීම, ඉතාමත් උතුම් දෙයක් විදියටයි සලකන්නේ. බාලදක්ෂ ව්‍යාපාරය අද මුළු ලෝකවාසී ජනතාවටම ආගමික දර්ශන පසුබිම් වූ මානවවාදී සමාජයක් ගොඩනැගීමේ කාර්යය සඳහා පුළුල් දායකත්වයක් ලබාදී තිබෙනවා.

අපේ රටේ පාසල් සිසුන් අද ලක්ෂ 40 කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. ඉන් 50000 ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටීම ඉතාමත් සතුටට කාරණයක්. ඒ වගේම මම හිතන්නේ උදාවන නව වර්ෂය තුළ ඒ 50000 ලක්ෂයක් දක්වා වැඩි කරගන්නට බලා‍පොරොත්තු වෙනවා. ඒ සඳහා ඉලක්ක සහගත ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා මා ඔබට යෝජනා කරනවා.

දැනට ලබාදෙන සහාය වගේම ඊට වඩා වැඩි සහායක් මේ සඳහා ලබාදෙන්න කියන ඉල්ලීම අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් පාසල්වලිනුත් මා පෞද්ගලිකව ඉල්ලා සිටිනවා. තාක්ෂණික ලෝකයේ මුදල් මත සියල්ල තීන්දු කරන බහුතරයක් ඉන්න සමාජයක යහපත් බව හැදියාව මෙන්ම මිනිස්කම යටපත් වන කාලයකයි අප දැන් මේ සිටින්නේ.

ඒ නිසා නව තාක්ෂණය කෙතරම් දියුණු වුවත් මුද‍ලේ වටිනාකම් තුළ සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක් නොවන බව අපි දැඩිසේ විශ්වාස කරනවා. මිනිස් ජීවිතවලට වඩා මුදලට වැඩි වටිනාකමක් දෙන තත්ත්වයට අද මුළු මහත් ලෝකයේම සමාජය පිරිහෙලා. ඒ නිසා ජීවිතවලට වැඩි වටිනාකම් ගෙනදෙන්නට, වඩාත් යහපත් මිනිසුන් බිහිකරන්නට, මිනිස්කම ගොඩනැගුණ මිනිස්කම පදනම් කරගත් සමාජයක් ගොඩනගන්න බාලදක්ෂ ව්‍යාපාරය මුළු ලෝකයේම තිබෙන උතුම් ව්‍යාපාරයක් බවට හඳුන්වන්න පුළුවන්.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු
අපේ දරුවන් නොමඟට පෙලඹවීම, තාක්ෂණයෙන් ඇතිවන අසුබවාදී දේ වැලඳගැනීම, මාධ්‍ය තුළ තිබෙන අයහපත් දේ පරිශීලනය කිරීම මේ කියන කරුණු පිළිබඳව මව්පියන් සේම අප සෑම කෙනෙක්ම දැඩි අවධානයකින් පසුවී ඒවායින් දරුවන් බේරා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. අනාගතය සඳහා ගුණවත් දරුවන් පිරිසක් බිහිකරන්නට බාලදක්ෂ ව්‍යාපාරයට එම මෙහෙය කළ හැකි බව අප විශ්වාස කරනවා.

ඒ උතුම් කාර්යය ඉටුකිරීම සඳහා මෙවැනි මූලස්ථාන ගොඩනැගිල්ලක් ඔබට ලැබිම පිළිබඳ ඔබ සතුටු වෙනවා වගේම ඔබේ ප්‍රධාන බාලදක්ෂයා වගේම පාසල් ජීවිතයේ බාලදක්ෂයකු විදියට කටයුතු කළ මාද ඉතාමත් සතුටු වෙනවා. අපි දන්නවා අපේ සිංහල භාෂාවේ බාල කියන වචනය අංශ කිහිපයකට යෙදෙනවා. වයසින් අඩු වුණාම බාල කියලා කියනවා. ඒ වගේම දැනුමෙන්, ප්‍රඥාවෙන්, බුද්ධියෙන් අඩු වුණාමත් බාල කියලා හඳුන්වනවා. මෙතනදී අපි හඳුන්වන්නේ වයසින් බාල කියන එකයි.

ඒ නිසා දරුවන්ගේ මනසට වඩා යහපත් දේ දෙන්නට බාලදක්ෂයන් හෙවත් දක්ෂ දරුවන් බිහිකරමින් සමාජයට මෙහෙවරක් කරන්නට අපි සියලු දෙනාම කැපවිය යුතු වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයට ලැබුණු නව ගොඩනැගිල්‍ලේ තිබෙන සිසිලස සමග ඔබ සමග අප මේ මොහොත ගතකරනවා. ඔබ සෑම කෙනෙකුටම මේ රටේ බාලදක්ෂ ව්‍යාපාරය අනාගතයේදී අදට වඩා ශක්තිමත්ව ගොඩනගන්නට මේ නව ගොඩනැගිල්ල නව සෙවන වඩාත් ශක්තිමත් පිටිවහලක් වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම මේ වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් සභාපතිතුමාටත් කොමසාරිස්තුමා ඇතුළු ඔබ සියලු දෙනාටමත් මගේ ගෞරවනීය ස්තූතිය පළ කරන අතරම බාලදක්ෂ ව්‍යාපාරය මේ රටේ ගොඩනැගීම සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම මම මගේ නිල කාලය තුළ මම නොපිරිහෙළා ඔබ වෙත ලබාදෙන බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නට කැමතියි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.

විශේෂ ස්තූතිය
රිවිර පුවත්පතේ සුජිත් කෝනාරට
http://www.rivira.lk

-----------------------------
නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම - මවුබිම 2015-12-24

මෛත්‍රි බාලදක්ෂයන් මුණගැහෙයි


'හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ' යනුවෙන් ගමේ භාෂාවේ කියමනක් තිබෙනවා. අනුන්ට පිහිට වෙන්න අනුන්ගේ දුක හඳුනාගන්න ළමා කාලය තුළ පුරුදු කිරීමේ ඓතිහාසික කාර්යභාරය බාලදක්ෂ ව්‍යාපාරය විසින් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බාලදක්ෂ ව්‍යාපාරයේ නව මූලස්ථානය විවෘත කරමින් පැවැසීය. 
අපේ රටේ ලක්ෂ 40ක පාසල් සිසුන්ගෙන් 50,000ක් බාලදක්ෂ ව්‍යාපාරය තුළ සිටිනවා. එය ඉතාමත් සතුටට කරුණක්. එම ප්‍රමාණය ලක්ෂයක් දක්වා වැඩි කරන්නට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇති කරන්නැයි ජනාධිපතිවරයා යෝජනා කළේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් දැනට ලබා දෙන සහායට වඩා වැඩි අනුග්‍රහයක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ජනාධිපති සිරිසේන මහතා ඉල්ලීමක් කළේය. ආගම, ධර්මය හා මුසුව මිනිස්කම ගොඩනඟන බාලදක්ෂ ව්‍යාපාරය ලොව ඇති උතුම්ම ව්‍යාපාරයක් යැයිද ජනාධිපතිවරයා පැවැසීය. කොළඹ 2, චිත්තම්පලම් ගාඩිනර් මාවතේ ඉදිකෙරුණු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පෙරේදා (22දා) පස්වරුවේ විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ කටයුතු ආරම්භ කර වසර 103ක් වන අතර මෙතෙක් පැවැති අඩුව සපුරමින් සියලු පහසුකම් සහිත නව පස්මහල් ගොඩනැඟිල්ල ඉදිකර තිබේ.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාද උත්සව සභාව අමතනු ලැබූ අතර ඒ මහතා විසින් ජනාධිපතිවරයාට විශේෂ තිළිණයක්ද පිළිගන්වනු ලැබීය.

ජනාධිපතිවරයා නිමල් ද සිල්වා මහතා බාලදක්ෂ ව්‍යාපාරයට කළ මෙහෙය අගයමින් සමරු තිළිණයක් ඒ මහතා වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති සී බටුවන්ගල මහතා ඇතුළු නිලධාරීන්ද දිස්ත්‍රික් බාලදක්ෂ නායක නායිකාවන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
අපේ රටේ බාලදක්ෂ ව්‍යාපාරයට වසර 103ක් සම්පූර්ණ වීමත්, ඒ වගේම මෙතෙක් කල් තමන්ගේ වූ මූලස්ථාන ගොඩනැඟිල්ලක අඩුව සපුරාලමින් අද නව ගොඩනැඟිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වන ලෙසට මට ආරාධනා කිරීම පිළිබඳ ප්‍රථමයෙන් සතුටට පත් වෙනවා. ඔබ පැහැදිලි කළ ආකාරයටම පාසල් ජීවිතයේ බාලදක්ෂයෙක් විදියට කටයුතු කර ලබා ඇති අත්දැකීම් සමඟ බාලදක්ෂ ව්‍යාපාරයේ උත්සවයකට සහභාගි වෙන්න ලැබීම මා සලකන්නේ ඉමහත් ගෞරවයක් සහ භාග්‍යයක් ලෙසයි. ඒ නිසා මේ අවස්ථාව ඔබට වගේම මටත් වැදගත් අවස්ථාවක් වනවා.
බාලදක්ෂයෙක් විදියට පාසල් ජීවිතයේ කටයුතු කරපු ඒ යුගයට මේ අවස්ථාවේ මගේ මතකය දිව යනවා. අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් මානවවාදී ව්‍යාපාරයක් විදියට බේඩ්න් පවල් සාමිවරයා ආරම්භ කළ බාලදක්ෂ ව්‍යාපාරය අද මුළු මහත් ලෝකයේ යහපත් මිනිසුන් හැදීමේ සහ ඒකරාශී කිරීමේ කේන්ද්‍රයක් බවට පත්වී තිබෙනවා.

අපේ ගමේ භාෂාවේ තිබෙනවා කියමනක් 'හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ' කියලා. යහපත් මිනිසෙක් පිළිබඳව බලාපොරොත්තු තබන්න කුඩා කාලය තමයි වැදගත් වන්නේ. ළමා කාලය තුළ දරුවෙක් හසුරුවන ආකාරය සහ ඒ දරුවාට දෙන මඟ පෙන්වීම දරුවාගේ මුළු ජීවිතයම ගොඩනඟාගන්න ඉතාමත් වැදගත් වෙනවා. පරිත්‍යාගශීලී භාවය, කැපවීම, අනුන්ට පිහිටවීම, අනුන්ගේ දුක හඳුනා ගැනීම, ළමා කාලය තුළ පුරුදු කරන්නට බාලදක්ෂ ව්‍යාපාරය ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරන බව මම විශ්වාස කරනවා.

බෞද්ධ දර්ශනය තුළ ක්‍රිස්තු දර්ශනය තුළ වගේම අනෙකුත් ආගමික දර්ශන තුළත් අන් අයට උදවු උපකාර කිරීම, පිහිටවීම, ඉතාමත් උතුම් දෙයක් විදියටයි සලකන්නේ. බාලදක්ෂ ව්‍යාපාරය අද මුළු ලෝකවාසී ජනතාවටම ආගමික දර්ශන පසුබිම් වූ මානවවාදී සමාජයක් ගොඩනැඟීමේ කාර්යය සඳහා පුළුල් දායකත්වයක් ලබා දී තිබෙනවා.

අපේ රටේ පාසල් සිසුන් අද ලක්ෂ 40කට වැඩි සංඛ්‍යාවක් සිටිනවා. ඉන් 50,000ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටීම ඉතාමත් සතුටට කාරණයක්. ඒ වගේම මම හිතන්නේ උදාවන නව වර්ෂය තුළ ඒ 50,000 ලක්ෂයක් දක්වා වැඩි කර ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඉලක්කසහගත ව්‍යාපාරයක් අවශ්‍යයි කියලා මා ඔබට යෝජනා කරනවා.

දැනට ලබාදෙන සහාය වගේම ඊට වඩා වැඩි සහායක් මේ සඳහා ලබා දෙන්න කියන ඉල්ලීම අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් පාසල්වලිනුත් මා පෞද්ගලිකව ඉල්ලා සිටිනවා. තාක්ෂණික ලෝකයේ මුදල් මත සියල්ල තීන්දු කරන බහුතරයක් ඉන්න සමාජයක යහපත් බව හැදියාව මෙන්ම මිනිස්කම යටපත් වන කාලයකයි අප දැන් මේ සිටින්නේ.

ඒ නිසා නව තාක්ෂණය කෙතරම් දියුණු වුවත් මුදල් වටිනාකම් තුළ සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක් නොවන බව අපි දැඩි සේ විශ්වාස කරනවා. මිනිස් ජීවිතවලට වඩා මුදලට වැඩි වටිනාකමක් දෙන තත්ත්වයට අද මුළු මහත් ලෝකයේම සමාජය පිරිහිලා තිබෙනවා. ඒ නිසා ජීවිතවලට වැඩි වටිනාකම් ගෙනදෙන්නට, වඩාත් යහපත් මිනිසුන් බිහි කරන්නට, මිනිස්කම ගොඩනැඟුණ මිනිස්කම් පදනම් කර ගත් සමාජයක් ගොඩනඟන්නට බාලදක්ෂ ව්‍යාපාරය මුළු ලෝකයේම තිබෙන උතුම් ව්‍යාපාරයක් බවට හඳුන්වන්න පුළුවන්. අපේ දරුවන් නොමඟට පෙලඹවීම, තාක්ෂණයෙන් ඇතිවන අසුබවාදී දේ වැලැඳ ගැනීම, මාධ්‍ය තුළ තිබෙන අයහපත් දේ පරිශීලනය කිරීම මේ කියන කරුණු පිළිබඳ මවුපියන් සේම අප සෑම කෙනෙක්ම දැඩි අවධානයකින් පසුවී ඒවායින් දරුවන් බේරා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුයි. අනාගතය සඳහා ගුණවත් දරුවන් පිරිසක් බිහි කරන්නට බාලදක්ෂ ව්‍යාපාරයට එම මෙහෙය කළ හැකි බව අප විශ්වාස කරනවා.

ඒ උතුම් කාර්යය ඉටු කිරීම සඳහා මෙවැනි මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඔබට ලැබීම පිළිබඳ ඔබ සතුටු වෙනවා වගේම ඔබේ ප්‍රධාන බාලදක්ෂයා වගේම පාසල් ජීවිතයේ බාලදක්ෂයෙක් විදියට කටයුතු කළ මාද ඉතාමත් සතුටු වෙනවා. අපි දන්නවා අපේ සිංහල භාෂාවේ බාල කියන වචනය අංශ කිහිපයකට යෙදෙනවා. වයසින් අඩු වුණාම බාල කියලා කියනවා. ඒ වගේම දැනුමෙන්, ප්‍රඥාවෙන්, බුද්ධියෙන් අඩු වුණාමත් බාල කියලා හඳුන්වනවා. මෙතැනදී අපි හඳුන්වන්නේ වයසින් බාල කියන එකයි.

ඒ නිසා දරුවන්ගේ මනසට වඩා යහපත් දේ දෙන්නට බාලදක්ෂයන් හෙවත් දක්ෂ දරුවන් බිහි කරමින් සමාජයට මෙහෙවරක් කරන්නට අපි සියලු දෙනාම කැපවිය යුතු වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරයට ලැබුණු නව ගොඩනැඟිල්ලේ තිබෙන සිසිලස සමඟ ඔබ සමඟ අප මේ මොහොත ගත කරනවා. ඔබ සෑම කෙනකුටම මේ රටේ බාලදක්ෂ ව්‍යාපාරය අනාගතයේදී අදට වඩා ශක්තිමත්ව ගොඩනඟන්නට මේ නව ගොඩනැඟිල්ල, නව සෙවණ වඩාත් ශක්තිමත් පිටිවහලක් වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම මේ වැදගත් අවස්ථාවට මා වෙත ආරාධනා කිරීම සම්බන්ධයෙන් සභාපතිතුමාත් කොමසාරිස්තුමා ඇතුළු ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පළ කරන අතරම බාලදක්ෂ ව්‍යාපාරය මේ රටෙහි ගොඩනැඟීම සඳහා දිය හැකි දිය යුතු සෑම සහයෝගයක්ම මම මගේ නිල කාලය තුළ නොපිරිහෙළා ඔබ වෙත ලබා දෙන බවද අවසන් වශයෙන් ප්‍රකාශ කරන්නට කැමැතියි.
 

විශේෂ ස්තූතිය
මවුබිම පුවත්පතේ උදේනි සමන් කුමාර 
http://mawbima.lk/86-101827-news-detail.html

-----------------------------

නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම - දිණමිණ 2015-12-25

බාලදක්ෂ යන්නෙහි අරුත කුඩාකළ සිටම දක්ෂයකුවීමයි

පනස්දහසක් තරම් වන බාලදක්ෂයින් සංඛ්‍යාව ලබන වසර නිමාවන විට ලක්ෂයක් දෙනා දක්වා වැඩි කරගැනීමේ ඉලක්කයක් තබාගෙන කටයුතු කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන් ඉල්ලීමක් කළේය. කොළඹ 2, සර් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථානය ඊයේ (22) සවස විවෘත කිරීමෙන් අනතුරුව පැවැති විශේෂ උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

බ්‍රිතාන්‍ය ජාතික බේඩ්න් පවල් සාමිවරයා වසර 1907 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කෙළේය. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ මඟපෙන්වීම් මත ෆ්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා විසින් මෙම ව්‍යාපාරය වසර 1912 දී මෙරටේ දී ද ආරම්භ විය. ඒ මාතලේ ක්‍රිස්තුදේව විදුහලේ බාලදක්ෂ කටයුතු ආරම්භ කරමිනි.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ වී වසර 103ක් තරම් දිගු ඉතිහාසය තුළ යහපත් මානව සමාජයක් බිහි කිරීමට ලබාදුන් දායකත්වය අතිමහත්ය. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීම මෙරට ප්‍රධාන බාලදක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවීම සතුටට කරුණකි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා- අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අයත් රජයේ ආයතනවල නිලධාරීන් සියලුදෙනාම බාලදක්ෂ ව්‍යාපාරය සාර්ථකව පාසල් පද්ධතියේ ක්‍රියාත්මක කිරීමට උදව් කරනවා. මම ඒ අයට පෞද්ගලිකවම කතාකර මේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථකව ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්න උදව් ඉල්ලා සිටිනවා.

මමත් හිටපු බාලදක්ෂ පෝතකයෙක්. බාලදක්ෂ ව්‍යාපාරය නමින්ම කියැවෙන්නේ බාල කාලයේ පටන්ම දක්ෂයින් වීමට ඉඩකඩ නිර්මාණය කරදීමයි. මානව දයාව, අනුන්ට උපකාර කිරීම, අන් අය දුකින්මුදා ගැනීම, කැපවීම අපේ දරුවන්ට කුඩා කාලයේ පටන් ඉගැන්විය යුතුයි. එයට හොඳම තෝතැන්න බාලදක්ෂ ව්‍යාපාරයයි. ජනාධිපතිවරයා කීය.

ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති සී බටුවන්ගල, විධායක කමිටු සභාපති රන්සිරි පෙරේරා හා නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ශිරාස් සාලි, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි යන මහත්වරු ඇතුළු බාලදක්ෂ කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් බාලදක්ෂ නායක නායිකාවන්, බාලදක්ෂ දරු දැරියන් හා ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 103ක් ගත වුවද මේ වන තෙක් ස්ථිර ගොඩනැගිල්ලක් නොතිබුණු අතර, මෙම ගොඩනැගිල්ල මහල් 5කින් සමන්විත වේ. වාස්තු විද්‍යාඥ මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ නිර්මාණ දායකත්වයෙන් ට්‍රියෝ හා ෆෙයාර්වේ හොල්ඩින්ස් යන ආයතන ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

ලෝකයේ ළමයි වෙනුවෙන් බිහි වූ විශාලතම ස්වෙච්ඡා සංවිධානය වන බාලදක්ෂ ව්‍යාපාරය 1907 දී එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ දී බේඩ්න් පවල් සාමිවරයා විසින් ආරම්භ කරන ලද අතර 1912 දී ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතා මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ දී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර ඇත.
අද වන විට 50000 කට අධික දරුවන් පිරිසක් සාමාජිකත්වය දරන අතර ශ්‍රී ලංකාව පුරා බාලදක්ෂ දිස්ත්‍රික් 37ක දරුවන් ලෝක බාලදක්ෂ සාමාජිකත්වය දරයි. මේ වන විට ලෝක බාලදක්ෂ සංවිධානය තුළ ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වී ඇත.

විශේෂ ස්තූතිය
දිණමිණ පවත්පතේ ජයසිරි මුණසිංහ

----------------------------
නව බාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම - සත්හඩ 2015-12-25

ශී‍්‍ර ලංකා බාලදක්ෂ නව මූලස්ථානය විවෘත කෙරේ 


ශී‍්‍ර ලංකාවේ ප්‍රධාන බාලදක්‍ෂ අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ සංගමයේ නව මුලස්ථානය විවෘත කිරීමේ උත්සවය පැවැත්විය. මේ අවස්ථාවට ප්‍රධාන කොමසාරිස් මහචාර්ය නිමල් ද සිල්වා, ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ සංගමයේ සභාපති සි. බටුවන්ගල ඇතුළු බාලදක්‍ෂ කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් බාලදක්‍ෂ නායක නායිකාවන් බාලදක්‍ෂ දරු දැරියන් හා ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.

----------------------------

ලෝකයේ ඇති උතුම්ම ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරයයි

http://www.puvath.lk/news.
http://www.adaderana.lk - December 23, 2015  09:31 am
බාලදක්ෂ ව්‍යාපාරයට දරුවන් එක් කිරීම සඳහා විදුහල්පතිවරුන් සහයෝගය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු පවසන්නේ දැනට පාසල් දරුවන් 50,000ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරයට එක්ව සිටින බවයි.
එය ලබන වසරේදී ලක්ෂය දක්වා වර්ධනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මනුෂ්‍යත්වය පිරි සමාජයක් ගොඩනැගීම සඳහා ලෝකයේ ඇති උතුම්ම ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය බව  හෙතෙම පවසයි.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

----------------------------

වානිජ සමාජයේ මූල්‍ය වටිනාකම තුළ සියලු දේ තීරණය කිරීම යහපත් දෙයක් නොවේ – ජනපති   

Dec 22, 2015 Pavithra Sandamali



ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද විවෘත කෙරිණ.
මෙම නව ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, කොළඹ 2 ගාඩ්නර් මාවතේදී ය.
මෙහිදී ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමුණු අතර ප්‍රධාන බාලදක්ෂකොමසාරිස් මහාචාර්ය නිමල්ද සිල්වා මහතාටද සමරු තිලිණයක් ප්‍රධානය කළේ ය.


 http://newsfirst.lk/sinhala

----------------------------

බාලදක්ෂ නව මූලස්ථානය ජනපති අතින් විවෘතවේ.. 

http://www.gossiplankanewstoday.com
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගිය 22 දින විවෘත කරනලදි. මහල් පහකින් යුත් මේ ගොඩනැගිල්ල අංග සම්පූර්ණ  මූලස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.
ප්‍රධාන කොමසාරිස් මහචාර්ය නිමල් ද සිල්වා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති සී බටුවන්ගල,දිස්ත්‍රිික් බාලදක්ෂ කොමසාරිස්වරුන් ඇතුලු බාලදක්ෂ නායක නායිකාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධවිය.

----------------------------

බාලදක්ෂයින් 100,000ක ඉලක්කයක්

sinhala.digathanews.com - Monday , 28 December 2015
මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව 100,000 දක්වා ඉහළ නංවා ගැනීමට නව වසරේදී ඉලක්කගත වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටී. දැනට පාසල් දරු දැරියන් 50,000ක් පමණ දෙනා බාලදක්ෂ ව්‍යාපාරයට එක්ව සිටින බවත්, තවත් දරුවන් ඊට එක් කර ගැනීම සඳහා විදුහල්පතිවරුන් සහයෝගය ලබා දිය යුතු බවත් හෙතෙම පවසයි. කොළඹ චිත්තප්පලම් ඒ. ගාඩිනර් මාවතේ ඉදි කළ නව බාලදක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල ඊයේ විවෘත කිරීමේ අවස්ථාව අමතමින් ඔහු ඒ බව පැවසීය. හික්මීමකින් යුත් දරුවන් බිහි කරලීම සඳහා බාලදක්ෂ ව්‍යාපාරය විශාල වැඩකොටසක් ඉටු කරන බව ඔහු කියා සිටියේය.

----------------------------

බාලදක්ෂයින් වැඩි කරමු










- See more at: http://www.lakdana.lk/si/news/%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94#sthash.PChQJaxu.dpuf
අමිල වනිගසේකර විසින්

Sunday, December 20, 2015

නව ශ‍්‍රී ලංකා ප‍්‍රධාන බාලදක්‍ෂ මුලස්ථානය

නව ශ‍්‍රී ලංකා ප‍්‍රධාන බාලදක්‍ෂ මුලස්ථානය ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ!




Grand Opening of Scout Headquarters 5th Story Building in Sri lanka
නව ශ‍්‍රී ලංකා ප‍්‍රධාන බාලදක්‍ෂ මුලස්ථානය ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරේ!

ශ‍්‍රි ලංකාවේ බාලදක්‍ෂ කටයුතු ආරම්භ කර වසර 103 කි. දීර්ඝ කාලයක් පුරා කොළඹ 02, චිත්තම් පලම් ඒ්. ගාඩිනර් මාවතේ පිහිටා තිබූ පැරණි ගොඩනැගිල්ල 2009 වසරේදී දේශීය අාදායම් ගොඩනැගිල්ලට සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ගුවන් ප්‍රහාරයෙහි අතුරු ඵලයක් ලෙස විනාශයට පත්විය. මූලස්ථාන ගොඩනැගිල්ලක් නොමැතිව ඉතිහාසය පුරා තැනින් තැනට මාරුවෙමින් පැවති අදුරු අතීතය අවසන් කරමින් නව ජාතික බාලදක්ෂ මූලස්ථානයක් ඉදිකිරීමේ අාරම්භක නියමුවා නම් වත්මන් ශ‍්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ සභාපති සි බටුවන්ගල මහතා වේ. 17වැනි ප‍්‍රධාන කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අවධියෙහි මුහුණදුන් දැවැන්ත අර්බුද හමුවේ නොසැලෙමින් අනන්ත වූ කැපකිරීම් හා වෙහෙසක් කැප කොට අාරම්භ කළ මෙම පස් මහල් ගොඩනැගිල්ලෙහි වැඩ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් නිමා වී තිබේ. වාස්තු විද්‍යාඥ ජාතික භාරයේ සභාපති,  ප්‍රවීන වාස්තු විද්‍යාඥ, සම්මානනීය මහාචාර්ය, 18වැනි (වත්මන්) ප‍්‍රධාන කොමසාරිස්, නිමල් ද සිල්වා මහතාගේ නිර්මාණ සංකල්පයකි. ට්රියෝ හා ෆෙයාර්වේ හොල්ඩින්ස් ආයතන විසින් ඉදිකිරීම් කටයුතු සිදුකර අැත.

නව මුලස්ථාන ගොඩනැගිල්ල ශ‍්‍රී ලංකා ප‍්‍රධාන බාලදක්‍ෂ ගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  2015 දෙසැම්බර් මස 22 වන දින උත්සවශ‍්‍රීයෙන්  විවෘත කිරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍ය නිතිඥ අකිල විරාජ් කාරියවසම්, ප‍්‍රධාන කොමසාරිස් මහචාර්ය නිමල් ද සිල්වා, ශ‍්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ සභාපති සි බටුවන්ගල, ඇතුළු බාලදක්‍ෂ කොමසාරිස්වරුන්, දිස්ත‍්‍රීක් බාලදක්‍ෂ නායක නායිකාවන් සිගිති බාලදක්ෂයන්, පෝතයන්, බාලදක්‍ෂයන්, බාලදක්ෂ බාලිකාවන් අැතුලු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතය.


News: Scouting Magazine - Sri lanka






construction handover to
Opening of 1st floor




  







Sunday, December 6, 2015

වෙෙද්‍ය වජිරා වනිගසේකර නැමති බාලදක්ෂිකාව

ඔබ, බාලදක්ෂිකාවන්ට වජ‍්‍රාලෝකයකි...

 දයාබර නායිකාවනි,
ඔබ...
සැබෑ ම බාලදක්ෂිකාවක් ව
දිවිගෙවා...
අනාගත බාලිකාවන්ට
පරමාදර්ශයක් ම වූවා ය...

නූගේගොඩ අනුලා විද්‍යාලයීය බාලදක්ෂිකා කණ්ඩායමේ ක‍්‍රියාශීලී ආදි බාලදක්ෂිකාවක වූ පෑලියගොඩ මහජන සෞඛ්‍ය නිලධාරිනීි වෛද්‍ය වජිරා චූටි මැණිකේ වනිගසේකර (52* මහත්මිය අග‍්‍රාමාත්‍ය පදක්කම දිනූ ආදි බාලදක්ෂිකාවක් ද වූවාය. එඩිම්බරෝ ආදිපාදතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක වන ජාත්‍යන්තර යෞවන තිළිණ වැඩසටහනේ ලෝකඩ, රජත සහ ස්වර්ණ යන පදක්කම් ත‍්‍රිවිත්වය ම දිනූ දුර්ලභ ගණයේ තිළිණ ධාරිනියක් වූවා ය.  ශ‍්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා සහ අගමැති තිළිණ ප‍්‍රධාන ජාතික කමිටුවේ අධ්‍යක්ෂිකා තනතුර හෙබ වූ ඇය, බාලදක්ෂිකාවන් 17 දෙනකු සමග අයර්ලන්තයේ පැවති ජාත්‍යන්තර බාලදක්ෂිකා ක`දවුරකට සහභාගිි වී නැවත පැමිණෙන අතරතුර කටුනායක ගුවන්තොටුපළේ දී හදිසි හෘදයාබාදයකට ලක් ව අප අතරින් සදහට ම නික් ම ගියාය. ඈ විසින් සිදුකළ අමරණීය මෙහෙවර අනුස්මරණය කිරීම වෙනුවෙන් තැබෙන සටහනකි, මේ...

'SCOUTING' සගරාවේ සාතිශය ශෝකය

and RIP news on
https://www.facebook.com/media/set/?set=a.533581380102627.1073741828.170596276401141&type=3

වෙෙද්‍ය වජිරා වනිගසේකර අප හැර ගොස් වසරක් ගත විය.

* මෙම ලිපිය අපගේ හිතවත් වෙෙද්‍ය වජිරා වනිගසේකරමහත්මියගේ වියොවෙන් වසරකට පසු යෙදන ගුණ සමරු දිනය වෙනුවෙන් අපගේ scoutingmagazine@gmail.com විද්‍යුත් ලිපිනය වෙත ලැබුණු ලිපියකි.

වෙෙද්‍ය වජිරා වනිගසේකර අප හැර ගොස් වසරක් ගත විය. විශ්වාස කළ නොහැකි වුවත් පිළිගැනීමට අකමැති වුවත් සත්‍ය එයයි. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය කදුළු නිවස්නයක් කරමින් අැය අපෙන් සමුගත්තේ මීට වසරකට කලිනි.

නුගේගොඩ අනුලා විදුහලෙන් බිහි වූ වජී (අපේ අාදර නාමය යොදා ගන්නට අවසර දෙන්න) අධ්‍යාපනික මෙන්ම බාහිර ක්‍රියාකාරකම් ද සමබරව ගෙන ගිය චරිතයක් ලෙස හදුන්වා දිය හැකියි.

කුඩා කල සිටම බාලදක්ෂිකා ව්‍යාපාර කටයුතු සම්බන්දයෙන් අැය කැපවීමෙන් ක්‍රියා කළ බව පෙනේ. පාසැලේ 1983 වසරේ හොදම බාලදක්ෂිකාව ලෙස කිරුළු පලන් අැය පාසලේ ජේ‍යෂ්ඨ බාලදක්ෂිකා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරමින් සිටියදී 'අගමැති සම්මානය' ලැබීමට සුදුසුකම් සපුරා ගත්තාය. ජේ‍යෂ්ඨ බාලදක්ෂිකාවකට ලබා ගතහැකි ඉහළම සම්මානය වන මෙය ලබා ගැනීමට සමත් වූ තුන්වන සාමාජිකාව බව අපගේ වාර්තා හෙළිකරයි. ඒම සම්මානය කරා යොමු වූ මග ඉතා කටුක හා දුෂ්කර ගමනකි. අප වජී ඒ් සියළු අපහසුකම් මැඩගෙන තම ප‍්‍රතිභාව දැක්වීම විනිසුරු මඩුල්ලේ ප්‍රතිචාරයට පවා ලක්විය. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ඒවකට සභාපතිධූරය දැරූ හේමා බස්නායක මැතිණිය අතින් 1985 මහා සභාරැස්වීමේදී අැයට ඒම සම්මානය පිරිනැමිණි.

උසස් පෙළින් පසු අැය තෝරාගත්තේ වෙෙද්‍ය වෘත්තියයි. සහකාර වෙෙද්‍ය නිලධාරිණියක් ලෙස පුහුණුව ලැබූ අැය තම රැකියාව තරමින්ම බාලදක්ෂිකා ක්රියාකාරකම් වලද නිරතවීම විශේෂ ලක්ෂණයකි. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ උසස් තනතුරු කීපයක්ම හෙබවූ අැය ඒ්වයෙහි වගකීම මැනවින්ම ඉ
ටුකළ කාන්තාවකි.

කොට්ඨාශ කොමසාරිස්තුමිය ලෙස අැය නිතර බාලදක්ෂිකා කණ්ඩායම් හමුවී ඔවුන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කරමින් හැකි පමණ උදව් කළාය. මේ සත්ක්රියාව අැය අකාලයේ අපෙන් සමුගන්නා තෙක්ම නොකඩවා කරගෙන ගිය සේවයකි.

වෙෙද්‍ය වජිරාගේ මිනිස්කම මැනවින් විදහාපාන අවස්තාවක් මා දුටුවේ අැය ජේ‍යෂ්ඨ බාලදක්ෂිකා අධ්‍යක්ෂකතුමිය ලෙස කටයුතු කරද්දීය. සෑම විටම අැගේ දුරකථනය අප වෙනුවෙන් විවෘතව තිබුණු අතර ජේ‍යෂ්ඨ බාලදක්ෂිකාවන් නිතර අැය හා කතා බහකර තීරණ ගත් බව ප‍්‍රකට කරුණකි.

බාලදක්ෂිකා  හා ජේ‍යෂ්ඨ බාලදක්ෂිකා අභියෝගතා විනිසුරුවරියක් ලෙස අැය තම වෘත්තියේ අැති කාර්ය බහුලතාවය නොසලකා, වේලාව අවේලාව නොබලා සිය කාර්යන් මැනවින් ඉටුකළ බව අපි නිතර දුටුවෙමු. බාලදක්ෂිකාවන්ගේ ගුණධර්ම, නිර්මාණාත්මක හැකියාව හා සේවය වෙනුවෙන් දක්වන කැපවීම වැනි වටිනාකම් හොදින් මැන බලා  'අගමැති සම්මානය' සුදුස්සාටම පිරිණැමීමට අෑ වග බලා ගත්තේ අැය අගමැති සම්මාන කමිටුවේ අධ්‍යක්ෂතුමිය ලෙස තනතුර හොබවන විටදී ය.

'ඩ්රීම්ස් අැන්ඩ් ටීම්ස්' නම් වූ බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් පවත්වන නායකත්ව පුහුණු වැඩසටහනේ අනුලා විද්‍යාලයීය නායිකාව වූයේ ද අැයයි. සිය පූර්ණ දායකත්වය යොදා වෙෙද්‍ය වජිරා තම පාසල වෙනුවෙන් ද උපරිම සේවයක් කළ සිදුකළ බව අපි දනිමු.

ජාතික තරුණ සේවා සභාව තුළ ජේ‍යෂ්ඨ බාලදක්ෂිකා කණ්ඩායමක් පුහුණු කළා පමණක් නොව එමගින් පිරිණැමෙන 'එඩින්බරෝ සම්මානය' දිනාගැනීමට ද අැය සමත් වූවාය.

අැගේ දයාබර ස්වාමිපුරුෂයා වන නයන මෙන්ම අාදර ඒකම දියණිය වන චතුරි ද අැගේ සාර්ථකත්වය පිටුපසින් සිටිමින් බාලදක්ෂිකා කටයුතුවලදී හැකිතාක් සහයෝගය දුන්බව ද අපට පෙනිණ.

ඔිනෑම බැරෑරුම් දෙයක් ගැන වජිරා බැලුවේ කලබලයෙන් තොර සන්සුන් මනසිකිනි. කිසි දිනෙක අැය කලබලයට පත්ව සිටිනු මා දැක නැත. මේ සියළු ගුණයන් අභිබවා මා දුටුවේ අැය තුළ තිබූ ගුණ සුවද පිරි මිනිස්කමයි. අැය ජීවිතයෙන් ලොකුදේවල් බලාපොරොත්තු වූයේ නැත. එමෙන්ම කිසිවක් පසුපස හඹාගියේ ද නැත. සියලු අභියෝග අැයට ජය ගැනීමට හැකිවීමේ රහස අැගේ මේ සැහැල්ලු මනසයි.

වෙෙද්‍ය වජිරා වනිගසේකර අපෙන් සමුගත් පසුව අැතිවූ අඩුව පිරවීමට නායිකාවක් නැවත බිහිවන්නට පුළුවන. නමුත් අැය වැනි මිනිස්කම උතුරායන සොදුරු කාන්තාවක් අපට ලැබේවියැයි සිතිය නොහැක. ඔබ පිළිඹද මතකය ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සාමාජිකයන්ගේ හදතුළ සැමවිටම රදාපවතින්නේ ඒ් නිසයි.

ඔබට දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිවන්සුව අත්වේවා!  

ජයන්ති තිලකරත්න
ප‍්‍රකාශන අධ්‍යක්ෂිකා
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය