Translate

Tuesday, November 30, 2021

මැයි 31 දින නිමාවට පත් වූ දෙවන බුවර් සටන

මැයි 31 දින නිමාවට පත්වූ දෙවන බුවර් සටන

බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ සැමදෙනාම එහි නිර්මාතෘ වරයාගේ ඉතිහාසය පිළිබඳව කියවද්දී එහි දෙවන බෝයර් සටන එක පරිච්ඡේදයක් බව දන්නවා ඇති. මෙම දෙවන බෝයර් සටන බාලදක්ෂයන්ට පමණක් වැදගත්කමක් නොව ශ්‍රීලංකාවටද යම් ඓතිහාසික චරිතයක් එක් කල සිද්ධියකි.

රන් රිදී දියමන්ති ඇතුළු ඛනිජ හා වන සම්පතින් සපිරි දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍යයේ ආදිපත්‍යයට යටත්ව පිටින් පැමිනි සුද්දන් එහි සාරය උරා බීම ගැන එහි වැසියන් පසුවූයේ ඉමහත් කණස්සල්ලෙනි.විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ ආධිපත්‍යය පතුරාවාගෙන සිටි බෝයර් වරුන්ට ඉන් වැදුනේ බලවත් අතුල් පහරකි.

ඕලන්ද ප්‍රංශ ජර්මානු සම්භවයකින් පැවතෙන බෝයර් වරුන් දකුණු අප්‍රිකාවේ මුල් පදිංචිකරුවන් වූහ.ඔවුන් අතරින් වූ යුට්ලන්ඩ් වැසියන් පතල් කැනීම් කරුවන් වූ අතර 1886 දී බෝයර් අගනුවරට දකුණින් ලොව විශාලතම රන් නිධිය සොයාගත් අතර බ්‍රිතාන්‍යයන් ඊට කෙල හලමින් සිටි අතර දහස් ගනන් බ්‍රිතාන්‍යය වරුන් කේප් ජනපදයේ පදිංචියට පැමිනියහ.ඔවුන්ගේ කූට උප්පරවැට්ටිය වූයේ රන් හා දියමන්ති බහුල ට්‍රාන්ස්වාල් ,ඔරෙන්ජ් ෆ්‍රී හා ජොහැන්ස්බර්ග් යන ප්‍රදේශයේ වෙනම ස්වාධීන පාලනයකින් යුතු රාජ්‍යයක් බවට යුට්ලන්ඩ් වැසියන් පෙලඹවීම වීමයි.මේ සඳහා බ්‍රිතාන්‍යයනගේ් ආධාර යුට්ලන්ඩ් වැසියන්ට නොඅඩුව ලැබිණි .මෙයින් කුපිත වූ බෝයර් වරුන් පතල් සඳහා වූ බද්ද ඉහල නැංවූහ.මෙයින් සිදුවූයේ යුට්ලන්ඩ් වැසියන්ගේ විරෝධය බෝයර් වරුන් වෙත එල්ල වීමය.මෙයින් ප්‍රයෝජනය ගත් බ්‍රිතාන්‍යයන් දේශපාලන,සාමාජික හා ආර්ථික ප්‍රතිපත්තියක් සහිත සාධාරණ ජන්ද නීතිය ,ස්වාධීන අධිකරණ හා හොඳ අධ්‍යාපන ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක් හඳුන්වාදෙමින් නව ස්වාධීන රාජ්‍යයක් සඳහා යුට්ලන්ඩ් වැසියන් පෙලඹවීමයි.
 

මෙයින් දරුණු ලෙස කුපිත වූ බෝයර් වරුන් සටනට එලෙඹි අතර එහි ප්‍රතිඑලයක් ලෙස පලමු බෝයර් යුද්ධය ඇරඹි අතර ඉන් බ්‍රිතාන්‍යයන්ට අත්වූයේ දරුණු පරාජයකි.කෙසේ නමුත් බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකාව හැර ඉන් නික්ම වීමට තීරණය නොකලහ.

දකුණු අප්‍රිකාවේ පූර්ණ බලතල තමන් අතට පත්කර ගැනීමට නම් බෝයර් වරුන් හැර අනෙකුත් ස්වදේශිකයන් තමන් වෙත නෑඹුරු කර ගැනීමට හෝ ඔවුන්ව තම යටතට ගැනීමේ පියවර බ්‍රිතාන්‍යයන්ගේ සිහිනය විය.ඇන්ග්ලෝ බෝයර් සටන ,අශාන්ති සටන ,මැටබෙලේ සටන ආදිය මෙහි ප්‍රථිඑලයක් විය .

බ්‍රිතාන්‍යයේ දරුණු කෙණෙහිලි ඉවසාගත නොහැකි තැන බෝයර් වරුන් කල්වේලා ඇතිව දෙවන සටනකට සූදානම් විය.මෙහි ප්‍රථිඑලයක් ලෙස 1899 ඔක්තෝබර් 11 දින දෙවන බෝයර් සටන ඇරඹිණ .මේ සටනට ට්‍රාන්ස්වාල් හා ඔරෙන්ජ් ෆ්‍රී යන ප්‍රාන්ත යන්හි බෝයර් සෙබලුන් 103,000-153,000 හා බෝයර් කමාන්ඩෝ භටයන් ඇතුළුව 100,000 භටයන් ද විදේශ ආධාර භටයන් 5400 ක් එක්ව සිටියහ.
 
 
මෙම සටනට බ්‍රිතාන්‍යය හමුදාවේ සෙබලුන් 347,000ක් සහභාගි වූ අතර යුධ පෙරමුණේ නායකත්ව 8 දෙනෙකු විසින් දැරීය. බෝයර් වරුන්ට නෙදර්ලන්තය, ජර්මානු හා ස්කැන්ඩිනේවියානු රටවල් පක්ශව සිටි අතර බ්‍රිතාන්‍යය වෙනුවෙන් අයිරිෂ් ඇමරිකානු ස්වේච්ඡා ඔත්තු සේවය ,ඉතාලි ස්වේච්ඡා සේනාංකය, අයිරිෂ් ට්‍රාන්ස්වාල් සේනාංකය එක්ව සිටියේය .

මෙම සටනට බ්‍රිතාන්‍යය සඳහා 1901 දී බ්‍රිතාන්‍යය ශ්‍රීලංකා පාබළ හමුදාව ද එක්ව සිටීම විශේෂකි. 1899 ඇරඹි දෙවන බෝයර් යුද්ධය 1902 දී අවසන් වූයේ බ්‍රිතාන්‍යය හමුදාවට ජය අත්කර දෙමිනි.මෙම යුද්ධයේදී බෝයර් වරුන් 6189 මියගිය අතර 24,000 යුධ සිරකරුවන් විය.තවත් 21,250 ක් බ්‍රිතාන්‍යයට යටත් වූහ .

මෙහිදී බ්‍රිතාන්‍යයේ සෙබලුන් 22,092 ක් මියගිය අතර 934 ක් අතුරුදහන් වූවන් ලෙස ගැනිණ .තවත් 22,828 ආබාධිතයින් වූහ.

මෙම යුද්ධයේදී සාමාන්‍ය සිවිල් වැසියන් 40,370 ක් මියගියේය .සරණාගතයින් ලෙස 26,370 සරණාගත කඳවුරු වලට කොටු විය .

මෙම සටනේදී අල්ලාගත් බෝයර් යුධ සිරකරුවන් තම යටත් ව්ජිත රටවලට පිටත්කර යැවූ අතර එලෙස ශ්‍රීලංකාව වෙත එවනු ලැබූ එක් බෝයර් සිර කරුවෙකු මෙරට ඓතිහාසික චරිතයක් විය .ඔහු එංගල් බ්‍රෙක් නම් විය .

එකල හම්බන්තොට මහදිසාපති වූ සුප්‍රකට ඉංග්‍රීසි ලේඛක ලෙනාඩ් වුල්ෆ් මහතාගේ කාරුණික අනුග්‍රහය ඇතිව යාල අභයභූමියේ පාලකයා ලෙස පත්කරනු ලැබූ එංගල් මෙරට පලමු වන උද්‍යාන පාලකයා විය .

#KD

Monday, November 22, 2021

චාර්ල්ස් මැක්ලීන් සාමිවරයාෙග් ලංකා සංචාරය

 

Charles Hector Fitzroy MacLean, Baron MacLean
 
කොළඹ බාලදක්ෂ කැම්පෝරිය එක් දහස් නවසිය හැට ගණන්වල අගභාගයේදී පැවැත් වූයේ විහාරමහාදේවි උද්‍යානයේ නොවේ. කොළඹ ගොල්ෆ් පිටියේය. එවකට මා 15වැනි කොළඹ බාලදක්ෂ සමූහයේ වෘක පෝතකයෙකි. වෘක පෝතකයන් වූ අපට කඳවුරේ රැය ගතකරන්නට ඉඩ ලැබුණේ නැත. එහෙත් ජම්බෝරිය පැවැත්වෙන දිනවලින් එකක් වෘක පෝතකයන් සඳහා ද වෙන් වූයේය. 
 
වෘක පෝතකයන් සඳහා වෙන් වූ එක් දිනයක එක්සත් රාජධානියේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල එවකට ප්‍රධාන බාලදක්ෂ ධුරය හෙබැවු චාර්ල්ස් මැක්ලීන් (පසුව මැක්ලීන් සාමිවරයා Sir Charles McLaughlin??) ජම්බෝරියට ආයේය. පසු කලෙක එතුමාට දෙවැනි එළිසබෙත් රැජිනගේ සාමිවර ධුරය 1971 දී ලැබුණු බව වාර්තාවල සඳහන්ය. 
 
Sir Charles Hector Fitzroy McLean as Chief Scout
 
විශාල කවයකට වෘක පෝතකයන් වන අප රැස්කොට ඔහු අප හා සංවාදයේ යෙදුණේය. වෘක පෝතක කැල මෙහෙය වීමේ උදාන පාඨ කීමට ඔහු කැප් තොප්පියේ තරු දෙකක් ඇති වෘක පෝතකයකු සොයා කවය වටා බැලුවේය. රවුමේ සිටි වෘක පෝතකයන්ගෙන් කැප් තොප්පියේ තරු දෙකක් තිබුණේ මට පමණකි. මම කවය මෙහෙයවීමි. 
“කරාවු කරාවු කරාවු” මම කීමි. 
“කරාමි කරාමි කරාමි” කවයේ සිටි අනෙක් වෘක පෝතකයෝ කීවෝය.
කැප් තොප්පියේ පැළඳන තරු මට ඉබේ ලැබුණු ඒවා නොවේ. පළමු සහ දෙවැනි පන්තියේ පරීක්ෂණ 20ක් පමණ සමත් වූ පසු ලැබුණු ඒවාය. චාර්ල්ස් මැක්ලීන්ගේ ඇඳුම කුඩා අපට විහිලුවක් බඳු වූයේ ස්කොට් ජාතික ඇඳුම ඇඳි කිසිවකු පින්තූරයකින් හෝ අප දැක නොතිබුණු නිසාය. උඩු කය බාලදක්ෂ නිල ඇඳුමකින් සැරසුණු ඔහු යටි කයට ඇන්ඳේ සායක් බඳු ස්කොට් ඇඳුමයි. එය බැගී පයිප් බෑන්ඩ් (Baggy Pipe Band) වාදකයන්ගේ ඇඳුමට සමානය. වයස අවුරුදු 12 ලැබූ විට වෘක පෝතක බවෙන් මිදී බාලදක්ෂයකු වීමේ වරම අපට ලැබුණේය.

බාලදක්ෂ ජම්බෝරිය කුඩා අපට අතිශය විනෝදය ගෙන දෙන තැනක් වූයේය. දිවා කාලයේ ජම්බෝරිය පැවැත් වෙන භූමියේ තැනෙක බොක්සිං තරග පැවැත් වේ. තවත් තැනක රෙස්ලිං තරගය, තවත් තැනක සංගීත කණ්ඩායමකි. එදිනෙදා නිවෙසේ ගෙවන ජීවිතයෙන් මිදී අවුත් කුඩා කාලයේදීම අපි කඳවුරේ කෑම පිසගෙන සැවොම එක්ව අනුභව කළෙමු. කෑම පිසීමත් තේ පිළියෙළ කිරීමත් දෙවැනි පන්තියේ පරීක්ෂණවලදී සමත් විය යුතු වූයේය.

අප කුඩා කාලයේදීම සාමූහිකව ගයන්නටත් රඟපාන්නටත් පුරැදු වූයේ කඳවුරේ රාත්‍රී කාලයේ පැවැත්වෙන ගිනිමැල වටා වූ ජවනිකා නිසාය. බාල දක්ෂයින්ටම වෙන්වූ ගිනි මැල ගීත බොහෝය. ඉන් එකක් කඳවුරු ගැන කියන්නකි.

“පුංචි පුංචි පැල් සදාලා හරිම ලස්සනයි
පන්ති පන්ති බාලදක්ෂ කඳවුරේ සිටී
කඳවුරේ උයයි
කඳවුරේ නිදයි
බාලදක්ෂ ෂ: හරිම ලස්සනයි!”

දෙවැනි පන්තියේ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව තනි තනි පදක්කම් උදෙසා පැවැත්වෙන පරීක්ෂණවලට සහභාගීවීමේ වරම බාලදක්ෂයා ලබයි. (දැන් මේවා වෙනස් වී ඇතැයි සිතමි.) ප්‍රථමාධාර දෙන්නා, කඳවුරුකරු, පොත් කියවන්නා, කෑම පිසින්නා ආදී වශයෙන් එක් එක් කුසලතා සඳහා දිනාගත හැකි පදක්කම් රාශියක් තිබිණි. ඒවායින් මගේ සිත වඩාත්ම ඇදී ගියේ වන ශිල්පියා (Back Woods man) පදක්කමටයි. බොම්බයි ලූනු ගෙඩියේ දමා බිත්තර තම්බාගන්නටත්, මැටි ගසා දෙල් තම්බාගන්නටත්, කෝටුවක ඔතා රොටි සාදාගන්නටත් එකල අපි පුරුදු වූයෙමු. අපි කුඩා කාලයේදීම කූඩාරම් ඉදිකරන්නට රුසියෝ වීමු.

අපට කුඩා කාලයේම 15 වැනි කොළඹ බාලදක්ෂ වෘක පෝතකයන් ලෙස බඳවා ගත් ප්‍රධාන බාලදක්ෂ ආචාර්යවරයා අපූර්ව පුද්ගලයෙකි. දෙහිවල කැම්බල් පෙදෙසේ විසූ ඔහු නමින් ජෝර්ජ් සමරසිංහය. ඔහු කුඩා දරුවන්ට කුසලතා ඉගැන්වීමේ අති දක්ෂයෙක් විය. අප බාලදක්ෂ කටයුතුවල නිරත වූ කාලයේත් මැදි වයස පසුකර සිටි ඔහු අවුරුදු 103ක් ආයු වළඳා මිය ගියේ දෙදහස් ගණන් වලදීය. එකල ගල්කිස්සේ සාන්ත තෝමසුන්ගේ විද්‍යාලයේ ටෙනිස් ක්‍රීඩාංගණය පිහිටි ඉඩම සෙනසුරාදා දිනවල 15 වැනි කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ කටයුතුවලට වෙන්කර දී තිබිණි. එය පිහිටා තිබුණේ ද සේරම් පාරට සහ හෝටල් පාර අතර මැද බිම් කොටසකයි.

මීරිගම, කණ්ඩලම ගොවිපළ සමීපයේ පිහිටි අක්කර ගණනාවක වනාන්තර භූමියක් එකල බාලදක්ෂ කටයුතු සඳහා කඳවුරැ බඳින්නට වෙන්කර දී තිබිණි. මා දුටු විශාලම පුස්සැල්ලා වැල තිබුණේ එම වනාන්තරයේය. එකවර ළමුන් හත් අට දෙනකුට එහි ඉහළට නැගගෙන ඔන්චිල්ලා පදින්නට තරම් එම පුස්සැල්ලා වැලේ ඉඩ තිබිණි. එම වනාන්තරයේ ඇති රූස්ස ගස් නගින්නට ප්‍රමාණවත්, ශක්තිමත් කඹ එම කඳවුරේම එකල තිබුණු නිසා ඒවා ආධාරයෙන් ගස් නැගීම මීරිගම කැලයේ ජනප්‍රිය ක්‍රීඩාවක් විය. රූස්ස ගස් අතුවල කඹ දවටා පුටු ගැටය (එය විශේෂ ගැටයකි.) ආධාරයෙන් අප බිමින් ගස් උඩටත්, ගස් උඩ සිට බිමටත් යන්නට පුරුදු වීමු.

1970 අවුරුද්දේ දෙසැම්බරයේ දින හතරක් කුරුණෑගල බාලදක්ෂ මූලස්ථානයේ කඳවුර කරන්නට අපට හැකිවිය. එම ගොඩනැගිල්ල තිබෙන නිසා අපට කූඩාරම් ඉදිකරන්නට අවශ්‍ය වූයේ නැත. දැන් එම ගොඩනැගිල්ල පිහිටි පෙදෙස සෙනඟ ගැවසෙන ජනාකීර්ණ හරියකි. ඒ කාලයේ ඒවා පාළු පාරවල්ය. 2007 අවුරුද්දේ එම ගොඩනැගිල්ලේම නාට්‍ය වැඩමුළුවක කටයුතු කරන්නට මට ආරාධනා ලැබිණි. 1970 දෙසැම්බරයේ එහි ගත කළ දින හතර ඇතුළත අපි “ඉබ්බාගල” නැංගෙමු. කුරුණෑගල වටා ඇති ඇතාගල, ඉබ්බාගල, කුරුවෙනියාගල, ඇඳාගල, යක්දෙස්සගල ආදිය ගැන තොරතුරු රැස්කළෙමු. වයස අවුරුදු 12-14 කාලයේදී අපි ගෙදරින් නික්ම දින තුන හතර බාලදක්ෂ කඳවුරුවල ගත කළෙමු. අප නිවසින් පිට යවද්දී අපේ මාපියන්ට හිතේ බියක් ලොකුවට දැනුණේ නැත. ඒ ගමන්වලින් අපේ කුසලතා වර්ධනය වන බවද අපේ මාපියෝ දැන සිටියහ. දැන් කාලයේ නම් කඳවුරකට යවන්නට තබා සවස් කාලයේ එළිමහනකට දරුවකු යවන්නට පවා ඩෙංගු ආදී ලෙඩ රෝග නිසා මාපියෝ බියවෙති. පාසලෙන්, උපකාරක පන්තියටත්, උපකාරක පන්තියෙන් ගෙදරටත් එන දරුවාට මොන කඳවුරු ජීවිතයක් ද! 

කොළඹ මහජන පුස්තකාලය අවට විහාර මහාදේවි උද්‍යානයේ ඇති යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් සිහිකිරීම පිණිස වූ (සෙනොටාෆ්) යුද ස්මාරකය දකින මගේ සිත ළමා කාලයට දිව යන්නේ නිතැතිණි. මා මුල්වරට මෙම ස්මාරකය ළඟට ගිය දවස මට හොඳ හැටි මතකය. ඒ එක්දහස් නවසිය හැත්තෑව, හෑත්තෑඑක පමණ කාලයේය. ඒ කාලයේ විහාර මහා දේවි උද්‍යානයේ ඒ පැත්ත පට්ට පාළුය. ඒ වටා උසට වැඩුණු මානා පඳුරු මිස මිනිස් පුළුටක් පෙනෙන්නට නොතිබිණි. පාතර් පංචාලි චිත්‍රපටයේ, ජීවිතයේ මුල්වරට, දුම්රිය දකින අපූර් සහ දුර්ගා මෙන් මමද මාන පඳුරු අතරින් දිවගොස් එම ස්මාරකය දෙස තුෂ්ණිම්භූතව බලා උන්නෙමි. (එම චිත්‍රපටයේද දුම්රිය දකින්නට පෙර ඒ දෙදෙනා මාන කැලයක් මැද්දෙන් දිවයති.) එම ස්මාරකය විහාර මහා දේවි උද්‍යානයේ දින දෙක තුනක් ඒ වනවිටත් රැය පහන්කොට සිටි මා දැක තිබුණේ නැත.

මා විහාර මහා දේවි උද්‍යානයේ රැය පහන් කළේ තනිවම නොවේ. 15 වැනි කොළඹ බාලදක්ෂ සමූහය සමඟය. 15 වැනි කොළඹ බාලදක්ෂ සමූහය එදා විහාර මහා දේවි උද්‍යානයේ කඳවුරු බැඳ සිටියේ ද තනිවම නොවේ. කොළඹ නගරාසන්නයේ සියලු බාලදක්ෂ කණ්ඩායම් සමඟය. කාලයක් තිස්සේ බාල දක්ෂයන්ගේ කොළඹ වාර්ෂික ජම්බෝරිය පැවැත්වූයේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදීය. අවුරුදු කිහිපයකදීම අපේ කඳවුරු උදෙසා කූඩාරම් ඉදිකළේ කලා භවනට මුහුණලා පිහිටි පැත්තේය.

කණ්ඩායම් අතර ඉවුම් පිහුම් තරගය පැවැත්වූයේ යුද ස්මාරකය සමීපයේය. පළමු වරට යුද ස්මාරකය මගේ නෙත ගැටුණේ ආහාර පිසීමේ තරග ඒ කිට්ටුව තැනක පවත්වන්නට යෙදුණු අවස්ථාවකය.

එම යුද ස්මාරකයට ඇත්තේද අපූර්ව ඉතිහාසයකි. එය ඉදිවී ඇත්තේ පළමු සහ දෙවැනි ලෝක යුද්ධ දෙකෙන්ම මිය ගිය ශ්‍රී ලාංකීය සොල්දාදුවන් සිහිවනු පිණිසය. ඉංග්‍රීසියෙන් එය හඳුන්වන්නේ Cenotaph War Memorial කියාය. Cenotaph යන්නේ හිස් සොහොන් කුටිය යන අර්ථය ද ගැබ්වේ. යුද්ධයෙන් මිය ගොස් වෙනත් තැනක මිහිදන් කළ සොල්දාදුවන් වෙනුවෙන් Cenotaph ස්මාරක ඉදිවේ.

එම ස්මාරකය සඳහා මුල්ගල තබා ඇත්තේ විහාර මහා දේවි උද්‍යානයේ නොවීමද පුදුමයකි. 1921 දෙසැම්බර් 7 වැනිදා එවකට ලංකාවේ ආණ්ඩුකාර සර් විලියම් හෙන්රි මෑනිංග් ඊට මුල්ගල තබා 1923 ඔක්තෝබර් 27දා එය නිරාවරණය කර තිබෙන්නේ කොළඹ ගාලුමුවදොර පිටියේය. එය එවකට විජයග්‍රහණයේ ස්මාරකය ලෙස හැඳින්විණි. එහෙත් දෙවැනි ලෝක සංග්‍රාමය වෙද්දී එය ගලවා ඉවත්කොට විහාර මහා දේවි උද්‍යානයේ දැන් තිබෙන තැන නැවත ඉදි කෙරුණේය. එය වෙනත් තැනකට ගෙන ගියේ තම අවි එල්ල කිරීම සඳහා ජපනුන් එය සළකුණක් ලෙස භාවිතා කරාවි යන බිය නිසා බවද කියවේ. මියගියවුන්ගේ එහි සඳහන් නම් අතර ඇත්තේ එකම කාන්තාවකගේ නමකි. ඒ.එල්. මිච්වුඩ් මෙනෙවියගේ නම පමණයි.

මහජන පුස්තකාලය අසලින් අහසට එසවුණු යුද ස්මාරකය දකින මට සිහියට නැගෙන්නේ ලෝක යුද්ධවලින් මිය ගිය සොල්දාදුවන් නොවේ. අදටත් ආදරයෙන් සිහිකළ හැකි මගේ සුන්දර ළමා කාලයයි. එදා විහාර මහා දේවි උද්‍යානයේ පාළු කෙළවරක මාන පඳුරු මැද තිබු යුද ස්මාරකය, විහාර මහා දේවි උද්‍යානයේ කඳවුර බැඳ රැය පහන් කළ දවස් ගැන අදටත් කිසිවකුට නෑසෙන්නට තතු කියන්නා සේ දැනේ.
 
සටහන
සමන් පුෂ්ප ලියනගේ